Saturday, 30 June 2012

නිරුවත් වෙරළ




හොදටම ගිණියම් දැන්නම් යුරෝපය
ඇදුමක් ඇදන් ඉන්නට බෑ රස්නය
ඉස් මුදුනේ ඉදන් ගලනා දඩිය
දැනෙද්දි ඉන්න හිතයි බැහැලා මුහුදට..

දුහුල් ටී ෂටයට හිත ඇදිලා ගියද
ඩෙනිම තමයි අවුල මේ රස්නයට
කොටට කොටේ ඇදන් හිටියත් එයාලා හැම
අපිට කොහෙද ඔටෝ ඒසී එලෙස..

හිතුනා දවසක් යන්න මුහුදු වෙරළට
හිත ගත සැනෙසෙන්න වතුරේ බැහැලා ඉන්න
වතුරත් රස්නෙයි උණු ලෝදිය විලස
ඉතින් කෝම ඉන්නද බැහැලා එයට..

ටිකක් ඇවිද්දා වෙරළේ හෙමිහිට
වෙරළ ටිකක් හුරු වෙන තුරු ඇගට
වට පිට බල බලා ගිය දුර ගැන
දැනුනෙම නෑනේ දකින තුරු එය..

පොත්තට රතට වේලුන හොද පොකිරිස්සෝ
ලොකු ලොකු කිලෝ ගනන් වල බල මාළු
අතරේ තනි උන පොඩි හාල් මැස්සෝ
වේලනවා එක පෙලට අතුරලා බිම..

ලෝන්ච් කරන්නට ලං උන මිසයිල
භුගත වෙන්නේ පෙළවට නොයා අහසට
අවුලක් නෑ මූණ වැහිලා බාගෙට
ඉතින් මිසයිල කොහේ ගියාම මොකද..

ඈතින් දිව එන තරුණිය සිහිකලේ බේවොච් මට
වෙනසකි රතු ඇදුම නෑ ඇග ගත
එහෙ මෙහ පැද්දෙන අත් අතර
හිටි නාකි සුද්දෝ නම් ආතල්ය..

වැරදිලා ආ දෙවුලොවේ දොරකඩ ඉද
ඈත බැළුවා සුර අඟනන් දැක ගන්න
බොහෝ ඈතට විහිදුන කුඩ පේලි යට
තනි උන තනි නොවුන අය හිටියා පෝලිමට..

දොරකඩම ඉදි උන පුවරුවට
නෙත යොමු උනේ නිකමට වගේ මට
යුරෝ 200කි ඇතුලේ ඉන්න
අතින් එවුවාට අයකරනවාලු වෙනම..

හයියෝ සල්ලි මෙච්චර වියදම් කුමට
නිරුවත් නැතත් අනිත් පැත්තත් ආතල්ය
ඉතුරු කරන් යුරෝ 200 මම
ආපහු හැරුනා අතේ වියදම හොයාගන්න..


විශේෂයි : ඩබල් මීනින්ග් පේලි වල තේරුම් අහන්නට එපාය.. :)

අති විශේෂයි : ඉන්න කට්ටියගේ හැටියට මගෙන් අහන්න දෙයක් ඉතුරු වෙන එකක් නැති වේවි.. :) 

Thursday, 28 June 2012

තොටියා ( කෙටි කතාව )

මහවැලියට බොහෝම කිට්ටු නෑ සබදකම් කිවුව කොත්තලේ ඔය දිගේ තමන්ගේ පාරුව පැදන් ආපු සුනිල් ඔය අතර මැදදි හඹල නතර කරන් ඈත පේන ඉවුරු තෙර දිහා බලාපොරොත්තුවේ බැල්මක් හෙළුවේ දකින්නට පිං කල දෑසක් ඈතින් මතු වෙතයි සිතාගෙන.. ඒත් ඒ දෑස දිහා කෙලින් බලන්න තරම් හයියක් සුනිල්ට නොතිබුනාට ඒ දෑසින් පෑව දඟකාරකම් වලට සුනිල්ගෙත් හිත ඇදිලා තිබ්බේ ඉගේම වගේ..

ළමැදට පොත් ටික තුරුළු කරන් සුදු රැළි ගවුම ඇදන් ඉස්කෝලේ ඇරිලා එන නිමලා තනියම තමන්ගේ පාරුවට නගිනවට සුනිල් ගොඩක් ආස කලා.. පාරුවේ තමන්ගේ ඉස්සරහින්ම වාඩි වෙලා කියන ඒ බොළද කතා අහන්න සුනිල්ගේ හිත ආස කලා.. හැබැයි රහසේම.. ඒ හැම දේකම ආදරේ පිරි බලාපොරොත්තු සුනිල්ගේ හිතට දැනුනට ජීවිතේ මහ හුගක් ලොකු වෙනස්කම් ඒ සිතුවිලි අකමැත්තෙන් උනත් ජීවිතෙන් ඈතට ගෙන ගියා.. ඒත් හැමදාම උදේ හවස හමුවෙන ඒ කතා කරන නෙතු මගහරින්න තරම් ශක්තියක් ඒ හිතේ තිබුනේ නෑ..

" මම ඔයාට කැමතියි.."

පාරුවේ එහා කෙලවරට වෙලා සුනිල් දිහා ගොඩක් වෙලා බලන් හිටපු ඈ හදිස්සියේම ආදරයක් ගැන වචන අමුන්ද්දි තමන් හිටි තැනම නතර උනා මගේ හැගීමකින් ඈ දිහාම ගොඩක් වෙලා බලාගෙන හිටපු සුනිල්ට දැනුනේ තමන් ගොළු වෙලා වගේ හැගීමක්..

" මොකද ඔහොම බලන් ඉන්නේ.. මම ඔයාට කැමති කියලා කිවුවේ.."

" පුංචි බේබි මේ මොනාද කියෙන්නේ.. වෙන කාට හරි ඇහුනනම්.."

" ඇයි?"

" ඇයි තමයි.."

සිතුවිලි අතරෙම ගං තෙරට සේන්දු උන පාරුව ලී පාලමේ ගැටෙද්දි කල්පනා ලෝකයෙන් මිදුන සුනිල් බැලූවේ නිමලා දිහා.. ඒ කෝඩුකාර ඇස් සුනිල් දිහා බලාගෙන හිටියේ එකම එක උත්තරයක් බලාපොරොත්තුවෙන් උනත් නිහැඩියාට ඒ හැමදෙයක්ම පැරදුවා..

" තොටුපලට ආවා පුංචි බේබි.."

" ඔව් මම දන්නව.."

" එහෙනම් බහින්න.."

ඒ හිතුවක්කාර කතා අතරේ නොදැනිම සුනිල්ගේ හිතත් ආදරයකට අත වැනුවත් තමන්ගේ හැගුම් ආයෙම හිර කර ගත්තේ හැම හීනයක්ම ලගා නොවෙන නිසා..

" ඔයා ඔය ඔච්චර හිතන්නේ මට වඩා දෙගුණයක් වයසින් වැඩි එකනම් ඒක අමතක කරලා දාන්න.."

වෙනදා පාන සෙනෙහෙබර සිනහවත් නැතිව පාරුවෙන් බැහැලා ගං ඉවුර දිගේ දුවන් යන ඈ දෙස මොහොතක් බලා ඉදිය සුනිල්ගේ මුවින් සුසුමක් පිට උනේ ඒ ආදරේ නොදැනුන නිසාම නෙමෙයි..

" ජීවිතේ හැටි තේරුම් ගන්න පුංච් බේබි.."

..............................


" මොනාද අයියේ ඔච්චර කල්පනා කරන්නේ?"

කොහොඹ ගස් හෙවෙනේ තැනුන ලී බංකුවට වෙලා ඈත බලන් හිටපු සුනිල්ට තමන්ගේ නැගණිය එන නිනවුවක් නොතිබුන තරම්..

" අහ්... නෑ මුකුත් නෑ නංගියේ.."

" ආ මේ තේක බීලා ඉන්න.."

" ආ අයියේ.. අර පුංචි බේබි නේද තනියම ඇවිදන් එන්නේ.."

වැට මායිමෙන් ඈත බලාගෙන උන් නැගණිය දිහා බැලූ සුනිල් දගකාර ගමනින් ගුරු පාරේ ඇවිදන් එන නිමලා දෙස බැලුවේ හිතේ ඇති උන තිගැස්මකිනි..


" පුංචි බේබි.. මේ කොහේ යන ගමන්ද?"

