Wednesday, 31 October 2012

ජැස්මින්, මට උඹව අමතක උනා

ගිය අවුරුද්දේ අගෝස්තු නිවාඩුවට ලංකාවට යන අතර මග හම්බුන සොදුරු රුවැත්තිය වර්ණ මුල් කාලේ ඉදන් බලන අයටනම් මතක ඇති.. කොහොම අමතක වෙන්නද ඉතින් නේද? ඒ පෝස්ට් එකට පහුගිය කාලෙක කවුරු හරි කමෙන්ට් එකක් දාලා අහලත් තිබ්බා එයා බැන්දද කියලත්.. ඔව් ඔව් එයා ගිය අප්‍රේල් වල බැන්දා.. දැන් ඉතින් මම දන්නේ කොමද අනන් මනන් අහන්නේ නැතුව ඒක අමතක කරලා යමු අද කතාවට.. :D

සුන්දරව ලංකාවට ගියාට මොකද එද්දි නම් ඒ කිසිම සුන්දරත්වයක් තිබ්බේ නෑ.. මම එන දවසේ එයා නිවාඩු.. ඉතින් එද්දි ෆ්ලයිට් එකේ දැක්ක අය ගැනනම් කවර කතාද? එද්දි හිතට සතුටක් ආව එකම දේ තමයි ඉතින් මට ජනේලෙන් එලිය බලන් එනන් පුලුවන් තැනක සීට් එකක් හම්බුන එක.. අනික තමයි ඒ සිට් එක ප්ලේන් එකේ තටුවක් ලග නොවුන එක.. ලස්සන මූණු නැතත් ඒ ටිකම මදැයි ඉතින්.. රෑ හොද හැටි දොයියගෙන උදේ නැගිටලා ආතල් එකේ වළාකුළු දිහා බලාගෙන රෝමෙට එනකන් මම එන්න ආවා.. පැය 13ක ගමනනේ ඉතින්..

රෝමෙන් බහිද්දි දවල් වෙලා තිබුනා.. වෙලාව හරියට මතක නෑ.. ශ්‍රී ලංකන් එකේ ඇවිත් බැහැලා රෝම් වල ඉදන් කතානියා එන්න තිබ්බ ඩොමෙස්ටික්  ෆ්ලයිට් එක එනකම්  පැය එකහා මාරක විතර ට්‍රාන්සිට් එකක් තිබ්බා.. ආපහු ඉතාලි ගොඩ බැස්සා කියලා වීසා එකත් ගහගෙන ඩොමෙස්ටික් ෆ්ලයිට් එක ගහන ටර්මිනල් එක ලගට වෙලා ලග තිබ්බ බාර් එකෙන් පොඩි කෑමකුත් අරගෙන කකා හිටියා..

ඔහේ වට පිට තොරන් බල බල ඉද්දි ඈත ඉදන් ආව ඒ ලස්සන රූපේ දිහා එක පාරම කොහොම නම් නොබලා ඉන්නද? සුදු ලස්සන මගේ වයසේ  විතර වගේ පෙනුමක් තිබ්බ එයා දිහා ඉතින් දෙපාරක්ම නෙමෙයි තුන් හතර පස්  පාරක්ම විතර මම බැළුවා.. ඈත ඉදන්ම ටර්මිනල් චෙක් කර කර ඇවිත් නතර උනේ මම හිටපු ටර්මිනල් එක ලගම.. ෆ්ලයිට් එකේ වෙලාව චෙක් කරලා ඉස්සරහා තිබ්බ පුටුවක වාඩි වෙලා එයා එක්ක ආව යාළුවෝ එක්ක හොදට කඩ්ඩෙන් කතා කරද්දි දැන ගත්තා මේ ඉතාලි කෙල්ලෙක් නෙමෙයි වෙන දීපංකරේක තමයි කියලා.. හැමතිස්සෙම මූණට කඩන් වැටෙන කොණ්ඩෙත් එක්ක ලස්සන හිනාවක් තිබ්බ නිසා ඉතින් මාත් ඉදලා හිටලා නෙමෙයි නිතරම වගේ ඒ පැත්ත බල බලම හිටියලු..



