Monday, 31 October 2011

අපි අපේමද : ප්‍රදීපාගේ හදවතින් 1


ආදරේ කියන්නේ මගේ ජීවිතේම කියලා හිතාගෙන දවස් ගෙවලා දාපු කාලයක් මගේ ජීවිතේ තිබුනා.. හරිම සැහැල්ලුවෙන්.. කිසිම වගකීමක් ගන්න මට ඕන උනේ නෑ.. දවසින් දවස අළුත් වෙමින් ඒ වෙනසට මුහුණ දෙමින් ඉදිරියට යන්න විතමයි මට ඕන උනේ.. ඒත් අපේ ජීවිත වෙනස් වෙන්නේ හරිම ඉක්මනට.. වෙනසට මූණ දෙන්න මං කොච්චර කැමති උනත් මේ වෙනසට මම කොහොම මුහුණ දෙන්නද කියලා මට කාලයක් යනකම්ම තේරුම් ගන්න බැරි උනා..

සමීර මං නොහිතූ වෙලාවක මගෙන් ඈත් වෙලා යන්න ගියාම මට මං ගැනම දැනුනේ මහා දුකක් වගේම  කලකිරීමක්.. ඊට හරියටම සතියකට පස්සේ වෙනකෙනෙක් කසාද බඳින්න උන එක ජීවිතේ අමිහිරිම අත්දැකීමක් කියලයි මං හිතුවේ.. අවුරුදු 3ක අපේ විවාහ ජීවිතේ අඩ දබර නැතුව නිදහසේ ගෙවිලා ගියා.. ඒත් ආදරයක්?? අපි අතරේ ආදරයක් ඇතිවෙයිද මගේ හිත මගෙන් හැමදාම අහන එකම එක ප්‍රශ්ණය.. සමීරගේ මතකය පැත්තකට විසී කරලා මං ඔහු ගැන කොයිතරම් හිතුවත් සමීරගෙන් මට ලැබුන ආදරය ඔහුගෙන් නොලැබෙන කොට මේ ජීවිතේ හැමදාම වගේ මට මාවම අසරණ කලා..

ඔහුගේ තැම්පත් බවට නිහඩ බවට වගේම සරළ කමට මගේ හිත ඉබේම වගේ ඔහු ගැන හිතන්න පටන් ගත්තත් අපි ලංවෙන්න උත්සාහ කරන හැම මොහොතකම ඔහුගේ දෙනෙත් බිම බලාගන්නේ ඇයි කියලා මට තාමත් තේරෙන්නේනෑ.. ඒ නිහඩ කම මාවත් නිහඩ කරන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නෑ..

අද මේ මොහොතේ උව මා ලගින්ම වාඩි වි උන්නද කිසිවක් නොකියාම ඉන්නා ඔහුගෙන් අපි යන්නේ කොහේදැයි අසන්නට මට කොතරම් උවමනා උවත් අද ඒ දෑස් වල වෙනදාට වඩා අමුත්තක් මට පේන්නේ ඇයි කියන්න මං දන්නේ නෑ.. ඒත් ඔහුගේ හිත වෙනතක තියෙනවා කියලා විතරක් මට තේරුනා.. ගාළු පාර දිගේ අපි ඉද්දිරියට යද්දි මං මුහුදුතෙර දිහා බලාගෙන කල්පනා කලේ ඇත්තෙන්ම අපිට අපේම ආදරකතාවක් ගොඩනගන්න බැරිද කියන එක.. සමීර ගැන මගේ අතීතය මට ඔහුත් එක්ක කියන්න ඕනෑ උනත් ඔහු ඊට කොහොම ප්‍රතිචාර දක්වයිද කියල නොදන්න නිසා මං ඒ සිතුවිල්ල හැම මොහොතකම යටපත් කරගත්තා..

ඔහු වාහනය ගාළු කොටුව ලගින් නතර කරනකම්ම මං හිටියේ මගේ කල්පනා ලෝකේ සැරිසරමින්.. ඇයි අපි මෙහෙ ආවේ කියලා කිසිදෙයක් නොදැන හිටපු මම ඔහු දිහා බැළුවේ ඊට උත්තරයක් ලැබෙයි කියලා හිතාගෙන.. ඒත් මං වෙනදා නොදැක්ක වේදනාවක් වගේම බිම නොවැටි රැදුන  කඳුළු බිදුවක් දෑස් අද්දර දැක්කම මං ආයෙම මගේ කල්පනා ලෝකේ කිමිදුනේ නොදැනුවත්වම වගේ..

හිතේ වෙනදා නොතිබුන අමුතු තිගැස්සමක් අද මට ඔහුගේ ලගදී දැනුනා.. කොටු පවුර දිගේ ඔහුගේ අතේ එල්ලිලා ඔහුගේ උරහිසට හේත්තුවෙලා යන්න ඇත්නම් කියලා මට හිතුනා.. ඒත් අපි අතර නිතරම රැදුන දුර මගේ ඒ පැතුම් හීනයක්ම පමණක් කලා..

දහසක් පෙම්වතුන් අතරේ නෙත් යොමමින් මං ඔවුන් තුලින් අපිව දකින්න ගොඩක් උත්සාහ කලා.. ඒත් මං අසාර්ථක උනා.. ඒ අනිත් හැම කෙනෙක්ටම වඩා වෙනස් පෞර්ෂයක් මං ඔහුගෙන් දැක්ක නිසා වෙන්න ඇති.. ඔහු දෙසත් හමුවෙන පෙම්වතුන් දෙසත් නෙත් යොමමින් ආපු මගේ දෑස් අද්දර එක් මොහොතක මැවුනේ මං ඒ වෙලේ කොහොමවත්ම බලාපොරොත්තු නොවුන දෙයක්..

“ සමීර..”

එහෙමම නතර උන මගේ දෙතොල් අතරින් ඉබේම වගේ ඔහුගේ නම කියවෙත්ම මා ලගින්ම නැවතුන ඔහු මං දිහා බැළුවේ පුදුමයෙන් වගේ.. මගේ දෑස් දිහා මොහොතක් බලා ඉන් ඔහු අසල සිටි අය දිහාවට නෙත් යොමු කලත් සමීරව ඔහු නොහදුනන නිසා මගේ හිත මොහොතකට සැනසුනේය..

ඒත් අවාසනාවකට මෙන් මාව දුර ඉදන්  අදුන ගත්ත සමීර අපි සිටි දිහාවට පිය නගත්ම වේගයෙන් ගැහුන මගේ හිතට දැනුනේ කියාගන්න බැරි අමුතුම හැගීමක්.. මම හෙමින් ඔහු වෙතට ලං උනේ මම එවෙලේ තනියම නෙමෙයි ඉන්නේ බව සමීරට හගවන්න හිතාගෙන.. ඒත් නොනැවතී ඉදිරියටම ආපු සමීර නැවතුනේ අපි දෙන්නා ලග..

“ කොහොමද ප්‍රදීපා?”

සමීර දුර දිග නොහිතාම මාත් එක්ක කතාකරද්දි මගේ හිතට දැනුනේ ලොකු බයක්.. කිසිම උත්තරයක් නොදුන් මම බිම බලාගත්තේ ඔහුගේ දෑස් මා දෙසට යොමු වෙනවත් එක්කම..


Sunday, 30 October 2011

පෙර දිනයක මා පෙම්කල යුවතිය


කාලයත් එක්ක අපේ ජීවිත කොච්චරනම් වෙනස් වෙනවද.. ඊයෙට වඩා අද ගොඩක් වෙනස්.. හෙට.. ඊටත් වඩා වෙනස්.. ජීවිතය ගලාගෙන යනවයි කිවුවට මට නම් හිතෙන්න්නේ එහෙම නෙමෙයි කියලා.. ඒ අපේ ජීවිත වලින් ඈතට ගිය අය ආයෙම අපේ ජීවිත ලගට හෙමින් එන නිසා.. ජීවිතේ ඉදිරියට ගලාගෙන යනවනම් පහු උන මතක ඇයි අපි ලගට ආයෙම එන්නේ??

ඊයේ මගේ සුපුරුදු නිවාඩු දවස.. මගේ ජීවිතේ සෙනසුරාදා ඉරිදා වෙන්වෙන්නේ මගේ යාළුවන් වෙනුවෙන්.. ස්කයිප් එකේ චැට් එකකට හරි දුරකථන කතාබහකට හරි තම්යි මගේ මේ දවස්  දෙකේ වැඩි කාලයක් යොමු වෙන්නේ..ඉතින් මම ඊයෙත් මේ වගේම මගේ යාළුවෙන් එක්ක කතා කර කර ඉද්දි අපේ කතබහ මතකය දිගේ ඇදී ගියේ අපේ පාසල් කාලයට.. ඔය කතාබහ අතරේ එකපාරම..

“ මචං.. මට තාරුකාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හම්බුනානේ..”

“ තාරුකාගේ. ඒ කොහෙන්ද බං?”

“ නෑ බං මමත් ඉතින් අපේ ඉස්ස්කෝලේ කාලේ පරණ එවුන්ගේ නම් ගහලා හොයනවා නිකන් ඉන්න වෙලාවට..”

