Friday, 20 January 2012

කිරි අම්මලා (කෙටි කතාව)

අද උදෙන්ම අම්මයි තාත්තයි එක්ක ගෙදරින් පිටත් උනේ අපේ ගෙදර මීට කාලෙකට කලින් වැඩ කරපු සුමනා අම්මගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්න හිතාගෙන.. ඇය අපේ ගෙදර මෙහෙකාරියක් උනත් මගේ ජීවිතේ ගොඩක් වෙලාවන් වලදි මගේ ලගට වෙලා සැලකුවේ හරියට අපේ අම්මා වගේ.. අම්මගෙන් වෙන්න ඕන යුතුකම් පවා සමහර වෙලාවට ඇය ඉටුකරද්දි මගේ හිතට කේන්තියක් ආවත් ඇගේ මුහුණේ රැදුන අවිහිංසක සිනාව වචනයක්වත් නොකියන්න මාව ගොළු කලා..


“ මොකද සුදු බේබි අද මේ මූණ කළු කරගෙන?”

“ නෑ සුමනා අම්මේ.. මගේ ඔළුව ටිකක් කකියනවා..”

“ සුදු බේබි අද දවසම පාඩම් කලානේ.. ඒ නිසා වෙන්න ඇති.. ඉන්න මම ගමෙන් ගෙනාපු බෙහෙත් බෝතලේ අරන් එන්නම්..”

“ ඕවට අඩු වෙන්නේ නෑ සුමනා අම්මේ..”

“ බේබි හාන්සි වෙන්නකො.. මේ ටිකක් මම ඔළුවට දාලා අත ගාන්නම්.. ඊට පස්සේ බේබි ටිකක් නිදාගන්නකෝ.. බේබි ඇහැරෙද්දි ඔළුවේ කැක්කුමක් තිබුනද කියලවත් මතක තියෙන එකක් නෑ..”

දරුවන් නොසිටි ඇය මට හැමවිටම ආදරය කලේ ඇගේම දරුවෙක්ට මෙන්ය..  මාත් එක්ක නිදහසේ මොහොතක් කතා කරන්න අම්මාටවත් වෙලාවක් නැති උනාම හිතේ තියෙන ගොඩක් දේවල් කතා කරන්න මම ගියේ සුමනා අම්මා ලගට..

“ මේවා ලොකු නෝනලාට ආරංච් උනොත් මටත් එක්ක බැනුම් අහන්න වෙන්නේ..”

“ ඒ එයාලා දැනගත්තොත්ත්නේ.. කිවුවොත් ඉතින් සුමනා අම්ම තමයි..”

“ හ්ම්ම්.. දැං මොනවද ඔය ඉලන්දාරියා කරන්නේ?”

පසන්ගේ ආදරය මගේ හිතට ලං වෙද්දී ඒ දේවල් මට කියන්න ලග හිටියේ සුමනා අම්මා.. ආදරේ කරන්න තරම් වයසක් මට නෑ කියලා එදා සුමනා අම්මා මට දීපු අවවාද මම තේරුම් ගනිද්දි පසන් වගේම සුමනා අම්මත් මගෙන් ඈතකට යන්න ගිහින්..

සුන්දර වෙල්යායක් මැදින් දිවෙන මාවතකින් අපි ඇගේ මලගමට යද්දි ඉදහිට තැනින් තැන මට සුමනා අම්මාව මැවිලා පෙනුනේ මම ඇයට ගොඩාක් ආදරේ කල නිසා වෙන්න ඇති.. පුන්චිම කාලේ මාව තුරුළු කරන් සුරංගනා කතා කියපු සුමනා අම්මව මේ දකින්නේ අන්තිම වතාවට කියලා හිතෙද්දි ඇස් වලින් ගලාගෙන එන කඳුළු මට තව තවත් මතක් කලේ සුමනා අම්මගේ ආදරය..

“ සුදු බේබිට ඉක්මනට සනීප වේවි.. දැං නාඩා ඉන්නකෝ..”

“ නෑ සුමනා අම්මේ.. මට ඇහුනා දොස්තරලා අම්මා එක්ක කතා කරපු දේවල්..”

