Saturday, 28 May 2011

නුඹ මට දුන්න ජීවිතය



අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..

දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..

අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට 
වාසනාවට නුඹ මට හමු නොවන්න
මගේ ලෝකය කොතැන නවතීවිද..

ආදරේ පහන් සිළුව වී නුඹ
මගේ හද පතුලේ දැල්වෙන
නුඹ මට දුන්න ජීවිතයට
මම ණයගැතියි නුඹට හැමදාම..

Thursday, 26 May 2011

එකම පැතුමක්


මම ඒ අනාත නිවාසෙට යද්දි කවදාවත්ම හිතුවෙ නෑ මට හැමදාම එතනට යන්න හිතේවි කියලා.. අපේ තාත්තාගේ 7වෙනි අවුරුද්දේ දානෙ අපි මේ පාර දුන්නේ අනාත නිවාසෙකට.. මේ ලෝකේ කාත්කවුරුවත් නැතිව තනි උන අය  අතරේ පුන්චි සයුරි මගේ ජීවිතේට මේ තරම්ම ලං වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ..

ඇය ඇත්තටම දගකාරියක්.. ළමා නිවාසේ අනිත් අයට වඩා ඇගේ හිත මගේ ලගට එන්න එකම එක හේතුවක් වෙන්න ඇති.. මුල්ම දවසේ මම එහේ ගිය වෙලේ මට මතකයි මගේ අතින් අල්ලගෙන ඇහුවා "ඇයි අක්කේ ඔයා කතා නොකරන්නේ? " කියලා.. එදා මට ඔයාට දෙන්න උත්තරක් තිබුනේ නෑ.. මට මතකයි අපේ අම්මා ඔයාට ලංවෙලා මං ගැන කිව්වා.. එතකොට ඔයා දුන්නේ හරි ලස්සන උත්තරක්..

" එහෙනම් අපි දෙන්නම එක වගේ අක්කේ.."

ඇත්ත අපි දෙන්නම එක වගේ.. එදා ඒ හමුවීම මගේ හිතට තදින්ම දැනුනා නිසා මම ඊට පස්සේ හැමදාම වගේ ඔයාව බලන්න ආවා.. මම ආවා කියලා දැන ගත්තම ඔයාගේ මූණේ මැවුන හිනාව මට අදත් ඒ වගේම මතකයි.. ඔයා මගේ ලගට වෙලා හිතට එන හැම දෙයක්ම කියනවා.. ඒ එකකටවත් මට උත්තර දෙන්න බැරි උනත් මම හරි ආසාවෙන් ඔයා ලගට වෙලා ඒ හැම දෙයක්ම අහගෙන ඉන්නවා..

ටික වෙලාවක් එහෙම කතා කර කර ඉන්න ඔයා එක පාරම මගේන් අහනවා " අක්කේ ඔයා මගේ ලග ඉන්නවා නේද? " කියලා.. මම ඒ වෙලාවට ඔයාගේ අතින් අල්ලගන්නවා.. එතකොට ආයෙමත් ලස්සනට හිනා වෙන ඔයා ආයෙත් එක එක දේවල් කියන්න පටන් ගන්නවා..

මම හැමදාම ඔයාව බලලා යන්න හදනකොට ඔයා මගේ අතින් අල්ලගෙන " අක්කා හැමදාම මාව බලන්න එනවා නේද ? " කියලා අහනවා.. ඒත් මම ඔයාට කොහොම කියන්නද මට හැමදාම මේ වගේ එන්න බැරි වේවි කියලා.. මම ගිය පාරක් ඔයාට නොපෙනුනත් ඔයා ගොඩාක් වෙලා ගේට්ටුව ලගට වෙලා බලාගෙන ඉන්නවා..

මට ටික දවසකින් ඔයාවත් මේ හැමොමත් දාලා යන්න වේවි.. මට ඔයාගේ ලස්සන කතා අහගෙන ඉන්න බැරි වේවි.. මේ ලෝකේ කොයි වගේද කියලා ඔයා මගේ අහපු දවස් අනන්තයි.. ඒත් අපි දෙන්නගෙම අසරණ කමට ඔයා නොදකින ලෝකය කොයි වගේද කියලා ඔයාට කියල දෙන්න මට බැහැ..

