Thursday, 27 September 2012

සද සිත්තමක් සේ


සද සිත්තමක් සේ ඇදී මහදේ පුරා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා...

උදේම කැම්පස් එකට දුවන් එන්නේ එකම එක දෑසක් හදවතින්ම දැක ගන්න.. හැම උදේකම ඒ   කතා කරන දෑසත් එක්ක නිහඬව ටිකක් කතා කරන එක හිතට ගේන සතුට කොයි තරම්ද කියලා දන්නේ ඈත ඉදන් ඒ දෑසත් එක්ක කතා කරන මම විතරමයි.. ලගට ලං වෙන්න ආදරේ කරන්න ඒ දෑස් ලගටම වෙලා බලාගෙන ඉන්න හැමදාටම මට ඉඩ ඇත්නම්..

" මොකො උඹ අදත් දුර ඉදන් බලාගෙන.."

" අහ්, උඹ ආවා මට දැනුනෙවත් නෑ.."

" දන්නවා.."

" එක පාරම ලගට දුවනවට වැඩිය ටික වෙලා මෙහෙම බලන් ඉදලා යන එක හිතට කියා ගන්න බැරි සතුටක් බං.."

" ඔහොම හරි කතා කරන්න බැරුව උඹ ඉස්සර බලන් හිටපු හැටි දන්නේ අපි නේ.."

ඉස්සරත් බලාපොරොත්තුවක් නැතුව ඈත ඉදන් ඒ ඇස් දිහා බලාගෙන හිටිය දවස් මතක් උනේ ඉබේම වගේ.. යාළුවෝ එක්ක කතා කරද්දි හිනාවෙන ඒ මූණ දිහා ඈත ඉදන් බලාගෙන ඉන්න මම කොච්චර ආස කලාද? ඒ මූණ දිහා බලාගෙන ඒ හිනාව ලගම ඉදන් කතා කරන්න අද කොච්චර පුළුවන් උනත් මම තාම එදා පුරුදු අරලිය ගහ යට ඉදන් ඈත බංකුවේ වාඩි වෙලා ඉන්න ඒ මුණ දිහා බලන්නේ ඇයි කියන්න මටත් තේරෙන්නේ නෑ...

ඇස් අතරේ හැංගිලා හද ගැඹුරේ නැවතිලා
ඔබෙ පහසේ රැදි ඉන්නම් මා සදා
තරු එළියක් වී නුරා සිත් අහසේ පායලා
මා ඉන්නම් ඔබේ හද පුරා සැනසිලා

ඒ ලා දුඹුරු පාට ඇස් දිහා බලාගෙන කතා කරද්දි හිත කොයි තරම් නම් නිවෙනවද? ඈත ඉදන් බලාගෙන හිටපු දෑස මාවම අඬගහද්දි නවත්තන්න බැරි උන හිත ඉබේම වගේ ඒ දිහාවට මාවත් ඇදන් ඇවිදන් යන හැටි තේරුම් ගන්න ඔයාවත් මමවත් දන්නවද මන්දා..

" මොකද ඈත ඉදන් හොරාට බලන් හිටියේ?"

" ඔයා යාළුවෝ එක්ක කතාව නිසා ටිකක් වෙලා හිටියේ.."

" අනේ මේ ඇයි ඔයා මගේ යාළුවෙක් නෙමෙයිද?"

යාළුවෙක්? මේ යාළුකම කියන බැම්මෙන් එහාට යන්න හිත කොච්චරනම් කැමතිද? ඔය ඇස් වලට ඔය හිනාවට එකම එක අයිති කාරිය වෙන්න මම කොච්චරනම් කැමතිද.. සම්ප්‍රදායට ඉස්සර වෙන්න ඕන ඔයා නිසා මේ හිත ටිකක් පස්සට යනවා.. දවසින් දවස ඔයා පරක්කු වෙද්දි ඔයාගේ හිත ගාවට දුවන් ඇවිත්  නතර වෙන්න මට ඉඩක් ලැබුනනම් කියලා නොහිතෙනවම නෙමෙයි..

" මොනවද ඒ පාර කල්පනා කරන්නේ මැට්ටී.."

" අහ් නෑ නෑ.. මුකුත් නෑ.."

මට විහිළුවක් කරලා හෙමීට හිනාවෙන ඔයා ජීවිතේම මගේ කරන් ඉන්න මම හැමදාම පෙරුම් පුරන් ඉන්න බව ඔයාට තේරෙනවනම්...

සංසාර සිහිනයේ එක් නිමේශෙක තනි වෙලා
ඉකි ගසාවි හද කඳුළැල් දෝත දරා
නෙතු පෙනෙනා මානයේ තනිකම සිතේ සිර කරන්
මා ඉන්නම් සුසුම් හද පුරා සිර කරන්..

" ගුඩ් මෝර්නින්ග් විශ්ව.."

අපි අතරට අපිටත් හොරෙන් ඈ එකතු වෙද්දි හිත මේ තරම්ම වේදනාවෙන් අඬන්නේ මට ඔයාව හිමි නෑ කියලා එකම එක මොහොතකට හිත ඇතුලටම දැනෙන නිසා.. ඔය හිනාවට ඔය ඇස් වලට මං වගේම තව කෙනෙන් උරුම කම් කියන්න මග බලන් ඉන්නකොට සත්තයි මේ හිත මහ හුඟක් අඬනවා..

" ගුඩ් මෝර්නින්ග් රශ්මි.."

මටත් වඩා උන්දුවෙන් ඒ මුණෙට ලං වෙලා හාදුවක් දීලා ලං වෙද්දි හිතට ඇයි මෙච්චරම වේදනාවක් දැනෙන්නේ.. අපි දෙන්නගෙන් කාටවත් ඔය හිනාව තාම අයිති නෑ කියලා දන්නවා උනත් දැනටමත් මට ඔය හිනාව අහිමියි කියලා හිතෙන වාරයක් ගානේ රහසේම අඬන මේ ඇස් ඔයා නොදකීවි..

" උබ අදත් මුණ එල්ල ගෙන.."

" හ්ම්ම්..."

" අදත් රශ්මිද?"

" ඇත්තටම මට විශ්ව අයිති නැද්ද? එයාගේ හිතේ අපි දෙන්නගෙන් කවුරු උන්නවා ඇත්ද?"

සද සිත්තමක් සේ මැකී නෙතු බොද වෙලා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා... 

ඒ හිත අයිති මටමයි කියලා හිතාගෙන මම තාමත් මග බලනවා.. හිත කොච්චර රිදුනත් මම මග බලනවා.. ඔය ඇස් ඔය හිනාව මටම විතරක් අයිති වෙයි.. ඒත්, මම වගේම ඇයත්  මේ වගේම හිතනවනම්..


 සද සිත්තමක් සේ ඇදී මහදේ පුරා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා... //


ඇස් අතරේ හැංගිලා හද ගැඹුරේ නැවතිලා
ඔබෙ පහසේ රැදි ඉන්නම් මා සදා
තරු එළියක් වී නුරා සිත් අහසේ පායලා
මා ඉන්නම් ඔබේ හද පුරා සැනසිලා //

 
සංසාර සිහිනයේ එක් නිමේශෙක තනි වෙලා
ඉකි ගසාවි හද කඳුළැල් දෝත දරා
නෙතු පෙනෙනා මානයේ තනිකම සිතේ සිර කරන්
මා ඉන්නම් සුසුම් හද පුරා සිර කරන්.. //


සද සිත්තමක් සේ මැකී නෙතු බොද වෙලා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා...//











විශේෂයි : සිංදුවකට කතාවක් ලිවුව පළවෙනි වතාව.. සිංදුව මට ලස්සන උනාට අනිත් අයට කෝමද නොදනී.. :)


අති විශේෂයි : පළවෙනි වතාවට කෙල්ලෙක්ගේ පැත්තෙන් හිතලා පෝස්ට් එකක් ලිවුවේ..  ඉතින් දැන් හිතපු විදිහ වැරදි කියලා මේ අක්කලා නංගිලා විශේෂයෙන් මගේ වයිෆ් මට නඩු දාන්න එපෝ.. :)






Monday, 24 September 2012

ආදරේ සුවද මට



අහස හැර යන සරා සඳ ලග
දේදුන්නක්ව පායන්න
සිහින ගෙන නිම්තෙරට
නුඹත් ඇවිත් ඉන්න..

රෑ අහසේ තරු පිපුන සඳපානේ
බොරළු ගල් අඩි පාරේ
සේපාලිකා මල් වැටුන සීතලේ
ඇවිදින්න එනවාද මාත් එක්ක..

සිත නිවන බෝ මළුවේ
සැලෙන බෝපත් අතර
සුදු නෙළුම් පොකුරකට පැන් වගේ
ගිලන් වූ හදට පිරිත් පැන් නුඹ වන්න..

සිනිදු පිනි බිංදු මත නුඹ ඉන්න
නිල්ල පත් දිගේ විත් සිඹගන්න
ආදරේ වැලිතලා මත විසිරෙන්න
සෙනෙහසේ හද කවුළු හැර දෙන්න..

විහඟ ගී ඇහෙන හිමිදිරියේ
හිරු කුමරු රහසින්ම වඩින විට
බුදු පහන ලග නැගෙන සුවද වගේමයි
නුඹ දුන්න ආදරේ සුවද මට..