කවුරුවත් බලාපොරොත්තු නොවුන විදිහට හදිසියේම මම අසනීප වෙද්දි අම්මා තාත්තා වගේම සුමනා අම්මත් මං වෙනුවෙන් ගොඩක් කඳුළු හලනවා මම දැකලා තියෙනවා.. මං ලගදි කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් සුමනා අම්මගේ ඇස් වල හැම වෙලාවෙම කඳුළක් රැදිලා තිබුනා.. ඇයි සුමනා අම්මා මට මෙච්චරම ආදරේ කරන්නේ? වෙලාවකට මම කල්පනා කලා..

“ දුව ගොඩාක් පුංච් කාලේ ඉදන්ම වගේ සුමනා ඔයා එක්ක හිටියනේ.. ඉතින් අපි වගේම එයත් දුවට ආදරෙයි..”

මම අම්මගෙන් ඒ ප්‍රශ්ණය අහපු වෙලාවට අම්මා දුන්නේ ඒ වගේ උත්තරයක්.. ඇත්ත.. මට මතක ඇති කාලෙක ඉදන්ම මාත් එක්ක තනි නොතනියට සුමනා අම්මා හිටියා.. හරියට අපේ පවුලෙම කෙනෙක් වගේ..

මට ගොඩක්ම අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කල මුල් දවස් වල මගේ තනියට මාත් එක්ක නැවතුනේ සුමනා අම්මා.. මගේ හැම වැඩක්ම ඇය කලේ මහන්සියක් ගැන හිතන්නෙවත් නැතුව..

“  ඕවා ඔහොම තියන්න සුමනා අම්මේ.. මෙතන් වැඩ කරන කෙනෙක්ට කියලා ඔවා කරගන්න පුළුවන්..”

“ ඕන නෑ සුදු බේබි.. මේවා මම නොකල දේවල්ද..”

ඇය හැමවිටම හිනැහෙමින් දෙන ඒ උත්තරය තාමත් මේ සවන් වලට හොදට හුරුයි.. මාව ඔපරේශන් එකට ගන්න වෙලාව වෙනකන් මගේ අතින් අල්ලගෙන් මගේ ඔළුව අත ගාන ගමන් පිරිත් මුමුණපු සුමනා අම්මා හැම වෙලාවකම ප්‍රාර්ථනා කලේ මම වෙනදා වගේම හිනාවෙලා ඉන්නවා දකින එක..

“ බුදුසරණින් සුදු බේබිට කරදරයක් වෙන්නේ නෑ..”

..........................


“ දුවේ.. මේ ටිකට ඔයාට නින්දත් ගියාද .. නැගිටින්න.. අපි සුමනා අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ..”

ගමන් මහන්සිය නිසාත් අසනීපය තවමත් සුව වෙමින් පවතින් නිසාත් ගමන අතර තුරේම මගේ දෑස් පියවෙනවා දැනුනෙවත් නෑ.. අබලන්ව ගිය පුංච් ගෙයක් ඉදිරියේ ළෙලදුන් සුදු කොඩිය ඇය නික්ම යන්නට සූදානම් බව අපේ හිත් වලට කියා පෑවේය.. හෙමින් හෙමින් ගුරු පාර දිගේ නිවසට ඇතුළු වෙද්දි පුංචි ආලින්දයේ දෑස් පියාගෙන සිටි සුමනා අම්මා දකිත්ම මගේ දෑස් කඳුළින් තෙමි ගියේ මගේ අම්මා තරමටම ඇය මට සමීප නිසාය..


“ බේබිට දැන් සනීපයිනේ?”

“ ඔව් සුමනා අම්මේ..”

“ බේබි මට ටික දවසකට බේබිගේ ලගින් ඉන්න වෙන එකක් නෑ..”

“ අනේ ඒ ඇයි සුමනා අම්මේ?”

“ මගේ නෑදෑ වෙන දුවෙක් නැති වෙලා.. ඉතින් මම එහේ ගිහින් එන්න කියලා..”

“ සුමනා අම්මා මීට කලින් නෑදෑයෙක් ගැන කියලා නෑනේ..”