ඒත් මට ඔයා වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන්.. මම මගේ දෙනෙත් පියා ගන්න දවසට මගෙන් පස්සේ මේ ලෝකේ ලස්සන බලන්න ඔයාට පුළුවන් වේවි.. එදාට ඔයාට කාගෙන්වත් මේ ලෝකේ කොච්චර ලස්සනද කියලා අහන්න ඕන නැති වේවි.. මගේ පුන්ච් නංගි මගෙන් පස්සේ මේ ලොකේ දිහා මගේ ඇස් වලින් බලන කොට මට කොච්චර සතුටු හිතේවිද..

......................

ඒ පූජා එයාගේ දිනපොතේ 2007 අවුරුද්දේ ලියපු සටහනක්.. මට ඒ සටහන මෙහෙම ලියන්න හිතුනේ මම අද දැකපු මෙන්න මේ දැන්වීම නිසා..


 මට ඒ දැන්වීම දැක්ක ගමන් මතක් උනේ සයුරිව.. පුජා එයාගේ නංගි කෙනෙකුට වගේ ආදරය කල සයුරිව.. සයුරි දැන් ඉස්කොලේ 8 පන්තියේ.. එයාව හදාගන්න ගත්ත අය සයුරිට ගොඩාක් හොදින් සලකනවා.. එයාට මේ තරම්ම ආදරේ කල පූජා අක්කව සමහර විට අද සයුරිට මතක නැතිව ඇති.. අවුරුදු 4ක කාලෙක ඉදන් සයුරි පූජගේ ඇස් වලින් ලෝකය දකිනවා.. ඒක පූජා බලා පොරොත්තු උන දෙයක්.. අද ඒක ඒ විදිහටම ඉශ්ඨ වෙලා තියෙනවා..

අපි අතර පුන්ච් සයුරි වගේ කී දෙනෙක්නම් ඉන්නවා ඇත්ද.. එයාලට අපි ජීවත්ව ඉද්දි කරන්න පුළුවන් පොඩි දෙයයි.. ඒත් අපි කවදාහරි මේ ලෝකේ දාලා යනවා.. එදාට අපිට මේ පුන්චි සයුරිගේ වගේ එයාලගෙත් නෙත පාදන්න පුළුවන්නම් එක කොච්චර දෙයක්ද..

Tuesday, 24 May 2011

කවුළුවෙන් එහා ලෝකය



නිදහසේ හුස්ම පොද
වැටෙන්නට මොහොතකට පෙර
ගෙවුන කළුවර අතීතයට
සමුදෙන්න හදමි මම..

නැති බැරි කමට ගේ දොර
බලා නොයිද දරුවන්ගේ කඳුළ
ඉක්මන් උන නිසාවට මම
නැවතුන තැන ඈතක් නොපෙනෙන..

සතියකට දවසක් දකිද්දි පැටවුන්ව
හිත ගිණිගන්නවා මගේ සාපයට
මගේ වරදට උන් ලද නම
මම කොහොම මකාලන්නද..

උඹලා තේරුම් ගනීවි දවසක
ලොකු මහත්වෙලා සමාජය දකින කොට
අද හංගගෙන හිටියත් මූණ
එදාට සමාවෙලා කතාකරාවී මාත් එක්ක..

කවුළුවෙන් එහා ලෝකය
සුන්දර නැතිවේවි ඉස්සර වගේම
සමුදෙන්න හදන කළුවර අතීතෙට
සමුදෙන්න හැකිවේවිද සමාජය අතරේ මට..

Sunday, 22 May 2011

නුඹ ලියූ කවි පොතේ




නුඹ ලියූ කවි පොතේ පෙරලෙන පිටු අතර
මගේ තනිකමට නුඹ ඉතිරි කර ගිය මතක
මගේ හිතට සැනසුමක් ගෙනවා සොයද්දි නුඹව මම
සිහිනයෙන් හැම රෑක මගේ දෙනෙත් අද්දර..
 

නුඹේ සොදුරු කවි හිත දැනන් හිටියේ නැහැ මම
නුඹ වෙන්ව යන තුරුම මගෙ ලොවින් හැමදාටම
අහම්බෙන් වගේ හමු උන නුඹේ මේ කවි පොත
මගේ කඳුළු පිසිනවා හඩද්දි මම නුඹ නැතිව..

අපි ආ ගිය දොඩමළු වූ තැන්වල
නුඹ දැක්ක ඒ සොදුරු මිහිරියාව
දකින්නට මට අදත් නුඹේ හිතින්
කවි වලට නුඹ අපේ මතකය මුසු කර ගිහින්..