බට ලී කඩුල්ල ලග නැවතුන ඈ ලගට ගිය නැගණිය කුළුපගව ඈත් එක්ක කතාවට වැටුනේ වතාවක් දෙවතාවකට වඩා ඈ එක්ක කතා කරන්නට නොලැබුන නිසාය..


" මෙහේමයි ආවේ.."

නැගණිය සුනිල් දෙස පුදුමයෙන් මෙන් බැළුවේ කවමදාකවත් තමන්ගේ පැත්තවත් නොබැලූ ඇය වන් කෙනෙක් තමන් හොයාගෙනම ආවායැයි කියූ නිසාය..

" අපේ දිහා?"

" ඔව් මට සුනිල් එක්ක ටිකක් කතා කරන්න ඕන.."

නංගි නොරිස්සුම් බැල්මක් සුනිල් වෙතට යොමාගෙන නිවස වෙතට පිය මනිද්දි වාඩි වී උන් ලී බංකුව ලගටම ආ ඇය ඔහු ලගින්ම හිද ගත්තේ වෙන කිසිම දෙයක් ගැන තැකීමක් නොකරමය.. සැනෙන් අවට ගෙවල් දිහා සුනිල් නෙත් යෙමුවේ මේ වගේ දේවල් ගැන යොමු උන උකුසු ඇස් හතර වටේම ඉදන් බලාගෙන ඉන්න නිසා..

" පුංචි බේබි.. මොනාද මේ කරන විකාර වැඩවල තේරුම?"

" මොනාද?"

" හාමුලා මේ දේවල් දැන ගත්තොත් අන්තිමේ වෙන්නේ මොකක්ද කියලා පුංචි බේබි දන්නවනේ.."

" මට ඒවයින් වැඩක් නෑ.. තොටුපල පැත්තේ යංද? මට වැවේ රවුමක් යන්න ඕන.."

" ඇයි.. සියාතු මාමගේ පාරුව තියෙන්නේ මේ වෙලාවට වැවේ.."

" සියාතුගෙන් මට වැඩක් නෑ.. මට යන්න ඕන ඔයා එක්ක.."

ඒ හිතුවක්කාර සිතක් ඇතුලේ දගකරන සිතුවිලි එක්ක වාද කරන්නට නොගිය ඔහු ආයෙම ලී බංකුව මත හිද ගත්තේ කිසිවක් නොකියාමය..

" දැන් මොකද කියන්නේ.. තොටුපලට යනවද? නැත්නම් මම මෙතන්ටම වෙලා ඉන්නද?"

" හ්ම්ම්.. තොටුපලට යමු.."

හින් හඩකින් සුනිල්ගේ මුවින් ඈ බලාපොරොත්තු උන වදන් පිට වෙද්දි සතුටින් හිනැහුන ඇය ඔහු ලගට විත් අතින් අල්ලා ගත්තාය..

" හරි අපි යමු එහෙනම්.."

" මේ මොනාද පුංචි බේබි කරන්නේ.. ඉස්සෙල්ලා පුංචි බේබි යන්න.. මම පස්සේ එන්නම්.."

" ම්ම්ම්.. හා.."

දගකාර ඇය හිනැහෙමින් වැටේ කඩුල්ල පැන දිව යන දෙස බලා උන් සුනිල්ගේ මුවට සිනහවක් නැගුනේ ඉබේටම වගේය.. තමන්ටත් නොදැනිම රහසේම වගේ නැගුන හිනාව සුනිල් සගවගත්තේ ගේ උළුවස්සට හේත්තු වී උන් ඔහුගේ නැගණිය දැකය..

" මොනවද අයියේ මේ වෙන දේවල්.. මොනවා උනත් ඒවයේ අවසානය ගැන අයියට තේරුම් කරලා දෙන්න ඕන නෑනේ මම..

හෙමින් ගේ ඇතුලට එන්නට හදද්දි  උළුවස්ස ලග උන් නැගණියගේ ගෝරණාඩුව සුනිල්ට නොරිස්සුවත් වචනයක්වත් නොකියා ගේ පිළිකන්නට සුනිල් ඇවිදන් ගියේ තමන්ගේ හිතද නැගණිය කිවු දේවල් අනුමත කල නිසාය..

" ඒ කෙල්ල මටත් වඩා ගොඩක් බාලයි කියන එක අමතක කරන්න එපා අයියේ.."



මතුසම්බන්දයි...

...............................................................................................


විශේෂයි : කලින් දවසේ කවියක් නොවුන සිතුවිල්ලෙන්  ලිවුව තොටියගේ කතාව තමයි මේක.. මම කියන්න ඕන නෑ.. ඒක දැනෙන්න ඇති.. කෙටි කතාවට පස්සේ කවිය දාන්න හිතුවත් කවිය ඉස්සර කරන්න ගත්ත තීරණේ සාර්ථකයි කියලා හිතුනා.. මොකද එදා ඒ තොටුපලේ හමු උනේ මැරුණ සුනිල්මද වෙන කෙනෙක්ද කියන ප්‍රශ්ණේ හැමෝටම ආපු නිසා.. ඉතින් ඒ අත්හදාබැලීම සාර්ථක උන එක ගැන සතුටුයි..

අති විශේෂයි : තරහා අවසර.. කතාව එක කොටසින් ඉවර කරන්න අමාරුයි.. ගොඩක් දිග වැඩි වෙනවා.. මෙගා සීරිස් වලට මම සමු දුන්න නිසා මේක එහෙම එකක් කරන්න කොහෙත්ම අදහසක් නෑ..


Tuesday, 26 June 2012

ආරක්ෂක කැමරා

අපේ ෆාමසිය ගැන ටික දෙනෙක් මගෙන් ප්‍රශ්ණ කල නිසා අන්තිමට ෆාමසිය ගැන ලිවුව පෝස්ට් එකෙන් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නා.. දැන් ඉතින් ආයෙම සුපුරුදු කතන්දර වලට හෙමීට යන්නයි හදන්නේ..  :)

එදා මම අපේ ෆාමසියේ දවසේ ආදායම් ගැන එහෙම කිවුවනේ.. රුපියල් වලින් ලක්ෂ 4කට කිට්ටු හෝ ඊට වැඩි ගානක් හොයනවාම තමයි.. මොකද ඉතින් ඉතාලියේ ඉන්න සෑහෙන පිරිසක් ලෙඩ්ඩූ.. අපි උණක් හෙම්බිරිස්සාවක් උනත් ගනන් නොගත්තට මෙහේ උන් එහෙම නෑ.. ටක් ගාලා දුවනවා දොස්තර ලගට.. උන් ලියලා දෙන රිසිට් උස්සන් එනවා අපි ලගට.. මේ ඉතාලියේ සාර්ථකම එකම බිස්නස් එක ෆාමසි තමයි..

ඉතින් ඔය බව දන්න නිසාම ගොඩක් වෙලාවට හොරුන්ගෙන් වෙන කරදරත් නැතුවම නෙමෙයි.. මගේ දැනුවත්ව කාලයේ විතරක් විසි වතාවක් විතර ෆාමසිය මංකොල්ල කාලා ඇති.. හැබැයි කිවුවට පිළිගනීද මන්දා ඔය මංකොල්ල කාපු වෙලවල් වලින් එකම එක වෙලවක විතරයි මම ෆාමසියේ හිටියේ.. :) අනිත් හැම වෙලාවකම මම නෑ.. 

ඒ කාලේ නිතරම වගේ කැශියර් එක් සල්ලි තිබ්බා.. හැම වෙලේම හොරු පනින නිසා ඕක කැශියර් එකේ සුළු ගානක් විතරක් ඉතුරු වෙන්න අනික්වා වෙනම තැකන දාන්න කියලා අපේ ලොක්කා නීතියක් දැම්මා.. ඒ කියන්නේ ඉතින් ෆාමසිය උදේ 8.30ටයි හවස 4.30 අරින වෙලාවට හොරෙක් ආවට ගන්න දෙයක් නෑ.. මොකො වැඩිම උනොත් යුරෝ 50ක පොඩි සල්ලි තියෙයි.. කාලයක් යද්දි ඕක හොරුන්ටත් මීටර් උනා..  පස්සේ උන් පනින්න ගත්තේ ෆාමසිය වහන්න කිට්ටු කරලා.. එතකොට සල්ලි තියෙන බව උන් දැන ගත්තා.. කොහොම හරි ලොක්කා ඒ නීතියත් වෙනස් කරලා හැම වෙලේම කැශියර් එකේ පොඩි සල්ලි විතරයි තියාගන්නේ කියන නීතිය දැම්මා.. අදටත් ඒක එහෙමයි.. අනිත් සල්ලි තියන තැන දන්නේ ඉතින් වැඩ කරන අපි තමා..

