Monday, 27 February 2012

සාමා ( කෙටි කතාව )

සවස පාසැල් නිම වී තම සිගිති දියණිය නිවස කරා එනතුරු මව බලාගෙන සිටියේ දෑස් දල්වාගෙනය.. මදක් ප්‍රමාද පාසල් වෑන් රථය එන මගට ඈ නෙත් යොමා සිටියදි මාවත ඈත කෙලවරින් තම නිවෙස දෙසට හැරුන වෑන් රථය දුටු ඇය මදක් සැනසුනාය..

“ අම්මී..”

වයස අවුරුදු හතක සුරතල් දියණිය නිවසේ ගේට්ටුව අසළදීම ආදරයෙන් ඈ අමතද්දී ඇගේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්ය.. ඇය වෙතට දුව ගෙන ආ සිගිති දියණිය ඇගේ ළමැදේ වෙලි සුරතල් වෙද්දි ඇය නොමැති මොහොතවල් වල දැනුන පාළුව කෙමින් මැකී ගියාය..

“ අද මොකද මගේ දූ පරක්කු?”

“ වැන් එකේ අංකිල් පරක්කු උනානේ අම්මි..”

“ ඒ මොකද ඒ?”

“ අද පාරේ ලොකූ ටැපික් එකක්..”

“ ආ..”

තම සිගිති දියණියගේ සුරතල් වචන හමුවේ ඇය තව තවත් සතුටු වූවාය.. තව තවත් ආදරයෙන් දියණියව තුරුළු කර ගත් ඇය ඇගේ නළල සිප ගත්තාය..

“ ඒක නෙමෙයි.. මේ මොකද මේ දෙමළ කෙල්ලෙක් වගේ මොට්ටුවක් තියාගෙන?”

“ අද අළුත් යාළුවෙක් ආවනේ අම්මී යාපනෙන්..”

“ යාපනෙන්?”

“ ඔව් අම්මී.. අනේ අම්මී මට බඩගිණියි..”

“ හා හා.. අපි යමු.. ඉස්සෙලම මගේ හොද දූ ඇග හෝදගෙන ඉන්න ඕන..”

“ අනේ අම්මී..”

දියණීය අකමැත්තෙන් සැගවෙද්දි ඇයව දෑතින් වඩා ගත් ඇය පාසල් බෑගය පසෙක දමා උඩූමහලට නැගුනේ දියණියගේ සුන්දර කතා අතරේමය..

“ දූ ඉතින් මට කිවුවේ නෑනේ ඔයාගේ අළුත් යාළුවා ගැන..”

ඇය යලිත් දියණියගෙන් අළුතින් හමු උන මිතුරිය ගැන විමසුවේ ඇය යාපනෙන් ආ බැවි කී නිසාම හිතේ ඇතිවූ දෙගිඩියාවෙනි.. හවස් වරුවම සෙල්ලමේ උන් දියණියට රාත්‍රියේ පාඩම් වැඩ කියාදෙද්දි  ඇය යලිත් කතාව කලින් නැවතුන තැනට අරගෙන ගියාය..

“ මොකද්ද දු ඔයාගේ අළුත් යාළුවගේ නම?”

“ සාමා..”

“ අදද එයා දූලගේ පන්තියට ආවේ?”

“ ඔව් අම්මී.. අනිත් කවුරුවත් එයාට වාඩි වෙන්න ඉඩ දුන්නේ නෑ.. ඒත් මම එයාව මගේ ලගින් වාඩි කර ගත්තා..”

ඇයගේ හිත දියණියගේ කතාව නිසාම වේගයෙන් ගැහෙන්නට වූවාය.. ඒත් ඒ කිසිවක් දියණියට දැනෙන්නට නොදුන් ඇය කේන්තියක් නොපෙන්නා ඇගෙන් තවත් තොරතුරු විමසුවාය..

“ සාමා කාත් එක්කද දූවේ ආවේ?”

“ ආච්චිත් එක්ක..”

“ ඇයි අම්මා ආවේ නැද්ද?”

“ ඒ ගැන අහපු වෙලාවේ ඉදන් එයා මාත් එක්ක කතා කලේ නෑ.. දුකෙන් වගේ බිම බලාගෙන හිටියා..”

