Wednesday, 4 April 2012

කේන්තියයි, වැස්සයි..

ඇත්තම යාළුවෝ කියන්නේ කවුද කියන ප්‍රශ්ණේ දැන් දැන් මට සෑහෙන හිතන්න දෙයක් වෙලා තියෙන්නේ.. ඒ මොකද කියනවනම් මේ දවස් වල ඔය ඇත්තම යාළුවෝ කියලා හිතාගෙන ඉන්න අය කරන සමහර පිළිකුල් සහගත දේවල් නිසා.. මම මේ කියන්නේ මම මේ බ්ලොග් එක නිසා අදුන ගත්ත යාළුවෝ ගැන නෙමෙයි..

මම ලංකාවේ ඉදන් ඇවිත් මාසයක් යන්න කලියෙන් ආරංච්යක් පතුරලා තිබුනා මට මුහුණුපොතේ පෙම්වතියක් ඉන්නවාය කියන එක.. මගේ පෙර වැරදි ඒ තරම්ම නැති නිසා අපේ ගෙදර ඒ ගැන එච්චරම ඕනෑකමින් හෙවුවේ නැති උනත් අපේ අම්මා මගෙන් ඒ ගැන කෙලින්ම අහපු එක හොදක් උනේ ඔහොම ආරංච් පතුරවන හාදයොත් ඉන්නවා කියලා දැන ගන්න පුළුවන් උන එක..

ඒ උනත් ඉතින් ඔය ආරංච්ය ගිය හැටි ගැන මම ඒ තරම්ම උනන්දු නොවුනෙත් කියපු කෙනාගෙන් ඒ ගැන ඇහුවේ නැත්තෙත් ඇත්තටම එහෙම දෙයක් නැති නිසා.. නිකන් හරි ඕක අහන්න ගියානම් වෙන්නේ බොරුව ඇත්තක් කියලා ඔවුන් හිතන එක.. කොහොම උනත් ඉතින් ඒකෙන් මට උන අවාසිය තමයි වසර තුනක පොදු සමා කාලයක් ලැබුන එක..

ඕවා ඔක්කොම ඔහොම ගියා කියමුකො.. අළුත්ම නිවුස් එක ආවේ ඊයේ උදේ.. ඒ තමයි මම බ්ලොග් එකේ කවි ලියන්නේ මගේ ආදරවන්තියට බලන්නයි කියන එක.. මේ ක හරි වැඩක්නේ.. මට මගේ හිතට එන අදහසක් කවියකට හරි කතාවකට හරි පෙරලන්න බැරිද? එහෙම ලියන්න ජීවිත අත්දැකීම්ම තියෙන්න ඕනද? මගේ ජීවිතේට සම්බන්ද දේවල් මේකේ ලියවිලා නෑ කියලා මම කියන්නේ නෑ.. ඒත් ඒ දේවල් වලදි මම කෙලින්ම කියලා තියෙනවා මේ මගේ අත්දැකීමක් කියන එක.. මම මේ ලියන දේවල් කවුරු නැතත් අපේ අයියා බලන එකේ එහෙනම් ඔය යාළුවෝ කියන අයට වඩා ඒ ගැන මගෙන් ප්‍රශ්න කරන්න අයිතිය තියෙන්නේ අපේ අයියට.. ඒත් අද වෙනකම් එහෙම දෙයක් වෙලා නෑ.. අඩු ගානේ මම ඒකට මඩ ගහපුවටවත් මට මුකුත් කියලා නෑ..

සමහර වෙලාවට අපි ලියන දේවල් වලට කිසිම පදනමක් නෑ.. හිතට එන අදහස් ටිකක් පිළිවෙලට ගලපලා ලියන වෙලාවල් අනන්තයි.. අන්තිමට නිර්මාණය ආදරයක් විරහවක් ගැන උනාට ඒකේ අවසානයට අපේ කිසිම සම්බන්දයක් නෑ.. ඒකනේ මහගම සේකරයන් “ මගේ කවියෙන් මා නොසොයන්න” කියලා, කියලා තියෙන්නේ..

ඊයේ අපේ අම්මා කතා කල වෙලාවේ මම ඇහුවේ “ඉතින් ඕක අහන්න මොකටද සල්ලි පුච්චන් මට කතා කරන්නේ විශ්වාස කරන්නේ නැත්නම්” කියලා.. එතකොට අම්මගේ උත්තර් උනේ “ නෑ මිනිස්සු ගැන තේරුම් කරලා දෙන්න” කියන එක.. ඇත්ත මිනිස්සු ගැන තේරුම් ගන්න හරි අමාරුයි.. ලගින් ඉන්න යාළුවට වඩා දුරින් ඉන්න හතුරා හොදයි කියන කතාව ඇත්ත..

ඔය ජර මර අස්සේ ඊයේ වැඩ ඇරිලා ගෙදර ආවේ මේක කියපු මනුස්සයගෙන් ඇයි එහෙම කිවුවේ කියන එක අහනවා කියලා හිතාගෙන.. ටිකක් විතර කේන්තියෙන්.. ඊයේ වැස්ස.. වැස්ස කිවුවට මහ වැස්සක් නෙමෙයි.. පොඩි වැසක්.. ඒ උනාට මහ වැස්සකට වඩා පාරේ යන්නම අමාරු පොඩි වැස්සකදි.. පොඩි බ්‍රේක් පාරටත් බයිසිකල් ලිස්සලා යනවා..

