Sunday, 19 February 2012

රට රස්සාව ( කෙටි කතාව )

හිම වැටෙන හීතල අතරින්ම ඉදිරියට ඇවිදන් ගියත් හීතල නිසාම හිරිවැටුන දෙපා නිසා ගමන ගොඩක් වෙහෙසකර වගේම වේදනාත්මක් උනා.. මාව පහුකරන් යන මිනිස්සූ මං දිහා ආපහු හැරිලා බැලුවේ පුදුමයෙන්.. හීතල නොදැනෙන්න යන්තම පොරවගත්ත කඹායට මේ හීතල නවත්තන්න බෑ.. නොනවත්වාම වැටෙන හිමත් නතර වෙන පාටක් නෑ.. ඒ නිසාම හිසට සෙවනකුත් මේ හීතලෙන් මිදෙන්න උණුසුමකුත් හොයාගෙන රිදුම් දෙන දෙපා වලට වාරු දෙමින් ඉදිරියට ඇදුනේ තව ටිකක් ඉතුරු වෙලා තිබුන හිතේ ශක්තියෙන්..

කොච්චර දුරක් මේ විදිහට ඇවිදන් ආවද කියලාවත් තේරුණේ නෑ.. ඈතින් පෙනුන පාළුවට ගිය ගොඩනැගිල්ල මගේ හිතට ගෙනාපු අස්වැසිල්ල කොච්චරද කියලා කියන්න බෑ.. මෙච්චර දුරක් අමාරුවෙන් ඇවිදන් ආපු දෙපා තව මොහොතකට වාරු කරගෙන කම්බි කපලා දාපු තිබුන වැටේ හිදසකින් අමාරුවෙන් රිංගගෙන පාළු උන ගොඩනැගිල්ලට ඇතුළු උනේ උණුසුමක් හොයාගෙන..

කාලයක් තිස්සේ අත ඇරලා දාලා තිබුන ගොඩනැගිල්ලේ විදුලියත් ක්‍රියා විරහිත වෙලා තිබුනා.. කැඩී බිදී ගිය දොර ජනෙල් අතරින් රුදුරු හීතල තවමත් ඇතුලට ආව නිසාම ගොඩනැගිල්ලේ ඈත කාමරයක් හොයාගෙන හෙමින් ඇවිදන් යද්දි අතරින් පතර තැනින් තැන වැටිලා තිබුන කොල කෑලි එකතු කර ගත්තේ කූණු කූඩයේ තිබිලා අර ගත්ත කඹායේ තිබුන ගිණි පෙට්ටියෙන් ඒවා අවුලවාගෙන පොඩි හරි උණුසුමක් හොයාගන්න..

හීතලට තදින්ම නිරාවරනය උන දෑගිලි හරි ආකාරව හොලවන්නවත් බැරි තරමටම හීතලෙන් ගල් වෙලා.. අමාරුවෙන් අවුලවාගත් ගිණි මැලයට අත් නිරාවරන කරගෙන ලබාගත්ත පුංචි උණුසුමෙන් ලැබුන සැනසීම වචනයෙන් කියන්න බැරි තරම්..එහෙමම බිත්තියේ මුල්ලකට හේත්තු උන මම ජීවිතේ මේ ටික කාලෙකට කොච්චර වෙනස් උනාදැයි කල්පනා කලේ අවුරුද්දක් ඇතුලත උන් සිදුවීම් අතර කිමිදෙමින්..

                                      ......................

“ ගෙදර ප්‍රශ්ණත් එන්න එන්නම වැඩි වෙනවා පුතේ.. තාම හරියන රස්සාවක් හම්බුනේ නැද්ද?”

“ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ අම්මේ.. දැන් කී තැනකටනම් ගියාද? කෝ එකකින්වත් වැඩක් උනාද..”

“එහෙම කියන්න එපා පුතේ..”

“ මම හිතාගෙන ඉන්නේ රට රස්සාවකට හරි යන්න අම්මේ..”