පරිස්සමට අරන් තියා ගත්ත නුඹේ කවි පොතේ පිටු අතර
සමහර පිටු තෙත් වෙලා හඬලම මම නුඹේ කවි වලට
ඒ තරම්ම සොදුරුව නුඹ දැකපු අපේ ආදරය
සිහිනයක්ව බොද උන හැටි තවමත් පිළිගන්නේ නෑ මම..

නුඹ තවම මගේ ලග ඉන්න බව දැනෙනවා
මේ කවි පොතේ පිටු අතර ආදරෙන් මට
හිනැහිලා තවම නුඹ මගේ කඳුළු පිසිනවා රහසේම
ඉස්සර වගේම ලං වෙලා මගේ හිතට..

නුඹට පිං ඉතිරි කරාට අපේ මතකය
මේ කවි කොල වල මට දකින්න
මට සැනසෙන්න පුළුවන් දැන් හැමදාකම
කියවලා නුඹේ කවි හිත තනිකමින් වෙලෙන මොහොතට..

Saturday, 21 May 2011

පූජා ලියූ කවි 3




කුරුල්ලනේ ඔබට ඇහෙනවද
මගේ හිත කතා කරන හඩ
ගිහින් ඔහු වෙත රහසේම හිමිහිට
මගේ ආදරේ කියාලා එනවද..

මොහොතින් මොහොත ගෙවෙන්නේ හෙමිහිට
දවස මෙතරම්ම දිගුද හැගෙන්නේ ඉදහිට
මග බලාන මම ඔහු හමුවෙන්න හිතාගෙන
ගෙවුන මොහොත දිගු වැඩියි කල්පයක් තරමටම..

මාවත පාළුයි දහසක් නෙතු අතර
මග බලා හිදිය දෙනෙත නැතිව මග තොට
කිමද පමා නුඹ කවදාවත් නැතිව
මා හඩවන්න හිතාගෙනද නුඹ අද..

පුන්චි කුරුල්ලනේ ගිහින් කියනවද
මම තවම මග බලා ඉන්න බව
එන්න කියනු මැන හනික මා වෙතම
දෙනෙත වෙහෙසයි මග බලා ඉදලම..

Thursday, 19 May 2011

දිළුම් සොයුර නුඹට නිවන් සුව!!!




නුඹේ සිතුවිලි ගොන්න
දිග නොහැරේවි මතුවට
බ්ලොග් අවකාශයම පාළුකර
නුබ යන්න යාවි හෙට..

ඇත්ත අපි නොහදුනන්නෙමු
මිතුරු වී දොඩමළු නොවූවෙමු
නමුදු අසා නුඹේ මේ නික්මීම
දෙනෙත කඳුළින් පිරුනෙමි..

නුඹට නිවන් සුව දිළුම් සොයුර
පතමි මම හිතේ දුක දරාගෙන
යලිදු හමුවෙමු අපි මතු දිනයක
නුඹව අමතක නොවේවි අපට..

Wednesday, 18 May 2011

එතර කරනු හැම




ඉස්සර ගෙදර හැමතැනම
දුව පැන ඇවිද්ද මල්ලියේ නුඹ
අද සන්සුන්ව කසාවතක් දරාගෙන
බුදු හිමියන් දෙසු මග අභියස..

පුන්චි හිතට නුඹෙ බර වැඩි වේද
මහා සයුරක මේ දිය දෝත
හිතද්දි හද තැවුනමුත් සියවර
කදුළු නැහැ දෙනෙත දකිද්දි පින්බර නුඹව..

ඊයේ පොහොයට නුඹ දෙසු බණ පද
අහන් හිටියා මං නුඹ ලගම හිද
ලොකු අයියා උනත් මම නුඹට
නුඹ සවිබලයි මගේ හිතටත් වැඩිය..

මම කල පින් නැහැ මල්ලියේ
මේ භවයෙදි යන්න බුදු හිමිගේ මග
නුඹේ සිත නිවුව අමා ගගුළින් දෝතක් ගෙන
කියා දෙන්න මටත් නිවන් මග ගැන..

දෙදන බිම තියා නුඹේ දෙපා පාමුල
වැද පතන්නම් නුඹට බුදු බව
ලොවට කියා දී උතුම් බුදු ගුණ
එතර කරනු හැම ජීවිත ගමනින් හෙට..

