Thursday, 30 August 2012

අනෙක් හැරවුම

කොළඹ, ඒ තරම්ම නුහුරු නුපුරුදු නගරයක් නෙමෙයි.. ඒත් අවුරුදු ගානකට පස්සේ ආයෙම කොළඹ නතර වෙන්නම එද්දි වෙනදට වඩා නුහුරු නුපුරුදු බවක් නොදැනුනාම නෙමෙයි.. තමන්ගේ කියල හිටිය හැමෝම හැම බැදීමක්ම බිදලා අහක බලාගෙන ගියාට පස්සේ හුරු පුරුදු කොළඹත් නුහුරුවට දැනෙන එක ලොකු පුදුමෙකුත් නෙමෙයි..

අරන් එන්න කියලත් ඒ තරම් දෙයක් තිබුනේ නෑ.. ගේන්න තිබ්බ පොඩි දේවල් ටිකත් අරගෙන පන්නිපිටියේ තාත්තා හොයපු කුලි ගෙට එද්දි මට මම ඉස්කෝලේ 2 වසරේ.. ටික කාලෙකින් තාත්ත අයෙම ඉතාලි ආවා.. ලැබුන පොඩි නිවාඩුවේ ගොඩක් දේවල් පිළිවෙලක් කරන්න බැරි උනත්, ඕනම කරන හැමදේම පිළිවෙලක් කරලා අපිව අළුත් ඉස්කෝල වලට දාලා තාත්ත අයේම ආවේ අපේම කියලා කවුරු හරි අපේ ලග ඉන්නවා කියන සැනසීම හිතේ තියාගෙන..

ඔව්.. අපි සැනසීමෙන් හිටියා තමයි.. ඒත් ඒ අතරේ අපි කවුරුවත් නොදැනම ගොඩක් දුක් කරදර වලට අපේ තාත්තා මූණ දීලා තිබ්බා.. භාශාවවත් හරියට නොදැන තාත්තා ඉතාලි යන්න බය උනේ නැත්තේ අපේ අම්මගේ සහෝදරයෝ හැමෝම වගේ ඉතාලියේ හිටිය නිසා.. ඇත්ත එන්න උදවු කලේ ඔවුන්.. ඒත් අවුරුදු දෙකක් යනකන් ඒ හැමෝම එකතු වෙලා අපේ තාත්තව රැවැට්ටුවා..

අපේ අම්මගේ එක මල්ලි කෙනෙක් තාත්තට පළවෙනි ජොබ් එක හොයලා දීලා තිබුනේ.. එයාලට හොදට ඉතාලි පුලුවන් උන නිසා ජොබ් එකේ හැම දෙයක්ම කතා කරලා දීලා තිබුනේ එයාලමයි.. හැමදෙයක්ම එක්කම තාත්තගේ පඩියත් ඉස්සෙලා එයාලගේ අතට එන විදිහට.. තාත්තා නොදැන හිටියා උනාට අවුරුදු දෙකක් විතර යනක්ම්ම තාත්තගේ පඩියෙන් භාගයක් විතරයි මෙයාල අපේ තාත්තට දීලා තිබුනේ.. ඉතාලි භාෂාව ටිකක් පුරුදු වෙලා එද්දි තමයි තාත්තා මේ හැම දෙයක්ම දැන ගෙන තිබුනේ.. 

හැමෝම එක්ක එකට හිටපු ගෙදරින් එළියට බැහැලා තනියම ගෙයක් හොයාගෙන එන්න හදද්දි තමයි දැනගෙන තියෙන්නේ තාත්තගේ සමහර ඩොකියුමන්ට් පවා හරියට හදලා දෙන්නවත් ඒ කවුරුවත් උනන්දු වෙලාවත් නෑ කියලා.. වාසනාවට එදා අපේ තාත්තට ඕන හැම උදවුවක්ම කලේ අපේ ෆාමසියේ ලොක්කා.. ලොක්කගේ සහෝදරයා මාර්ගෙන් ඒ කරන්න ඕන හැම දෙයක්ම දවසකින් කරලා දිලා තිබුනේ නෑයෝ උන අපේ උන් ලග වත් නැති මනුස්සකමක් අවුරුද්දක් විතර කාලයක් දැනන් හිටිය ඒ මිනිහා ලග තිබ්බ නිසා..

එදා ඉදන් තාත්තා ඒ හැම සහෝදර බැදීමක්ම අයින් කරලා තනියම ජිවත් උනා 2000 දී අයියා ඉතාලි එනකම්ම.. තාත්තා ඒ සම්බන්දකම් හැම එකක්ම අත ඇරලා දාලා හිටියා උනත් ලංකාවේ අපි මහ ගෙදර තියෙන හිතවත් කම නම් නැවතුනේ නෑ.. ඒත් සල්ලි අගහිග කාලේ ටිකක් විතර කෙනෙහිලි කම් නොතිබුනාම නෙමෙයි.. ඒත් ඒවා ගොඩක් දුර දිග ගියේ නැතත් අවුරුදූ කීපෙකට පස්සේ තාත්තා ආයෙම තිබුන පරණ හීනේ හැබෑ කර ගන්න ඉඩම්ක් අර ගනිද්දි සනහරුන්ට නම් ඒක ටිකක් දරා ගන්න බැරි උනා..

ඒත් ප්‍රශ්ණයක් නැතුව හැම දේම ගෙවිලා ගියත් හැම දේකම තීරණාත්මක දවස ආවේ එක අළුත් අවුරුදු දවසක.. මගේ මතකේ හැටියට ඒ 2001 අප්‍රේල් 14 වෙන්න ඕන.. හැම පාරකම වගේම උදේම ගෙදර අවුරුදු චාරිත්‍ර කරලා අපි දිවුවේ අම්මගේ මග හෙදට්ට..කවදාවත් වහන්නේ නැති ඉස්සරහ දොර වහලා තියෙන එක අපිට ඒ තරම්ම ගානක් නැතුවම කුස්සිය පැත්තෙන්ම මහ ගෙදරට එන්න ආවේ මේ අපිට නුහුරු නුපුරුදු තැනක් නොවුන නිසා.. එලියෙම දර ළිපක් බැදගෙන උයන ගමන් හිටිය අපේ අම්මගේ අම්මා දැක්කම අපිත් සතුටින් හිනා වෙලා සුභ පැතුවා.. අපේ අම්ම තමයි ඉස්සර උනේ..

" සුහ අළුත් අවුරුද්දක් අම්මේ.."

" උඹලා අදම මෙහෙ.."    අවුරුදු සුභ පැතුමට ආයෙම සුභ පතන්න තරම් ඕනකමක් වත් එයාගේ නපුරු හිතේ තිබ්බේ නෑ..

" ඇයි අම්මේ.. මමනේ කවදත් ඉස්සෙල්ලම එන්නේ.."

" ඒ උනාට මීට පස්සේ උඹලා මෙහේ නාවට කමක් නෑ.."

" අම්මේ.."

විනාඩියකට අඩු කාලෙක කිය උන පුංචි වචන ටික මට කවමදාවත් අමතක නොවේවි.. කුස්සියේ දොරත් භාගෙර අඩවල් කරගෙන යන අම්ම දිහා බලාගෙන අපේ අම්මා අඩපු හැටි අදටත් හොදටම මතකයි.. කිසිම වරදක් නැතුව එක පාරම වෙන උනේ ඇයි කියන්න අපි කවුරුවත් එවෙලේ දැන්න් හිටියේ නෑ.. දුක හිතේ තියා ගන්න බැරුව අවුරුදු දවසෙම බස් එකේ එන ගමන් අම්මා අඩපු හැටි කොහොමවත් මම අමතක කරන්න්නේ නෑ..

ඒ උනත් අපේ අම්මා දවස් කීපයක් බලාගෙන හිටියා එයාගේ අම්ම අවුරුද්දට අපේ ගෙදර ඒවි කියලා.. ඒත් ආවේ නෑ.. අපි අම්මගේ අනිත් සහෝදරයන්ගේ ගෙවල් වල ගියා අවුරුද්දට.. කතා බහ කලා උනත් ඒ මුණු වලත් අමුත්තක් නොතිබුනාම නෙමෙයි.. ඒත් ඒ කවුරුවත් අපේ ගෙදර නම් ආවේ නෑ.. කාලය ගෙවුනා.. කවුරු හරි කෙනෙක් අපේ ගෙදර ඒවි කියන බලාපොරොත්තුව අම්මගේ හිතේ තිබ්බා.. එන්න එපා කියලා එලියට දාපු ගෙදට්ට යන්න අම්මා කොහෙත්ම කැමති උනේ නෑ.. පවුලේ වැඩිමල් සහෝදරි උනේ අපේ අම්මා.. ඉතින් තමන්මට බල අය තමන්ගේ ගෙදර නොඑද්දි එයාලගේ ගෙවල්  වල පස්සෙන් එල්ලිලා යන්න අපේ අම්මට ඕන උනේ නෑ.. තාත්තවත් අම්මගේ තීරණ වෙනස් කරන්න තියා අඩු ගානේ ඒ ගැන මොහොතක්වත් එදායින් පස්සේ කතා කලේ නෑ.. 

හැම දෙයකම මතකය විතරක් ඉතුරු වෙද්දි කාලය ගොඩක් ගෙවිලා ගියා.. අවුරුදු ගනන්.. ඒ එක්කම ඒ මතකයනුත් ටිකින් ටික ඈත් වෙලා අපි අපිට නෑදෑ පරපුරක් හිටියද කියලා මතකයක්වත් නැති තැනට හෙමිට ආවා.. අපි පස් දෙනාට හැම වෙලාවෙම හිටියේ අපි පස් දෙනා විතරක්මයි.. 

ඒත් දවසක් හිටි හැටියේ අපේ අම්මගේ බාල මල්ලි කෙනෙක්ගේ බිරිදක් ආවා අපේ ගෙදර හොයාගෙන.. එතකොට අපි පන්නිපිටියේ කුලි ගෙට සමු දිලා දැන් අපි ඉන්න මාකුඹුරේ අපේම කියන ලස්සන ගේ හදාගෙන ඇවිත් ගොඩක් කාලයක් ගෙවිලා තිබුනා.. 

එදා ඒ නැන්දා ආපු වෙලේ අපේ අම්මා ගොඩක් බැන්නා මතකයි.. ඒත් පස්සෙයි දැන ගත්තේ ඒ නැන්දව අපේ අම්මගේ මල්ලි මැරුනයින් පස්සේ ගෙදරින් ඈත් කරලා කියන එක.. අම්මගේ සහෝදරයෙක් මැරිලා අපි ඒක ගැන දන්නෙවත් නෑ.. එදා අපිව අම්මගේ අම්මා ගෙදරින් එලව ගද්දි ඒ ගෙදර හිටියේ මේ නැන්දම තමයි..  ඒත් ඇත්තටම ඒ වෙලාවේ එයාට උනත් කරන්න දෙයක් තිබ්බේ නෑ..  එදා නැන්දා කියපු කතාවත් එක්ක තමයි අපි හැමෝම මේ විදිහට ඈත් වෙන්න උන හේතුවවත් දැන ගත්තේ..