______ මදාරා උමගිලිය _____


ආදරේ කියන අකුරු හතර අතරේ කොච්චර තේරුමක් හංගිලා තියෙනවද? අවුරුදු ගානක් පාළුවට ගිහින් තිබ්බ හිතට ඇත්තටම තනිකම හුරු වෙලා තිබුනේ.. ඒත්, අහම්බෙන් වගේ ඔයා ඇවිත් කොච්චර නම් දේවල් වෙනස් කරල ගියාද? ඔයා ඔය ගොඩක් ලස්සනයි කියන, ඔයා ඇරෙන්න වෙන කවුරුවත්ම දැකල නැති හිනාව මට ඇත්තටම අරන් ආවේ ඔයා.. 

ජීවිතේ ලස්සනයි ඇත්තටම.. දවස තිස්සේ කොච්චර කතා බහ කලත් හැමදම රෑට දිගම දිග මැසේජ් එක්ක ලිවුවත් මේ කියන්න තියෙන දේවල් තාමත් අසම්පුර්ණයි කියලා හිත්ට දැනෙනවා.. ඒ දේවල් මෙහෙම හරි ලියලා තියන්න ඕන කියලා හිතුවත් මේ අකීකරු සිතුවිළි හරි හැටි තාමත් මට ලියා ගන්න  බැරි හැටි..

ජීවිතේ එක ලස්සන හීනයක් මම බොහොම කාලෙකට පස්සේ දකිනවා.. ඒ ඔයා එක්ක...



සඳ කුමරිට අත වනාගෙන
දේදුන්නක පාට අරගෙන
ලස්සන හීනෙක කතාවක්
අරන් එන්නම් නුඹ ලගටම..

පින්න මතින් මල් වැටුන
සේපාලිකා මල් සුවදක
හෙමීට නුඹත් එක්ක ඇවිදින්න
මම ඉන්නම් මග බලාගෙන..

රිදුන, දුක් උන හිතකට
තවරා ආදරය හෙමිහිට
සතපන්නම් මගේ හිත මතම
ආදරෙන් ආයෙම හිනැහෙන්න..

නවතින්න ආදරෙන් හැමදාම
විවර කල ආදරේ හිතක
නුඹ නවතින්න හැමදාටම
දොරගුළු වසාගෙන හෙමිහිට..

නුඹට ආදරේ හිමිදිරියක
පායා විත් නුඹ ලගටම
හිරු කුමරුව ඔය ආදරේට
සුවද වෙන්නම් ඔය හිතට..

රැදෙන්නම් ඔය හිත ලගම
 තවරා හිරු කිරන ආදරෙන් හිතට
සැගවෙන්නම් මොහොතකට ඈත
මම ආදරේ සඳවතිය දැක ගන්න..

පායා විත් නුඹ මගේ රෑ අහසට
හිනැහෙන්න සඳවතිය හෙමිහිට
තරු අතර රැදී එළියක්ව
ආදරේ අරන් එන්න හීතල සුළගක..


_____ දිනේෂ් උමගිලිය ____





Thursday, 20 September 2012

ගැට කපන්නා ( කෙටි කතාව )

කොටුව බෝධිය ලග ගල් බැම්මේ වාඩි වෙලා ඒ මේ අත ඇවිදන් යන මිනිස්සු දිහා බොහෝම උවමනාවෙන් බලාගෙන හිටියේ ටිකක් විතර සල්ලි කාරයෙක් ඇවිදන් යනවා ඇහැට නතු කරගන්න හිතාගෙන..

" මොකද බං ඔච්චර ඕන කමින් බලං ඉන්නේ.. කාගේ හරි එකක් උස්සන්නේ නැතුව.."

" එහෙම බෑ බං.. සීයේ දෙසියේ කෑලි වලින් වැඩක් නෑ.. දුවනවටත් ණයයි.."

" උඹ එහෙනම් ඔහොම බල බල ඉදපං.. මම යනවා සෙනග අස්සට.."

දෑත් පිරිමදිමින් කොටුවේ මංතීරු අතර ඇවිදින මිනිසුන් අතරට ගිය කළුවා දිහා මොහොතක් බලාගෙන ඉදලා ආයෙම මිනිස්සු දිහා බැළුවේ කළුවා වගේම දවසේ අන්තිමේ හොයන්න ඕන ගානක් මටත් නියම වෙලා තිබ්බ නිසා.. 

සාමාන්‍ය විදිහට ඇද පැලද ගත්ත මිනිස්සු ගොඩක් අතරේ සල්ලි තියෙයි කියලා හිතෙන මිනිහෙක් හොයන එක දැන් දැන් අමාරු වැඩක් වෙලා.. බලන් ඉදලා බලන් ඉදලා කාටත් නොපෙනෙන්න හොරා ගන්න පසුම්බියේ දාහක් වත් නැති වෙද්දි හිතෙන්නේ අපිටත් වඩා පාරේ යන මිනිස්සු දුප්පත්ද කියලා.. වෙලාවකට ඔවුන් ගැන දුකක් හිතුනත් දැන් මේකට අපි පුරුදු වෙලා..

ගොඩක් වෙලා බලන් ඉද්දි ඈතින් ඇවිදන් ආපු එක මහත්තයෙක් පේමන්ට් එකේ වයසක අංකල් කෙනෙක්ගෙන් මොනාදෝ අරන් දාහේ කොලයක් දික් කරලා මගේ ලග මාරු නෑ කියලා හයියෙන් කිවුවේ අද දවසේ මගේ පළවෙනි මහන්සිය ලග ලගම කියන්න වගේ..

වාඩි වෙලා හිටිය ගල් බැම්මෙන් නැගිටලා ඒ මහත්තයා හිටිය තැනට හෙමින් ලං වෙලා ඔහුත් එක්කම අඩි කීපයක් ඔහුටත් නොදැනෙන්නම ඇවිදන් ඇවිත් හෙමිට අත දාලා පසුම්බිය මගේ කරගෙන අනිත් පැත්ත හැරිලා එද්දිත් ඔහුට ඒක දැනුනේ නෑ.. මගේ වාසනාව.. මම තනියම හිතුවා..

..............................................


" සුගා.. මොකෝ බං කරන්නේ.. වරෙන් යන්න සෙට් වෙන්න.."

ලෑලි ගෙවල් පේලි අතරින් අඳුරු පාටට ගලාගෙන ගිය පටු ඇල තීරය දිහා බලාගෙන කල්පනා කරමින් ඉද්දි පිටටත් පාරක් ගහගෙනම  කළුවා කතාවට වැටුන එක ඒ වෙලාවේ දැනුනේ මහා හිසරදයක් විදිහට..

" අද මට බෑ.. උඹ පලයං.."

" අද ලොකු මහත්තයත් එන දවස.. උඹ බෑ කියලා කොහොමද?"

" ඒ හන්දම තමයි එන්න බෑ කියන්නේ.."

" උඹ ආයෙම ප්‍රශ්ණයක් දා ගන්නද හදන්නේ?"

" ප්‍රශ්ණයක් වෙනවනම් උන දෙන්.."

" උඹට පිස්සු.. මට බෑ උඹත් එක්ක ඉදලා මේවට නිකන් පැටලෙන්න.. මම යනවා.. උඹ එනවනම් වරෙන්.."

ඇල අද්දරින් වැටිලා තිබ්බ පොඩි අඩි පාර දිගේ තමම්ට හුරු රස්තියාදු ගමනින් ඇවිදන් ගිය කළුවා දිහා මොහොතක් බලන් ඉදලා ආයෙම ඈත කෙලවර බලද්දි බන්ට් එක දිගේ ඇවිදන් එන කාන්තිව දැක්කම හිතේ තිබ්බ නොසන් සුන් කම නැති වෙලා ගියේ ඉබේටම වගේ..

" ඔයා ගොඩක් වෙලාද ඇවිත්?"

" නෑ දැන් ටිකක් වෙලා.."

" ගාමන්ට් එකෙන් එන්න ටිකක් පරක්කු උනා සුගත්.."

" හරි ළමයෝ.. ඒකට කමක් නෑ.."

" ඔයා මොකක් හරි හිතේ කරදරේකද සුගත්?"

" නෑ කාන්ති.."

" නැති වෙන්න බෑ.. ඔයාගේ මුණෙන් ඒක පේනවා.. කියන්න මට.."

හිතේ කොච්චර දේවල් තිබ්බත් ඒක කවදාවත්තම කාන්තිගෙන් හංගන් ඉන්න මට බැරි ඇයි? එයාට හොදට මගේ හිත කියවන්න පුළුවන්.. ඒත් මේ දේ එයා එක්ක කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බෑ..

" ඇයි සුගත්.."

ඒ ආදරණිය හඬ ලග තවත් නිහඬව ඉන්න බැරි තරම්.. නිරායාසයෙන්ම ඇයත් එක්ක හිතේ තියෙන දේ හැමදෙයක්ම වගේ කියවෙන්නේ ඒ ආදරේ ලොකු බැදීම නිසා..

" අද ලොකු මහත්තයා ඇවිත්.. මාව හොයනවා.."

" ඉතින් ඔයා ගියාද?"

" නෑ.."

" ආයෙම ප්‍රශ්ණයක් ඇතිවෙයිද?"

" මට ඕන මේ ජීවිතෙන් මිදෙන්න.. මේක අපායක්.."

"  මේක ආපාහු හැරෙන එක අමාරු පාරක් සුගත්.."