එදා ඇයට ඒකට දෙන්න හරි උත්තරයක් තිබුනේ නෑ.. ඈ වෙනදා වගේම කතා බහ කලත් ඒ ඇස් වල වෙනදා නොතිබුන අමුත්තක් මම දැක්කේ අයි කියන්න තාමත් මට තේරෙන්නේ නෑ.. එදා ඒ විදිහට නික්ම ගිය සුමනා අම්මව මම අද දකින්නේ මේ විදිහට.. අවුරුදු ගානක් මාව ආදරෙන් බලා ගත්ත ඇය අද නිසල වෙලා.. වාවගන්න බැරි දුකක් හදවතට දැනුන හින්දම මම ගෙයින් එළියට ආවේ කදූළු පුරවගත්ත දෑසින්..

මහා ගොඩක් කට්ටිය නොහිටියත් තැනින් තැන වාඩි වී උන් අය අතරේ මම මොහොතකට හිද ගත්තේ හිතේ වේදනාව මෙන්ම ගතේ වේදනාවද රිදුම් දුන් නිසාය.. ඒ අතරේ හිටි අයකුගේ කතාවක් මගේ සවනතේ වැටුනේ අහම්බයෙනි..

“ ඔය අර සුමනා වැඩ කල ගෙදර අසනීප උන කාටද මන්දා වකුගඩුවක් දීලානේ ජීවිතේ බේර ගන්න.. සුමනගේ වයසත් එක්ක ටික දවසක් යද්දි සුමනට ගොඩක් අමාරු උනාලු..”










 

54 comments:

  1. කතාව ලස්සනට ලියල තියෙනවා...
    මම හිතුවේ සුදු බේබි සුමන අම්මගේ ළමයෙක් කියල අන්තිමට කියවෙයි කියලා
    සුමන අම්මා ඒ නිසයි එයාට එච්චර ආදරේ කලේ කියල කතාව ඉවර වෙයි කියල හිතුනා
    නමුත් නොහිතපු අවසානයක් දීපු එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කතාව පටන් ගනිද්දි මගේ හිතට ආවෙත් ඒ වගේ අදහසක් උනත් ඒක පස්සේ වෙනස් කලා..

      Delete
  2. ලස්සන කතාව...දැන් ඉතින් සුදු බේබි මොනවා හිතාවිද එයා නිසයි සුමන මැරුනෙ බව දැනගත්තාම........

    ReplyDelete
    Replies
    1. මෙතනින් පස්සේ ගොඩක් දේවල් වෙන්න පුළුව.. හොද නරක දෙකම..

      Delete
  3. aththatama maka nam niyaai superb

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා

      Delete
  4. එළ එළ හිතාගන්න බැරි විදියටනේ කථාව ඉවර උනේ.....හරි බරි ගැහිලා කියෙව්වා ..නියමයි ඈ.......

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ කතාවේන් මම බලාපොරොත්තු උන වෙනස වෙලා තියෙනවා..

      Delete
  5. මිල කළ නොහැකි මනුස්සකම්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. සමහර විට ලේ නෑ කෙනෙවත් මෙහෙම කරන්නේ නෑ..

      Delete
  6. සංවේදී කතාවක්.ජීවිතයේ මංපෙතේ මේ වගේ සංවේදී තැන් අනන්තයි..ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් යාළුවා.. මේ වගේ මිනිස්සු අපිට ජීවිත ගමනෙදි මුණ ගැහෙනවා..

      Delete
  7. ඔව් මේ අවසානය සාර්ථකයි සහෝදරයා! කෙටි කතාවක මූලික සිද්ධි උලුප්පාවාලීම මැනවින් අන්තර්ගතයි.අනික සාමාන්‍ය ව්‍යවහාරයේ වචන භාවිතයද මනාව හසුරවල තියෙනවා...ඇත්තටම ලස්සන කතාවක්.මම එක දිගටම කියෙව්වා..දිගටම ලියන්න!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා.. මම ගොඩක් වෙලාවට සරළ වචන පාවිච්චි කරන්නයි උත්සාහ කරන්නේ..

      Delete
  8. හරිම ලස්සනයි...සංවේදීයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල් අක්කේ..

      Delete
  9. ලස්සන කතාව
    හිතුවේ නැති විදිහේ අවසානයක් තම්යි තිබුනේ.......

