Friday, 30 March 2012

අඬහැරය 7


දහසක් ප්‍රාර්ථනා සිත දරාගෙන
සුළං පොදක්ව පාව යන විට
ආදරයෙන් නැළවෙන්න තැනක්
ලැබුනි මවුනි නුඹේ කුසේ මට..

සතුටු උනා මේ මගේ හිත
නුඹේ කුසට ආ දිනයේ සිට
දැනුනා මටත් නුඹ සතුටින් බව
නුඹේ හැගීම් මට දැනෙන නිසාම..

කුසට අත තියා කියන නැළවිලි ගී අහන්න
මම එනතුරු පෙර මග බලාන ඉන්න
තාත්තගේ ආදර කතා අහන්න
දන්නවාද කොච්චර ආසා කලාද මේ හිත..


ගෙවී යද්දි කාලය දවසින් දවස
දැනුනේ මට නුඹ සතුටු නැති බව
අසන්න උන දහසක් දේ නිසා නුඹට
මට තාත්තා කෙනෙක් නැති හින්දම..

කඳුළු සැළුවා නුඹ දවසින් දවස
ලෝකයේ ගැරහුම් එන විට
දැනුනා මට නුඹ විදි වේදනාව
නුඹේ කුසට මම ආ පවට..

ලෝකය කුරිරුයි දැනුනේ කුස තුලම මට
කියූ කතා රුදුරුයි මගේ සවනත වැටෙන්න
ආදරයෙන් තුරුළු කර කියන නැළවිලි වෙනුවට
මියෙන්නට හැරියේ ඇයි මට නුඹේ කුස තුලම..

එකින් එක හීන කැඩී යද්දි පුංචි අත් පා ලෙසම
මට දැනුන වේදනාව දැනුනාද අම්මේ නුඹට
නික්ම යන්න අවසරයි අම්මේ නුඹේ කුසින් මට
නුඹද, මමද වැරදි අහන්නේ නෑ අම්මේ මම..



Thursday, 29 March 2012

කැට් වොක්



එදා බදාදා ෆාමසියෙයි මම සතුටින් හිටියේ
“ ටොක් ටොක් ” හඬක් හදිසියේ සවනත වැටුනේ
මීයෝ වත්ද මේ දගකරන්නේ මහ දවාලේ
හිත හිත ඉද්දි සද්දය තව වැඩි වෙන්නේ..

නෑ නෑ පාර අසලිනුයි ඒ සද්දය එන්නේ
බිත්තිය හිල් කරන්නට හදනවා වැන්නේ
හෙමිහිට නැගිට මම ජනේලයට කිට්ටු උනේ
හොයා බලන්නටයි මේ මොකක්දැයි වෙන්නේ..

අදත් රූඹර ළදකි මා නෙත් අතර රැදුනේ
මුහුණට කලින් වෙනත් තැනකි මගේ හිත ගත්තේ
නෑ නෑ ඔබ හිතු දෙය වැරදියි මගේ මිතුරනේ
ඇගේ සෙරෙප්පු දෙක ගැනයි මම මේ කියන්නට යන්නේ..

ඇගිලි තුඩු එකිනෙක හිරවෙලා වේදනාවෙන් වැන්නේ
පස්සෙන් ඉස්සිලා අගල් දෙක තුනක් පාවෙන වැන්නේ
කැට් වෝක් අමතක වෙලා වගේ ඈ පාරේ යන්නේ
දැන් වැටෙයිදෝ කියලා මගේ හිත දුක් වෙන්නේ..

අවුරුදු විස්සක විසි පහක පෙනුමකි ඇයට ඇත්තේ
ඇදුම පැළදුමෙන් සල්ලි කාරියක් බව හැගුනේ
ඇයට මග යන්නට උදවු උන්  අසරණ පෙම්වතාගේ
මූණේ ඉරියවු නෑ මම හරියට දැක්කේ..

නගරයේ පාරවල් වල ගල් අතුරා ඇත්තේ
ඉන් අනතුරු අඩු බව මෙහි පිළිගන්නේ
නමුදු ඇය යමින් උන් මේ පාරේ
අනතුරක් වේ යැයි මගෙ හිත කීවේ..

කිලෝ මීටරයක්  වත් දිගු නැති මේ පාරේ
ඇවිදින විට පැද්දෙන තොරුම්බල් රිසිසේ
බලාගෙන මම සැගවී කවුළුව අතරිනේ
සිටියේ රාජකාරි අමතක වී වැන්නේ..

හිටි හැටියේ “ ටකස් ” ගා හඬක් මගේ සවනත වැටුනේ
ඇගෙ තොරුම්බල් අතරන් මා නෙත් අහකට ගත්තේ
අඩි දෙක තුනක් පාවී මෙන් ඈ ඉගිල ගියේ
අසරණ පෙම්වතා නිසයි ඈ බිම නොවැටී හිටියේ..