එච්චර වේගයෙන් ආවේ නැත්ත හදිස්සියේ පාරට දාපු වාහනයක් නිසා බ්‍රේක් ගහන්න ගිහින් මම නතර උනේ බිම.. වෙනදටනම් ඕවා ශුවර් දේවල් උනත් ඊයේ වැස්සත් එක්ක වෙනදා සෙල්ලම් හරි ගියේ නෑ.. ඊටත් වඩා මාව පාවෙලා යනවා වහේ දැනුනා මිසක් වෙන මුකුත් කරගන්න බැරි උනා.. නෑ නෑ කට්ටිය දැන් කලබල වෙන්න එපා.. එච්චර අමාරුවක් නෑ.. කලින් ඉදන්ම ආබාධයක් තිබුන කකුල ටිකක් අමාරු උන එක විතරයි උනේ..

ඔක්කොටම මුල උනේ හිතේ තිබුන කේන්තිය.. වෙනදටනම් කිසිම දේකට ඔය වගේ කේන්ති යන්නේ නෑ.. ඒත් ඉතින් කිසිම පදනමක් නැති දේවල් කියද්දි කේන්ති නොයා ඉදිවිද? බැරිවෙලාවත් එහෙම සම්බන්දයක් තිබිලා ගෙදරට කියාගන්න බැරුව ඉන්නවා උනානම් එකෙක්වත් නෑ ඔහොම කේලමක්වත් කියන්න.. ඒක තමයි ඇත්ත..

කොහොම උනත් තරහව කේන්තිය නිසා පාඩුව උනේ මට.. වේදනාව නිසාම කේන්තිය නැති වෙලා ගියා ගෙදර යද්දිම.. දවස් දෙක තුනක් යද්දි වේදනාවත් නැතුව යාවි.. ඒත් ඉතින් මිනිස්සුන්ගේ හැටි කියන්නේ මම මේ ගැන බුකියේ දාපු ස්ටේටස් එකට උඹට දැන් කොහොමද කියලවත් බැළුවේ ලගින් හිටපු ඒ කට්ටියට වඩා මම කවදාවත්ම දැකලා නැති යාළුවෝ ටිකක්.. මුහුදක් කිට්ටුවද මම වැටුනේ කියලවත් අහලා විහිළුවක් කරපු හැමෝටම ස්තූතියි.. ගොඩක් දේවල් ගැන නිවී සැනසිල්ලේ කල්පනා කරන්න ඕන කාලය ඇවිත් වගේ..





ප.ලි :- මම කලින් දවසේ දාපු අළුගෝසුවා කෙටි කතාවේ පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් තියෙනවා කියලා ලැබුන පිළිතුරු වලින් දැක්කා.. එකක් තමයි ඒක පරණ චිත්‍රපටි කතාවකට සමාන වීම.. ඇත්තටම මම එහෙම ෆිල්ම් එකක් තියෙනවද කියලා දැනන් හිටියේ නෑ.. දැනගෙන හිටියනම් ඒ වගේ තේමාවක් ගැන මම ලියන්නේ නෑ..

අනිත් කාරණේ තමයි කතාවේ අවසානයේ අපැහැදිළි බව.. පුතාට මරණ දඬුවම ලැබෙනකම් තාත්තා නොදන්නේ කොහොමද කියන කාරණාව.. මට ඕන උනේ ඒ හිදසෙන් තවත් කතාවක් පටන් ගන්න.. ඒ ගැන මෙතන කතා නොකර.. ඒ උනාට ඒ වැඩේ සාර්ථක වෙලා නෑ.. මීට පස්සේ ඔය ඕන නැති එක්ස්පෙරිමට් නොකර ඉන්න එක හොදයි වගේ.. කොහොම උනත් ඒ හිස් තැනට හිමි පුතාගේ කතාව මම ලියලා තියෙන්නේ.. ඒක ලබන සතියේ දානවා..









84 comments:

  1. ඔව්, හැමෝම තේරුම් අරන් ඉන්න එක තමයි හොඳම දේ. එතකොට දුක අඩුයි.

    වැටුනේ මූදු වෙරලක් ළඟ කියලා දන්නේ නෑ නේ.:P

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවේ ඉතින්.. මම දැන් ඉන්නේ මුහුදට සෑහෙන දුරින්.. :)

      Delete
  2. ඩ්‍රයිව් කරනකොට වෙන වෙන කල්පනා වල යන්න එපා මල්ලි එකෙන් ඔයාගේ වගේම අනිත් අයගෙත් ජීවිත අනතුරේ වැටෙනවා.පදනමක් නැති කතා වලට ඔහොම කේන්ති ගන්නත් එපා මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද අපි අපේ ගැන දන්නවනම් එච්චරනෙ. ඉතින් ඔයාට තුවාල උනද? ගොඩක් අමාරුද?කොහොම උනත් ඉක්මනට සනීප වෙන්න.බුදුසරනයි ඔයාට

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. දැන්නම් මම ඒ ගැන හිතන්නේ නෑ.. මොකද ඒවා මට වැදගත් නෑ නේද කියල හිතුනා.. ඒත් මේකෙන් මම පාඩමක් ඉගෙන ගත්තා.. කේන්තිය ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා..

      නෑ නෑ අක්කේ.. ඒ තරම් අමාරුවක් නෑ.. අව්දිනකොට දණහිසේ කැක්කුම වැඩි වෙන එක තමයි තියෙන්නේ..

      Delete
  3. අපිට තේරුම් ගන්නත් බැරි ඒ දේම තමා අයියා...අපි යාළුවෝ කියලා විස්වාස කරන අය ඇත්තටම යාළුවො නෙමේ...ඒක තේරුම් ගන්නකොට අපි ගොඩක් පහු වෙන්න පුළුවන්...ඒ නිසා පරිස්සම් වෙන්න....

