Monday, 30 April 2012

තාමත් ආදරෙයි මම

තමන් ආදරේ කරන කෙනා එනකම්  බලාගෙන ඉන්න එක එක් පැත්තකින් සුන්දර අත්දැකීමක්.. ගොඩක් පරක්කු වෙද්දි සමහර වෙලාවට කේන්ති යනවා තමයි.. ඒත් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න වෙලාවට හිතේ එකතු වෙන මතකයන් වගේම හැගීම් ඇත්තටම සොදුරුයි..

හැමදාම නුඹත් මමත් හමු වෙන මේ පුංචි උද්‍යානයේ කෙලවර බංකුවකට වෙලා ඔයා එනකම් හැමදාම මම බලාගෙන හිටියා.. සමහර වෙලාවට ලං වෙලා ඉන්න මොහොත ගොඩක් පුංච් කාලයක් උනත් ඒ මොහොත එනකම් කොච්චරනම් සිතුවිළි හිතේ තනියම ගොඩ නගනවද.. නොදැනිම මුවගට සිනහවක් ගේන තරමටම ඒ සිතුවිළි හරිම ආදරණියයි..

ඈත කෙලවර යකඩ ගේට්ටුව දිහාත් ඔරලෝසුව දිහත් විටින් විට බැළුවේ හිතේ පුංච් තරහවකුත් තියාගෙන.. ඒත් එක්කම වගේ ඈතින් හිනාවීගෙන ආපු ඔයා දැකලා බොරු තරහවක් ගන්න හිතාගෙන හිටියත් ඒ සිතුවිල්ල යටපත් වෙලා ගියේ ඔයාගේ ලස්සන නිසා..

රෝස පාට  මල් වැටුන ඇදුමට ඔයා වෙනදටත් වැඩිය ලස්සනට පෙනෙද්දි බොරුවට හරි හිතේ කේන්තියක් මම කොහොම මවා ගන්නද.. ඈත තියාම මං දිහා බලාගෙන හිනාවීගෙන එන ඔයා දිහා ආදරෙන් බලාගෙන එද්දි ලෝකෙම එකම එක තැනක නතර වෙලා වගේ දැනුනා..

“ මොනවද ඔච්චර ඕනකම්න් බලාගෙන ඉන්නේ?”

“ ලස්සන..”

“ ඇයි මීට කලින් දැක්කේ නැද්ද?”

“ දැක්කා.. ඒත් අද ඒ පරණ මතකය අළුත් උනා..”

“ පරණ මතකය?”

“ හ්ම්ම්.. එහෙනම් අහගන්නකෝ..”

අහම්බෙන් වගේ දවසක
අප නෙත් එකිනෙක ගැටුන
සුන්දර දවස තව
අමතක නෑ මට සොදුර..

රෝස පාට නුඹේ ඔසරිය
බෝරිච්චි අත් හැට්ටය
එක් කරලකට ගෙතුන කොණ්ඩය
කොහොම අමතක කරන්නද මම..

නුඹ නතරව මගේ ලග
හිතට ලං කල සුවද
රෝස මල් සුවදක්ම මිස
අන් කිසිවක් නොවේ සොදුර..

හොරැහින් බලා මා නෙත
නුඹ පෑව මදහස
ලස්සනම ආදර කතාවක
ඇරඹුමක් තැබූ අපූරුව..

තාමත් ආදරෙයි මම
ගෙවුන පුංචි මොහොතට
ලොකු ආදර කතාවක් හිත ලග
ලියා තියා ගිය හින්දම..

මගේ උරහිසට හිස තියාගෙන කතාව ඉවර වෙනකම්ම අහගෙන හිටපු ඈ දිහා මම ආයෙම බලද්දි ඒ දෙනෙත් වලින් දිඳුළමින් තිබුන කඳූළු වැටෙන්න කලින් මම පිහ දැම්මේ ඒ කඳුළු ඔයාගේ ලස්සන හංග ගන්න නිසා..

“ දවසක මේ හැමදෙයක්ම මට හීනයක් වේවි පූජා.. ඒත් එදාට මේ මතක නිසා ඔයා ඒ හීනය ලස්සන කරාවි.. ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන විදිහට..”

තව තවත් ඇයව තුරුළු කර ගත්තේ ඒ පහසට මම ආදරේ කල නිසා.. ඒ ආදරේට මම ආදරේ කල නිසා..



 .........................................................................................................


පූජත් මමත් හමු උන ඒ සිදුවීම් පෙලත් උඩින් ලිය උන සිදුවීම් පෙලත් ආයෙම මතක අතරට ආවේ ප්‍රාර්ථනා නංගිගේ තුහින වර්ෂා කතාවේ එක් කොටසක් කියවද්දි..

