Saturday, 12 May 2012

අද්දර ජීවිත ( කෙටි කතාව )

ඈත තියාගෙන හූ හඬ නංවන් එන දුම්රිය මේ හූ කියන්නේ අපේ ජිවිත වලටද කියලත් වෙලාවකට හිතෙනවා.. කෝච්චියේ ගෑවෙන නොගෑවෙන තරමට ටකරං වහලවල් ලංවෙන්න හැදපු ලෑලි ගෙවල් වල මිනිස්සුන්ට නම් මේ හූ හඬ මහා අරුමයන් නොවන බව නම් ඇත්ත..

  රත්නේ කොහේද මේ බර කල්පනාවක යන්නේ?”

සිල්පර කොටන් වලට අඩිය තියමින් හිත ලොකු කල්පනාවක රන්දන් ආපු ගමන මොහොතකට නතර උනා වගේම කල්පනාවෙන් මිදුනේ අජිත් මා ඉදිරියෙන් ඉන්නවා දැක්කම..

“ ඔය කල්පනාවේ හැටියට  කෝච්චියක් හූ තියාගෙන ආවත් ඇහෙන්නේ නෑනේ රත්නේ..”

“ නෑ අජිත් මම මේ..”

“ හරි හරි ඒවයින් කමක් නෑ.. මළ ගෙදරද යන්නේ? මාත් මේ එහේ යන ගමන්..”

“ හ්ම්ම්.. ඔව්..”

“ පවු පොඩි එකා.. මහ උන්ගේ  වැරැද්ද..”

පිළිවෙලකට නැති සිල්පර කොටන් මතන් ආ ගමන නතර කර මම අජිත් දිහා බැළුවේ නොරිස්සුම් බැල්මකින්..

“ මොකද්ද මහ උන්ගේ වරද?”

“ නෑ ඉතින්.. පෝලිමට මුන්ට ළමයි හදන්න පුළුවන්නම් උන්ව හරියට බලාගන්නත් පුළුවන් වෙන්නත් එපැයි.. එහෙමනම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ..”

අජිත්ගේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලා මට මොහොතකට හිතුනා.. මේ ලෑලි ගෙවල් පේලිය කෝච්චිය හෙමින් පහු කරන් ගියාට අපි මේ ගෙවුන කාලෙට ජීවිත කීයක්නම් මේ කොච්චියට බිලි උනාද? වතාවක් දුම්රියේ පුවරුවේ එල්ලිලා ගිය තරුණයෙක් ලෑලි ගෙදරක වහලේ ටකරමට කපලා ගිහින් මියැදුනේ කාගේ කාගෙත් අවාසනාවට..

රේල් පාර මායිමට වෙන්න තිබුන ගෙදරට වත්තේ ගොඩ දෙනෙක්ම එකතු වෙලා හිටියේ පුංච් මල් කැකුළකට සමු දෙන්න.. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි නොදන්න පුංචි එවුන් කී දෙනෙක් නම් මේ දුම්රියත් එක්ක අවසන් සුසුම් හෙළුවද..

පුංචි දරුවගේ දෙමවුපියන් නෑයන් විතරක් හඩා වැලපෙද්දී අනිත් හැමෝම තැන් තැන් වල කතා කර කර හිටියේ මේ දේවල් දැන් පුරුදු නිසා වෙන්න ඕන..

“ කෝච්චිය හෙමින් ආවනම් නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනනේ..”

“ ඔව්..  වෙනදා හූවත් නැතුවනේ ඊයේ ඇවිත් තියෙන්නේ..”

“ පොඩි එකා රේල් පාරට යනකම් අම්මා දැක්කේ නැද්ද?”

“ ඒකනේ.. දැන් කොච්චියට බැනලා වැඩක් තියෙනවයි..”