අපි පවුල හොදින් ඉන්න දවස් වල අවිස්සාවෙල්ල පැත්තේ තැනකින් අපේ අක්කට මංගලා යෝජනාවක් ආවා.. පින්තූර බලලා අපි උනත් ඒකට කැමති උනා.. හදහනුත් ගැලපුනා.. මඟුලක් කෙරෙද්දි පවුල් පසුබිම වටපිටාවෙන් හොයන එක සාමාන්‍ය දෙයක්.. ඒකට ගියේ අපේ අම්මගේ බාලම මල්ලි.. ඒයා ඒ වෙද්දිත් කසාද බැදලා හිටියේ නෑ.. අපේ අක්කට කතා කරපු ඒ අයියට නංගි කෙනෙක් හිටියා.. ඒ පවුලේ අය අපේ අක්කව බලන්න ඒ වෙද්දිත් ඇවිත් වත් නොහිටපු නිසා අපි නම් ඒ කවුද කියලවත් දැකලවත් තිබුනේ නෑ.. ඒ නංගිව දැක්ක අපේ අම්මගේ මල්ලිට ඒ කෙල්ල ගැන හිතක් පහල වෙලා.. මනමාලයා ගැන හොයන්න ගිය තොරතුරු පැත්ත දලා එයා මේ කෙල්ල ගැන විස්තර හොයලා..

ඒ විස්තර හොයාගෙන ගෙදර ඇවිත් ඒ නංගිව කසාද බදින්න කැමති කියලා අපේ අම්මගේ මල්ලි ගෙදරත් එක්ක කියලා.. ගෙදරට නාකි වෙවි හිටිය එකා නේද කියලා හිතලා අපේ යෝජනාව පැත්තක දාලා එයලා ඒ යෝජනාව ගැන හිතලා.. ඒකේ වරදක් නෑ.. අපි ඒක හරි කියමු.. ඒත් ඒක එයාලා කරපු විදිහයි වැරදි.. 

අපේ අම්ම එක්ක ඒ අයියගේ වැර්දි කියලා ඒ ගෙදර මිනිස්සු එක්ක වෙනමම කතාවක් කියලා තිබුනා.. ඔය යෝජනාව එන්න අවුරුද්දකට විතර කලියෙන් වගේ අපේ අක්කගේ කකුලක පොඩි අසනිපයක් වෙලා සති දෙකක් විතර වගේ ඉස්පිරිතාලේ නැවතිලා බෙහෙත් කලා.. ඉතින් ඔන්න ඔය කාරණාව ඉස්සරහට දාලා මේ අපේ නෑයෝ කියන කට්ටිය කියලා තිබුනේ, අපේ අක්කා අබ්බගාත කෙල්ලෙක්.. ගොඩක් කාලයක් ඒකට බෙහෙත් අරන් දැන් ටිකක් හොදට ඇවිදින්න පුළුවන් කියන බොරුව මවා පාලා එයාලගේ අරමුණ එයාලා එක්ක කතා කරපු එක..

එදා, අපිට මහ ගෙදරින් එලව ගත්ත අවුරුදු දවස.. අම්මගේ මල්ලිගේ ඒ යෝජනාව ඉස්තීර වෙලා ඒ ගෙවල් වලින් ඉස්සෙල්ල කෑමකට එන දවස.. ඒකයි අම්මගේ අම්මට අර තරම් කේන්ති යන්න හේතුව.. ඒ අපේ අක්කව දැක්කම එයාල කියපු හැම බොරුවක්ම අහු වෙන එක.. අනික අක්ක බැන්ද ගෙදරම අක්කගේ නෑනව, අක්කගේ මාමා බැන්දොත් එතන නෑදෑකම මොකද්ද? 

හැම දෙයක්ම වෙනස් වෙන්න තිබ්බ හේතුව ඔන්න ඕක.. අපිට අපේ අක්කව කසාද බන්දලා දෙන්න ලොකු හදිස්සියක් තිබ්බේ නෑ.. එහෙම එකේ ඔක කතා කරලා විසද ගන්න පුළුවන් කමක් තිබ්බ ප්‍රශ්ණයක්.. ඒත් ඒ දේ විසදුනේ වෙන විදිහකට..  

එක අතකට ඒක හොදයි.. අපි අද ගොඩක් නිදහස්.. අවංකවම කියනවනම් අපිට අපේ කියලා අර ගත්ත හදා ගත්ත  හැම දෙයක්ම කරන්න පුළුවන් උනේ මේ හැමෝගෙන්ම අයින් උනාට පස්සේ.. ඒත් හිතේ එක තැනක අපිට පොඩි ප්‍රශ්ණයක් නොතිබුනාම නෙමෙයි.. ඒ අක්කගේ වෙඩින් එක.. එයාව පෝරුවට නග්ගන්න මාමා කෙනෙක් ඕන.. මාමලා 6 ඉන්න අපිට අන්තිමේ එකෙක් වත් නැති උනා..  ඒ උනාට ලේ නෑකම් නැති උනත් නැදෑයෝ වගේ හිතවත් උන සුන්දර මිනිස්සු අපිට හම්බුනා.. ඒ හින්දම ඒ අඩුව දැනෙන්න උනේ නෑ..






ඉතින් ඔන්න ඕකයි කතාව.. කලින් වතාවේ තාත්තගේ නෑයොත්, අද අම්මගේ නෑයොත් අපිට නැති උන හැටි කිවුවා.. මේක  හදිස්සියේ ලියන්න  හිතුන දෙයක් නෙමෙයි.. දවසක් මදාරා අපේ නෑයෝ එක්ක මම මෙච්චරම තරහා ඇයි කියලා අහපු වෙලාවක මේ හැම දෙයක්ම එයා එක්ක කිවුවා.. ඒ මතකය මේ විදිහට පොස්ට් එකටත් එකතු කලේ නෑයෝ ගැන මම කියවපු  බ්ලොග් ලිපි වලට මම දැම්මේ හොද ප්‍රතිචාර නෙමෙයි.. ඒ ප්‍රතිව්චාර වලට හේතුව මේක..

පරණ දේවල් අමතක කරලා ආයෙම එකතු වෙන්න කියන දේ නම් කියන්න එපා.. මොකද ඒක කවදාවත් නොවෙන දෙයක්.. අම්මා තාත්තා කොහොම හිතුවත්, අක්කවත් අයියවත් මමවත් ඒ ඳේ නම් කවදාවත්ම කරන්නේ නෑ.. පුංචිම කාලේ අපේ හිත් වලට කා වැදුන දේවල් ගොඩයි.. ඒවා මග අරින්න බෑ.. අද අපි ගොඩක් සතුටින් ඉන්නවා.. ඉස්සරහටත් එහෙමම ඉදිවි.. නෑයෝ නැතුව ඉදපු අපිට තව නෑයෝ ඉස්සරහට එකතු වෙන්න ඉන්නවා.. ඉතින් ඇයි ආයෙම පරණ සම්බණ්දකම්... :)

Thursday, 23 August 2012

ලොක්කගේ කෙල්ල

අපේ ලොක්කගේ කෙල්ලො ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම කලින් වතාවලත් ලියලා තියෙනවනේ ඕන තරම් මිනිහගේ වැඩ ගැන.. කෝමත් මාසෙට දෙපාරක්වත් ලෝක සිතියමේ තියෙන කොහේ හරි රටකට යන ලොක්කා එන්නේ කෙල්ලෙක් එක්ක ගෙනම.. වාසනාවට මූ ලංකාවට යන්නේ නෑ.. :)

ඉතින් ඔය ගොඩක් වෙලාවට එක්කන් එන අය අර තන්ගෝ කියන නැටුම් සම්ප්‍රදාය හොදට නටන අය තමයි.. අපේ එකාට කොන්දේ අමාරු තිබ්බට ඔය නටන තැන් වලදි ඒ අමාරු මුකුත් නෑ කෙල්ලෙක් බදා ගත්තම.. ඔය කොහෙන් හරි උස්සන් එන කෙල්ලො නවතින්නේ ලොක්කගේ ගෙදරම තමා.. ඒ කියන්නේ ඉතින් ෆාමසියේ උඩ තට්ටුවේ.. ඒ හින්දම වගේ ලොක්කා පනින කොටු ගැන අපි හොදටම දන්නවා..

ගොඩක් වෙලාවට ඔය එන කට්ටිය ෆාමසියේ අපි එක්ක හිතවත් වෙනවා වැඩියි.. මොකොද ඔය හදිස්සියට ඕන වෙන දේවල් ගන්න ටක් ගලා ෆාමසියට දුවන් එන්න ඕනනේ..  ඉතින් අපි එක්ක ගොඩක් ෆිට්.. එතනිනුත් ඉතින් මාත් එක්ක තමා ටිකක් වැඩියෙන් ෆිට්.. දැන් ඉතින් ඒ ඇයි ඇයි කියලා කට්ටිය අහන නිසා ගැලවීමට වගේ එක හේතුවක් කියන්නම්කෝ.. ගොඩක් එන්නේ ඉතාලි බැරි උන් නිසා ෆාමසියේ ඉන්න භාශා පරිවර්ථක මම නිසා තමයි එහෙම වෙන්නේ.. :)

ඉතින් ඔය ඇවිත් යන ඔක්කොම වගේ මාත් එක්ක හොද යාළු ෆිට් එකකින් තමයි යන්නේ.. ඒ හැමෝම වගේ ඉතින් මගේ බුකියේ ඉන්නවා.. අහ් නෑ නෑ.. මේ කට්ටිය ඉන්න එකේ නෙමෙයි.. වෙන එකක් තියෙනවා ඒකට..     ඔය ඇවිත් යන ගොඩක් අය එක්ක ටිකක් වැඩිපුර වෙලා කතා කරන චාන්ස් එක ඉතින් මට අනිවාර්‍යෙන් ලැබෙනවාම තමයි..

පහුගිය දවසකත් ලොක්කා මේ වගේ පොඩි සවාරියක් ගියා.. ගියේ චෙක් ජනරජයට..  ඔය ජර්මනියට පොඩ්ඩක් පහලින් වගේ  CZECH REPUBLIC  කියලා තියෙනේ අන්න ඒ රටට තමා.. ගිහින් සති දෙකකට වගේ පස්සේ තමයි ලොක්කා ආවේ.. එද්දි ආවේ හිස් අතින්ම නෙමෙයි.. මම දන්න තරමට ලොක්කා එක්කන් ආව ලස්සන කෙල්ල තමයි ඒ.. හොද පිරිපුන් සිරුරක් එක්ක මාර ලස්සනම ලුක් එකක් තමයි තිබ්බේ... වැඩිය ලස්සන විස්තර කරන්න බෑ.. ඒ හින්දා ඔය ඇති.. 


ආපු ගමන් ඉතින් සුපුරුදු හදුන්වාදීම් තියෙන නිසාම එයා කවුද කින්ද මන්දා කියන එක ඉතින් දැන ගත්තා.. නම MARIKA.. :) එදා ඉතින් තිබ්බ වැඩ එක්ක වැඩි වෙලාවක් කතා කරන්න උනේ නෑ.. ආයෙම කතා කරන්න චාන්ස් එකක් කැරකෙන්න දවස් දෙකක් විතර ගියා.. ලොක්ක එක්ක ඉතින් එහෙ මෙහෙ ඇවිදින නිසා තමයි එච්චර හරි පරක්කු උනේ.. 

සුපුරුදු විදිහට ඉතින් එයාගේ රටේ විස්තරත් අහගෙනම මම කතාවට එන්ටර් උනා..

" උඹ අපේ ලොක්කව අදුන ගත්ත පළවෙනි පාර වෙන්න ඕන මේක?"