    හයියෝ...පරිස්සමින් පදින්නෙපැයි අයියා...

    හැමදේම හොඳින් විසඳේවි...ඉක්මනට සනීප වෙන්නකෝ.....
    බුදුසරණයි....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී.. දැන් නම් ගොඩක් දේවල් ගැන හිතන්න ඕන.. මොකද මම කියන දේ නෙමෙයි නේ සමහරු තව කෙනෙක්ට කියන්නේ..

      Delete
  4. එව්ව එහෙම තමයි බොසා! නැවතත් ඉක්මන් සුවය පතමි! :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. මේවා අපිට හොද පාඩම්..

      Delete
  5. මම දඩිබිඩි ගාලා දුවගෙන ආවෙ වැස්ස කිව්වාම මං ගැනයි ලියල තියෙන්නෙ කියල.බැලින්නම් මට එපා කරපුම මාතෘකාව ගැනනේ ලියල තියෙන්නෙ-යාලුවො.අපෝ කතා කරන්න එපා අය්යෙ යාළුවො ගැන.දැක්කනෙ තව පොඩ්ඩෙන් ඔයාට ජීවිතෙත් නැති වෙනව.කොහොම වුණත් ඔය වගේ සිදුවීම් කියන්නෙ අපිට යාළුවො ගැන තේරුම්ගන්න ලැබෙන හොද අවස්ථාවල්.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්මනේ ඔයත් වැස්සනේ.. මට අමතක උනා.. මෙහෙම බලද්දි ඔයාගේ යාළුවා අර විදිහට තරහා උන එකත් හොදයි වගේ.. ලගින් ඉන්නවට වඩා..

      Delete
  6. මිත්‍ර ද්‍රෝහියො නං ඕනෑතරම් ඇත. කේන්තිය යනු තමාට තමා පාලනය කරගැනීමට අපහසු අවස්ථාවයි. පරාජය තමා භාරගැනීම හෝ කේන්තියට භාරදීම මේ වෙලාවලදී කලයුතුය. කෙටිකතාවක් ලිවීමේදී කලින් ප්ලෑන්කර ලියා තබා පබ්ලිෂ් කිරීමෙන් අපහසුතාවයෙන් මිදිය හැකිය. එසේ නොමැතිවීමෙන් කතන්දර, මෙගා නාට්‍ය තත්වයට පත්වීමෙන් වලක්වාගත හැකිය.

    ReplyDelete
    Replies
    1. වෙනදට නම් මම මෙච්චර කේන්ති ගන්නේ නෑ රාජ් අයියේ.. ඒත් ඉතින් මේ පළවෙනි වතාව නෙමෙයි නිසයි මට කේන්ති ගියේ..

      කතාව මම දවස් දෙකකට කලින් විතර තමයි හැමදාම ලියන්නේ.. ඒත් මේකේ උනේ එක්ස්පෙරිමට් කරන්න ගියායින් අවුල් උන එක.. ඊළග එකේ ඉදන් එහෙම වෙන්නේ නෑ..

      Delete
  7. ප.ලි- කසාදය සම්බන්ධයෙන් උඹේ දොත්තෝරේ අනුගමනය කිරීම එතරම් උචිත නොවේ.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ අයියේ.. ඒක ඒ වෙලාවේ හැටියට හොද විකල්පයක් කියලා හිතුනට එහෙම කාටද ඉන්න පුළුවන්.. ඉන්න අයත් ඉන්නවා.. ඒකේ වාසි අවාසි ඔක්කොම කවලමේ තියෙනවා..

      Delete
  8. තුන්රුවන්ගෙ සරණින් ඉක්මනට සනීපවෙන්ඩ අයියෝ.......:(

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. දැනටත් ඉතින් සනීපයි වගේ තමයි.. ඇවිදින්න අමාරු එක තමයි තියෙන්නේ.. ඒකත් හෙට අනිද්දා වෙද්දි ඇරිලා යාවි..

      Delete
  9. ඔහොම තම අඅයියේ!! මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකන්ද? ගනන් ගන්නෙපා..
    හික්ස්ස්.. මාත් අහන්න ගියේ කසුන් අයියා ඇහුවා වගේම අයියා වැටුනේ මූදූ වෙරළක් කිට්ටුවද කියලා..;)

    කොහොමහරි කමක් නෑ අයියා ඉක්මණින් හොඳ වෙන්න!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හලෝ.. මුහුද තියෙන්නේ සෑහෙන ඈත.. අනික මේ කාලේ ඒ කරදර නෑ..

      මිනිස්සු විවිධාකාර වෙන්න ඕන.. එතකොට තමයි අපිට විවිධ අදහස් තියෙන අය මුණ ගැහෙන්නේ.. ඒත් මේ වගේ බොරු කාරයෝ නම් එපා..

      Delete
  10. එහෙමත් සීන් එකක්ද...ඒක ඉතින් යටින් දැම්ම නම් කේස් එකක් නෑ නේ...ලියන්න බලන්න ඒ කතාව්ත

    ReplyDelete
    Replies
    1. මෙහෙමම අවුලක් වේවි කියලා හිතුවේ නෑනේ රත්තෝ.. නැත්නම් දානවා..

      Delete
  11. සමහර එව්වො ඉන්නවා ඔහොම මහ අපත උන්..මගෙ සීන් එකේදිනම් ඔය සම හරක් නොවෙන ඝණයට දාන්න පුළුවන් යාලුවෝ ඉන්නේ එකයි දෙකයි.ඒත් ඉතිං අනිත් උනුත් යාළුවෝනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කොහොම උනත් උන්වත් කාලයක් හොදින් ආස්‍රය කලා තමයි.. ඒත් ප්‍රශේණ් තියෙන්නේ තව දුරටත් විශ්වාස කරනවද කියන එක..