ඇගේ හිත මොහොතින් මොහොත  වේගයෙන් ගැහෙන්නට විය..

“ දුව ආයෙම එයා එක්ක කතාවට යන්න එපා..”

පුංචි හිතකට මේ දේවල් තේරුම් කරන්න අමාරු බව ඇය හොදින්ම දැන හිටියත් දියණියට පුංච් අවවාදයක් කලේ කාලයක් පුරා ඇවිලි ගිය ගිණි දැල් ගැන ඇයට තවමත් මතක නිසාය.. ඇගේ මුහුණ දෙස මොහොතක් බලා හිද දුකින් මෙන් බිම බලාගත් දියණියගේ  මුහුණින් කිය උන දෑ ඇය හොදින්ම තේරුම් ගත්තත් ඇය කිසිවක් නොකීවාය..

                                       ......................

“ මේ ඔයා දන්නවද වැඩක්..”

රැ නිදි යහනයේ සුපුරුදු පරිදිම කතාවේ යෙදෙමින් උන් ඇගේ සැමියාට ඇය දියණිය තමන් හා පැවසූ සියල්ලක්ම එකින් එක පැවසුවේ කුතුහලයෙනි.. හැම දෙයක්ම නිහඩව අසා සිටි ඔහු ඇගේ කතාවට බාදා නොකලේය..

“ දැන් ඔය දේවල් ගැන එච්චර බය වෙන්න ඕන නෑනේ.. හැමදෙයක්ම හොදින් විසදිලා තියෙද්දි..”  ඇගේ කතාව අවසානයේ ඔහු නිවුන ස්වරයෙන් පැවසුවේය..

“ ඒත් අපි ටිකක් මේ ගැන හෙවුවොත් නේද හොද? අපේ දූ ලගින්මනේ මේ ළමයා වාඩි වෙලා තියෙන්නෙත්.. යාළු කමින් ඉදලා අපේ දුවවත් අඩගහගෙන ගියොත්?”

“  ඔයා මේ නිකන් කලබල වෙලා..”

“ මම හෙට ඉස්කෝලෙට ගිහින් දුවගේ ටීචර්ව හම්බු වෙනවා.. ඒක කෝකටත් හොදයිනේ..”

“ හ්ම්ම්.. ඔයාගේ කැමැත්තක්.. ඒත් කිසිම දේකින් දුවගේ හිත රිද්දන්න එපා..”

                                       ........................

නිදි වරිත රැයක් ගෙවා දැමු ඇය පසුදා පාන්දරම දියණියව පාසලට පිටත් කර ඇය පසු පසම ඇගේ පාසලට ආවේ හිතේ මැවුන ප්‍රශ්ණ කන්දකට උත්තර බලාපොරොත්තුවෙන්ය..

“ ආ මේ සෙනුරිලගේ අම්මනේ.. මොකද මේ හදිස්සියෙම?”

“ නෑ මිස් මේ මම..”

“ සෙනුරිලගේ අම්මත් එන්න ඇත්තේ සාමා ගැන දැන ගන්න වෙන්න ඇති..”

ඇය හේතුව කියන්නටත් මත්තෙන්ම ගුරුතුමිය කාරණාව දැන උන්නේ කෙසේදැයි ඇය මදක් කල්පනා කලාය..

“ මිස් කොහොමද ඒක දන්නේ?”

“ අද සාමා ගැන අහගෙන ආපු තුන් වෙනියා තමයි සෙනුරිලගේ අම්මා.. ඉතින් ඒකයි මම එහෙම කිවුවේ..”

“ නෑ මිස්.. මිස් දන්නවනේ ඉතින් පහුගිය කාලේ තිබුන ප්‍රශ්ණ..”