උල් පිහියක් වගේ අඩිය ගැලවී ඇත්තේ
ඒ නිසානේ ඇය මෙලෙසින් පියඹා ඇත්තේ
ටිකෙන් ටික සුදු මූණ රතු වනු දැක්කේ
සිනහව නවත්තන්නට බැරුවයි මම හිටියේ..

ලැජ්ජාවෙන් පිරි මූණ ජම්බු ගෙඩියක් වාගේ
අර අසරණයටයි කෑ ගහන්නේ පිස්සුවෙන් වාගේ
ඌ හිටියේ නැත්නම් ඇද වැටි මහ පාරේ
දත් ටික කඩා ගන්නවා බලන්නට තිබුනානේ..

අලවන ඈයෝ නෑ හැමතැන ලංකාවේ වාගේ
ටික දුරක් යන්නට වෙනවා අලවන්නට ආයේ
කැඩුන සෙරෙප්පුවේ උල විසිකර තරහින් වාගේ
ඈ අනෙක් සපත්තුවත් කඩලා දැම්මේ..

දැන් දාන්නට පුළුවන් කැට් වොක් රිසිසේ
ඇය යනවා කිසිවක් නොවුනා වාගේ
ඈතින් අපේ ලොක්කා එන හඩ ඇසුනේ
මම ආයෙම මගේ වැඩ ගැන හිත යෙදුවේ..




Tuesday, 27 March 2012

සුවද හදේ රදවලා.. යන්න ගිහිල්ලා..

ඉස්සර මම උදේට පායන හිරු දැක්කම ගොඩක් දුක් උනා.. ඒ දවසින් දවස මගේ ජීවිතේ අඩු වෙන නිසා.. ලොකු බලාපොරොත්තු ලොකු හීන මුකුත් තිබුනෙ නැති මගේ ලෝකෙට ඔයා එකම එක බලාපොරොත්තුවක් අරගෙන ආවා.. සතුට.. ඔයාගේ ආදරේ මගේ එක දවසක් අවුරුදු ගානක මතකයන්ගෙන් පිරෙව්වා.. මට හිනා වෙන්න කියලා දුන්නා.. ඔයාගේ ආදරේ ලග ගෙවුන ඒ මාස හතර  ඔයා මගේ ජීවිතේ ලස්සනම කාලය බවට පත් කලා.. මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයා මගේ ඇස් වලින් තේරුම ගත්තා.. ඔයාගේ ආදරය මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් උනා.. ඒත් අපෙ ඉරණම මේ වෙනකොට අපිව අපෙන් වෙන් කරලා ඉවරයි..

                    මට හිනාවෙන්න කියපු ඔයාගේ හිත ගොඩාක් අඩපු බව මම දන්නවා.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඔයාට මට දෙන්න ඉතුරු උනේ දුක විතරයි.. මට ඔයාව මීට කලින් මුන ගැහුනනම් කියල හිතුන දවස් අනන්තයි.. ඒ මට ඔයාගේ ආදරය ලග වැඩි කාලයක් හිනාවෙලා ඉන්න ලැබෙන නිසා.. ඔයා මං වෙනුවෙන් ගොඩක් දුක් හිතට අරගත්තා.. ඒ වෙනුවට ඔයා හැමදාම සිනහව මට ගෙනාවා.. ඔයාගේ ආදරේ ලග ඉන්න මං පිං කරලා නැතුව ඇති..

         ඔයාට ගොඩක් පිං මං වෙනුවෙන් කරපු හැම දේකටම.. මට මටත් වඩා ආදරය කරන කෙනෙක් ලැබුන සතුටම මට ඇති මගේ ඇස් පියා ගන්න.. ඔයාව තනි කරලා යන්නේ හිතකින් නෙමෙයි.. මං වෙනුවෙන් ඔයා ඇඬුවා දැන් ඇති.. අද මට මේ ලොකේ දාලා යන්න කිසිම දුකක් නැහැ.. ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක් කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරන්නම්.. 

          ඔයාගේ ආදරය මාව හැමදාම ජීවත් කලා.. ඒ හැමදේකටම ඔයාට පිං.. මම ඔයාගේ ආදරයට හැමදාමත් ආදරය කරන  

පූජා..


ආදරේ අන්තිම හුස්ම වැටෙන්න කලින් ජීවිතේ තවමත් විදින විදවන එකමත් එක කාලෙක අවසන් මොහොතක හදවතට ලං උන අකුරු ටිකක්.. අදටත්  මේ අකුරු අතරේ හැංගුන ජීවිතය සුසුම් වල පැටලිලා මතකයන් අතරට එද්දි එදා අත ඇරුන ජීවිතය අද කොහේද කියලා මම තාමත් දන්නේ නෑ..

