Tuesday, 3 January 2012

වැස්ස


අද උදේම පටන් ගත්ත වැස්සෙම තෙමීගෙන ඔෆිස් එකට දුවන් එද්දී බාගෙට තෙමිලා.. මම විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් ඔෆිස් එකට ඇතුල් වෙන්නේ අදුම් වල තෙත මාත්තු කර කර.. මම මගේ සුපුරුදු  අසුනට  ගිහින් වැඩ පටන් ගන්න හැදුවත් වැහි වතුරෙන් තෙත් උන ඇදුම් මට මහා කරදරයක් වගේ දැනුනා..

“ මොකද මචං අද වැඩ පටන් ගන්න කල්පනාවක් නැද්ද?”

“ හ්ම්ම්.. නෑ  මචං.. මම ආවෙම භාගෙට තෙමිලා මෙහෙම වැඩ කරන්න පුළුවන්ද? ඒකයි මම මේ කල්පනා කලේ..”

“ උඹේ විතරක් නෙමෙයි බං අපිත් ඉන්නේ භාගෙට නාලා.. මේ ජරා වැස්ස.. පටන් ගන්නෙම අපි උදේට එන කොටයි හවසට යනකොටයි..”

මගේ මිතුරා වැස්සට බනිද්දි මගේ මුවගටත් ආවේ සිහින් සිනහවක්.. මේ මාසෙටම වැහි පොදක් වැටුන පළවෙනි දවස අද උනත් දින කිහිපයක්ම එක දිගට වැස්සේ තෙමුන අයෙකු මෙන් මගේ මිතුරා වැස්සට බනිද්දි මම නිහඩවම මගේ රාජකාරි පටන් ගන්න සූදානම් උනා..

හෝරාවක් දෙකක් විතර ගෙවී ගියත් වැස්සේනම් කිසිම අඩුවක් තිබුනේ නෑ.. භාගෙට තෙමුන ඇදුම් නිසාත් මහ වැස්සේ උවද ක්‍රියාත් මක වන වායු සමීකරණය නිසාත් ගතට සීතලක් දැනෙන්නට වූයෙන් මම කාර්‍යාලයේ පුංච් කුස්සිය දෙසට පිය මනින්නට වූයේ තේ කෝප්පයක මිහිර විදින්නට සිතාගෙනය.. මං වගේම තවත් බොහෝ දෙනෙක් තේ කොප්පයේ මිහිර සොයාගෙන එතැනට විත් කතාබහේ යෙදෙමින් සිටියේය..

හුදෙකලාවම තේ කෝප්පයක් පිළියෙල කර ගත් මා ඒ අසල වූ ජනේලය දෙසට ලං වූයේ ඒ වන විට අඩුත් නැති එතරම් තදත් නැති වැස්ස දෙස මොහොතක් බලා සිටින්නටය.. කලබලකාරි මාවත් ජලයෙන් පීරී ඇත.. වාහන වල රෝද පහරින් මුහුදු රළ මෙන් නැගෙන බිදෙන වතුර පාර අතරින් මිනිසුන් ඒ මේ අත ඇවිද යන්නේ වැස්සට හිතින් බනිමින් යැයි සිතන්නට මට වගේම ඕනෑම කෙනෙකුට පුළුවන..

පාරට එහා පැත්ත්න් වූ පාසල් ක්‍රීඩාංගනය දෙසට මගේ දෙනෙත් යොමු උනේ අහම්බෙනි.. තණ පිඩලි නොපෙනෙන තරමටම ජලයෙන් පිරුන බිම, ඒ මේ අත දුවන පුංච් එවුන් ටිකකි.. වැස්සේ ගානක්වත් ඔවුන්ට නැතුවා මෙන්ය.. සුදු කමිස දැනටමත් දුඹුරු පැහැ ගැන්වී ඇත.. සපත්තු දෙක නොපෙනන තරමටම කකුල් වතුරේ ගිලි ඇතත් ඒ ගැන කිසිම ගානක් නැතුව ඔවුන් පිට්ටනිය පුරා දිව යන අපූරුව මම මොහොතක් බලා සිටියේය..

