Thursday, 31 May 2012

නීතිය අකුරටම..

පෙර කතාවක් :

පොලේ යාම ගැන මේ බ්ලොග් අවකාශයේ අයට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. කතන්දර සූරින් එක වතාවක් එතුමන්ගේ කතාවක් ලිවුවා.. මෑතකදි  සයිබර්යායෙත් පොලේ යාම හා පතිවත ගැන ලිපියක් ලිය උනා වගේම මහා චිත්‍ර ප්‍රදර්ශණයකුත් තිබ්බා.. හැමෝම ඒවා කියවලා ඇති.. ලින්ක් දෙන්න දෙයක් නෑනේ.. සම්මානයන්ට පාත්‍ර උන ඒ බ්ලොග් නොබලන කෙනෙක් ඉන්න විදිහක් නෑ.. 



හරි කතාවට එමුකෝ.. අපෙත් හැම සෙනසුරාදම පොලේ යන්නේ මම තමයි ඉතින්..  ඕකට සෙනසුරාදාම තොරා ගන්නත් කාරණා කීපයක්ම තියෙනවා..

                   1.      සෙනසුරාදා මට වරුවයි වැඩ.. ඉතින් වැඩ ඉවර වෙලා දවල්ට පොලේ යන්න ලේසියි..
                    2.      පොල ගාවම තියෙන ලංකාවේ කෑම විකුණන කඩේට අළුත්ම බඩු එන්නේ සෙනසුරාදට වීම..
               3.      එදාට මම වගේම ලංකාවේ ගොඩක් අය එන නිසා ලංකාවේ ලස්සන ගෑල්ලමයෙක් බලා ගැනිමේ පහසුව..


ඔන්න ඔය කාරණා නිසා ඉතින් මම පොලේ යන්නෙම සෙනසුරාදා තමයි.. එදාට ඉතින් සෙනගත් පිරෙන්නම.. අපි ඉතින් බඩු මුට්ටු ගන්න ඉන්න අස්සේ සුද්දෝ ඇවිත් ෆොටො ගන්නවා.. එක එක විකාර ගොඩයි..  ඉතාලි, බංගලාදේශ්, මොරිසස්, අප්‍රිකන්, අරාබි, ඉන්දියන්, චින මුහුණු අතරේ වෙනස් කම් බල බල මමත් ඉතින් පොලේ ඇවිදන් යනවා..

හැබැයි ඉතින් අර සයිබර්යායේ කියපු ප්‍රශ්ණ මෙහේ නැතුවම නෙමෙයි.. මෙහේ ඕනවටත් වැඩිය.. වෙනසකට තියෙන්නේ කාටවත් ගානක් නෑ.. අංකල් ජොන්සන්ව සුපර්මාර්කට් යවලා මම පොලේම යන්නේ ඒ වයසක මනුස්සයට ඔය සෙනග අස්සේ බඩු මලු උස්සන් රිංගන්න බැරි නිසා.. දැන් වයසයි නේ...

අදාල කතාව :

ඉතින් ඔහොම පොලේ ගිහින් ගෙදර එන පාරෙදි මුහුණ දුන්න දෙයක් ගැන තමයි අද මේ කියන්න යන්නේ.. ඔය එන පාරේ එක පොඩි කොටසක් ඒ කියන්නේ මීටර් 200 විතර කෑල්ලක් අහු වෙනවා වාහන ගමනා ගමනය තහනම් උන..  ඒ වෙනුවට ප්‍රධාන පාරට වැටෙන්න හරි පාරේ යනවනම් කිලෝ මිටර් එකහා මාරක් විතර යන්න ඕන.. ඔන්න ඔය පහල පින්තූර කෑල්ල බලන්නකෝ.. 



ඔකේ ඔය රතු ඊතලෙන් දාලා තියෙන්නේ යන්න ඕන නිවැරදි ගමන් මග.. එතකොට අදුරු කරලා තියෙන්නේ තහනම් කලාපය..