      Delete
  12. මිනිස්සු කොහොමද කියලා තේරුම් ගන්ට බැරුව මාත් ඉන්නේ...ඔයාගේ පෝස්ට් එක දැක්කාම ලැබුනේ ධෛර්යයක්....

    ගනන් ගන්ට එපා අනේ ඔව් කියන්ට ඕනි එකකට. ගෙදරට විතරක් ඇත්ත කියන්ට.:D

    ReplyDelete
  13. මිනිස්සු කොහොමද කියලා තේරුම් ගන්ට බැරුව මාත් ඉන්නේ...ඔයාගේ පෝස්ට් එක දැක්කාම ලැබුනේ ධෛර්යයක්....

    ගනන් ගන්ට එපා අනේ ඔව් කියන්ට ඕනි එකකට. ගෙදරට විතරක් ඇත්ත කියන්ට.:D

    ReplyDelete
    Replies
    1. එක කුස උපන් අය පවා ස්මහර වෙලාවට මේ වගේ දේවල් කරනවා.. ඒ නිසා අපි ඉන්න ඕන ගොඩක්ම කල්පනාවෙන්.. අක්කා වගේ කෙනෙක්ට මගේ පෝස්ට් එක ධෛරයයක් උන එක ගැන සතුටුයි..

      අපේ අයියා කියන්නෙත් ඔය කතාවමයි.. කේලම් අහන කියන අයට තව තව ඒවට උල්පන්දම් එන දේවල් කියන්න.. ඇත්ත අපි විතරක් දැන ගත්තම ඇති කියලා..

      Delete
  14. ඒක ඒක විදිහෙ අය ඉන්නවා මිතුරෙක් කියන්නෙ ඒ අතරින් හොද කෙනෙක් වීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ හොදම කෙනා තෝර ගන්න එක තමයි තියෙන ප්‍රශ්ණේ..

      Delete
  15. එකස්පෙරිමන්ට් කරන්නැතුව ලියන එකට නම් මම කැමති නෑ.. එහෙම ලිව්වම ඔයාගෙ දක්ෂතා විවිධ මාන වලින් දියුණු කරගත්තෑති...එක්ස්පෙරිමන්ට් වලින් ඉගෙන ගන්න එන තමයි වටින්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ පළවෙනි සැරේනේ එහෙම දෙයක් කරන්න ගියේ.. ඒනිසා පොඩ්ඩක් වැරදුනා.. ඒත් උත්සාහය නවත්තලා නෑ..

      Delete
  16. ගනන් ගන්න එපා අය්යා,ඔහොම තම ජිවිතේ..ඒක අතකින් එහෙම උන එකත හොඳයිනේ,යාලුවෝ අඳුරගන්න පුළුවන් උනානේ..පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න..ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලංකාවෙන් ආපු දා ඉදන්ම ගොඩක් වෙනස්කම් මම අත්විදිමිනුයි හිටියේ.. ලංකාවට ගිය වෙලාවෙත් ඒවා හොදට දැනුනා..

      Delete
  17. දෙමාපියන් උනත් ඕනවට වැඩිය කරට ගන්න නරකයි එක ලිමිට් එකකට තියාගන්න ඕනි...අනේ මන්ද මේ වගේ සබන් බෝල කවදා ලොකු මිනිස්සු වෙයිද කියල....

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන්ට අපේ හොද නරක වෙනුවෙන් කතා කරන්න අයිතියක් තියෙනාව.. එයාලට ඒ වෙනුවෙන් සීමාවක් නෑ..

      Delete
  18. ඔහොම වැඩ කරන එවුන් ඔින තරමි ඉන්නවා මල්ලි. මටත් ඔයිට වඩා සුපිරි විදිහේ ගේමක් දුන්නා කෙනෙක්. මගේ ලගම ඉදන්, මගෙන් අවශ්‍ය තරමි උදවි අරන් මට දුන්නු තැග්ග ගැන නමි කියලා වැඩක් නැහැ. මම තාම ඒක නිසා විදවනවා මල්ලී. යන එන ගමන් ඔිවා ගැන කල්පනා නොකර ප්‍රවෙිශමෙන් ඉන්න....

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි හැමෝටම වගේ මෙහෙම යාළුවෝ ඉදලා තියෙනවනේ.. අයියා තාම ඒජ නිසා විදනවා කියන එකෙන් කියවෙන්නේ මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියෙනවා කියන එක..

      Delete
  19. මචං මම නොකිව්වට මට වුනා මේ දේම... " මීට පස්සේ ඔය ඕන නැති එක්ස්පෙරිමට් නොකර ඉන්න එක හොදයි වගේ.."

    ඒක ඇත්ත !

    ReplyDelete
    Replies
    1. සෑමා මොනවයි එක්ස්පෙරිමන්ට් කරන්න ගියේ??

      Delete
    2. අප්පද බොල වැරදි වැටහීමක් නොවැ..

      මම කිව්වේ බ්ලොගේ ලියන කතා වෙනස් කරන්න එකස්පෙරිමන්ට් කරන්න ගිහින් කෙලවුන ඒවා.

      Delete
  20. මටත් මේ දවස වල කලකිරිලා ඉන්නේ. යාළුවො ගැන.බ්ලොග් ලියන්න පටන් ගත්තයින් පස්සේ අඳුර ගත්තු යාළුවො හොඳයි කියල තේරෙනවා පරණ යාළුවො කරන අසික්කිත වැඩ ගැන හිතද්දී.

