Thursday, 12 July 2012

වීදියේ කොනක

මේ පාළු වීදියේ දැන් අරුමයක් නැති තරම්.. අවුරුදු ගානක් තිස්සේ මේ කළුවර මාවත් අතරේ ගෙවිලා ගිය ජීවිතේ දිහා ආයෙම බලලා හිතන්න දෙයක් නැති තරම්.. ඒ මේ ජීවිතේ බලාපොරොත්තු නොවුන තරමේ   කටුක එකක් උන නිසා..

" උඹව මට හම්බුනේ බෝ ගහ යට අඬ අඬ ඉද්දි.. තනියම දාලා යන්න බැරි නිසා මම අරගෙන ආවා.."

යන්තම් දෙයක් තේරුම් ගන්න පුළුවන් කාලේ එද්දි මාව හදා ගත්ත වයසක ඔහු කියපු ඒ වචන පෙල මේ හිත ඇතුලටම කිදා බැස්සේ කවදාවත් නොදැනුන මහා බරකුත් එක්ක.. ඒ දවස් වල ඒ හැගුම් පුංචි හිතට මහා ලොකු බරක් උනාට හෙමින් කාලය ගෙවෙද්දි ඉබේම වගේ මේ ජීවිත්ට හුරු උනා.. මාවතක තනි උන එකම එක පොඩි එකා මං නොවන බව දැනෙද්දි මේ ජීවිතේට ඕන යකඩ හිත හැදුනේ ඉබේම වගේ..

ඒත් ඒ යකඩ හිත අම්මා කෙනෙක්ගේ ආදරේ ඉල්ලලා කෑ නොගහපු දවසක් නොතිබුන තරම්.. ඒ වෙනකන් කවදාවත්ම දැකල නැති කවදාවත්ම උණුසුම විදලා නැති අම්මගේ ආදරේ මෙච්චරම හිත හොයන්නේ ඇයි කියන්න මට තාම තේරෙන්නේ නෑ..

" අම්මා උඹට ආදරේ නම් ඔහොම දාලා යනවද? නිකන් ඕවා ගැන නොහිතා ඉදහන්.."

" නෑ නෑ මගේ අම්මා ඒවි.."

නොතේරුම් කමට පොඩි කාලේ දුන්න ඒ උත්තර අනිත් අයට  කොච්චරනම් හිනාවක් උනාද? ඒ දවස් වල කඳුළින් බර උන දෑස අද වියලිලාම ගිහින්.. ඒ තරමටම ජීවිතේ අඬන්න ඇති..  නගින බසින් හිරුත් එක්ක ගෙවෙන ජීවිතේ දැන් අමුත්තක් නෙමෙයි..

හැම ප්‍රශ්ණෙකටම දැන් ජීවිතේ හුරු වෙලා.. අනන්තවත් ගුටි කාපු දවස් වල ඇගේ වේදනාවක් නොදැනුනනත් මටත් අම්මා කෙනෙක් හිටියනම් කියලා හිතට දැනෙන වේදනාව තුනී කර ගන්න ගොඩක් කල් ඕන උනා.ජීවිතේ දරන්න පුළුවන් හැම ප්‍රශ්ණේකටම දැන් ජීවිතේ හුරු උනත් මේ දැනෙන වේදනාව තාම උත්තරයක් හොයා ගන්න බැරි තරම්..

......................................

වීදියේ අසරණ වෙලා මං
සොයනවා නුඹ ආදරය සැම කල්
අම්මේ කිම හැර ගියේ මං
අහිමිවද නුඹෙ සෙනෙහස මං..


විදියේ කොනක රෑ ගෙවෙන කල්
මම නින්දේ නැතුව නුඹෙ උණුසුමක්
බඩගිණ්දර නම් හුරු පුරුදුයි මට දැන්
ඒත් නුඹෙ සෙනෙහස සිත සොයනවා තවත්..

යහළු යෙහෙළියන් හා නෑ සෙල්ලම්
මහතුන්ගේ පාමුල පතනවා කාසි රුපියල්
ලොකු බලාපොරොත්තු මේ හිතේ නැතත්
මග බලා ඉන්නවා අම්මේ නුඹ එනකන්..

පුතේ කියා අමතන්න බරි මුත් නුඹට
දුක සැප බලන්නවත් එනවාද මගෙ ලගට
පොරොන්දුවක් දෙන්නම් දිවුරා ඔබෙ නළලත
අහන්නේ නෑ මම කවදාවත් තාත්තගෙ නම..

......................................


බලපොරොත්තු ඉටු නොවෙන බව දැන දැනම එකම එක බලාපොරොත්තුවක ජීවිත් වෙන්නේ ඇයි කියන්න තාම තේරුම් ගන්න බෑ.. ඒ ත් දවසක ඒ උතුම් සෙනෙහස හිතට දැනේවි කියලා විතරක් මේ හිත විශ්වාස කරනවා..