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. මම ඉතින් පොලේ ඉදන් අර අතුරු පාරේ ඇවිත් අර කිලෝමීටර් එකහාමාර යනවා වෙනුවට කරන්නේ වට පිට බලලා අර තහනම් කලාපෙන් මීටර් දෙසිය පනින එක.. :)

ඔය වැඩේ ඉතින් බොහොම කාලයක් කිසිම අතුරු ආන්තරාවක් නැතුව කෙරි ගෙන ගියා මේ මාසේ මුල් සෙනසුරාදා වෙනකන්..

වම බලලා දකුණත් බලලා ආයෙම වම බලලා මම හොර පාරෙන් බයික් එක දාද්දිම වෑන් එකක් අස්සේ හැංගිලා හිටිය පොලිස් අංකල් කෙනෙක් පැන්නා පාර මැද්දෑවට..



“ මේ ටිකේ වාහන වලට යන්න බෑ කියලා දන්නේ නැද්ද?”

දැන් ඉතින් මොනවා කියන්නද? මොකො දන්නවා කියන්නෙයි..

“ අතනින් දකුණට හරවන්න එපා කියලා බෝඩ් එක්ක ගහලා තියෙනවා දැක්කේ නැද්ද?”

“ හදිස්සියට දැක්කේ නෑ..”

“ මම දවස් කීපයක්ම බලන් ඉදලා තමයි මේ නැවැත්තුවේ..”

ඇත්ත.. පොර තමයි ඒ ලගම තියෙන කලර් ලයිට් එක ලග  මම දන්න කාලේ ඉදන් හිටියේ.. පොර තඩි පොතකුත් අතට අරන් පෑනේ ක්ලිප් එකත් ගලවලා අර ගත්තා..

“ නම මොකක්ද?”

“ උමගිලියගේ දිනේශ් අසන්ත කුමාර..”

ඔය වගේ වෙලාවට අපේ සම්පූර්ණම නම කිවුවම උන්ට ඕක ලියා ගන්න බෑ කියන එක මම කලින් ඉදන්ම දන්න දේ.. නැත්නම් වෙන වෙලාවට කියන්නේ මම නම කෙටි කරලා.. අනික ඔය ඕනම ෆෝම් එකක අපේ වගේ දිග නම් ලියන්න ඉඩ නෑ..  ( අපේ පොඩි කුමාරිහාමි අක්කා උසාවියේදි කිවුව නම වගේ එකක් කිවුවනම් මුං කලන්තේ දානවා ශුවර්.. ) 

ඒක ඉතාලි ඉන්න අය දන්නවනේ.. අනික අපි අකුරෙන් අකුර නම කිවුවොත් තමා උන්ට ලියා ගන්න ලේසි.. එහෙම නැත්නම් ඉතින් මොකක්හරි ඩොකියුමන්ට් එකක් දෙන්න ඕන බලාගෙන ලියන්න..

“ ඩොකියුමන්ට් එකක් දෙන්න..”

“ උදේ වැඩට එන්න  ටිකක්  පරක්කු උනා සිංඤෝරේ.. ඉතින් ඩොකියුමන්ට් ගෙදර අමතක උනා..”

ඇත්තටම ID එකයි ලයිසොන් එකක් මගේ ලග තිබ්බා.. ඒත් ඕක දීලා ඉල්ලන් කන්න ඕනද? පොර පොත වැහුවා..

“ ඇත්තටම ගෙදර ඩොකියුමන්ට් තියෙනවද?”

“ ඔව් සිංඤෝරේ.. අපේ ගෙවල් මේ ලග.. ඔනනම් යං මම පෙන්නන්නම්..”

අංකල් ජොන්සන් එක පාරක් ඔහොම මාට්ටු උන වෙලාවක දීලා තිබුනේ ඔහොම ටෝක් එකක්.. උන් කීයටවත් අපේ ගෙදර එනවද ඕක බලන්න.. වෙන වැඩ නැතුවයි.. ඉතින් මමත් ගේමක් නැතුව ඒකම කිවුවා..