ෆ්ලයිට් එකේ වෙලාවත් ආවා.. වෙලාව ගිය දැනුනෙවත් නෑ.. කොහේ දැනෙන්නද ඉතින්.. කට්ටිය හෙමීට ටිකට් චෙක් කරන පෝළිම අල්ල ගන්න දුවන්න ගත්තා.. ගේට් එක අරින්නත් කලින් ඉදන්ම කට්ටිය හිට ගෙනම පෝලිමේ.. හැබැටම නොතේරෙන එකම දේ.. පෝලිමේ ඉස්සරහ ඉන්න පොරකන්නේ මොකො පරක්කු උනොත් හිටගෙන යන්න වෙනව කියලය.. පොරකන උන්ට පොර කන්න ඇරලා මම වාඩි වෙලා හිටියා.. ඒ අතරේ ඉතින් මම ලයින් එක දාගෙන හිටිය එක්කෙනත් පොලිමට එකතු උනා.. එයා පෝලිමේ අන්තිම.. හිටපු කට්ටිය හැටියට තව පෝලිමට එකතු වෙන්න කට්ටිය නෑ.. මායි තව දෙතුන් දෙනයි වාඩි වෙලා හිටියේ.. පෝලිමේ අන්තිම ටිකට් කවුන්ටරේට කිට්ටු වෙනකන් ඉදාලා මාත් මගේ අත්බෑග් එක ඇදන් අවා කවුන්ටරේ ලගට.. පෝලිමේ මට ඉස්සරහා තව තුන් දෙනෙක්ට විතර වගේ ඉස්සරහින් එයා හිටියා..

මගේ වාරේ ඇවිත් මමත් ටිකර් එක චෙක් කරවගෙඅ ගේට්  එක ඇතුලට ගිහින් බස් එකේ ෆලයිට් එක ගිහින් නැගලා මගේ සීට් එක හොයන් වාඩි වෙනකන් මම එයාව දැක්කේ නෑ.. කොහේදි හරි මිසින්ග් උනා.. මොකද ඉතින් මමත් වැඩි උනන්දුවකින් ෆලෝ කලේ නෑනේ.. ඉතින් මිස් වෙන එක අහන්නත් දෙයක්ද නේද? :D

සීට් තුනේ පේලියේ මට එහා පැත්තේ හිටියා නාකි සුද්දෙක්..  පොඩි එකා වගේ ඌ වීදුරුවෙන් එහා බලපු විදිහයි සිසිලිය ගැන ලිය උන පොතක් අතේ තියන් හිටිය නිසයි තේරුම් ගත්තා මේකා ඉතාලි කාරයෙන් නෙමෙයි කියලා.. එහෙම හිතලා නැවතිමේ තිත තියන්න හම්බුනේ නෑ මේකා මගෙන් වෙලාව අහපි කඩ්ඩෙන්.. හරි ඒකත් වෙන දීපංකරේක.. ඒකත් කන්ෆර්ම්.. ඒ නාකියගේ සිඟිති වැඩ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා නිකමට වගේ ඉස්සරහා බලද්දි මෙච්චර වෙලා මම ලයින් එක දාගෙන හිටිය කෙනා මෙන්න එනවා ටිකට් එක අතේ තියාගෙන සීට් අංකෙත් හොය හොය..

වාඩි වෙලා ඉන්න ගමන් මම ආයෙම පොඩි ලයින් එකක් දාගෙන බලන් හිටියා එයා දිහා.. ඉස්සරහ පේලී වල සීට් බල බල ඇවිත් එක පාරම නතර උනේ මම හිටිට සීට් එක ලග.. දෙන දෙයියෝ ලගටම ගෙනත් දෙනවා කියන්නේ ඉතින් මේවටනේ.. මගේ සීට් එක ලගම සිට් එක මෙයාගේ.. මගේ හිතේ සතුට ඉතින් මම කොහොම කියන්නද?