 

25 comments:

  1. " අම්මා උඹට ආදරේ නම් ඔහොම දාලා යනවද? නිකන් ඕවා ගැන නොහිතා ඉදහන්.."

    " නෑ නෑ මගේ අම්මා ඒවි.." වැදුනා හිතට ඩොන් ගාලා.......

    සංවේදියි ගොඩක්!
    සුභ පතනවා තව ලියන්න..

    ReplyDelete
  2. සංවේදී කතාවක් එයටම ගැලපෙන අපූරු කවි පෙලක් එක්ක!

    ReplyDelete
  3. ම්ම්ම් පපෞව හිරි වැටුන වගේ,.,අම්මෝ,,., මාරයි

    ReplyDelete
  4. දිනේෂ් අයියා...අද මේ කතව ගොඩාක් ලස්සනයි. ඒත්...මම මේක කියවලා ඇඬුවා මේක ප්‍රබන්ධයක් වුණත්. ඒ මගේම ජීවිත කතාව නිසා.උපන් දා ඉඳලා අම්මෙක් නැතිව මේ ලෝකෙ තනිවෙච්ච මම වගෙ දහස් ගණනක් මිනිස්සුන්ගේ ඇත්තම හදගැස්ම මේක තමයි.
    " නෑ නෑ මගේ අම්මා ඒවි.."
    මමත් මගේ මේ අවුරුදු දා හතක ජීවිත කාලය පුරාවටම හැමදාම හිත රවට්ටාගත්තෙත් ඔහොම කියලාම තමයි.මේ කතාවෙදී අම්මා දරුවා දාලා ගියා. ඒත් මගේ අම්මා මුළු ලෝකයම දාලා ගියා.

    "ඒ දවස් වල කඳුළින් බර උන දෑස අද වියලිලාම ගිහින්.. ඒ තරමටම ජීවිතේ අඬන්න ඇති.. නගින බසින් හිරුත් එක්ක ගෙවෙන ජීවිතේ දැන් අමුත්තක් නෙමෙයි..හැම ප්‍රශ්ණෙකටම දැන් ජීවිතේ හුරු වෙලා.. අනන්තවත් ගුටි කාපු දවස් වල ඇගේ වේදනාවක් නොදැනුනනත් මටත් අම්මා කෙනෙක් හිටියනම් කියලා හිතට දැනෙන වේදනාව තුනී කර ගන්න ගොඩක් කල් ඕන උනා.ජීවිතේ දරන්න පුළුවන් හැම ප්‍රශ්ණේකටම දැන් ජීවිතේ හුරු උනත් මේ දැනෙන වේදනාව තාම උත්තරයක් හොයා ගන්න බැරි තරම්.."

    මට උරුම වුණෙත් මේ ටිකමයි. නපුරුකම්, කෲරකම් මැද දන් හැඟීම් දැනීම් නැති ගහක් ගලක් වගේ මගේ ජීවිතය ගෙවෙනවා.ඒත්...තාමත් හිතේ කොණක අම්මා එක්ක සතුටින් හිඳීමේ පැතුම දැල්වෙනවා. කීයටවත් ඒක යථාර්ථයක් කරගන්න නොලැබෙන බව මම දන්නවා වුණත්.

    මම මේ ලිව්වේ මගේ බ්ලොග් අඩවියේ අම්මා ගැන ලියපු කවියක්. අයියාගෙ ඒවා තරම් නම් ලස්සන නෑ.

    නොදුටු නුඹ වෙත…

    ගෝර්කිගේ පොතේ පිටු අතර
    සේකරගේ කවි පද තුල මෙන්ම
    පුරාණ ජනකවියෙකුගේ දෙනෙතින් ද
    නුඹව දුටුව ද
    මගේ දෙනෙතින් නුඹ නොදුටුවෙමි
    නුඹ නුඹම දැයි මා නොදනිමි
    එහෙත්

    මා නුඹගෙ බැව් පමණක් දනිමි.
    සහසක් ජීවිත දුටිමි, හැඳින්නෙමි,
    නමුත් මම තව නුඹ නොහඳුනමි.
    සියක් අරවින්දවල සුවඳ මම විඳ ගතිමි
    එහෙත් නුඹෙ තුම් සුවඳ දැනෙන තෙක් මඟ බලමි.

    ආදරණීය අම්මේ
    අරුමයක් නොවෙද නුඹ මට
    කිසිදාක නොවැටහෙන

    WK

    ReplyDelete
    Replies
    1. දිනේශ් ගේ කතාවේ සැබෑ ස්වරූපය ඔබෙන් දකින්න වුණ එක ගැන නම් හිතට දැනෙන්නෙ දුකක්, ඒත් ජීවිතය අරුත්බර කරගන්න මේ වෙනකොට ඔබට හැකිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා. වෙනදා වගේ ම ලස්සනයි දිනේශ් මල්ලියෝ!