පොර පොතත් වහලා පෑනේ ක්ලිප් එකත් ගහලා සාක්කුවට දා ගත්තා..

“ අදට යනවා.. ඊළග දවසෙත් මෙහෙම අහු උනොත් මම මේ බයික් එකේම නැගලා ගෙදර ඇවිත් දඩේ ලියන්නේ..”

grazie signore .. buonasera..”

දැන් ඉතින් ඊළග දවසේ ඉදන් තෙල් පුච්චන් අර දුර පලයන්කෝ.. හැමදාම ඔහොම ගැලවිලි නෑ.. අනික මේ පොලිස් කාරයා කොයි වෙලෙත් ඔතනමයි.. ඊළග පාර අහු උනොත් දඩේ ශුවර්..  මොනා කරන්නද තෙල් ගනන් කියලා නොබලා ඔය ටික යන එක තමයි එකම විසදුම.. වෙන දෙයක් නෑ.. එහෙමද හිතන්නේ..

මොන පිස්සුද, ඊළග සෙනසුරාදා ආවා.. සුපුරුදු විදිහට ලස්සන මූණු දිහා බලාගෙන පොලේ ඇවිද්දා.. බයික් එකට ආවා.. අතුරු පාර දිගේ ආවා.. තහනම් කලාපේ ලගට ඇවිත් බයික් එක නැවැත්තුවා.. එන්ජිම ඕෆ් කලා.. මම බැස්සා.. බයික් එක හරවන් අර මීටර් 200 මම බයික් එක තල්ලු කරන් ගියා.. තහනම් කලාපේ පැනලා බයික් එකේ නැගලා  ස්ටාට් කරන් මම ආවා..

මගින්ට පමනක් වෙන්වු කලාපයක, එන්ජිමකින් ක්‍රිකා කරන කිසිදු වාහනයක් ගමනාගමනය කල නොහැක..
ලයිසොන් එක ගන්න විභාගෙට යද්දි අපිට ඉගැන්නුවේ එහෙම..

ඉතින් ඕකේ තල්ලු කරන් යන්න එපා කියලා නෑනේ.. අපි ඉතින් සිරි ලංකාවෙනේ… :)

Tuesday, 29 May 2012

මායිමේ ඉදන් ( කෙටි කතාව )

උතුරු අහසින් හමා එන සුළගේ ඒ තරම්ම සිසිළසක් නොතිබුනාට මේ නිල ඇදුමට අතරින් වෑහෙන දාඩිය බිදු වලින් මොහොතකට හරි ගතට සුවයක් දෙන්න මේ සුළගට පුළුවන්.. ඈතින් ඇහෙන වෙඩි හඩත් එක්ක හිත එක තැනකට කරන් හිතන්න බැරි උනත් තල් ගහකට හේත්තු වෙලා පුංචි කොල කෑල්ලක අකුරු ඇමිණුවේ ඇය මතක් උන හින්දම..

පිච්ච මල් සරසලා හිස
බොහොම සීරුවට බිම බලාගෙන
කෝවිල ලගින් නුඹ ඇවිද ගිය සඳ,
රහසින් මොහොතක්
කතාකල නෙතග
මහා ලොකු දෙයක්
කීවා වගෙයි සිතට…

“ මොනවද බං කුරුටු ගාන්නේ.. කෙල්ලට ලියුමක්ද?”

අකුරු අතරේ හිර වෙලා තිබුන හිත රුවන් ලගට එනවා නොදැක්ක නිසාමද කොහේද මොහොතකට කලබල උනේ..

“ මොකෝ බං මේ බය වෙලා.. මේ වගේ තැනක ඉදගෙනත් ඔහොම බය වෙනවනම් ඉතින්..”