මේ ජීවිතේ පුදුමයි.. ඒ වගේම මේ ආදරෙත් පුදුමයි.. කාලය ගොඩක් ගෙවුනා.. ඒත් ඇත්තටම මම තාමත් ඔයාට ආදරෙයි පූජා..



Sunday, 29 April 2012

මඤ්ඤොක්කා මෙහෙයුම - ඉස්කෝලේ කතා 6

අපේ ඉස්කෝලේ කතන්දර සීරීස් එක මතක ඇතිනේ.. ගොඩක් දවසකින් ලියන්න බැරි උනා.. අමතක උනාම නෙමෙයි.. ඕන කම්නින්මයි ලිවුවේ නැත්තේ.. දැන් ඇයි කියලා හිතනවා ඇති.. කවියක් කතාවක් නම් ඕන වෙලාවක ලියලා හැමෝම එක්ක බෙදාගන්න පුළුවන්.. ඒ උනාට මේ අතීත මතක එහෙම එක දිගට ලියලා ඉක්මනට ඉවර කර ගන්නේ මොකටද කියලා හිතුනා.. ඔන්න මාස 4ක්ට පස්සේ ආයෙම ඉස්කෝලේ කතාවලක් ලියන්න යන්නේ..

අපේ පෙම් හසුන, අපේ පළවෙනි රණ්ඬුව, OIC, හොද වැඩත් කලා අපි සහ කට උලාගේ ආදර අන්දරය තමයි කලින් ඉස්කෝලේ කතා වලින් ලිය උනේ.. කට උලා ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. අපිට හොද බාල්දි පෙරලුනානම් ඒ කට උලා නිසා..

ඉස්කෝලේ නිවාඩු කාලෙට උනත් අපි කට්ටිය සෙල්ලම් කරන්න සෙට් වෙන්නේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකටම තමයි.. ගමේ කට්ටිය එක්ක සෙට් වෙනවනම් ඉතින් සෙල්ලම් කරන්නේ MCG එකේ.. නෑ නෑ ඔස්ට්‍රේලියාවේ තියෙන එක නෙමෙයි.. මාකුඹුර ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ..

ඉතින් එක වතාවක් අපි ඉස්කෝලේ සෙට් එකත් එක්ක සෙට් උනා මැච් එකක් ගහන්න.. අවුරුද්ද නම් හරියට මතක නෑ.. අපි ඔහොම සෙට් වෙන කොට අපේ A,B,C පන්ති තුනම වගේ සෙට් වෙනවා.. පන්ති තුන එක්ක තමයි ඉතින් තරගේ තියෙන්නේ..  ඔය අපේ ග්‍රවුන්ඩ් එකට එහා පැත්තේ තියෙන්නේ මඤ්ඤොක්කා වත්තක්.. අක්කරයක විතර.. ඉතින් දැවැන්ත 6 යේ පාරක් ගැහුවම බෝලේ යන්නේ ඒ පැත්තටම තමයි..

ඉතින් අපේ ප්‍රධාන නළුවා කට උලා ඔය ලග ෆීල්ඩ් කර කර ඉන්න කොට බෝලේ වැටුනේ ඔය වත්තට.. පුංචි කන්දක් වගේ එකක් තියෙනවා අපේ ග්‍රවුන්ඩ් එකේ ඉදන් ඒ පැත්තට යන්න.. ඉතින් පොරත් වැටි වැටි කන්ද බඩ ගලා වත්තට ගියාට හෙන වෙලාවක් යනකම් ආවේ නෑ.. ෆීල්ඩ් කරන උන් එකා දෙන්නා අමාරුවෙන් කදු තරණය කරලා යනවා බෝලේ සහ උලාව හොයන්න.. ඒත් එකෙක්වත් එන්නේ නෑ..

ටික වෙලාවකින් හතර දෙනෙක් ජයග්‍රාහීව එනවා.. බෝලේ කෙසේ වෙතත් හොද මඤොක්කා අල ටිකක් ගලවගෙන.. නැග්ගට වඩා ඉක්මනට කන්ද බැස්සට මොකද කට්ටියට අපි ඉන්න හරියට එන්න ලැබුනේ නෑ.. ත්‍රීවීල් දෙකක් ඇවිත් නතර කලා.. වෙන කවුරුවත් නෙමෙයි මඤ්ඤොක්කා වත්තේ අයිති කාරයෝ.. කියන්න දෙයක් නෑ නොම්බර එකේ චණ්ඩි.. හැබැයි ඉතින් අපේ ආදි ශිෂ්‍යයෝම තමයි..

“ කවුද &%//&% හොරෙන් මඤ්ඤොක්කා ගැලෙවුවේ?”

අරුන් හතර දෙනාව වට කරගෙන ආපු එවුන් අහනවා..

“ තොපි මොකද පැත්තට වෙලා.. වර මෙහාට..”