මගෙන්  ටිකක් ඈතට වෙලා ඈත බලාගෙන එහෙම කියපු ඈ දිහා මම බැළුවේ පුදුමෙකින් නෙමෙයි.. කාන්ති මේ කතාව කී දවසක් නම් කියන්න ඇත්ද? මම තනියම කල්පනා කලා..

" දන්නවද සුගත්, අපේ ජිවිත අතරින් ගලාගෙන යන මේ කුණු ඇලෙන් ලොකු දුඟදක් එනවා කියලා ඔයා දන්නවද? අපිට ඒක දැනෙන්නේ නෑ.. ඒ අපි ඒකට හුරු වෙලා නිසා.. ඒත් පිට කෙනෙක්ට මේක හොදට දැනෙනවා.. ඒ වගේ තමයි ඔයාගේ ජීවිතෙත්.. මේ කාටත් ඔයා සාමාන්‍ය කෙනෙක්.. ඒත් ඔයා මෙතනින් පිටතට ගියාම මේ ගති ඔයාටත් වඩා අනිත් අයට දැනේවි.. එදාට ඔයාට මට ජීවත් වෙන්න අමාරු වේවි.. තැනකින් පැනලා යනවට වඩා ඕන කරන්නේ ඒ දේ හදා ගන්න එක.. පුළුවන්නම් ඒක කරන්න බලන්න.."

මට වඩා හොදට ඉගෙන ගත්තු ඇගේ අදහස් ලග හැමදාම වගේ අන්තිමේ මම නිරුත්තරයි.. කාන්තිට මට වඩා හොද සම්බණ්දයක් ඇති කර ගෙන ලස්සනට ඉන්න තිබ්බා..

" මම යනවා සුගත්.. පරක්කු උනා.."

බන්ට් එක දිගේ පාරෙන් පැනලා ඈතට යන කන්ති දිහා බලාගෙන කල්පනා කලේ යමින් ගමන් එයා කියලා ගිය දේවල් ගැන..


..............................................


" පුතා තාත්තව බලන්න ඉස්පිරිතාලේ යන්නේ කවද්ද?"

" යන්න ඕන අම්මේ.. ඒත් තාත්තව බලන්න යන්න තරම් හිතේ හයියක් මට දැන් නෑ.."

" එහෙම කියන්න එපා පුතේ.. උඹ උන්දැව දැන් හය මාසෙකින් විතර ගිහින් බැලුවේ නෑ මයෙ හිතේ.."

" තාත්තට මේ දේ උනේ මම නිසා අම්මේ.. එදාට වඩා  ඒ දේ බරපතල කම දැනෙන්නේ අද.. ඒත්,,"

ඉස්කෝලේ හැම පොඩි එකෙක්ටම අකුරු කියලා දීලා උන්ට හොද නරක කියලා දෙන්න ගොඩක් මහන්සි උන තාත්තට ඇත්තටම මාව මග ඇරුනේ කොතනකදිද කියන්න තාත්තවත් මමවත් හරියට දන්නේ නෑ.. ඉස්කෝලෙන් කට්ටි පැනලා සිකරට් එකක් බොන්න සල්ලි නැති වෙන කොට ඉස්කෝලෙම ලොකු සර්ගේ පර්ස් එක හොරෙන්  අර ගත්තේ  අදුරුම ගමනක මුල් අඩිය විදිහට කියලා එදා නොතේරුන හැටි..

" හැමෝටම හොද නරක කියලා දුන්න මට උඹව හදා ගන්න බැරි උනා.."

පියවි සිහියෙන් තාත්තා ඒ කියපු අන්තිම වචන ටික තාමත් ගෙදර මේ බිත්ති අතරේ ඇහෙනවා වගේ.. වරදකරු මමය කියන සිතුවිල්ලත් එක්ක මදුවිතින් මත් උන රැයන් කීයක් නම් ඒ මතකය අමතක කරන්න දගලන්න ඇත්ද? ඒත්..

" මොනාද පුතේ උඹ කල්පනා කරන්නේ.. මම ලොකු අම්ම එක්ක කතා කලා.. උන්දෑ කිවුවා උඹව එහේ එවන්න කියලා.."

" මම යන තැනක යන්නේ කාන්ති එක්ක.."

" එහෙමනම් උඹට කවදාවත් මේකෙන් යන්න වෙන්නේ නෑ.. ඒ කෙල්ල හොද උනත් මහ උන් උඹට කවදාවත් ඒකිව දෙන්නේ නෑ.. ඒක මම උඹට කියන්න ඕන නෑනේ.."

හැම අතකින්ම බැදුන බැදීම් ජීවිතේ හැම පැත්තකින්ම හිර කරනවා.. එක් පැත්තකටවත් යන්න බැරි විදිහට.. ගන්න තීරණේ තමන් වෙනුවෙත් උනත් ඒක ගන්න කලින් කී දෙනෙක් ගැන හිතන්නද..

" සුගා ලොකු මහත්තයා යක්ශයා වගේ උඹව හොයනවා.."

" කළුවා.. මොකො බං මේ?"

" මම උඹට ඊයේ එන්න කිවුව වෙලේ එන්න ඕන.. එහෙම උනානම් මේ ප්‍රශ්ණ මුකුත් නෑ."

" දැන් මොකද්ද උනේ කියහං.."

" උඹ ලොකු මහත්තයා ආව හැම වෙලේම මග ඇරියා කියලා උන්දැට අපේ එක එක කේලම් කියලා.. දැන් ඉන්නේ යක්ශයා ආවේශ කරන්.. උඹ ආවේ නැතත් හරි.. ඇයි උන්දැගේ සම්තින් එක එවුවේ නැත්තේ.. දන්නවනේ ඒක නැති උනාම.."

" ජීවිතේ අසරණ උන නිසා වැරදි පාරකට වැටුනා.. ඒ වැරදි පාරේ කෙලවරක ඉදන් සුදු ඇද ගත්ත මිනිස්සු උන්ගේ ඕන එපාකම් ඉශ්ඨ කර ගනිද්දි ඒකට කොහොම උනත් කට වහන් ඉන්න බෑ.."

" මට උඹ කියන දේවල් තේරෙන්නේ නෑ බං.. උඹ දැන්ම පුළුවන්නම් කොහාට හරි පලයං.."

" අනේ ඔවු පුතේ.. උඹ දැම්ම ලොකු අම්මලගේ දිහා යන්න ලෑස්ති වෙයන්.."

කාටත් හොරා පැනලා යන එක හැමදාම ජීවිතේ එක දෙයක් උනත් හැමදාම හැම දේකින්ම පැනලා යන්න බැරි දවසක් එනවා.. අදත් එහෙම දවසක් නම්..

" උඹ ඔහොම හිටහං මම කාන්ති හම්බුවෙලා එන්නම් ඉක්මනට.."

ලී ගෙවල් පේලි අතරින් ඇවිදන් යද්දි ඇයව මතක් උනාම තව එකම එක වතාවක් හරි ඇයත් එක්ක කතා නොකර යන්න හිත දුන්නේ  මේ අන්තිම මොහොත වෙයිද කියන හිතේ සැකය හින්දම..

" උඹට පිස්සුද බං.."

" පොඩ්ඩක් හිටහන්.."

ලෑලි බිත්ති අතර පටු තිර වලින් මෑත් වෙමින් හදිස්සියේ දුවන් ආපු ගමනට නොහිතපු විදිහට නැවතිමක් ලැබුනේ හැමදාම දුවලා ගිහින් හංගෙන්න හිතපු ජීවිතේ නරකම කොටසක් දෑස් ඉස්සරහම මැවුන නිසා..

ආයෙම ආපහු හැරීමක් නෑ.. දැන් ඒකට කාලයත් නෙමෙයි.. ජීවිතේ එක තැනක් වැරදුනා.. හදා ගන්න බැරි විදිහට.. මේ ඒකට ලැබෙන ලොකුම  දඬුවම නම්...





නිමි..


Monday, 17 September 2012

හොදම හතුරා ( ඉස්කෝලේ කතා 10 )

අනුන්ගේ කෙල්ලන්ට ලවු ලෙටර් දෙන්න යන්න ගිහින් මාටු වෙලා, හොරෙන් පාර්ක් ගිහින් මාට්ටු වෙලා පටන් ගත්තු අපේ A/L කාලයේ මුල ටිකේ තරම් අපි සතුටු වෙලා නැතුව ඇති කවදාවත්ම.. විභාගේ ඉවර වෙනකම්ම පිස්සු වැඩ කලා උනත් මගේ පැත්තෙන් ගනිද්දි මම ඒ තරම්ම සතුටු උන ලස්සනම කාලයක් උනාද කියන එකනම් අදටත් මට ප්‍රශ්ණයක්.. කොහොම උනත් කතාව දිගටම දිගහැරෙනවා.

"මචං ඇත්තද අරූ A/L වලට අපේ ඉස්කෝලෙට එනවා කියන්නේ?"

" ‍ඌට පිස්සුද බං.. එච්චර හොද එකක් දාල මේකට එන්න?"

" අපි නොදන්නවා උනාට මොකක් හරි කේස් එකක් තියෙනවා.. ඒකනේ ඌ මේකට ආයෙම එන්නේ.. අනික දැන් ඌට විභාගේ ලියන්න වෙන්නේ අවුරුද්දක් පහු වෙලත්.."