අතරින් පතර ඇහුන කතා වලට උත්තර බදින්න හිතුනත් මේ ඒකට වෙලාව නොවන නිසාම නෑසුනා වගේ අතට ගත්ත තේ කෝප්ප්ය උගුරට දෙකට බීලා දාලා කරන්න පුළුවන් උදවුවක් කරන්න් හිතුවේ දැන් කතා වලින් ඵලක් නැති නිසා..

………………….

“ අපි මේ රත්නේ එක්ක කතා කරන්න කියලමයි ආවේ..”

ගමේ වැඩිහිටි කීප දෙනෙකුත් එක්ක අජිතුත් පුංචි දරුවගේ අම්මත් මා සොයාගෙන ආපු කාරණාව තේරුම් ගන්න එක ඒ තරම්ම අපහසුවක් නොවුනත් නොදන්නවා මෙන් හිදිමින් ඔවුන් කතාවට මුල පුරන තුරා බලාගෙන ඉදියේ අවසානයේ කතාව නතර වෙන දැන දැනගෙන හිටපු නිසා..

“ රත්නේ.. දැන් මේ කෝච්චිය නිසා ම්නිස්සු කී දෙනෙක්නම් නැති උනාද? හැමදාම වන්දි මුදලක් ලැබෙන එක මේකට විසදුමම නෙමෙයිනේ..”

“ ඔව් රත්නේ පුතා.. මේවට හරි හමන් විසදුමක් තියෙන්නත් ඕනනේ..”

“ දැන් එතකොට ඔයගොල්ලෝ මොකක්ද කරන්න කියන්නේ?”

“ එහෙම නෙමෙයි පුතා.. පුතා මෙහෙ මැම්බර්.. වත්තේ අපේම මිනිහා වෙච්චි.. බැරිද ඇමතිතුමා එක්ක කතා කරලා මොනවා හරි කරලා දෙන්න..”


“ මාමලට මතක ඇතිනේ කලින් වතාවේ සෝමේගේ කොල්ලා නැති උන වෙලේ මම ගියා ඇමතිතුමා හම්බුවෙන්න.. ඒත් අන්තිමේ මොකද උනේ? ඒත් මම තව පාරක් ගිහින් බලන්නම්කෝ.. ”

“ අපි දන්නවා පුතේ උඹ අපේ වචනේ අහක දාන්නේ නෑ කියලා..”

ඈතින් ඔවුන් නොපෙනි යන තුරා මොහොතක් බලාසිටි මා සිතන්නට වූයේ ඔවුන් බලාපොරොත්තු වෙන විසදුම කුමක්ද යන්නයි.. වත්තේම ජීවත් වන මටත් මේ ප්‍රශ්ණය දැනුනත්  ඇත්තේ එකම එක විසදුමක් පමණකි.. ඒත් එය ඔවුන් කොතරම් දුරට පිළිගන්නට සූදානම්ද යන්න පමණක් මා නොදනී..

කීප වතාවක් ලේකම් තුමාට කතා කර ලබාගත් වේලාවෙන් විසදුමක් ලබා ගන්නට පුළුවන් වේ යැයි මටත් වඩා වත්තේ ගොඩ දෙනෙක් විශ්වාස කලේය.. ඒ ඔවුන්ගේ සිතුවිළි වල හැටිය..

“ අයිසේ රත්තේ.. ඕක ඇවිත් තමුසෙලාගෙම වරදනේ.. ඔහොම තැනක ඉද්දි ඔයිට වැඩිය සැලකිල්ලෙන් ඉන්න එපැයි..”

“ ඒකනම් ඇත්ත ඇමති තුමා.. ඒත් මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේ ගැන බලාවි කියලා..”

“ ඉතින් ඒකනේ අයිසේ මම මගේ අරමුදලෙන් වන්දි මුදල් දෙන්නම් කියලා කිවුවේ..”

“ නෑ ඇමතිතුමා.. වෙන විකල්පයක්..”