පැත්තක හිටපු අපිටත් ආදරෙන් ආරාධනා කරා.. ත්‍රීවිල් එකේ අපි වාඩි වෙලා යන තැනට ඉස්සරහා තියෙන කූරු තුනෙන් යටම පේලියේ මහතට දාලා තියෙන රබර් පටිය කට්ටියට මතක් වෙයි කියලා හිතනවා.. පොරක් ඒක ඇදලා ගත්තේ නිකන් කඩුවක් ඇදලා ගන්නවා වගේ.. අදත් කෑම ශුවර් බවනම් කට්ටියටම තේරුනා.. කොහොමද අරකෙන් එකක් කෑවම..

“ කියපිය තොපි මොකද වත්තට රිංගුවේ?”

“ බෝලේ ගියා අයියේ..” 

“  මේ වත්තට බෝලේ යන්න ගහන්න උඹලගේ ඇගේ හයිය තියෙනවද? ඇත්ත කියපං..”

“ නෑ ඇත්ත අයියේ මෙයා ගැහුවේ..”

අනිත් පන්තියේ හිටපු ක්‍රිස් ගේල් වගේ පොරක් පෙන්නලා එකෙක් කිවුවා..

“ දැන් කෝ බෝලේ එතකොට?”

“ හම්බුනේ නෑ..”

“ ආ %&/)%$  බෝලේ වෙනුවටද උඹලා මඤ්ඤොක්කා ගැලෙවුවේ?”

“ එකයි අයියේ ගැලෙවුවේ..”

එච්චර වෙලා කතා නැතුව හිටිය කට උලා කිවුවා.. උගේ අතේම අල තුනක් විතර තිබ්බා..  උලා ලගට ගිය එක අයියා කෙනෙක් උගේ කමුල සියුමැලිද කියලා අත ගලා බැළුවා.. ඌනම් කෑවේ උගේ කට නිසා.. අතේ අහුවෙන බොරු කියද්දි කාටද තද වෙන්නේ නැත්තේ..



“ ඔන්න ඔහේ යන්න දියන් බං.. අපේ ඉස්කෝලෙම එවුන්නේ..”

හම්මේ එක අයියා කෙනෙක් එහෙම කියද්දි තමයි අපේ ඇගේ ලේ තියෙන බව මතක් උනේ..

“ එහෙම කියලා බෑ.. මුං ආයෙම ඔය වැඩේ කරනවා..”

“  උඹලා ගාව සල්ලි තියෙනවද?”

“ නෑ අයියේ..”

තිබ්බත් ඉතින් ඒ වෙලාවේ තියෙනවයි කියන එකක්යැ..

“ එහෙනම් උඹලගේ බැට්, බෝල විකට් ඔක්කොම ඔට්ටුවට තියලා මැච් එකක් ගහන්න වරෙන්.. උඹලා පැරදුනොත් මේවත් එක්ක හෙර රු.200ක් එකතු කරලා ගෙනත් දියන්..”

“ හා අයියේ..”

ගුටි කනවට වැඩිය ඒක කොච්චර දෙයක්ද.. ආදි ශිෂ්‍යයන්ගේ දඩාර සෙට් එකක් එක්ක අපිත් බැස්සා මැච් එකට.. මැච් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අපි ගොඩක් වෙලා ෆීල්ඩ් කරන්න එහේ මෙහේ දිවුව බව නම් මතකයි.. අම්පයරුත්  එයාලමනේ.. ඉතින් වෙන මොනා වෙන්නද??



තව දෙයක් තමයි ඉස්කෝලේ ඇතුලෙදි අපි ඔය ආදි ශිෂ්‍යයෙක්ගේ සහෝදරයෙක්ට ගැහුවත් උන් නෙමෙයි ඇහැක් ඇරලා බලන්නේ.. ඒවට කවදාවත් අත දන්නේ නෑ.. හැබැයි පිටින් ප්‍රශ්ණයක් ආවමනම් ඉතින් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.. පොලිසියෙන් ඇවිත් කුදලං යනකම්ම ගහ ගන්නවා.. අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි.. අන්න ඒ අතනිනම් අපේ ආදි ශිෂ්‍යයෝ සුපිරියි..




Wednesday, 25 April 2012

මේ දැන් අල්ලපු මාළු

අපේ ලොක්කාට ඔය ෆාමසිය එතකොට වයින් ෆැක්‍ටරියට අමතරව තියෙනවා හොද බෝට්ටුවක්..  මිනිහා සමර් එක එනකන් තමයි ඇගිලි ගැන ගැන ඉන්නේ.. මොකද ඔය බෝට්ටුවේ නැගලා මූදු යන්න.. බෝට්ටුවක් කිවුවට ඉතින් ඒකත් ලේසි පහසු එකක්ම නෙමෙයි.. වාරයේ පැත්තක ඕන නවත්තලා තියන්නයි අනිත් නඩත්තු වලටයි අවුරුද්දට බර ගානක් වියදම් කරනවා.. සල්ලි තියෙනවනම් ඉතින් මොනා කරන්න බැරිද?

