Tuesday, 31 July 2012

ස්කයිප් ආදරය



තීර රෙදි දමා වැසු ජනෙල්
අගුළුලු දොරවල්
සීල් තැබු කලක මෙන් වැසු කාමරයක
හැරැනු තිරයක
සජීවි රැවක්
එබිකම් කරයි නිතරම.....

සුළඟට වැනෙන නැසෙන
නිතැම අවුල් වුන සබදතාවක් මගින්
එන යන දකින ඒ රැව
විටක තිත් මතින්
විටක කොටු මතින්
අපහැදිලිව බොඳවු දසුනක් වුවත්
මට පෙනෙන නොපෙනෙන ඒ රැව........

දැක නොදැක වුවද
මගේ සිත සනසන නුඹ
කෙටෙන අකුරක් වුවද මට
මහමෙරක සතුට ගෙනෙයි නිතර.....

______සිහින මදාරා උමගිලිය_____




කෙටිම කෙටි රාමුවක
මහා ආදරේ අහසක් හොයාගෙන
පියඹන්න හිතන
හිත් දෙකක කතාව..

විටෙක අකුරු අතර
විටෙක හඬ අතර
ආදරේ අළුත්ම මතකය
ජිවිතයට තිළිණ කල..

එන යන සම්බන්දතාව
අපේ සබදකම වැඩි කල
නොපෙනෙන රැහැන් අතර
සජීවි නුඹට හාදු පිදුව..

හදිසියේ නතර වෙන
හිත් රිදුම් අරන් එන
අපේ ආදරේ එකම එක
පෙම් කා‍ව්‍ය..

____ දිනේෂ් උමගිලිය ____


කවියක් නොවු සිතුවිල්ලක් උනත් මේකට සිතුවිල්ලක් අකුරු කරන්න හිත දෙන්නේ නෑ.. ඒ කවියේ හැම දේම ලිය විලා නිසා..

ආ.. ඔන්න ඔයා කැමතිම විදිහට ඔයාගේ නම වෙනස් කලා... :)

Sunday, 29 July 2012

සාක්කිකරු ( කෙටි කතාව )


අන්දර වැට දිහාවට හැම වෙලේම එබිකම් කරමින් වේගයෙන් ඉදහිට පාරේ යන වාහන දෙසත්, හිනා පොදක් නැතිව එහා මෙහා යන මුහුණු දෙසත් බොහෝම ඕනෑකමකින් බලා හිටිය සිරිල්ගේ හිතේ තිබුනේ අවිනිශ්චිත හැම මොහොතක්ම ගැන හිතේ ඇති උන බයක්..

අද කෙල්ල තාම පරක්කු මොකද?”

අන්දර වැට කිට්ටුව සමන් පිච්ච මල් වැලෙන් හවස බුදුන් වදින පහනට තියන්න මල් කඩන සුමනාගෙන් බිදුන කටහඩකින් සිරිල් ඇහුවේ පාරට යොමු උන නෙතු ඉන් අහකට නොගෙනම..

" තව වෙලා තියෙනවනේ එන්න.."

" හ්ම්ම්.. ඒ උනාට වෙනදා මෙලහට ඇවිත් නේ.."

ගේ උළුවස්ස ලගින් නික්ම අන්දර වැට කිට්ටුවට විත් පිළිවෙලක් නැතුව ඉදි උන ලී කෝටු වලට බර දී පාරට එබුන සිරිල්ගේ හිත මොහොතකට සැනසුනේ ඈතින් එන තම දියණියගේ රුව නෙත ගැටුනායින් පසුවය..

" හ්ම්ම්ම.. ඔය එන්නේ කියනකොටම.. මොකෝ ළමයෝ පරක්කු උනේ?"

 " යාළුවොත් එක්ක එද්දි ටිකක් පරක්කු උනා අම්මේ.."

" පාරට එච්චර වෙලාවක් රස්තියාදු වෙන්න හොද කාලයක් නෙමෙයි දුවේ දැන්.."

 පාර දෙසටම එබිකම් කරමින් සිරිල්ගේ මුවින් පිට කල වචන වලින් තිදෙනාගෙම හිත් ලස්සනට තිබුන මේ නිවස ප්‍රශ්ණ කන්දාරවකින් පුරවපු දවස් වලට ඉබේටම දිව ගියේය..

" කොච්චර කල් කියලා ඔහොම බයේ ඉන්නද තාත්තේ?"