“ රට රස්සාවක්?”

“ ඔව් අම්මේ.. මට ජගත් කිවුවා  ලක්ෂ 10ක් දෙන්න පුළුවන් නම් ඉතාලි යන්න විදිහක් නම් තියෙනවා කියලා..”

“ අපි කොහෙන්ද පුතේ එච්චර සල්ලියක් හොයන්නේ?”

“ ඒක තමයි අම්මේ මාත් මේ කල්පනා කලේ.. මේ ගේයි ඉඩමයි වත්..”

“ අනේ පුතේ එහෙම කරලා කොහොමද? කවද හරි මේවා උඹට තමයි.. ඒත් බඩට නොකෑවත් කරදරයක් නැතුව වැටිලා ඉන්න තැනත් නැති කරගෙන කොහොමද?”

එදා එහෙම අම්මා අකමැති උනත් පස්සේ තීරණය වෙනස් කරන් මටත් නොකියාම ගේයි ඉඩමයි උකස් කරලා සල්ලි අරන් ඇවිත් මගේ අතට දෙද්දි හිතට සතුටක් දැනුනත් අම්මගේ ඇස් වල කඳුළු දකිද්දි පොඩි කණස්සල්ලක් හිතට නොදැනුනාම නෙමෙයි..

“ උඹට හොදක් වෙනවනම් මට ඕන දෙයක් පුතේ..”

අම්මාව වැලද ගත්ත මගේ දෑස් වලටත් කඳූළක් උනා ආවේ ඇගේ නිමක් නැති සෙනෙහස නිසාම.. පහුවදාම ජගත් හොයාගෙන ගිහින් ඒජන්සියට සල්ලි බද්දිදි හොරෙන් බෝට්ටුවක නැගලා යන්න වෙනවා කියලා දැනගෙන හිටියනම් මම කීයටවත් ඒ දේ කරන්නේ නෑ..

“ මේ සල්ලි වලින් කොහොමද ඔක්කොම නිතියට කරන්නේ.. ඔය ඕන තරම් මිනිස්සු අපි ගිහින් දැම්මේ.. මේක බයවෙන්න තරම් දෙයක් නෙමෙයි..”

ආපසු මුදල් ඉල්ලා පලක් නොවුන තැන අකමැත්තෙන් උනත් ගමනට යන්න එකග උනේ ගේ උකස ගැන හිතට දැනුන ලොකු බර නිසා.. මම වගේම තවත් එකතු උන විස්සක් විතර අතරේ තෙරපෙමින් බෝට්ටුවෙන් බෝට්ටුවට මාරු වෙවි ආව ගමන නීරසම උනේ අසනීප උන අයෙක්ව ඔවුන් හිතක් පපුවක් නැතුව මුහුදට තල්ලු කල මොහොතෙදි..

“ ලෙඩ්ඩු තියාගෙන මේ වැඩේ කරන්න බෑ.. අනිත් ඔක්කොම අසනීප උනොත් අපි වියදම් කරන සල්ලිත් අපරාදේ..”

මුදලුත්, ජීවිත අවදානමත් දෑතින් අරන් ආපු ගමනේ ඔවුන්ට විරුද්ධව කතා කරන්න අපිට පුළුවන් උනේ නෑ.. ඒ අවසාන ඉරණම ගැන බය උන නිසා.. බෝට්ටුවල ගබඩා කාමර අතරේ එකා දෙන්නා මැරි වැටෙද්දි නිරාහාරව ජීවිතේ ගැට ගහ ගත්ත අපි කීප දෙනෙක් ඒ අමිහිරි ගමන නිමා කරද්දි නන්නාදුනන රටක තනි උන අපි වෙනස්  වෙනස් ගමනාන්ත වල වෙන්වෙලා ගියේ අපේම ආරක්ෂාවට..