කාලයක් තිබ්බා සතියට දෙතුන් වතාවක් ෆාමසිය මංකොල්ල කන.. පොලිසි ගානේ ගියත් අන්තිමේ නිකන් රස්තියාදු විතරයි.. අහුවෙන හොරෙක් නෑ.. හොරා අල්ලන්න අඩු ගානේ මූණ වත් බලාගන්න ඕන නේද කියලා හිතපු අපේ ලොක්කා හොද ආරක්ෂක කැමරා පද්දතියක් ගෙනත් හයි කලා ෆාමසියට.. සෑහෙන වියදමකුත් ගියා වැඩේට.. වියදම් වගේද ඉතින්.. 

කොහොම හරි කැමරා හයි කරලා සතියක් යන්න කලින් ෆාමසිය ආයෙම මංකොල්ල කෑවා.. ඒ පාර අපේ ලොක්ක සල්ලි ගැන දුක් උනේ නෑ.. මොකද දැන් හොරු අල්ලන්න ලේසි කියල හිතපු නිසා.. ඒත් ඒකෙන් කිසි වැඩක් උනේ නෑ.. මොකද මෙන්න මේ වගේ ඇදන් ආපු හොරු අල්ලන එක අමාරු වැඩක් උනා.. මොකද මුණු පේන්නේ නෑනේ.. 



ඊට පස්සේ අප් ලොක්කා කලේ ලගට ආවම ස්වංක්‍රීයව විවෘත වෙන ෆාමසියේ දොරට විශේෂ ලොක් එකක් හයි කරන එක.. ඒකෙන් උනේ ෆාමසියට ඇතුල් වෙන අය දොරට ලං උනාම ස්වංක්‍රීයව ඇරුනේ නෑ.. කවුන්ටරේ ලග ඉන්න අය ගාව තියෙන පුංචි රිමෝට් එකකින් තමා දොර ඇරෙන්නේ.. මොකෙක් හරි එකෙක් ආපු බව දැන ගන්න බෙල් එකක් හයි කලා.. උන් බෙල් එක ගැහුවම ඇතුලේ ඉදන් දොර අරින්න.. හැබැයි ඉතින් ඉස්සරහා දොරේම ලොකු අකුරින් " කරුණාකර සීනුව නාද කරන්න " කියලා ගහලා තිබ්බට තාමත් ඇවිත් දොරට තට්ටු කරන්න මෝඩ යක්කු නැතුවම නෙමෙයි.. මුංට ඉතාලි කියවන්න බැරිද කියලා මාත් දන්නේ නෑ..

හැබැයි ඔය වැඩෙත්  සාර්ථක උනේ නෑ.. මොකද බෙල් එක ගැහුවම මුං ටිකත් කවුද කින්ද මන්ද නොකියා දොර අරිනවා.. ඉතින් ඒත් අර කතාවම තමයි.. "දොර ලග ඉන එකාගේ මූණ අපිට පේනවද" ඒක තමයි උන් ගෙනාපු තර්කය.. ඉතින් ඒකත් ඇත්ත.. කැමරා හයි කලාට ඒවයින් පේන දේවල් රෙකෝඩ් වෙන්නේ උඩ.. ඉතින් ඒ නිසා අපේ ලොක්කා කලේ හැම කැශියර් එකකම කම්පියුටර් එක ලගින් අර කැමරා වල රෙකෝඩ් වෙන එක බලන්න පුළුවන් වෙන්න පොඩි මොනිටර් එකක් තිබ්බ එක.. ඊට පස්සේ නම් ටිකක් හොරු එන එක අඩු උනා.. මොකද අර කලින් ෆොටො එකේ ඉන්න වගේ උන් දැක්කම එක පාර ෆාමසියේ දොර ඇරුනේ නෑ.. 

කොහොමින් කොහොම උනත් පළවෙනි මංකොල්ලය සියැසින් දැක බලා ගනීමේ භාග්‍ය මට මේ ලගදි උදා උනා.. :) 

වෙනදා වගේම වැඩ කර කර ඉද්දි කළු ඇද ගත්ත තුන් දෙනෙක් ඇවිත් දොරට ගහන්න ගත්තා.. වැඩේ තේරුන නිසා අපේ උන් දොර ඇරියේ නෑ.. ඒත් සද්දන්තයෝ වගේ හිටිය තුන් දෙනාඅ දොරට ගහලා ගහලා විදුලි සෝපානයක වගේ දෙපැත්තට ඇරෙන දොර අත දාලා ඇරියා.. ඇත්තටම උන් ඒක කොහොම කලාද කියලා හිතා ගන්නත් බෑ.. මොකො ලොක් කරපු දොරනේ.. එහෙම දොර ඇරගෙන ඇවිත් තුන් දෙනාගෙන් එකෙක් සාක්කුවට අත දාලා අරන් දික් කලා අපි ඉන්න පැත්තට..

පිස්තෝලයක්... නෑ.. මොන පිස්සුද.. ඉන්ජෙක්ශන් කට්ටක් දික් කලේ.. සිරිංජේ ඇතුලේ සුදු පාටට මොනා හෝ තිබ්බා.. තුවක්කුවකට වඩා ඕක හරි භයානකයි.. මොකද හරියට වෙඩි නොකෑවොත් බේරෙන්න හරි පුළුවන්.. ඒත් අර සිරිංජේ තියෙන්නේ මොනාද කියලා කවුද දන්නේ.. ජීවිතේටම හොද කරන බැරි ලෙඩක් උනොත්.. හැබැයි ඉතින් ඔය මුකුත් නැතුව වතුර තියෙනවා වෙන්නත් පුළුවන්.. ඒත් ඉතින් නිකන් ඉල්ලන් පරිප්පු කන්නේ මොකටද? 

සිරිංජේ දැක්ක ගමන් කැශියර් වල තිබ්බ සල්ලි අරන් අපේ උන් දුන්නා.. හොරු ටිකත් එහෙමම මාරු උනා.. විනාඩි 10 ගියේ නෑ.. පොලිසියෙන් ආවා.. පොලිසිය කිවුවට ඔය වගේ එවට එන්නේ කැරිබිනේරි කියන සෙට් එක.. මෙන්න මේ වගේ.. මුන් හරි සැරයි.. අර වන්වේ බයිලේ මුංට කියන්න ගියානම් මම තාම ඇතුලේ.. :)




ඇවිත් කෙලින්ම ගියේ විඩියෝ රෙකෝඩ් වෙන කෑල්ලට.. ඒ අතරේ අනිත් උන්ගෙන් ඇහුවා මූණු දැක්කද කියලා.. උන් ඉතින් යන්තමින් සිද්දිය විස්තර කලා.. උඩ කෑල්ලට ගියාට පස්සේ තමා හොදම වැඩේ උනේ.. වෙනදට වැඩි වෙලා ප්‍රශ්ණ කරන උන් පහලට බැස්සේ අමු තිත්ත කුණුහරප කියාගෙන.. 

" ෆන්කූලෝ අ තුත්ති වෝයි.." 

ඔන්න ඕක තමා කිවුවේ.. දැන් තේරුම අහන්න එපා..  :) අපිත් දැන් හොල්මන් උනා වැඩේට.. කවදාවත් මෙහෙම වෙන්නේ නෑනේ.. අපිත් ගියා ලොක්ක ගාවට මොකෝ කේස් එක කියලා බලන්න.. 

" උඩහ කැමරාවේ රෙකෝඩ් වෙන සීඩී එකක් දාන්න අමතක වෙලානේ.."

අපිටත් ඉතින් කියන්න හිතුනේ "ෆන්කූලෝ  දොත්තෝරේ " කියලා තමයි.. ඇයි ඉතින් අර අපේ එකියක් පැනලා යන හැටි ලස්සනට රෙකෝඩ් වෙන්න මූ සීඩි දැම්මා.. මේ ඕනම කරන එකට සීඩී දාලා නෑ...





Sunday, 24 June 2012

තොටියා

ගං ඉවුර දිගේ හෙමින් දුර ඇවිදන් එද්දි හිතට දැදුනේ අමුතු හැගීමක්.. හැන්දෑවේ ලස්සනත් එක්ක ගං ඉවුරෙන් ආපු හුළගට හිත ඇදිලා ගියේ ඉබේටම වගේ..  කාලය ගැන හිතන්නෙවත් නැතුව ඒ සොදුරු බව හිතින් විදගෙනම ගං ඉවුර දිගේ ගොඩක් ඈතට ඇවිදන් ගියේ තිබුන ප්‍රශ්ණ හැම එකක්ම වගේ හමාගෙන ආපු ඒ හුළගට පා කරලා හැරලා..

