Monday, 14 January 2013

රතු සිතුවම ( කෙටි කතාව )

ලබන සතියේ කලාප චිත්‍ර තරඟය පටන් ගන්නවා... හැමෝම එද්දි තමන්ට පුළුවන් විදිහට චිත්‍රයක් ඇඳන් එන්න ඕන.. හොඳ ඒවා අපි බලලා තර‍ඟෙට යවමු..”


අන්තිම කාලච්ඡේදයේ සීනුව වදින්න ඔන්න මෙන්න කියලා තියලා පන්තියේ ටීචර් හැමෝටම ඇහෙන්න කියපු දේවල් වලට කසුන්ගේ හිත පොඩ්ඩක්වත් ඇදිලා ගියේ නෑ... තමන්ගේ උරහිස ලගට උස පන්තියේ බැම්මට හේත්තු වෙලා බැම්මෙන් එහා පැත්තේ හිස් පිට්ටනිය දිහාවම බලාගෙන හිටිය කසුන්ට පන්තියේ වෙන කිසිම දෙයක් ගානක් නැති තරම්.. සමහරු හිටියේ චිත්‍ර තර‍ඟෙ ගැන උනන්දුවෙන්.. ඒ ගැන කතා කර කර.. තවත් සමහරු හිටියේ අන්තිම බෙල් එක වැදිලා ගෙදර දුවන්නේ කොයි වෙලාවෙද කියලා හිත හිත... ඒත් ඒ හැමෝම අතරේ කසුන් විතරක් තනියම.. ඈත බලාගෙන..


කසුන් දුප්පත්.. කසුන්ගේ අම්මත් තාත්තත් දෙන්නම කලේ කුලී වැඩ.. අනුරාධපුරේ කාෂ්ඨක අව්ව වැටෙන පොලවේ දුක් විදින ජීවිත අතර කසුන්ගේ පවුල තවත් එක පවුලක් විතරක්ම නෙමෙයි... උපතින්ම හැම දෙයක්ම උදුරන් තිබුන කසුන්ගේ ජීවිතේ වටිනාම දෙයත් දෛවය කසුන්ගෙන් උදුර ගනිමින් තිබුනා...


කසුන් ඇහුනද මං කියපු දේ ?”


ම්ම්,, ඔව් මිස්..”


එහෙනම් ඒක අමතක කරන්න එපා.. ටික දවසක් තියෙනවනේ.. කසුන්ට මේකෙන් දිනන්න බැරි වෙන එකක් නැහැ..”


කසුන්ගේ කල්පනාව අතරට ආව ඇය කසුන්ට හුගක් හිතවත්ව කියන හැම වචනයකටම හැමදාම කසුන් ලොකු දයාවක් දැක්කුවා..සමහරක් කසුන්ට අනුකම්පාව දක්වද්දී ඊට වඩා ලොකු දයාවක් ඇගෙන් හැම වෙලාවකම කසුන් දැක්කා.. අන්තිම බෙල් එකේ හඬ ඇහිලා හැමෝම පොත් ටිකත් අරන් නැගිටිද්දි කසුන් තාමත් කලින් හිටපු කල්පනාවෙම.. කලබලේට දුවන හැමෝම යනකන් බලාගෙන හිටපු කසුන් හෙමින් සීරුවට අත් දෙක යාන්තමට මලකඩ කාගෙන ආව රෝද පුටුවේ රෝද දෙකට තියලා පොත් මේසේ ලඟින් ඈතට වුනේ කලබලයක් නැතුව වෙනදා වගේම ගෙදර යන්න බලාගෙන..


ජීවිතේ හැමදේටම වඩා ආදරේ කරපු පොත් ටිකත් උකුල උඩින් තියාගෙන හෙමීට පන්තියෙන් එලියට ආව කසුන් දිව යන අනිත් හැමෝම දිහා බලාගෙන හිටියේ වාරු නැති දෙපා දෑතින් පිරිමදින ගමන්ම... උපතින්ම වාරුවක් නැතුව අසරණ වුන දෙපා ගැන කසුන් දුක් වුනේ හුගාක් පුංචි දවස් වල.. ජීවිතේ කියන්නේ මොකද්ද කියලා යාන්තමින් තේරුම් ගන්න පුළුවන් කාලය එද්දි වාරු නැති දෙපා වලට වඩා වේදනාවක් දැනෙන හුගක් දේවල් ජීවිතේ තියෙන බව කසුන්ට හොදටම තේරුම් ගන්න පුළුවන් වුනා...


කසුන් අපි යමුද ?”