ඒත් කාත් කවුරුවත් නොදන්න රටක කොහේ යන්නද? අපිට හුරුපුරුදු මුහුණක් හමුවේවියි කියලා කියලා හිතාගෙන ඇවිදන් ආපු දුර කොච්චරද කියලා මට තේරුනේ නෑ..  ඒත් අවාසනාව එතරම්ම මා පස්සේ එලවෙගෙන ආවේ නෑ කියලා තේරුණේ ඔහුව අහම්බෙන් වගේ මුණ ගැහුන නිසා..

“ ඇයි ඔහොම අවදානමක් අරන් ආවේ? අඩු තරමේ දන්න කියන කෙනෙක් වත් ඉන්නවනම් ඒත් කමක් නෑ.. දැනට යමුකෝ මම නැවතිලා ඉන්න තැනට.. ඊට පස්සේ කරන දෙයක් ගැන කතා කරමු..”

අරමුණක් නැතුව ඇවිදගෙන ගිය ගමනෙදි ඒ ඇසුන වචන හිතට ගෙනාවේ ලොකු සැනසීමක්..

“ මමත් මෙතන මගේ තව යාළුවෙක්ක් එක්ක ඉන්නේ.. යාළුවා මේ ටිකේ ලංකාවට ගිය නිසා එයා එනකම් මෙහේ ඉන්න පුළුවන්.. ඒ අතරේ අපි බලමු මොකද කරන්නේ කියලා..”

මගේ හිතට දැනුනේ ලොකු අස්වැසිල්ලක්..

“ ආ ඒක නෙමෙයි.. හම්බුවෙන ඕනම රස්සාවක් කරන පුළුවන්නේ?”

“ පුළුවන්..”

“ හරි.. මම මොනව හරි හොයලා බලන්නම්කො..”

මාසයකට විතර පසුව කුස පිරෙන්න ඔහුගෙන් ලැබුන ඒ බත් කටට මම ජීවිතෙන්ම ණයගැති උනා.. නාදුනන උනත් මේ හැමදේම කරන්නේ අපේ කම නිසා නේදැයි මම කල්පනා කලා..

“ මමත් කරන්නේ රෑට හෝටලේක පිගන් හෝදන එක.. දවල් වෙලාවට පාරට ගිහින් කලර් ලයිට් වල වාහන නැවතුනාම ඒවයේ වීදුරු හෝදනවා.. දවල්ට මාත් එක්ක යමු.. මම කියල දෙන්නම් කරන විදිහ..”

රැකියාව කුමක් උනත් හැමදාම මෙහෙම ඉන්න බැරි නිසා මම ඔහුත් එක්ක හැමදාම දහවල් කාලයේ මාවත් දිගේ ඇවිදන් ගිහින් එදා දවස ගෙවාදාන්න පුළුවන් තරමේ ගානක් අතට ලැබෙද්දි හිතට දැනුනේ ලොකු සතුටක්.. 

ඒත් වැඩි දවසක් යන්න කලින් මේ හැමදේම වෙනස් උනේ කාමරයේ උන් අනිත් කෙනා ආයෙම ආපු නිසා.. ඔහුගේ අකමැත්ත නිසාම ඒ කාමරයෙන් පිට වෙද්දි උරුම උන මාවත දවස යන්තමින් ගෙවා ගන්න උදවු වෙද්දි රැය පහන් කරන්න පාළුවට ගිය මං මාවත් සරණ උනා..

                                      .....................

යාන්තම් පියවී ගෙන ගිය දෙනෙත් ආයෙම ඇහැරුනේ නිමීගෙන ගිණි මැලයේ උණුසුමට වඩා දැනුන සීතල නිසා.. ආයේ වතාවක් අතහැර දමා තිබුන ගොඩනැගිල්ල අතරේ ඇවිදන් ගිහින් එකතු කර ගත්ත කඩදාසි ගොඩ අරන් ආයෙම ආවත් ගිණි පෙට්ටියේ ඉතුරු වෙලා තිබුන එකම එක ගිණි කූර අවසාන වතාවට පත්තු කරගෙන ගිණි මැලය ලගින් වාඩි උනේ කුසට දැනෙමින් තිබුන බඩගින්නත් දරා ගනිමින්ම..