දවස් ගානක් ඉදන් අපේ පන්තියේ කතාව තිබුනේ මේ දේ ගැන.. අපේ ඉස්කෝලේ කලින් ඉද්දිටත් වඩා ගමේ උන්  උනත් ඌට දාල තිබ්බ නම " කපුටා"..  කපුටා අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.. O/L හොදට පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා.. ගිහින් අවුරුද්දකින් තමයි ආයෙම මේ එන බව අපිට ආරංච් උනේ.. ඒ ඇයි කියන්නනම් කවුරුවත් දැනන් හිටියේ නෑ.. කෝම උනත් වැඩි කල් නොගිහින් කපුටා අපේ ඉස්කෝලෙට ආයෙම ආවා.. අපේ පන්තියටම..

කපුටා කියන්නේ අබිලිං වගේ ඩයල් එකක්.. අපේ සෙට් එකේ කාටවත් කපුටව දිරෙවුවේ නෑ.. කෙල්ලන්ට උනත්.. කොටින්ම කියනවනම් හෙනම ඇනයක් උනා.. ලොකුම ඇනේ උනේ මට.. මොකද මගේ කරුමෙට කපුටා වැටුනේ මගේ ලගට.. අපි කෙල්ලො එක්ක කවලමේ හිතුන හිතුන තැන් වල ඉන්න නිසා ඒක එච්චරම අවුලක් නොවුනත් වැඩි හරියක් කපුටව සෙට් උනේ මට..

අපේ ක්ලාස් එක තිබ්බ තැනම එහා පැත්තේ තමයි ඉස්කෝලේ බුදු මැදුර තිබුනේ.. පන්තියේ ජනේලෙන් කෙලින් පේන්නේ බුදුමැදුර.. ඔය බුදු මැදුර අස් කරන වැඩ වලට එතකොට වතාවත් කරන ඒවා ගැන බලන්න ශිෂ්‍ය නායිකාවෝ දෙන්නෙක් දාලා හිටියා.. දෙන්නම O/L පන්තියේ.. එතකොට මට බාර වෙලා තිබ්බෙත් O/L පන්තිය කියල ඉතින් කට්ටියට මතක ඇතිනේ.. :)

ඉතින් ඔය නංගිලා දෙන්නගෙන් එක්කෙන්ක් ගොඩක් ලස්සනයි.. බුදුමැදුර ලගට නිතරම එද්දි යද්දි ජනේලෙන් ඒ දිහා බලන් හිටපු කපුටගේ හිත මේ නංගිට ඇදිලා ගිය එක ඉතින් වලක්වන්න බැරි උනා.. කපුටා කියන්නේ රියල්ම ඩයල් එකක්.. කපුටා කලිසම ඇන්දේ ඉනටත් උඩින්.. අපි වගේ නෙමෙයි.. මට කලිසම උස්ස ගන්න කියලා ලොක්කා කී පරක් වෝර්නින්ග් දුන්නද.. කපුටා ශර්ට් එක ඇදලා ගාන්ට යට කලා.. එහෙන් මෙහෙන් රැලි තිබ්බේ නෑ.. හැබැයි ඉතින් ඒ වගේම තමයි.. අපිට වඩා බ්‍රයිට්.. :)

ඉතින් මේ කපුටා ජනෙල්න් එබි කම් කර කර අර නංගිට ලයින් දාන්න ගත්තා.. දවසක් හිමිදිරි උදේ 8.30 වගේ මම පන්තියට එද්දි කපුටා ජනේලේ ලග මගේ සුන්දර ප්ලේස් එක අල්ල ගෙන..

" උඹ හිතුවද මම අද එන්නේ නෑ කියලා.. එහාට වෙයන්.."

" ඒ අසා.. මට මෙතන දියන්කෝ.."

" මේ මඟුලක් කතා නොකර අයින්ට වෙයන්.."

පන්තියේ අයිනේ ජනේලයක් ලග ප්ලේස් එකක සුන්දරත්වය වටිනකම එතන හිටිය අය දන්නවා ඇති.. ඉතින් එහෙම තැනක් කවුද දෙන්න කැමති.."

" නෑ බං අසා.. මම කියන දේ අහපංකෝ.."

" මේ කියන රෙද්දක් උඹේ තැනින් වාඩි වෙලා කියහං.."

ආපරාදේ කියන්න බෑ කපුටා ඒ පාර පොත් ටිකත් අරන් අයින් වෙලා මගේ ලග අනිත් පුටුවට ගියා.. මාත් වාඩිවෙලා බිත්තියට හේත්තුවක් දාගෙන උගේ පැත්තට හැරුනා..

" ඉතින් කියපං.."

" අසා.. උඹ දන්නවද අර බුදු මැදුර ලගට එන කෙල්ල.."

" මොන?"

" අර උඹේ පන්තියේ ශිෂ්‍ය නායිකාව.."

" අහ්.. මොකො මම නොදන්නේ.. ඉතින්?"

" උඹ දන්න තරමින් එයාට කොල්ලෙක් ඉන්නවද?"

" නෑ.. කොල්ලෙක් නෑ.. ඇයි?"

" මම ඒ නංගිට කැමති අසා.. උඹට පුළුවන්ද ටිකක් කතා කරලා බලන්න.. අපේ අනිත් උන්ට කලා වගේ.."

ආයෙම කපුකමක්.. මම ඉතින් ඔහොම ඒව බෑ කියනවද? ලවු වලට උදවු කලේ පොඩි එකා කාලේ ඉදන් වෙච්ච කොට..

" අහ්.. හරි මම වචනේ දාන්නම්.. උඹට ලියන්න දෙයක් තියෙනවනම් ලියලා දියන්.. මම හෙට කතා කරන්නම්.."

" අසා.. මට පුළුවන්නම් උඹ වාඩි වෙලා ඉන්න තැන දියන්..."

" මොන %//%$$"

මෙතන වාඩි උනාම බුදු මැදුර විතරක් නෙමෙයි.. ඒ ලගම තියෙන 10 වසරයි.. ඊට එහායින් තියෙන 9 වසරයි හොදට පේනවා.. බුදු මැදුර දිහා නොබැලූවට ඒ ලග බලන්න කොච්චර දේවල් තියෙනවද? එහෙම තැනක මුට දෙන්න..

" නෑ මචං.. නංගි ආවම මට ඔතන්ට හොදට පේනවා.. උඹ ඉතින් කෝමත් වැඩි හරියක් පන්තියෙත් නෑනේ.."

ඒක ඇත්ත.. මම පන්තියට එන්නේ ECON  තියෙන වෙලාවට විතරයි.. දැන් මෙයාලා හිතයි ඒක මගේ ආසම සබ්ජෙක්ට් එක කියලා.. වැරදියිනේ..  ECON උගන්නන්නේ ශිෂ්‍ය නායකයෝ බාර ටිචර් කෙනෙක්.. ඉතින් අනිත් අයට ප්‍රිෆෙක්ට් බොඩ් එකෙ වැඩ කියලා කට් කලාට මේක කට් කරන්නේ කෝමද.. ඉතින් ඒකට පන්තියේ.. කොච්චර අකමැති උනත්..

" හා හැබැයි මට ECON එකේ මෙතන දියන්.."

" හරි මචං.. තෑන්ක්ස් බං.."

කපුටා කිවුව විදිහට පහුවදා තඩි ලියුමක් ගෙනත් අතේ තිබ්බා.. මගේ හිතේ මම ඩිලිවරි කරපු බරම ලියුම ඒක.. සාක්කුවට දැම්ම සාක්කුවත් පිම්බිලා.. ඒක මේ හොරෙන් දෙන්න පුලුවන් ටයිප් එකේ එකක් නම් නෙමෙයි..  කෝම හරි උදේ පාන්දරම අදාල නංගිව අල්ල ගත්තා පන්තියෙදි..

" ගුඩ් මොර්නිග් අසන්ත අයියේ.."

" ගුඩ් මොන්නින්ග් නංගි.. ඩියුටි යන්නේ නැද්ද?"

" මේ යන්න හදන්නේ අයියේ.."

" අහ් අනිත් කෙනා ඉන්නවනේ.. ඔයා ටිකක් ඉන්න.. මට කතා කරන්න ඕන.."

" හරි අයියේ.."

මම ඉතින් මම ආපු මංගල කාරණාව මුල ඉදන් අග වෙනකම් සරළව පැහැදිළි කලා.. කරලා ඉවර වෙලා සාක්කුව පිම්බෙන්න දා ගෙන හිටිය තඩි ලියුමත් දුන්නා..

" කවුද අසන්ත අයියේ ඔය කියන කෙනා?"

සංතෝසේ බෑ.. නම කිවුවට දන්නේ නෑ.. දැන් ඉතින් මොකෝ අර මම කලින් කියපු පෙනුම කියලා කියන්නද අහවලා කියලා.. ඉතින් කෝම හරි ඉස්කෝලෙට අළුතින් ආව එක්කෙනා කියලා යන්තම් තේරුම් කරලා දුන්නා.. ටිකක් වෙලා ටියුබ් ලයිට් වගේ ඉදලා නංගිත් පරක්කු වෙනවා කියලා ගියා.. කොච්චර තේරුම් ගත්තද කියලනම් ඉතින් නොදනි.. පන්තියට යද්දි කපුටත් බලන් ඉන්නවා.. මමත් ඉතින් දුන්නා කියලා උගේ හිත සනසලා මගේ ප්ලේස් එකත් ඌට දිලා ටික වෙලාවක් පන්තියේ වාඩි වෙලා හිටියා..

වෙලාව ගිහින් ඉන්ටර්වල් එකත් ආවා.. කෙල්ලන්ගේ බත් එක කාලා කැන්ටිමටත් ගිහින් ආයෙම කකා ඉද්දි නංගී ආවා මාව හොයාගෙන..