ඒ පොඩි එවුන්ගේ ජීවිත කොයිතරම්නම් සරළද.. මම මොහොතකට කල්පනා කලා.. වැස්සේ ඇති ඒ අපූර්වතම මිහිර මම අන්තිමට විද ගත්තේ කවදාදැයි මම හිතින් මෙනෙහි කරන්නට විය.. පිළිතුරක් නැති හිස් අවකාෂය මාව නතර කලේ මම ඔවුන්ගේම වයසේ කාලයේ..

ඇත්ත ජීවිතේ එදා ඉදන් කොච්චරනම් වෙනස් වෙලාද.. පුංච් කාලේ ආදරේ කරපු වැස්සට බනින තරමටම අපේ ජීවිත වෙනස් වෙලා.. සංකීර්ණ වෙලා.. මහ වැස්සේ ආසාවෙන් තෙමෙන්න දග කරන්න පුංච් එවුන්ට කාගෙන්වත් තහනමක් නෑ.. ඒත් මේ වයසේ අපි හිත කොච්චර ආසා කලත් ඒ වැස්සේ  හිතේ හැටියට තෙමෙන්න බයයි.. ඒ අවට මිනිස්සු අපිට පිස්සුයි කියලා හිතාවියි කියන බය නිසා..

මේ ලෝකය ගැන නොහිතා වැස්සේ මිහිර විදගන්න මගේ හිත මටම බල කලත් අකමැත්තෙන් උනත් මම මගේ හිත නවත්ත ගත්තේ ඒ පුංච් එවුන්ගේ සතුට මගේ හිතින් විදින ගමන්.. කාලය ගෙවි නොගියානම්, ජීවිතේ මේ තරම් වෙනස් නොවුනනම් කියලා මට හිතුනත් ආයේ ඒ සොදුරු කාලයට යන්න බෑ කියලා මම දන්නවා..

තේ කෝප්පය නිමා උවත් මද වෙලාවක් එහි රැදුන මම ආයෙම මගේ සුපුරුදු අසුනට ආවේ හිත ළමා කාලයේ අතරමං කරලා.. රාජකාරි ලිපි ගොනු දහසකුත් තිබුනත් ඒ අතරින් සොයා ගත් හිස් කඩදාසියක මගේ හිතේ සිතුම් ගොන්නම දිග හැරියේ හිත කොච්චර ඉල්ලුවත් මට ආයෙම ඒ කාලයට යන්න බැරි නිසා වෙන්න ඇති..



වැටෙන පොද වැස්ස
බිදු බිදු ගෙනා සිසිළස
සිත අරන් ගියා මගෙන් දුර ඈත
මුතු වැස්සේ මතක අතර..

හිත හිරිවට්ටන සිසිල් සුළග
අවුළුවෙන් එහා දගකරන ළමයි කැල
අරන් ගියා මමත් පොඩි කාලෙට
පොද වැස්සේ තෙමි තෙමි නටන..

කොයි තරම් නම් සරළද
ජීවිතය ඒ දවස් වල
ලොකු හීන කිසිත් නෑ
හදවතේ සිර උන..

බැදීම් නෑ මේ ලෝකයට
තරගයක් නෑ කෙනෙක් පරදවා යන
සමනල් හිත එහෙ මෙහ පා උන
අද කොහිද හිත ඒ ලෙසම..

මිරිගුවක් අද අප සොයා දුවන
සැනසීමක් වේද දිනක අපේ හිතට
ඒ සොදුරු දවස් වලම හැමදාම
ඉන්න ඇත්නම් කොතරම් මිහිරිද..






ප.ලි - මේ කවි පෙල මම කලිනුත් දාලා තියෙනවා උනත් අද උදේ මම වැස්සේ තෙමිගෙන වැඩට යද්දි ආයෙම මේ සිතිවිල්ල හිතට නැගුන නිසයි මේ කතාවත් එක්ක දැම්මේ..


49 comments:

  1. වස්සනම් එපා වෙනවා..ඒත් රස්නේ දවස්වලදී ඊටත් වැඩ එපා වෙනවා..

    ReplyDelete
  2. ලස්සනයි...සේරටම වඩා පින්තුරේට මම ආසයි :)

    ReplyDelete
  3. @ අසරණයා : වෙලාවකට ඕන වෙලාවකට එපා වෙන දෙයක් මේ වැස්සනම්..