“ මට එවපංකෝ ලින්ක් එක.. දකින්නත් ආසයි දැන් කෙල්ලව..”

“ ඒ උනාට උඹ ඒකිව ඇඩ් කරගන්න එපා..”

“ ඒ මොකද?”

“ උඹම බලපන්කො..”


එහෙම කියපු මගේ යාළුවා මට ලින්ක් එක එවුවා.. දැන් හැමෝටම මේ තාරුකා කවුද කියන එක ප්‍රශ්ණයක්නේ?? හරි මං කියන්නම්..

තාරුකා මගේ පළවෙනි ආදරය කිවුවොත් හරි.. J  එතකොට මං හිටියේ ඉස්කෝලේ 10 වසරේ.. ඇය ගියේ ප්‍රසිද්ධ භාලිකාවකට.. බස් හෝල්ට් එකේ ඉද්දි කොල්ලො සෙට් එකත් එක්ක විහිළු තහළු කරපු මගේ හිතේ තාරුකා ගැන කැමැත්තක් ඇති උනේ අපි එකම විද්‍යාව පන්තියට යන්න පටන් ගත්ත දා ඉදන්.. විද්‍යාව මට අරහන්ම විදයක් උනාට මම හැමදාම පන්ති ගියා තාරුකා ඉන්න නිසා.. ඉතින් කොහොම හරි අමාරුවෙන් වචන් ගැට ගහලා කියාගත්ත ආදරේටත් සති දෙකක් විතර ඇතුලේ කැමැත්තත් ලැබුනා..

ඒ දවස් වල මගේ හිත දැන් වගේ නෙමෙයි.. එක තැනක තියෙන්නේ බොහෝම ටික කාලයක් විතරයි.. ඉතින් මේ ආදර කතාවටත් උනේ ඒකම තමයි.. වෙන් වෙන්න හේතු උනේ මොනවද කියලනම් මට දැන් මතක නෑ.. මගේ යාළුවගේ මතකේ හැටියට අපි යාළුවෙලා හිටියේ මාස 7යිලු.. මට නම් ඒකත් මතක නෑ..

ඉතින් ඔහොම අළුත් උන පරණ මතකයන් දිගේ මං තාරුකාගේ ප්‍රොෆයිල් එකට ගියා.. බාදක වැට කඩුළු මුකුත් දාලා නොතිබුන නිසා පින්තුර ඔක්කොම බලන්න පුළුවන් කමක් තිබුනා.. ඉතින් මමත් ඉස්සෙල්ලම කලේ ෆොටොස් ටික බලන්න ගත්ත එක.. ඉස්සෙල්ලම බැළුවේ  “ me only” කියලා දාලා තිබුන පින්තුර ටික.. කෙල්ලනම් දැන් ඉස්සරටත් වඩා ලස්සනයි.. ඉතින් ඔහොම පින්තුර බලාගෙන යද්දි තිබුනා “ my family” කියලා ඇල්බම් එකක්.. ඔය ඇල්බම් එක ඇරපු ගමන් තමයි මගේ ඇස් උඩ ගියේ..

ඒ තාරුකා එයාගේ සැමියා හා පුන්චි පුතා එක්ක ගත්ත පින්තූර ටික දැක්කම.. ඔය අතරේ ඉතින් මගේ යාළුවා දැන් බිම පෙරලි පෙරලී හිනාවෙනවා “ මං කිව්වනේ උඹට බලන්න එපා කියලා” කියලා.. මොනවා කරන්නද මටත් දැන් වැඩේට ටිකක් හිනා.. බලන්න ගත්ත එකේ ඔක්කොම පින්තූර ටික බලලම තමයි මම ඒ ප්‍රොෆයිල් එක ක්ලොස් කලේ.. රික්වෙස්ට් කරන්න ගියේ නෑ.. තාම සින්ගල් හිටියනම් රික්වෙස්ට් එකක් කරන්නවත් තිබුනා..

පස්සේ කල්පනා කරද්දි අපේ ජීවිතේ එකම තැනමද කියලත් හිතුනා.. අපි ඇසුරු කරපු අය අද ජීවිතෙන් කොච්චර ඉස්සරහට ගිහින්ද.. හැබැයි හොද වෙලාවට අපේ ඒ සම්බන්දේ මාස 7කින් නැවතුනේ.. නැත්නම් ඒ ෆොටො වල අර හාදයා වෙනුවට????????


නුඹ නික්ම ගිහින් මගේ ලොවින්
දිගු කලක් ගතවී මතක අතරින්
තවමත් නුඹ හිනැහේද පෙරමෙන්
සෙවිම මම ඔබට රහසින්..

මගේ මිතුරෙක් හමුවී දිනෙක මම
ඇසිමි නුඹේ තතු දැන ගන්නට
පුංචි පුතෙකුගේ මවකියි ඔබ අද
හිනැහෙමින් පැවසීය ඔහු මට..

මවකි ඔබ අද වගකීම් දහසක
යන්නට පතන ජීවිතේ බොහො දුර
නුඹට හැකිය ජයගන්නට ඒ මග
පතමි මම නුඹෙන් දුර ඈතක හිද..


Friday, 28 October 2011

වෙඩින් එක අතරේ තවත් වෙඩිමක්


දැන් මේ මාතෘකාව දැක්ක ගමන් මේ කතාවට අදාල කෙනා මට සෑහෙන්න බනින්න පටන් ගන්නවා.. ඒකට කමක් නෑ.. මොකද මම මේ කියන්න යන්නේ අපේ මලයට වෙච්ච සිද්දියක්.. අයියගෙන් මල්ලිට පොඩි මඩ පාරක්..

මේක උනේ අපේ අක්කගේ වෙඩින් එක අතරතුරේදි.. එදා වෙඩින් එකට ඇවිත් හිටපු කෙනෙක් හා අපේ මලයා අතර ඇති උන සම්බන්දයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.. ඒක ප්‍රේම සම්බන්දයක්ද නැත්නම් වෙනත් සම්බන්දයක්ද කියලා කියන්නනම් මම දන්නේ නෑ.. මොකද අපේ මලයට මේ වෙනකොටත් පෙම්වතියක් ඉන්න නිසා..

මේ ගෑණු ළමයා ඇවිත් අපේ අක්කට වෙඩින් එකට අන්දපු සැලොන් එකේ වැඩ කරන කෙනෙක්.. මමත් මේ කෙනාව ටිකක් විතර දන්නවා.. අපේ දහම් පාසලටම ආවා කියලා මට මතකයි..  අක්කා එක්ක සැලුන් එකට ගිය වෙලේ මම මේ කවුද කියලා අදුන ගත්තත් මං කවුද කියලා එයා අදුන ගෙන තිබුනේ නෑ.. අපේ අක්කත් එක්ක කියලා තිබුනලු ඒ අයියව මට හොදට මතකයි කියලා.. හොද වෙලාවට මගේ පෙර වැරදි නොතිබුන නිසා ඒ කතාව වැඩිය දුර ගිහින් තිබුනේ නෑ..

ඉතින් කොහොම හරි වෙඩින් එක දවසේ අපේ මලයයි යාළුවොයි හිටපු මේසෙට ඉස්සරහ මේසේ තමයි මේ කෙනත් වාඩි වෙලා ඉදලා තියෙන්නේ.. මටත් ඉතින් එදා වැඩ ගොඩයිනේ.. ඔය අතරේ මම දැක්කා මේකා යාළුවෝ සෙට් එකත් එක්ක අර කෙල්ලට විහිළු කර කර ඉන්නවා.. ඒත් ඉතින් ඕක ගැන ඇහැ ගහගෙන ඉන්න වෙලාවක් මට උනේ නෑ..

පස්සේ අපි දවල් කෑමට වාඩි උන වෙලාවේ මට අනිත් යාළුවෙක් කිව්වා මල්ලිට කෙල්ලෙක් සෙට් උනානේ කියලා.. කකා හිටපු එකත් එක පාරටම මට හිර උනේ මේකට දැනටමත් කෙල්ලෙක් ඉන්න නිසා.. කොහොම හරි ඉතින් විස්තර අහද්දි අපේ මලයා ඒ කෙල්ලගේ ෆෝන් නම්බර් එක පවා ඉල්ලගෙන.. ඒ ටිකට මූ ගිය දුරක්..

කොහොමහරි එදා හවසම අපි හෝල් එකෙන් යන්නත් කලින්ම මලයට ඒ කෙල්ලගෙන් කෝල් එකක් ඇවිත්.. ඒත් අර කලින් දුන්න නම්බරෙන් නෙමෙයි.. ඩුවල් සිම් ෆෝන් එකකින් කලබලේට අරන් තියෙන්නේ අනිත් නොම්බරෙන්.. අපිටත් වැඩේට හිනා..