“ මම සෙනුරිලගේ අම්මට වරදක් කියන්නේ නෑ.. ඒත් මෙතන එහෙම බයවෙන්න කිසිම දෙයක් නෑ.. ඒ දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ.. ආච්චි විතරයි ඉන්නේ.. යුද්දේ කාලේ ගොඩක් කරදර විදලා තියෙනවා.. මායිම් ගම්මානෙකට වැටුන බෝම්බෙකින් තමයි අම්මා තාත්තා දෙන්නම නැති වෙලා තියෙන්නේ.. කාලයක්ම කදවුරු වල ඉදලා තමයි මේ කොළඹ ඇවිත් තියෙන්නේ..”

“ හ්ම්ම්.. මම ටිකක් බය උනා මිස්..”

“ බය වෙන්න දෙයක් නෑ සෙනුරිලගේ අම්මේ.. ඒ දරුවා දිහා දැක්කම කාටත් ආදරේ හිතෙනවා.. යන්කෝ පන්තියට මම පෙන්නන්න..”

ගුරුතුමියත් සමග ඇය පන්ති කාමරයට යත්ම ඈත තියාම ඇයට ඇසුන ඇගේ දියණියගේ සිනා හඩ දෙස ඇය මොහොතක් ඈත තියා බලාගෙන සිටියාය.. ජීවිතේ ආගම් භේදයක් පාට භේදයක් නොදත් ඔවුන් සතුටින් එකි නෙකා හා හිනැහෙමින් ඉද්දි ඇයට ඇය ගැනම ඇති උනේ ලැජ්ජාවකි..

පන්ති කාමරය ඉදිරියේ තම මව බලාගෙන ඉනු දුටු පුංච් දියණිය සිනා හඩ මොහොතකට නවතා ඇය වෙතට දුව ආවේ සාමාගේ අතින් අල්ලගෙනය..

“ අම්මී මම සාමා එක්ක කතා කලාට කමක් නෑ නේද?”



 නිමි..




Sunday, 26 February 2012

සිහින

සිහිනනමින් මම මුලින්ම බ්ලොග් එක පරන් අර ගනිද්දි මම මුලින්ම ලිවුවේ කවි.. මම හිතන්නේ මගේ පළවෙනි පෝස්ට් 100 විතර තියෙන්නේ ඔක්කොම් කවි.. පස්සේ පස්සේ ටිකක් කෙටි කතා එකතු වෙලා කවිම විතරක් ලියාගෙන ආපු බ්ලොග් එක ටිකක් වෙනස් උනා.. ඒත් ඉතින් ඔය හැමදේකම තේමාව උනේ විරහව..

පස්සේ ඉතින් මගේ ජීවිතේ විරහවට සමුදිලා බ්ලොග් එකේ නමත්වර්ණකියලා වෙනස් කර ගත්තට පස්සේ මේකේ ගොඩක් දේවල් ලිය උනා.. ආදරය විරහව කියන කාරනා ටිකක් විතර පස්සට යද්දි ජීවිත අත්දැකීම්, ඉස්කෝලේ කතා එතකොට ඉතාලියේ ජීවිතයට ගොඩක් ඉඩ වෙන් උනා.. වගේම කතා වලදී ආදරය කියන මාතෘකාව ගැන  මම අන්තිමට ලියලා තියෙන්නේ සතියකට වතාවක් ලිය වෙනකවියක්ම නොවූ සිතුවිලි  වලදි විතරයි...

බ්ලොග් එකේ නම වෙනස් උනාට පස්සේ  සිහින  කියන ටැග් එක යටතේ ලියපු කවි අනිතිමට ලියලා තියෙන්නේ 2011 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා.. කියන්නේ මාස හතරකින් මම කවියක් ලියලා නෑ.. මම මේ කියන්නේ ආදරේ ගැන.. බ්ලොග් එක පටන් අරගෙන මේ තරම් දුරක් එන්න මුල් උන ඉණිමග අමතක කරන එක හොද නෑ.. අතීතය අමතක කරන මිනිස්සුන්ට පැවැත්මකුත් නෑ කියනවනේ.. නිසා අයෙම මේ පැත්ත ගැනත් පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුනා..