ඈත කෙලවරක කුඹුක් හෙවනකට වෙන්න තිබුන පුංචි ලී පඩි පෙලට හිත ඇදිලා ගියේ ඉබේටම වගේ.. අන්තිමේ කෙලවර දිරල ගිය ලී ලොකු පාළුවක් කියා පෑවත් ඒ පාළුව අතරේ ලොකු සුන්දරත්වයක් පෙනුනා.. හෙමින් හෙමින් කුඹුක් හෙවනට ලං වෙද්දි දැනුන සිසිළස කියල නිම කරන්න බැරි තරම්.. හෙමින් එන  ගං දිය දෙපා මත දැවටෙද්දි දැනෙන්නේ අමුතුම හැගිමක්.. ඒත් මේ තරම්ම ලස්සන තැනක් මෙහෙම පාළු උනේ ඇයිද කියන්න හිතා ගන බැරි උනා..

තැනින් තැන කැඩිලා බිදිලා ගිය ලී පඩිපෙලේ මොහොතක් වාඩි වෙලා හෙමින් ඒ පඩි අතරේ වදින දිය රැලි දිහා බලාගෙන උන්නේ හිතේ ආසාවට..

" මහත්තයා ගොඩක් වෙලාවක් ඉදන් ගඟ දිහා බලාගෙන.."

බලාපොරොත්තු නොවුන වෙලාවක ඇහුන ඒ හඩට හිත ගැස්සිලා ගියේ ගං ඉවුරේ සොදුරු බවට හිත සම්පුර්නෙන්ම ඇදිලා ගිහින් තිබුන නිසා.. සැරයටියට වාරු වෙලා උන්න වයසක ඒ මුහුණ යොමු වෙලා තිබුනේ මම ගොඩක් වෙලා බලන් හිටපු ගංතෙර දිහාවටම..

" ඔව් දැන් ටිකක් වෙලා.."

ආයෙම ගං තෙර දිහාවටම බලාගෙන උත්තර දුන්න මම ආයෙම ඔහු දිහාවට හැරුනේ මෙතනට ආපු වෙලේ ඉදන් හිතට වද දුන්න එක දෙයක් දැන ගන්න හිතාගෙන..

" ඇයි සීයේ මෙතන මෙච්චර පාළු.. මෙතන ගොඩක් ලස්සන තැනක්නේ?"

නිහඬවම මාත් එක්කම ටික වෙලාවක් ඈත බලා ඉද්දි මම කියපු දේ හරියට අහුනේ නෑ කියලා හිතාගෙන ආයෙම ටිකක් හයියෙන් කතා කරද්දි සිනා මුසු මුහුනින් ඔහු මං දිහා බලා හිටියේ මට හොදට ඇහෙනවා කියන්න වගේ..

" ඒක ලොකු කතාවක් මහත්තයෝ.."

ඔහු දිග හුස්මක් හෙළුවේ ලොකූ කතාවක් කෙටියෙන් කියන්න බෑ වගේ හගවමින්..

" මට හදිස්සියක් නෑ.."

ඉබේම වගේ මුවින් එහෙම පිට උනේ ඒ කතාව දැන ගන්න ලොකු උවමනාවක් මගේ හිතේ තිබුන නිසා..

" අවුරුදු ගානකට උඩදි මේ ගඟේ එහා මෙහා ගිය ඔරුවක් තිබුනා මහත්තයෝ.. අර ඈත මේ වගේම ලී පෙලක් පේනවා නේද.. මේ ඉවුරු දෙකට එහා මෙහා ගිය  ඒ ඔරුව මේ ගඟටත්, මේ ගඟ ඒ ඔරුවටත් හරිම ආදරේ  කලා.."

" කවුද ඒ ඔරුව පැද්දේ?"

" මහත්තයගෙම වයසේ යස ඉලන්දාරියෙක්.." 

" දැන් ගොඩක් කාලෙකට කලින්ද?"

"හ්ම්ම්.. දැනට අවුරුදු 40කට විතර උඩදි මහත්තයෝ.."

" ඉතින් මොකද උනේ ඒ ඔරුවට?"

" ඒ ඔරුවේ නැගලා එහා ඉවුරට ඉස්කෝලේ ගිය ගෑණු දරුවෙකුට මේ ඉලන්දාරියගේ හිත ඇදිලා තිබ්බේ.. දෙන්නට දෙන්න ගම්මුන්ට හොරෙන් ආදරේ කලාට ඒක හැමදාටම රහසක් උනේ නෑ.. හැමෝම දොස් කිවුවේ ඒ ඉලන්දාරියට.. අසම්මත ආදරයක් කියලා හංවඩු ගැහුවා.. මේ ගඟ හොදටම පුරුදු ඒ ඉලන්දාරියට මේ ඔරුව වරදින්නේ නෑ මහත්තයෝ.. ඒත් දවසක් ඔරුව පෙරළුනා.. හරියටම ගඟ මැදදි.. අසම්මත උන ආදරයක් කෙලවර උනේ එහෙම මහත්තයෝ.."

" එවෙලේ දෙන්නම ඔරුවේ හිටියද සියේ?"

" ඔව්.. ඒ දෙන්න හැමදාටම එකතු උනේ ඒ විදිහට.."

" ඉතින් ඇයි මෙතන පාළුවට ගියේ?"

" ඔය මහත්තයා ඉදගෙන ඉන්න පඩිපෙලේම වාඩි වෙලා ඒ දෙන්න කතා කර කර ඉන්නවා ගම්මු දැකලා තියෙනවා හැන්දෑවට.. හැමෝම කියන්න ගත්තේ එයාලගේ ආත්මය එයාලා එකතු කරපු ඔරුව එනකම් බලන් ඉන්නවා කියලා.. ඉතින් මෙතන පාළුවට ගියා.. හැමදාටම මෙතන ඔවුන්ගෙම උනා.. අවුරුදු ගානකට පස්සේ තමයි කෙනෙක් මේ මෙතනට ආවේ.. ඒ තමයි මහත්තයා.."

..............................

නිසල වූ ගඟදිය
බලා හිදියි නිසොල්මන්ව
මැවෙන තුරු රටා එක පිට
බිදදා සොදුරු නිසල බව..

සැලී ගිය ගහ කොල මල්
මවයි නෙක රටා දිය මත
පාළුව හැර වෙන කුමක්
පවසයිද මෙදිය මට..

වරෙක හිනැහී රටා මැවු දිය
නිසල විය රජ කර පාළුව
ගිලි ගිය දා සිටම
දිය රටාවන් මැවු පාරුව..

තුරු ලතා හිනැහෙයි හතර වට
පූදමින් විසිතුරු මල් රටා හෙමිහිට
නෙලාගන්නට නැතුව කිසිවෙකු
මිලාන වි යයි හිරුත් එක්කම..

අදටත් මේ නිසල වූ වැව
නෙත යොමයි තොටුපල වෙත
දැකගන්නට ආසාවෙන් දිනක
යලිත් මෙහි එන තොටියා දෙස

..............................


" සියා මෙතන්ට හැමදාම එනවද?"

" ඔව් මහත්තයෝ.."

" හැමෝම නොඑන තැනක සීයා විතරක් තනියම.."

" තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්.."





Friday, 22 June 2012

ගුරුවරු

අද කියන යන්නේ පොඩි කාලේ උන කතාවක්.. සිස්සත්තෙත් ඊට පස්සේ අවුරුද්දත් අතර උන කතාවක් තමයි මේක.. ගාල්ලේ ඉදන් කොළඹට නොහිතුව වෙලාවක එන්න උනාට පස්සේ අපේ අම්මගේ තාත්තා එයාලගේ ගෙවල් පැත්තේ තිබ්බ පුංචි ඉස්කෝලෙකට තමයි අපිව දැම්මේ.. එතකොට ඒකේ හිටියේ හාමුදුරුවෝ කෙනෙක්  විදුහල්පතිට.. ඉතින් අපේ සියලා ඒ පන්සලේ ලොකු දායකයෝ නිසා අපිව ලේසියෙන් ඒ ඉස්කෝලෙට දැම්මා.. එතකොට මම ඉස්කෝලේ දෙක වසරේ.. අතර මග අහු උන ලොකු ඉස්කෝල පහු කරන් පොඩි ඉස්කෝලෙට යද්දි  ඒ දවස් වල හිතුන දේවල් ගොඩයි.. ඒ උනත් කාලයත් එක්ක ඒ සිතුවිල්ල වෙනස් වෙලා A/L වලට ඒ ලග තිබ්බ ප්‍රසිද්දම ඉස්කෝලෙට යන්න පුළුවන් කම තිබිලත් මම ඒ පුංචි ඉස්කෝලෙම නැවතුනා..