හොදම වැඩේ වෙන්නේ ඊට පස්සේ.. අක්කගේ හෝම් කමින් එකට අන්දන්නත් මේ කට්ටිය හොටෙල් එකට ගිය වෙලේ මේ කෙල්ල අපේ අක්කගෙන්ම මලයගේ විස්තර කියලා අහලා.. අපේ මෑන් කොච්චර කට්ටද කියනවනම් කියලා තියෙන්නේ අපේ යාළුවෙක් කියලා.. එක අතකට ඒකත් හොදයි.. අපේ අක්කටත් වැඩේ තේරුන නිසා මුකුත්ම කියන්න ගිහින් නෑ.. හෝම් කමින් එකට හෝල් එකට ආපු ගමන් මට කතා කරලා අපේ අක්කා විස්තරේ කිව්වා.. දැන් මස්සිනත් මේ ගැන දන්නවා.. සන්තෝසේ බෑ..

වෙඩින් එක ඉවරවෙද්දි වැඩිහිටියෝ ඇරෙන්න අනිත් කට්ටිය ගොඩක් මේ කතාව දන්නවා.. දවස් කීපයක්ම අපේ මෑන් මේ කෙනාව මුණ ගැහෙන්න ගිහිල්ලත් තියෙනවා.. එක දවසක් මලයා පවු කියලා හිතලා කියලා තියෙනවා එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.. එතකොටම ඒ කෙල්ල කියලා තියෙනවා “ආ ඒකට කමක් නෑ” කියලා.. අපේ පොර කරකවලා අතඇරියා වගේලු ඒ උත්තරේට.. දැන්නම් ආරංච් විදිහට අපේ එකා ඒ නම්බරෙන් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නේ නෑලු..

වෙඩින් එක දවසේ තව නියම වැඩ උනා.. අපේ මලයට එදා බොන්න ඕන උනෙත් නෑලු.. අපේ තාත්තට අහුවෙන්න ගිහින් යන්තම් බේරුනෙත් නෑලු.. වීදුරුත් අරගෙන පල්ලෙහා හෝල් එකට ගිහින් බිවුවෙත් නෑලු.. ඒ නිසා ඒ ගැන වැඩිය කියන්න බෑ.. ඒවා ලිවුවොත් ආයෙම අපේ මලයා මාත් එක්ක කතා කරන්නෙත් නෑ..






Wednesday, 26 October 2011

අපි අපේමද - අවසානය


ගාළු කොටුව පැත්තට අපේ වාහනය සේන්දු උනේ මටවත් නොදැනීමය.. වෙනදා බොහෝ වේලා යන ගමනක් අද ඉක්මනින්ම ආවා සේ මට දැනුනේ සමහර විට මේ අපේ වෙන්වීම නිසායි මම සිතීමී.. කොටුව අසලින් වාහනය නතරවත්ම ඇය මගේ මුහුණ දෙස බැළුවේ කිසිවක් නොදන්නා නිසායි මම දන්නා මුත් එවෙලේ මා ඇයට කිසිවක් නොපැවසුවේය.. ඇයද මගෙන් කිසිවක් නොවිමසුවේය..

වාහනයෙන් බැස ගත් අප ටික දුරක් ඉදිරියට ඇවිද ගියේ නිහඩවමය.. අපි අතර හැම මොහොතකම වූ පරතරය අපේ ආදරය ගැන ලොවටම කියා පෑවේය.. අවසාන මොහොතේ උව ඇයට ලං වන්නට මගේ හිතට ඕනෑ උවත් මා මගේ සිතිවිල්ල හදවතේම සිරකර තබා ගතිමි.. අරමුණක් නැතිව ටික දුරක් මා හා ඇවිද ගිය ඇය ගල් ගැසී මෙන් නැවතිනි.. ඇගේ මුවින් සෙමින් ඒ නම කියනු මට ඇසිනි..

“ සමීර..”

මා ඕනෑකමින් ඈ නෙත් යොමු කල දිහා බැලීමී.. මමත් සමීරත් හමු උනේ එක් වතාවක් පමණක් උවද ඔහුව කිසිවිටකවත් මට අමතක නොවන්නේය.. ඈත සිට අප දෙස බලා උන් ඔහු ටිකින් ටික අප දෙසට එත්ම අඩියක් පිටුපසට උන් ඇය මා වෙතට මදක් ලං උනේ ඇය මා හා සිටින බැව් ඔහුට හැගෙන්නට බව මට තේරුන මුත්  ඔහු නොනැවතී ඉදිරියටම ආවේ අප අතර කලින් වූ කතාබහ නිසාය..

“ කොහොමද ප්‍රදීපා?”

ඔහු ඇගෙන් අසත්ම ඇය මා දෙස නෙත් යොමා බැළුවේ මගේ මුහුණේ ඉරියව් කෙබදුදැයි දැන ගැනීම සදහාය..කිසිවක් නොකියු ඇය බිම බලා හිදිත්ම මම මගේ හඩ අවදි කලේය..

“ අපි හොදින් සමීර.. අපි එන්න පරක්කු උනාද?”

මගේ වදන් වලින් පුදුමයට පත් උන ඇය මා දෙස බලා සිටියේ කිසිවක් නොකියාමය.. ටික වෙලාවක් යත්ම අපේ ගමනේ අරමුණ ගැන මම ඇයට පවසත්ම ඇය මා දෙස බලා උන් බැල්ම මගේ හිත තවත් රිදවන්නට විය.. අයාසයෙන් ඇය ඇගේ දෙනෙත් වල කඳුළු සගවන බව මා හොදින්ම දුටිමි.. නමුත් මා ඇයට සිදුවූ සියල්ල විස්තර කර අවසන් වත්ම සගවාගත් නොහැකි වූ ඇගේ කදූළු බිදු එකින් එක ගලා ගියේ මගේ හිත තවත් පාරමින්ය..

“ අපි එක වහලක් යට හිටියත් අපේ ජීවිත හිස් කියලා මට හිතෙනවා.. අඩුගානේ ඔයාවත් ඔයාගේ සතුට හොයාගෙන යන්න..”

ඔවුන්ව තනි කල මම ආයෙම එන්නට හැරුනේ පරාජිත කඳුළු ඇයට සගවාගනිමින්ය.. මොහොතකටවත් ආපසු හැරී නොබැලුවද ඇය මාව අමතාවියි පුන්චිම හැගීමක් මගේ හිතේ රැදුනද එවැන්නක් සිදු නොවීය.. වාහනයට ගොඩ උන මම ඇගේ අසුන දෙස නෙත් යොමු කලේ ඇගේ සුවද තවමත් මගේ හිත පාරනා නිසාය..

කිසිවෙකුත් කිසිම විටක නොගන්නා තීරණයක් අරගත් මම මගේ ජීවිතේ කදූළු වලට තනිවම වග කියන්නේය.. මා ඇයට කොතරම් ආදරේ කලාදැයි දන්නේ මගේ හිත පමණකි.. කොතරම් කියන්නට උත්සාහ කලද කියාගන්නට නොහැකි උන මගේ සෙනෙහස අද මගේ පපුවට වේදනා දෙන බව දැන දැනම මා ඒ තීරණය ගත්තේ ඇගේ සතුට ගැන පමනක්ම සිතා බව දිනක මුලු ලෝකයම දැනගනීවී.. කඳුළු වලින් තෙත් උන දෙනෙත් මම මොහොතකට පියා ගත්තේ ඇගෙ මතකය කඳුළු අතරේ පිටව යන්නට නොදීය..

කොතරම් වේලාවක් ගෙවුනාදැයි මට නොදැනුනි.. වාහනයේ ඉදිරි පස දොර විවෘත වන හඩ ඇසී මා දෙනෙත් විවර කල ඒ දෙස බැලීමි.. දකින්නේ සිහිනයක්දැයි විශ්වාස කල නොහැකි උවද ඇය මා ඉදිරියේ සිටියේය.. මා දෙස නෙත් යොමාගෙනම අසුනේ හිද ගත් ඇය මොහොතක් නිහඩවම මගේ දෙනෙත් දෙස බලා සිටියේය..

“ අපි යමු..”

සිහිනයෙන් මෙන් ඇසුන ඒ වදන් මා පියවි ලෝකයට ගෙන එන්නට හැකි විය.. මා ඇගේ දෙනෙත් දෙස බලා ඉද්දි ඒ දෙනෙත් අතරින් හිනැහෙන මාවම මා දුටිමි..  කිසිවක් නොඇසු මම වාහනය පන නංවාගෙන පාරට ආවේ වේගයෙනි.. ඒ හිතේ සතුට වැඩි නිසාය.. ගාළු පාරට ආ මම වේගයෙන් වාහනය පදවමින් අපේ නිවස සොයාගෙන එන්නට විය.. ඒ මොහොතේ ගියරය මත් වූ මගේ අත උඩින් ඇගේ අතේ තියත්ම ලද පහසින් මා ඇය දෙස නෙත් යොමා බැළුවේය..

“ අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”


Tuesday, 25 October 2011

අපි අපේමද 2


ඇගේ දිනපොත පිටුවෙන් පිටුව පෙරළමින් ඈය හදුනා ගන්නට මා උත්සාහ කලෙමි.. ඒ ඇයගේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරයි.. බොහෝමයක් සුන්දර මතක මගේ මුවගටත් සිනහවක් එක්කලේ මටත් නොදැනීමය.. මෙතරම් සතුටින් කිරිල්ලියක් වගේ සිටි ඇය අද මෙලෙස ඉන්නේ මගේ වරදක් නිසාදැයි මා මොහොතකට කල්පනා කලෙමි..