" හැම පැත්තකින්ම අන්තිමේ තැලෙන්නේ අපි වෙද්දි මේ ගැන නොහිතා ඉන්නේ කොහොමද?"

" දැන් ඔහේට කවද්ද යන්න තියෙන්නේ?"

" සදුදා..  ඒත් ඊට කලින් මොන දේවල් වෙයිද කියන්න දන්නේ නෑ.."

" අපිට කරදරයක් වෙන එකක් නෑ.."

............................................

හවස හත පහුවන්නටත් මත්තෙන්ම නිවසේ දොර ජනෙල් අගුළු දැමූ සිරිල් ලොකු හුස්මක් පිට කලේය.. දෙතුන් වතාවක්ම දොර අඟුල් ගැන ආයෙ ආයෙම බැලු සිරිල් නැවත හැරෙද්දී ඔහු පිටු පසින් බලා හිදි සුමනාගේ දෙනෙත් වලින් ගොඩාක් දේ කියවෙන්නට විය..


" අපි කවද වෙනකන් මේ දේවල් කරන්නද?"


" දන්නේ නෑ..ඒත් මුන් මිනිස්සු නෙමෙයි.. කොකටත් අපි පරිස්සම් වෙන එක තමයි හොද.."


"හ්ම්ම්.. දැන්ම කනවද ඔයා?"


" කන දෙයක්වත් හරියට බඩට යනවද දැනෙන්නෙත් නෑ.. හ්ම්ම් කෝ දුව?"


" ඔය පාඩම් කරන්නේ.."


" එහෙනම් එයාට බඩගිණි උනාම අපි කමු.."


වැසූ ජනෙල් වල තිර රෙදි පවා හොදින් වැසු සිරිල් ඒ අසලම උන ඇදි පුටුවේ වාඩිවී මොහොතක් හරි දෙනෙත් පියා ගන්නට වෑයම් කලේ එක දිගට පහු කරපු නිදි නොලද රාත්‍රීන් නිසාය..


" මේ.. අපි කාල නිදාගමු.. දුවටත් බඩගිණිලු.."


සුමනාගේ හඬින් අවදි උන සිරිල් බිත්තියේ ඔරලෝසුව දෙස බලද්දි රාත්‍රී දහයට ලංව තිබුනි.. පැය කීපයක නින්ද හිතට ගෙනාවේ අස්වැසිල්ලක් උනත් මේ රැය දිගු වැඩි බව සිරිල් හොදින්ම දැන සිටියේය..


වෙනදාට රසවත්ව හැඩ උන කෑම මේසය දැන් දැන් පාළුවට ගියා මෙන්ය..සුමනාගේ මළානික මුහුණත් හැමදාම කුස්සියේ ඉවෙන එකම එක කෑම වේලත් ඒ ලස්සන මතක හොරා ගෙන ගිහින්ය..


" ඔයාට මම බෙදලා දෙන්නද?"


" හ්ම්ම්.. ටිකක් වෙන්න බෙදන්න.."


වෙනදා තරම් ඕනාකමකින් නොවුනත් ආදරයෙන් ඈ කෑම පිගාන පිළියෙල කර සිරිල්ගේ ලගින් තබත්ම මහා හඩින් නාද උන නිවසේ ඉදිරිපස සීණුව තිබුන නිහඬ බව අතරේ මහා හඩක් නඟමින් නාද උනේ ඔවුන්ගේ සුපුරුදු බිය හිත් වලට යලි කැන්දමිනි..


" කවුද?"


බෙදාගත් බත් පිගාන පැත්තකින් තැබු සිරිල් හෙමින් හෙමින් ගේ දොර ලගට ලං වෙමින් වෙවුලන කටහඬකින් විමසුවේය..


" අපි පොලිසියෙන්.. අරිනවා දොර.."


ගේ මිදුලෙන් තර්ජනාත්මකව ලැබුන නිවේදනය ඇත්තටම පොලිසියෙන්ද යන සැකය හිත තුල මතු උනත් දොර විවෘත කරනවා හැර වෙන විකල්පයල් සිරිල්ට නොතිබුනේය..


" මොක්ද දොර අරින්න මෙච්චර පරක්කු උනේ?"


බාගෙට විවෘත උන දොරෙන් බලෙන්ම වගේ නිවසට ඇතුළු උන පොලිස් නිලදාරියා සුමනා දෙසත් දියණිය දෙසත් බලා සිරිල් වෙතට හැරුනේය..