හරි කතාව එච්චර දුර යන්න ඕන නෑ.. සිස්සත්තෙට එමුකෝ.. අපේ ඉස්කෝලේ පුංච් එකක් උන නිසාම ඒ කාලේ කලාපයේ අඩු සැලකිල්ලක් තිබුනේ අපිට තමයි.. අළුතින් එන ගුරුවරු පවා වැඩිය නොරැදෙන කාලයක් තිබුනා අපේ ඉස්කෝලේ.. දැන්නම් හැබැයි එහෙම නෑ.. ඉතින් මම මේ  කියන කාලෙත් ඒ වගේ තමයි.. ඉතින් සිස්සත්තේ ගොඩ දාගන්න ටියුසන් යන්න ඕන කියන මානසිකත්වයකට අපේ පන්තියේ හිටපු ගොඩක් අයගේ අම්මලා ආවා.. ඒකේ වරදක් නෑ.. ඉතින් මාත් 4 වසරේ ඉදන් ගියා මහරගම ජනාධිපතියේ උගන්නපු විමළරත්න සර් කියන සබෑ ගුරුවරයෙක්ගේ පන්තියට..

අවංකවම කියනවනම් ඒ සර් හරි සැරයි.. හැමදාම පන්ති   ගියේ බයෙන්.. නිකම්ම උගන්නලා යවන්නේ නැතුව ඒ සර් අපේ අත් අකුරු පවා හදන්න සෑහෙන උනන්දු උනා.. 5හේ පන්තියේදි අපිට තීන්ත පෑන් පාවිච්චි කරන්න ඕන කියලා නීතියක් දැම්මා.. එතකොට අකුරු හදන්න පුළුවන් කියලා.. අකුරු හැදිල්ල කොහොම උනත් තීන්ත නම් නා ගත්තා ඒ කාලේ ඇති වෙන්න.. මගේ අකුරු හකුරු ගැනනම් කියලා වැඩක් නෑ.. සමහර දාට මම ලියප්පුවා මටම කියවන්න බැරි ගානයි.. ඒ උනාට පස්සේ කාලෙක අපේ කොල්ලො ලියුම් ලියාගන්නේ මට කියලා.. අනේ මන්දා ඒවා බලන උන් කොහොම කියෙවුවද කියලා..

ඉතින් කොහොම හරි අකුරු හදන වැඩේ සාර්ථක නොවුනට විභාගෙට හොදට සූදානම් කරන්න ඒ සර්ට පුළුවන් කම ලැබුනා.. අවංකවම කියනවනම් ෆේල් වෙයි කියලා හිතන් හිටපු මට විභාගෙට ළකුණු 143 තිබ්බා.. :)

මම කියන්න යන කතාව පටන් ගන්නේ දැන් තමයි ඉතින්.. සිස්සත්තෙන් පස්සේ 6 වසරේ ඉදන් හැම විශයටම පන්ති යැවීමේ ඕනකම එතන හිටපු අනිත් අම්මලාගෙන් අපේ අම්මටත් බෝ උනා.. මම ආසම නැති වැඩේ උනාට ඒ දවස් වල අපේ තර්ක වලට තැනක් නැති නිසා අකමැත්තෙන් වගේ පන්ති යන්න උනා..

ඉතින් මේ අපිට සිස්සත්තෙට උගන්නපු සර්ම මහරගම පැත්තේ අදටත් ගොඩක් ප්‍රසිද්ද ගුරුතුමෙක් ගාවට පන්ති යන්න කියලා යෝජනා කලා.. මොකද එයා උගන්නනවා හොදයි අරකයි මේකයි කියලා.. එතන ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි තුනටම පන්ති තියෙනවා.. ඔතනින් ඉතින් විද්‍යාව කියන්නේ මට විජ්‍යාවක් උන විශයක්.. කියන්න මොකටද ලැජ්ජ වෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..

ඉතින් 6 වසරේ මුල් කාලේ අකමැත්තෙන් උනත් අම්මා එක්කයන් යන නිසා පන්ති යන්න ගත්තා.. මුලින් අවුලක් නැතුව ගියාට  ප්‍රශ්ණේ පටන් ගත්තේ හිටපු ගමන් එතන විභාග තියන්න ගත්තයින්.. ගණනුයි ඉංග්‍රීසියි කෝම හරි ගොඩ දාගන්න පුළුවන්.. ඒත් විජ්‍යාව.. කලින් කියන්නෙත් නැතුව දුන්න විභාගේ ලිවුවේ වලහේ උළු ගනන් කරන ගමන්.. ඉතින් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. 


ඉතින් විභාගේ ලියලා ඉවර වෙලා ඊට පස්සේ සතියේ පන්ති යද්දි කාඩ් එක මාක් කරන තැන හිටිය ඇන්ටි කාඩ් එක මාර්ක් කරන්න කලින් කොලයක් බලලා කියපි..

" අම්මත් එක්ක ගිහින් සර් හම්බුවෙලා එන්න.." කියලා..

මොකද කින්ද මන්ද හිතා ගන්න බැරි උන මම අම්මා දිහා බලද්දි අම්මා මාවත් එක්කන් ගියා ඔෆිස් එක් පැත්තට.. යද්දි අපේ පන්තියේ තව උන් තුන් දෙනෙක් හිටියා.. පෝලිමේ ඉදලා උන් ගියාට පස්සේ අම්මා මාත් එක්ක ගියා සර්ට කතා කරන්න.. 

ගිහින් නම කිවුවම සර් ගිය සතියේ දුන්න ප්‍රශ පත්තරේ ඇදලා අරන් මේසේ උඩට විසි කලා.. රතු පාටින් ලොකුවට 30 කියලා දාලා ළකුණු රවුම් කරලා තිබ්බා.. මටනම් ඉතින් ඒ ගාන එච්චර අවුලක් නෑ.. මොකෝ මම දන්නවනේ මං ගැන.. අම්මත් එච්චර අවුලක් පෙන්නුවේ නෑ..

" ඇයි සර්.." අපේ අම්මා ඇහුවා..

" අපි මේ පන්තියේ ළකුණු 35 අඩු ළමයි තියා ගන්නේ නෑ." 

පොල්ලෙන් ගැහුවා වගේ එහෙම කියපු සර් පන්ති සල්ලි වලින් භාගෙකුත් ප්‍රශ්ණ පත්තරේ උඩටම දැම්මා.. 

" ඉතින් සර් ළමයට වැඩ බැරි නිසානේ උගන්න එවුවේ.. එහෙම එකේ සර්ලා ඔහොම කලාම හරිද?"

දුකින් උනත් කේන්තියක් හිතේ මවාගෙන අපේ අම්මා අහපු ඒ වචන ටික මට තාම මතකයි.. ඒත් සර් කාරයා ඒකට මුකුත් කිවුවේ නෑ.. අපේ අම්මා තව මොනාදෝ කිවුවා උනත් හිතට දැනුන දුක නිසාම ඒ මොනාද කියලවත් මට මතක නෑ..

කේන්තියෙන් අපේ අම්මා මාවත් අරන් ඔෆිස් එකෙන් එලියට ආවා.. අම්ම දිහා කෙලින් බලන්න බැරි කමක් මට දැනුනා..

" මේ සර් විතරද පුතේ ඉන්නේ උගන්නන්න.. පුතා කැමති කාලෙක මම වෙන සර් කෙනෙන් ලගට යවන්නම්.."

අම්මා එහෙම කියද්දි මගේ හිතේ තිබුන දුක කොහෙන් ගියාද දන්නේ නෑ.. හැබැයි අම්ම කිවුවත් වගේම 9 වසරෙදි මමම පන්තියකට යන්න ඕන කියනකම් කවදාවත් පන්ති යන්න මගෙන් ඇහුවේ නෑ.. අනිත් විශයන් කොහොම උනත් මට විද්‍යාව හැමදාම විජ්‍යාවක්ම උනා.. ඒ උනත් මට O/L වලට විද්‍යාවට " C " එකක් තියෙනවා.. ඉස්කෝලෙදි හැමදාම විද්‍යාවට ලැබ් එකට ගියාම මට මැද පෙල ඉන්න වෙන්නේ නෑ.. 10 / 11 අවුරුදු දෙකේ අපිට විද්‍යාව උගන්නපු ගුරුතුමිය හැමදාම මාව කොහේ හිටියත් ඉස්සරහට ඇදලා ගත්තා.. එතුමියගේ මහන්සිය නිසා තමයි ෆේල් වෙන්න හිටිය මම ඔහොම හරි විද්‍යාව පාස් උනේ..

ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේ බස් එකේ යද්දි නිකමට වගේ ඒ පන්තිය දිහා බැලුනා.. දිවයිනේ වැඩිම "A" සාමාර්ථ ප්‍රමාණයක් ලබා දුන් .............. ගුරුතුමා කියලා ලොකු බැනර් එකක් ගහලා තිබ්බා..


Wednesday, 20 June 2012

රේඩියෝව - පූස්පාර්ට් යාළුවෝ 1




“ ආ වැඩට යනවා වගේ..”

“ නෑ.. මේ මම වැඩට යනවා..”


ලංකාවේ කට්ටිය එක්ක එකම තැන හිටියා උනාට උදේ හවස දැකලා එන යන වෙලාවට කතා බහ කරන සිල්වත් ප්‍රනාන්දුත් මගදි හම්බුනාම කතා කරන විදිහ ඔවුන් දෙන්නටම පුරුදු නිසා කවුරුවත් ඒක ලොකු දෙයක් හැටියට දැක්කේ නෑ..


“ මේ ඒක නෙමෙයි.. අපේ පරණ ගේ බඩු වගයක් අස් කරන්න තියෙනවා.. තමුසෙත් එනව.. පස්සේ හවස ටිකක් සෙට් වෙන්නත් බැරිය..”


“ උදවු වෙන්න නම් එන්නම්.. හාපෝ පිස්සුද.. මට ගෑස්.. උදේට විදවන්න වෙන්නේ..”


“ හැමදාම නෙමයිනේ සිල්වා.. හවස එනවා වැඩ ඉවර වෙලා.. මට අද නයිට් ඩියුටිත් නෑ..”


“ කමල්ලත් එනවද? නැත්නම් එකට බීලා හෙට උදේ වෙද්දි අපේ පවුලට කතා කරලා ගින්ණ දේවි..”


“ හරි හරි.. තමුසේ බය නැතුව එනවකෝ..”


එකම තට්ටු නිවාසයේ යාඹද නිවෙස් වල නැවතිලා හිටියත් කමලුත් සිල්වත් අතරේ පුංචි හිත් අමනාපකම් තිබ්බා.. කේලාම් කීම තමයි ප්‍රදානම.. කෑමක් බීමක් බෙදා ගත්තට කවදාවත් එකට බොන්නේ නෑ කියලා තමයි සිල්වා නම් හිතාගෙනම හිටියේ..


“ අපෝ බිවුවට පස්සේ ඔය යකා එක්ක කතා කරලා බේරෙන්න බෑ..”


සිල්වා නිතරම වගේ තමන්ගේ ගැලවිල්ලට කිවුවේ ඒ කතාව.. සිල්වා විතරක් නෙමෙයි කමල් එක්ක බොන්න ගොඩක් කට්ටිය බය උනා.. හැමදාම සෙට් වෙන මිතුරා උනේ ප්‍රනාන්දු විතරයි.. ඒකටත් හේතු ගොඩක් තිබ්බා..


සුපුරුදු වැඩ ඉවර කරලා ජෙට් එකක් වගේ සද්දෙන් දුම් දාගෙන එන 50cc බයික් එක කතානියා ඈත කෙලවරින් එද්දි කවුරුත් දන්නවා මේ එන්නේ සිල්වාය කියලා.. ඒ තරමටම ඒ බයික් එක කතානියා වල හැමෝම දන්නවා..


පුංචි වෙන්නප්පුවක් වගේ තිබ්බ ගෙවල් පේලියේ හැමදාම බයික් එක නවත්තන තැනින් බයික් එක නවත්තපු සිල්වා කෙලින්ම ගියේ ප්‍රනාන්දුලාගේ ගෙවල් පැත්තට.. ඒ යද්දිත් කමලුයි ළමයිනුයි ඇවිත් පරණ ගේ අස් කරන්න පටන් අරගෙනත් එක්ක..


“ Ciao සිල්වා.. අපි හිතුවා එන එකක් නෑ කියලා..”


කමල් උපහාසෙට වගේ කියන දේවල් මායිම් නොකල සිල්වා ලෙස්සලා යන උත්තරයක් දිලා කතාව මගැඇරියා..


“ හැමදාම සල්ලි හම්බුවෙන වැඩේ කරන් ඉන්න එපැයි කමල් අයියේ ඔක්කොටම කලින්..”


අතේ තියාගෙන හිටිය හෙල්මට් එකටම බයික් එකේ යතුර දාපු සිල්වා ඒක පැත්තකින් තිබ්බේ “ මොනාද දැන් කරන්න තියෙන්නේ ” කියලා අහගෙනම..


“ බර වැඩ ටික තමයි ඉතින්..”


අනුන්ගේ බර අදින්න සිල්වා එච්චරම කැමති නැති උනාට බෑ කියන්න බැරි නිසාම අකමැත්තෙන් උනත් කැමති වෙලා එහෙන් මෙහෙන් අස් කරන දේවල් අස් කරා..


කලින් හිටිය පොඩි ගෙයින් අයින් වෙලා ඒ පහලම තිබ්බ ගේකට ප්‍රනාන්දු ආවේ කලින් තැන හැරෙන්නවත් ඉඩ නැති නිසා.. පවුල ඉතාලි එක්කන් ඒමේ අරමුණත් එතන තිබුනා..


“ මේ වැඩක් නැති මගුල් නේ ගොඩ ගහන් ඉන්නේ ප්‍රනාන්දු..”


“ ඔව් සිල්වා.. වැඩක් නැති ඒවා විසි කරලා දාන්න ඕන.. මොකො කියන්නේ මේ ගමන්ම විසි කරමුද?”


“ ඔව් ඉතින්.. තව දවසකට තියා ගන්න දෙයක් නෑනේ.. ඉවරයක් කරලම දාමු..”


හවස 7 පහු වෙලා තිබ්බට සමර් එක නිසා හොදට ඉර එළිය තිබ්බා.. අදුරක් එන්නනම් තව පැය දෙකක්වත් යන නිසා හැමෝම කම්මැලි කමක් නැතුව ප්‍රනාන්දුගේ වැඩේ කරන් ගියා.. කමල්ගේ මඩ ප්‍රහාර නිසා සිල්වා නම් නිතරම වගේ හිටියේ නිහඩව..


අතරින් පතරේ එකතු වෙන කූණු මාරුවෙන් මාරුවට අරන් ගිය සිල්වා අන්තිම කුණු එක අරන් ගිහින් ටිකක් වෙලා නේද කියලා කටිටියටම මතක් උනේ ටික වෙලාවකින්..


“ පුතේ ගිහින් බලන්න මේ සිල්වා මොකෝ නැත්තේ තාම කියලා..”


ආපහු පල්ලෙහාට බහින්න අකමැති කමට ජනේලෙන් ඔළුව දාලා සිල්වාව හොයපු කමල්ගේ ලොකු පුතා, සිල්වා පේන්න නැති නිසා හිතින් බැන බැන පල්ලෙහාට බැස්සා.. සුපුරුදු දේශපාලන කතා වල හිටිය  ප්‍රනාන්දුත් කමලුත් හොයාගෙන කමල්ගේ ලොකු පුතා දුවගෙන ආවේ නවත්ත ගන්න බැරි හිනාවකින්..


“ තාත්තේ.. මෙහේ එන්නකො වැඩක් පෙන්නන්න..”


“ මොකො උනේ?”


“ කිවුවට වැඩක් නෑ.. බලන්නම ඕන.. ඉක්මනට යංකෝ පල්ලෙහට..”


පල්ලෙහාට අපු කාගෙත් හිනාව නතර වෙන්න ගොඩක් වෙලාවක් ගියා.. කුණු බක්කිය ඇතුලෙන් එලියට එස උන කකුල් දෙක දැක්කම කවුරු කවුරුත් ඒ කවුද කියලා අදුන ගන්න පරක්කු උනේ නෑ.. ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන ඇති තරම් හිනා උන කමල් ඇතුලු කට්ටිය කුණු බක්කිය ලගට ලං වෙලා එලියේ තිබ්බ කකුල් දෙකෙන් ඇදලා එලියට ගනිද්දි සිල්වා හිටියේ හොදට කුණු නාගෙන..