මිතුරු මිතුරියන්ගේ මතක බොහෝමයක් අතර එක් ආදරණිය නමක් මගේ නෙත ගැටුනේ අහම්බයෙනි.. සමීර.. ඇය ඔහු ගැන බොහෝදේ දිනපොතේ සටහන් කර තිබුනේ මහත් සෙනෙහසකුන් බව ඒ වචන අතර සැග උන හැගීම් මගේ හිතට පසක් කර දුන්නේය.. ඔහු ඇගේ පෙම්වතායි මගේ නිගමනය නිවැරදී කරමින් ඇය දින පොතේ අවසන ලියා තිබූ වදන් පෙල මගේ හිතට තදින්ම කා වැදුනේය..

“ ජීවිතේ හීනයක්
ඒ හීනයේ ඉන්න නුඹ
ගේන සිනා මට ආලෝකයක්..
ඒ එළියෙන් අනාගතේ බලන්
පිය නගන මට
නුඹේ සෙනේ මහ මෙරක්..”

ඊ පහරකින් හිත පසාරු කරගෙන ගියා වගේ හැගීමක් ඒ මොහොතේ මට දැනුනත් ඉක්මන් තීරණයකට යන්නට මගේ හදවත ඉඩ නොදුන් නිසාම ඇගේ කතාවේ ඉතිරිය දැනගන්නට මට උවමනා විය.. මම ඇගේ අල්මාරිය පුරාම සීරුවෙන් 2008 වසරේ දින පොත හොයන්නට වූයේ පිස්සෙක් මෙන්ය.. හිත කලබල වූ හෙයින් පළමුවෙන් නෙත නොගැටුන ඇගේ  අනෙක් දින පොත මගේ නෙත් ආසන්නයෙන්ම මට පසුව හමු වීය..

දින පොත අතැතිව ඇද මත හිදගත් මම නොයිවසිල්ලෙන් දින පොත කියවන්නට වූයෙමි.. විශ්ව විද්‍යාලයට සමුදී ටික කලක් යත්ම ඇගේ ආදරය දෙදරා ගිය අයුරු ඇය වේදනාත්මක වදනින් දින පොතේ සටහන් කර තිබුනේය.. ඒත් ඒ හැමදේකටම වඩා මගේ හදවත වේදනාවට පත් කල කරුණක් එහි සටහන්ව තිබුනී.. ඒ මා ගැන එහි වු විස්තරයයි.. මා ඇයට යෝජනා කල දින සිටම ඇයත් ඔහුත් අතර මතබේද හට ගෙන තිබුනේය..

ඇගේ දෙමව්පියන් ඒ මොහොත වන විට මට කැමැත්ත දී තිබූ නිසාම ඇය කොතරම් ඔහු ගැන පැවසුවත් ඇගේ දෙමව්පියන් එයට සවන් දී නොතිබුනේය.. ඒත් හිතුවක්කාර කමට ඔහුත් සමග යාමටත් ඇය හිත හදාගත්තද ඔහු ඊට අකමැති වූ නිසාම ඇයට මා හා එන්නට හිත හදාගත් බව ඇය අවසානයේ සටහන් කර තිබුනාය..

“ රුවන් කොහොම කෙනෙක්ද කියන්න මං දන්නේ නෑ.. ඔහු කොහොම කෙනෙක් උනත් හෙට මට ඔහු හා විවාහ වන්නට වෙනවා.. හිතේ එක ආදරයක් තද කරගෙන තව කෙනෙක් එක්ක එක වහලක් යටට යන එක කොයි තරම් අමාරුද.. ඒත්..”

මැයි මාසයේ 16 වන දින ඇය ඇගේ දිනපොතේ අවසන් සටහන දමා තිබුනේය.. ඊට පසුදින අපේ විවාහය සිදු වූ අතර මම කෙදිනකවත් ඇය දින පොතක් ලියනු දැක නොතිබුනේය.. ඒත් කාමරය පුරාවට මා එවැන්නක් ඇත්දැයි සොයා බැලුවේ ඇගේ හිතේ මා ගැන ඇති හැගීම කෙබදුදැයි දැන ගැනිම සදහාය.. නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ඉන් පසුව ඇය ලියූ දිනපොතක් මට හමුනොවීය..

කණ්නාඩි මේසය ලගට ගිය මා එයින් මා දෙසම මොහොතක් බලාගෙන සිටියේය.. මා කොතරම් පවුකාරයෙක්දැයි මට සිතුනි.. ආදරේ කරන හිත් දෙකක් අතරට මා ආවේ ඇයිදැයි මම මගෙන්ම පිළිතුරු විමසුවේය.. විවාහයට කලින් ඇය එක් මොහොතකට හෝ ඒ ගැන මට පැවසුවානම් අද අපේ ජීවිත මීට වඩා වෙනස්ය.. එදින රාත්‍රිය පහන් වන තුරුම මගේ හිතේ රැදුනේ එකම එක ප්‍රශ්ණයකි.. මා කල යුත්තේ කුමක්ද??

ඇගේ හිත දිනාගැනීමට මා මේවෙන තෙක්ම අපොහොසත් වීමි.. ඒ තවමත් ඇගේ හිතේ ඔහු සිටිනා නිසා විය හැකියයි තීරණයකට මා එලබුනෙමි.. ඉන් පසුව මා ගත් තීරණය කිසිම දිනෙක කවරෙකුවත් නොගන්නා තීරණයක් බව මා දන්නා මුත් මා ඒ තීරණයට එලබුනෙමි..

වාහනය පදවාගෙන යන අතරම මම ඇගේ මුහුණ දෙස බැලීමී.. කිසිත් නොදන්නා ඇය නිහඩවම ජනේලයෙන් ඈත පෙනෙන මුහුදු තෙර දෙස බලා හිදින්නීය.. තව ටික වේලාවකින් අපේ ගමනේ අවසානය කුමක්දැයි ඇය දැනගැනීවි.. 


Sunday, 23 October 2011

අපි අපේමද 1


නිහැඩියාව අතරම මම වාහනය ගාල්ල දෙසට පදවමින් සිටියේය.. නිවසින් පිටව බොහෝ දුරක් ආ නමුදු එහි පැවතියේ දිගු නිහැඩියාවකි.. ඉදිරිපස අසුනේ ඇය වාඩිවී උන්නද හැමදාමත් මෙන්ම ඇගේ පැවති නිහඩ බව මට පුදුමයක් නොවීය.. අපි යන්නේ කොහේදැයි  නොදන්නා ඇය  මගෙන් ඒ ගැන නොඇසුවාය..

අපි විවාහ උනේ මීට අවුරුදු 3කට කලිනි.. ඒ යෝජිත විවාහයකින්.. නිත්‍යානුකූලව ඇය මට හිමි උනත් ඇගේ හිතේ මං ගැන ආදරයක් නැති බව ටික දවසක් ගතවෙද්දී ඇගේ නිහඩ බව මට කියාපෑවා.. ඒත් මං ඒ ගැන ඒ තරම් නොසිතුවේ අප පෙම්වතුන්ව හිද විවාහ නොවුවන් වූ නිසාය.. නිවෙස් වලින් අප යෝජනා වී ටික කාලෙකින්ම අපේ විවාහය සිදු වූ අතරම මට ඇය හා විවාහයට කලින් හොද ඇසුරක් පවත්වන්නටද අවස්ථාව නොලැබුනි..

ඒත් මං ඇයට හිතින් ආදරය කල වාර බොහෝය.. ඇය ලගට විත් ඒ ආදරය කියන්නට කොතෙකුත් උත්සාහ කලද මට ඊට අවස්ථාවක් නොලැබුනි.. ඇය මා හා කතා කලේ අල්ප වශයෙනි.. නමුත් කිසිම දිනක ඇය මා වෙනුවෙන් ඉටුවිය යුතු එකදු වගකීමක් වත් පැහැර නොහැරියාය.. මා උවද ඇයට උපදෙස් දෙන්නට නොගියද ඇයට හදිසියේ හෝ අමත වූ දෙයක් මතක් කලේද නැත..

අපි අපේ දෙමවුපියන්ගෙන් වෙන්ව තනිවම නිවසක පදිංචි වී සිටින්නෙමු.. ඒ නිසාම අපේ දෙමවුපියන්ටව මේ වෙනස කවදාවත් නොතේරුනේය.. අපේ අම්මා ගෙදර එන හැම වාරෙකම දරු සුරතල් බැලීමේ ඇගේ ආශාව කොතරම්දැයි මතක් කලද හිතට එන බොරුවක් ඒ මොහොතේ පවසා ඒ කතාව නිතරම මා මගහැරියේය..

ඇය නිවෙස තුල රැඳීමට බොහෝ ආශා කලාය.. නිරන්තරයෙන් නිවෙසින් පිටව යන්නට මා ආරාධනා කලද ඇය බොහෝ අවස්ථාවල කුමක් හෝ හේතුවක් පවසා ඒ ගමන මග හරින්නට උත්සාහ කරයි.. මේ ගත උන අවුරුදු 3ටම අපි නිවසින් පිටව කාලය ගත කලේ දෙතුන් වතාවක් පමනි.. ඒ හැම අවස්ථාවකම අපේ සම්බන්දයට හොද ආරම්භයක් දෙන්නට මට ඕනෑ කලද ඇගේ නිහඩ බව මගේ ඒ හැම බලාපොරොත්තුවක්ම බිද දැම්මේය..