හැම මොහොතකම මතකයේ ඇදුන අම්මගේ කඳුළ මගේ දෑස් අද්දර මැවෙද්දි ඇයට උරුම කරලා ආපු දුක් කන්ද මතක් වෙන වාරයක් ගානේම හිතට දැනුනෙ මම කොච්චර කාලකණ්නිද කියන එක.. ඉදිරියේදි ඇයට උරුම වෙන වේදනාව මතක් වෙද්දි මම මටම සාප කර ගන්නවා..

මේ රැය අද පහන් කලත් හෙට මේ අරමුණක් නැති ගමනේ කෙලවරක් තියේවිද? යාන්තමින් නිවීගෙන යන ගිණි මැලයට ඉතුරු වෙලා තිබුන අන්තිම කොල කීපයත් දාලා බිත්තියට හේත්තු උනේ විඩාව නිසාම අඩවන් වෙමින් එන දෑස් වලට සහනයක් දෙන්න හිතාගෙන.. ඒත් හෙට මේ දෑස් අළුයම දකීවිද කියලා හිතේ කිසිම විස්වාසයක් නෑ.. දිගු සුසුමකින් පිට වෙලා ගිය ජීවිතේ තවත් එක් හුස්ම පොදින් කිය උනේ එකම එක කතාවක් විතරයි..

“ මට සමාවෙන්න අම්මේ..”




නිමි..





 

52 comments:

  1. අයියගෙ හැම කතාවක් අවසානයේම කියන්න කිසිම දෙයක් ඉතුරු කරන්නෑ....:(

    ReplyDelete
    Replies
    1. මේ අවසානයත් එක්ක ගොඩක් දේවල් හිතන්න පුළුවන් නංගී.. ඇත්තමයි..

      Delete
  2. ගොඩක් දෙනෙක් මේක හැබැහින්ම අත්විඳිනවා නේද මල්ලි... ඔයා අපූරුවට ලියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම අක්කේ.. මම ඕන තරම් මේ දේවල් දැකලා තියෙනවා..

      Delete
  3. ඔය වගේ ගමන් වලින් සමහරුන්ට හරියද්දි සමහරුන්ට වරදින්නේ ඇයි කියලා උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ! අපූරු අදහස!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ගොඩක් වෙලාවට වාසනාව තමයි ඉතින්.. ඒත් අන්තිමේ ජීවිතේ නැති වෙන අයගේ පවුල් වලට ඒක කොයි තරම් දුකක්ද?

      Delete
  4. මේ වගේ කතා අපේ කීදෙනෙක්ට නම් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. මම දැනුවත්ව කීප දෙනෙක්ට.. ඒත් ඒ අවදානම අරං ගොඩ දෙනෙක් තවමත් එන්න උත්සාහ කරනවනේ..

      Delete
  5. ඉතාලිය ... මැදපෙරදිග..... මෙහෙම උන්ට හරියන්නෑ ...........

    ReplyDelete
    Replies
    1. මෙහෙම උන්ට හරි යන්නේ නෑ කිවුවේ මේ විදිහට දුක් විදින මිනිස්සුන්ටද? මට මලයා අදහස් කල දේ තේරුණේ නෑ..

      Delete
    2. ඉහත පරිදි දුක් විඳින මිනිස්සුන්ට! සුදුසු කම් සහිතව නියම ක්‍රමේට යන අයව ඉහත කමෙන්ට් එකෙන් අාවරණය නොවේ! :)

      Delete
  6. ඇත්ත සීන් එකක් වගේ වර්ණයා.. සුපිරි !

    ReplyDelete
    Replies
    1. ඉදහිට ඇහෙන ඇත්තම සිදුවීම් තමයි මේ..