    ReplyDelete
  4. @ සයුරි : ඒ කියන්නේ කවියවත් කතාවවත් ලස්සන නැද්ද අක්කේ.. :(

    ReplyDelete
  5. @ දිනේෂ් මල්ලි : ඔය කිව්වේ කතාවක් :) ඒවා කොහොමත් ලස්සනයිනේ ඉතින්..

    ReplyDelete
  6. ඇත්ත දිනේෂ්.. පුංචි කාලේ පාසැල් කාලෙ තිබුණ ඒ සැහැල්ලු හිත්.. වගකීම් වලට යටවෙද්දි ඒ සැහැල්ලු කාලෙට දුවන්න හිතෙන වාර අනන්තයි.. හිතේ රැඳුණු ලස්සන කවියක්ම නොවූ සිතුවිල්ලක්.. :)

    හිහීහී.. ඕන් අපිටත් අද වැස්ස.. වැටුණ හිම ටිකත් දියවෙලා.. :(

    ReplyDelete
  7. වැස්සේ තෙමි තෙමි කොපි පොත් වල කොල කඩලා හදන බෝට්‍ටු යවපු හැටි මතක් උනා...

    ReplyDelete
  8. හ්ම්ම් ඔය දේ මටත් දහස්වාරයක් හිතිලා තියෙනවා අපේ ජීවිත දැන් කොච්චර සංකීර්ණ වෙලාද කියලා :-(

    ReplyDelete
  9. මම නම් අදටත් වහින වෙලාවට මිදුලට පැනලා ටිකක් තෙමෙනවා..පොඩි කාලෙ තිබ්බ ආසාවල් මොකටද යටපත් කරන් ඉන්නෙ කියල ?

    ReplyDelete
  10. කවියත් ලස්සනයි, කතාවත් ලස්සනයි, පින්තුරෙත් ලස්සනයි... මට මතක් උනා ඕ ලෙවල් කාලේ සිංහල පොතේ කවි පන්තියක් තිබුනා වැස්ස ගැන.පටන් ගන්නේ මෙහෙම
    "චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට අද හැලෙන.."

    ReplyDelete
  11. ඉස්සරම දවස් මතක් වුණා අයියගේ පොස්ට් එක දැකලා.. :(

    ReplyDelete
  12. මේ දවස්වල හොඳට සීතලයිනෙ...ඒ අස්සෙන් වැස්සම කොහොමද ?

    හැමදාම වගේ කවියට කතාව නියමයි මල්ලි

    ReplyDelete
  13. මමත් හරි ආසයි වැස්සට.. නිදාගන්න පුලුවන් නේ! ලස්සන කතාව මලයෝ!

    ReplyDelete
  14. මාත් හරි අාසයි වස්සට! හබැයි එ් වැස්ස වැටෙන්නෙ මම ගස් වැලි ගොඩාාාාක් තියන පිරිසිදු තැනක හිටියොත් විතරයි!

    ReplyDelete
  15. සහතික ඇත්ත.වැස්සෙ තෙමිල්ල කෙසේ වෙතත් තෙමෙන්න ආසායි කිව්වත් කින්ඩියට හිනා වෙලා ඇයි පොඩි එකෙක්ද කියලා අහන අයත් ඉන්නවානෙ.මම නම් ගෙදර යන ගමන් වැස්සොත් පොඩ්ඩක් කුඩේ අයින් කරලා තෙමෙනවා.හිකිස්... ගෙදර ගිහින් වේල ගන්න බැරියෑ.

    ReplyDelete
  16. ආණ්ඩුවෙ කන්තෝරුවක වෙන්නැති වැඩ කොරන්නෙ කියල හිතුන :-))

    ReplyDelete
  17. වැස්ස ගැන හරිම ලස්සනට ලියන්න පුළුවන්.. වහිද්දි හරි අමුතු හැඟීමක් හිතට එන්නෙ. කම්මැළිකමත් එනවා;) මාත් අඅසයි වහිනවට.. හැබැයි අකුණු ගගහා වහිනවට ආස නෑ,,

    ලස්සනයි අය්යේ...!!

    ReplyDelete
  18. මම ආසම පාරිසරික සං සිද්දිය වැස්ස...!! වැස්ස!! වැස්ස....!!