පූජා, ඔයා මේ අකුරු අතරේ මට ආදරය ඉතුරු කරලා යන්න ගිහින් අදට අවුරුදු 5 යි.. මම කොච්චර හිනා උනත් සැහැල්ලුවෙන් හිටියත් මේ ගෙවුන අවුරුදු 5හේදි දවසට එකම එක වතාවක් හරි මේ අකුරු අතරේ ආදරේ විදගත්තේ මේ හිත ඇතුලේ ඔයා තාම ඉන්න නිසා..

නුඹ අතැර ගිය මල් මිට
ලං කරන් හිත ලග තවම
සෙනෙහසේ බිදුන බැම්ම
යලි තනන්නට දුවන මගෙ හිත,
මංමුලාවූ දුරු කතර මැද
නුඹේ මතක මිරිගු අතර
නූඹ නොයෙන පාළු සොහොන ලග
අදත් මම මල් කළඹ අරගෙන..

හදවත් එකිනෙක පෙමින් වෙලි ගිය
ආදරේ මතක පිටු අතර
නුඹ නොලියා අවසන් කර ගිය
ආදරයේ දුක්බරම කතාව,
කියවන්නට කෙනෙකු නොඑන
මතක පොත් ගුලේ අන්තිම පේලියක
සගවා කිසිවෙකුට නොපෙනෙන්නට
නික්මුනි මම හැර දමා ඔබෙ වත..

දැන දැනම එක්වෙන්නට
වරම් නොලද බව අප පැතුව
සංසාරේ බැදි පෙමට
හමු උනත් අපි පෙම් බදින්නට,
වියොවේ දුක් සෝ සුසුම් මැද
නුඹ ගියා.. යලි මතු හමුවන්නට
සසර බැදි පෙම තබා හිත ලග
නුබ ලගට එනතුරු දිවි ගෙවන්නට..

තාම මට ඔයාගේ සුවද දැනෙනවා.. ඔයා මං ලග ඉන්නව කියලා මට දැනෙනවා.. මේ ගෙවුන කාලය මහා කල්පයක් වගේ උනත් මට ඒ ගෙවුන හැම මොහොතකම ඔයා මගේ ලගින් හිටියා කියලා මම දන්නවා.. ඔයාගේ සුවද මේ හදවතේ රැදිලා තියෙනවා තව බොහොම කාලයකට..


පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක
කදු අතරේ වලා රොදක ඔබ සැගවීලා
සුවද හදේ රදවලා.. යන්න ගිහිල්ලා..




Monday, 26 March 2012

දවසක්දා රැයක..

එදත් වෙනදා වගේම සුන්දර උදෑසනක්.. උදේ 6.30 නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙලා හැමදාම කරන සුපුරුදු වන්දනාවට කම්පියුටර් එක ලග වාඩි උනා.. මේල් චෙක් කරන්න දෙයක් නෑ.. කවුරුවත් මට මේල් දාන්නේ නෑනේ.. ගියා ෆේස් බුක් එකට.. ගෑල්ලමයි තුන් හතර දෙනෙක් මැසේජ් දාලා තිබුනා.. ඒකටත් දැම්මා පිළිතුරක්.. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදිම ලොග් උනේ බ්ලොග් එකට..



මේ මොකක්ද මේ උනේ.. යන්තමට වගේ තාමත් පියවෙමින් තිබුන මගේ නිදිමත කොහේ ගියද කියලා නෑ.. දෙතුන් පාරක්ම බ්ලොග් එකට ලොග් උනා.. ඒත් එහෙමමයි.. “නෑ මෙහෙම වෙන්න බෑ.. .. හරි.. මම ඉන්නේ ගූගල් එකේ..”  ගූගල් දෙයියෝ කොහොමත් මාත් එක්ක තරහා නිසා මේකත් වගේ කෙනෙහිලි කමක් වෙන්න ඇති කියලා මම ගිණි නරියගෙන් ලොග් උනා..

“ මේ මොකද්ද මට උනේ?”

මට දෙයියෝ බුදුන් සිහි උනා.. අවුරුදු එකහමාරක් තිස්සේ අමාරුවෙන් හදාගෙන ආපු දේට මේ මොකද උනේ.. මගේ හිත ගැහෙන සද්දේ මට ඇහෙනවා ඇහෙනවා වහේ.. ඒක පාරටම හිත වේගයෙන් ගැහෙද්දි මම විනාඩියකට ඇස් පියා ගත්තා.. ආයෙම ඇස් අරලා බලද්දි මම දැක්කේ හැම තැනම විහිදුන අදුර..