කල්පනාව මොහොතකට බිදුනේ කසුන්ගේ හොදම මිතුරියගේ කටහඬින්.. පුංචි කාලේ ඉදන්ම හොද මිතුරියක්, සහෝදරියක් විදිහට හුඟක් ලං වුන ඇය කසුන්ගේ ජීවිතේ අඬපු හුගාක් තැන් වලදි කසුන්ගේ ලගින්ම ඉදලා සැනසුවේ උවමනා හැම වෙලාවකම ඔහුට වාරුවක් වෙන ගමන්ම... ඇයත් කසුන් වගේම ජීවිතේ අන්තිම අඩියේ ඉදන් එහා ආලෝකයක් දිහා බලන්න උත්සාහයක යෙදෙන පුංචි දැරියක්ම විතරයි...


කසුන් අද මිස් කියපු දේ ගැන හිතුවද ?”


හ්ම්ම්.. ඒත් මට තරගෙට එන්න බැරි වේවි..”


ඇයි කසුන් ඒ ?”


මට චිත්‍ර අදින්න විදිහක් නෑ.. පාට පෙට්ටිය ඉවර වෙලා දැන් හුගක් කල්... අළුත් එකක් ගන්න පුළුවන්කමක් අපිට ලේසියෙන් එන්නෙත් නෑනේ නිමාලි...”


කාෂ්ඨක අවුවේ හොදටම වේලිලා ගිය කොල නැතුව අරටුව විතරක් ඉතුරු උන මූකලාන අතරේ රැදුනේ මොහොතක දෙකක නිහැඬියාවක්... නිස්කලංක බව අතරේ හමාගෙන ගිය ගිණියම් හුළගේ හඬත් කෙදිරියක් ගානටම දැන් ඔවුන්ගේ ජීවිත වලට ලං වෙලා..


මගේ ලගත් නැහැ කසුන්.. නැත්නම් මට අඳින්නත් බැරි එකේ ඒක ඔයාට දෙන්න තිබුනා...”


කමක් නැහැ නිමාලි.. අපි ඕක අමතක කරලා දාමු..”


කොයි තරම් අකමැති උනත් හැතැම්ම දෙක තුනක දුර හැමදාම රෝද පුටුවේ පිටිපස්සට වෙලා තල්ලු කරන් එන ගමන ඇයට වෙහෙසක් නොදැනෙන තරම්.. ඇය හැම අතින්ම ශක්තිමත්.. ජීවිතේ ප්‍රශ්ණ එක්ක ශක්තිමත් නොවෙනවනම් වැටෙනත් තියෙන් ඉඩ හුගාක් වැඩියි කියන එක කසුන්ටත් ඇයටත් දැනෙන්න මේ වයස පොඩි වැඩී කියලා හිතන එක මෝඩ කමක්...


කසුන්, තාත්තා නේද අර ?”


ඉරි තැළුන මූකලානේ කෙලවරක එහා මෙහා පැද්දෙමින් එන වයසක රුව සතියකට දෙතුන් වතාවක් අතර මඟ මුණ ගැහෙන එක ඔවුන්ට අමුත්තක් නෙමෙයි... වල් අලිත් එක්ක හෙට්ටු වෙලා හේනෙන් හම්බු කරන තුට්ටු දෙක රා කලයකට යට කරලා දාන තරමටම ඔහුගේ ජීවිතේ පල්ලෙහාට වැටිලා..


ඉස්කෝලේ ඇරිලා කොයි වෙලාවෙද ? උඹ තාම මේ අබ්බගාතයා එක්ක රස්තියාදුව... පල ගෙදර.. ගිහින් අම්මට උදව්වෙයන්..”


කසුන්ට ඔහොම කතා කරන්න එපා තාත්තේ..”


උඹ එනවද මට කතා කරන හැටි උගන්නන්න..”


ඉතුරු ටික මම යන්නම් නිමාලි.. ඔයා තාත්තා එක්කන් ගෙදර යන්න..”


නෑ කසුන් අපි යමු...”


රෝද පුටුවට වාරු වෙමින් තම පියාගේ බැනුම් වත් අසන්නට ලග නොසිට කසුන් එක්ක හෙමින් ඈතට ඇවිදන් ගිය ඔවුන් අතර රැදුනේ බොහෝ වේලාවක නිහැඬියාවක්..



…..................



ගොම්මන් කළුවර ඈතින් හෙමීට වැටීගෙන එද්දී ගේ පිළිකන්නට වෙන්න තිබුන මාර ගස් හෙවනකට වෙලා පාඩම් පොත අතේ තියාගෙන හිටපු කසුන්ගේ හිත කොච්චරවත් ගිහින් නතර වුනේ ඉස්කෝලෙදි කියපු තරගය ගැන.. පුංචි කාලේ ඉදන්ම පාළුව මකා ගන්න ලග හිටිය පාට කූර කසුන්ගේ ජීවිතේට නොදැනීම හුගක් ලං වුනේ ආසාවටත් වැඩිය හිතේ තිබුන ප්‍රශ්ණ හන්දම...