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු නොවෙන අවසානය ගොඩක් ලස්සනයි කියනවනේ..

      Delete
  10. ලස්සනට ලියල තියෙනව..සුමන අම්ම වගේ මනුස්සයො ඇත්ත ජීවිතේ හොයාගන්න කොච්චර අමාරුද.....

    ReplyDelete
    Replies
    1. සුමනා අම්මලා ඇත්ත ලෝකයේ විරල වෙන්න පුළුවන්.. ඒත් අතරින් පතර අපිට හමුවෙනවා..

      Delete
  11. විශ්මයජනක අවසානයක්..!!! තමන් වැඩ කරන ගෙදර සුදු බේබි වෙනුවෙන් අම්ම තාත්තාවත් නොකරන මේ වගේ පරිත්‍යාගයක් කරන්න පුළුවන් මෙහෙකරියොත් ඉන්නවද???

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉදන් තමන්ගේ දරුවෙක් වගේ හදා වඩා ගත්ත ළමයෙක් වෙනුවෙන් එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් මිනිස්සු අපි අතර ඉන්න පුළුවන්..

      Delete
  12. හැමදාම කතාව ලස්සනයි කියන නිසා මට හිතුනා කතාව ගැන මට හිතිච්ච දෙයක් කියන්න. කතාව ඇත්තටම ලස්සනයි මල්ලි.

    මේ කතාවේ මම දකින දෙයක් තමයි කතාව රූප රාමු දෙකක් හරහා විටින් විට ඒ රූප රාමු අපේ ඉදිරියේ මාරු කරනවා. එකක් තමයි සුමනා අම්මත් එක්ක බේබි සතුටින් ඉන්න හැටි. අනිත් එක තමයි සුමනා අම්මා නැති එකට බේබි දුකෙන් ඉන්න එක.

    චිටත්‍රපටියක වගේ නම් මේක ලේසියෙන්ම කරන පුලුවන්. ඒත් ලියමනක එහෙම කරන්න ටිකක් විතර අමාරුයි. ඒ අමාරු වැඩේ මල්ලි එලටම දීලා තියෙනවා !!!

    ReplyDelete
    Replies
    1. මම ඔය කොටස් දෙක වෙන් වෙන තැන් ගැන ගොඩක් හිතුවා.. කලින් එ කොටස් මාරු වෙන තැන වචනයෙන් ලිවුවා.. ඒත් එක හරි නැති නිසා පස්සේ මැකුවා.. අන්තිමේ මෙහෙම දැම්මා.. ඒක සාර්ථක වෙලා කියලා අයියගේ කමෙන්ට් එකෙන් මට තේරෙනවා..

      Delete
  13. ඇත්තටම ගොඩාක් ලස්සනයි...හිතට ගොඩාක් ලං වුනා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ..

      Delete
  14. අයියට මෙහෙම ලස්සන සංවේදී අදහස් කොහෙන් එනවද මංදා.. නොහිතපු විදියට , හරිම සංවේදී අවසානයක් කතාවට දීලා තියෙන්නෙ. මමත් හිතුවෙ සුදු බේබි සුමනා අම්මාගෙ ළමයෙක් කියලා කියාවි කියලා. ඒත් එහෙම වුනේ නෑනෙ.. ලස්සනයි අයියේ!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් නිකන් ඉන්න වෙලාවට එන අදහස්නේ හිතූ.. අවසානය මම බලාපොරොත්තු උන විදිහට ගොඩක් දෙනෙක් හිතලා තියෙන්නේ මම ලිවුවට වඩා වෙනස් පැත්තකින්.. ඒකට මම කැමතියි..

      Delete
  15. හිතාගන්නත් බැරි අවසානයක්...මටත් හිතුනෙ මුල්ම කමෙන්ට් එකේ තිබුන විදියට....:)

    ReplyDelete
  16. හිතාගන්නත් බැරි අවසානයක්...මටත් හිතුනෙ මුල්ම කමෙන්ට් එකේ විදියට...
    සාර්ථක නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිසපූ..

      Delete
  17. අම්මෝ මෙහෙම මිනිස්සු අද කාලේ නැහැ

    ReplyDelete
    Replies
    1. නෑ නංගී.. තාමත් මේ වගේ මිනිස්සු අපි අතරේ ඉතුරු වෙලා ඉන්නවා...