අතේ තිබුන පොඩි බෑග් එක කැබින් එකට දාලා වහලා ලගම හිටිය මාත් එක්ක පොඩි හිනාවක් දැම්මා.. ඈත් ඉදන් හොරෙන් බල බල හිටපු ලගටම දකිද්දි හිතට දැනුන සතුට කොහොම කියන්නද? මාත් හිනා උනා.. එක ලගම වාඩි උනාට පස්සේ දැන් මොනාම හරි කතා කරන්න ඕන කියලා හිත කිවුවට නිකන් ෆිට් එකක් නෑ නෑ වගේ.. කොහෙන් කොහොම පටන් ගන්නද? සිංහලත් හරි, ඉතාලිත් හරි ඒත් මේ කඩ්ඩ.. මැඩම් එලිසබත්ට පිංසිද්ද වෙන්න කඩ්ඩ ගොඩ දාගෙන ෆාමසියේ භාෂා පරිවර්ථක උනාට මොකද බාවිතේ හොද කම නිසා ඉක්මන් වෙන්න මොකද්ද වගේ.. කතාව පටන් ගන්න තැනක් හිතා ගන්නත් බෑ..

උඩ බිම බල බල කල්පනා කර කර හිටියා.. අස්සේ ෆ්ලයිට් එක නග්ගන්න ටිකක් ලේට් වෙනවා කියලා එනවුන්ස්මන්ට් එකකුත් දුන්නා.. තව හොද හැටි වෙලාව ලැබිලත් කතා කර ගන්න බැරි හැටි.. කල්පනා කර කර ඉද්දි මගේ ඉස්සරහ සීට් එකේ හිටිය නාකි ගෑනි සීට් එක හදන්න ටිකක් පස්සට ගන්න ගිහින් බටන් එක ඔක්කොම ඔබලා සීට් එක කෙලින්ම ඇවිත් නැවතුනේ මගේ කකුලේ.. මගේ කකුලේ කාලෙක ඉදන් පොඩි ආබාදයක් තියෙන නිසා ඔහොම එකක් උනාම මට තද වෙනවා හොද එකෙන්.. මම නාකි ගෑනිට කතා කරලා මැනස් කියලා දුන්නම් ගැනී සීට් එක අකුල ගත්තා මන් දිහා රවලා බලලා.. මටත් මොකො.. මාත් කියන්න ඕන එක කියලා ආයෙම හොදට වාඩි උනා විතරයි ලස්සන කටහඩක් කන් දෙක ගාවම ඇහුනා..

“ some people don't think about others..”

මූණ දිහා බලපු ගමන් ඇස් නැවතුනේ හිනාව ලග.. එක පාරම උත්තර දෙන්න ඕන නේද කියලත් අමතක උනා..

“ yeah, for someone it's only about himself..”

“  wow, great to have someone speak english well..”

“ah, not very much good..”

කතාවක් ඇදිලා ආව වෙලේ ඉතින් මාත් දන්න කඩ්ඩෙන් අල්ලන් ගියා..

“ by the way, where are you from..”

“ Miami.. you?”

“ Sri lanka..”

“sri lanka.. i heard little things about your country..”

“ hope those are good things..”

 “yeah.. hope so.. i'm Jasmine..”

“ Dinesh, it's nice to meet you Jasmine..”