එහෙම කිවුවට මම මේ අද ලියන්නේ නම් ගොඩක් පරණ කවියක්.. දිනය ඇවිත් 2002 පෙබරවාරි පළවෙනිදා.. කියන්නේ මීට දශකයකට කලින්.. සෑහෙන ඇන්ටික් කවියක් මේක.. වගේම ඉතින් ලිවිමෙ ප්‍රාථමික කාලේ.. ලස්සන නැති වේවි..  හොද නරක ඕනම දෙයක් කියලා යන්න.. ඒකට  කමක් නෑ..

ඝණ අදුරින් වැසී ගිය
මේ අමාවක රාත්‍රියේ
මට පාර කියා දෙන
එකම සහන් එළිය
ඔබේ රුවම පමනකි..

රැහැයියන්ගේ හඩින්
වෙලාගත් මේ ඝණදුරු රැයේ
මගේ දෙසවනෙහි රැවුදෙන
සොදුරු වීනා නාදය
ඔබේ වදන්ම පමනකි..

කිඩාරම් මල් පිපෙන
මේ රෑ මැදියමේ
මට දැනෙන එකම
සපුමල් සුවද
ඔබේ සුවදම පමනකි..



Saturday, 25 February 2012

තැපැල් කන්තෝරුවේදි හමු උන ඇය

අපි ලංකාවෙදි නම් තැපැල් කන්තෝරුවකට යන්නේ කලාතුරකින් දවසක තමයි.. ඒකත් ගොඩක් වෙලාවට ලියුම් සම්බන්ද වැඩකදිනේ.. දැං දැං ලියුම් පරිහරණයත් අඩු වී ගෙන එන නිසාම ඒ ගමනත් ටිකක් සීමා සහිත වෙලා..  ඒත් අපි ඉතාලිය පැත්තෙන් ගත්තොතින් ඔය තත්තේ ඔයිට වඩා ගොඩක් වෙනස්.. ලියුම් කටයුතු වලට අමතරව විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්  එතකොට ලයිට් බිල්, වතුර බිල්, දඩ බිල් ගෙවන්න වගේම ඉතිරි කිරිමේ ගිණුම් පවත්වාගෙන යන්නත් අපිට තැපැල් කන්තෝරුවට යන්න වෙනවා.. ඔය කරාණා වලින් ඉතින් මේ මට අයිති වෙන්නේ බිල් ගෙවීම තමයි..

ගොඩක් වෙලාවට හැම මාසෙම 5-6-7 වගේ දවස් වල මේවයේ සෙනග ගොඩක් වැඩියි.. ඒ කාල සීමාවේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන්නේ.. ඉතින් ඔක්කොම වයසක කට්ටිය උදේ තැපල් කන්තෝරුව අරින්නත් ඉස්සෙලම ඉදන් පෝලිම් අල්ලන් බලාගෙන ඉන්නවා.. මමනම් කවදාවත්ම ඔය දවස් වල තැපැල් කන්තෝරු යන්නේ නෑ.. මොකද අඩුම ගානේ පැය දෙකක්වත් බලාගෙන ඉන්න වෙන නිසා..

ඒත් හදිසියේ ගෙවන්න තිබ්බ බිලක් නිසා මම ඔය කලින් කියපු දවස් වලින් එකක හවස ගියා තැපල් කන්තෝරුවට.. ආසාවේ බෑ.. එළියේ ඉදන් සෑහෙන සෙනග.. සෙනග අස්සෙන් රිංගලා ඇතුලට ගිහින් ගත්තා නොම්බරයක්.. මට හම්බුන නොම්බරෙත් එවෙලේ සේවා කටයුතු කරන නොම්බරෙත් අතර පරතරය නොම්බර 100කට වැඩියි මට මතක විදිහට.. ආපහු එන්නත් බෑ.. මොකද ආයෙම යන්න නිවාඩු වෙලාවකුත් මට නෑ වගේම මම ගියේ බිල ගෙවන්න තිබ්බ අන්තිම දවසේ.. ඉතින් එළියට වෙලා මමත් බලාගෙන හිටියා මගේ වාරේ එනකම්..