මමත් ඕකේ දෙතුන් වතාවක් විතර රවුම් ගලා තියෙනවා.. ගිය සමර් එකේනම් මම ලංකාවට ආපු නිසා ඒ චාන්ස් එක නැති උනා.. අපේ ලොක්කා යාළුවෝ එක්ක සෙට් වෙලා ගොඩක් වෙලාවට කරන්නේ ඔය බෝට්ටුවෙන් ගිහින් මාළු අල්ලන එක තමයි.. අප්‍රේල් ඉදන් ඔක්තෝබර් මාසේ වෙනකන් වගේ තමයි ඉතින් මාළු අල්ලනවනම් හොදම කාලේ.. ඊට පස්සේ ඉතින් හීතල ආවම මාළු අල්ලනව තියා කඩෙන් සල්ලි දීලාවත් ගන්න හිතෙන්නේ නෑ ගනන් ඇහුවම..

එකම එක වතාවක් මාත් ගියා ලොක්කා එක්ක මාළු අල්ලන්න.. හැබැයි ඊට පස්සේ මට කවදාවත්ම කතා කලේ නෑ.. මොකද මම ඉන්නකොට මාළු අහුවීමේ (අ)වාසනාව වැඩි නිසා.. ඒනිසා නිකන් ට්‍රිප් එකක් එක්කන් ගියත් වැරදිලාවත් මාළු අල්ලන්නනම් මෑන්ස් මාව එක්කන් යන්නේ නෑ..

දැන් ඉතින් රස්නේ කාලේ ඇවිත්නේ තියෙන්නේ.. ෆාමසියේ වැඩ කොහොම උනත් මිනිහා මුහුදේ.. අන්න නියම පාලකයෝ.. මෙතන මොනා වෙනවද කියලා බලන්නේ නෑ.. එන්නේ හවස් වෙලා..  ඉතින් මේ කියන්න යන කතාව උනේ මීට දවස් කීපයකට කලින්..

දවස සිකුරාදා.. අපි ඉතින් අපේ සුපුරුදු රාජකාරියේ හිටියා.. නෑ නෑ වැඩ නෙමෙයි.. කතාබහ..  එදත් ලොක්කා හිටියේ නෑ.. මුහුදු ගිහින්.. ඉතින් අපි කතාවක් දාගෙන ඉද්දි ලොක්කගේ වාහනේ එනවා දැකලා අපි අපේ වැඩ ස්ථාන වලට හෙමීට මාරු වෙලා ගියා..

ලොක්කා වාහනේ ෆාමසිය පිටිපස්සේ තියෙන දොඩම් ගහ යට නවත්තලා එලියට ආවෙම ලොකු හිනාවක් දාගෙන.. මොකක් නමුත් ලොකු දෙයක් කියලා ඉතින් ඒ හිනාවෙන්ම කියන්න පුළුවන්.. හරියට නිකන් නැවියෙක්ට දිය කිදුරියක් හම්බුනා වගේ සතුටක්..  මාත් ඉතින් ජනේලෙන් යන්තමට වගේ බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා..

වාහනේ ඩිකිය ඇරලා ලොක්කා එලියට ගන්න කොට මම දැක්කේ ලොකු වරලක්... මමත් පොඩ්ඩක් හිටපු තැනින් ඉස්සරහට ඇවිත් බැළුවා ඇත්තටම වැරදිලාවත් දියකිදුරියක්වත් අල්ලලද කියලා.. නෑ.. තඩි මාළුවෙක්..


පෙනුමෙන් කිලෝ 50කට වැඩි ලොක්කගේ ඉන ගාවට විතර උස මාළුවෙක්.. මු මාළුවෙක්ද මාළු රජෙක්ද කියලා එක පාර හිතුනත් ඉන්ටර්නෙට් එකේ ඔයිට වඩා ලොකු එවුන් දැකලා තියෙනවා නේද කියලා මතක් උන නිසා මූ ඒ තරම්ම ලොකු නෑ කියලා මට හිතුනා..

මම කියලා තියෙනවනේ ෆාමසියේ උඩ කෑල්ලේ ගෙදරයි ලොක්කා ඉන්නේ කියලා.. ඉතින් ලොක්කා මාළුවා උඩහට අරන් යන එක පැත්තක තියලා එක එකාට කතා කර කර මාළුවාව පෙන්නනවා.. අපේ අනිත් උනුත් ඇස් නළලේ තියන් මාළුවා දිහා බලන්නේ.. හොද වෙලාවට මාළුවෙක් උනේ.. නැත්නම් අතගාලා ඉඹලත් බලනවා..