      Delete
  7. සංවේදී කතාවක්. ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  8. ගොඩක් අයට අන්තිමේදි කියවෙන වචන දෙකක් තමා මල්ලි අන්තිමේදි ලියලා තියෙන්නේ.
    සෑහෙන සංවේදි කතාවක් !!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. ගෙවල් දොරවල් උගස් තියලා මේ විදිහට රට යන මිනිස්සු හිතින් කොච්චර දුක් විදිනවද? ඒ අතරේ ලංකාවේ ඉන්න අය..

      Delete
  9. සැබෑ දුක් සීන් එකක් සහෝ.....එළට ලියලා....

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් ඉතින් අපේම මිනිස්සුනේ මේ තැන් තැන් වල අනුන්ගේ රටේ දුක් විදින්නේ කියලා දකිද්දි ඇත්තටම දැනෙන්නේ දුකක්..

      Delete
  10. මාරම සංවේදීයි .. ඇත්තටම මේ වගේ කතා කීයක් සිද්ද වෙන්න ඇතිද

    මට මචං ෆිල්ම් එක මතක් වුණා .

    ReplyDelete
    Replies
    1. ඔව් සදරුවෝ "මචං" ෆිල්ම් එකෙන් මේ ගැන හොදටම කියවෙනවා.. මම දන්න විදිහට ඒකේ අධ්‍යක්ෂ වරයාට ඕන උනේ මේ ගැන දැනුවත් කරන්න..

      Delete
  11. ඇත්ත දෙයක් දැනෙන්න ලියලා නියමයි අයියේ......
    පවු අසරණයෝ..............

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පව්.. ඒත් උදවු කරන්න කියලා කී දෙනෙක්ට උදවු කරන්නද?

      Delete
  12. කිසිම හව්හණක් නැතිව නාඳුනන රටක තනිවෙන ජීවිතයක ඇත්තම පැතිකඩ... සීතල ඉවසගන්න බැරිව, ලෙඩදුකකට බෙහෙත්, පිහිටක් වෙන්න කවුරුත් නැතිව දහස්ගණන් ජීවත්කරවන ඒ බලාපොරොත්තු කොයිතරම් නම් හොර රහසෙම මියැදෙනවද.. සමහර අයගෙ නමක් කියන්නවත් කවුරුත් දන්නෙ නැහැ.. ආර්ථික අපහසුකම් නිසාම මේ වගේ අකාලයේ ජීවිතයෙන් තවත් වන්දි නොගෙවන්න වර්තමාණයට වටින කතාවක්...

    උපරිමටම ලියලා තියෙනවා දිනේෂ්.. :)

    ReplyDelete
    Replies
    1. ඒ රහසේම මියැදෙන්නේ එක්කෙනෙක්ගේ බලාපොරොත්තුම නෙමෙයි.. ඔහුත් එක්ක තව කී දෙනෙක් බලාපොරොත්තු බොද කර ගන්නවද..

      Delete
  13. ඔන්න ඕකයි ඇත්ත තත්වය...

    ReplyDelete
    Replies
    1. කටුක යතාර්ථය..

      Delete
  14. මේ වගෙ ඇත්තම කතාවල් කිහිපයක් මාත් අහලා තියෙනවා... වැඩි හරියක් ඉතාලියෙදි සිද්ද වෙච්චි ඒවා.... අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් ආපහු ගෙදර ආවෙ කාලයක් බෝක්කුවක් යට ජීවත්වෙලා, අහම්බෙන් අපේ පැත්තෙම අන්කල් කෙනෙකුට මුණ ගැහිලා, ඒ මනුස්සයගෙ පිහිටෙන්.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට රජයෙනුත් එහෙම අනවසයෙන් ඉදලා අහු උනාම ආයෙම තමන්ගේ රටට යනවනවා. දඬුවම් දෙන්නේ නැතුව..

      Delete
  15. නියමයි අයියේ.. හිතන්න ගොඩාක් දේවල් තියෙනවා මේ කථාවේ.. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියේ..