හැමදේටම වැඩිය ඉහලට නැගුන, හැම දේටම වැඩිය පේන දුප්පත් කම එක්ක හිතේ හිර වුන හැමදේම කියා ගන්න කසුන් ලග හිටියේ ඒ පාට කූර.. චිත්‍ර තරගෙට චිත්‍රයක් අදින්න කසුන්ගේ හිත අශා කලා... ඒක අහිංසක පුංචි ආසාවක්..


පුතා මොනවද කල්පනා කරන්නේ ? හවස් වරුවම මම බලාගෙන හිටියේ..”


මුකුත් නැහැ අම්මේ..”


මුකුත් නැති වෙන්නේ කොහොමද.. හවස ඉදන්ම එක විදිහක්..”


පිළිකන්නේ වලං මැස්සෙන් රෑට කන්න උයන්න වලදක් අතට ගත්ත ඇය කසුන්ගේ නිහැඬියාව එක්ක තව කල් වේලා නොමරාම කුස්සියට යන්න ආවේ රෑට තම්බන්න ගෙනාව බතල අල ටික ඉක්මනට හදන්න හිතාගෙන..


පාට පෙට්ටියක් කීයක් විතර වෙනවද අම්මේ ?”


කුස්සියේ කණ්ඩිය ලඟ මොහොතක් නතර වුන ඇය පුතා දෙස බලාගෙන හිටියේ කුමක් කියන්නදැයි සිතා ගන්නට නොහැකිවය..


රුපියල් පනහක් වත් වෙයි පුතේ.. ඇයි ?”


නැහැ.. මං නිකමට අහුවේ අම්මේ..”


ඈත වන අරණ අතරින් ගලාගෙන එන අඳුර දිහා බලාගෙන හිටපු කසුන් පාඩම් පොතේ පිටු අතරට තම හිත යොදවද්දී කුස්සියේ වැඩ වල නිරතවුන අම්මාට කසුන්ගේ හිතේ තියෙන දේ ගැන හිතන්න වෙලාවක් නොලැබුන තරම්..



….................


විවේකයට ඉස්කෝලේ මිදුලේ හැම අතම දුවන තමන්ගේ යාළුවෝ දිහා මැද මිදුලේ අයිනක තිබුන අරලියා ගහක් ලගට වෙලා බලාගෙන හිටිය කසුන්ගේ හිත වෙනදට යාළුවන්ගේ වැඩ වලට හිනා වෙලා විහිළු කරනවා වෙනුවට අද වෙන කොහේදෝ තැනක නතර වෙලා තිබුනා.. හුස්ම නැගෙන හඬ පවා ඇහෙන තරමට කොහේදෝ අතරමං වුන හිතට අද ඝෝශාව නෑසෙන ගානයි..


කසුන්..”


උරහිසේ තැබුන අත දිහා බලපු වේදනා බර බැල්මෙන්ම ඇය කසුන්ගේ හිත ගොඩක් දුර වේගයෙන් කියවගෙන ගියේ පුංචි කාලේ ඉදන්ම කසුන්ගේ ලගින්ම ඉදලා කසුන්ව තේරුම් අරන් තිබුන නිසා...


තාම හිතන්නේ චිත්‍රය ගැන නේද ?”


හ්ම්ම්.. රුපියල් පනහක් හොයා ගන්න තිබුනනම් පාට පෙට්ටියක් අර ගන්න තිබුනා...”


රුපියල් පනහක්.. මේ වෙලාවේ අපි කොහෙන්ද කසුන් සල්ලි හොයා ගන්නේ ?”


නිහැඬියාව බිදිමින් නැගුන සීනු හඬත් එක්ක අරලියා ගහ ලගට වෙලා හිටිය කසුනුත් නිමාලිත් චිත්‍රය ගැන මවපු හීනය මොහොතකට අමතක කරලා පන්ති කාමරයට ආවත් පන්තියේ අනික් අය දැනටමත් ඇඳලා තියෙන චිත්‍ර දිහා බැළුවම කසුන්ගේ හිතට පුංචි දුකක් දැනෙන එක නතර කර ගන්න බැරි වුනා... පුරුදු විදිහට කසුන් ඈත පිට්ටනිය දිහා බලාගෙන ඉන්න උත්සාහ කලත් කසුන්ට ඒක කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ..


කසුන් කෝ ඔයාගේ චිත්‍රය ?”


තවම ඇන්දේ නැහැ මිස්..”


ඒ ඇයි කසුන්.. මොකක් හරි ප්‍රශ්ණයක්ද ?”


නැහැ මිස්..”


හ්ම්ම්.. තව දවස් තියෙනවනේ.. මොනව හරි ප්‍රශ්ණයක් තියෙනවනම් මට කියන්න...”