    කලින් පොස්ට් එකේ කමෙන්ට්ස් ගැන දුක හිතුනද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අසාර් අයියේ.. මෙතන අපි සමහර වෙලාවට වචන වලින් පුංච් රණ්ඩු උනත් ඒක හිතේ තියාගෙන ඉන්නේ නෑ.. ආයෙම පහුවදා විහිළුවක් කරලා හිනා වෙලා ඉන්නවා..

      නෑ නෑ අයියේ දුකක් හිතුනේ නෑ.. එතන ලොකු අඩුවක් හිටිය එක මම පිළිගන්නවා..

      Delete
  21. එක එකාගේ ගොන්පාට් හින්දා අපටමයි පාඩු වෙන්නේ කියලා දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්, කේන්තිය ඇත්තටම අපිව අන්ධ කරනවා කිව්වොත් වැරැද්දක් නෑ මම හිතන්නේ. දැන් කොහොමද? හොඳයිද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. මේවට ඉතින් කියන්න වෙන්නේ ගොන්පාට් කියලම තමයි.. ඒකෙන් උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ..

      ලොකු අමාරුවක් නෑ අයියේ.. කකුල තමයි ටිකක් රිදෙන්නේ..

      Delete
  22. //බැරිවෙලාවත් එහෙම සම්බන්දයක් තිබිලා ගෙදරට කියාගන්න බැරුව ඉන්නවා උනානම් එකෙක්වත් නෑ ඔහොම කේලමක්වත් කියන්න//

    මේක නම් සිරා ඇත්තක්....

    උඩින් ගිහිල්ලත් ඔයින් ගියා මදෑ.ඉක්මන් සුවය ලැබේවා මල්ලි...

    කතා නම් නැති කරන්න එපා මල්ලි.ඔයා අනික් පැත්තෙන් කතාව ලියනවානම් ඒ අවුල ලිහෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. වින්ටර් නිසා හොදට ජැකට් දාගෙන යනවයින් සීරීමක්වත් උනේ නෑ වාසනාවට.. ඒත් වැටුන පාරට කකුල තමයි අමාරු උනේ..

      නෑ නෑ අක්කේ කතා නවත්තන්නේ නෑ.. හම්මෝ කතා නැති උනා කියන්නේ මේ බ්ලොග් එක වැහුනා වගේනේ..

      Delete
  23. //බැරිවෙලාවත් එහෙම සම්බන්දයක් තිබිලා ගෙදරට කියාගන්න බැරුව ඉන්නවා උනානම් එකෙක්වත් නෑ ඔහොම කේලමක්වත් කියන්න//

    ආයෙත් අහලා. මේක දැක්කම හිනාත් ගියා.

    අයියෝ ඔයා වැටුන බව මම දන්නේ නෑ නේ මල්ලි. සොරි වෙන්න ඕන. මම මුණු පොත පැත්තේ යනවා හරිම අඩුයි.

    ආ...අර කතාව ගැන කියනවනම් ඒ හිස් තැන වෙන කතාවකින් පුරවන එකේ ලස්සනක් තියනවා. ඒක එතනම නොලියා වෙනම ලියන එක හොඳයි (ප්‍රශ්නේ එන්නේ ඒක නොලිව්වොත් නේ :). එක්ස්පෙරිමන්ට් නැතුව පුලුවන්ද අනේ. ඔයාගේ එක්ස්පෙරිමන්ට් වලට අපි සතුටින් සහභාගී වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ අක්කේ.. අක්කා දැක්කනම් මට කොහොමද කියලා අහන්නේ නැතුව යන්නේ නෑ කියලා මම දන්නවා..

      හිනා නෙමෙයි අක්කේ.. ඇත්ත ඕකම තමයි.. කියාගන්න බැරි දේවල් ගෙවල් වලට අඟවන්නවත් කවුරුවත් නෑ..

      ලියනවා ලියනවා අක්කේ.. ඒ කතාවෙම ඒ ගැන ලියද්දි තමයි මට හිතුනේ ඒ ගැන වෙනම ලියන්න ඕන කියලා.. ඒත් පුතා ගැන පොඩි ඉගියක් දෙන්න තිබුනා තමයි.. කමක් නෑ ඊළග පාර ඒ වැරැද්ද හදා ගමුකෝ..

      Delete
  24. යකෝ මුං මාර යළුවොනේ....මම එහෙමනං උන්ව උල තියනවා!!!

    ReplyDelete
    Replies
    1. මම නම් ලිස්ට් එක එවන්න රජතුමාට බැරිද නිවාඩු පාඩු වෙලාවක කට්ටියව උල තියන්න..

      Delete
    2. අනේ මගෙත් ටික දෙනෙක් ඉන්නවා. කරලා දෙන්නකෝ.අයෙත් රජ වෙනවා කරලා දුන්නොත්නම්.

      Delete
    3. ආයෙත් මොනා රජ වෙන්නද මේකා කොහොමත් රජ වෙලා ඉන්නේ..

      Delete
  25. මෙහෙම යාලුවෝ හිටියොත් නිදහසේ හිතන්නවත් නිදහසක් නැතිවෙයි නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. එතකොට ඔබ කියන්නත් වගේ අපිට ලියන්න වෙන්නේ කාටවත් ඕන දේ..

      Delete
  26. හපෝ එකබත් පත කාපු උන්ගෙනුත් මම නම් හොදට පාඩම් ඉගෙන ගෙන තියෙනව!:-/

    ReplyDelete
    Replies
    1. යාළුකම කියන්නේ විශ්වාසයට.. දුරස් උනත් කාලයත් එක්ක විශ්වාසය නැති වෙන එක තමයි දරන්නම අමාරු..