අන්තිමට මහජන ප්‍රදර්ශණේ මගේ වාරය තිබුනේ.. ජනේලෙට තට්ටුවක් දාල අතින් මටත් වරෙන් කියලා කිවුවා.. මත් ඉත්න් ගියා..

“ දිනේශ් මේ බලපන්.. කොහොමද සයිස් එක?”

“ නියමයි දොත්තෝරේ.. ඒත් මූව උඹ නෙමෙයි නේ ඇල්ලුවේ..”

ලොක්කගේ මූණ දෙක උනා.. හොද වෙලාවට හිටියේ මම විතරයි.. පොර ටිකක් වට පිට බලලා මගේ ලගට ආවා..

“ උඹ කාටවත් කියන්න එපා.. මම මූව පොළෙන් ගත්තේ..”

“ මම දන්නවා..”

“ මම මේක තියලා එන්නම්..”

ලොක්කා හෙමීට මාරු වෙලා ගියා.. ලොක්කා අනිත් උන්ට කියලා තියෙන්නේ මේ මාළුව ඇල්ලුවේ ඌමයි කියලා.. ලොක්කගේ මාළු ඇල්ලිල්ල මම නොදන්නවයි.. කවදාවත් ලොක්කට එක ජාතියේ මාළුවෝ දෙන්නෙක් අල්ලන්න බෑ.. සමහරදාට මාළු ටැංකියකට දාන්න වගේ අල්ලන් එන්නේ එක එක ජාතියේ මාළු.. ඒකත් පොඩි එවුන්..

අනික අර සයිස් මාළුවෙක් අහුවෙන්නේ දැලකට තමයි.. ලොක්කා ගව තියෙන්නේ බිලී පිත්තක්.. ඒකෙන් අර වගේ ලොකු මාළුවෙක් අල්ලන්න කොහෙත්ම බෑ..

ලොක්කා මාළුවා ගෙදරින් තියලා ඇවිත් මම කොහොමද ඒ ගැන දැන ගත්තේ කියලා අහද්දි ඔන්න ඔහොම තමයි මම විස්තර කලේ..

“ උඹටත් මාළු ඕනද දිනේශ්?”

“ එපා දොත්තොරේ.. මම වෙජිටේරියන්..”


විශේෂයි :-  මේ ඔක්කොම අස්සේ මෙන්න අපේ ලොක්කා ලගදි එන චන්දෙටත් ඉල්ලනවලු..  අනේ මන්දා මූට පිස්සුද කියලා.. කෙල්ලො එක්ක නටන්න රටවල් ගානේ යනවට ඇරෙන්න වෙන වැඩක් නෑ.. හැබැයි ඉතින් බැරි වෙලාවත් ලොක්කා චන්දෙන් දිනලා අපේ පැත්තේ පුරපති උනොත් මගේ ඩොකියුමට්ස් වැඩ වලට පොලීසි වල වෙන රස්තියාදුව අඩු කර ගන්න පුළුවන් වේවි.. ඒ නිසා අපේ ලොක්කට ජය වේවා!!


අති විශේෂයි :- දැන් අර මාළුවට ලොක්කා මොකද කලේ කියලා අහන්න එපා.. ඇත්තටම මම දන්නෙත් නෑ.. අනිත් එවුන් ටිකක් අරන් ගිය බව පහුවදා දැන ගත්තා.. උන් දන්නේ නෑනේ සල්ලි දීලා ගත්ත බව.. :)



Monday, 23 April 2012

අවුරුදු දා ( කෙටි කතාව )


වැට මායිමෙන්  එහා කොස් ගහක අත්තක වහලා ඉන්න කොහා අවුරුදු ඇවිත් කියලා මුළු ගමටම ඇහෙන්න කෑ මොර දෙද්දී ගැන කිසි ගානක්වත් නැතිව බූරූ ඇදේ වැතිරිලා ඉන්න තමන්ගේ මනුස්සයා දිහා සුමනා බැළුවේ කළකිරුණ බැල්මකින්..

මේ ඇහුනද අවුරුද්දටත් තව දවස් දෙකයි තියෙන්නේ.. පොඩි එකාට කිරිබතක් උයලා දෙන්නවත් ගෙදර හාල් ටිකක් නෑ.. ඔහොම බුදියගෙන ඉන්නේ නැතුව ගිහින් හාල් ටිකක් අරන් එනවකො..”


කොහේ තියෙන සල්ලියක්ද බං හාල් ගේන්න..”

මේ දවස් වල වලවුවෙත් වැඩ ඇති.. ගිහින් උදවු උනොත් මිනිස්සු හිස් අතින් එවන එකක් නෑ..”