කසුන්ගේ හිතේ තිබුන ආශාව ඇයට කීවනම් මොහොතින් ඇය ඔහුට උදවුකරන බව හොදින්ම දැනන් හිටියත් මේ පුංචි උදවුවට වඩා කසුන්ගේ ජීවිතේට ඇගෙන් ලැබෙන අනික් දේවල් මහමෙරකටත් වැඩිය වටින හන්දම කසුන් හැම දෙයක්ම හිතේ තදකරගෙන නිහඬ වුනේ හිතත් එක්ක තනියම කතා කරන ගමන්ම..


පාට පෙට්ටියක් ගන්න විදිහක් තිබුනනම්...”


….................



හැන්දෑ කළුවරට වැඩිය ජීවිතේ හැමදාම තියෙන අඳුරට පුරුදු වුන ජීවිත වල කාටවත් තේරුම් ගන්න බැරි හැගීම් හුගක් හංගිලා තියෙනවා.. මතුපිටින් පේන හැම දේටම වැඩිය හිත ඇතුලේ කෑ ගහන ප්‍රශ්න බොහොමයක් එක්ක ඉන්න ජීවිත ගැන තේරුම් ගන්න තමන්ගෙම අයටත් සමහර වෙලාවට බෑ... දවස තිස්සෙම කල්පනා කරන කිසිම දෙයක් ගැන කසුන් දිහා බලලා තේරුම් ගන්න කසුන්ගේ අම්මටවත් පුළුවන් වුනේ නැහැ..


කසුන්..”


පාඩම් පොත අතරින් හිත මොහොතකට ගැස්සුනේ නිමාලිගේ කටහඬින්.. ප්‍රශ්ණ වලින් තෙරපෙන මලානික මුහුණ වහ ගන්න හැමදාම මවා ගන්න හදන හිනාවේ අද පුංචි වෙනසක් කසුන් දැක්කේ අහම්බයෙන් වගේ...


මේක ගන්න කසුන්.. මේකේ මහලොකු වටිනකමක් නැතුව ඇති.. අපි මේක ඉස්කෝලේ ලග කඩේට දීලා කීයක් හරි ඉල්ල ගමු..”


ඇගේ අත්ලේ තිබුන පුංචි ලී පෙට්ටියේ අමුතු ලස්සනක් තිබුනා... බොහෝම සීරුවට හැඩ වැටුන කැටයම ඒකේ ලස්සන තව වැඩි කලා..


ඔයාට කොහෙන්ද මේක ?”


ටික කාලෙකට කලින් අපේ ආච්චි අම්මා මේක මට දුන්නේ.. ඕක පාවිච්චි කරන්න තරම් ලොකු උවමනාවක් මට ආවේ නැහැ.. අපි ඕකෙන් ඔයාගේ වැඩේ කරන් ඉමු..”


ප්‍රශ්ණ අතරටම හිර වෙලා තිබුන කසුන්ගේ මුහුණට ආව සතුටයි හිනාවයි නිමාලි දැක්ක පළවෙනි වතාව කියලා ඇගේ ඇස් වලට හොදටම විශ්වාසයි.. හරි හැටි වටිනාකමක් වත් නොදන්න පුංචි ලී පෙට්ටියකට ජීවිතේ දැනුන ලොකුම සතුට උගස් කලේ පුංචි හිත් වල තිබුන නොදැනුවත් කමට...


නින්දක් නැතුව පහන් වුන රැයේ තිබුනේ සතුටක බලාපොරොත්තුවක්.. උදාවෙන හිරු එළිය දිහාම බලාගෙන හිටියේ කවදාවත්ම නැති සතුටකින්.. වෙනදාටත් වඩා හෙමීට ගලාගෙන යන කාලය අතරේ පොත් බෑගයේ නිතරම අත දමමින් පරිස්සම් කරපු ඒ පුංචි දේට තමන්ට ඕන කරන වටිනාකමවත් ලැබෙයිද කියලා මොහොතකටවත් කසුන්ට හිතුනේ නෑ.. ඒ උනත් හිත සීමාවක් නැතුවම හීන ගොඩක පැටලිලා ගියේ ජීවිතේ කටුක අත්දැකීම් කොච්චර වින්දත් තාමත් හිත ලාබාල නිසාම වෙන්න ඇති...


හුගක් වෙලා බලාගෙන හිටපු සීනු හඬත් එක්ක වෙනදටත් වැඩිය ඉක්මනට ඉස්කෝලෙන් එලියට ආව කසුනුත් නිමාලිත් ඉස්කෝලේ ළමයි ගොඩාක් පොරකන කඩේ ඉස්සරහට වෙලා බලාගෙන හිටියේ තමන්ගේ හිතේ තිබුන ආශාවට නිදහසේ ඉඩක් දෙන්න..