Monday, 16 May 2011

නුඹ නොඑන මග




නුඹ නොඑන මග දිග
වැටුන මල් පාවඩ
හිනැහේවි තවම
නොදැන නුඹ නොඑන වග..

මල් සැලේවි එකින් එක
සරසලා පාවඩ මග දෙපස
එකම එක බලාපොරොත්තුවකට
නුඹ පිළිගන්න කුමරියක් ලෙසට..

එදත් මේ වගේම මල් පාවඩ
වැටුනා නුඹ යලි නොඑන්නම ගිය දින
නුඹේ පහසට වැටුනමුත් මල් හැම
කවුරුවත් දන්නෙ නෑ නුඹ යලිත් නොඑන බව..

මල් පාවඩ තවම බැස යන හිරුත් අභියස
බලා හිදින මා ලගට හිමිහිට
ඇවිත් විමසද්දි නුඹ පමා ඇයි බව
කොහොම මම පවසම්ද නුඹ නොඑන බව..

Saturday, 14 May 2011

කවියක් නොවු නුඹ - අවසානය

                 ගෙවුන හැම මොහොතකම සොදුරු බව ඈ සොරා ගනිද්දී කාලය කොතරම් ගෙවී ගියාදැයි සාරංගට දැනුනේවත් නැත.. වෙනදාට කැමරාව ලග නැවතෙන හිත අද වෙන තැනක නැවතුනේ සාරංගටත් රහසේමය.. 

             ඇයත් සමග එකට ගෙවා ආ පියවර කීපය සාරංගගේ හිතට දැනුනේ ගව් ගානක් දුර බවය.. සාරංගගේ හිතට ඈ ගැන ආදර සිතුවිල්ලක් ආවේ සාරංගටත් නොදැනීමය.. අනූශාගේ මතකයන් නිසාම ඒ සිතුවිල්ල සාරංග යටපත් කර ගන්නට සිතුවද ඇගේ සොදුරු හිතට සාරංගට පෙම් නොබැද සිටිය නොහැකි විය.. තමන් මෙතරම් ඇයට ආකර්ශනය  උනේ කෙසේදැයි සාරංගටත් නොතේරුනේය.. 

                  එදා අරලිය මල් සුවද දිගේ සාරංගගේ මතකයන් ලගට ආ ඇය ගැන මෙසේ ආදරයක් ඇතිවේවියි සාරංග එදින නොසිතුවේය.. හිතේ රහසේම ඇදුන ආදරය සගවාගෙන ඉන්නට සාරංග කොතරම් සිතුවද ඒ සිතුවිල්ල පරදමින් ඇයට ඒ ගැන පවසන්නයි බලාපොරොත්තුවක් සාරංගගේ හිතට නැගුනේය..

             ඒත් අපි අපේ නම් හැරන්න වෙන කිසිවක්ම නොදන්නේදැයි සාරංගට සිතුනේය.. සාරංග අද නිවසට එන බව අම්මාට පොරොන්දු වූ නිසාම ඔහුට තව දින කීපයක් තානායමේ නැවතිය නොහැකි බැව් සාරංග කල්පනා කලේය..

                හැකි ඉක්මනින්ම ආයෙමත් ඇය වෙනුවෙන්ම මෙහි එන බව සාරංග සාරංගගේ හිතටම පොරොන්දු විය.. ගමේ සොදුරු බව විදිමින් ඇයත්, විදේශික යුවලත් හා ගෙවා ආ මග අවසානයට එත්ම සාරංග සිටියේ හිතේ ඇති උන අළුත් බලාපොරොත්තුවකුත් සමගය.. 

" මහත්තයට ගම හිතට ඇල්ලුවද? "  

" ඔව් ඕළු ගොඩාක් ලස්සනයි.."

               ඇය විමසුවේ සාරංගගේ කල්පනාවට බාදා කරමින්ය.. ගමන පුරාවටම සාරංගගේ හිත තිබුනේ වෙනතක බව ඇයට දැන්ම කිව නොහැකි නිසාම සාරංග එසේ පිළිතුරු දෙත්ම රුවන් ඔවුන් ලගට පැමිනෙනු සාරංග ඈත තියාම දුටුවේය.. 

" මහත්තයා කොහොමද ගම හොදයිද? "

" හොදයි රුවන්.."