" නෑ.. මහත්තයෝ.. හරියටම දන්නේ නැතුව දොර අරින්න බෑ මේ දවස් වල.."


" හ්ම්ම්.. මට තමුන්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා.."


" මම හැම දෙයක්ම කලිනුත් කිවුවනේ මහත්තයෝ.. එක පාරක් නෙමෙයි.. දැන් තුන් හතර පාරක්ම.."


" තමුසෙ අපිට රාජකාරි උගන්නවද?"


ඒ සැර පරුෂ හඩ හමුවේ අසරණ උන සිරිල් ඔහුට වාඩි වෙන්නට අසුනක් පෙන්වා ඒ අසලින්ම වාඩි උනේ ඒ අමිහිරි රාත්‍රිය ගැන මතකය ආයෙම අවුස්සන්නට වන නිසාය..


" දැන් එතකොට ඔය කාන්චනා කියන ළමයව තමුන් කලින් දන්නවද?"
 " ඔව් මහත්තයෝ.. මේ පාරේ කෙලවර ඉන්නේ.. නිතරම ලංගමේ මගේ බස් එකේ යනවා එනවා.."
 " එදා රෑ ඒ පාළු ගේ ලගින් එද්දි ඉස්සෙල්ලම දැක්කේ කාවද?"
 " හ්ම්ම්ම්.."
සුමනා දෙසත් තම දියණිය දෙසත් නෙත් යොමා බැලූ සිරිල් දිගු හුස්මක් ගෙන ඉතිරිය කියන්නට සැරසුනේය..
" මට ඒ හරියෙන් එද්දි යන්තමින් වගේ ගෑණු කෙනෙක් කෑ ගහනවා ඇහිලා මම ඒ ගේ පැත්තට ගියා.. ඒ යද්දි මට ඒ කෑ ගැහිල්ල තව හොදට ඇහුනා.. කැඩිච්ච දොරෙන් ඇතුල් වෙලා මම ඇතුලට යද්දි තුන් දෙනෙක් බලහත්කාරෙන් මේ කෙල්ලව තියන් හිටියා.."
" ඒ එක්කෙනෙක් මංත්‍රීතුමාගේ ලොකු පුතා කියලා තමුන්ට හොදටම විශ්වාසද?"
" ඔව්.. එයා තමයි මගේ ෂර්ට් එකෙන් අල්ලලා එලියට අදලා දාලා පිස්තෝලේ පෙන්නුවේ.."
" ඒ උනාට මංත්‍රීතුමාකියන්නේ පුතා එතකොට ගමේ හිටියේ නෑ කියලා.."
" මම මේ ඇත්තමයි මහත්තයෝ කියන්නේ.."
" හරි අපි මේක සටහන් කර ගන්නම්.. සදුදා උදේ 9 වෙද්දි උසාවි ඉන්න.."
" මහත්තයො.. මේ ටිකේ අපිට හරි කරදර.. නිතරම වගේ මන්ත්‍රීතුමාගේ පුතාගේ මිනිස්සු එනවා යනවා.."
" හරි පොලිසියට ඇවිත් පැමිනිල්ලක් කරන්න.."
අන්තිමේ සිරිල් කියූ දේවල්  ගැන එතරම්ම තැකීමක් නොකල ඔවුන් පාර අසල නවතා තිබූ පොලිස් රථය පන නංවාගෙන වේගෙයෙන්  යන අයුරු සිරිල් මොහොතක් බලා සිටියේය..

" මේකේ ඉවරක් නැද්ද ඒයි?"

" හ්ම්ම්.. අනේ මන්දා.."

" එන්න කාලා ඉමු.."

" දැන් බඩගිණි නෑ.. ඔයාලා කන්න.."

............................................

හිත තිගැස්සෙන නිතරම ඒ මේ අත යන වාහන සද්ද අතරේ රාත්‍රිය නිදි වරිතව ගෙවා දැමු සිරිල් පසුදා උදෑසනම පොලිස් පොතේ මේ ගැන පැමිණිල්ලක්ද ලිවේ තම්න්ගේ ජිවිත වෙලට එල්ල වෙමින් තිබු අනතුර නිසාමය..

" මොකද පොලිසියෙන් කිවුවේ?"

" පැමිණිල්ල ලියා ගත්තා.. බලන්නම් කිවුවේ.."

" හ්ම්ම්ම්.."