      Delete
  16. අයියෝ සල්ලි... ලේසි පාර හැමතිස්සෙම යන්නෙ අපායට :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්.. හැමතිස්සෙම ලේසියෙන් සල්ලි හම්බකරන්න බෑ..

      Delete
  17. ඔය ජීවිතට ඇත්තටම ගතකරන කී දෙනෙක්නම් අද සමාජයේ ඉන්නවද...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉන්නවා මල්ලී.. ලංකාවේ අය විතරක්ම නෙමෙයි.. තව රටවල අයත් ඉන්නවා..

      Delete
  18. කටුකන ජීවිත...
    අපේ ජීවිතවල හැංගිලා වැටිච්ච් කඳුලු උඹෙ කතාව පුරාම ඉහිරිලා මචං.

    ReplyDelete
    Replies
    1. " කටුකන ජීවිත.."

      ඇත්තටම ඒ යෙදුම නම් ගොඩක් ගැලපෙනවා මෙතනට..

      Delete
  19. මචං කතාව් තමා මතක් වුනේ මල්ලි.මේ සෙල්ලම තාමත් සිද්ද වෙනවා නේද?? ඔයාටත් එහෙම අය හම්බ වෙලා ඇති නේද??

    ReplyDelete
    Replies
    1. දැන් නම් මේ සෙල්ලම ටිකක් අඩුයි අක්කේ.. මොකද නැවෙන් එන්න දැන් අමාරුයි.. ඒත් වෙන රටවලට ඇවිත් බෝඩර් පනින අය නම් ඕන තරම් ඉන්නවා.. අහු උනොත් ආපහු හරවලා යවනවා.. ඒත් බේරිලා ඉන්න අයත් ඉන්නවා.. හැබැයි එහෙම බේරිලා ඉන්න අයගේ ජීවිත මෙච්චර කටුක නෑ..

      Delete
  20. මිල්ල සොයා ඉතාලි යන ගොඩක් අයගෙ සුපුරුදු අත්දැකීමක්නෙ..අනේ මන්දා මේ වගේ දේවල් වලක්වන්න හොඳ ක්‍රමයක් තියෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ දැන් නම් ගොඩක් අඩුයි මේ දේවල්... ඉස්සරම බෝට්ටු ගනන් පොලිසියෙන් අල්ලන්නේ..

      Delete
  21. ඇස් මුලට කඳුළක් එකතු වුනා. මම පත්තරේක කියෙව්වා ඉතාලියේ අධික සීතලෙන් ලංකාවෙ කෙනෙක් මිය ගිහිල්ලා කියල එයත් මේ වගේම උන්හිටි තැන් අහිමි වුන කෙනෙක්. මට හිතෙනවා මේ එයාගේ කතාවදෝ කියල.

    ReplyDelete
    Replies
    1. කතාවේ නිමිත්තනම් ඒක තමයි.. නාදුනන කෙනෙක් ගැන මේ ලගදි කිවුවා.. පවු..

      Delete
  22. මේවා කොතෙක් වුනාත් ඒ වාට රැවටෙන පිරිස තවමත් ඉන්නවා.මැලේසියාව සින්ගපුර් යන්න ගිහිල්ලත් අතරමං වෙන කෙදෙනෙක් ඉන්නවද.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මාද්‍ය වලින් කොච්චර ඒ ගැන දැනුවත් කලත් ඒවා මායිම් නොකර ඒ මාර්ග වලින්ම යන්න හදන අයත් කොච්චර ඉන්නවද?

      Delete
  23. මේක ඇත්තම කතාවක්ද? අසනීප වෙන අයට ඇත්තටම එහෙම කරනවද?

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන විදිහට ඔව් අක්කේ.. මට එහෙම කිවුවේ ඔය විදිහට මෙහේ ආපු කෙනෙක්ම තමයි..

      Delete
  24. පිස්සු හැදෙනව නේ දිනේශ් අයිය....නියමෙට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්