      Delete
  27. ඔයාගෙම පෝස්ට් එකේ කියලා තිබුනනේ පාරේ යන අය හැප්පෙන්නේ ඇයි කියලා..එහෙම එකක් දිහාවත් බලං ගිහිල්ලා ලයිට් කනුවකවත් ඇන්නද...කොහොම උනත් ඉක්මනින් සනීප වෙන්න...දොත්දෝරෙට කියලා හොඳ බෙහෙත් ටිකක් ගන්න....යාළුවෝ ගැන නං කථා කරලා වැඩක් නෑ...ඉන්නවා එකෙක් දෙකෙක් හොඳ...අනික් උන් මාළුවෝ වගේ තමා....එන්නේ කවද්ද අහන්නේ නෑ..එකෙක් කියනවා ටිකිලා බොන්න ආසයි අරං වරෙං කියලා.....හික් හික් ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බණ්ඩාර අයියේ.. ඒ අනතුරු වෙන්නේ සමර් එකටනේ.. තාම ඒ කාලේ ආවේ නෑ.. :)

      මටත් ඔය ටිකම තමයි.. ආවේ නැතත් බෝතලේ තියෙනවනම් අවුලක් නෑ.. මාත් එක්ක එකෙක් දැන් කතා කරන්නෙත් නෑ ගිය පාර ගිය වෙලේ බෝතලයක් දුන්නේ නෑ කියලා..

      Delete
  28. //බැරිවෙලාවත් එහෙම සම්බන්දයක් තිබිලා ගෙදරට කියාගන්න බැරුව ඉන්නවා උනානම් එකෙක්වත් නෑ ඔහොම කේලමක්වත් කියන්න//
    මේකනම් ඇත්තම තමයි.මමනම් හැබැයි යාලුවෙක්ට කියලම කියව ගත්තා..එත් පස්සේ ඔක්කොම අවුල් කෙරුවෙත් ඒ යාලුවමයි. යාලුවෝ අරහං..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉරිසියාවට වෙන්න ඇති ඔක්කොම අවුල් කරන්න ඇත්තේ.. එහෙම අයත් ඉන්නවා.. කලින් බොක්කෙන්ම උදවු කලාට පස්සේ හරියද්දි ඉරිසියා කරන..

      Delete
  29. යාලුවො නෑදෑයො . . .එකෙක්වත් විස්වාස නෑ මට . . . හිටපු පජාත යාලුවො ටික අතෑරලා බ්ලොග් කාරයො ආස්සරේ කරන්න පටංගත්ත . . . ඒ යාලුවො ඊටත් එහා . . . (බ්ලොග් කාරයො නං ඒවිදියෙ එවුං සෙට් උනේ එකෙක් දෙන්නෙක් විතරයි)

    ReplyDelete
    Replies
    1. අයියා දවසක් යාලුවන්ගෙන් මට්ටු උන කතාවක් බ්ලොග් එකේ ලිවුවා වගේ මට මතකයි.. බලාගෙන යද්දි කාටත් එක වගේ..

      Delete
  30. කන්නේ එක බත් පතකින් වූවද කන ඒවා යන්නේ බොක්කවල් කිහිපයකටය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඉස්සර ඉස්කෝලේ යද්දි වගේ නෙමෙයි.. කාලයත් එක්ක යද්දි ගොඩක් දෙනෙක් වෙනස් වෙලා..

      Delete
  31. //සමහර වෙලාවට අපි ලියන දේවල් වලට කිසිම පදනමක් නෑ//

    එහෙම කියන්න එපා යාළුවා, පදනමක් තියනවා හැමදේකටම. සමහර වෙලාවට අපි ඒ දේවල් අඳුනගන්නේ නෑ. කෙනෙක් ලියන -නිර්මාණාත්මක, වාර්තාමය නොවෙන- දේවලින් කියවෙන්නේ ඒ කෙනාගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු කියල හිතන එකනම් මෝඩකමක්. වටපිටාවේ දකින්න ලැබෙන ඉතා පොඩි සිද්ධියක් උනත් ලියන්න උත්තේජයක් වෙන්න පුළුවන්. අනිත් අතට නිර්මාණශීලි බව කියන්නේ අලුත් දෙයක් උත්පාදනයේ හැකියාවනේ. යාලුවෝ ගැන නම් කියන්න තියෙන්නේ හැම කෙනෙක් දිහාම උපේක්ෂාවෙන් බලන්න කියල තමයි.

    ඔබට ඉක්මන් සුව!!!

    ReplyDelete
    Replies
    1. හිරණ්‍ය හරි.. මම පදනමක් නෑ කිවුවේ අපේ ජීවිත වලට.. අපේ ජීවිතේට කොහෙත්ම සම්බන්දයක් නැති දේවල් ගැන අපි කොච්චරනම් බ්ලොග් වල ලියනවද? එහෙම ඒ හැමදෙයක්ම ජීවිත අත්දැකීම් කියලා හිතන්න ගත්තොත් මිනිස්සුන්ට කතා හැදෙන්නේ ඔහොම නෙමෙයි..

      Delete
  32. හපෝ අයියේ ලඟම ඉන්න යාළුවොන්ගෙන් බහුතරයක් ඔය වගේ තමා.. මටත් දැන් ඒවා නම් එපාම වෙලා.. ලඟම ඉන්න කෙනා අපිව තේරුම් ගන්නේ නැති වුනාම අනිත් අය ගැන කවර කථාද.. කොහොම වුනත් අයියට කියන්න තියෙන්නේ හැමෝ එක්කම ගානට ඉන්න කියලා තම.. කාට වුනත් ඕනෙවට වඩා දෙන්න ගියාම ඒ ගොල්ලෝ එනවා අපේ කරේ නගින්න.. මටත් මේ උදේම යාළුවෙක් එක්ක හොඳටම තරහ ගිහින් ඉන්නේ..