“ තමුසෙට පිස්සුද අයියේ.. කරනවනම් කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි.. එකක් තමුසෙලගේ වත්ත ලගින් යන රේල් පාර අයින් කරන එක.. නැත්නම් රේල් පාර ගාවින් තමුසෙලාව අයින් කරන එක.. කියනවා බලන්න මට ඔය දෙකෙන් කරන්න ලේසිම මොකක්ද කියලා..”

ඔහු ඉදිරියේ නිරුත්තරව සිටිනවා හැරෙන්න පවසන්නට දෙයක් මා තුල නොවීය.. හැම මොහොතකම දෑතේ රැදෙන දින පොත අතට ගෙන්න එයින් නික්ම එන්නට සැරසුනේ තවත් කතා කරන්නට දෙයක් නොවූ නිසාමය..

“ රත්නේ මේ අහනවා.. ඔය අනතුරු ගැන කෑ ගහන එකෙන් පාඩුවක් වෙන්නේ තමුසෙලාටමනේ.. ලොකු තැන් වලින් මේවා ගැන හෙවුවොත් යන්න වෙන්නේ තමුසෙලාටමයි.. ඒ නිසා තමුසෙලාගේ ආරක්ශාව බලාගෙන ඔහොමම ඉන්න එක තමයි මොළේ ඇති වැඩේ.. ඔතන මටත් ඡන්දේ දුන්න මිනිස්සු ඉන්න නිසා මම මේ කියන්නේ..”

“ මම ගිහින් එන්නම් ඇමතිතුමා..”

ලෑලි ගෙවල් පේලියක ඉරණම එසේ ලියවි ගොසින්ය.. කාටවත් ඇගිල්ල දික්කර කෑගසා ඵලක් නැත්තේ මීට කාලෙකට කලින් අනවසරයෙන් මේවායේ පදිංචි වූයේ අපේම දෙමවුපියන් නිසාය.. ඒත් වත්තේ මිනිස්සු මේ දේවලට විකල්පයක් ලැබේවියි කියන බලාපොරොත්තුවෙ හැමදාම ජීවත් උනත්, තියෙන එකම විකල්පය මේ තැන හැර යාම බව දැනගත්විට එයට ඔවුන් කුමක් කරාවිද?

අවසානයේ උත්තර දීමට බැදී ඇත්තේ මා නිසාම ඇමති තුමාගේ නිවසින් පිටව වත්තට යන මාවතට එළබුනේ හිතේ රැදුන ප්‍රශ්ණ ගොඩක්ද සමගින්ය..




නිමි..

17 comments:

  1. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවේය කියන කතාව මතක් වුණා. රේල් පාර අද්දර මිනිස්සු කොච්චර නම් අවදානමක් ඇතුවද එතැන ජීවත් වෙන්නේ...

    කතාවත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. ඒකට මාත් එකඟයි....

      Delete
  2. ලස්සනට ලියලා...එන්න එන්නම දිනේෂ් මල්ලිගේ කතාවලට මැචුවර් ගතියක් එනවා :)

    ReplyDelete
  3. කතාව හුඟක් ලස්සනයි.. ඒ වගේම එකෙන් දකින යථාර්තය හරි දුක්බර එකක් නේද? ලස්සනයි..

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්....
    කාට කියන්නද මේ අවනඩුව.....

    ReplyDelete
  5. රෙල්පාර අද්දර දිවි ගෙවන මිනිසුන් ගැන හොද විග්‍රහයක් කෙටි කතාව තුළින් ඉදිරිපත් කරල තියෙනවා...

    ReplyDelete
  6. හපොයි විසඳුමක් නැති ප්‍රශ්නයක්! ප්‍රශ්නවලින් පෙලෙන ජීවිත ගොඩක්!!
    හිතට දැනෙන, ලස්සන කතාවක්!!!

    ReplyDelete
  7. හැමදාම වගේ සංවේදී කතාවක්..ඇත්තටම අද්දර ජීවිතවල අභ්‍යන්තරය ලෝකයට නිරාවරණය වෙන්නේ හරි අඩුවෙන්

    ReplyDelete
  8. මේක දේශපාලනික වගේම සංස්කෘතික ප්‍රශ්නයක්...