" ආ ඕළු.. ඔයා කොහොමද මහත්තයව දන්නේ? "     සාරංගත් සමග ඇය සිටිනු දැක රුවන් ඇගෙන් විමසුවේය..

" මට ඊයේ තානායමේදි මහත්තයා මුන ගැහුනා.." 

" මහත්තයා දන්නවද මමයි ඕළුයි මේ මාසේ කසාද බදින්න ඉන්නේ.."

            සාරංග බලාපොරොත්තු නොවූ මොහොතක රුවන් පැවසූ දෙයින් සාරංග දකින්නට හිතු සිහිනය ඒ මොහොතේම බොද වන්නට පටන් ගත්තේය.. පවසන්නේ කුමක්දැයි සිතාගන්න සාරංග නොහැකි විය.. 

" මගෙන් සුභ පැතුම් රුවන්.."

            සාරංගගේ මුවින් පිට උනේ එපමණකි.. හිතට දැනුන සිතිවිලි සියල්ලම තමන්ට අයිති නැති බව සාරංග තෙරුම් ගත්තේය.. සාරංගගේ මුවගට සිනහවක් නැගුනේ තමන් ගැනම සිතාය.. 

" අපි යමු නේද රුවන්.. මම දැනටමත් ගොඩාක් පරක්කුයි.. "

             සාරංගට තවත් වෙලාවක් එහි රැදෙනු නොහැකිය.. දැන් නම් ඇත්තෙන්ම ඔහු ප්‍රමාදය.. හිත තවත් දුකින් පිරෙන්නට මත්තෙන් ඇයට සමුදීමට සාරංග හිත හදා ගත්තේය.. සාරංග දකින්නට හැදු සොදුරු සිහිනය වෙන කෙනෙකුට අයිති වී හමාරය.. 

            සාරංගගේ හිතේ අනූශා ගැන තිබුන මතකය මොහොතකට හෝ අමතක කර අළුත් බලාපොරොත්තුවක් දෙන්නට ඇයට හැකි විය.. නමුත් දැන් ඇයත් සාරංගගේ හිතේ නැවතී හමාරය.. ඉරණම මෙයනම් එය වෙනස් කල නොහැකි බව සාරංගට සිතුනේය.. 

                ගම් දොරකඩින් යලි ගමන් ඇරබු වාහනය ඈතකට එන තුරුම සාරංග ගම දෙස ආපසු හැරී බලා සිටියේය.. පැතුම් කන්දරාවක් ගම් දොරකඩ දමා මතක කන්දරාවක් පමණක් අරගෙන සාරංග ගමෙන් පිටවෙද්දි දෙනෙතට කඳුළු බිදුවක් ගලා ආවේය.. කඳුළු බිදුව රහසේම  පිසදා ගනිද්දී සාරංගගේ දුරකතනය නාද විය.. ඒ ඔහුගේ මවගෙන්ය.. 

" අම්මේ.."

" පුතා අද එනවා නේද? අපි හෙට අර ගමන යන්න ඕන.. " 

" ඔව් අම්මේ මම මේ එන ගමන්.. " 





Wednesday, 11 May 2011

කවියක් නොවු නුඹ 5

            පසුදින උදෑසනින්ම රුවන් පොරොන්දු වූ ලෙසම සාරංගව ගමේ උත්සවයට එක්කරගෙන යාමට තානායමට පැමිණියේය.. සාරංගත් කල්වේලා ඇතුව සුදානම්ව රුවන් එනතුරු මග බලා සිටියේය..

" අද මහත්තයා වේලස්සනම නැගිටලා.."

" ඔව් රුවන්.. මම අද හවසම ආපහු යන්නත් ඕන.. ඒනිසා රුවන්ගේ ගමටත් ගිහින් රෑ වෙන්න ඉස්සෙල්ලා මම ආපහු යන්න ඕන.."

" හොදමයි මහත්තයා.. මහත්තයා මුකුත් අමතක කලේ නැහැනේ? "

" නෑ නෑ රුවන්.. අපි යමු.."

                 සාරංගගේ ගමන් බෑගය අතට ගත් රුවන් එය වාහනය වෙත රැගෙන ගියේය.. සාරංග ඔහුගේ කැමරාව පමණක් අතට ගත්තේ නෙතු ගැටෙන සොදුරු යමක් ගිළිහෙන්නට නොදි කැමරාවට නතු කර ගැනීමේ අදහස ඇතුවය..