    ප.ලි- අයියේ කකුලේ අමාරුව මොකද දැන්.. මම දන්නේවත් නෑනේ අෆ්ෆා... බුකියේ හිටියේ නෑනේ දවස් දෙකක්.. :P

    ReplyDelete
    Replies
    1. කාත් එක්කද අප්පේ මේ කේන්ති ගිහින් ඉන්නේ??

      ලගම ඉන්න මනුස්සයා තමයි අපේ පිටට පිහියෙන් අනින්නේ අපිට නොදැනෙන්න.. ඒක දැනෙද්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි..

      ඔවුනේ බුකිය එක්ක තරහා වෙලා ගියානේ නේ.. කවද්ද ආයෙම එන්නේ??

      Delete
  33. හිහි යාළුවො කියන අය මට ඉන්නේ අතලොස්සක්. ඒ එයාලා නිසාම හිත රිදුනු නිසා තව මොකට හිත රිද්දවගන්නවද කියලා මම යාලුවන්ගෙන් ඈත් වෙලා ඉන්න නිසා..

    බ්ලොග් ලෝකයේත් සමහර යාළුවො (මම හිතන විදියට) ඉන්නවා යාලුවොද කියලත් සැකයි.සමහර යාළුවො ඉන්නවා මුලින් පන දෙන්න වගේ පස්සේ පස්සේ බාල්දි දාන අය.

    එත් සමහර අය ඉන්නවා දුකේදී සැපේදී හොයලා බලන අය. ඒ අය ගැන ඇත්තටම හරිම ආඩම්බරයක් දැනෙන්නේ හිතට,.

    ඉතින් ඔය ඔක්කොම ගැන හොඳ කල්පනාවෙන් හිතලා තමන් ගැන හිතන ඇත්තම යාළුවො කවුද කියලා අදුනගෙන ජිවත් උනොත් ලේසියි. නැත්තම් අපිම අතරමං වෙනකන් අපිවත් දන්නේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. අපිට මිනිස්සුන්ව කාලා බලන්න බෑනේ හොදද නරකද කියලා.. කාලයත් එක්ක තමා මිනිස්සු ගැන තේරුම් ගන්න වෙන්නේ..

      සමහරුනම් එන විදිහෙන්ම අදුන ගන්න පුළුවන් අවසානය කොහොමද කියලා.. ඒත් සමහරුන්ව නම් තේරුම් ගන්න හරි අමාරුයි.. එයාලට කාලයක් දෙද්දි අන්තිමේ අපිට වෙන්නේ අපිටම නරකක්..

      Delete
  34. දැන් පැය 5 කට කලින් මේක ඕපන් කලේ ....දැන් තමයි කිව්වේ.
    අනිත් මිනිස්සු හින්දා තරහා නොගෙන ඉන්න උත්සාහ කරන්න ..... තරහ ගත්තොත් ඒකෙ පාඩුව ලැබෙන්නේ අපිටමයි.

    ReplyDelete
    Replies
    1. පැය 5ක්ම ගියේ මොකෝ යාළුවා..

      ඒකනම් ඇත්ත.. කේන්තියෙන් අන්තිමේ පාඩු වෙන්නේ අපිටමයි කියලා මට දැන් නම් තේරිලා තියෙන්නේ..

      Delete
  35. ඉක්මන් සුවය පතනව ඔන්න හොඳේ.........යාළුවො ගැන කියන ඒවා මෙතන දැම්මොත් ඉඩ නැති වෙනව.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. එහෙනම් ඒවා ලියන්න එපා පිස්සෝ..

      Delete
  36. යාළුවො අඳුන ගන්න ගොඩක් අමාරුයි, ඒ අතරින් හොඳම යාළුවො කවුද කියල අඳුන ගන්න එක ඊටත් වැඩ අමාරුයි, අපි සමහර යාළුවො ගැන හිතන තරමටවත් යාළුවො අපි ගැන හිතන්නෙවත් නෑ. එහෙම කියල අපි උන්ට උදව් කරන එක නවත්තනවානම් එතන අපි මනුස්සයෙක් නෙමෙයි. අපි කරන දෙයක් අපට තියෙයි, උන් කරන දෙයක් උන්ට තියෙයි. දිනේෂ් අයියගේ වේදනාවන් සුවපත් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. සමහර වෙලාවට අපි කෙනෙක්ගේ ප්‍රශේණ්කට උදවු කරන තරමට තියා අපේ ප්‍රශ්ණයක් ගැන අහන්නවත් කවුරුවත් නැති වෙන වෙලාවල් තියෙනවා.. ඔව් වෙනදා තරම් නැතත් මම එයාලා එක්ක කතා කරනවා.. පුළුවන්නම් උදවුවක් කරනවා.. නැත්නම් අන්තිමේ මමයි නරක මිනිහා වෙන්නේ..

      Delete
  37. හ්ම්ම්හ්.. ජීවිතේ තේරුම්ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. "සිතූ දේ නොම වෙයි - නොසිතු දේ සිදුවෙයි" කියලා බුදු බණෙත් තියනවා නේ. තමන්ට කරදරයක් උන වෙලාවෙ ළග ඉන්න යාළුවො හැමදාමත් එහෙම ඉදීද කියන එක තමන්ට විශ්වාස නෑ. ඒත් කරන්න තියෙන්නෙ එක දෙයයි. තමන් අනුන්ට හොද යාළුවෙක් වෙන එක. අපි අද කරන කර්මය අපිට ලබන ආත්මෙදි හරි හොද යාළුවො ලබන්න මගපෙන්නයි. ඒත් ලබන ආත්මෙ නෙමෙයි අයියාට මේ ආත්මෙම හොද යාළුවො ලැ‍බිලා ඇති. මේ බ්ලොග් එකේ ම කොච්චර කට්ටිය ඉන්නවාද..