" ඔව්.. ෆ්‍රැන්චෙස්කෝගේ නැටුම් හොදයි.. එච්චර වයසයි කියලා තේරෙන්නෙත් නෑ.."  

" උඹට අවුරුදු 28ට වැඩි නෑ නේද?"

" නෑ 26යි.. කොහොමද හිතුවේ?"

අපේ ලොක්කා එක්කන් ආපු හැම කෙල්ලෙක්ම 24ත් 28 අතර.. ඒක ඉතින් දන්නේ අපි නේ.. ඕව කියන්න ඕනද? ඔය අස්සේ කතා බහ ටිකක් දුර ඇදිලා ගියා.. වැඩත් අඩු වෙලාවට මම කැමති එකම දේ කතා කරන එක කියලා ඉතින් මේ කට්ටියට කියන්න ඕන නෑනේ.. ඒකනේ මේ ෆාමසි කතා මෙච්චර තියෙන්නේ ලියන්න.. :)

" උඹේ අපේ ලොක්ක බදින්න එහෙම අදහසක් තියෙනවද?"

" අපෝ නෑ.."

එන හැමෝගෙන්ම වගේ මම නිකමට වගේ අහන ප්‍රශ්ණේ ඕකම උනත්, ඒ හැමෝගෙන්ම වගේ ලැබෙන උත්තරෙත් ඕකම උනත්, එක කියපු විදිහේ හරි අප්සට් ගතියක් මට දැනුන හින්දම මම කතව ටිකක් අල්ලන් ගියා..

" දොත්තෝරේ හොදයිනේ.. හොදට සල්ලිත් තියෙන්නේ.."

" ඔව් ඒක ඇත්ත.. ඒත් මම කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ මාස  3 විතරයි.."

එවෙලේ මගේ මූඩ් එක කට්ටියට හිතා ගන්න පුළුවන් ඇතැයි හිතනවා..

" එන හැමොම ඉන්නේ මාස 3ද?"

" ඔව්.. මගේ පළවෙනි කොල්ල විතරයි අවුරුද්දක් හිටියේ.. මුලදි වගේ නෙමෙයි අන්තිම වෙද්දි බෝරිං උනා.. ඒකයි මම දැන් මාස 3ක් විතරක් එක්කෙනෙක් එක්ක ඉන්නේ.."

එක්කෙනෙක් මාස 3යි.. ඒ කියන්නේ අවුරුද්දට 4යි.. ඒකත් නරකම නෑ.. මම එහෙම කිවුවේ නෑ.. හිතුවා..

" එතකොට අපේ දොත්තොරේ?"

" ෆ්‍රැන්චෙස්කෝ බදින්න නම් වයස වැඩියි.. මෙහෙම නම් කමක් නෑ.."

මට එක පාර අපු හිනාව ටිකක් නතර කර ගන්න බැරි උනේ දෙයක් මතක් උන නිසා.. එක අන්තිමේ කියන්නම්..

ඔහොම ටිකක් වෙලා මෙයාගේ මාස 3 තියරිය ගැන ටිකක් කතා කර කර හිටියා.. කොච්චර වැඩ අඩු උනත් අන්තිමේ කරන්න ඕන දෛණික රාජකාරි වලට වෙලාව තියා ගන්න ඕන නිසා මමත් කතාව නවත්තලා යන්න ලෑස්ති උනා.. 

" මම හෙට ආයෙම ෆ්‍රැන්චෙස්කෝ එක්ක පැරිස් යනවා.. ආයෙම ඉතින් උබලව හම්බුවෙන්නේ නිවාඩුවෙන් පස්සෙම තමයි.."

" සමහර විට අද අන්තිම දවස වේවි.."

වෙනදට එන අය ඔහොම කිවුවම ආයෙ හමු වෙනකන් කියලා පැනලා දෙන හාදුව මට මෙයාට දෙන්න නොහිතුනේ ඇයිද මන්දා.. අතට අත දීලා විශ් කරලා ඇවිත් මගේ වැඩ කරන ගමනුත් මම කල්පනා කලේ මේ තියරිය ගැන..

අපි එක පැත්තකින් තියමුකො.. ලොක්කා ගැන හිතමු.. ඌ කෙල්ලෙක් එක්ක ඉන්නේ මාසයි නැත්නම් එකහා මාරයි නේ.. ඊට වඩා කවුරුවත් මූ එක්ක ඉන්නේ නැද්ද, මූ තියාගන්නේ නැද්ද කියන්න නම් මම හරියට දන්නේ නෑ.. කොම උනත් ඊට වඩා කාලයක් කවුරුවත් ඉන්නේ නෑ.. එහෙම බලද්දි අරයගේ තියරිය ඉවර වෙන්න කලින් ලොක්කා ඉස්සර වෙනවා.. ඔන්න ඕක මතක් වෙලයි ඉස්සෙල්ල මට හිනා ගියෙත්..

දැන් අපිට මේ මාසෙම නිවාඩු.. සමර් වැකේශන්.. ආයෙ වැඩ සැප්තැම්බර් 3 ඉදන්.. ඒ වෙද්දි ලොක්කගේ තියරියේ කාලේ ඉවරයි.. ආයෙ කෝමත් මෙයා දකින්න වෙන්නේ නෑ.. ඒකයි මම කිවුවේ අද අන්තිම දවස වේවි කියලත්..




විශේෂයි : මේක වෙලා ගොඩක් දවස් උනත් ලියන්න වෙලාවක් ආවේ දැන් තමයි ඉතින්.. වෙනදටනම් පහුවදාම ලියලා දාලා.. දැන් ඉතින් ටිකක් ගමන හෙමින් තමයි.. :)

Sunday, 19 August 2012

මැහැල්ල ( කෙටි කතාව )

හවස් යාමෙ අදුරත් එක්ක හමාගෙන ආපු සුළඟේ දැනුනේ වෙනදාට වඩා සීතලක් නිසා ඇදුමට උඩින් ඇදන් හිටි කබාය තව ටිකක් ඇගට තද කර ගත් ඈ වීදි ලාම්පු එළියක් වත් නොවැටුන මාවත දිගේ හෙමින් ඇව්දන් යන්නට වූවාය..  ඉදහිට මාවතේ අනෙක් පසෙන් මතුවන මුහුණු දෙස ඈ උවමනාවෙන් නොබැළුවත්, ඈ පසු කර යන ඔවුන්ගේ දෑස් නිතැතින්ම ඈ වෙතට යොමු විය..

මාස කීපෙකට පෙරාතුව හදිසියේම මාවත් අතර නෙතු ගැටුන ඈ නගරයේ වෙසුන සීමිත වූ පිරිසගේ අවධානයට මොහොතින් නතු වූයේ ඇගේ පෙනුමෙහි වූ අසාමාන්‍ය බව නිසාය.. මදක් ඉදිරියට නැවුන සිරුරත් සුදුමැළි උන මුහුණත් විටක ඈ නපුරු මන්තරකාරියකේ මුහුණක් මැවුවාය..

" ඔබ මේ පැත්තට අළුත් නේද?"

" හ්ම්ම්ම්.."

" මීට කලින් කොහෙද හිටියේ?"

" මේ බඩු වලට මම කීයක්ද ගෙවන්න ඕන?"

ඉද හිට කඩ පිලකදි වචනය දෙකක් කතා කල ඈ රාත්‍රිය ගත කල පාළුවට ගිය ගරාවැටුන නිවස ඇගේ ගුප්ත බව තවත් වැඩි කලාය..

ඉරිදා දිනයන් වල පල්ලියේ වතාවත් වලට සහභාගි වන ගම්මුන්ගේ ප්‍රධානම මාතෘකාව බවට නිතැතින්ම ඈ නතු විය..

" නපුරු මන්තරකාරියක් වගේ පෙනුම නම්.."

" මොකක් හරි අපරාදයක් කරලා හැංගෙන්න ආවද දන්නේ නෑ.."

" මොකක් හරි ලොකු අසනීපයක් නිසා ගෙදරින් පිටමං කරපු කෙනෙක් වගේ.."

එකිනෙකා අතර උන කතා වන් වල ඈ මනින්නට උත්සාහ කල අය බොහෝ විය.. නමුත් ඒ හැමෝම ඇගේ නිහඩ බවත් ගුප්ත බවත් ඉදිරියේ නිරුත්තර වීය..


කාලයත් එක්කම ඈ ගමේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එක්කෙනෙක් වන්නට වූවත් ඈ ගමේ කා එක්කවත් ඇසුරකට නොගියාය.. ඇගේ හුදෙකලා ජීවිතයට ඉදහිට බාදාවක් උනි නම් ඒ යාබද නිවසෙහි උන් කුඩා දරුවාගෙනි..  ඉදහිට ගෙමිදුලට විත් ජනෙල් අතරින් එබි කම් කරන ඔහු ජනෙල අතරින් ඈ දුටු සැනින් කෑ ගසාගෙන දුවන්නේ වරෙකම ඈගෙන් දකින ගුප්ත නපුරු පෙනුම නිසාවෙනි..

ඈ එදත් කඩ පිළට ගොස් ආපසු පැමිනෙද්දි ජනේල අතරින් එබිකම් කරන පුංචි දරුවා දැක මදක් ඈත සිට  ඒ දෙස බලා හිදියාය.. හෙමින් ඔහු වෙතට ලං උන ඇගේ හුස්ම පොද හෙමින් දැනෙද්දි ඈ වෙතින් ඈතට පලායන්නට තැත් කලත් ඇගේ රළු අත් වලින් ගැලවෙන්නට ඔහු අපෝසත් වීය..

" කරුණාකරලා මට යන්න දෙන්න.. මම ආයෙම එහෙම කරන්නේ නෑ.."

බිය මුසු උන දෑසින් ඇගෙන් පලායමට උත්සාහ කල ඔහු දෙස මොහොතක් නපුරු පෙනුමින් බලා උන් ඈ තම මුහුණෙහි වූ නපුරු පෙනුම වෙනස් කල කුඩා දරුවා හා හොදින් සිනා සුනාය..

" මම ගෙදරම හදපු විස්කෝතු වගයක් තියෙනවා.. කැමතිද කන්න.."

නපුරු වූ පෙනුමෙන් වෙනස්ව කවදාවත්ම කිසිවකුත් නොදැක්ක සිනහවක් මුහුණට ලං කර ගනිමින් කතා කල ඈ දෙස කුඩා දරුවා මහත් පුදුමයකින් බලා සිටියේය.. තැතින් තැන දිරා ගිය කෙටි ලී පඩි හතරකින් නිවසේ දොරළගට ඇතුළු වූ ඈ ඔහුගේ අතින් අල්ලාගෙනම දොර විවර කලේ හිත මොහොතකට බිය ගැන්වෙන සිහින් හඩක්ද සමගිනි..

" කෑම මේසේ තියෙන්නේ එහා කාමරේ.. වාඩි වෙන්න.. මම ඉක්මනට එන්නම්.."

දුහුවිල්ලෙන් වැසීගිය ලීබඩු අතරේ කෑම මේසයේ එකම එක පුටුවක් හා ඒ ඉදිරියේ මේසයේ කොටසක් දුහුවිල්ලෙන් තොර වූයේ ඈ නිතරම එය පාවිච්චි කල හෙයිනි.. ඔහු ඒ වෙතට ගොස් හිද ගනිද්දි ඈ බන්දේසියක තැබූ විස්කෝතුත් තේ කෝප්පයකුත් රැගෙන විත් ඔහු හිද සිටි පුටුවට ඉදිරියේ මේසයෙන් තැබුවාය..