" අසන්ත අයියේ, පොඩ්ඩක් කතා කරන්න ඕන.."

" කියන්න නංගී.."

" මෙහෙම බෑ.. අපිට 6 පිරියඩ් එක අද ෆ්‍රී.. ටීචර් ඇවිත් නෑ.. මම ලයිබ්‍රී එකට යන්න අයියත් එනවද ෆ්‍රී නම්?"

දැන් ඉතින් අපිට 6 මොනා තියෙනවද කියලා කාටද මතක.. මොනා උනත් කමක් නෑ ටිකකට හරි පනිනවා කියලා හිතුවා..

" අහ් හරි මම එන්නම්.." 

" හරි අයියේ මම බලං ඉන්නවා.. අර අයියට කියන්න එපා හැබැයි.."

" අහ්.. හා.."

කපුටටත් නොකියා මට තනියම ලයිබ්‍රී එකට මොකට එන්න කිවුවද මන්දා කියලා මාත් හිත හිත ඉදලා ගාන්ට වෙලාවට පන්තියෙන් පැන්නා.. හොද වෙලාවට තිබ්බේ ECON නෙමෙයි.. මම යද්දිත් නංගි ඇවිත්..

" මොකද්ද නංගී කියන්න ඕන කිවුවේ?" 

" අයියා මේක කියවලා බලන්නකෝ.."

උදේ මම ඩිලිවරි කරපු තඩි ලියුම නංගි ආයෙම මටම දෙනවා.. අපරාදේ කියන්න බෑ.. ෆුල්ස්කැප් කොල දෙකක් පුරෝලා අකුරු වලින්.. දැක්කම මට නිකන් කරකැවිල්ල වගේ..

" මේ මම මේක කියවන එක හරි නෑ.."

හරි නැතුවටත් වඩා මට අර සංදේශය කියවන්න කම්මැලි.. :)

" අනේ එහෙම දෙයක් නෑ අයියේ.."

" කමක් නෑ නංගී.. මේකේ තියෙන එක මට කෙටියෙන් කියන්නකෝ.. ඒ ඇති.."

කොම උනත් ලස්සන පෙම් හසුනක සාරාංශයක් නංගී මාත් එක්ක කිවුවා.. කෝම උනත් ලස්සන අදහස්.. මම කල්පනා කලේ මම එකක් ලියද්දි උගෙන් අයිඩියා එකක් ගන්න ඕන කියලා.."

" ඉතින් නංගී.. ඔය මොකද ඒකට කියන්නේ.."

" මම කැමති නෑ අයියේ.. ඔයා විස්තර කිවුවමයි මම එයා කවුද කියලත් බැළුවේ.. තව ටික කාලයයි විභාගෙට තියෙන්නෙත්.. මට ඒක ගැන හිතන්න ඕන.. අයියා එයාට කියන්න තරහා වෙන්න එපා කියලා.."

" හොදටම ශුවර්ද?"

" ඔව් අයියේ.."

" හරි මම කියන්නම්.. ඇත්තටම මේ වෙන කවුරුවත් ඉදලා නෙමෙයි නේ බෑ කිවුවේ.."

" අනේ නෑ අයියේ.."

කෝම හරි ටක් ගලා ඉවර කරලා එන්න ගිය කතාව ඒ පිරියඩ් එක ඉවර වෙනකම්ම ගියා.. එවුවා ඉතින් කතාවට අදාල නෑනේ.. ඉතින් ඒවා කපා හැරියලු හොදේ.. :)

ඒ කතාව ඉවර වෙල පන්තියට ඇවිත් කපුටා එක්ක විස්තරේ කිවුවා.. උගේ අප්සට් ගිය මූණ දැකලා මටත් අප්සට් නොගියම නෙමෙයි.. එක පාරම ඉතින් ට්‍රයි එක අත අරින්නේ නැති නිසා කපුටා ඊට පස්සෙත් ජනේලේ ලගට වෙලා ලයින් එක දාගෙන හිටියා.. දෙතුන් පාරක්ම නංගී එක්ක කෙලින්ම අහලා තිබ්බා.. ඒ හැම වෙලේම එකම උත්තරේ.. කෝම හරි මේ ප්‍රශ්ණ අතරේ නංගී මාත් එක්ක ගොඩක් ෆිට් උනා..  අන්න ඒක තමයි උන එකම අවුල.. 

ඒ වෙද්දි කපුට ලයින් එක දාගෙන මාස 2 විතර පස්සෙන් ගිහින්.. කොච්චර බෑ කිවුවත් කපුටා ගේම අත ඇරියෙත් නෑ.. හැබැයි ටිකින් ටික කපුටගෙ පොඩි වෙනසක් පෙනුනා.. කපුටා මාත් එක්ක කතා කලේ නෑ හරියට.. කිවුවෙත් සමහර දේවල් මාත් එක්ක වලියට වගේ.. දවසක් හැම දේකම සීමාව පැනලා ගියා..

" නිකන් බලු වැඩ කරන්න එපා බං.. මම කැමති බව දැන දැනම උඹ එයත් එක්ක යාළු උනේ.."

" උඹට පිස්සුද කපුටෝ..ඒක මේ නිකන් ෆිට් එකට කරන කතාවක් විතරයි.."

" උඹ කොච්චර නෑ කිවුවත් මම ඒක දන්නවා.. උඹ මගේ වැඩේ නොකර උඹ නංගී එක්ක යාළු උනා.."

" මොන $%&&$ දැන් මම උබට නෑ කියලා කොමද කියන්න ඕන කියහං.."

එවෙලේ ටිකක් එහ මෙහා උන වචනත් එක්ක ඒක රණ්ඩුවක් වෙනකම්ම ඇදිලා ගියා.. අපේ අනිත් උන් අපි දෙන්නව දෙපැත්තකට නොකරන්න එදා ඉහල උසාවි යන්නම වෙනවා..

" උඹ මං ගැන දන්නේ නෑ අසා.."

කිවුවත් වගේම පන්තියේ අනිත් උන් ගැන දන්න තරම්වත් මම කපුටා ගැන දැනන් හිටියේ නෑ.. ඒත් කපුටට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා මම දැනන් හිටියා.. කෝම උනත් කපුටා මට සෑහෙන වෛර කලා.. එක ලග වාඩි වෙලා හිටියත් මව මරාගෙන කන්න තරම් තරහක් කපුටගේ තිබ්බා.. එදයින් පස්සේ මට පෙරළපු තරමක් බාල්දි පෙරළුවේ කපුටා.. ඒවා ඊළගට.. :)



Thursday, 13 September 2012

මතකය..


සෙනෙහසේ උණුසුම විදින්නට
අවසර නැති මගෙ හිතට
කිමද ලං උනේ නුඹ
උතුරා යන ආදරයක් අරගෙන..

දුකම පමණක් ඉතිරි කර
වෙන්ව යන බව දැන දැනම
කිමද ආදරේ කලේ නුඹ
මෙතරම්ම මා වෙත..

බැහැ නික්ම යන්නට
සිතූ ලෙස මා පෙර දිනක
නුඹේ කඳුළු නෙතග
නවතාවි මා හෙට..

දිනක හුදෙකලා වේවි නුඹ
මගේ මතක ලොව තුලම
කියනු බැහැ නුඹට
නොගිලෙන්න මගේ මතක ලොව..

ඇගිලි තුඩු මානයක මරණය
පෙනි පෙනි මගෙ දෑස් අද්දර
නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
හිතේ ආදරේ වැඩි හින්දම..

හඩන්න එපා නුඹ මා නැති දිනයක
වාවනු බැහැ මට නුඹෙ කඳුළු දුටුවම
පොරොන්දුවක් වෙන්න මා මියෙන්න පෙරාතුව
හිනැහෙන බව නුඹ මා හිනැහූ ලෙසම..

/ පූජා නයෝමි සෙනවිරත්න /


" ආදරණීය අසංග,

                        ඉස්සර මම උදේට පායන හිරු දැක්කම ගොඩක් දුක් උනා.. ඒ දවසින් දවස මගේ ජීවිතේ අඩු වෙන නිසා.. ලොකු බලාපොරොත්තු ලොකු හීන මුකුත් තිබුනෙ නැති මගේ ලෝකෙට ඔයා එකම එක බලාපොරොත්තුවක් අරගෙන ආවා.. සතුට.. ඔයාගේ ආදරේ මගේ එක දවසක් අවුරුදු ගානක මතකයන්ගෙන් පිරෙව්වා.. මට හිනා වෙන්න කියලා දුන්නා.. ඔයාගේ ආදරේ ලග ගෙවුන ඒ මාස හතර  ඔයා මගේ ජීවිතේ ලස්සනම කාලය බවට පත් කලා.. මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයා මගේ ඇස් වලින් තේරුම් ගත්තා.. ඔයාගේ ආදරය මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් උනා.. ඒත් අපේ ඉරණම මේ වෙනකොට අපිව අපෙන් වෙන් කරලා ඉවරයි..