අනේ මට බෑ බං.. අනුන්ට කඹුරන්න යන්නේ..”

අර අහිංසක කොල්ල ගැනවත් හිතලා ගිහින් එනවකො.. අපි නැත්නම් කවුද ඒකට කන්න දෙන්නවත් ඉන්නේ..”

කේන්තියෙන් වචන පිටකරමින් බූරු ඇදින් නැගිටුනු ගාමිණි හැද සිටි සරම පිටින්ම වත්තේ කඩුල්ල පැන පාර දිගේ ඇවිදන් යන අයුරු සුමනා බලා සිටියේ වේදනාවෙනි.. රස්සාවක් ගැන කිසිම උවමනාවක් නොතිබුන ගාමිණි තමන් අමාරුවෙන් හම්බකරන සොච්චම පවා සමහරක් දාට බලෙන්ම අරගෙන ගියේ බූරුවා ගහන්නටය.. දිනුමක් නැතත් හැමදාම පැරදුම උරුම උන ඔහු සියල්ලම නැති නාස්ති කරද්දි රණ්ඬු වෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් ඈට නොවීය..

අම්මේ.. අම්මේ..”

කටු මැටි ගැසූ බිත්තියට හිස තියාගෙන කල්පනා කරමින් උන් ඇය කඩුල්ල මතින් වේගයෙන් පනිමින් දුව තම පුතුගේ හඬින් කල්පනාවෙන් මිදුනාය..

මොකද පුතේ උනේ? ඔහොම කලබලෙන් දුවන්න ගිහින් තුවාල කර ගන්න එපා..”

මොකක්ද අම්මේ අවුරුද්ද කියන්නේ?”

වේගයෙන් දුව පුතු හතිදමමින් ඇගෙන් ඇසූ දෙයින් ඇගේ සිත ඇවිළි ගියේය.. ගෙවුන අවුරුදු නමය පුරාවට අවුරුද්දක් කියා කිසිම දෙයක් ගැන නොදැන සිටි පොඩි එකාට තවත් බොරු කියන්න නොහැකි බව ඈට තේරුම් ගියාය..

අවුරුදු.. කවුද පුතාට ගැන කිවුවේ?”

ජගත්.. ජගත්ලගේ දිහා අවුරුද්දට කියලා එක එක ජාතියේ කෑම හදනවා.. මම ඇහුවම එයැයි තමයි කිවුවේ අවුරුදු කියලා.. අපි මොනවද හදන්නේ අම්මේ?”

මම පුතාටත් මොනවා හරි හදලා දෙන්නම්කෝ.. කෝ දැන් ගිහින් හොද පුතා වගේ ඇග හොදන් එන්න.. බලන්න මේ දාඩිය..”

පොඩි එකා ඈතට යනතුරා බලා උන් රහසේම දෙනෙතේ රැදුන කඳූළු පිට කලේ ඇගේ අසරණකම නිසාය.. අවපැහැ ගැන්වුන ඇගේ චීත්තයෙන් දෑස පිසදැමු ඇය ගාමිණි එනතුරා බලා සිටියේ හිතේ දෙගිඩියාවෙනි..

..................................

රබාන රත් වෙන නැකත් වෙලාවට.... නලාව පිඹපන් කොහෝ කොහෝ..”

ඈත තියාම තාලක් නැතිව ගැයෙන ගී හඩ සවනත වැටුන සුමනා අවුරුද්ද ගැන තබා තිබූ බලාපොරොත්තු සියල්ලක්ම අමතක කර දැම්මේ ගාමිණිගේ පුරුදු ගැන හොදින්ම දැන සිටි නිසාය.. ගේ පිළිකන්නේ දැළි වළන් සෝදමින් උන් ඇද සිටි චීත්තයේම තෙත් වූ දෑත් පිසදමමින් ගෙමිදුලට එද්දි ගාමිණි ගෙයි කඬුල්ල පැනීමට නොහැකිව නැවතී බලා සිටියේය..

අනේ ඇත්තට තමුසේ වගේ මිනිහෙක්.. යන්න කියද්දි මොනවද කිවුවේ මෙතන.. අන්තිමේ හම්බුන පිච්චියෙනුත් බීගෙන ආවා ගෙදර..”

කෑ ගහන්න එපා බං.. අවුරුදු හෙටනේ.. මම හෙට නැකත වෙන්න කලින් ගෙදරට බඩු ගෙනත් දාන්නම්..”

අද බැරි උන මිනිහා හෙට කොහෙන් අරං එන්නද? මට දුක අර පොඩි එකා ගැන..”

උඹ බය නොවී ඉදපංකෝ.. මේ මට මේ කඩුල්ල පන්නලා දියං..”

තමුසෙට ඕනනම් පන්නගෙන එනවා..”