“ නෑ බං මම මේ වෙන කල්පනාවක හිටියේ..”

“ කෝ කෝ දියන් බලන්න.. උඹ මොනවද කුරුටු ගෑවේ?”

ලියලා ඉවර කරන්න ඉඩක් නොලැබුන කවිය අතට ගත්ත ඔහු ඒක මොහොතින් කියවා නිමාකර මා දිහා බලාහිටියේ ලොකු ප්‍රශ්ණයකින් බව මම දන්නවා උනත් අපි මොහොතකට නිහඩ උනා..

“ කා ගැනද බං උඹ මේ ලිවුවේ?”

“ උඹට මතකද එදා අපි කෝවිල ලග ඩියුටි ඉද්දි ආපු කෙල්ල.. අර වයසක අම්මයි තාත්තයි එක්ක ආවේ..”

“ හ්ම්ම්.. මට ටිකක් මතකයි.. ඒත් ඉතින් උඹ වචනයක්වත් කතා නොකරපු කෙල්ලෙක් ගැන මෙහෙම කවි ලියන්නේ..”

“ ඒක උඹට තේරෙන්නේ නෑ බං..”

………………………..

ටිකින් ටික කාලය එකතු වලා  වෙඩි හඬත් එක්ක ගෙවුන දවස් බොහොමයි උනාට ඒ හැම මොහොතක සිත සොරා ගත්ත පිච්ච මල් සුවදක් නිතරම මතකයේ දග කරද්දි හිතේ ඇදුන සිතුවිලි අනන්තයි..

ඒත් ගෙවුන කාලෙට ඒ පිච්ච මල් සුවද ආයෙම විදගන්න ලැබුනේ නෑ.. කාලය හෙමින් ගෙවිලා යද්දි දවසක් ඈ අහම්බෙන් වගේ මුණගැහුනත් එදා තීරණාත්මක ගමනකට අපි දුර ඇදෙමෙනුයි හිටියේ..

“ මචං අර උඹ කියපු කෙල්ල නේද?”

“ හ්ම්ම්..”

ගුරු පාරේ දුහුවිළි නංවමින් වේගයෙන් ඇදුන ලොරිය ඈ අසලින් යද්දි ආයෙම වතාවක් මම දිහා බලද්දි ඒ ඇස් වල තේරුම් ගන්න බැරි කතාවක් ලියවිලා තිබුනා.. ඈත දුහුවිලි අතරෙම ඇය නොපෙනි යනකම් ඒ දිහාවම ගොඩක් වෙලා බලා ඉදලා ආයෙම මේ තීරණාත්මක ගමන ගැන හිතුවේ සමහර විට මේ ඇය දැක්ක අන්තිම වතාව වෙන්න පුළුවන් නිසා..

“ කොච්චර කල් උඹ ඔහොම දුක් වෙන්නද බං?”

එක් සැදෑවක මගේ මිතුරා මාත් එක්ක ඈ ගැන කතා කලේ මගේ සිත තේරුම් ගත්ත නිසාම වෙන්න ඕන..

“ මටත් තේරෙන්නේ නෑ රුවන්..”

“ උඹ කෙල්ල ගැන හෙවුවේ නැද්ද?”

“හ්ම්ම්ම්..”

“ ඉතින්..”

“ ඒ කෙල්ලගේ තාත්තා තමයි මෙහේ කෝවිලේ පූජකවරයා.. නම සරෝජනී..”

“ උඹ ඒ කෙල්ලට කැමතියිද?”

උත්තරය ලග ලගම තියෙන බව දැනුනා උනත් ඒ උත්තරේ මුවින් පිට කරලා කියන්න තරම් පුළුවන් කමක් මගේ හිතට තිබුනේ නෑ.. ඒ ඇයි කියලා නොතේරුණා උනත් ඒකට ගොඩක් හේතු තිබ්බ බව රහසක් නෙමෙයි..