      Delete
    2. ස්තූතියි ලහිරු අයියේ මං ගැන දුක් වුණාට. Just ignore. That's life

      WK

      Delete
    3. මේකට රිප්ලයි එකක් දාන්න පරක්කු උනා.. මට මොනවා කියන්නද කියලා ඇත්තටම හිතා ගන්න බෑ මලයා.. අපි ආදරේ කරන අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපිට සමහර වෙලාටව හරි ඉක්මනට දුරස් වෙනවා.. ජිවිතේ දිහා ලස්සනට බලන්න මල්ලි.. අනාගතේ ලස්සන එකක් කර ගන්න...

      Delete
  5. ඇත්තටම මේ වගේ අහිංසක ජිවිත කීයක් නම් ඉන්නවා ඇද්ද..?අම්මේක්ගේ තාත්තෙක්ගේ රැකවරණයක් නැතිව ජිවිතේ තනියම ගැටගහගන්න අහිංසක දරුවෝ..හ්ම්..අයියා ඒ හැගිම් හුගක් සංවේදිව හිතට දැනෙන්නම ලියලා තියනවා..හුගක් ලස්සනයි....

    කාත් කවුරුවත් නැති
    අදුරු ලොවක තනිවුන
    එක් වීදි දරුවෙකි මමත්
    මෙලොවෙහිම ජීවත්වන...

    සැපසම්පත් නැතත් දිවියෙහි
    දුක් නොවේ මා සිතින්
    අනේ අම්මේ සිටියා නම්
    නුඹවත් අද මගේ ලගින්...

    ReplyDelete
  6. ලස්සනයි අයියේ :)

    ReplyDelete
  7. පද පේලිය නම් හරිම සංවේදියි මල්ලි..
    ලස්සනයි..

    ReplyDelete
  8. පව් අප්පා... ඇඩෙනවා :(

    දිනේශ් අයියාකාරයට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. බුදු වෙන්නට පෙරුම් පුරනවා ඇති අම්මා
    බුදු වෙන්නට පෙරුම් පුරනවා ඇති අප්පා
    ඒ දෙන්නම බුදු වෙන්නයි කියා පතනවා
    එදාටවත් ඔබේ පුතා දාල යන්න එපා....

    අම්මාවරු දකිනාකොට බෑ ඉවසන්න
    මගෙ අම්ම හමුවන්නට පිං පුරවමි මම
    කොහේ හෝ සිටන් අම්මේ ඇහුණොත් මගෙ දුක
    විදින්න තවමත් දෙතනේ කිරි තියෙනවද..
    (අසංග ප්‍රියමන්ත)

    ReplyDelete
  10. ගොඩක් දෙනා නොබලන අන්තයක් නේද?

    ReplyDelete
  11. ලස්සනයි. ඒත් දුකයි

    ReplyDelete
  12. මිල්ටන්ගේ වීදිකොනේ සිංදුව මතක් උනා.

    ReplyDelete
  13. සංවේදී වැඩියි ගොඩක්ම ඇගත් හිරි වැටිල ගියා...ලස්සන මාතෘකාවක ලස්සන ස්පර්ශයක්...

    ReplyDelete
  14. //බලපොරොත්තු ඉටු නොවෙන බව දැන දැනම එකම එක බලාපොරොත්තුවක ජීවිත් වෙන්නේ ඇයි කියන්න තාම තේරුම් ගන්න බෑ.//

    මිනිස්සු හැමෝම මෙහෙම තමයි.

    ReplyDelete
  15. සංවේදි කථාවක්..ඇත්තටම අපි අතර කී දෙනෙක් නම් නම් ඉන්නවද මව් පිය සෙනෙහස අහිමි උන අය..අපි ඒ අතින් කොච්චර වාසනාවන්තද...කවි පද ටික නම් ගොඩාක් ලස්සනයි ඒ වගෙම දුකයි...

    ReplyDelete
  16. //අහන්නේ නෑ මම කවදාවත් තාත්තගෙ නම..// කටුක යථාර්තය.

    ReplyDelete
  17. "වීදි කොනේ මාවත අද්දර හඩනා කිරි දරුවෝ..."
    මට මතක් උනේ ඔන්න ඔය ගීතය. ගොඩක් ලස්සනයි අයියේ..

    ReplyDelete
  18. මට වචන ගලපගන්න බෑ අයියේ...:(
    ලස්සනයි!

    ReplyDelete
  19. කටුක ඇත හදවතට වදින්න ලියල ... විශිෂ්ටයි ...

    ReplyDelete
  20. mona kiyannada kiyala hitenne ayye..comment ekath bodawela penne.....ayyage kathawai,kavi tikai lassanai.

    ReplyDelete
  21. හරිම ලස්සනයි අයියේ... ඒත් මේ වගේ දේවල් මොන තරම් වෙනවද? ළමයි කී දෙනෙක් අම්මා තාත්තා නැතුව මේ විදියට දුක් වෙනවා ඇත්ද? ඒ ඇත්ත මේ කවිය කථාව වගේ ලස්සන නෑ කියලා මට හොඳටම විස්වාසයි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්