    වැහිodට පුංචි උන් වැස්සේ නටද්දි මටත් දුවන්නමයි හිත... අද අපිටන් මල් වැස්සක් ආවා.. පොඩි උන් මල් වැස්සේ සෙල්ලම් කරද්දි මම පන්තියේ දොර ලඟට වෙලා ඉරිසියාවේන් බලා හිටියා...:)

    ReplyDelete
  19. @ සයුරි : දන්නවා අක්කේ.. අපේ අක්කව පොඩ්ඩක් තරහා ගස්සන්නත් එක්කනේ එහෙම කිවුවේ.. ;)

    ReplyDelete
  20. @ නන්දු : ඇත්ත නන්දු.. ඒත් ජීවිතේ දැන් ආයෙම එන්න බැරි තැනකට ගිහින් නැවතිලා.. එතනින් එහාට මිසක් ආයෙම ආපහු එන්න බෑ.. ඒත් හිත මේ හැම තැනම අපේ අවසරයක් නැතුව දුවනවා..

    ReplyDelete
  21. @ ඔබ නොදුටු ලොවක් : ඔව් අයියේ.. ඒත් ඒ කාලේ ආයෙම එන්නේ නෑ..

    ReplyDelete
  22. @ ශානු : කාලය හැම දෙයක්ම හරි ඉක්මනින් වෙනස් කරනවා ශානු.. අපි කොච්චර අකමැති උනත්..

    ReplyDelete
  23. @ Weni : ඔව් අයියේ ඒකත් ඇත්ත.. තනියම ඉන්න වෙලාවකටනම් ඕනම දෙයක් කරත හැකි.. කවුරුවත් ඒකට දොස් කියන්නවත් සමච්චල් කරන්නවත් නෑනේ..

    ReplyDelete
  24. @ Shani : සිංහල පොතේ ඔහොම කවියක් තිබුනද? මට මතකත් නෑනේ.. කොහේද ඉතින් අපි ඉගෙන ගත්තේ නෑනේ ඒ දවස් වල.. :)

    ReplyDelete
  25. @ Ice (අයේෂා කුලතුංග) : ඒ මතක මගේ හිතෙත් හොල්මන් කර නිසයි මාත් මේක ලිවුවේ නංගී..

    ReplyDelete
  26. @ දිල් : ඒකනේන්නම්.. යුරෝපා රටවල සීත කාලය ලංකාවට ඇවිත් කියලා ආරංච් උනා.. ඒ අතරේ වැස්සොත් පොඩ්ඩක් ඒ වැස්සෙත් තෙමිලා බලන්නකො.. හරි අපුරු බවක් ඒකේ තියෙනවා..

    ReplyDelete
  27. @ ලහිරු : ඒකනම් ඇත්ත අයියේ.. වැස්ස දාට ඔළුවේ ඉදන් පොරවං නිදා ගන්නවා වගේ සනීපයක් තියෙනවද??

    ReplyDelete
  28. @ තනි අලියා : ඒ මොකෝ ඒ??

    ReplyDelete
  29. @ නිසුපා : ඔව් අක්කේ.. ඒ නිසානේ අපි ගොඩක් වෙලාවට වැස්සට ආසා උනත් තෙමෙන්න බය.. ඒ හැගීම විදින්න බැරි මිනිස්සු අපිට විහිළු කරයි කියලා අපි හිතනවා.. ගෙදර යන ගමන් තෙමිලා වැඩක් නෑ අක්කේ.. උදේම තෙමෙන්න ඕන.. :)

    ReplyDelete
  30. @ Observer : ඒ මොකද ඔබා මාමේ??

    ReplyDelete
  31. @ හිතුවක්කාරී : වැස්සත් එක්ක හිතට දැනෙන සීතල හරි අපූරුයි.. මේ ගැන මීට වඩා කියන්න බෑ.. නැත්නම් කට්ටිය මටත් පිස්සු කියලා හිතයි.. :)

    ReplyDelete
  32. @ සුදු හංසී : අපි ඒ ලෙවල් අන්තිම කාලේ නම් දවසක් වැස්සේ එළියට බැහැලා හොද පිස්සුවක් නැටුවා.. සුදු කලිසම් වලින් ගන්න දෙයක් නෑ.. හැබැයි එදා අපිට ගුරුවරු කවුරුවත් මුකුත් කිවුවේ නෑ..