අංකල් අපිට මේක අරගෙන සල්ලි දෙන්න පුළුවන්ද ?”


අනෙක් හැමෝම ගියාට පස්සේ කසුන්ගෙන් පිට වුන වචනත් එක්ක ඔහු කසුන් දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වුනත් ඔහු වෙතට දිගු කල පුංචි දෙයින් ඔහුගේ දෑස් ලොකු වෙනවා ඒ පුංචි දෑස් වලට පෙනුනේ නැහැ..


ඔයාලට කොහෙන්ද මේක ?”


මගේ ආච්චිගෙන් මට ඕක හම්බුනේ..”


දැන් ඔය ළමයින්ට කීයක්ද ඕන ?”


දන්නේ නැහැ.. අපිට ඕන පාට පෙට්ටියක් ගන්න... ඒකට ඇතිවෙන්න ගානක් දෙන්න පුළුවන්ද ?”


හ්ම්ම්.. එහෙනම් මම කෙල්ලින්ම මේක අරගෙන පාට පෙට්ටියක් දෙන්නම් මේ ළමයින්ට...”


බලාපොරොත්තුව ඉටු වෙලා හිතේ තිබුන සතුට වැඩි වෙද්දි ඒ දෑස් වල තිබුන කපටි පෙනුම ඔවුන්ට පෙනුනේ නැහැ.. හිත නතර උනේ හීනයක් වෙලා තිබුන පාට පෙට්ටිය ලග..


ආ මෙන්න පුතාට තියෙන හොද ජාතියෙන්ම එකක්..”


දීප්තියෙන් දැල් උන දෑස් වල තිබුනේ කවදාවත්ම නොවින්ද සතුටක්.. පාට විසි හතරේ පාට පෙට්ටියත් උකුල උඩ තියාගෙන වෙනදා සැරට දැනෙන කාශ්ඨක අවුවත් ගිණියම් හුළගවත් ගැන ගානක් නැතුව ගෙදරට ගිය හිත් වල තිබුනේ උතුරලා යන සතුටක්.. නිහඬ මූකලානේ හැම තැනකම දෝංකාර දෙන හිනාවට නිමාවක් තිබුනේ නෑ...


කසුන් අදම චිත්‍රේ අදිනවද ?”


අද බැරිවෙයි නිමාලි.. අම්මා එක්ක වැවට ගිහින් නෙළුම් අල ගලවලා ගෙදර එද්දි කරුවල වැටිලා තියෙයි...”


හරි කසුන්.. හෙට එහනම් ඉස්කෝලෙදි කතා කරමු..”


ගෙදර කාමරේ පරණ ලී පෙට්ටියක පරිස්සමට අරන් තිබ්බ පාට පෙට්ටිය දිහා කසුන් හුගාක් වෙලා බලාගෙන හිටියා.. පාට පෙට්ටියේ පාට අතර පුංචි අතැගිලි එහා මෙහා ගෙනිච්ච කසුන් රතු පාට කූර අතට අරගත්තේ කසුන් රතු පාටට පොඩ්ඩක්වත් ආශ නොවුන නිසා.. කවදාවත්ම චිත්‍රයකට කසුන් රතු පාට අර ගත්තේ නෑ.. රතු පාට කූර කලිසමේ සාක්කුවට දාගෙන අම්මා බෙදලා දුන්න බත් එකත් වෙනදට වඩා අඩුවෙන් කාලා වැව පැත්තට ගියේ පුදුමාකාර සතුටකින්..



…...............



කාශ්ඨක අවුවේ හිදිලා ගිය වැවේ හරි මැදක ඉතුරු උන පුංචි වතුර ටික හොයාගෙන හවස් වෙද්දි හැමෝම ඇදිලා එන්නේ මුළු දවසම දැනෙන ඒ ගිණි මද්දහනේ සැරෙන් හොදටම හෙම්බත් උන නිසා... ඉතුරු උන දිය අතර එහෙන් මෙහෙන් පිපුන නෙළුම් වල අල හොයාගෙන වතුරට කිමිදෙන අම්මා දිහා වැවේ බැම්ම ලග ඉදන් බලාගෙන හිටපු කසුන්ගේ හිත ගැස්සුනේ ඈතින් ඇහුන අලි වෙඩිල්ල නිසා...


තාම අඳුර වැටුනෙත් නෑ.. මුං දැන් එළිය තියෙද්දිත් එන්න පුරුදු වෙලා..”


ගමේ මිනිස්සුන්ගේ හිත් වල මහා බයක් ඉතුරු කරපු එකම සද්දන්තයා හැමදාම ඇවිත් දෙන දුක් ගිණ්දර මේ කාශ්ඨක පොළවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත වලම තවත් කොටසක් උනා..