                    මට හිනාවෙන්න කියපු ඔයාගේ හිත ගොඩාක් අඩපු බව මම දන්නවා.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඔයාට මට දෙන්න ඉතුරු උනේ දුක විතරයි.. මට ඔයාව මීට කලින් මුන ගැහුනනම් කියල හිතුන දවස් අනන්තයි.. ඒ මට ඔයාගේ ආදරය ලග වැඩි කාලයක් හිනාවෙලා ඉන්න ලැබෙන නිසා.. ඔයා මං වෙනුවෙන් ගොඩක් දුක් හිතට අරගත්තා.. ඒ වෙනුවට ඔයා හැමදාම සිනහව මට ගෙනාවා.. ඔයාගේ ආදරේ ලග ඉන්න මං පිං කරලා නැතුව ඇති..

         ඔයාට ගොඩක් පිං මං වෙනුවෙන් කරපු හැම දේකටම.. මට මටත් වඩා ආදරය කරන කෙනෙක් ලැබුන සතුටම මට ඇති මගේ ඇස් පියා ගන්න.. ඔයාව තනි කරලා යන්නේ හිතකින් නෙමෙයි.. මං වෙනුවෙන් ඔයා ඇඬුවා දැන් ඇති.. අද මට මේ ලොකේ දාලා යන්න කිසිම දුකක් නැහැ.. ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. අසංග ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක් කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරන්නම්.. 

          ඔයාගේ ආදරය මාව හැමදාම ජීවත් කලා.. ඒ හැමදේකටම ඔයාට පිං.. මම ඔයාගේ ආදරයට හැමදාමත් ආදරය කරන  
                                                                      පූජා.."

එක මතක පොරොන්දුවක් හිතේ තියාගෙන ජීවිතේ ඉස්සරහට අරන් ආපු කාලේ හරිම පුදුමයි..  කාලය ඒ අතරේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කලා.. ටිකින් ටික.. අවුරුදු ගානක් තිස්සේ පරෙස්සම් කරපු මේ ලියුම අද ආයෙම හොයාගෙන කියෙවුවේ මතකයන් ඒ තරම්ම ඉක්මනට මැකිලා නොයන නිසා වෙන්න ඇති..  ඔයා දුන්න මේ ලියුම මට ලැබිලා අදට අවුරුදු 4ක්.. කාලය හරි ඉක්මට ගෙවිලා ගිහින් නේද පූජා.. ඔයා අද හොද තැනක ඇති.. මගේ හිත ඒ දේ විශ්වාස කරනවා.. 


බලාපොරොත්තුවක් නැතුව
ඔහේ පාවුන හිතකට
නවාතැනක් උනි නුඹ
සවියක් නොලද හිතක් උව..

අරමුණක් නැති ගමනක
ඔහේ පාවුනා දෙන් හිත
ආදරේ කලා මම 
සත්තකින්ම නුඹ හට..

වෙන්වීම අභියසක හිත
නොරදවා කිසිදිනෙක
පුදකල සෙනෙහසක්
මියැදේවිද මතක අද්දර..

ගලාගිය කඳුළු බිංදු
සිනාකැන් වී හැංගෙද්දි
ලස්සනට හිනා උන සිතක
හසරැල් මතකයි නෙත් ලග..

අරන් ගිය නුඹ බොහෝ දුර
වෙන්කර මගෙන් හැමදාක
මිහිදන්ව යද්දි ගැළුව කඳුළු කැට
සිපගත්තේ පොළව වී නුඹ..

වියලවා කදුළු බිංදු දෑසක
දරාගෙන මතක පොරොන්දුව
හිනැහුනා සත්තයි මම
නුඹේ මතක නෙතු ලග.. 

/ දිනේෂ් උමගිලිය /



Monday, 10 September 2012

ඩිකියේ ඉඩ නෑ බං

අපේ ලොක්කා එක්ක ගමන් බිමන් යන්න මම එක පයින්ම කැමති වෙන්න හේතු කීපයක්ම තියෙනවා.. එකක් තමයි ඉතින් මගේ වැඩ කරන වෙලාවේ හොද රස්තියාදුවක් දාන්න පුළුවන් වෙන එක.. මම නොයන තරු හෝටලේකින් කන්න ලැබීම.. ඒ ඔක්කොටම වඩා දැන් ලොක්කා එක්ක යනවා කියන්නේ මට බ්ලොගේ දාන්න පෝස්ට් එකක් ශුවර්.. අනික් කියපුවයි තව අමතර ඒවයි ඕනෙම නෑ කියමු.. පෝස්ට් එකනේ වටින්නේ.. නැද්ද මම අහන්නේ..

දවසක් අපි ගියා ලොක්කගේ වයින් ෆැක්ටරියට.. ගිය වැඩේ කෝම උනත් මිදි වත්තට රිංගලා හොදට ඉදුන මිදි පොකුරකුත් කඩාගෙන, ඒක කන ගමන් කාර් එකේ එද්දි ලොක්කා කිවුවේ කකා හිටිය මිදි ගෙඩියත් හිර වෙන කතාවක්..

" ආ බං දිනේශ්.. මට  හිතයි එක්කො බදින්න.."

උගේ වයින් ඌටම වැදිලා වගේ ලුක් එකක් තිබ්බේ ලොක්කගේ මුණේ.. මම ටිකක් වෙල බලන් හිටියා..

" මොකද්ද දොත්තෝරේ කිවුවේ?"

" නෑ බං.. දැන් මට 54ක්.. අම්ම නැති උනාම මට කවුරුත් ඇත්තෙත් නෑ..ලොකු අයියත් බැන්දා ළමයි ඉන්නවා.. පොඩි එකත් බැන්දා ළමයි ඉන්නවා.. දැන් මටත් ටික ටික අසනීප.. ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ.. මේ දේවල් බලා ගන්න මගේ කවුරු හරි ඉන්නත් ඕනනේ.."

" උඹට තියෙන්නේ මේවා සහෝදරයන්ගේ ළමයින්ට යන ප්‍රශ්ණේ?"

මට ඔහොම හිතුනට අහන්න ගියේ නෑ.. ලොක්ක ගැන මම නොදන්නවයි.. ඌට දැන් මේ දුක මේවාට වෙන අයිතිකාරයෝ එනවට.. බලන් යද්දි සමහර වෙලාවට මුනුත් ලංකාවේ අර සමහර පරණ වළව්කාරයෝ වගේම තමයි..

" දැන් ඉතින් දොත්තෝරේ මොකද කරන්න හිතන්නේ?"

" හ්ම්ම්ම්.."

මු ඉතින් මේ ළමයි නෑ කියලා දුක් වෙන්නේ මොකටද? අර ප්‍රංශේ මුට ඉන්නේ ළමයෙක්.. ඒ ගැන අහන්න හිතුනත් අහන්න බෑ.. මොකද ඒක අපි හැමෝම දන්නවා උනත් කෙලින් ලොක්කා එක්ක කතා නොකරන කාරණයක්.. අනිත් උන් එහෙම කරන්නේ නෑ.. ඉතින් මමත් කරන්නේ නෑ.. එතකොට ඒ පොඩි එකා මුගේ නෙමෙයිද? ඔවා ගැනත් හිත හිතම අතේ තිබුන මිදි පොකුර අමත නොකර බඩට දා ගන්න ගමන් ටික දුරක් එද්දි ලොක්කා හදිස්සියේම වගේ වාහනේ නතර කලා හයිවේ පාරවල් වල හදිස්සියේ වාහන නවත්තන්න තියෙන තැනක..

" මොකද දොත්තෝරේ?"

" රෝදෙක හුලං නෑ වගේ තේරෙනවා බං.."

කකා හිටිය මිදි පොකුර පැත්තක තියන්න ලොභ කමේම ඒකත් අරගෙනම බැහැලා ඇවිත් බලද්දි ඉසරහා රෝදෙක හුලං බැහැලා..ලොක්කා හිටු කියලා දන්න කුණුහරප ඔක්කොම කියනවා.. එවුවා මේකේ ලියන්න බෑ.. මේකේ දාපු ගමන් අපේ අය ගූගල් ට්‍රාන්ස්ලේට් ගිහින් ඉංග්‍රීසියට හරවන් පස්සේ මළලසේකර එකෙන් බලලා වචනේ ඉගෙන ගන්නවා.. කලින් වතාවකුත් එකක් එහෙම උනේ.. :)

" ගනින් දොත්තෝරේ ටයර් එක.. මාරු කරන් යං.."

" ස්පෙයාර් වීල් එකක් නෑ බං.."

" ආ.. මොකක් කිවුවා.."

ලොක්කා මේ දවස් වල පාවිච්චි කරන්නේ ස්මාට් වර්ගයේ කාර් එකක්.. ඒක නිකන් හරියට ලංකාවේ මරූටිය වගේ.. හැබැයි යන්න පුළුවන් දෙන්නටයි.. බොහොම පොඩි කාර් එකක්.. ඉතින් ඕකේ වෙන වාහන වල වගේ ලොකු ඩිකියක් කියලා දෙයක් නෑ.. ඉතින් ඕකට ස්පෙයාර් වීල් එකක් එන්නේ නෑ.. තියෙන්නේ පොඩි ඉඩක් නිසා.. ඒ උනාට ඕකට එනවා ටයර් එකට හුලං ගගන්න පුළුවන් පොම්පයක්.. ස්පෙයාර් වීල් එකක් නැත්නම් ඉතින් ඒකට විකල්පෙකුත් තියෙන්න ඕනනේ.. මේ තියෙන්න වාහනේ.. මෙන්න මේ වගේ එකක්.. 



" ඉතින් දොත්තෝරේ කෝ පොම්පේ.. ගනින් අපි හුලං ගහගමු.."