වැඩ නිමවා නිවසට පැමිනි සිරිල් නිවසට ගොඩ වන්නටත් මත්තෙන් ගුරු පාරේ දුවිළි නංවමින් කැබ් රථය නැවතුනේ තවමත් ඒ ප්‍රශ්ණ නිමා වී නැති බැවු හගවමිනි..


" තමුසේ එහෙනම් අද පොලිසිත් ගියා.."


ගෝල බාලයෝ තමන් වටා වට වෙද්දි සිරිල් ලගට ආ බිරිදව තමන් ලගට ලං කර ගත් ඔහු බලා සිටියේ කර ගන්නට කිසිවක්ම නොමැතිවය..


" අන්තිම වතාවට කියන්නේ.. තමුසෙගේ සාක්කිය වෙනස් කරනව.. ඒක තමුසෙට වගේම තමුසෙගේ පවුලේ අයට හොදයි.. තමුසෙටත් දුවෙක් ඉන්නවනේ.."


" මොකක්ද උඹ කිවුවේ?"


හිතේ හිර කරන් හිටි ආවේගය සිරිල්ගෙන් මිදුනේ නොදැනුවත්වය.. ඒත් වටේ උන් අයගේ ශක්තිය හමුවේ සිරිල්ට කල හැක්කක් නොවිය..


" තමුසේ තමුසෙගේ වචනේ වෙනස් කරන එක තමුසෙටම හොදයි.. අපි යන්නම්.."


සිරිල්ව පැත්තකට තල්ලු කර දැමු ඔවුන් කැබ් රථයේ නැගී මාවත දුහුවිල්ලෙන් නංවාගෙන යන දෙස සිරිල් මොහොතක් බලා සිටියේය..


" අනේ දැන්වත් ඔය අදහස වෙනස් කර ගන්න.. දැක්කනේ උන් අපේ දූ ගැන කිවුව දේ.."


" මුං නිදහසේ හිටියොත් හැමෝම දවසක කරදරේ.."


" ඔහේට ඕන අපේ දූගේ ජිවිතෙත් කරදරේ දාන්නද? අනුන් ගැන නෙමෙයි තමන්ගේ දූ ගැන හිතන්න.."


ඈ ආවේගයෙන් කදුළු සළමින් කියු දෑ සිරිල්ගේ හිතේ තදින්ම කා වැදුනි.. අනවශ්‍ය ප්‍රශ්ණේක පැටලී හිතේ කරදරයක් ඕනෑකමින් ඇති කර ගත්තාදැයි සිරිල් තනිවම කල්පනා කරන්නට විය.. 


............................................

වෙනදා මෙන් කතා බහක් නැති සුමනාගේ අමනාප උන හිත හදන්නට සිරිල් උත්සාහ කරද්දි නොදැනිම සදුදා දවස උදා විය.. 

" මෙච්චර දෙයක් වෙලත් ඔහේ ඔය යන්නද හදන්නේ?"

උදේම උසාවියට යන්නට සූදානම් වන සිරිල් දැක ඈ තවත් කේන්තියෙන් විමසුවාය..

" හ්ම්ම්.. මේ නඩුවේ ප්‍රධාන සාක්කි කාරයා මම.. ඉතින් නොගිහින් බෑ.."

" අරුන් අච්චර දෙයක් කියලත් ඔහේ අපේ දූ ගැන නොහිතන හැටි.."

" මම තීරණයක් ගත්තා.. කළුවරේ මම ඒ කොල්ලව හරියට දැක්කේ නෑ කියනවා.. මට බෑ මගේ පවුල තව අමාරුවේ දාන්න.."

වෙන කිසිවක් නොකියාම සිරිල් නිවසින් එළියට බැස ගුරු පාර දිගේ ඇවිදන් යන දෙස බල ඈ සැනසුම් සුසුමක් හෙළුවාය..

උදෑසන කාර්‍යබහුල උසාවි භූමියේ නැවතුන සුපිරි වාහන කීපයක ඔවුන් සිරිල් එන දෙස බලාගෙන සිටියේ උකුසු ඇසිනි.. 

" උඹට කියපුවා මතකනේ.."

කිසිවෙක් දිහා නොබලා සිරිල් ගිය මගට ආ ඔවුන් කෙදිරූ ඒ වදන් සිරිල්ගේ හිතට තවත් තදින් දැනෙන්නට විය..