" කන්න... මම තේ එකකකුත් අරගෙනම ආවා.."

ඈ ඔහුට ඒවා පිළිගන්වමින් පසෙකින් වූ පුටුවේ දුහුවිලි මදක් අතින් පිසදමමින් හිද ගත්තාය..

" මොකද්ද ඔබේ නම?"

" මාර්කෝ.."

" මම මාග්‍රට්.."

" අපේ ගෙදරින් කිවුවේ මට ඔබත් එක්ක කතා කරන්න එපා කියලා.."

" ඒ ඇයි?"

" ඔබ නපුරු මන්තරකාරියක්ලු.."

" ඉතින් මාර්කෝ ඒ දේ විශ්වාස කරනවද?"

" හ්ම්ම්ම්.. නැහැ.."

" මම දැන් යන්න ඕන.."

ඉක්මනින් තේ කෝප්පය නිමා කල ඔහු නිවසේ දොර අසලට ඇවිදන් ආවේය.. ඇවිදිද්දි හඬ නැගෙන ලී පොළව ඔහු නිවසට ඇතුල් වන විට ගෙනා තරමේ බයක් තව දුරතත් නොගෙනාවේය..

" ආයෙමත් එනවා නේද? මීට පස්සේ ජනේලන් එබිලා බලන්න ඕන නෑ.."

" හා.. සුභ සන්ද්‍යාවක්.."

" සුභ සන්ද්‍යාවක් මාර්කෝ.."

ගෙමිදුලේ පුංචි තණකොල පිස්ස මතින් පැන යාඹද නිවසට ඇතුළු වන ඔහු දෙස මොහොතක් බලා හිදි ඈ නිවසට විත් දොරගුළු ලා ගත්තාය..


...............................................

කාලය වේගයෙන් ගෙවෙමිනි තිබුනි.. නගරයේ හැමෝටම ඈ තව දුරටත් ආගන්තුක නොවූ මුත් ඈ ගැන තොරතුරු කිසිවෙකුත් දැන නොසිටියේය.. නගරයේ ඈ හා කතා කල එකම එක පුද්ගලයා වූයේ කුඩා මාර්කෝය..

" මාර්කෝ ඇත්තද ඈ නපුරු මන්තර කාරියක් කියන්නේ?"

" මටනම් එහෙම දැනෙන්නේ නෑ.. ඈ කරුණාවන්තයි.."

තමන්ගේ මිතුරන් හා ඈ ගැන ආඩම්බරයෙන් කතා කරන තරමටම ඔහුත් ඈත් අතර හොද බැදීමක් ඇතිවෙමින් තිබුනේය.. පාසලෙන් පසුව හැමදාම ඇගේ නිවසට විත් ඈ හා කතා බස් කරන්නට ඔහු නිතරම වාගේ පුරුදුවිය..

සීත සමය හෙමින් නගරයට ලංවෙමින් තිබුනේය.. කදුකර පෙදෙසට සමීපයේ තිබූ නිසාම පුන්චි හිම බිංදු සීත සමයේ ඇරඹුමත් එක්කම වැටෙන්නට විය.. ඇගේ නිවසේ ගිණි උදුන ලගට වී හිද ගෙන උන් මාර්කෝ ලගට ඈ පැමිණියේ මදක් විශාල අත් බෑගයක්ද සමගිනි..

" ඔබ අද කොහේ හරි යන්නද?"

අත්බෑගයත් සමගින් ඈව දුටු  මාර්කෝ ඈ කිසිවක් කියන්නටත් මත්තෙන්ම ඇගෙන් ප්‍රශ්ණ කලේ ඈ වෙනදාට වඩා හැඩති ඇදුමක් ඇගලා සිටි හෙයිනි..

" මාර්කෝ මට උදවුවක් කරනවද?"

" කියන්න.."

" අද මම රාත්‍රී ආහාරයකට එළියට යනවා.. එන්න පමා වෙන්න පුළුවන්.. මේ තියෙන්නේ මගේ ලග තියෙන වටිනාම සම්පත.. ඔබට පුළුවන්ද මම එනකම් මේක ආරක්ශා තැනක තියා ගන්න.."

" හා.."

ඇගේ අතති වූ බෑගය වෙතට දෑත දිගුකරමින් එය තමන් ලගට ගන්නට මාර්කෝ දෙවරක් නොසිතුවේය..

" මේ ගැන මාර්කෝ කාටවත් කියන්නවත් මේක කාටවත් බලන්න දෙන්නවත් එපා.."

 " හා.."

ඈයත් එක්කම නිවසින් පිටවූ මාර්කෝ  නිවසට ඇතුල් වන තුරුම තම  නිවස ඉදිරිපසට වී බලා උන් ඈ දෙපස හිම වැටි තිබූ මාවත දිගේ ඇවිද ගොස් ඈත මිහිදුම් අදුරේ නොපෙනී ගියාය.. තම නිවසේ ජනෙල් තිරය මතින් ඈ  නොපෙනි යන අයුරු බලා සිටි මාර්කෝ ඉහල තට්ටුවේ ඔහුගේ කාමරයට දුව ගොස්  තම ඇත යටින් ඈ දුන් බෑගය තැබූ ඔහු ඇද ඇතිරිල්ල පහතටම දමා එය ආවරණය කලේය..
...............................................

" මාග්‍රට් ගැන පොලීසියෙන් වත් විස්තර හෙවුවොත් නරකද?"

" ඒ මොකද..?

" මාග්‍රට් අපේ අසල්වැසියෙක්.. ඒ පාළුවෙන් තිබුන ගෙදරට හදිසියේම මේ ආපු කෙනා ගැන අපි හොයහන්න ඕන නේද?"

" මිස්ටර් ජෝර්ජ් ගේ ලගම නෑයෙක් කිවුවා නේද?"

" හ්ම්ම් ඒ උනත් අපි මීට කලින් ඇයව මෙහේ එනවා දැකලා නෑ.. "

" හොදයි.. අපි හෙට හොයලා බලමු.."

රාත්‍රී කෑම මේසයේදි මාර්කෝගේ මෑණියන් ගෙනා කතාබහ දිගේ ඔහුගේ හිත ඇදි ගියේ සවස ඈ පරිස්සම් කරන්නට දුන් අත් බෑගය කෙරේය..  ඒ තරම් ඕනෑකමකින් තොරව රාත්‍රී ආහාරය නිමා කල මාර්කෝ දිව ගියේ ඉහල මාලයේ තමන්ගේ කාමරය වෙතටය..

" මේ ගැන මාර්කෝ කාටවත් කියන්නවත් මේක කාටවත් බලන්න දෙන්නවත් එපා.."

ඈ කී ඒ වදන් පෙල ඔහුට යලි යලි ඇසෙන්නට වීය.. කාලයක් තිස්සේ ඇසුරු කලත් කවදාවත් ඈ ඇගේ තොරතුරක් තමන් හා වත් නොකීවේ ඇයිදැයි අවුරුදු 10ක් වයසැති මාර්කෝගේ හිතට තදින් දැනෙන්නට වීය.. වාඩි වී උන් පුංචි පුටුවව ඉදිරියෙන් ඇද යට වූ ඇගේ බෑගය වෙතට මාර්කෝගේ හිත හිටිහැටියේ දුවන්නට විය..

බොහෝ වේලාවක් ඒ දෙසම බලා උන් ඔහු හිද හිටි පුටුවෙන් නැගිට ඇද මතට ගොස් එහි හිද ගත්තේ දෙපා මුල අත් බෑගය පෙනෙන පරිද්දෙනි..

" නෑ මේ දේ වැරදියි.."

ඔහුගේ හිහ ඔහු හා දොඩමළු විය..

" ඇය මාව විශ්වාස කරලයි මේක මට දීලා ගියේ.. මම එහෙම කරන එක හරි නෑ.."

" ඒත් ඇත්තටම ඇය මන්තරකාරියක් නම්, අපරාධකාරියක්නම්, දවසක මටත් අනතුරක් කලොත්.. ඊට කලින් මම ඈ ගැන දැන ගන්නම ඕන.."

දෙපාලග තිබූ අත් බෑගය තම උකුල මතට ගත් මාර්කෝ එය විවෘත කරන ගාන්චුව දෙසට අත ගෙන යද්දි වරදකාරි සිතුවිල්ල ඔහු නැවතත් වලකාලීය..

" නෑ ඇය එහෙම කෙනෙක් නෙමෙයි.. මේක මම ඇය මට දුන්න විදිහටම ඈයට ආයෙම බාර කරනවා.."

බිමින් තැබූ බෑගය ඇදේ මැදක් වන තෙක්ම යටට තල්ලු කර දැමු ඔහු ආයාසයෙන් නෙත් පියාගෙන නිදන්නට සූදානම් වූයේ  හිතේ තෙරපෙන නොයෙක් හැගුම් වලට ඉඩ අහුරමිනි..


...............................................

පරිසරයේ දැනුන හීතලත් නිසා උදෑසන හිරු කිරණ පොළවට වැටෙද්දි උදෑසන අටටත් පසු විය.. නින්දත් නොනින්දත් අතර ගෙවු රාත්‍රියෙන් පසුව අවදි උන මාර්කෝ මුලින්ම දිව ගියේ ඇගේ නිවස වෙතය.. කලින් දා සවස වසා දැමුන දොරගුළු තවමත් වසා දමාය.. ජනේලයෙන් මදක් එබිකම් කල ඔහු ආයෙම නිවසට ආවේ සවස ඈ හමුවන්නට හිතා ගෙනය.. 

රාත්‍රියේ හිතේ වද දුන් සිතුවිල්ල ඉදහිට හිතේ තැනක ආයෙමත් මතු වෙමින් කාලය පාසල තුල ගෙවා දැමු මාර්කෝ හිමෙන් වැසුන මාවත් අතරේ කෙලින්ම දුව ආවේ ඇගේ නිවසේ ඉදිරිපස වූ කෙටි ලී පඩි පෙල වෙතටය.. තාමත් අගුළු දැමු දොරත් උදෑසන සිටම පඩ් පෙල අසල වූ දිනපතා පුවත්පතත්  නිවසේ පාළුව මාර්කෝගේ හිතට තේරුම් කර දුන්නේය..

තම උඩු මහලේ කුඩා ජනේලයෙන් නිතරම ඇගේ නිවස දෙසට නෙත් යොමා හිටි මාර්කෝගේ හිතට බොහෝමයක් සිතුවිලි ගලා එන්නට විය..

" ඇයි ඇය තාම ආවේ නැත්තේ? අනතුරක්වත්ද?"

දවස නොදැනීම ගෙවී ගියේය.. කාලය හෙමින් ඉගිල ගොස් දවස් ගනන් ගෙවුනේ කාටත් නොදැනීමය..  නගරයේ අනෙක් හැම කෙනෙක්ම තමන්ගේ සුපුරුදු ජීවිත වල දවස් ගෙවා දමද්දි මාර්කෝගේ හිතේ බොහොමයක් සිතුවිලි මැවෙන්නට විය.. කල්පනා අතරේම මාර්කෝගේ දෑස යොමු උනේ ඈ තමන් ලග පරෙස්සමට තමා ගිය අත බෑගය වෙතටය..

" මම මේක ඇරලා බලනවා.."