" එක මම ගරාජ් එකේ තිබ්බා වගේ මතකයි.. මේකේ නෑ මං හිතන්නේ.."

ඔය කරලා තියෙන්නේ ඉතින්.. එකක් දෙකක් සිංහල කුණුහරප කිය උනා මට.. දැන් ඉතින් මේ හයිවේ එකේ ඉදන් කට්ට කාහන්කෝ.. 

" දොත්තෝරේ ඩිකිය ඇරපන්.. උඹ නෑ කිවුවට ඇති සමහර විට.."

" ආ නෑ නෑ.. මම මේ හයිවේ එකේ වාහන හදන එකට කතා කලා.. තව ටිකකින් ඒවි.."

සමර් එක් ගිණි අවුවේ ඉන්න බැරි නිසා මම වාහනේ වාඩි වෙලා මගේ අතේ තිබ්බ මිදි පොකුර ඉවර වෙනකන් කකා හිටියා පැයක් විතර.. වාහනේ හදන්න මොකෙක්වත් එන පාටකුත් නෑ.. බැරිම තැන ආයෙම ගිහින් ලොක්කට ඩිකියේ ඔය අටමගලේ තියෙනවද කියලා බලහං කිවුවේ මුගේ මතකේ ගැන හොද ශුවර් එකක් තියෙන නිසා..

" නෑ බං මට මතක මම ගරාජ් එකෙන් තිබ්බ වගේ.."

" තිබ්බා වගේ.. මොකද්ද දොත්තෝරේ.. උඹට ශුවර් නෑ.. දැන් මෙතන පැයක් විතර.. ඔය පොම්පෙත් තියාගෙන අපි කට ඇරන් ඉන්නවද කවුද දන්නේ.."

" නෑ බං ඕන නෑ.."

දැන් ඉතින් මට මල හොද එකෙන්.. මූට ඩිකිය ඇරලා ඕක පොඩ්ඩක් බලන්න බැරි මොකද? දෙතුන් පාරක්ම මම කියද්දි බැරිම තැන මූ ඩිකිය ඇරියා.. එච්චර වෙලා තිබ කේන්තිය කොහේ ගියාද මන්දා මම හිනා වෙන්න ගත්තා නවත්ත ගන්න බැරුව..

අර කාර් එකේ ඩිකිය පිරෙන්න කෙල්ලන්ගේ යට ඇදුම්.. එක එක සයිස් වල පාට පාට එවුවා.. 


" දොත්තොරේ මේවා කොහෙන්ද මේකට.."

" උඹ දන්නවනේ දිනේශ් ඉතින්.."

" ඔව් ඔව් දන්නවා.. ඒක නෙමෙයි දොත්තෝරේ.."

" මොකද්ද?"

" දැන් මේ ඇදන් එන එක උඹේ ඩිකියේ දාලා ගියාම උන් ආයෙම යන්නේ නිකන්ද?"

ඕකට ලස්සන උත්තරයක් හම්බුනා.. ඒක මේ සභ්‍ය විදිහට ලියන්න විදිහන් නැති නිසා මම ලියන්නේ නෑ.. මූ ඉතින් ඩිකියේ තිබ්බ පොම්පෙත් අයින් කරල මූ මේකට ඉඩ අරන්.. වාහනේ මහරගම පමුණුවට අල්ලලා ඩිකිය ඇරලා ඒ ටික වික්කනම් හොද ගානක් හොයා ගන්න තිබ්බා..

" ආ දොත්තෝරේ.. උඹ මේ මේවා ඩිකියේ තියාගෙන ඉන්න ගමන් තමයි අර කලින් පවුල්  පන්සල් වෙන කතාවක් කිවුවේ නේ??"


විශේෂයි  : ලොක්කා ඉන්නකන් මට මේ බ්ලොග් එක තව කාලයක් ලියාගෙන යන්න පුළුවන් වගේ... :)

Friday, 7 September 2012

සත 50

කොළඹ එන්න කලින් අපි ගාල්ලේ අන්තිමට හිටිය ගේ තිබුනේ පුංචි කන්දක් මුදුනේ.. ඒ තැන ඇත්තටම හරිම ලස්සනයි.. පොඩි කුඹුරු යායක් එක්ක පාර එතනට හරි ලස්සනට පේනවා.. මම ගිය මොන්ටිසෝරියත් තිබුනේ ඔය ලගම වගේ.. ඔය මොන්ටිසෝරියේ මගේ හොදම යාළුවා උනේ හොශාන් කියලා කෙනෙක්.. තාම මගේ ලග මම හොශාන් එක්ක ගත්ත ෆොටො එකක් තියෙනවා.. පොඩි කාලේ ඒකව නම් මට තාම මතකයි.. ඒකට කොහොමද දන්නේ නෑ ඉතින්..

ඉස්කෝලේ එක වසරට යද්දිම වගේ මට මේ යාළුවා මග ඇරුනා.. ඒකට හේතුව තමයි මම ගියේ පොඩි ඉස්කෝලෙකට.. අපේ අයියයි අක්කයි ගියෙත් ඒ ඉස්කෝලෙට.. එක වසරෙදි මගේ ඉස්සෙල්ලම ගුරුවරිය උනේ සුමිත්‍රා මිස්.. ඒ මිස් අපේ ගෙවල් වලට ගොඩක් කිට්ටුව හිටිය නිසා මමත් හොදට දැනන් හිටියා.. ඒ හින්දම වගේ ඉස්කෝලේ මුල්ම දවසේ ඇඬුවෙවත්, ආපහු හෙදර දුවන්න හැදුවෙවත් නෑ..

අයියයි අක්කයි එක්කම ඉස්කෝලේ යවන්න පුළුවන් උන නිසා ඒක අම්මටත් ලේසියි.. එතකොට අපිට ඉස්කෝලේ ඇරුනේ 11.30 මගේ මතකේ හැටියට.. අක්කලට ඊට පස්සේ.. ඉතින් ගොඩක් වෙලාවට කලේ අක්කලට ඉවර වෙනකම් ඔය කොහේ හරි සෙල්ලම් කරපු එක තමයි.. ඊටත් වඩා සුමිත්‍රා මිස් අපිව ඔය දඟලන වෙලාවෙත් අල්ලන් පාඩම් කියලා දුන්න ගොඩක් වෙලවල් වල.. 

රෙජිෆෝම් අයිස් පෙට්ටිය බැදන් බයිසිකලේ පැදන් එන අයිස්ක්‍රීම් අංකල් නම් ඒ දවස් වල පුංචි අපිට අමතක වෙන්නෙම නෑ.. ඉන්ටර්වල් එක එන්නත් කලින්ම වගේ ඉස්කෝලේ පිට්ටනිය කිට්ටුව ඇවිත්  අපිට හුරු පුරුදු නලාව අතින් සද්ද කරද්දි හිත කොයි වෙලෙත් තියෙන්නේ ඒ ගැනම..

ඉන්ටර්වල් එක ආපු ගමන් ගෙදරින් ගෙනාව කෑම එක ඉක්මනට ඉවර කරලා දුවන්නේ අයිස් පලමක් කන්න.. ඒ දවස් වල ගෙදරක ශීතකරණයක් කියන්නේ හරි දුලබ දෙයක්.. ඉතින් මේ වගේ පාරේ යන කෙනෙක්ගෙන් අයිස් පලමක් කන්න තමයි පොඩි කාලේ අපි  ගොඩක් පුරුදු උනේ.. ශිතකරණයක් තියා ලයිට් වත් ඒ දවස් වල නොතිබුන අපි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ..

ඉන්ටර්වල් එකට ගෙනාපු කෑම පෙට්ටියේ තියෙන මොනා හරි ඉක්මනට කලා දාලා අපි කවුරුත් මේ නලාවේ හඬට දුව ගෙන ගියාට හැමදාම මේ අයිස් පලම් බයිසිකලය පේන මානයේ මම නවතිනවා.. ඒකට එකම එක හේතුවයි තිබුනේ.. මගේ ලග සල්ලි නෑ..

ඒ වෙද්දි අපේ තාත්තට රස්සාව නෑ.. කරන්න පුළුවන් හැම දේම ට්‍රයි කරලා බලලා එදා දවස විතරක් යන්තම් ජීවත් වෙන්න ලොකු උත්සාහයක් දරපු කාලේ.. ඉතින් ඔහොම දේකට තියා වෙන කිසිම දෙයක් ඉල්ලන්න අපි නොහිතපු කාලයක් ඒක..ඉතින් මේ අයිස් පලමත් බොහොම දුර දෙයක් උනා.. 

ගොඩක් වෙලාවට පිට්ටනිය ලග තිබ්බ ගහක් ලගට වෙලා පන්තියේ අනිත් යාළුවෝ අයිස් පලම් කන දිහා බලන් හිටියා.. රතු පාට සුදු පාට එක එක ජාතියේ අයිස් පලම් හැමෝගෙම අත් වල.. කවමදවත් ඒ අයගෙන් බාගයක් මම කාලා නෑ..  ගොඩක් දවස් ගෙවුනේ ඔහොම.. 

බොහෝම කලාතුරකින් දවසක තාත්ත අතේ සල්ලි තියෙන වෙලාවට අයිස් පලම් කාරයෙක් පාරේ ගියොත් අපි තුන් දෙනාට අයිස් පලම් වරදින්නේ නෑ.. ඒත් තාත්තා ලග සල්ලි තියෙන වෙලාවට උන් එන්නේ හරිම අඩුවෙන්.. එහෙම නැත්නම් ඉතින් ඩෙන්ටල් එකට යන වෙලාවකට.. ගොඩක් වෙලවට අපේ අම්මනම් මාව එක්කන් යන්නේ " පුතේ  ඔක්කොම ඉවර උනාම අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම් " කියලා..