      Delete
  18. අතීතයත් වර්තමානයත් අතරට අපිව සියුම්ව සීරු මාරු කිරීමේ අපූරු හැකියාවක් ඔයාට තියනවා වර්ණා..

    ReplyDelete
    Replies
    1. මෙන්න දිනේෂ් අයියව කෙල්ලෙක් කරලා......:D

      Delete
    2. සබිත් මොකද මචං මාව කෙල්ලෙක් කලේ? කොහොම උනත් කමෙන්ට් එකට තෑන්ක්ස්...

      Delete
  19. කියන්න වචන නැති අවසානයක්!:(
    විශිෂ්ටයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා...

      Delete
  20. අනේ මන්දා මලේ මට නම් අද ඇත්තටම ඇඬුනා..
    ලස්සන කතාව

    වර්ණට ඉස්සරම තිබ්බ ඇඳුමට නම් මම කැමතියි මේ ඇඳුමට වඩා

    ReplyDelete
    Replies
    1. අපේ හිතට ගොඩක් දැනෙන සිදුවීම් වලදි ඇහැට කඳුළක් එනවා.. මගේ කතාවකින් අක්කට එහෙම දැනුනා කියන්නේ මම ලියන දේ සාර්ථකයි කියන එක..

      Delete
  21. අපොයි මටත් හිතුනේවත් නැති අවසානයක්. නියමයි දිනේෂ් අයියා.....!

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු උනේ වෙනස් විදිහක අවසානයක් කියලා මම දන්නවා.. අනික ඒ විදිහට කතා ලියවෙන නිසයි මම මෙහෙම කලේ..

      Delete
  22. ඇත්තටම කියන්න දෙයකක් නැහැ සුපිරියි.හැමෝටම වගේ මාත් හිතපු නැති විදියට ඉවර වුනේ..

    සිරාවට උඹනම් වැඩ්ඩේක්

    ReplyDelete
    Replies
    1. මම ඒ තරම්ම වැඩ්ඩෙක් නෙමෙයි අයියේ.. මම ලියන්න ආසයි..

      Delete
  23. මමත් හිතුවෙ එයා සුමනා අම්මගෙ දරුවෙක් කියලා අවසන් කරයි කියලා.. වෙනස් අවසානයක්.. මනුෂ්‍යත්වයේ වටිනාකම හිත්වල නිධන් කරන කෙටි කතාවක්.. ලස්සනයි ගොඩක්.. :)

    ReplyDelete
    Replies
    1. මනුස්සකම් තාම හිත් වල රැදුන මිනිස්සු අපි අතරේ ඉන්නවා කියන්නයි මම මේ කතව ලිවුවේ.. මම හිතනවා ඒ අදහස හැමෝගෙම හිත් වලට ගියා කියලා..

      Delete
  24. අනේ.. සුදු බේබිට සුමනම්මාගේ ආදරේ කොච්චරක්ද කියලා හිතද්දි ඇස් තෙමුනා..

    සංවේදී කතාවක් මල්ලි.. :)

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපිටත් අපේ අම්මා තාත්තා වගේම ආදරේ කරන අය මුණ ගැහෙනවා අක්කේ.. මට එහෙම ගුරුවරියක් මුණු ගැහුනා..

      Delete
  25. අයියා .. ඉතින් වෙනද වගේ තමයි .. සිරාවටම ලියලා තිනවා. අවසානයත් මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා..

      Delete
  26. උපරිමයි දිනේශ අයියේ...හැමදාම ඔයාගේ කතාව මගේ ඇහැට කඳුලක් ගේනවා....

    ReplyDelete
    Replies
    1. ඔයත් එක්ක බෑ නංගී.. හැමදාම මම ලියන දේවල් වලට අඬනවනේ..

      Delete
  27. හිතලා අඬන්නේ නැනේ අනේ.....ලියන විදියට ගොඩක් හිතට දැනෙනවා අයියේ...ඉතින් ඉබේම කඳුළු එනවා....හම්....:(

    ReplyDelete
  28. හිතලා අඬන්නේ නැ අනේ..හම්....:(

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්