    ReplyDelete
  33. ඒ සොදුරු දවස් වලම හැමදාම
    ඉන්න ඇත්නම් කොතරම් මිහිරිද..

    ඒකනම් ඇත්ත මල්ලී...

    ReplyDelete
  34. අනේ අම්මෝ...උදේම තෙමිලා දවසෙම ගැහි ගැහී තමා ඉන්න වෙන්නෙ..

    ReplyDelete
  35. අහසටයි අම්මටයි කිසි දවසක හොඳක් අහන්න හම්බවෙන්නෙ නෑ කියප කොහේද මන්ද තිබුණ වගේ මතකයි.

    ReplyDelete
  36. මමත් තාම ආසයි වැස්සට තෙමෙන්න..අකුනු ගහනකොට අහස පුරා දුවන විදුලි ඉරි දිහා බලන් ඉන්නත් ආසයි..හරිම ලස්සනට ලියල තියෙනවා..අනිවාර්යෙන්ම මේක කියවපු හැම කෙනෙක්ටම වැස්සට ආදරේ හිතුන එකම එක දවසක් හරි මතක් වෙන්න ඇති..

    හරිම ලස්සනයි.. :)

    ReplyDelete
  37. ඉස්කෝලේ කාලේ කොච්චර ආතල්ද කියලා හිතෙනවා.. අපිට නම් අව්ව වැස්ස දෙකම එකයි. වැස්සොත් සේල් නෑ. අව්ව වෙලාවට පාරක යන්න බෑ.

    ReplyDelete
  38. මාත් මාර ම ආසයි වැස්සට.
    වැස්සේ තෙමීගෙන ඇවිත් හොද දුම් දාන කෝපි කෝප්පයක් බොන්න තියෙනේ නම් ආයේ ඉතින් වෙන මොනවැයි !!

    ReplyDelete
  39. ඇත්තම කියනවා නම් මම නම් වැස්සට පොඩ්ඩක්වත් කැමති නෑ..!!

    ReplyDelete
  40. වැස්ස ඔනේ.. අදත් ඔය වැස්සේ තෙමුණා.. මරු පොටො ටික අයියේ.

    ReplyDelete
  41. @ මන්තරකාරී : ඒ උනත් අකමැත්තෙන් උනත් ඒ කාලයට සමු දෙන්න වෙනවනේ අක්කේ..

    ReplyDelete
  42. @ නිසුපා : ඉතින් හොදයිනේ අක්කේ.. එදාට වැඩ කරන්න ඕනත් නෑනේ.. කම්මැලි කමේ ඉන්න පුළුවන්..

    ReplyDelete
  43. @ පැණි දොඩම් : ඔව් ඔව් අයියේ මාත් එක අහලා තියෙනවා.. කවුරු කිවුවා උනත් කතාවනම් ඇත්ත..

    ReplyDelete
  44. @ සිත්රූ සිහින : ඔව් අක්කේ.. ඒ දිහා ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්.. කවදාවත්ම එපා වෙන්නේ නෑ.. වැස්සේ සොදුරු මතක අපි කා ගාවත් තියෙනවා..

    ReplyDelete
  45. @ මධුරංග : ඔය තියෙන්නේ අයියේ නියම අදහස්.. වැස්සේ හීතල හුලං වදින ගමන් බොන තේ කෝප්පයේ රස වින්ද කාලයක් මතක නෑ අයියේ..

    ReplyDelete
  46. @ රූ : වැස්සට කැමති නෑ.. ඒ මොකද අක්කේ ඒ?? කැමති නැති කෙනෙක් ගැම මම ඇහුවමයි..

    ReplyDelete
  47. @ රහස් පරීක්ෂකයා : එහෙනම් මල්ලි ලක් කාරයා...

    ReplyDelete
  48. @ රෙප් මහත්තයා : අපිටත් ඒ දවස් වල ඔය දෙකම එකයි.. ඒත් වැස්සට වැඩිය කැමතියි මොකද වැඩිය ගුරුවරු එන්නේ නෑනේ එදාට.. :)

    ReplyDelete
  49. පුංචි දවස්නම් කොච්චර සුන්දරද....මේ ලිපිය මාව ආයෙත් අතීතයට අරන්ගියා.ලස්සන ලිපියක්....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්