ඇය හමුවීමට කිසිම දවසක මිතුරියක් පැමීණියේවත් දුරකථනයෙන් ඇමතුවේවත් නැත.. මමද ඇගෙන් ඒ ගැන ඇසු විට ඇය පැවසුවේ මට ඒ තරමටම සමීප වු කවුරුවත් නොමැති බවය.. විශ්ව විද්‍යාලයේ උපාධිය දක්වා ඉගෙන ගත් ඇයට මිතුරියක් නොමැති වීම පිළිගත් නොහැක්කක් උවද මා ඇගේ වචනය විශ්වාස කලෙමි..

ගෙවුන වසර තුනටම ඇගේ උපන්දිනයවත් විවාහ සැමරුමවත් අමතක මා අමතක නොකල සේම ඇයද මගේ උපන් දිනය දාට මට තිළිනයක් ලබා දීමට අමතක නොකලාය.. ඒ ගැන මගේ හිතේ පුන්චිම සතුටක් තිබුනා උවත් ඇගේ මේ වෙනස හා නිහැඩියාව මට හැම මොහොතකම ප්‍රෙහෙලිකාවක් වූවේය..

දිනක් හදිසියේ ඇගේ මව අසනීප වී රෝහල් ගත වූ නිසා අපි දෙදෙනාට දින දෙකක් පමන වෙන්ව ඉන්නට සිදුවූවේය.. ඇගේ ගම නුවර වූ නිසාම මගේ රාජකාරි අතරේම එහි දින කීපයක් නැවති සිටිම මට තරමක් අපහසු විය.. එනිසා ඇය තනියම මවගේ නිවසේ නතර වූවත් හැමදාම දුරකථනයෙන් මා අමතා මගේ සුවදුක් බැලීමට ඈ අමතක නොකලාය..

දිනක් රාත්‍රියේ මා උවමනාවකට අපේ අල්මාරිය විවෘත කලේය.. ඒහි තිබු මගේ ලියවිලි කීපයක් ගැන සොයමින් සිටි මා හට අහම්බයෙන් ඇගේ දිනපොතක් නෙත ගැටුනේය.. ඒය 2007 වසරේ දින පොතක් බැවු එහි මුල් කවරයෙන් මා හදුන්න ගත්තෙමි.. එය පසෙකින් තබා යලි මගේ ලියවිලි සොයන්නට වූවද මගේ නෙත නැවත නතර වූයේ ඇගේ දින පොත අසලය..

මගේ බිරිදගේ වුවද දින පොතක් කියවීම ශිෂ්ඨ සම්පන්න නොවන බව මට හොදින් වැටහුනද ඇගේ දින අතට ගෙන ඇදේ වාඩි උනත් එය බලනවාද නැද්ද යන දෙගිඩියාව මගේ හිත තුල රැදුනේය.. ඇගේ මේ නිහැඩියාවට උත්තරයක් මේ දිනපොතෙන් ලැබේවියි සිතු මම දින පොතේ පළමු පිටුව පෙරලා බැළුවෙමි..


Saturday, 22 October 2011

අඬහැරය 2




දිය පොදක් නැතුව වියළුණු
මහ පොළව ගවු ගානක් ඈතට විහිදුනු
හිත දුව යන මායාවක රැන්දුනු
මිරිගුවක් වෙලා නලියන දිය බින්දු..

සිහින දකින්නට නෙත් නොපියවුනු
කුසගිණි හැම මොහොතක දැනුනු
සුසුම් හල හද මඩල වියළුණු
උදාවේදැයි නොදැන හෙට අරුනළු..

වළාකුළු නැති අහස් ගැඹ පෑයූ
හිරුත් රුදුරුව ගෙන ආ කඳුළු
වැසි නැති කලට ගත හිත තෙත් කරපු
අවාසනාවේ කඳුළු කාට කියන්නද නපුරු..

මියෙද්දි පොඩි එවුන් සාගතයේ ඇලලූ
අහසටම එක් උනා නෙතගින් හෙලු කඳුළු
රත් උන පොළව ඉරි තලා ගිය අයුරු
සිහිකලා අපෙත් කාලය එලබෙන බව නුදුරු..

සංසාරේ පවු මෙලෙස පොදි බැදපූ
අපි අසරණයි නුඹ නෙත් නොගැටුනු
පතලා කුමට සුර ලොවක් දුර ඈතක මැවුනු
නුඹත් නොදකීනම් මේ නෙත් වල කඳුළු..



Friday, 21 October 2011

සොදුරු රුවැත්තියක් හා ගෙවුන රැයක් 3


කතාව පහුගිය දවස් දෙකේ ගලාගෙන ගිය හැටි හැමෝටම මතක ඇති කියලා මං හිතනවා.. ඉතින් අද එතැන් සිට..

අකමැත්තෙන් උනත් ඒ සොදුරු ගුවන් ගමනට සමුදුන්න මම ගෙදර යනකම්ම හිතමින් ගියේ ඇත්තටම මොකද්ද ඒ උනේ කියන එක.. ඒ මොකද ගෙවුන අවුරුදු 3ක විතර කාලෙදි කීපදෙනෙක්ම මගේ හිතට ලං වෙන්න ආවත් ඒ කාටවත්ම මම මේ තරම් ලං වෙන්න ඉඩ දුන්නේ නෑ.. ඒත් නොසිතු විදිහට සිදු උන මේ හමුවීම මගේ හිතේ ඇතුලටම කිදා බැස්සා..

ගෙදර ගිහින් පවුලේ අයත් එක්ක නෑදෑ හිත මිතුරන් එක්ක කාලය ගත වෙද්දී මේ සිතුවිල්ල ටිකක් විතර හදවතින් ඈත් උනා කිවුවොතින් මම හරි.. ඒත් හරියටම දවස් දෙකකට පස්සේ තමයි මම මගේ ෆෝන් එකට සිම් එකක් අර ගත්තේ.. අළුත් නම්බර් එක හිත මිතුරන්ට දුන්නට පස්සේ මම මගේ පර්ස් එක අවුස්සලා එයා මට දීපු නම්බර් එක හොයාගත්තා.. හොද වෙලාවට ඒක තිබුනා..

කතාකරන්න හිතාගෙන ෆෝන් එක අතට ගත්තත් එවෙලේ මගේ මිතුරෙක් නිවසට ආපු නිසා ඒ වැඩේ පොඩ්ඩකට කල් ගියා.. නමුත් හැමදේම වගේ කියන මම මේ සිද්ධිය මිතුරාට කියන්න අමතක කලේ නෑ.. මොහොතකින් මාව නිවසෙන් එළියට ඇදගෙන ආපු මිතුරා කීව කතාවකින් මගේ හිත ටිකක් විතර දුක් උනා.. ඒ මගේ මිතුරාට මුණගැහුන ගුවන් සේවිකාවක් ගැන වෙනස්ම පැතිකඩක්.. මම ඒක මෙතන කියන කැමති නෑ.. මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා.. ඒ කතාව ඇත්තද නැද්ද කියලා මං නොදන්නවා උනාට  ඒ කතාව මගේ හිතේ රැදුන නිසාම කෝල් කරන අදහස මගේ හිතෙන් තවත් ටිකක් පස්සට ගියා..

ඒත් සතියක් විතර ගියාට පස්සේ ඕන දෙයක් කියලා හිතපු මම එයාට කෝල් එකක් අර ගත්තා.. බලාපොරොත්තු උන විදිහටම ඒ පැත්තෙන් ලැබුනේ මම ප්‍රාර්ථනා කරපු කටහඩ.. කෝල් එකට මෙච්චර පරක්කු උනේ ඇයි කියලා ලෝකෙම තියෙන බොරු ටික කිවුවා..  එදා ඉදන් අපි ඉඩ ලැබුන ගොඩක් වෙලාවල් වලදී කතා කලා.. දිනක් අපි මුණගැහුනා.. ඒත් අක්කගේ වෙඩින් එකේ වැඩ නිසා මට වැඩිය ඇයව මුණ ගැහෙන්න යන්නනම් ලැබුනේ නෑ.. නමුත් ටික කාලයක් යද්දි මගේ මිතුරා කියපු දේ නිවැරදි නැති බව මට වැටහුනා..

කොහොමහරි වෙඩින් එක අවසාන වෙලා ටික දවසකින් අපිට මුණ ගැහෙන්න පුළුවන් උනා.. ඒත් ඊට කලින් කීප වතාවක්ම මුණගැහෙන්න ආරාධනා තිබුනත් මට යන්න වෙලාවක් තිබුනේ.. ඔය කොයි දේටත් වඩා මට මගේ අක්කව වටිනවා.. ඉතින් මම ඒ දේවල් ගැන හොයලා බැළුවා.. කොහොමහරි දෙවෙනි වතාවට අපි මුණගැහිලා වෙනදා වගේම ගොඩක් වෙලා කතා කර කර හිටියා.. ටික වෙලාවකින් එයා මගෙන් උත්තර දීගන්න බැරි විදිහේ ප්‍රශ්ණයක් ඇහුවා..