කේන්තිය නිසාම කෑගැසුවත් හිතේ තැනක රැදි වේදනාව නිසාම ඇගේ දෑසට එක් උන කදුළු පිළිකන්නට යත්ම පිසදා ගත්තේ මේ කිසිම දේක තේරුමක් නැති පොඩි පුතා එන තුරා වළං මැස්ස ලග බලා සිටි නිසාය..

ඔය දැන් නාගෙන ඇවිත් ආයෙම දැළි ගා ගන්නද හදන්නේ?”

තරවටු නොකලත් ඇගේ එක හඩින්ම දරුවා වළං මැස්ස ලගින් ඈත් උනේ කුමක් හෝ හිතේ සගවාගෙන බැවු ඈට තේරුම් යන්නට වැඩි වේලාවක් ගත නොවීය..

ඇයි මගේ පුතේ?”

අවුරුද්දට අපි මුකුත් හදන්නේ නැද්ද අම්මේ?”

කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව මොහොතකට අසරණ වූවාය.. දැළි කුණු වලින් ආයෙම පිරුන දෑත් පිහදා ගනිමින් තම දරුවා ලගට ඔහුගේ හිස අත ගාමින් තමන් වෙත තුරුළු කර ගත්තාය..

තව ටිකක් හවස් වෙන්න ඇරලා අපි තාත්තට කියලා පොල් ටිකක් කඩා ගමු.. ඊට පස්සේ මම පුතාට මොනවා හරි හදලා දෙන්නම්..”

හා..”

අනෙක් කැවිළි මොනවත්ම නැතත් හාල් මුට්ටියේ ඉතුරු උන හාල් ටිකෙන් හෙට පොඩි එකාට කිරිබතක් වත් හදනවායි සිතා ගත් ඇය දරුවාව සැනසුවේ කාලෙකට කලියෙන් ගත් තීරණයක වැරැද්ද ගැන සිතමින්ය..

...................................

බිං කළුවර හෙමින්  වැටීගෙන එද්දී නොනගතයට කුස්සියේ දර ලිපේ පරණ අළු අයින් කරමින් උන් ඈට ඇසුනේ මහා කාලගෝට්ටියකි.. අළු පිරවූ මුට්ටිය පසෙකින් තැබූ වැට මායිමෙන් වලවුව දෙසට නෙත් යොමා බැළුවේ එන්න එන්න වැඩි වන සද්දය නිසාමය..

දෙයියනේ මගේ කොල්ලා..”

කුමාරිහාමිගේ පිරුණ දෑතට නතු උන පොඩි එකාට හැමෝම වටවී බනින අයුරු බලා සිටිය නොහැකි වූ තැන වැටේ කම්බී අතරින්ම රිංගා නොනවත්වාම හඬන තම පුතු වෙතට දිව ගියාය..

.. ඔය එන්නේ මහ ගෑණිත්..”

අනේ මගේ පුතේ.. ඇයි මැණිකේ මගේ කොල්ලට ගහන්නේ?”

ගහන්න.. ගහන්න නෙමෙයි මුංව පොලීසියට අල්ලලා දෙන්න වටින්නේ..”

ඇයි මැණිකේ එහෙම කියන්නේ?”

මූ ඇවිත් දර මඬුවේ තිබ්බ පොල් ගොඩෙන් පොල් හොරකන් කරනවා.. උඹලා උගන්නලා නැත්නම් කොහොමද පොඩි උනත් මුං එහම කරන්නේ..”

මම මේ කිසිම දෙයක් දන්නේ නෑ මැණිකේ.. මම මැණිකෙට වැදලා ඉල්ලන්නේ මේ කොල්ලට යන්න දෙන්න..”

කුමාරිහාමි ලග දණින් වැටුනේ වෙන කරන්නට දෙයක් නොවූ නිසාමය.. ඔවුන් ඉදිරියේ සමාව අයැදිනවා හැරෙන්නට තම දරුවා වෙනුවෙන් වෙන කල හැක්කක් ඈට නොවීය..

දණින් වැටී බැගෑපත් වන සුමනා දෙස හැමෝම නෙත් යොමද්දී කුමාරිහාමිගේ දෑතින් මිදුන දරුවා පොල් ගස් අතරින් වේගයෙන් දුවන්නට පටන් ගත්තේය..

ඒයි ඔහොම හිටපන්.. කොහේද දුවන්නේ?”

අනේ පුතේ නවතින්න..”

තව තවත් අසරණ උන ඇය හඬමින් තම පුතා පසුපස දිව යන්නට වූවාය.. තමන් යන මානයක් නොදැන ඔහේ දිව යන දරුවා පසුපස වලවුවේ කවුරුවත් දුව නාවද සුමනා දරුවා පසුපසම දුවන්නට වූයේ පොඩි එකාගේ හිත කලබල වී ඇති බව හොදින්ම දන්නා නිසාය..