කසුන්.. කසුන්..”


වැවේ ඈත කෙලවරක ඉදන් කෑ ගහගෙන ආව නිමාලිගේ හඬට ආපහු හැරිලා බලද්දි ඇගේ මුහුණේ තිබුන පෙනුමෙන්ම ලොකු අමුත්තක් කසුන්ට දැනුනා..


කසුන්, තනියා ඔයාලගේ වත්තට පැනලා.. ඉක්මනට යමු..”


හත්දෙයියනේ.. කෙල්ලේ මයෙ කොල්ලා එක්කන් වරෙන්.. මං දුවලා යන්නම්..”


බලාපොරොත්තු ජීවිත වල තැනකදි කඩා වැටෙන්නේ අපි කවුරුත් නොහිතන විදිහට.. අවුරුදු ගානක් අමාරුවෙන් හොයපු දේවල් එකතු කරලා ගොඩ නගපු පුංචි ජීවිතය මොහොතකින් බිම පතිත වෙද්දී දෑස් වල කඳුළු හැරෙන්න වෙන ඉතිරි උන කිසිම දෙයක් තිබුනේ නෑ... අහසට නැගුන විලාප හඬවල් ඔහේ පාවෙලා යද්දි දවස් දෙක තුන ගත වුනේ කසුන්ට හිසට වහලත් අහිමි කරමින්ම...



…................


කසුන්..”


මිස්..”


බිමට පතිත වෙලා තිබුන මැටි බිත්ති ලග ඒ දිහාම බලාගෙන හිටිය කසුන් ලගට ඈ එනවා ඔහු දැක්කේ නැත්තේ දෑස් වල රැදිලා තිබුන කඳුළු බිංඳු හන්දම...


දවස් තුනක්ම කසුන් ඉස්කෝලේ ආවේ නැති නිසා මේ ආවේ බලන්න...”


වචනයක්වත් කියා ගන්න බැරිව ගලාගෙන ගිය කඳුළු කසුන් කියන්න උත්සාහ කල හැමදේම හෙමීට කිවුවා.. හැම දෙයක්ම සිහින අතරටම එකතු වෙලා ඉටු කර ගන්න බැරි තරම්ම ඈතට හෙමින් ඇදිලා ගිහින් තිබුනා.. ඇගේ තුරුලේ නිමාවක් නැතුව පිට වෙලා ගිය කඳුළු වල ඒ හැම දෙයක්ම ලියවිලා තිබුනා..


කසුන්, තව දවස් දෙකක් තියෙනවා තරගෙට.. ඔයාට පුළුවන්නම් ඒකට චිත්‍රයක් අදින්න... ඕන කරන දේවල් මම ගෙනත් දෙන්නම්.. කසුන් දින්නොත් ඉස්කෝලේ වැඩ වලට ඒකෙන් ලැබෙන මුදල ප්‍රයෝජනවත් වේවි..”


ඈ නික්ම යන තුරුම ඈත බලාගෙන හිටිය කසුන්ගේ හිත නතර උනේ පාට පෙටියෙන් අයින් කරපු රතු පාට කූර ලග.. එදා ඇදගෙන හිටපු කලිසම විතරක්ම කසුන්ට ඉතුරු වෙද්දී ඒ රතු පාට කූරත් තාමත් කසුන් ලග ඉතිරි වෙලා තිබුනා.. කවදාවත්ම චිත්‍රයකට ගත්ත නැති රතු පාට කූර දිහා බලාගෙන කසුන් කල්පනා කලේ ජීවිතේ ඈත් කරන්න හිතපු පාටින් ජීවිතේ ලස්සන කරන චිත්‍රයක් අදින්නේ කොහොමද කියන දේ විතරක්මයි..

 



නිමි..



විශේයි : ටිකාලෙලින් මුහුණුපොතේ ශෙයාර් වුමේ ඉමේජ්ක එක්තාකියෙවුවා.. ඒද්දි හිතාවක් මේක.. ත් කිවන්න අරන්න එපා..








32 comments:

  1. හරිම සංවේදී කතාවක් දිනේෂ් අයියේ.

    ReplyDelete
  2. ළමා ටෙලිනාට්‍ය පිටපතක් වගේ ලස්සනයි

    ReplyDelete
  3. ලස්සන කථාවක්. රූප රචනයක් කරන්න තරම් වටිනවා

    ReplyDelete
  4. ලස්සනයි කතාව දිනේශ්....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කතාව කියවල ඉවරවෙලා මම කිපවරක්ම කල්පනා කලා ඔය ප්‍රශ්නය ගැන. මටත් මුලින් හිතුනෙ ඔහොම තමයි. ඒත් නංගි කියන විදියට අන්තිමේ නිශ්චිත අවසානයක් දුන්නොත් ඒක ඕනවට වඩා ඉස්සරහට යාමක් කියලයි මම හිතන්නෙ. ඒ නිසා මේ විදිය වඩා හොඳයි. කතාවක අන්තිම ජවනිකාව "සියල්ල විස‍ඳෙන" එකක් වෙන්න ඕනද? උදාහරණයක් විදියට කසුන් රතුපාටින් චිත්‍රෙ ඇඳල දිනල.... වගේ එකක් ගොංපාට් එකක් කියලයි මට හිතෙන්නෙ.