“ දිනේෂ්.. අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා.. මං ඒකට කැමති වෙන්නද?”

මොකද්ද මං දෙන උත්තරේ කියලා මටවත් හිතා ගන්න බැරි උනා.. ඒ ප්‍රශ්ණෙ ඒ විදිහට අහන්න හේතුව මොකක්ද කියලා මට තේරුණත් එදා මොකද්දෝ හේතුවකට මං ඒක නොතේරුනා වගේ හිටියා..

“ ඇයි ඉතින් ඔයා අකමැති?”

මං දන්නවා ඒක මහා මෝඩ ප්‍රශ්ණයක්.. ඒත් ඉබේම වගේ මට ඒ ප්‍රශ්ණෙ ඇහුනා.. ඒත් එකට හරි උත්තරයක් එයා ලග තිබුනේ නෑ.. ඊට පස්සේ ඒ ගැන විස්තර ගොඩක් කතා කරපු අපි හිතේ එක දෙයක් හංගගෙන වෙනත් දෙයක් කතාකරනාවා වගේ හැගීමක් හොදටම දැනුනත් මං මගේ හැගීම යටපත් කර ගත්තා.. අපිට එදා වෙන්වෙන මොහොත ලං උනේ මගේ හිත කොහෙත්තම අකමැති වෙලාවක.. කාලය දුවන්නේ නැතුව නතර උනානම් කියලා මට හිතුනා..

“ අපේ යාළුකම දිගටම තියේවිද දිනේෂ්?”

“ ඔව් අපි හොද යාළුවෝ..”

හිත වෙනස් කල හැගීමකට අවසානයේ මිත්‍රත්වයේ නාමය දෙන්න උන එක ගැන මට දැනුනේ දුකක් උනත් මං ඒ බව නොපෙන්නා එයාට සමුදුන්නා.. ඊට හරියටම සතියකට පස්සේ මං ලංකාවෙන් අවා.. ඒ එන ගුවන් ගමනේදීනම් මට ඇයව මුණගැහුනේ නෑ.. ඒ වෙනුවට හිටියේ මහ එපාම කරපු එවුන් ටිකක්.. ඒකෙන් වැඩක් නෑ..

කාලය ටිකින් ටික ගෙවිල යද්දී අර මුලින් තිබුන සමීප කම නැති උනත් අපේ මිතුදම අද මේ වෙනකනුත් තියෙනවා.. ගිය සතියේ දවසක මට ඇයගෙන් කෝල් එකක් ආවා.. ලබන අප්‍රේල් මාසය ඇය විවාහ වනවා කියලා ඒ ඇමතුමෙන් මට කිවුවා.. හිතට පොඩි වේදනාවක් එවෙලේ දැනුනත් මං ඒක ඊට පස්සේ අමතක කරලා දැම්මා.. අද මේ පොස්ට් එක ලියලා ඉවර කරද්දී මට හිතුනේ එකම එක දෙයයි.. ඒ මං වෙනස් වෙන්න ගත්ත මේ තීරණේ මීට ගොඩක් කාලෙකට කලින් අරන් තිබුනානම් කියලා..

උන දේ උනා.. දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නෑ.. ඔයාලා බලාගෙන හිටපු විදිහට මේකේ අවසානය උනේ නැති එක ගැන මටත් කණගාටුයි.. මං බ්ලොග් ලියනවා කියලවත් මගේ මුහුණු පොත ගැනවත් මං එයාට මුකුත් කියලා නෑ.. ඒනිසා මේක දකින එකක්  නෑ..  ජීවිතේ ආයෙම අළුතින් දකින්න මං පටන් ගත්තේ මේ ලගදී.. ඒ නිසා ආයෙම මේ වගේ දේකදි මං පස්සට යන එකක් නම් නෑ..



Thursday, 20 October 2011

සොදුරු රුවැත්තියක් හා ගෙවුන රැයක් 2


පැය 13ක ගුවන්කාලය සදහා අපේ සම්බන්දය ගොඩ නැගුන හැටි මම ඊයේ ඔයාලා එක්ක කිව්වනේ.. ඉතින් පොරොන්දු උන විදිහට අද එතැන් සිට..

ගුවන් යානය ඉහල අහසේ ස්ථාවර උනායින් පස්සේ අපිට ටික වෙලාවකට අපේ කතාබහ නතර කරන්න උනා.. ඒ මොකද අපි රෝමයෙන් පිටත් වෙනකොට දහවල් 2 විතර වෙලා තිබුනා.. ඉතින් එයාලගේ පළමු රාජකාරිය උනේ අපේ දවල් කෑම එක ලබා දෙන එක.. අවසානයේ ඉදන් සංග්‍රහ පටන් ගත්ත ඇයට මුලින්ම හමු උනේ මම.. මොකද මම අර හනිමුන් කපල් එකට ඉඩදීලා මම ගියේ තවත් පිටිපස්සටනේ.. හැබැයි ඉතින් ඒ වෙලාව වෙනකොට එහෙම උන එකත් හොදයි කියලයි මට හිතුනේ..

කොහොම හරි ඉතින් ඒ වැඩ කටයුතු ඉවර වෙනකම් ටික වෙලාවකට අපිට කතා කරන්න ලැබුනේ නෑ.. මම ඉතින් කාලා බීලා ඉවර වෙලා මොනවද දාලා තියෙන ෆිල්ම් කියලා බලන්න හදද්දිම ඇය ආයෙමත් මගේ ලගට අවා.. ඇවිත් ඇහුවා ඩ්‍රින්ක්ස් මොනවද ඕන කියලා.. අමද්‍යප මට මොන ඩ්‍රින්ක්ස්ද?? මම ඉතින් ඒ ගැන කිව්වම මට හොද ළමයා කියලා අර සුපුරුදු සුන්දර හිනාව දාලා එයා යද්දී මගේ හිතට මොනාදෝ උනා වගේ දැනුනා.. ආදරයක්.. නෑ.. මේ ටිකට මොන ආදරක්ද කියලා හිතපු මම හොයලා හොයලා හොද ෆිල්ම් එකක් දාගෙන ටිකක් වෙලා බලාගෙන ඉද්දී ආයෙමත් එයා ඇවිත් මගේ ලගින් වාඩි උනා..

“ ඔයා ඩ්‍රින්ක්ස් ගන්නේ නෑනේ.. මම ඔරේන්ජ් ජූස් එකක් අරගෙන ආවා..”

එහෙම කියලා ඔරේන්ජ් ජූස් එක  දෙද්දී මට හිතුනේ ඒ වචන ටික දාල මාව නෝන්ඩි කලා වත්දෝ කියලා.. ඉතින් මමත් ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම ඇහුවා..

“ අනේ නෑ දිනේශ්.. මම එහෙම හිතුවේ නෑ..”

ඒ වෙද්දි අර “සර්” කෑලි හැලිලා නම කියලා කතා කරන තත්වෙකට අපේ හැදුනුම් කම ඇවිත් තිබුනා.. මුලින් කොතනින් කොහොම පටන් ගන්නවද  කියලා හිතා ගන්න බැරුව හිටපු මට මේ වෙද්දී කතා කරන්න ගොඩක් දේවල් තිබුනා.. කොටින්ම කියනවනම් පෞද්ගලික දේවල් පවා අහන්න පුළුවන් කමක් තිබුනා.. විශේෂයෙන්ම පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියලා.. වාසනාවට වගේ උත්තරේ “ නෑ” කියලා කියද්දී මගේ හිත ඒ මොහොතේ ඒ තරම් සතුටු උනේ මොකද කියලා මට තාමත් හිතා ගන්න බෑ..

කෑමෙන් පස්සේ ගමනත් ගොඩක් දිගු නිසා ගොඩක් කට්ටිය නිදි.. මටනම් කවදත් කොහේ හරි යද්දී මොනම වාහනේකවත් නින්ද නොයන නිසා ගුවනේත් මම මේ වෙනකම් නිදාගෙන නෑ.. අනික එදානම් කොහොමත් නින්ද යන්නෙම නෑ.. කොහොමහරි හැමෝටම හොරෙන් අපි ඒ ගෙවුන හැම මොහොතකම ගොඩක් දේවල් කතා කලා.. කතා කරන්න දේවල් නැති තැන ෆිල්ම් බලන එක පැත්තක දාලා ඒකේ තියෙන ගේම් ගැහුවා.. ඒ අතරේ තවත් කතා කලා.. අනේ මන්දා සමහර දේවල් නම් මතකත් නෑ දැන් මට..