ඔය අස්සේ ඉතින් වයසක මිනිස්සු අතරින් පතර යුධ ප්‍රකාශ කරනවා වැඩ කරන අයත් එක්ක.. මොකද වැඩ කෙරෙන්නේ හරි ඉක්මනින් නිසා.. ඒවා මේවා අස්සේ ඉතින් මගේ වාරයත් ආවා.. මමත් මගේ නම්බරේ වැටෙනකම් තිරය දිහා බලන් ඉදලා මට හිමි කවුන්ටරේට ගියා.. මම යන්නේ අපේ ගේ ලගම තැපැල් කන්තෝරුවට නිසා ඔතන හැමදාම වැඩ කරන අය මට ටිකක් මතකයි වගේම ටිකක් විතර කතාබහ කරලා තියෙන අය.. ඒ අතරේ අද වෙනස් මුහුණක්.. ලස්සන ඉතාලි තරුණියක්..

මමත් ඉතින් සුභ සන්ද්‍යාවක් කියාගෙනම කවුන්ටරේට ලංවෙද්දී ඇයත් ලස්සන හිනාවක් දාලා මටත් සුභ පැතුවා.. ඒ හිනාවටම හිත පිරෙනවා.. ඉතින් මමත් මගේ බිල් ටික දීලා ඒවා පරිඝණකයට ඇතුළු කරනකම් පොඩ්ඩක් විතර කතාවක් දාලා බැලූවා..

“ ඔයා අළුතෙන්ද?”

“ ඔව්.. සති දෙකයි..”

“ මගේ සුභ පැතුම්..”

“ ස්තූතියි..”

ඔය අතරෙම වගේ ඇයගේ ජංගම දුරකතනෙට කෝල් එකක් ආව නිසා මම ටිකක් නිහඩ උනා.. දුරකතන සංවාදය අතරෙම මගේ ගෙවිම් කටයුතුත් කෙරුනා.. මමත් ඉතින් ඉතුරු සල්ලි එක්ක මගේ රිසිට් එක ලැබෙනකම් බලාගෙන හිටියා.. ඇයත් කතාව අතරෙම මගේ රිසිට් පතත් එක්කම ඉතුරු සල්ලි වෙනුවට මට ආයෙම මම දුන්න මුදලම දෙනවා “ ඔක්කොම හරි ” කියලා..

දැන් මම ගෙවපු ඔක්කොම සල්ලි මගේ අතේ.. එයාට ඒ ගැන මෙලෝ සිහියක් නෑ.. තාම කතාව.. සල්ලිත් අරන් ආපහු එන්න ඕන හැටියේ ඉඩකඩ තිබුනත් මම පොඩ්ඩක් නැවතුනා.. ඇත්තම කියනවනම් මට එහෙම එන්න හිතුනෙත් නෑ.. මොකද ඉතින් දවසේ අන්තිමේ තමන්ගේ කැශියර් එක බැලන්ස් කරද්දි අඩුපාඩු හිටින ඒවා තමන්ගේ පර්ස් එකෙන්ම දාලා අපේ ෆාමසි එකේ අය බැලන්ස් කරනවා මම ඕන තරම් දැකලා තියෙනවා.. ඉතින් අද මෙයාටත් වෙන්නේ එකමනේ කියලා හිතලා මම ඉතින් දුරකතන සංවාදය ඉවර උනාම කාරණාව පැහැදිළි කලා.. එතකොට තමයි කෙල්ලගේ ඇස් උඩ ගියේ.. මට ඉතින් නොසෑහෙන්න ස්තූති කරද්දි මම මගේ ඉතුරු සල්ලි අරන් එන්න ආවා..

ඒ ගිය මාසේ උන කතාව.. දැන් කියන්නම් මේ මාසේ උන කතාවේ ඉතුරු ටික..

මේ මාසෙත් මම බිල් ටික අරන් ගියා තැපැල් කන්තෝරු පැත්තේ.. මේ පාරනම් ගියේ අර දවස් ටික පහු කරලා.. මම යද්දි දෙන්නෙක්වත් නෑ.. මම නොම්බර් ගන්න මැශින් එකෙන් නොම්බරයක් ගන්නකොටම ඒක පරිඝණකයට වැටිලා ඒ වෙලාවෙම අඩ ගැහුවේ මගේ නොම්බරේ.. මම කවුන්ටරේට යද්දී මේ වතාවෙත් ඇය.. කලින් වතාවේ සිද්දිය මතක් උන නිසාම මටත් ටිකක් හිනා ගියා.. මෙයා තාම මෙතන වැඩ.. ඒ කියන්නේ ඊට පස්සේ ඒ වැරැද්ද කරලා නෑ.. මම මටම කියාගත්තා..