හිතුවක්කාර දැඩි තීරණයකට එලබුන මාර්කෝ ඇද යට වූ ඇගේ අත් බෑගය ගෙන එහි ගාන්චුවෙන් හැර විවර කලේ තව දුරටත් එය වරදකාරි දෙයක්යැයි නොසිතමිනි.. මොහොතකින් දිළිසුන මාර්කෝගේ දෑස් අදහා ගන්නට නොහැකි විය.. බෑගය පිරෙන්නට තිබු පවුම් කාසි මාර්කෝගේ දෑස් ඉදිරියේ දිළිසෙන්නට විය.. ඉන් දෑස් ඉවතට ගත් මාර්කෝ මොහොතක් වට පිට බැළුවේ දෑස් අදහා ගත නොහැකි වූ නිසාවෙනි..

දිගු හුස්මක් පිටකල මාර්කෝ යලිත් බෑගය දෙසට නෙත් යොමු කලේ එය වසා යලිත් පරෙස්සමට තබන්නයි ඔහුගේ හිත ඔහුටම කියන්නට වූ නිසාය.. පවුම් කාසි අතරින් ඉහලට එස උන පුංචි කොල කැබැල්ලට මාර්කෝගේ දෑස් යොමු උනේ අහම්බෙ මෙනි.. දෙවරක් නොහිතාම ඔහු එය අතට ගත්තේ ඈ ගැන පුංචිම හෝ තොරතුරක් එහි අඩංගු වේයයි හිතු නිසාවෙනි..  දෙකට නැමු ඒ කොල කැබැල්ල අට ගත් මාර්කෝ එය දිග හල විට එහි ආමන්ත්‍රණය දැක මදක් තිගැස්සුනි.. එය ඔහුටය..


ආදරණීය මාර්කෝ,

                                      මම නෑවිත් දවස් කීපයක් ගත වෙද්දි ඔබ මේය විවෘත කර බලන බව මම දන්නවා.. මගේ ජීවිතේ මෙතුවක් කාලෙකට මට ගොඩාක් හිතවත් උන කෙනෙක් ඔබ.. මේ වස්තුව ආරාක්ශා කර ගන්න.. අනාගතේ දවසක ඔබට හොද මාවතක් තනාගන්න මේ වස්තුව උදවු කර ගන්න.. මම කවුද කියන එක ඔබ කාලයත් එක්ක තේරුම් ගනීවි..



                                                                                  මාග්‍රට්..


කිසිවක් සිතා ගත නොහැකිව මාර්කෝ දිගු හුස්මක් පිට කලේය..

" ඇත්තටම ඈ කව්ද?






නිමි..

Sunday, 12 August 2012

සමර් එක ඇවිදින්

උණුසුම් සිතයි ගතයි දෙක හොදටෝම
ගිණිදැල් වාගෙයි හමලා එන මද සුළග
අඩියෙන් අඩිය දෑස් ලග රැදි මිරිගුව
දැක් දුවයි මගේ හිත පිපාසිතව..

පාළුයි මාවත් දහවල උදා වෙන විට
හිරු රජයයි තෙමා මුළු ගතම
දිය පොදක් හොයා දිව යන මුවැත්තියෝ හැම
ඇදෙයි වෙරළට සොයා ඒ පහස..

නැගිලා යතුරු පැදිවල වේගෙන් ඉගිලෙන
යට ඇදුම විතරකි ඔවුනගේ ගත දැවටුන
අවුවට දිලිසෙද්දි උන්ගේ සුදු ළමැද
හිත වාවාගෙන පාරක යනු කෝම..

මහ මග නැවතුන් උන් හැම තැනක
සීතල වතුර ළමැදට මුසු කරන විට
තව තව හොදට පේනා ඒවා දැක්කම
මැවුනා වාගෙයි සුර ලොව දෑස් අද්දර..

සොදුරුයි වාගෙයි වෙරළද්දර ජීවිත
දුරදක්න ඇතිව උන් සදළු තල වල
වයසට ගියත් ඒ තරුණ හිත් වල
රැදි සතුට කවුරුන් හොරා ගන්නද..

පාදයේ තාලයට නැළවෙන නිතඹ
බලා යන උන් බෝමයි පසු පසම
දැන් දැනම උන් තව පද්දනකොට
කොමුපිළිත් මදි ඒවා රැදවෙන්නට..

සමර් කාලේ ඇවිදින් නිවාඩුවත් අරගෙන
නිදහස් ජීවිත නිදැල්ලේ ගැවසෙන
මාවත් වල එක්වී උණුසුම් දහඩිය මැද
කාලය ගෙවනවා අපූරු දසුන් මැද..

බලා හිටියේ මාස හයක්ම ඉවසගෙන
බලාගන්න සිත් සේ සුර ලොවම
කාලය මැවු වෙනසක ඇරුම හින්දම
ඒවා රසවිදින්න තහනම්දෝ මට..







විශේෂයි : මේ පින්තූරේ මම 2010 රෝම් ගිය වෙලේ මගේ කැමරාවෙන්ම ගත්ත පැපරාසි චායාරූපයකි.. :)

අති විශේෂයි : නඩුකාරි දැන් ලෝ ක්ලාස් ගිහින් ආව ගමන් මේක දැකලා මාව විත්ති කූඩුවට නග්ගනවා මැවිලා පේන්නේ මොකද මන්දා...



Friday, 10 August 2012

අවුරුදු 2 කතාව

ඉස්සර ඉස්කෝලේ යද්දි පොඩි කාලේ රචනාවක් ලියන්න දුන්නම හරි O/L වලදි සිංහල සාහිත්‍යට විචාරයක් ලියන්න දුන්නම හරි මට එන්නේ පුදුම තරහවක්.. මොකද මම ලියන්න ඒ තරමටම අකමැති නිසා.. ඔය පොඩි කාලේ රචනාව හරි O/L සාහිත්‍ය විචාරය හරි නොලියා ගිහින් බැනුම් අහපු, පන්තියෙන් එළියේ හිටපු අවස්ථාත් ඉතින් නැතුවම නෙමෙයි.. කොමර්ස් වල එකවුන්ට් එකක් බැලන්ස් කරන්න තිබ්බ ආසාව ඇත්තටම ලියන දේවල් වලට තිබ්බෙම නෑ.. විශ්වාස කරන්න මට O/L සිංහල වලට තියෙන්නේ " C "  සාමාර්ථයක්..

ඉස්සරම මම අයියගේ කවි කොපි කලා කියන එක ඉතින් මම ලිපි දෙක තුනකම කියල ඇතිනේ.. කාලයත් එක්ක එහෙම කොපි කිරිල්ලත් එපා වෙලා මගේම කියලා දෙයක් ලියන්න හිතිලා ඉස්සෙලාම ලියපු කවිය මම දවසක් දැම්මා වර්ණයෙත්.. මේ තියෙන්නේ ඒක.. දැන් ඉතින් ඕකේ නිධාන කතා අහන්න එපා මට ඇත්තටම මතක නෑ.. :)

කාලය ඔහොම හෙමින් ගෙවිලා යද්දි ටික ටික ලියන දේවල් වලට මම ආස කලා.. වැඩියෙන්ම කවියට.. ඒත් හැබැයි A/L ඉවර උනත් එක්කම වගේ ඒ දේවල් වලට ලොකු නැවතීමේ තිතක් වැටුනේ ඉබේටම වගේ..  අමතක වෙලාම තිබ්බ කවිකම ආයෙම මතක් වෙලා ආවේ 2008 ඉතාලි ආවයින් පස්සේ.. ඒ කතාව මම මගේ අවුරුද්දේ උපන්දිනේ දවසේ කිවුවා..

නොහිතපු විදිහකින් පටන් ගත්ත ගමනක අද මම දෙවෙනි උපන්දිනේ සමරනවා.. අද මගේ බ්ලොග් එකට අවුරුදු 2ක්.. හ්ම්ම්ම්.. හිතට දැනෙන සතුට කොච්චරද කියලා කියා ගන්න බෑ.. ජීවිතේ ගෙවපු මම වැඩියෙන්ම ආස කරන මතකයන් කීපයට මේ අවුරුදු දෙකේ බ්ලොග් මතකයත් අනිවාර්‍යෙන්ම එකතු වෙනවා..



මේ ගෙවුන අවුරුදු දෙක දිහා හැරිලා බලලා අවංකවම හිතින් සතුටු වෙන්න පුළුවන් පසුබිමක් හැදිලා තියෙන එක ගැන ඇත්තටම මට ආඩම්බරයි.. අද මම මේ ලියන්නේ මගේ 379 පෝස්ට් එක.. මේ වෙද්දි වර්ණය 385 දෙනෙක් ෆලෝ කරනවා.. අනිත් දේවලුත් මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් තැනක තියෙනවා..

ඊයේ RAJ අයියා දාපූ අවුලක් නෑ පෝස්ට් එක කියවද්දි මට ඇත්තටම මතක් උනේ මම මගේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ.. විශ්වාස කරන්න එකම එක කමෙන්ට් එකක්වත් නැති පෝස්ට් 13ක් මගේ බ්ලොග් එකේ තියෙනවා... :)

මේ බ්ලොග් ගමන ඇත්තටම සුන්දරයි.. මේ ගමනෙදි බොහොම සුන්දර මිනිස්සු මට මුණගැහුනා.. ඒ හිතවත්කම් ඒ සොදුරු මිතුදම් මේ බ්ලොග් එකේ අකුරු අතරට එහායින් වටිනවා කියලා මට හිතෙනවා..

ඉස්සර රචනාවක් ලියන්න අකමැති උන මම දැන් හැමදාම මොනා හරි ලියන්න පුරුදු වෙලා.. ඒ තරමටම දැන් මේ බ්ලොග් එක ජීවිතේ මම වැඩියම ආදරේ කරන දේවල් තුනෙන් එකක් වෙලා.. ලියන්න ඕන කියලා හිතේ ඇදුන කතා නම් ගොඩයි.. දැන් වෙනදට වඩා ටිකක් අවිවේකි හින්දම අඩුවෙන් ලිය උනත් අවසානයක් නම් තව පේන මානෙක නෑ..


ජීවිතේ වෙනසක් ඕන කියලා හිතාගෙන පටන් ගත්ත බ්ලොග් එක නිසා ජීවිතේ මම බලාපොරොත්තු උන ඒ වෙනස මට ලැබුනා.. ඒ මදාරා.. මේ බ්ලොග් අවකාශෙම අකුරු අතරේ හමු උන ඔයා මගේ ජිවිතේට මම බලාපොරොත්තු උන ඒ වෙනසත් මම බලාපොරොත්තු උනාටත් වැඩි ආදරයක් අරන් ඇවිත්.. මේ ආදරේට ආදරෙයි මම ගොඩාක්...

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මම මගේ අවුරුදු 2 උපන්දිනේ ගැන මදාරා එකක් කියද්දි අවුරුදු දෙකක් ලියලත් ඔයා තාම ෆෑන් පේජ් එකක් වත් හදාගෙන නෑ නේද කියලා ඔන්න ඊයේ තකහනියක් මෙන්න මේ ෆෑන් පේජ් එක මට මදාරාම හදලා උපන්දිනේට තෑගි කලා.. ඔය උඩ තියෙන ඉමේජ් එක හැදුවෙත් මදාරාම තමයි..