ඔය අතරේ ඉතින් හැම වෙලේම වගේ මට කන්න බොන්න දේවල් නම් වැරදුනේ නෑ.. එපා වෙන තරමටම ඔර්න්ජ් ජූස් බිව්වා.. පස්සේ ඇවිත් මතක් කරනකොට තමයි හිතුනේ හොද වෙලාවට මං අමද්‍යප උනේ කියලා.. නැත්නම් අර බීමට ගෙදර එන්න වෙන්නේ හතර ගාතෙන්.. ඔය අතරේ ඉතින් අපි පහු කරන් එහා මෙහා යන අපේම අය අපි දිහා කන්න වගේ බැළුවේ නැත්තෙමත් නෑ.. පොඩි ඉරිසියාවක් උන්ට දැනෙන්න ඇති.. කතානියා වලින් නගිද්දී ලංකාවට යන්න තිබුන හදිස්සිය ඒ වෙනකොටනම් නැති වෙලා ගිහින්.. අනේ තව මේ ගමන දික් වෙනවනම් කියලා හිතුනේ අහම්බෙන් වගේ..

ඉන්දියාවට ආසන්න ඉහල අහසේ ( මැප් එකේ දැක්ක අපි ඉන්නේ ඉන්දියාව කිට්ටුව කියලා ) අපි ආවේ මහා වැස්සක් අතරින්.. ඒ පීඩනය අතරින් එද්දී ගුවන් යානය ටිකක් අසංතුලිත වෙන නිසා නියමුවාගේ අවවාදයේ හැටියට අපි සීට් බෙල්ට් දා ගත්තා.. ටිකෙන් ටික අසංතුලිත තාව වැඩි වෙද්දී ෆ්ලයිට් එකේ හිටපු ගොඩක් දෙනෙක් බය උනා.. කොටින්ම මමත්.. ඒත් ඒ මොහොතේ සිදු උන දෙයින් මගේ හිත ඒ අවදානම ගැන නොසිතන තත්වෙකට අරං ගියා.. ඒ ඇය මගේ අතින් තදින් අල්ල ගත්ත නිසා..

ඇයත් ටිකක් බය වෙලා කියලා මට ඒ දෑස් වලින් පෙනුනා.. එවෙලේ පුන්චි විහිළුවක් කරලා ඇගේ හිත වෙනතකට අරන් ගිය මම තේරුමක් නැති මොනවදෝ කියවද්දි ඇය හිනා උන හැටි මට තාමත් ඒ වගේම මතකයි.. ඒ වැහිබර තත්වෙන් මිදිලා අපි ගොඩක් දුර ආවත් ඇයට මගේ අතින් අත අරින්න අමතක උනා.. මමත් මුකුත් නොකියම ඒ විදිහටම කතා කර කර ආවා..

ගුවන් ගමනට සමුදෙන්න කොතරම් අකමැති උනත් පැය 13ක සුන්දර ගමනකින් පස්සේ අපි කටුනායකට ආවා.. මම අන්තිමට හිටපු නිසා හැමෝම බහිනකම් මට බලාගෙන ඉන්න උනා.. ඒ අතරේ මාව සොයාගෙන ආපු ඇය යුරෝපා ක්‍රමයට මට සුභ පැතුවා.. එවෙලේ ලංකාවේ මොබයිල් නම්බරයක් මට නොතිබුන නිසා මං එයාගේ මොබයිල් නම්බර් එක ඉල්ලගෙන එයාට සමුදෙද්දී හිතට මහා අමුතු හැගීමක් දැනුනා.. එය සමුගැනීමක් උනත් අපේ කතාබහ එතනට විතරක් සීමා උනේ නෑ.. ඊට පස්සේ උන දේවල් මම ඊළග පෝස්ට් එකෙන් කියන්නම්...



Wednesday, 19 October 2011

සොදුරු රුවැත්තියක් හා ගෙවුන රැයක්


වර්ණයට මුලින්ම දාන්නේ මොකද්ද කියලා කල්පනා උනා පොඩි කතාවක් දාන්න.. පොඩි කිව්වට ඉතින් පොඩිම නෑ.. හරි මෙහෙමයි කතාව..

මතක ඇතිනේ හැමෝටම මම ජූලි මාසයේ ලංකාවට ගියා.. ඒ යන අතර තුරේ තමයි මේ කතාව ඇති වෙන්නේ.. කතානියා ගුවන් තොටුපලෙන් මම රෝමය බලා එන ගුවන් යානයට ගොඩ උනේ අන්තිම මොහොතේ විතර.. ඒ මොකද වෙලාවට ඇහැරුනේ නැති නිසා.. කොහොමහරි මගේ ෆ්ලයිටි එකට තව විනාඩි 5 තියෙන්නේ කියලා පෝලිමේ ඉන්න අයට කියලා පොලිම් පැනලා ඇවිත් කතානියා වලින් ගුවනට නැගිලා අවා රෝමයට..

රෝමෙට එද්දී දාලා තියෙනවා ලංකාවට යන ශ්‍රි ලංකන් ගුවන් යානය තව පැයක් පරක්කුයි කියලා.. දේශීය දේනේ.. ඉතින් පරක්කු වෙන එක පුදුමයක් නෙමෙයිනේ.. කොහොම හරි කිව්වටත් වඩා පරක්කු වෙලා ආව ෆ්ලයිට් එකට බෝඩින් පාස් එක ගන්න අපේ කට්ටිය පොර කනවා.. කොහොමත් යන්නේ සීට් ගානට වෙච්චි එකේ මොකට මෙහෙම තෙරපෙනවද මන්දා.. කොහොම හරි ඒ කට්ටියට ඉඩ දීලා මම හෙමිහිට බෝඩින් පාස් එකත් අරගෙන ගුවන් යානෙට ගොඩ උනා.. කට්ටියට ඉඩ දීලා බලාගෙන හිටපු එක මෝඩ කම කියලා එවෙලේ තමයි තේරුනේ.. ඒ මොකද මුල සීට් ඔක්කොම පහු කරගෙන මගේ සීට් එක ලගට යන්න මට මතක හැටියට විනාඩි 10 විතර ගියා..

කොහොමහරි සීට් එක හොයාගෙන හොදට වාඩි වෙලා වීදුරුවෙන් එහා පැත්ත බලාගෙන ඉද්දී ගුවන් සේවිකාවක් හෙමිට මගේ ලගට ඇවිත් අහනවා “ සර් තනියමද ෆ්ලයි කරන්නේ?” කියලා.. පොඩ්ඩක් වෙලා මම එයාගේ මුණදිහා බලන් ඉදලා “ ඔව්” කියලා කිව්වම මෙයා මගෙන් ඇහුවා ලස්සන ප්‍රශ්ණයක්..

“ සර් හනිමුන් කපල් එකක් ඉන්නවා එයාලට එක ලග වාඩි වෙලා යන්න ඕනලු.. සර්ට පුළුවන්ද වෙන සීට් එකකට එන්න?”

මට එකපාරම හිනා ගියත් අමාරුවෙන් හිනාව නවත්තගත්තා.. “ කවුද දෙන්නා?” මම නිකමට වගේ එහෙම ඇහුවා.. එහෙම අහද්දි කපල් එක මගේ ලගට ඇවිත්.. පෙනුමෙන්නම් දෙන්නට යන්තම් වයස 20ක් විතර ඇති වගේ තමයි පෙනුනේ.. මම හිටියේ අයිනේ සීට් එකක නිසා මං කිව්වා “ අයිනෙම සීට් එකක් තියෙනවනම් විතරක් මම එන්නම්” කියලා.. “ හොදයි සර් ” කියපු  ගුවන් සේවිකාව මට සීට් එකක් බලන්න යද්දි මම නැගිටලා මගේ බෑග් එකත් අරන් එන්න ලෑස්ති උනා..

“ අයියට සීට් එකක් තියෙනවද දන්නෑ..”

“ මම ඒ විහිළුවට කිව්වේ.. ඔයාලා වාඩි වෙන්න..”

එහෙම කියපු මම හනිමුන් කපල් එකට හනිමුන් එක සමරන්න ඉඩ දීලා හෙමීට පිටි පස්සට ආවා කොහේද වාඩි වෙන්නේ කියලා බලාගෙන.. ටිකක් මං පස්සට එද්දි මට සීට් එකක් හොයන්න ආපු ගුවන් සේවිකාව තව සේවිකාවක් එක්ක කතා කර කර හිටියා.. ඒත් එක්කම මගේ නෙත ගැටුනේ අපූරුතම සුන්දරත්වයක් තිබුන යුවතියක්.. මොහොතකට මං එතන ගල් ගැහුනා කිව්වොත් හරියටම හරි.. ඇය ඒ තරමටම ලස්සනයි..

සාරියත් එක්ක එයාගේ අමුතුම සුන්දරත්වයක් මං දැක්කා.. මං ආයෙම පියවි ලෝකෙට ආවේ අනිත් ගුවන් සේවිකාවගේ කට හඩ ඇහිලා.. ඇය පෙන්නපු සීට් එකේ මං වාඩි උනේ අර කලින් කියපු කෙන දිහා බලාගෙන.. එවෙලේ මං දිහා බලපු ඇය මට පෑව සිනහව හිතේ ඇතුලට තදින්ම වැදුනා.. එයා එහා මෙහා යන හැටි කරන දේවල් ගැන මම බලාගෙන හිටියා.. ඒක උනේ ඉබේටම වගේ.. කොච්චර උවමනා උනත් මට මගේ හිතත් දෑසත් ඇගෙන් ඉවතට ගන්න කොහෙත්ම බැරි උනා..