බෑ බෑ කිය කිය හිටියට මොකද මේකා ඔය හොදට කත කරලා තියෙන්නේ කියලා දැන් කස්ටිය හිතනවා ඇති.. මෙහෙමනේ කතාව පටන් ගන්න බැරුවනේ ඉතින් හිටියේ.. හරි ඉතින් දැන් ඉතුරු කතා කල දේවල් ඕන නෑනේ.. මට ඔක්කොම මතකත් නෑ ඉතින්.. කෝම හරි මෙයා මේ අවුරුද්දකට කතානියා  යුනි එකක මොනාදෝ ඉගෙන ගන්න එන ස්ටුඩන්ට් කෙනෙක්.. තාම ඉතාලි වචනයක්වත් බෑ කියලා තමයි කිවුවේ..  රෝම් ඉදන් කතානියා එන්න විනාඩි 45 යනවා ෆ්ලයිට් එක.. ඔය එන අතරේ ඉතින් එක එක දේවල් කතා කර කර ආවා.. මල් කැඩිලි ඕන නෑනේ ඉතින්.. කෝ කෝ කට්ටිය රිමෝට් එක අරන් ෆාස්ෆෝවර්ඩ් බටන් එක ඔබලා අන්තිම හරියට ගන්න.. :D

කතානියා වල ෆ්ලයිට් එක ලෑන්ඩ් කලාට පස්සේ එක්සිට් එක හොයන් ඇවිත් බැගේජ් ටිකත් අරන් ඉවර වෙලා දෙන්න සමුගන්න වෙලාව ආවා..  අහ්.. සමුගන්න වෙලාව ආවා කිවුවම කට්ටියගේ මූණු අප්සට් උනාද මන්දා.. ඉන්නකෝ ටිකක් කියනකම් ඉතුරි ටිකත්.. :D

“ well, it's time to say goodbye..”

“  yeah, anyway it's nice talking with you dinesh..”

“  yeah.. for me too.. ah, by the way you have Fb account? we can talk later..”

“sure, it's Jasmine -----  "

“ okay then.. catch you in Fb..”

“ Bye..”

“ Ciao.. it's not Miami anymore..”

බැගේජ් අතේ තියන් හිටිය හන්දා නම ලියා ගන් කොලයක් පෑනක් ගන්නවත් වෙලාවක් උනේ නෑ.. හරි ලේසි කෙටි නමනේ කියලා දෙතුන් පාරක් හිතින් කියලා මතකේ තියා ගත්තා.. ගෙදර ගිය ගමන් රික්වෙස්ට් එකක් දානවා කියලා..  මාව ගන්න අයියා එයාර්පෝට් ඇවිත් තිබ්බා.. එන ගමන් විස්තර කියව කියව ආවා.. ගෙදර එද්දි අංකල් ජොන්සන් මග බලන් ඉන්නවා.. ඉතින් අර ආගිය තොරතුරු ටිකම ආයෙම කියන ගමන්  බත් ජුන්ඩක් කාලා මහන්සියට ටිකක් දොයිය ගත්තා..

පැය දෙක තුනකින් නැගිටිද්දි අංකල් හොද තේ එකක් එහෙම හදලා  කුස්සියේ ඉදන් ආයෙම  චැට් එකකට සෙට් උනා..

දැන් තමුසේ ලංකාවේ ඉන්න ටිකේ කෙල්ලො කීයකට ලයින් දැම්මද?”

එකට හිටියත් මං ගැන සෑහෙන වැරදි අවබෝදයකනේ අංකල් ඉන්නේ .. ඒක ඉතින් උයාලටත් තේරෙනව ඇති නේ.. කෝම උනත් ඒක අහපු ගමන් මතක් උනේ ජැස්මින්ව.. බොලේ රික්වෙස්ට් එකක් දාන්න ඕන නේදදුවල ඇවිත් කම්පූටරේ ඔන් කලා.. ඔන් කරන ගමන් නම මතක් කලා..  ඔය ඉතින් කරලා තියෙන්නේ.. මට මතක ජැස්මින් කෑල්ල විතරයි.. අනිත් කෑල්ල දහ අතේ කල්පනා කර කර මතක් කලා..

මගේ ශෝට් ටයිම් මෙමරියට පිං සිද්ද වෙන්න නම අමතකයි.. දැන් ඉතින් ඔය ජැස්මින් කෑල්ල ගහලා කොහේ කියලා හොයන්නද.. දවස් දෙකක් විතර මතක් කලා මතක් කලා ඒක මතක් වෙන්නෙම නෑ.. තාමත් නෑ.. :D