මීට වඩා ඉතින් මොනවා නම් කියන්නද? හැම දේටම ගොඩාක් ස්තුතියි.. මේ අවුරුදු දෙක පුරාවට මාත් එක්ක ඉදලා මම ලියන හැම දෙයක්ම වගේ කියවලා මට ශක්තියක් උනාට.. මේ හැම කෙනෙක්ගෙම මේ සහයෝගය නොතිබෙන්න මේ ගමන මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. ඉතින් ආයෙම ගොඩාක් ගොඩාක් ස්තූතියි.. 

ඔන්න ඉතින් කට්ටියට  කේක් තියෙනවා.. බෙදාගෙන කන්න හොදේ.. :)


හරි හරි මේක අපේ අයියලා මල්ලිලාට... :)


මට හොරෙන් කතා කරන්න එපා බං.. මදාරා බලන් ඉන්නවා..     :)



Tuesday, 7 August 2012

කුංකුම

st clair's වතු යායට මුලින්ම ආව දවසේ හිතට හිතේ මැවුනේ එකම එක ලස්සන චිත්‍රයක්.. වතු යායේ ඉහලටම නැගලා st clair's  ඇල්ලත් එක්ක  වතු යාය දිහා බලන් ඉද්දි හිතට දැනුන සතුට කියා ගන්න බැරි තරම්.. මුල්ම දවස් වල හිතට දැනුන සතුට කාලෙත් එක්ක මේ තරම් ඉක්මනට කොහොම නම් ගෙවිලා ගියාද?

ලා කොළ පාටට ඈතට විහිදුන වතු යායට මැදි උන මේ සුන්දර ඇල්ල වගේම ලස්සන ඈ දැක්ක ඒ දවස් අදටත් ඒ වගේම මතකයන් වල ඇදිලා තියෙන අපූරුව.. හිත ලගට කොහෙන්දෝ ඇවිත් දගකෙරුව මල් සුවදක් ජීවිතේට මේ තරම්ම ලෙංගතු උන හැටි හිතා ගන්නත් බැරි තරම්..

" මේක හීනයක් විතරක් වේවිද මහත්තයෝ?"

මීට ටික කාලෙකට කලින් මෙතනම ඉදන් ඈත දිය ඇල්ල දිහා බලාගෙන නුඹ අහපු ඒ වචන ටික හිත ඇතුලේ හැම තිස්සෙම වගේ රැවු දෙන්නේ ජීවිතේ වටිනාම දෙයක් මට අතහැරුනා කියන වේදනාවෙන්.. කාලයෙන් ආපස්සට යන්න තිබ්බනම්..

" උඹට මෙච්චර මෙහේ කොල්ලො ඉද්දි ඔය වත්තක  කෙල්ලෙක්ම ලොකු උනාද?"

" ඒත් තාත්තේ.."

" කතා කරන්න එපා තව වචනයක් උඹ.. උඹේ වැඩ නිසා නංගිගේ කටයුත්තත් ඇදෙනවා කියලා උඹට තේරෙන්නේ නැද්ද? උඹ විනාස වෙනවා මදිවට ඒ කෙල්ලගේ ජීවිතෙත් විනාස කරන්න එපා.."

ආදරේ අයිති ආදරේ කරන හිත් දෙකකට විතරක්ම උනත් ඒ ආදරේ එක්ක නොදැනිම තව කී දෙනෙක් බැදිලද?  බොහොමයක් බැදීම් අතරේ මේ හිත් දෙකක ආදරේ මොන තරම්නම්  දොලනය වෙනවද?

" උඹ ආයෙම වත්තට යන්න ඕන නෑ.. මම වත්ත විකුණුවා.. "

කාලයත් එක්ක වෙනස් වෙයි කියලා හිතපු හිත් ඒ විදිහට තව තවත් දරුණු වෙද්දි  ජීවිතේ එකම එක තීරණයක් විතරක් දෙනෙත් අද්දර හෙමින් දිග ඇරෙද්දි බැදීම් වගකීම් බොහෝමයක් මොහොතින් අමතක කලේ ජීවිතේට හිමි ඒ ආදරේ නිසා.. ඒත්,

කලින් වතාවට වඩා වතු යාය ලස්සන කොහේ හරි හැංගිලා කියලා ඈත තියාම හිතට දැනුනේ ඇයි කියන්න මට තේරුණේ නෑ.. මොහොතකට දැනුනේ දිය ඇල්ලෙත් මළානික බවක්..

" රාමා, කෝ සරෝජනී?"

හිනාවෙන් පිරුණ මුහුණු වල රැදුන අදුරු බව තේරුම් ගන්න ටිකක් අමාරු උනත් බලාපොරොත්තු නොවන දෙයක අමිහිරි පණිවිඩයක් සවනත වැටෙන්න වැඩි කාලයක් ගත උනේ නෑ..

" මහත්තයා ඉක්මනටම එනවා නේද? තව ගොඩක් කල් ලෝකෙන්  හැංගිලා මට බලන් ඉන්න බෑ මහත්තයා.."

......................................

ඈත අහසෙ දිළෙන සඳට සිනා සළයි සිත
සඳ ඈතයි ළං වෙනු බෑ කඳු පාමුළ මම
වාං දමන සෙනේ හැඟුම් නුඹට බැඳුණු සිත
වහං කරන්නේ කෝමද මගෙ ජීවිතෙ නුඹ.....
ආළවන්ත කම් පෑවත් බොළඳ වෙලා සිත
නුඹ අහසයි මම පොළවයි තරං ඳුරයි අප
නුඹේ සනුහරේ ඈයෝ කැමති වේද මට
ලැයිම් පේළියේ වෙසෙනා සරෝජනී මම.....

නුඹට තරං කාසි පනම් නොතිබුනාට මට
සාගරේට වඩා ලොකුයි මගෙ මේ සෙනෙහස
කොළොම් පුරේ විච්චූරන මං ළඟ නෑ හැඩ
කුංකුම පොට්ටුව විතරයි මං සතු වත්කම....

සංසාරෙන් සංසාරෙට පතා ආපු ලෙස
සිදාදියෙන් ආපු මහත්තයෝ මාව දැක
හරස් උනොත් අපෙ ළෙංගතු කමට වරිගයම
සත්තයි මං පහල දොලේ සැගවෙමි නොකියම..


...................................... 

ඇල්ලේ ඉහලම මුදුනේ ඉදන් ඈ ලිවුව අන්තිම පැතුම දෑතින් මුදා හැරියේ ජීවිතේ තිබුන අන්තිම පැතුමත් සුළගත් එක්කම මුසු කරගෙනම.. 
 
 " මේක හීනයක් විතරක් වේවිද මහත්තයෝ?"

සුළගත් එක්ක ආයෙ ආයෙම ඇහුන ඒ වචන පෙල දැනුනේ තවත් එක් ගමනකට ආරාධනා කලා වගේ.. සුළග තව ලස්සන ගමනකට ආරාධනා කරන බව හිතට  ඉබේම දැනෙද්දි එක් පියවරක් ඉබේම වගේ ඉදිරියට තිය උනේ ඈ ඈතින් හිනාවෙන ඒ ලස්සන මූණ මතකයේ ඇදෙද්දිම වගේ..


 ...................................... 

අහම්බෙන් හමු උන
ආදරණිට හිතකට
ලියා තියා ජීවිතය,
යන්න හිතයි 
සැග වෙන්නට 
ඒ හිත ලගම..

බලාපොරොත්තුව
මොහොතකට බිදුන
නිමේෂයක රැදි කඳූළ
පිසලන්න නුඹ නැති
අවාසනාවේ 
එක් දවසක..

දමා යන්නට 
නොහැකිව ලත උන
එකම එක 
ආදරණිය හිතක්
සොයා යන්නම්
සසර පුරාවට..

...................................... 



විශේෂයි : මේ පළවෙනි කවිය මගේ නෙමෙයි.. සොදුරු සදවතී ලියන කාව්‍යා අක්කා එයාගේ බ්ලොග් එකේ ලිවුව එකක්.. මේ ඒකට හිතුන පුංචි කතාවක්..

අවසර ඇතිව උපුටා ගන්නා ලදී..

Sunday, 5 August 2012

පාර්ක් ගිය ඈයෝ ( ඉස්කෝලේ කතා 9 )

ලියුම් දිලා මාට්ටු වෙලා A/L පටන් අරන් මාස දෙක තුනක් ගෙවිලා ගියා.. ලියුම දෙන්න ගිහින් වැඩේ අප්සට් උනාට පස්සේ කෙල්ල අපේ මෑන්ස්ට කැමති උනා.. ලවු එකත් හොදට නැගලා ගියා.. කොච්චර නැගලා ගියාද කියනවනම් ටික කාලෙකින් ඉස්කොලෙම (නො)දන්න ආදර කතාවක් උනා..

මුල් වාරේ ගෙවිලා යද්දි අපේ පන්තියේ ගොඩක් කොල්ලන්ට කෙල්ලොත්, කෙල්ලන්ට ඉස්ලෝකෙන් පිට කොල්ලොත් සෙට් වෙලා හිටියේ.. මුල් වාරේ ඉතින් ඉගැන්නුවත් එච්චරම ඇගට නොදැනෙන කාලෙනේ.. ඉතින් පන්තියෙන් පිට ගොඩක් කාලේ ගෙවිලා ගියා..

ආයෙම මටයි තව යාළුවෝ කිප දෙනෙකුයි ශිෂ්‍ය නායක මණ්ඩලේට තේරුණා.. මේ පාර මට හම්බුනේ සීනියර් බැජ් එක.. පරණ රෙකොඩ් තියෙනවනේ.. ඒ පාර මට හම්බුනේ O/L  සෙක්ශන් එකේ පන්ති දෙකක්ම.. ඒකේ කොල්ලො කෝම උනත් කෙල්ලො නම් මාත් එක්ක මාර ෆිට් උනා.. උන්ගේ උපන්දිනේකට මගේ කේක් කෑල්ල අමතක වෙන්නේ නෑ.. ඉන්ටර්වල් එකට ඇවිත් යන්න කියලා උදේ පාන්දරම ආරාධනාව දෙනවා..

කෝම හරි ඉතින් ඔය පන්තියෙන් මඟුල් කපුකම් දෙකක් අපේ උන්ට කරලා දෙන්න මට උනා.. අපරාදේ කියන්න බෑ  ඉස්කෝලෙදි මං මට එකක් කර නොගත්තට අනිත් උන්ට නම් ඕන තරම් සෙට් කරලා දුන්නා..

ඔය අතර තුරේ කාලේ දවසක  අන්තර් පාසල් නෙට්බෝල් තරගාවලියකට අපේ ඉස්කෝලෙටත් ආරාධනා ලැබිලා තිබ්බා.. ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ හොදට සෙල්ලම් කරපු කෙල්ලො සෙට් කරලා අපේ ටීචර්ලත් ටීම් එක්කක් හැදුවා නිළදාරි මණ්ඩලේකුත් එක්ක.. ( ක්‍රීඩිකාවන්ට වඩා නිළදාරින් අඩුයි හොදේ... )



ඔය ටිම් එකට ඉතින් කෝම හරි අපේ සෙට් එකේ උන්ගේ කෙල්ලො වැඩි හරියකුත් අහු උනා.. අපේ කට්ටියට ඉතින් නොදැක ඉන්න බැරි කේස් අනං මනං තියෙනවනේ.. ඉතින් අපේ උන් කතා උනා හොරෙන් උන්ගේ පස්සෙන් යන්න.. :) පොඩ්ඩක් හරි මුණ බලන්න හිතාගෙන..