“ මම ඔයාට නේද ඉතුරු සල්ලි කියලා බිල්වල සල්ලි ඔක්කොම දුන්නේ?” 

මගේ බිල් පරිඝණකයට ඇතුලත් කරන අතරේ ඇය මගෙන් ඇහුවා.. ඒ කියන්නේ මට වගේම ඒ සිද්දිය ඇයටත් තාම මතකයි..

“ ඔව්.. තාම ඒක මතකද?”

“ කොහොම අමතක වෙන්නද? විදේශිකයෙක් වෙලත් එදා ඔයා අවංක උනා.. අපේම රටේ කෙනෙක් උනත් සද්ද නැතුව යන්න යනවා..”

“ ඒක තමයි අපෙයි ඔයාලගෙයි වෙනස..”   මමත් ලොකු ටෝක් එකක් දැම්මා...

“ ඔයා මොන රටේද?”

“ මම ශ්‍රී ලංකාවේ..” 

ලංකාවේ නම ඇය ඉස්සෙලාම ඇහුවේ එවෙලේ විම හිතට දුකක් උනත් මෙහේ එවුන් යුරෝපයෙන් පිට සිතියමේ කිසිම රටක් නොදැන ඉදිම සාමාන්‍ය දෙයක් නිසා ලංකාව තියෙන්නේ කොහේද කියන එක පොඩ්ඩක් පැහැදිළි කරන්න උනා..

“ එදා ඔයා මට කලේ ලොකු උදවුවක්..”   ආපහු පරණ තැටියම වාදනය වෙන්න පටන් ගත්තා..

“ මම ALESSIA”

ඇය ඇයව හදුන්වා දෙද්දි මමත් මං ගැන කිවුවා.. එදා ඉතින් සෙනග නැති දවසක් උන නිසා අපි ටික වෙලා කතා කරකර හිටියා.. මට ගොඩක් දවසක ඉදන් ඕන කමක් තිබුනා ඉතාලිය අළුතින් නිකුත් කරපු මුද්දර ගැන දැන ගන්න.. ඉතින් ඒ හිත මිතුරු කතාබහ අස්සේ මම ඒ ගැනත් පොඩ්ඩක් කියලා බැළුවා.. වැඩේ සාර්ථකයි.. ගිඅය අවුරුද්දේ නිකුත් කරපු මුද්දර වගයක් මට දුන්නේ සල්ලි ගන්නෙත් නැතුව..

ඉතින් ඔය මුද්දර ගැනයි තව තව දේවල් ගැනයි ටිකක් වෙලා කතා කර කර ඉදලා මමත් ආයෙම එන්න හදද්දි නිකමට වගේ ඇය මුහුණු පොතේ ඉන්නවද කියලා අහන්නත් අමතක කලේ නෑ.. පිළිතුර යහපත් උන නිසාම මමත් මගේ නම ලියලා දීලා ඇගේ නමත් ලියාගෙනම ගෙදර එන්න ආවා.. ගෙදර එන විනාඩි 5 ඇතුළම මට එයාගෙන් ෆ්‍රෙන්ඩ් රෙක්වෙස්ට් එකක් ඇවිත් තිබුනා..

දැන් ඉතින් මේ මාසේ ආයෙම ගෙවන්න බිල් ඇත්තෙත් නෑ.. ආයෙම යන්න තියෙන්නේ ලබන මාසේ.. අංකල් ජොන්සන්ගෙන් අහලා බලන්න ඕන ගෙවන්න බිල් තියෙනවද කියලා.. වයසක මනුස්සයනේ.. ඔවයේ ගිහින් රස්තියාදු වෙන එක ඇගත් හොද මදිනේ..

අවවාදය :-  මෙවන් අවස්ථාවල අවංක වීමෙන් වැඩි වාසි අත් කර ගත හැක..