“ මොකෝ මනුස්සයෝ කලේ?”


තව කාලෙකට හිනා වෙන්න පුළුවන් කාරණාවක් නිසා කමල් උපහාසෙට අහද්දි ඇට්ත කියනවා ඇරෙන්න දෙන්න උත්තරයක් සිල්වට තිබුනේ නැති තරම්..


“ නෑ මම කුණු දාලා එද්දි ඉතාලි කාරයෙක් ඇවිත් අළුත්ම රේඩියෝ එකක් විසි කලා.. මම ඒක ගන්න පහත් උනේ.. පතුලෙම ඒක තිබ්බ නිසා ගන්න දගලද්දි වැටුනා..”

 

Monday, 18 June 2012

මග බලාගෙන මම

අදත් ලස්සන හැන්දෑවක්.. වෙනද වගේම ගාළු මුවදොරට ඇවිදන් ආවට, අද වෙනදට වැඩිය ටිකක් වේගෙන් එන්න හේතුවක් තිබ්බා.. ඒ ඇය.. හුග දවසක් තිස්සේ මේ ගාළු මුවදොර ඉදන් ඈත ඉර බැසගෙන යන දිහා, වෙන කිසිම දෙයක් ගැන නොහිතා බලන් හිටපු මගේ තනියට දැන් තව කෙනෙක් ඇවිත්..

පහලට වෙන්න ඉදි උන ගල් බංකුවක වාඩි වෙලා ඈත මුහුද දිහා බලන්න ඉන්න නුඹව මමත් දැන්නේ අහම්බෙන් වගේ.. නුඹ වගේම මමත් මේ මුහුදු තෙර දිහා බලන්න පුරුදු වෙලා හිටපු නිසා.. ඒත් මුල්ම වතාවට අහම්බෙන් දැක්ක දවසේ ඉදන් හැම හැන්දෑවකම ඈත මුහුද දිහා බලන් ඉන්නවට වඩා නුඹ දිහා බලන් ඉන්න මම ආස කලා..

නුඹ දිහා බලන් ඉද්දිත් දැනෙන්නේ මුහුද තරම්ම උන ගැඹුරු බව..  සමහර විට මේ මුහුදටත් වඩා ගැඹුරුද මන්දා.. ඒත් කිසිම දෙයක් නොකියන ඔය මුහුණේ ලොකු දෙයක් හැංගිලා තියෙන බවනම් රහසක් නෙමෙයි..

“ ගිහින් වචනයක් කතා කරනවද?”

මගේ හිත මගෙන්ම ඇහුවා.. වාඩි වෙලා හිටපු බංකුවෙන් නැගිටලා අඩි දෙක තුනක් ඈ හිටිය තැනට ඇවිදන් ගියාට ආයෙම හිත මොහොතකට වෙන උන නිසා මම නැවතුනා..

“ නන්නාදුනන කෙනෙක්.. එකපාරම ගිහින් කතා කරන එක හොද නැති වේවි..”

ඒ මොහොතේ මගේ හිත මට දුන්නේ එහෙම උත්තරයක්.. හිතේ දෙගිඩියාව මටම තේරුම් ගන්න බැරි වෙද්දි එදා ඒ අදහස අත ඇරලා දාලා ආයෙම මුහුද දිහා බලාගෙන හිටියා.. කොච්චර වෙලා එහෙම හිටියද කියලා නොතේරුනත් ආයෙම ඈ හොයන්න හදද්දි ඈ නික්මිලා තිබුනා..

“ අපරාදේ.. මට කතා කරන්න තිබුනේ..”

මොහොතින් මොහොත වෙනස් වෙන හිතත් එක්ක කේන්තියේම ආපහු යන්න පිටත් උනේ ඊළග දවසෙවත් කතා කරනවා කියන බලාපොරොත්තුවෙන්..

දවස තිස්සේ ගොඩ ගැහුන වැඩ එක්ක කාලය ගෙවෙද්දි ඉදහිට හැම වෙලාවකම වගේ ඔරලෝසුව දිහා බැළුවේ හවස රාජකාරි නිමා වෙන වෙලාව එලබිලාද කියලා දැන ගන්න.. හෙමින් හෙමින් හෝරා ගෙවිලා ගිහින් අන්තිමේ ඒ කාලය එලබෙද්දි හිතට දැනුනේ අළුත් ප්‍රබෝදයක්..

“ අදනම් කොහොම හරි වචනයක් කතා කරනවා..”

මම මගේ හිතටම කියා ගත්තේ අදත් එදා වගේ මේ හිත  වෙනස් නොවෙන්න.. ගාළු මුවදිරට එද්දි හිරු ඈතින් බැහැල යන්න පටන් අරන්.. ඒත් රාත්‍රිය උදා වෙන්න තව ගොඩක් වෙලා තියෙනවා.. ලා තැඹිලි පාටක් අහසට එක් කරගෙන ඈත සයුරු තෙරේ හැංගෙන හිරු දකින්න ආස කල දෑස අද තිබුනේ ඔරලෝසුවේ කටු අතරේ.. ඒ මේ අත නොසංසුන්ව බලන මේ දෑස වෙනදා දකින සුන්දරත්වයට වඩා හෙවුවේ ඈව..

..............................

හිරුත් අවරට ගිහින්
දම්පාට හැන්දෑවේ
මුහුදු රැල්ලත් මලානික වී
ඇදෙයි මුහුදු වෙරළට හෙමින්..

ළිහිණින් නෑ ඈත අහසේ
ගොම්මන් වී මුහුදු වෙරළේ
සද කිරණත් නෑ පෙනෙන්නේ
වසන් වී ඝණ වලාවකට අහසේ..

පහන් කණුවේ ආලෝකය ලග
නැහැ සිත මගෙ තව රැදුනේ
වැලි කෙලියේ උන් පුංච් උන් ටික
යයි සැගවී මවු පිය තුරුලේ..

කාලය ගෙවුනා මටත් නොදැනිම
වෙරළට ඇවිදින් නුඹ දැක ගන්නට
ඒත් නුඹ ආවේ නැහැ තවම
වෙරළේ තනිවෙන්න වෙනද වගේම..

තව මොහොතක් දෙකක්
බලා නොඉද නුඹ දැක ගන්නට
යන්නේද නොයන්නේද මම
හිතමින් දෙගිඩියාවක මගේ  හිත..

කෙලෙස හෝ නුඹ ලගට වී අද
හිත පුරාවටම ඇදුන සිතුවිලි හැම
කියන්න පෙරුම් පුරන්න උන් හිත
නැවතිලා දැන් නොදැක නුඹෙ  දෑස..

..............................

කාලය ගෙවුනේ කොහොමදවත් තේරුනේ නෑ.. හිරු බැස ගිහින් ඈත අදුර රජ වෙලා.. ඒත් නුඹ.. ඇයි නුඹ ආවේ නැත්තේ අද??







Saturday, 16 June 2012

මැද පෙල අපි ( ඉස්කෝලේ කතා 7 )

අදත් ඉස්කෝලේ කතාවක් කියන්නයි මේ හදන්නේ.. කතාවක් කිවුවට ඉතිං කතන්දර ගොඩක්..  O/L  ඉවර වෙනකන් උන වැදගත් කියලා හිතෙන කතන්දර ටික ලියලා දන්නයි කල්පනාව.. කලින් ලියපු කතන්දරත් මතක ඇතිනේ.. අමතක වෙන්නනම් විදිහක් කොහෙත්ම නෑ කියලා තමයි හිතෙන්නේ..

මැද පෙල අපි කියලා හෙඩිම දාලා තියෙද්දි මේ මොකක්ද කියලා හිතන්න ඇති.. මමයි මගේ අතීජාත මිත්‍රයෝ දෙන්නයි ඉස්කෝලේ 6 පන්තියේ ඉදන් හිටියේ එකට..  අපේ කල් කිරියාව හොද වැඩි නිසා ගුරුවරු අපිට ස්ථාන මාරු දුන්නට ඒක ඒ පීරියඩ් එකට විතරයි.. අනික තමයි අපි හැමදාම හිටියේ තුන් වෙනි පේලියේ.. මුල්ම පේලි දෙකේ උගතුන්, අන්තිම පේලි දෙකේ බුද්ධිමතුන්.. මුංට මැද හැමදාම අපි..