" අසා, උඹත් එනවද අපි එක යන්න?"

" මම එන්නේ කවුරු බලන්නද?"

" අවුලක් නෑ වරෙන් යන්න.."

උන් ඉතින් එන්න කිවුවට මම බලන්න කවුරුවත් නැතුව උන්ගේ තනියට යන්නද? ඒ හින්දා මම නොයා ඉන්න තීරණේ කලා.. පස්සේ බලද්දි පහුවදා ඉස්කෝලේ එන්න අපේ පන්තියේ එකෙක් වත් නෑ.. කෙල්ලො ඔක්කොම ටීම් එකේ.. කොල්ලො ටිකක් මුන්ගේ පස්සෙන් යනවා.. තව සමහරකට අමතර ටියුෂන්..කෝම හරි ඔය පස්සෙන් යන සෙට් එකට තව O/L ක්ලාස් වල කොල්ලො ටිකකුත් සෙට් වෙලා උන්ගෙත් කෙල්ලො  යනවයි කියල.. දැන් ක්‍රීඩිකාවන්ගේ ආරක්ශාවට පුද්ගලික අරක්ශක අංශයත් ලෑස්තියි..

දවස ගෙවිලා ගිහින් පහුවදා ඉස්කෝලේ එන්න නැගිටිද්දි මතක් උනා අද එකෙක්වත් නෑනේද කියලා.. අද මම යන්නේ නෑ අම්මේ කියලා අනිත් පැත්ත හැරිලා මාත් හොදට නිදා ගත්තා.. දවල් වෙන්න ඇහැරෙද්දි අම්මයි අක්කයි කතා කරා ශොපින් යන්න එන්න කියලා.. අක්කගේ උපන්දිනේට.. ඔය වගේ සමහර අවස්ථා මග හරින්නත් බෑනේ ඉතින්.. ඉතින් කොළඹ ශොපින් ගිහින්, ගෝල් ෆේස් එක පැත්තෙත් ඇවිදලා, දවල් එලියෙන් කෑම කාලා.. හවස් වෙලා ගෙදර ආවා..

ගෙදර එද්දි මගේ ෆොන් එකේ මිස් කෝල් පිරිලා.. අරන් යන්න අමතකවීමේ ප්‍රතිඵලක්.. බැලින්නම් පන්තියේ ඉන්න ඔක්කොම උන් කෝල් කරලා.. ෆෝන් එකේ සල්ලි බැළුවා.. ඒකත් සීරෝ.. ඕන නම් ආයෙම කතා කරයිනේ කියලා මාත් නිකන් හිටියා.. මොකෙක්වත් කතා නොකරම පහුවදා උදා උනා..

ශිෂ්‍ය නායක වැඩත් තියෙන නිසා උදේම හැමදාම වගේ ඉස්කෝලේ යැවෙනවා.. එදත් ඒ වගේ යද්දි වෙනදට උදේම නොඑන උන් ඔක්කොම ඇවිල්ලා හෙන සාකච්ඡාව..

" මොකෝ බං ඊයෙ ෆෝන් එක ආන්සර් කලේ නැත්තේ?"

මිට වඩා හොද සිංහලෙන් අහපු ප්‍රශ්ණ වලට මම උත්තර විදිහට  උන දේ කිවුවා උන්ට..

" තොපි ඔක්කොම සැරින් සැරේ අරන් මාව හෙවුවේ මොකෝ.."

" මේකයි බං පොඩි අවුලක්.."

" මොකක්ද?"

" ඊයේ අපි කට්ටිය විහාරමහාදේවි එකට ගියා.."

" ඉතින්?"

" කවුරු හරි වැඩේ ලීක් කරලා බං.. ස්ටාෆ් එක දන්නවා.."

" උඹලා කලොත් ඔහොම දෙයක්මයි.. යුනිෆෝම් යන්න බෑනේ?"

" ඔව් ඔව් බං.. කෙල්ලො වෙන ඇදුමක් අරන්මයි ආවේ.. අපි කියලා.."

" හා.. එකත්  එහෙමද?"

දැන් සිද්ධිය මේකයි.. අපේ අති දක්ශ නෙට් බෝල් ටීම් එක පළවෙනි වටෙන්ම හැලිලා..  ( පස්සේ දැන ගන්න ලැබුනේ තේරුම් කමිටුවේ අවුලක් කියලා.. ඒව ඉතින් අපි දන්නේ නෑ..)  පළවෙනි වටෙන් හැලුනා උනත් අපේ අය පැරදිලා එද්දි දවල් දොලහත් පහු වෙලා.. දැන් ආයෙම ඉස්කෝලේ යන්න බෑ මිස්, අපි ගෙදර යන්නම් මෙහෙම කියලා මුං ටික නිලධාරි මණ්ඩලයට නෙට් බොලයක්ම බස්සලා බෑග් වල දාන් ආපු අමතර ඇදුමක් දාන් අපේ උන් එක්ක පාර්ක් ගිහින්..



" දැන් කවුද ඉතින් ඕක ලීක් කරලා තියෙන්නේ?"

" දන්නේ නෑ බං.. අපි ඔක්කොම කපල්නේ බං ගියේ.. මාට්ටු කරන්න කවුරුත් නෑ.."

" ටීම් එකේ ඔක්කොම ආවේ නෑනේ.. ඒ නොගිය කෙනෙක් තමයි.."

" දැන් ඉතින් මොකෝ කරන්නේ?"

" මොනා කරන්නද? වෙන දෙයක් බලන් ඉන්නවා මිස.."

හැමෝම හිතේ දෙගිඩියාවෙන් ඉද්දි ඉස්කෝලෙත් පටන් අරන් පළවෙනි පීරියඩ් එකේම ආවා ලොක්කා අපේ රෙජිස්ටර් එකත් අරන්.. කලින් දවසේ ඉතින් පන්තියේ එකක්වත් නෑනේ..

" ඊයේ මුං එකෙක් වත් ඉස්කෝලේ ආවේ නෑ.. ඔක්කොම මඟුලේ ගියා.. පොත් ටිකත් අරන් බැහැපිය එළියට.. හැම එකාම අම්මල එක්ක බදාද 8.30 වෙද්දි ගේට්ටුව ගාව හිටහන්.."

අපේ ලොක්කා ඔය වහේ ලොකු නඬු විසදන්නේ හැම බදාදාවකම තමා.. ඒ ඇයි කියලා දන්නේ ලොක්කම තමා.. එදා සිකුරාදා.. දැන් ඉතින් බදාදා වෙනකන් අපිට නිවාඩු.. කතා කරන්න දෙයක් නෑනේ.. අපිත් පොත් ටික අරන් එළියට බැහැලා ආවා.. ඒ එද්දි O/L පන්ති වලත් නිවාඩු දුන්න උන් ඉන්නවා මූණ දෙක කරන්.. 

" ඒ බං අසා.. උඹ ආවේ නෑනේ.. උඹ මොකටද යන්නේ.. උඹ ඇත්ත කියලා ඉදහන්.."

" මේ.. මගෙන් කුණුහරප අහන්නේ නැතුව යමං.."

උන්ගේ නිවාඩුව මමත් භුක්ති විදින අතරේ අපේ අම්ම එක්ක කේස් එක කිවුවා.. අම්මට බදාදා එන්න ලෑස්ති වෙන්න කියන්න එපැයි.. :)  අපේ අම්මත් ඉතින් ඕන එකකට ඔට්ටු නිසා කාරණෙ තේරුම් කරලා දුන්නම හිනා වෙලා හරි යමු කිවුවා.. හැබැයි ඉතින් මට එහෙම උනාට අනිත් උන්ට ශබ්ධ පුජා ඇහිලා තැළුම් තෙල් ගාන්න වෙලා තිබ්බා.. 

කෝම හරි බදාදත් ආවා.. නිවාඩුව ඉවර වෙලා 8.30 වෙද්දි ඉස්කෝලේ ගේට් එක ලග හිටියා.. අනිත් අම්මලා එකතු වෙලා අපේ උන්ගේ කුණු හේදුව හැබැයි හොද එකෙන්.. ගානට වෙලාවට පියන් අංකල් ඇවිත් අපිව නඬු අහන තැනට එක්කන් ගියා.. ලොක්කා ආවා රෙජිස්ටර් එකත් අරගෙනම.. ඇවිත් නඩු නිමිත්ත කියවලා රෙජිස්‍ටර් එකේ පිළිවෙලට නම් කතා කලා.. (අ)වාසනාවට මගේ නම තමයි ඉස්සෙල තියෙන්නේ..

" අසන්ත.."

නම කිවුවම මම නැගිට්ටම අම්මත් නැගිට්ටා..

" ඊයේ මෙයා කොහෙ යනවා කියලද ගෙදරින් ගියේ?" 

ලොක්කා අම්මගෙන් ඇහුවා..

" ගෝල්ෆේස් යනවා කියලා.."

මම බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් ඉද්දි ලොක්කා මං දිහා බැළුවේ කන්න වගේ.. 

" ගෝල්ෆේස්.. එතකොට මුන් එහෙත් ගිහින්ද?"

" නෑ සර්.. ගෝල්ෆේස් ගියේ මමයි, අසන්තයි, අසන්තගේ අක්කයි.."

අපේ අම්මා කියන දේවල් ලොක්කට ග්‍රීක් වගේ.. පස්සේ අම්මා අපි කොහේද ගියේ කියන එක ලොක්කට තේරුම් කරලා දුන්නා.. ලොක්කත් නොන්ඩිය කාගෙනම මගේ දිහා බැළුවා..

" ඉතින් පුතා ඇයි කිවුවේ නැත්තේ අම්මා එක්ක ගමනක් ගියා කියල.. එදා කිවුවනම් මෙහෙම අම්මව රස්තියාදු කරන්න ඕන නෑනේ.."

හරියට අපි නිදහසට කියන දේවල් අහන මනුස්සයා වගේ මාත් එක්ක එහෙම කිවුවා.. මමත් සද්ද නැතුව අහන් හිටියා.. අපේ අම්මටයි මටයි එළියට යන්න කිවුවා.. එදා පාර්ක් නොගිහින් ඇත්තටම ක්ලාස් ගිය උනුත් ඒක හරියට  ඔප්පු කරලා අම්මලා එක්ක එලියට ආවා.. ගියපු සෙට් එක කෝමත් අහු උනා.. ඒක ඉතින් නෑ කියා ගන්න බැරි උන නිසා..

පස්සේ අර O/L සෙට් එකත් එක්කන් ඇවිත් අම්මලා එක්ක තියලා ලොකු දේශණයක් දුන්නා.. හැබැයි කාවවත් ඉස්කෝලෙන් අස් කරේ නම් නෑ අපේ ලොක්කා.. ශිෂ්‍ය නායකයෝ 3 දෙනෙක්ගේ පට්ටම් ගැල උනා.. උන් 3 දෙනාම අපේ පන්තියේ උන්..


විශේෂයි : එදයින් පස්සේ මේ සෙට් එකට ප්‍රසිද්ධියේ ආදරේ කරන එක දැඩි දඩුවම් දෙන ජාතියේ වරදක් උනා..

අති විශේෂයි : ඊට පස්සෙත් අපේ කෙල්ලෝ නෙට් බොල් වලට ගියා.. හැබැයි එහෙම යන දාට අපේ කොල්ලො සෙට් එකට ඉස්කෝලේ එන එක අනිවාර්ය උනා..