“ අපි නිවාඩු වෙලාවක කෝවිල පැත්තේ කැරකිලා එමු..”

“ උඹට පිස්සුද බං.. මේ ඉස්කෝලේ යන කාලේ වගේ කියලද උඹ හිතන්නේ.. මෙහේ ඕවා කරන්න යන්න බෑ..”

“ හරි හරි මචං.. මට තේරෙනවා..”

ඉස්සර වගේ සරළ ජීවිතයක් උනානම් ආදරයක් කියන එක ඒ තරම්ම දෙයක් නොවුනත්, අවි දරාගත්ත දෑතකින් ඇගේම නොමග ගිය අයට එරෙහිව සටන් කරන ගමන් ඇගේ ආදරය ඉල්ලන්නේ කොහොමද කියන සිතුවිල්ල හිතට සැරින් සැරේ වද දෙන්න පටන් ගත්තා..

………………………..

සිතුවිළි අතරෙම කාලය හෙමෙන් ගෙවෙද්දී නොහිතපු මොහොතක ඈ මගේ ඉස්සරහට එද්දි ඒ මුවගේ දැක්ක ලෙංගතු හිනාවට මම තව තවත් ආදරේ කරන්න පටන් ගත්තා.. මහා ලොකු කතාවක් කියාගෙන වගේ මං දිහාම බලාගෙන ගිය ඒ නෙතු හිතේ තැනක රැදුනේ සංසාර පුරුද්දකට වගේ..

යාළුවාව තනි කරපු මමත් ඉබේම වගේ කෝවිලට ඈ පස්සෙන්ම ඇතුල් උනේ ඇයි කියන්න මටවත් තේරුණේ නෑ.. කෝවිලේ ඈට ටිකක් පසුපසින් ඈ එක්කම හෙමින් යද්දි කී දෙනෙකුගේ නෙත් මා වෙතට යොමු වෙන්න ඇත්ද කියලා කල්පනා උනේ ගොඩාක් පහු වෙලා..

කාදිහාවත් නොබලාම හෙමින් කෝවිලෙන් නික්මිලා එලියට ආවේ මගේ අතින් උනේ වැරැද්දක් කියලා දැනුන නිසා.. ඒත්, ඒ එක්කම ඈතින් කෝවිලේ අනිත් දොරෙන් නික්මුන ඇය කොවිල වටේ ඇවිදන් යද්දි ඈ පසුපසින් නොයා ඉන්න පුළුවන් කමක් මගේ හිතට තිබුනේ නෑ..

හෙමින් ඈ සොයා යද්දි ඈත තනිවී තල් අරණ දිහා බලාගෙන හිටපු ඈ දිහා මොහොතක් මම බලාගෙන හිටියේ ආයෙම ඈව දකින්න නොලැබේවි වගේ සිතුවිල්ලක ඉදන්.. කොයිතරම් වෙලා ඈ තල් අරන දිහාත්, මම ඈ දිහාත් බලා හිටියද කියන්න දන්නේ නෑ..

නොදැනීම මමත් ඈ ලගටම ගිහින්.. මම ලග ඉන්න බව දැනිලා වගේ ආපසු හැරුණ ඈ ඇස් ලොකු කර ගෙන මං දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්..

“ මම සාරංග..”

ඇය සිංහල කතාකරනවාදවත් නොදැන මම ඈත් එක්ක කතා කරන්න උත්සාහ කලේ ඇයි කියන්න මමවත් දන්නේ නෑ..  ඒත් ටිකක් වෙලා රැදුනේ ලොකු නිහැඩියාවක්..

“ සරෝජනි..”

ආපසු හැරෙන්න හදද්දිම වගේ ඇසුන ඒ හඬ කොතරම් ලස්සනද? ඈ ගැන මම දන්න්නවා උනත් නොදන්නවා වගේ ඈ දිහා ආයෙම මොහොතක් බලාගෙන හිටියේ ඒ සුන්දරත්වය මොහොතකට විද ගන්න..