.......................

මම තාම ඇද උඩ.. එතකොට මම දැක්කේ හීනයක්ද? “ හම්මෝ.. ලොකු දෙයක්..” මම මටම කියා ගත්තා.. යන්තම් අදුරෙම අත පත ගාලා ෆෝන් එක ලගට අරන් වෙලාව බැලුවා.. පාන්දර 2.30යි.. ඈතින් අංකල් ජොන්සන් ගොරවන සද්දෙත් ඇහෙනවා..  හීනෙන් උනත් දැක්ක හීනේ භයානක කම හින්දම තාම හිත ගැහෙනවා..

තාම ඉතින් රෑට හොදට හීතල නිසා ආයෙම පොරෝනේ අස්සට බැහැලා ඔළුවේ ඉදන් පොරවගෙන නිදාගන්න හැදුවා.. ඒත් මොකක්දී හේතුවක් ඒ නින්දට බාද කලා.. නිදියන්න පුළුවන් හැම ඉරියවුවකම ඉදන් නිදා ගන්න ට්‍රයි කලත් ඕනකමින් ඇස් තද කර ගන්නවා ඇරෙන්න නින්දක් නම් එන්නෙම නෑ..

“ ඇත්තටම මගේ බ්ලොග් එකට මුකුත් වෙලාද?”

හිත යටින් ආයෙම පොඩි බයක් එන්න ගත්තා.. කම්පුටරේ ඔන් කරලා බලන්නමයි හිත.. ඒත් මේ මහ පාන්දර.. “ නෑ එක්කෝ උදේම බලනවා..” මම මටම කියා ගත්තා.. ඒත් ඒකෙන් හිත හැදෙන පාටක් නෑ.. ඕන කෙහෙල් මලක් කියලා ඇදෙන් බැහැල ඇවිත් කම්පියුටරේ ඔන් කලා.. පොඩි එකා වගේ අංකල් තාම බුදි..

මගේ කම්පුටරේ ඔන් වෙද්දි එන සද්දේ දෙවෙනි වෙන්නේ ලෑන්ඩ් මාස්ටරේකට විතරයි.. ඒ තරමට ශබ්ධ දූශණයක් නෑ.. හරිම නිස්කලංකයි.. ඒ මදිවට කලින් දවසේ රෑ සද්දෙත් වැඩියෙන් දාගෙන ඇක්ශන්  ෆිල්ම් එක බලලා සද්දේ අඩු නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට වින්ඩෝස් ඔන් උන සද්දෙට මුළු ෆැලැට් එකම ඇහැරෙන්න ඇති..

“ මොන මගුලක්ද ඕයි මේ මහ රෑ කරන්නේ?”

අංකල් ජොන්සන් මගෙන් ආදරෙන් ඇහුවේ නින්ද කැඩුන එක ගැන කේන්ති ගන්නේ නැතුව..

“ පොඩි වැඩක් අංකල්.. විනාඩියයි..”

“ තමුසේ දවල් තිස්සෙම කරන්නෙත් ඕක බදාගෙන ඉන්න එක.. රෑටවත් පොඩ්ඩක් නිදා ගන්නවකො..”

තව තව මොන මොනවද කියල අංකල් මූණේ ඉදන් පොරවෙගෙන නිදා ගත්තා.. මමත් මට නෙමෙයි වගේ කරුවලේම ඔන් උන් කම්පියුටර් එකේ බ්ලොග් එකට ලොග් උනා.. හිත තාම ගැහෙනවා.. මොනවා වෙලාද දන්නේ නැති නිසා.. මේ තියෙන්නේ බ්ලොග් රාජයා බැබළි බැබළි..

එවෙලේ තමයි හිතට සැනසීමක් ආවේ.. මහ රෑ දාපු පෝස්ට් එකට කමෙන්ට් වගේකුත් තියෙනවා.. ඒකත් බලලා.. ආයේ කෝකටත් කියලා දෙතුන් පාරක්ම බ්ලොග් එකට ලොග් වෙලා හිතේ තිබුන බය නැති කර ගත්තා.. වෙලාව තුනට විතර ඇති.. ආයෙම ඔක්කොම ඕෆ් කරලා ගිහින් නිදා ගත්තා..

“ තමුසේ ඊයේ රෑ මොකද්ද නටපු නාඩගම?”

උදේ තේ එක බොන ගමන් අංකල් මගෙන් අහනවා.. කොහෙන් පටන් අරන් කොහොම විස්තර කරන්නද ඉතින් මේවා..

“ ඒක ලොකු කතාවක් අංකල්..”