    ReplyDelete
  9. රේල් පාර අයිනේ ජීවත් වෙන මිනිස්සුයි, සුනාමියක් දැන් එයි කියමින් මුහුදු වෙරළ අද්දර ජීවත් වෙන මිනිස්සුයි අතරේ වැඩි වෙනසක් නැහැ නේද...අනතුරක් උනාම කෑ ගැහුවට ටික දවසකින් ඒ ගැන අමතක කරලා පුරුදු විදියට ජීවත් වෙන්න මේ මිනිස්සු හැඩගැහිලානේ තියෙන්නේ....හිතන්න බොහොමයක් දේවල් එකතු කරපු කතාව හැඩයි ලස්සනයි....

    ReplyDelete
  10. ඕකෙ තව පැත්තක් තියනව. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඒ කාලෙ ඉදන්ම දඩුවම් ලැබිය හැකි වරදක් කියල දන්නෙ කීපදෙනයි. මට මතකයි මෑතක් වෙනකම් අපේ පැත්තේ රේල්පාර අයිනෙ තිබුනා ගොඩාක් පරණ බෝඩ් එකක් (සුද්දා කාලෙ එකක් වියහැක) "දුම්රිය මාර්ගයේ ගමන් කරන අයවළුන්ට අච්චු කරනු ලැබේ" කියල. අනික් අතට ගත්තම දැන් අධිවේගීය යන්න රේල්පාර හදපු එකේ හිමිහිට කෝච්චිය යනව කියන්නෙත් මහීන්ගෙ පැත්තෙන් තේරුමක් නැති වැඩක්...
    ඕකට දීගු කාලිනව පිලියමක් වෙන්නෙ (සෝබන වැඩ වලට සල්ලි නාස්ති කරන සල්ලි මේකට ගන්න පුළුවන්) ඒ පැල්පත් මිනිස්සුන්ට ක්‍රමවත් නිවාස සැලැස්මක් හදන එක;එහෙම සැලැස්මක්වත් හදපු ගෙයක්වත් නැතිව අනවසර ඉදිකිරිම් කියල ඒ මිනිස්සුන්ගෙ ගෙවල් කඩල දාල මහමගට බස්සන එක නෙවෙයි

    ReplyDelete
  11. හරිම අපුරු කෙටි කතාවක්. භාෂාව භාවිතයත් ලියලා ඇති ශෛලියත් ඉතාමත් ඉහළයි. හොඳම හොඳ හැකියාවක්.

    කතාවේ අන්තර්ගතය අනුව නම් මේ අත්දැකිම ලබන්නේ කැළනිවැලි දුම්රිය මාර්ගයේ. ඔය කැළණි වැලි මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ගේ අනවසර ඉදිකිරීම් නිසා එක වතාවක අනවසර නිවසක සෙවිලිකර තිබූ තහඩුවකට දුම්රිය පා පුවරුවේ ගිය මගියෙකුගේ බෙල්ල කැපී ලොකු හානායක් වෙලා තිබුණා කලකට ඉහත දී

    ReplyDelete
  12. සැබෑ ජීවිතේ තියෙන සංසිද්ධියක් බං ඕක...

    ReplyDelete
  13. මේ සිද්ධිය විතරක් නෙවෙයි අපේ රටේ සුභ සාධන යාන්ත්‍රණය හරි හැටි නැති නිසා සිදුවෙන දේ බොහොමයි..
    ආපහු හිතන්න දෙයක් තියන පෝස්ටුවක්..

    ReplyDelete
  14. හ්ම්.....හිතන්නට යමක්...කොයිතරම් හිතුවත් විසඳුමක් නැති දෙයක්....

    ReplyDelete
  15. හොද කතාවක් අයියේ!!! අපේ රටේ ජීවිත කීයක් ඔය අත්දැකීමට මූණ දෙනවාද..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්