      අමාරුවෙන් ලැබුනු පාටපෙට්ටියේ, අහම්බෙන් සාක්කුවට දාගත්ත වැඩකට නැති රතුපාටකූරයි තමුන්ට තිබුනු සියල්ල නැතිවෙච්ච කොල්ලෙකුයි අභියෝගාත්මක චිත්‍ර තරගයකුයි ඉතිරි වෙනව‍. මේක තමයි හොඳම එන්ඩ් එක‍ බං.

      Delete
    2. රචකයාගේ හිතේ තියන විදියට කතාව ගලාගෙන යාම තමයි වඩාත් සුදුසු. හැම කතාවකටම අවසානයක් එක් කරන්න හැදුවොත් ඒවා අතර තියන වෙනස නැති වෙනව නේද? විවිධත්වය කියන එක තමයි වටින්නේ. එක නැතිවුනොත් කතාව මැරෙනවා. රාජ් අයිය කියනවා වගේ ගොන් පාට් එකක් අන්තිමට ආවොත් ඉතින් වැඩක් නෑනේ ඒ කතාව බලපු එකෙනුත්. මට හිතෙන විදිය මම කියන්නේ.

      Delete
  6. හ්ම්ම්....... කතාව හොදයි. නමුත් දුකයි.....

    ReplyDelete
  7. කතාව ඉවර කරලා තියන විදිය වෙනස්. මම හිතුවේ රතු කූරෙන් කොහොම හරි චිත්‍රයක් ඇඳලා , ඒකෙන් තෑග්ගක් හම්බවෙයි කියලා. ඒකෙන්ම තේරෙනවා අපි එක, එක්කෙනා හිතන විදිය කොච්චර වෙනස්ද කියලා...

    කතාව රසවත්...:)

    ReplyDelete
  8. වෙන්ඩ නෝන කියල තියනවනේ යමක්.... ඉතින් අපි මක්කැයි කොරන්නේ...ට ටා අපි ගියෝ..

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්ම්... "අපිටත් දවසක ඉර පායාදෝ " ඉස්කෝලෙ 10 වසරෙ සිංහල පොතේ කතාව මතක් උනා..

    ReplyDelete
  10. රතු පාට කූරෙන් මැවුන සිතුවම එක්ක කතාව හරිම සංවේදීයි.

    ReplyDelete
  11. ඇත්තට මමත් හිතුවෙ නිමාලිගෙ මහන්සිය, උදව්ව සහ ඉස්කෝලෙ ටීචර්ගෙ දිරිමත්කිරීම් එක්ක,අවසානෙදි කසුන් ලස්සන චිත්‍රයක් ඇඳලා තරගෙන් දිනයි කියලා තමයි!!

    ඒත් හැමකතාවකටම ඉතින් සුභදායී අවසාන නැහැනෙ.:) කොහොම වුනත් හැමදාම වගේ කතාව ලස්සනයි, සංවේදියි .

    ReplyDelete
  12. ගැමි සිතුම් පැතුම් සමඟ කඳුල අතරින් ජය ගන්න වෙර දරන අහිංක පැතුම්.අනුරාධපුර පූනෑවේ රාජකාරි කර අතර තුර මගේ පියාගේ මියගොස් 15 වෙනි වසර සිහිකිරිම වෙනුවෙන් මැදවච්චි නගරයේ පිහිටි පුංචි ගම්මානයක දරුවන්ට පාසල උපකරණ ලබා දුන් අවස්ථාවේ එක් සහෝදරියකගේ නෙතට ආපු කඳුළු මට මේ කථාව කියවාගෙන යද්දි දැනුනි.අදටත් ඒ දුෂ්කරතා වලින් ඔවුන් පිඩා විඳති.හදවත දැනෙන සංවේදි කථාවක්.‍නිහතමානිත්ව,සුන්දරත්වය,මහපොළව සමඟ ජිවත් වන්නට සටන් කරන ගැමියා,මල් වගේ දරුවන්ගේ හිත් වල පිරිසිදුබව.සාර්ථක නිර්මාණයක්

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  13. රතු පාටට අකමැති ඇයි දන්නේ නෑ...මම හිතුවේ ලේ වලින් අඳිවී කියලා...පින්තුරේ කතාව කියවල නෑනෙ

    ReplyDelete
  14. මේක කියවනකොට කතාවක් කියලා හිතෙන්නේ නෑ අපි ඒ කතාවේ ඉන්නවා කියල හිතෙන තරමටම ඒ චරිත සමීපයි. හරිම සංවේදී විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
  15. ම්ම්ම්.. පින්තුරේ කතාව කියවල නම් නැ.. පොඩ්ඩක් හදිස්සියේ ලියපු ගතියක් තියනවා හැබැයි..