පුතේ බලාගෙන..”

වචන ගලපන්නටත් කලියෙන් වත්තේ කෙළවර මායිමක තිබුන බෑවූමක දරුවා පෙරලී ගියේ ඈටත් සිතා ගන්නට කාලයක් ඉතිරි නොකරමය.. දරුවෙකුට තබා මහ මිනිහෙකුටවත් හරිහැටි බහින්නට නොහැකි වු බෑවුමේ පහලට අමාරුවෙන් සුමනා බසින විටත් හිසින් හා අත් පා වලින් ලේ ගලමින් සිහසුන්ව උන් ඇගේ පුතා දැක මහා හයියෙන් හඬන්නට පටන් ගත්තාය..

අනේ කවුරු හරි උදවු කරන්න..”

................................

දැන් නම් බය වෙන්න දෙයක් නෑ.. දරුවට සිහිය ආවා.. ඒත්,”

ගමේ පුංචි රෝහලෙන් මහ රෝහලට එවූ තම පුතාගේ තනියට දින ගනනක් නිදි වරමින්  උන් හට සතියකට පමණ පසු ඇසුන වචන මහා සැනසිල්ලක් විය..

ඇයි දොස්තර මහත්තයෝ ඒත් කිවුවේ?”

දරුවගේ දණිස් වලට ලොකු තුවාල වෙලා නිසා කාලයක් යනකම් ඇවිදින්න බැරි වේවි.. ඒත් බය වෙන්න එපා දරුවගේ ජීවිතේට අනතුරක් නෑ.. ටික කාලයක් යද්දී දරුවා වෙනදා වගේම හොදට දුවලා පැනලා ඉදීවී..”

අනේ මහත්තයෝ..”

බය වෙන්න එපා..”

මේ කිසිම දේක මතකයක් නැතිව ඇදේ වැතිරී මේ අත බලමින් උන තම පුතා ලගට ලං උනේ කඳුළු පිරි දෑසින්ය..

ඇයි පුතේ පුතා එහෙම දෙයක් කලේ?”

අම්මා කිවුවනේ තාත්තා හවසට පොල් කඩලා දුන්නම අවුරුද්දට මොනවා හරි හදලා දෙනවා කියලා.. ඒත් තාත්තා කළුවර වැටෙනකම්ම නිදා ගෙන හිටපු නිසා මම ගියේ පොල් ගෙඩියක් අරන් එන්න.. තාත්තා පොල් කඩන්නේ නැති නිසා අම්මා මුකුත් හදන එකක් නෑ කියලා හිතලා..”

පුංචි දෑසේ කඳූළු පුරවගෙන දරුවා එහෙම කියන තුරා බලා සිටි මහා හයියෙන් හඬන්නට පටන් ගත්තාය.. තමන් හැමදාම ගෙවන දුප්පත් අසරණ ජීවිත ගැන තමන්ටම වෛර කර ගත්තාය.. තමන්ගේ පවුලටත් වඩා බෝතලයට ආදරේ කල ගාමිණි ගැන ඇයගේ හිතේ ඇති උනේ පිළිකුළක්මය..

තමුසෙ නිසා තමයි කොල්ලට මේ දේ උනේ..”

..................................

කාටත් නොදැනීම කාලය ගෙවිගොස් තිබුනේය.. ඈතින් කොහා කෑ ගහන හඬ තවත් අවුරුද්දක් බවට පෙර ළකුණු කියමින් තිබුනේය..

මේ ඔය කෑම මේසේ ඔක්කොම හරි නේද?”

ඔව්.. මම අඩුපාඩු බලන්නම්.. ඔයා ගිහින් පුතා එක්කගෙන එන්න..”

වෙනදා හැමදාම ඇදි චිත්තය වෙනුවට ලස්සන සාරියක් හැද ගත් ඇය කඩිමුඩියේ ඉස්පිරිතාලයට දිව ගියේ ආයෙම වෙනදා මෙන් පොළවේ පය ගසා ඇවිදින තම පුතා ගෙදර එක්කාගෙන ඒමටය..

අපි යමු නේද පුතේ..”

අළුත්ම ඇදුමක් අන්දවාගෙන පාර දිගේ දුවන්නට පොරකන පොඩි පුතු හා නිවසට ආවේ හිතේ කවදාවත් නොවූ තරමේ සංතෝශයෙනි.. වෙනදාට වඩා එළිය උන නිවසේ පුංචි මේසයක තබා තිබුන කෑම ජාතී දිහා දරුවා බලා සිටියේ වෙනදාට වඩා සතුටිනි..

පුතේ මේකට තමයි අවුරුදු කියන්නේ.. පුතා මොනවද කන්න ආස..”





නිමි..