තම අතැති වූ ඔරලොසුව දිහා බැලූ ඔහු ඉතිරිව ඇති කාලය දෙස නොඉවසිල්ලෙන් බලා හිටියේ මේ හැම ප්‍රශ්ණයක්ම ඉක්මනින් නිමා කර මේ දේවල් වලින් ඈත් වන්නට සිතාගෙනය.. උසාවියේ පිටත තිබූ බංකුවක වාඩි වී කල්පනා කරමින් උන් සිරිල් ලගට කාන්චනාත් ඇගේ පියත් එනු සිරිල් නොදැක්කේය..

" සිරිල් මහත්තයෝ.."

" අහ්.. ගුණපාල.."

කාන්චනා දෙස බැලූ සිරිල්ට ඇගේ දෑස් දෙස කෙලින් බලන්නට නොහැකි බවක් තදින්ම හිතට දැනුනි..

" බුදු මහත්තයෝ.. මහත්තයගේ වචනෙන් මේ කෙල්ලට සාදාරණයක් ලැබෙයි.. ගමේ උන් කියන කතා අහන් ඉන්න අප්පිරියයි මහත්තයෝ.. මහත්තය මේ කරන දේවල් වලට බොහොම පිං මහත්තයෝ.."

සිරිල්ගේ දෙපා ලග වැද වැටුන ඔවුන් සිරිල්ට හදවතින්ම ස්තුති කරද්දි සිරිල්ගේ හිත තව තවත් අසරණ වන්නට විය.. නිවසින් පිට වෙද්දි ගත් තීරණය ගැන සිරිල්ගේ හිත ආයෙම හිතන්නට පෙළඹවීය..

එළියේ වාහන වලට වී හිනැහෙන ඔවුන් දෙසත් කඳුළු සළමින් තමන් ලගට වී ඉන්නා ඈ දෙසත් නිවසේ තනි උන බිරිදත් දියණියත් අතරේ සිතුවිලි දෝළනය වෙද්දි උසාවියේ නඩු අංකය කතා කරනු හැමෝටම ඇසිනි..




නිමි..




Thursday, 26 July 2012

මග බලන දෑසකට


දහසක් සිත් නිදන රෑයක
මගේ සිත නම් තවම අවදියෙන්
හිමිසඳ එනතුරැ කැදැල්ලට
සැනසිල්ලක් සොයනු කොයි ඉසවුවෙන්

මේ සුළඟ විඩා නිවා ගත දැවටෙවි සිසිලසින්
තරැ එළිය මඟ කියාවි හිමියනි ආදරේන්
සඳවතිය වුවද නුඹේ තනි නොතනියට හිදිවි
හොඳ පරිස්සමට එනතුරැ මම ඉන්නෙ බලන්

නෙත රවටන අඟන්ගෙ බසට
මගතොටදි රැවටෙන්න එපා
සිත කළඹන පැහැසර දසුන් දෙස
හිමියනි හැරි හැරි බලනු එපා

නොගැලපෙන මිනිසුන් ලග
දැවටෙන්නට යන්න එපා
තැන තැන නැවත නැවතිලා
කල් වෙලා ගන්න එපා

උදේ ඉදන් වෙහෙසන හිමිසඳුනි
සනසන්නට මේ සිනහාව නොවිසිල්ලෙ
දොර පියනට පිටදි තවමත් නෙතු විමසිල්ලෙ
දැක ගන්නට දැවටෙන්නට ආදරයේ.............

______
සිහින මදාරා_____




නිවි ගිය විදුළි එළි ලග
එකම එක එළියක් මග බලාගෙන
ඝණදුරට පාර කියන
පහන් තරුවක් විලස..

ගිමන් නිවන සිසිල් සුළග
අරන් ආව ඒ සුවදට
ආදරෙන් පාර හොයාගෙන
සදවතිය දැකගන්න...

එන මග දෙපස රැදුන
ආලවන්ත රටා වලට
බැහැ කවදාවත් අර ගන්න
නුඹෙ නෙතු හොරාගත් හිත..

බැහැ මට නවතින්න
මොහොතකට උව මග
මග බලා ඉන්න මගෙ
හිමිකාරි සිහි උනාම..

ලග ලගම දැවටිලා ආදරෙන්
පාන ඔය හිනාව දැකගන්න
දවසම නෙතු අයාන හිටියා
නුඹ වගෙම නොඉවසිලිව..


______ දිනේෂ් උමගිලිය _______



කියන්න හිතුන ගොඩක් දේවල් ලියලත් ආයෙම මැකුවා.. ඒ ඔයාගේ කවියේ ලස්සන නැති වෙන නිසා.. මගේ කවිය විතරක් මම ලියලා යන්නම්..