    මේ අයියේ පාර සහ ටයර් අතර ඝර්ශන සංගුණකෙ හොයාගත්තා නම් හරි‍‍‍... බයිසිකලේ බර කිරලා අයියාගෙත් බර කිරලා
    F=(meu)R...(1)
    F=ma.......(2)
    R=mg.......(3)
    දාලා ගානට යන්න පුළුවන් නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. අපි කෙනෙක්ට උදවු කලා කියලා ඒ කෙනාම අපිට යාළුවෙක් විදිහට ඕනම වෙලාවක උදවු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙන්න නරකයි.. එහෙම හිතන එකත් වැරදියි.. ඔව් මේ බ්ලොග් එක නිසා මම හොද මිතුදම් කීපයක්ම අදුනගෙන තියෙන්නේ..

      මලයා උඹ මාත් එක්ක තරහටද බං මේ සමීකරණ දැම්මේ?? මගේ බර නම් කිලෝ 70 විතර.. බයිසිකලෙත් 90 විතර වේවි.. ඔන්න ඕක දාලා ඔය කිවුව ගුණකේ හොයලා උත්තරේ කියපං බං..

      Delete
    2. m=(70+90)kg ---> m=160kg
      .......................................................
      දැං ඉතිං අයියාට වැස්ස දවසෙ පාරෙ ඝර්ශන සංගුණකෙත් හොයාගන්න ඕනෙ‍‍.
      ඒකට නම් ඉතිං ආයෙ වැටෙන්න වෙයි දෙතුන්පාරක් ගිහින්.. වැවෙන අඩුම ත්වරණෙ හොයාගත්තා නම් (meu) හොයාගන්න තිබ්බා. පස්සෙ ඉතිං ස්කන්ධෙ වැඩි වෙන තරමට (කාව හරි දාගෙන එහෙම යන්න ඕන නම් ;) ) යන්න පුළුවන් උපරිම වේගෙත් හොයාගන්න පුළුවන් නේ‍‍..

      තරහවකට නෙමේ අප්පා මං මේ කිවුවෙ අයියා අර කාව හරි හොයාගතත් දවසට ඕකෙ දාගෙන ගිහින් බිම වැටුනොත් හොදටම ගෙදරට මාට්ටුයි නේ.. වැටෙන්නැතුව ගිහාම ශේප්.. හි හි..

      Delete
    3. නොවැටි යන එක හොදයි වගේ මේක දිහා බලද්දි... :) තව දෙතුන් පාරක් වැටෙද්දි මාව ඉතුරු උනොත් හොදයි අන්තිම උත්තරේ බලන්න..

      Delete
  38. යාළුවො ගැන කියන්න ඕනි දේවල් හැමදෙයක්ම කියලා තියෙනවා.. අනිත් අයට ඕනි දෙයක් කියන්න දෙන්න.. ඒත් හදවතින් එන හඬට විතරක් ඇහුම්කන්දෙන්න..

    ඉක්මනින්ම හොඳවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මාත් දැන් හිතා ගත්තේ ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන් මට මොකෝ කියලා.. මගේ ඇගේ ගෑවෙන්නේ නෑනේ..

      දැන් හොදයි.. දැන් හොදයි.. :)

      Delete
  39. එහෙම තමා මල්ලි, කිට්ටුවෙන්ම ඉන්නවා වගේ පෙන්නගෙන ඉන්න අය කතා හැදුවම, අනික් මිනිස්සු ඒවා විශ්වාස කරන්නත් පෙළඹෙනවා. කොහොම වුණත්, මිත්‍ර වෙසින් ඉන්න අයගෙ හැටි තේරුම් ගත්තහම ඔවුන්ගෙන් ඈත් වෙන එක හොඳයි.
    ඉක්මණින් සුවය ලැබේවා කියලා පතනවා.

    මේ.... මුහුදු වෙරළක් ළඟද වැටුණෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ අන්න ඒකම තමයි තියෙන ප්‍රශ්ණේ.. ඒ මගේ හොදම යාළුවා කියලා දන්න නිසා සමහරු හිතන්නේ ඒක ඇත්ත කියලා.. ඉතින් ඒ වෙලාවට ඒක නිවැරදි කරන්න ටිකක් අමාරුයි..

      අනේ නෑ අක්කේ.. මුහුද කිට්ටුව නෙමෙයි.. මේ අපේ ගෙවල් ලගම වගේ..

      Delete
  40. මල්ලි මම දන්නේ නෑ උඹේ යාලුවෝ ගැන ඒත් දුර රටක හිටපු මටත් ඔය දේවල් ඔහොමම වෙලා තියනවා. ඒත් මම ඕව වෙයි කියල හිතල අදාළ තැන් වලට දන්වල තිබ්බේ කවුරු මොනවා කිව්වත් මාව විශ්වාස නං කලබල වෙන්න එපා කියල. ඒ දේවල් ඒ හැටියටම වෙලා තිබ්බා. අනේ මන්ද.. කලින් සුදානම් වෙච්ච හින්ද හොඳට ගියා. නැතිනම් අද මට එහෙත් නෑ මෙහෙත් නෑ,..

    ReplyDelete
  41. අමතක වුනා අහන්න. දැන් කොහොමද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්