පරක්කු වෙලා ආපු ගුවන් යානය රෝමෙන් පිටත් වෙන්නත් තව පැයක් විතර පරක්කු උනා.. ගුවන් යානය පිටත් වෙන්න මොහොතකට කලින් ඈත තියාම ඇය එනවා දැක්ක මම ඒ මුහුණ දිහාම බලාගෙන හිටියා.. කලින් වතාවේ වගේම මට සොදුරු සිනහවකින් සංග්‍රහ කල ඇය මගේ අසුන ආසන්නයෙන්ම හිද ගත්තා.. ඒ ඇයට හිමි අසුන.. මගේ හිතට ඒ මොහොතේ දැනුනේ අමුතුම සතුටක්.. උවමනාවෙන් ඇය යන එන දිහා බලාගෙන හිටපු මං ලගින්ම ඇවිත් ඇය වාඩි වෙලා ඉන්නවා..

කතාකරන්න මගේ හිතට ඕනෑ උනත් කොතනින් කොහොම පටන් ගන්නද කියලා මං කල්පනා කලා.. කාලෙකට පස්සේ හිතට එහෙම අදහසක් ආපු නිසාද කොහේද මගේ හිත එවෙලේ ටිකක් පසු බැස්සා.. ඒත් කමක් නෑ කියලා හිතට ශක්තිය අරන් ඇය දිහා බලද්දිම ඇය මට වඩා ඉක්මන් උනා..

“ සර් ලංකාවේ කොහේද?”

පටන් ගන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව හිටපු මට ඔය තියෙන්නේ ආරම්භයක්.. එහෙම හිටපු මම හෙමිට කතාවට මුල පිරුවා.. ඒ කතාබහ අපි දෙන්නා කවුද කියලා දැන අදුන ගන්න තරමටම දිගට ගෙනියන්න පූලුවන් උනා..  ගුවන් යානය අහස් තලයේ ඉස්තාවර වෙද්දී ඉදිරි පැය 13ක ගුවන් ගමනේ සොදුරු  කතාබහකට හොද පසුබිමක් අපි අතරේ ඉබේම වගේ හැදුනා.. ඊට පස්සේ මොකද උනේ කියලා හෙට කියන්නම්..





  

Tuesday, 18 October 2011

සිහිනයෙන් වර්ණයට...


ජීවිතේ වෙනසක් වෙන්න ඕන කියලා මං විශ්වාස කලත් කවදා කොහොම පටන් ගන්නද කියලා මං ඇත්තටම දැනන් හිටියේ නෑ.. ගැන මම මගෙන්ම පිළිතුරු හොයපු වාර ගාන අනන්තයි.. මම අතීතයත් අනාගතයත් අතර කියලා පෝස්ට් එක මීට ටික කාලෙකට කලින් දැම්මේ වෙනසට ආරම්භයක් අරගන්න කියලා හිතාගෙන උනත් මම එදා අසාර්ථක උනා.. මේ බ්ලොග් එක කියවන මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් එදා මට මේ මං වෙනස් විය යුතුම කාලයයි කියලා කිව්වත් මොකද්දෝ හේතුවකට එදා මගේ හිත ආයෙමත් ආපස්සට ඇදගෙන ගියා..

මම ලංකාවට ගියේ අවුරුදු තුනකට පස්සේ.. එදා මං කාටවත් නොකියාම ගිය ගමන මගේ ජීවිතේ මේ විදිහට වෙනස් කරාවියි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ.. තෙවසරකට පසුව පෝස්ට් එක වැටුන දවසේ එක බලලා මුලින්ම මට කතා කලේ අපේ නංගී.. සංවාදය පැයකට වඩා දුර ඇදිලා අවසන් උනේ මගේ කේන්තිය නිසා කිව්වොත් මම නිවැරදියි.. ඒත් ඊට පස්සේ ඉදන් මගේ සහෝදරයෝ සහෝදරියෝ හැමෝම වගේ මාත් එක්ක කතා කරලා මගේ හිත සැනසුවා වගේම මේ මට වෙනස් වෙන්න හොදම කාලය කියන එක මට තේරුම් කරලා දුන්නා..

කටුක යතාර්ථයක් උනත් හැමෝගෙම හිත් වලින් ප්‍රාර්ථනා කලේ මගේ යහපතම උන නිසා අවසානයේ මං මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන හැටි තීරණය කරන්න එයාලටම අවස්ථාව දුන්නා.. අළුත් ආදරයක් හොයාගෙන යන්න කියලා කියපු මගේ එක නංගි කෙනෙක් මට එයාගේ මුහුණු පොතේ ඉන්න ගොඩක් මිතුරියන්ව සජෙස්ට් කරලා එවලා තිබුනා.. මම ඉතින් මුකුත් නොකියා හිටියත් අපේ ලොකු අයියා ඒක නවත්තන්න කියපු නිසා සජෙස්ට් කිරිල්ල යාන්තම් නැවතුනා..

මගේ නෑදෑ පරපුරේ මට අයියලා 3 දෙනෙකුත් අක්කලා 4 දෙනෙකුත් මල්ලිලා 2නෙකුත් හා නංගිලා 6 දෙනෙකුත් ඉන්නවා.. ඉතින් මේ ඔක්කෝම කියන දේවල් පහුගිය මාසෙක විතර කාලයක් පුරාවටම මං අහගෙන හිටියා.. වැඩිමල් අය හොදින් උපදෙස් දෙද්දි පොඩ්ඩෝ ටික ඊටත් වඩා හොදින් උපදෙස් දෙන්න ගත්තා.. මුලින් මුලින් කියන දේවල් මට ටිකක් නුරුස්සන ගතියක් තිබුනත් අවසානයේ දේවල් ගැන මමත් හොදින් හිතුවා..

ඔය අතරේ තමයි අපේ මල්ලී මට කිව්වේඅයියේ තමුසේ ඔය බ්ලොග් එකේ වෙනස් කරනවාකියලා.. වැඩිය දුර හිතන්නේ නැතුව මම වෙලේ මලයට දොස් කිව්වට මොකද අනික් හැමෝගම අදහස් එකතු වෙලා එද්දි මට තේරුනා සිහිනයේ මම පූජාව ජීවත් කරන්න උත්සාහ ගන්න තරමට මම මගේ ජීවිතෙන් ආපස්සට යනවා නේ කියලා.. එදා මොහොතේ තමයි මම තීරණේ කලේ මගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕනනම් මම මේ බ්ලොග් එකට ලියන විදිහ ලියන දේවල් අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනමයි කියලා..

වර්ණමේ බ්ලොග් එකට හොදම නම කියලා යෝජනාව ගෙනාවේ අපේ නංගී.. තවත් නම් ඉදිරිපත් උනත් මගේ හිතත් නමට ආසා කලා.. වර්ණ නව කතාවේ තේමාව උනේජීවිතයට පාට සොයා යන සිත්තරෙක්”.. ඔව් මේ මටත් පාට සොයා යන්න හොදම කාලයයි..

වර්ණ හා සිහින අතර ලොකු වෙනසක් කියවන ඔයාලට දැනේවි.. මම අවසානයේ දාපුඅඬහැරයකවි පෙල හැමෝටම මතක ඇති.. වෙනස් වූ තේමාවන් හා වෙනස් වූ ශෛලීන් ගොඩක් ඉදිරියේ මගේ කවි වලින් දකින්න ලැබේවි.. වර්ණයෙන් ආදරය ගැන මම ගොඩාක් අඩුවෙන් කතාකරාවි.. සමහර විට නවකතාවකදි පමණක් වෙන්නත් පුළුවන්..

අළුත් කතා දෙකක්ම මගේ හිතේ මේ වෙනකොටත් ලියවිලා තියෙන්නේ.. වහල්ලූහාබෝ මළුවේ මල් සුවදට පැටලීකියන කතා දෙක.. ඉස්සෙල්ලා මොකක් ඒවිද කියන්න දන්නෑ.. ඒත් කතාව සතියේ එක දවසකට විතරක් සීමා කරන්න මං කල්පනා කරා..  මම කලින් ලියපු හැම කතාවක්ම එක දිගට ලියා අවසන් කලත් ඊළග කතාවේ ඉදන් සතියකට එක් කොටසක් පමණක් ගෙන එන්න කල්ප්නා කලා..  තීරණය ගැනනම් ඔයාලාගේ අදහසුත් දැන ගන්න මම කැමතියි..

එක් සංදිස්ථානයක ඉදන් වර්ණ පටන් ගන්න පුළුවන් උන් එක මට තවත් එක සතුටක්.. මොකද මේ මගේ 200 වෙනි පෝස්ට් එක.. සිහිනයේ සොදුරුම මතක අතරින් ගෙවී ගිය ලිපි ඔය හැම දෙනෙක්ටම හැමදාමත් මතක තියේවි කියලා මං හිතනවා.. තවත් ගොඩක් වෙනස් කම් ලිපි ලියද්දී ඔයාලා අතරට ඒවි.. ඒ හැම එකකම හොද නරක මාත් එක්ක වෙනදා වගේම බෙදා ගනිවි කියලා මං විශ්වාස කරනවා..

ඉතින් එන්න මාත් එක්ක වර්ණවත් කරන්න ජීවිතය.. සමුදී සිහිනයට...