நீ என்ன செய்கிறாய்? அது போக வேண்டிய நேரம்..”

හදිස්සියේම අපි අතරට ආපු ඇගේ පියා ඈව එක්කන් යද්දි කේන්තියෙන් මා වෙත හෙලපු බැල්ම කොහොමවත්ම අමතක කරන්න බෑ..  ඔවුන්ගේ භාශාවෙන් ඈට කී කිසිවක් තේරුම් ගන්නට පුළුවන් කමක් නොවුනත් අසරණව මොහොතකට මා දිහා බලපු ඒ නෙත් වල මොකක් හරි දෙයක් රැදිලා තිබුනා..

“ මොනාද බං උඹ කරන්නේ? එදා උඹ මට බැනලා දැන් කරන්නෙත් ඒ වගේ වැඩමනේ..”

“ අනේ මන්දා බං..”

………………………..

කාලය ආයෙම වෙනද වගේම හෙමින් ගෙවිලා ගියත් ඒ කාලය අතරේ වෙනදා නොතිබුන වේදනාවක් රැදිලා තිබුනා.. දවස් ගානක් යන තුරුම ඈව මොහොතකටවත් දැක ගන්න නොලැබුන නෙත් හෙමින් වේදනා විදින්න උනා..

මුරපොලේ රාජකාරි නගරෙයෙනුත් කෝවිලෙනුත් ගොඩක් ඈතට ගෙන ගිය දවස් කීපයක් උනා.. ඈත ගම්මානයේ තල් ගස් අතරින් හිරු නගින බසින හිරු දිහා බලා ඉද්දි මතක් උනේ ඈ උනත් නිල ඇදුමත් රාජකාරියත් ඈව හැම මොහොතකම මගෙන් ඈත් කරලා තිබ්බා..

“ සාරංග ඔය එන වාහන ටික නවත්තන්න..”

“ සර්, වෙඩින් එකක් වගේ..”

“ ඔව්.. ඒ උනාට ටිකක් චෙක් කරලා බලමු..”

අතර මැද තිබුන වාහනයක වීදුරු අතරින් ඇතුල හොදින් බැළුවේ යනෙන අය ගැන තොරතුරක් දැන ගන්න.. ඒත්,

හදිස්සියේම නොහිතු විදිහට මුණ ගැසුන ඒ දෑස් ගොඩක් දේවල් රහසේම කිවුවා.. වෙනදට වඩා පිච්ච මල් සුවදක් ඈ ලගින් ආවත් ඒ සුවද වෙනකෙක් තමන් සතු කරගෙන ආඩම්බරෙන් මම දිහා බලාගෙන හිටියා.. රැදුන නිහඬ බව ගොඩක් දේවල් හෙමිහිට කණට කොදුරා කිවුවා..

“ ඔය වාහනේ චෙක් කරලා ඉවරද?”

“ ඔව් සර්...”






නිමි..




Sunday, 27 May 2012

ඇගෙයි මගෙයි කවි කම 3

ඇගෙයි මගෙයි කවි කමේ කොටස් දෙකක්ම මේ වෙද්දි හැමෝම බැළුවනේ..  ගොඩක් දෙනෙක් තාමත් ඇය කවුද කියලා නොදන්න නිසා ඒ කතාව මෙතනින් ගිහින් බලන්න කියලා ඉල්ලනවා..

අද මේ ලියන්නේ අපි අතරේ ෆෝන් එකේ මැසේජ් උන කවි වගයයක්.. එදත් ඉතින් පුංචි තරහක් තමයි.. ඒත් ඒ තරහා ඇත්තටම නෙමෙයි කියලා මේක බලද්දි තේරේවි..


මම :      නැතිවද අද පායා සද කුමරිය
       මගේ හිත් අහස් ගැඹට
       පාළුයි වගේ මේ හිත
       නැතිව සඳ මගේ ලොව..