    ReplyDelete
  16. හරිම සංයමයකින් ලියපු කතාවක්..!

    ReplyDelete
  17. කියන්න දෙයක් නෑ ලස්සනම ලස්න කෙටිකතාවක් සැබෑලොක්යෙක් මෙවන් අපූරු දරුවන් හමුවෙනවා.

    ReplyDelete
  18. අයියගෙ කතාගැන හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ කිසිම දෙයක් කියාගන්න බැරුව ගොලු වුනා කියල විතරයි......

    ReplyDelete
  19. අසරණ කම, බලාපොරොත්තු ඇති වීම, නැති වීම හැම දෙයක්ම කැටි කරලා ලියපු තාත්වික කතාවක්.

    ReplyDelete
  20. ලස්සන කතාවක් දිනේෂ්...ගොඩක් සංවේදීයි..

    ReplyDelete
  21. කලර් ෆිල්ම් එක වගේ....

    ReplyDelete
  22. ඇත්තෙන්ම රත්ගමයා මටත් ඒකමයි හිතුනේ.... =D

    ReplyDelete
  23. ගොඩක් සංවේදී විදිහට ලියල තියෙනවා. කාලෙකින් මෙහෙම කතාවක් කියෙව්වෙ.

    ReplyDelete
  24. හ්ම්ම්...කතාව හොඳයි. ඇත්තටම මෙහෙම දේවල් සමාජේ වෙනවා ඇති අපි නොදන්නවා උනාට.

    ReplyDelete
  25. හ්ම්ම්ම්.....මම නම් මෙහෙම අවසානෙකට කැමතියි...ජීවිතේ කියන්නේ හැමදේම අපි කැමති විදිහටම වෙන දෙයක්වත් එහෙම විය යුතුමයි කියලා නියම දේකුත් නෙවෙයිනේ...ඒක එහෙමනොවෙන හින්දනේ කතාවක් චිත්‍රපටියක් ගත්තත් අවසානයේ සබාතෙමෝ සතුටින් විසිර ියහ කියලා ඉවර කරන්නේ...සැබෑ ජීවිතේදි නොලැබෙන සතුටට අපි මවන ලොකෙදිවත් ඉටුකරන්න ආසා හින්දා..එහෙම කියලාහැම කතාවම දුකකින්ම ඉවර වෙන්නත්ඕනි නෑ.කොහොම උනත් මෙහෙම හිතන්න ඉතුරු කල අවසානයට මම නම් කැමතියි...

    ReplyDelete
  26. වෙන්ඩ නෝනා නම් එහෙම කිව්වා. මට නම් මේක හොඳයි කියලා හිතුනා. මම හිතන්නෙ කෙටි කතාවකට නිශ්චිත අවසානයක් සහ හැම ප්‍රශ්ණෙකටම පිළිතුරු සැපයීමක් හැම විටම අනිවාර්‍ය නෑ කියලා. ඒ මගෙ අදහස.

    There must be something for imagination, too.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  27. හ්ම්ම්ම් හුග කාලෙකින් මේ පැත්තේ ආවේ..ලස්සනයි කතාව..

    ReplyDelete
  28. ෴සාරණ්‍යයා෴17 January 2013 at 12:17

    රතු පාට කූරෙ කතාව මීට කලින් අහලා තිබුණත් මේ වෙනස්ම කතාවක්.

    මුල පටන් ගැන්ම කසුන් ගැන විස්තර කිරීම ගොඩක් සාර්ථකව වෙනස්ව ඉදිරිපත් කරලා. මං දැක්ක මැද සමහර තැන් වලිදි ඔබ කතාව ඇදගෙන යෑමට උත්සහයක් දරලා තියෙනවා. කතාවට අදාල වුණත් එයින් රසවින්දනය බාලවීමක් දැනෙනවා. රතු පැන්සල ඉතිරි වීම ගැන ඔබ වෙනස් විදිහට හිතලා. අවසානයට මමත් කැමති. සමහරවිට ඔහු පරාද වෙන්න ඇති. සමහරවිට ඔහු ජයගන්න ඇති.

    ජීවිතය සමහර වෙලාවකද ආසම නැති පාටවලින් පාටවෙන්නෙ හිතාගන්න බැරිවිදිහට..! :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්