සාමාන්‍ය දවසකට අපි තුන් දෙනාගේ නම් දහ පාලොස් පාරක් කියවෙනවා.. ගුරුවරු එතකොට විදුහල්පතිගේ විශේෂ නියෝජිතයෝ ඇවිත් අපිව එක පාරකට හරි ඔෆිස් එකට එක්කන් යනවම තමයි.

මොකක් හරි විවාදෙකට, ක්‍රීඩා තරගෙකට ගියා කියලා උදේ රැස්වීමේ යකඩ කටින් නම කියවෙද්දි උගතුන් එක්ක ගිහින් සහතික ගන්න අපි තුන්දෙනා විවේකයෙන් පස්සේ කාට හරි අංචියක් ඇද්දා කියලා බුද්ධිමතුන් එක්ක ඔෆිස් එකේ වේලෙනවා.. ඔන්න ඔය නිසයි මම කිවුවේ අපි මැද පෙල කියලා.. දෙගොල්ලන්ටම අපි නැතුව බෑ..

ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ට අපෙන් ටිකක් කරදර තිබුනට මගෙන් ලොකුම කරදරේ තිබ්බේ අපේ සංගීත මාස්ටර්ට.. ඒ කාලේ අපේ ඉස්කෝලේ තිබ්බේ චිත්‍ර / නැටුම්  / සංගීත විතරයි.. දැන්නම් IT වගේ ඒවත් තියෙනවා කියලයි ආරංචි.. ඉතිං බෝට්ටුවක්වත් ඇදගන්න බැරි, පොළව ඇද නිසා නටන්න බැරි මම ගියේ සංගීත මාස්ටර් ලගට..



6/7/8 වසර වලදි ඉතින් මමත් කැපී පෙනනන් සිසුවා උනා.. පස්සේ ඉතින් අර 9 වසරේ සෞඛ්‍ය පොතේ තියෙන නව යොවුන් වියේ වෙනස් කම් නිසා මගේ වොයිස් එක තරම් මදුර මනෝහර වොයිස් එකක් කාරවත් තිබුනේ නෑ සංගීතය කරපු උන්ගෙන්.. 10 වසරෙදි හදිස්සියේ ඉස්කෝලෙට කඩා වැටුන එකෙක් මගේ ඒ තැන ගත්තා වාසනාවකට වගේ..

ඉතින් ඔය සංගීතය කරපු අය දන්නවා ඇතිනේ විභාග වලට ලියන ප්‍රශ්ණ වගේම ප්‍රැක්ටිකල් දෙන්නත් ඕන කියලා.. ඉතිං ඔතනදි අපේ මාස්ටර්ට කවදාවත්ම මගේ මේ ගැඹුරු කටහඬට හරි යන්න ස්‍රෑතිය අල්ලන්න බෑ සර්පිනාවේ කොතනින්වත්.. ඒකට ඉතින් වෙනම සප්තකයක් හදන්න ඕන.. බැරිම තැන අපේ මාස්ටර් ඔය වැඩේ අත ඇරලා දැම්මා.. මොකද වැඩක් නැති නිසා.. හැබැයි ඒ වෙනුවට අනිත් උන්ගේ ප්‍රැක්ටිකල් ගනිද්දි සර්පිනාවෙන් ස්‍රෑතිය අල්ලන්න මට දීලා මගෙන් ප්‍රැක්ටිකල් නොගෙන හිටිය.. එතකොට මට ළකුණු..හෙහ්.. මම කරන ඒ සේවය අගය කරනු වස් මට හැමපාරම “ C ” පාස් එකක් දෙන්න මාස්ටර් අමතක කලේ නෑ.. අන්න ගුරුවරු..

කොහොම හරි ඉතින් 10 වසරට එද්දි ඉස්කෝලේ ශිෂ්‍ය නායක පට්ටමකට යන්නත් පුළුවන් උනා.. උගතුන් ක්‍රියාශීලී මදි වෙද්දි බුද්දිමතුන් අණ්ඩපාලයෝ වෙද්දි අපේ පන්තියේ ඒ පට්ටමත් ලැබුනේ මැද පෙල අපි තුන් දෙනාටම තමයි.. ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා කාලේ ඉතින් කන්න ඕන කටු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දන්න අය දන්නවා.. සීනියර්ලා බලන්නේ අපෙන් වැඩ අරන් උන් ලකුණු දාගන්න.. ඕක ඉතින් හැම තැනම වෙන දේනේ.. ඒකම ඉතින් අපිටත් සෙට් උනා..

O/L අවුරුද්දට එද්දි මට භාර උනේ 10 B  පන්තිය වැඩ බලන්න.. එහෙම කාලෙක ඔය වගේ පන්තියක් බලා ගන්න ලැබෙනවා කියන්නේ ඉතින්  නරියට කුකුළ්ළු බාර දුන්නා වගේ වැඩක් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. ඉතින් ඒකම තමා මගෙත් කරුමෙට හිටියේ..  හැබැයි ලයින් දාන්න ගිහින් නෙමෙයි.. ( එහෙම කිවුවට හිතන්නෙම අනිත් පැත්ත බව දන්නවා. )  ඒ පන්තියේ හිටපු අපේ සීනියර් කෙනෙක්ගේ කෙල්ලෙක්ට මම වැඩ පැවරුවාය යන චෝදනාව පිට දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දි 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් මට මැර ප්‍රහාරයක් එල්ල උනා.. එදා දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.. තනියම හිටි මම ඉතින් ගුටි කනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? 



එතකොට මම O/L දෙවෙනි වාරේ.. පස්සේ  මම ප්‍රිෆෙක්ට්ස් බෝඩ් එකෙන් අයින් උනා.. ලොක්කෝ එක්ක හැප්පෙන්න බෑ වගේම ඉතින් ඒ වගේ ප්‍රශ්ණයකට පස්සේ ඇතුලේ ඉන්න ලොකු එවුන්ගෙන් එන බලපෑම් කොහොමද කියලා කියන්න ඕන නෑනේ.. මාත් එක්කම අනිත් උන් දෙන්නත් අයින් උනා..  එදා මට ගහපු එකට රිටන් එකක් දෙන්න ලොකු ඕන කමක් තිබ්බ උනාට උන් ශිෂ්‍ය නායකයෝ උන නිසා මුකුත් කර ගන්න බරි උනා.. ඊට පස්සේ ඉතින් ආයෙම සුපුරුදු මැද පෙල ශක්තිමත් කරන්න අපි ගියා.. කට උලාගේ වැඩ නිසා ආයෙම ගොඩක් වෙලා ඔෆිස් එකේ හිටගෙන ඉන්න උනා..

කාලය හෙමින් ගෙවිලා O/L ලිවුවා..  A4 B4 C2ක් බලාපොරොත්තු උනාට වැඩි හොද ප්‍රතිඵලයක් ආවා.. කරපු වැඩයි පාඩම් කිරිල්ලේ හොදකමයි නිසා ඔහොම රිසල්ට් එකක් වත් ඒවි කියලා හිතුවේ නෑ..

උගතුන් සමහරක් ලොකු ඉස්කෝල වලට ගියා.. බුද්ධිමතුන් සමහරක් හැලෙද්දි සමහරු යාන්තමින් ගොඩ ගියා.. මැද පෙල අපි ඒ සෙට් එකේ ඔක්කොම එක්ක  A/L වාණිජ අංශයෙන් කරන්න තීරණය කලා..

කට උලත් අයිති උනේ අර හැලුන සෙට් එකට..  ඌ හිටපු හැටියට එහෙම නොවුනානම් තමා පුදුමේ.. ඒ උනත් ඉතින් අපිට ඌ නැති පාඩුව A/L වලදි ගොඩක් දැනුනා.. ඌ හිටියනම් හොද පිස්සු වැඩ ටිකක් කරන්න තිබුනා..කොහොම උනත් අපි A/L ඉවර කරන කාලේ වෙද්දි උලා ලී කැටයම් සාස්ත්‍රය ඉගෙන ගෙන උගේම වැඩ පලක් පටන් ගත්තා.. ඉතින් අපිට ඌ ගැන සතුටුයි.. මොකද මොනම හරි පැත්තකින් අන්තිමේ ඌ උගේ අනාගතේ හදා ගත්ත නිසා.. දැන්නම් හැබැයි උලා මොනා කරනවාද කියලවත් දන්නේ නෑ..

ඉතින් ඔන්න ඔහොමලු O/L ඉවර උනේ.. ඊලගට පටන් ගන්නේ ත්‍රාසය / භීතිය / කුතුහලය / ආදරය / අරක්කු / සිගරට් / පිරි A/L කතා… රැදී ඉන්න හොදේ... :)