Thursday, 2 August 2012

අපි

මිනිස්සු සමහරක් වෙලාවට තමන්ගේ ජිවිතේ දැඩි තිරණ අරගන්නවා.. අන්න එහෙම එක තීරණයක් අපේ තාත්තත් මීට අවුරුදු ගානකට කලින් අර ගත්තා.. ඒ අපේ අම්මව කොහොම හරි බදිනවා කියන එක.. අපේ තාත්තා ඒක කෝම හරි කලා.. ඊට පස්සේ ඒ කතාව කොහොම ගලාගෙන යන්න ඇද්ද.. මේ ඒ ඉතිරිය..

තාත්තා අම්මව බදිනකොටම වගේ තාත්තට ගාල්ලට මාරුව හදාගන්නත් පුළුවන් වෙලා.. ගෙදර හිටපු කාලේ වින්ද දුක දැන් ඉවරයි නේද කියලා පුංච් බලාපොරොත්තුවක් දෙන්නගෙම හිතේ තිබුනත් කවුරුත් දන්න නැණ්දම්මගේ වෙනස් කම් වලින් අම්මට අඩුවක් තිබිලා නෑ.. මටනම් ඇත්තටම අපේ තාත්තගේ අම්මා තාත්තා දැකලවත් තියෙනවද කියලා මතකයක් ඇත්තෙම නෑ.. අඩු ගානේ මුහුණු වරවත් මතක නෑ.. 

මේ දේවල් කොහොම උනත් ඒ ගැන තාත්තටවත් අගවන්නේ නැතුව අම්මා කාලයක් ඉදලා තියෙනවා.. අපේ අයියයි අක්කයි ඉපදුනාට පස්සේ හැම දෙයක්ම හරි යාවි කියලා හිතන් හිටියත් ඒ දේවල් කිසිම වෙනසක් වෙලා නෑ.. අපේ අක්කා පුන්චි කාලේ දණ ගාගෙන එයාගේ ආච්චි ලගට යන්න යද්දි කාමරේ හිටපු තාත්තගේ අම්මා අක්කා එනවා දැකලා දොර වහපු වතාවක දොර වැදිලා අපේ අක්කගේ ඔළුව පැළිලා තියෙනවා.. ඒ තරමට වෙනස් කම් අපේ අම්මට ලැබිලා තියෙනවා.. හේතුව? ඒ ගැන නම් කියන්න ඇත්තටම දන්නේ නෑ..

තාත්තගේ මහ ගෙදර හිටියේ තාත්තයි, එයාගේ මල්ලියි.. මල්ලි බැදලා ආවට පස්සේ මහ ගෙදර අයිතිය යන්නේ මල්ලිට නිසා මහ ගෙදරත් එක්ක තිබුන ලොකු ඉඩමේ පැත්තක ගෙයක් හදා ගන්න අපේ තාත්තට අවසර දුන්න නිසා අපේ තාත්තා ඒ වෙනකන් එකතු කරලා තිබ්බ හැම දෙයක්ම ගන්න පුළුවන් හැම තැනකින්ම අරන් අපි වෙනුවෙන් ඒ ගේ පොඩ්ඩ ලහි ලහි හැදුවා.. ඒත්,

මොකක් හරි හේතුවක් නිසා අයියයි මල්ලියි අතරේ පොඩි ආරවුලක් ඇති උනා.. ඒකට ලැබුන එකම උත්තරේ මල්ලි අයියට ගෙදරින් එලියට බහින්න කියපු එක.. හරි කමක් නෑ කියලා හිතපු තාත්තා භාගෙට හදාගත්ත ගෙට යන්න හදද්දි උනේ කොහෙත්ම හිතුවේ නැති දෙයක්..

ඉඩමේ තාත්තට ගේ හදා  ගන්න දුන්නට ඒ වෙද්දිත් ඉඩමේ ඒ කොටස අපේ තාත්තගේ නමට ලියලා නෙමෙයි තිබිලා තියෙන්නේ.. තාත්තා උනත් ඕක ලියලා දෙනකම් කියලා නොයිද තමයි ගේ හදන්න පටන් අරන් තියෙන්නේ.. අවසානේ හරියට වැඩ ඉවරත් නැති අපේ ගේත් අයිති තාත්තගේ මල්ලිට.. ඒ උනත් අමාරුවෙන් හදාගෙන ආපු ගේ අත ඇරලා යන්නනම් තාත්තා කමති උනේ නෑ.. ගෙදර දොරවත් හරියට නැති ගේක අපේ තාත්තා අයියයි අක්කයි අම්මයි එක්ක ගිහින් පදිංචි උනා.. 


විශ්වාස කරන්න.. විදුලිබල මණ්ඩලේ ෆෝමන් කෙනෙක් විදිහට වැඩ කරපු අපේ තාත්තට ගෙදරට ලයිට් ගන්න බැරි උනා.. ඒ තාත්තා හදපු ගෙදට්ට ලයිට් ගන්න මහ ගෙදරින් කැමැත්ත නොදුන්න නිසා.. දවස තිස්සේ විදුලි බල මණ්ඩලේ ලොරියේ නැගලා ගාල්ල පුරාම ඇවිද්ද තාත්තා රෑ ගෙදර ඇවිත් හිටියේ කුප්පි ලාම්පු එළියෙන්.. 


ඒ වෙද්දි ගෙවල් දෙක අතර කාණුවක් කපලා කාවටත් ඒ මායිම නොපනින්න නියෝග මහ ගෙදරින් ලැබිලයි තිබුනේ.. කිසිම දේකට කවුරුවත් ඔය මායිම නොපැන්නත් දවසක් තාත්තගේ මල්ලි අපේ අම්මට බැන ගෙනම ඔය මායිම පැනලා අපේ ගේ හරියට එද්දි ගෙදර පඩිය උඩ වාඩි වෙලා හිටිය අපේ අයියා අතට අරන් තිබ්බේ ලගම තිබුන උදැල්ල.. එතකොට අයියට අවුරුදු 12 විතර.. මේ වෙන දේවල් හොදට හිතට කා වදින කාලය.. කොහොම උනත් එවෙලේ තාත්තගේ මල්ලි  ආයෙම හැරිලා..

හවස තාත්තා ගෙදර ආවම උන හැම දෙයක් ගැනම අම්මා කියද්දි තාත්තා අමාරුවෙන් උනත් එකම එක තීරණයක් අර ගත්තා.. ඒ මේ හැම දෙයක්ම අත ඇරලා යන එක.. ඒකට එකම එක හේතුව උනේ මොනා හරි දෙයක් වෙලා අන්තිමේ තමන්ගේ ලොකු පුතා ගිරේ විලංගුවේ වැටෙයි කියන එකම එක බය හිතට ආපු නිසා.. 

ඊට පස්සේ අපිට ඉන්න උනේ විදුලිබල මණ්ඩලෙන් ලැබුන ක්වාටස් වල.. ඒත් ටික කාලෙකින් තාත්තට රස්සාව නැති උනා.. ඒ හොදම විශ්වාසවන්තයි කියලා හිතපු යාළුවෙක්ට කරපු උදවුවක් ඒ යාළුවම පාවලා දුන්න නිසා.. ජීවිතේ කියා ගන්න බැරි තරමේ අඩියකට වැටිලා.. හරි හමන් රස්සාවක් නැතුව නොවිදිනා දුක් විදපු කාලයක් තිබුනා.. අතට අහුවෙන ඕනම වැඩක් කරන තත්වේ තාත්තා හිටියා.. අයියයි අක්කයි අම්මයි හිටපු පවුල තාත්තා කෝම හරි නඩත්තු කරන්න ඕන.. 

ටික කාලෙකින් යාළුවෙක්ගේ උදවුවෙන් තාත්තා පුංචි කඩයක් පටන් ගත්තා.. කාලයත් එක්ක වැටිලා හිටිය අඩියෙන් ටිකක් උඩට එන්න තාත්තට පුළුවන් උනා.. ඒ කාලේ වෙද්දි මමත් මේ ආදරණිය පවුලට එකතු වෙලා.. 

ඒ 88 89 කාලය.. මේ කාලය ගැන හොදින්ම දන්න අයගේ මතකයන් වල අදුරුම මතකයක්.. හවස් වීගෙන එද්දි මිනිස්සුන්ගේ ජිවිත වලට දැනුන බය කොච්චරද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.. හවස් වෙද්දි අරන් ඉන්න කඩේ වහන්න කියලා ආපු තර්ජනත්, වහපු කඩේ අරින්න කියලා මරුවෙන් මාරුවට ආපු තර්ජන වලිනුත් අඩුවක් ඒ දවස් වල තිබිලා නෑ..  මං ගැන බයක් නැතත් අපේ අක්කයි අයියයි ගැන තාත්තා ගොඩක් බයෙන් හිටියා.. ලාම්පුවක්වත් පත්තු කරන්න ඉඩක් නැති රෑ වල අහල පහල ගෙවල් වලට කල්ලි කඩා පනිද්දි තාත්තා අපිවත් අරන් ගේ පිටිපස්සේ තිබ්බ බාගෙට කපපු ලිං වලකට ඉණිමගක් තියලා බැහැලා උඩ පොල් අත්තකින් වහලා රෑ එළි වෙනකන් ඉදලා තියෙනවා.. 


ඒ අදුරු කාලෙත් අවසන් වෙද්දි කරගෙන ආපු කඩෙත් කලින් වගේ කර ගන්න බැරි වෙලා ඒ හැම් දෙයක්ම අත ඇරලා අපේ අම්මගේ මල්ලිගේ උදව්වෙන් තාත්තා ඉතාලි එන්න තීරණේ කලේ 93 අවුරුද්දේ.. තාත්තා ඉතාලි ඇවිත් අවුරුද්දක් යන්න කලින් ආයෙම ජීවිත හැම දෙයක්ම වගේ අනිත් පැත්ත පෙරළුනේ අම්මා හදිස්සියේ අසනීප උනත් එක්ක.. බෙල්ලේ අමාරුවකට සෑහෙන කාලයක් අම්මට බෙහෙත් ගන්න උනා.. 


ඒ වෙද්දි ගාල්ලේ තාත්තගේ නමින් අපිට බැදිලා අපිට හිතවත් උන හැමෝම අපිව තනි කරලා තිබ්බේ.. පවුලේ ලොකු පුතා උන අපේ තාත්තව  පවුලේ මතකයන්ගෙන් ඈත් කරලම දාලා.. අම්මගේ අසනීපෙට අම්මා ගැන හොයලා බලන්නවත් කවුරුත් හිටියේ නෑ.. ඉතාලි ගිහින් අවුරුද්දකින් ආයෙම ලංකාවට ආපු තාත්තා එක තීරණයක් ගත්තා.. ඒ ගාල්ලට සමු දෙන්න.. අම්මගේ නෑයෝ ඔක්කොම වගේ හිටියේ කොළඹ නිසා ගාල්ලේ ඉන්නවට වඩා ආරක්ෂාවක් කොළඹ තියෙයි කියලා තාත්තා හිතුවා.. 

අවුරුදු ගානක් හැදුන වැඩුන පරිසරයටයි, බිදුනා උනත් හිතේ තිබුන නෑදෑ කම් වලටයි හැමදාටම සමුදීලා අපි 94දී කොළඹ ආවා.. එදයින් පස්සේ අද වෙනකම් අපි කවුරුවත් ගාළු ගිහින් නෑ..