ඇය:     තරුකැට දිදුළයි හැමතැන
      එපමනයි උරුම අද ඔය අහසට
      සද නොඒවි පායලා හෙමිහිට
      ආඩම්බර අහස් කුසට..

මම :     තරුකැට එළිය දුන්නත් හැමතැන
            නෑනේ ලස්සන සඳවත තරම්ම
            නොහැගේ මට ඇයි සදවත ප්‍රමාද
            අමාවකත් නෙමෙයිනේ අද අහසට..

ඇය :    අමාවකයි අද අහසට
            සද නොඑන හින්දම
            ඉතින් බලාගෙන කළුවර අහස
            ඉන්න වේවි නිදි යහන පුරාවට..

මම :     කොහොම එන්නද නිදි දෙවුදූ ලගට
            සඳ කුමරි අමනාප බව දැනම
            ඇයි අද නපුරු මගේ සඳ කුමරිය
            කියන්නකෝ ඇයි කියලවත් මට..

ඇය :    හිරු නිවෙද්දි ලස්සන වෙරළක
            සඳ පිළිගන්න නොආ අහස කිම
            රැයේ ගණ අදුර අතර හෙමිහිට
            ඒ සඳම හොයන්නේ මෙලෙස..

මම  :    ක්ශිතිජයක තනි වෙලා ඈත
            ඉන්න හිතුනා මට නුඹ ලගම
            ඈත අහසට එකතු උන වැහි කළු
            අපි අපිට ඈත් කලේ මොහොතකට..

ඇය :    ප්‍රාර්ථනා පුරාගෙන
      සඳ අහස සිප ගන්න
      බලා හිටියේ සඳ
      මගේ අහස නුඹ නිසාම..


මම :     ඉදහිට ඒවි වළාවක් අහසට
            සඳේ ආදරය ගැන බලන්න
            නපුරු සඳ කුමරි දැක්කම
            හිනාවේවි වළාවත් අහසට..

ඇය :    නපුරු නෑ සඳ අහස එක්ක
            නෝක්කාඩුයි වළාවත් එක්ක
            සුන්දර මොහොතක හමාවිත්
            වෙන් කල නිසා අපි අපව

මම :     අහස දුකින් සඳ නැතුව
            පාළුයි වගේ හිතට
            ඉතින් එන්නකෝ පයාලා හෙමිහිට
            මගේ සඳ අහස් ගැඹට..

ඇය :    දන්නවද සඳේ ආදරේ තරම
            හිතුවක්කාර ඔය හිත් අහසට
            එන්නම් හිනැහිලා ඉක්මනටම
            සඳේ ආදරේ අඩු වෙලා නෑ තව..

මම :     අතු අතරින් හිනැහිලා සද කිරණ
            වැටුනා වාගෙයි මේ හිතට
            තනිවම මම මේ හුදෙකලා රෑක
            විදිමින් ඒ සඳ කිරණ..    


මම මතක අතරේ මතකන් එකතු කරද්දි මේ වගේ පොඩි පොඩි දේ උනත් ඔයාගේ කවි පොතට එකතු කරලා ජීවිතේ ඕනම දවසක ආයෙම කියවන්න පුළුවන් මතකයක් කලාට ඔයාට ගොඩක් ස්තූතියි.. හිතේ තිබුන ප්‍රශ්ණ එක්ක මට එහෙම දෙයක් හිතුනේ නැති එක පුදුමයක් නෙමෙයි..

මේ කවි පෙල අන්තිමේ ඇය අපූරු සටහනක් දාලා තිබුනා..

“ පාන්දර තුනත් වෙලා වෙලාව.. සද්දයක් නොනැගෙන දුරකතනයේ එලියක් දැල්විලා ඔයාගේ ආදරේ එනකම් බලාගෙන ඉන්න මේ දෑසට නින්දක් ඇත්තෙම නෑ.. ඔයාටත් එහෙමමයි.. මම හිතන්නේ..”