එදත් වෙනදා වගේම දවසක්.. අම්මා මාව ඉස්කෝලේ යන්න ලෑස්ති කරලා මගේ සපත්තු දාද්දි මම හේතුවක් නැතුවම අම්මට කිවුවා අම්මේ මටත් කාසියක් දෙන්නකො කියලා.. පන්තියේ අනිත් හැමෝම වගේ කාසියක් දීලා අයිස් පලම් ගන්නවා කියන දේ මම හොදටම දන්නවා උනත් ඒ කීයේ කාසියක්ද කියන්න මම දැනන් හිටියේ නෑ.. 

මගෙන් කිසිම දෙයක් අහපු නැති අම්මා සද්ද නැතුව ගිහින් ලාච්චුවක් අවුස්සලා ඇවිත් මගේ අතේ කාසියක් තිබ්බා.. ඒ සත 50 කාසියක්.. මහා ලොකු දෙයක් ලැබුනා වගේ මට ඒ සත 50 කාසිය අතට ලැබුනම.. ඉස්කෝලේ ගෙනියන බෑග් එකේ පුංචි පොකට් එකකට දාලා වැහුවේ සාක්කුවේ දාන් ගිහින් නැති උනොත් කියල දැනුන බයට..

එදා හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා.. වෙනදා අනිත් අය දිහා බලාගෙන හිටපු දේ අද මමත් ඉටු කර ගන්නවාය කියන බලාපොරොත්තුවක්.. වෙනද වගේම ඉන්ටර්වල් එක වෙනකන් බලාගෙන හිටිය.. හැබැයි එදා වෙනදට වඩා ලොකු ආසාවක්.. කාලා ඉවර වෙලා වෙනදර දුවන් ඇවිත් නතර වෙන මට හිමි නැහැයි කියලා හිතුව සීමාව පැනලා ඉස්සරහටම දුවන් ගියේ වෙනදට වඩා සතුටකින්..

අනිත් යාළුවෝ අතරෙම පොර කන ගමන් මමත් උදේ ඉදන් පරිස්සම් කරන් හිටිය සත 50 දුන්නේ අයිස් පලමක් ගන්න හිතේ තිබුන ආසාව හැබෑවක් කර ගන්න.. 

" සත 50 අයිස් පලම් නෑ.."

මම මට ඕන දේ කියලා ඉල්ලද්දි මට ඇහුන එකම දේ මට නොතේරුනාද මම තේරුම් ගන්න උත්සාහ කලේ නැද්ද කියන්න මම තාම දන්නේ නෑ.. ඒත් එකම දේ මම කීප පාරක්ම ඉල්ලුවා.. උඩු රැවලත් වවාගත්ත නෙකෙන් මට හැම වෙලේම මට රැවුවා ඇරෙන්න අයිස් පලමක් මට හම්බුනේ නෑ..

ඒ ලගම කැරකි කැරකි අයිස් පලම් ඉල්ලපු මම ටිකකට නතර උනේ මගේ අතින් කවුරු හරි අදිනවා දැනුනම.. මම හැරිලා බලද්දි ඒ අපේ අක්කා..

" සුදු.. මොනවද මේ කරන්නේ?"

" මටත් අයිස් පලමක් ඕන.."

" ඔය සල්ලි කොහෙන්ද?"

" උදේ අම්ම දුන්නා.. මට අයිස් පලමක් ඕන.."

අපේ අක්ක ඇවිත් හිටියේ එයාගේ තව යාළුවොත් එක්ක.. අක්කගේ පන්තියේ යාළුවෙක් මම අයිස් පලම් ඉල්ල ඉල්ල ඉන්න බව ගිහින් අක්කට නොකියන්න අක්ක මේ කිසිම දෙයක් දන්නේ නෑ.. 

" අයිස් පලමක් කීයද?"

" රුපියක් දෙකයි.."

" සුදු.. මොන පාටද ඕන?"

" රතු.."

ටික වෙලාවකින් මම බලාපොරොත්තුවෙන් හිටිය අයිස් පලම අරගෙන අපේ අක්කා මගේ ලගට ආවා.. එවලේ හිතට දැනුන සතුට කොච්චරද කියලා කියන්න තේරෙන්නේ නෑ.. ගෙදර යන ගමන් කිසිම දෙයක් අක්ක ඒ ගැන කතා කලේ නෑ.. ඒත් ගෙදර ගිහින් අක්කා අම්ම එක්ක හැම දේම කිවුවා.. අම්මා මාව බදා ගත්තා..

" මගෙ පුතා කාසියක් ඕන කිවුව නිසානේ මම ඒ කාසිය දුන්නේ.. අයිස් පලමක් කන්න ඕන කිවුවනම් මම කොහොම හරි සල්ලි දෙනවනේ.."


විශේෂයි : ඒ වචන වල හැගීම් බර කම මට ඒ කාලේ තේරුනේ නෑ.. ඒත් දැන් ඒ සිද්දිය මතක් වෙද්දි ඒ හැම වචනයක්ම කොච්චර ගැඹුරුද කියලා තේරෙනවා.. එදා අයිස් පලම්  ගන්න සල්ලි අක්ක අතේ තිබිලත් නෑ.. යාළුවන්ගෙන් සල්ලි ඉල්ලන් තමයි අක්කා මට ඒක අරන් දිලා තියෙන්නේ.. ඒ බව මම දැන ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ.. දවසක් මේ කතාව අක්කම කියන කොට.. ඒ වෙලේ හිතට ආව හැගීම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ..

අති විශේෂයි : පරණ කතා ගොඩක් ආයෙම මතකෙට එන්නේ මදාරා ඔයා නිසා.. මේ කතාව ඔයාට කියන්න මට මතක් උන හේතුව ඔයාට මතක ඇති කියලා හිතනවා මම..


Monday, 3 September 2012

පොඩි උන්ගේ පාර්ටිය




පාර්ටියකි පොඩි උන් දෙන්නෙකුගේ
ආරාධනාවක් මටත් එහි ලැබුනේ
ජැන්ඩියට ඇදගෙන මමත් නික්මුනේ
පූල් පාර්ටියකි මේ සමර් කාලේ..

බයිසිකලේ නැගී කිලෝමීටර් ගානේ
පැදගියේ සොයා ඉසවු දෑස මානේ
දන්නෙත් නැති පාරවක් විකාරයි වාගේ
හොයාගෙන හොයාගෙන තැනට මං ආවේ..

ලොකු ෆාම්ස් ගස් පැත්තක ඉදි උන
තණකොල පිට්ටනිය පෙරලෙන්නට හිතෙන
අතර මැද දිළිසුන නිල් කැටේ වතුර
දැක්කම හිතුනෙ පනින්නමයි ඉක්මනට..

ටිකින් ටික ටිකින් ටික ආවේ අමුත්තෝ හැම
කළු එකෙකුට හිටියේ මම විතරයි පාර්ටියට
ආවත් එකා දෙන්නා පාර්ටියට පෝලිමට
හිටියේ නෑ කෙල්ලෙක්වත් මට ගැලපෙන..

පොඩි උන් වට කරගෙන හැම තැන
දුව පැන ඇවිද්දා උන්ගේ පාර්ටියට
නිල් කැටේට දිළිසෙන වතුරට
එක එක පනිනවා පිස්සන් විලස.. 

පොඩි උන් හැම දියඹුං ගහන කල
පැත්තකට වෙලා හිටියේ මමත් බංකුවක
මහ උන්ගේ දෙපා ලග ගැලවී වැටෙන ඇදුම් දැක
මමත් ටිකක් කලබල උනේ පොඩි එකෙක් ලෙස..

පැත්තක නාන පොඩි උන්ගේ තනියට
අම්මලත් බහින්නයි හදන්නේ වතුරට
ඇදුම් ගලවා තණ පිට්ටනියේ වැතිර
කොමුපිළි අදිද්දි මම හිටියේ දෙව්ලොවක..

ගලවා දමා ඇද හිටි ඇදුම් හැම
ඇදගනිද්දි බිකිණිය සෙනග අතරම
මැදිවියේ උන්ගේ අරුමෝසම් දැක්කම
හිතුන දේවල් බෑ තව මෙහි ලියන්න..

දෑස ගියේ ඈතින් හිටි එක්කෙනෙකුට
දැක්කේ KIM අක්කා වාගෙයි මා දුරට
ඉහල පහල ඒ වගේම සයිස් දැක්කම
හිතුවා දකින්නට පුළුවනි සුභ දසුන..



මූණ සුදුයි ඇග රතු පාටයි හොදට
කොමඩු ගෙඩි වැටකොළු උනි හනික
බොත්තම් ගලවා වැටෙද්දිම කලිසම
මම හැංගුනා දැක ඇගෙ රැලි පස්ස..

බලා ඉන්න හිතක් නෑ තවත් මට
මම නැගිට්ටා බංකුවෙන් හනිකට
ජංගමයත් අරගෙන මම අතට
ගියේ මලක් කඩන්න මම ඈතකට.. 





අති විශේෂයි : එක්කෙනෙක් ඊයේ විවාහයයි දික්කසාදයි ගැන දැම්මා.. ඒවා දැක දැක මේවා දාන එක හොදද මන්දා... :P