                   වාහනය වෙත ලං උන සාරංග හිතට දැනුන අමුතු සිතිවිල්ලක් නිසා ආපසු හැරී තානායම දෙස බැලුවේය.. ඔහු පිටුපසින් කිසිවෙකුත් නොවූමුත් සාරංග මොහොතක් තානායම දෙස බලා සිටියේය..

" ඇයි මහත්තයා? "

" නෑ රුවන්.. අපි යමු.."

            සාරංගත් රුවනුත් සමග තානායමින් නික්මුන වාහනයේ බොහෝ දුරක් යන තුරුම තිබුනේ නිහැඩියාවකි.. වනරොද දිහාවට නෙත් යොමා උන් සාරංග පසුව රුවන් සමග කතාවට වැටුනේය..

" කොහෙද රුවන්ගේ ගම? "

" අපි හේනගම මහත්තයෝ.."

              රුවන්ගේ ගමට ලගා වෙන තුරුම ගමේ විස්තර හොදින් දැනගත් රුවන්ට ගමේ සුන්දරත්වය ගැන හිතේ ඇති උනේ ලොකු සතුටක්ය.. මින් පෙර එහි නමවත් අසා නොතිබුන සාරංගට ගමට පිවිසෙත්ම දැනුනේ අපූරුම සුන්දරත්වයකි.. 

" මේ පැත්ත ගොඩාක් ලස්සනයිනේ රුවන්.."

" අපි යමු මහත්තයෝ අර පැත්තට.. උත්සවේ දැන් පටන් අරගෙනත් ඇති.. මම යමින් ගමන් විස්තර කියන්නම්.."

            රුවන් ඔහුගේ ගම ගැන මෙන්ම උත්සවය ගැනද සාරංගට බොහෝ දේ පැවසීය.. සාරංගගේ සුපුරුදු ලෝකයේ තනිවෙන්නට ඉඩ දුන් රුවන් සාරංගට මොහොතකට සමු දුන්නේය..  

        සාරංග එහි සිදුවු හැම දෙයක්ම කැමරාවට නතු කර ගත්තේය.. හදිසියේම කැමරා කාචය ඉදිරියේ මැවුන රුව දැක සාරංග පුදුමයට පත්විය.. ඒ ඇයය.. තානායමේදි සාරංගට මුනගැසුන ඇය මෙහි සිටිනු දැක සාරංග මොහොතකට පුදුම උනත් ඈ අසලම විදේශික යුවලක් සිටිනු දැක ඔවුන් සමග ඇය පැමින ඇතැයි සාරංග අනුමාන කලේය..

          ඇයටත් රහසින්ම ඇගේ පින්තූරක් සාරංග කැමරාවට නතු කර ගත්තත් සාරංග දෙතුන් වරක්ම ඒ ගැන යලි යලිත් සිතුවේය.. ඇයත් සමග වචනයක් හෝ කතා කීරීමේ කැමැත්තක් සාරංගගේ සිතට ආවත් කොතැනින් කෙලෙසක පටන් ගන්නවාදැයි සාරංග සිතන්නට විය..

          මේ අතරම විදේශිකයන් සමග ඔවුන්ට තොරතුරු කියා දෙමින් උන් ඇයද සාරංග සිටිනු දුටුවාය.. සාරංගව දුටු ඇය ඔහු දෙස බලා සිනාසුනාය.. සාරංග ඇය සිටි තැනට හෙමින් පියවර මැන්නේය.. 

" ඔයා මෙහේ? "  සාරංග ඇගෙන් විමසුවේය..

" මේ අපේ ගම මහත්තයෝ.. මම උදේ එන ගමන් මේ දෙන්නවත් එක්කගෙනම ආවා.. පිටරට අය කැමතියි මේ වගේ දේවල් දකින්න.. මහත්තයා කොහොමද ආවේ.."

" මම ආවෙත් මේ දෙන්නා ආවා වගේම තමයි.."

" තානායමේ වැඩ කරන්නේ ගොඩක් අපේ ගමේ අය.. අපි ගොඩක් වෙලාවට තානායමට එන අය මෙහෙ එක්කන් එනවා.. මහත්තයා කැමතිනම් අපිත් එක්කම එන්න.."

" හා.. මම සාරංග.. ඔයා? 

" මම ඕළු.."  



Saturday, 7 May 2011

කවියක් නොවු නුඹ 4

           සාරංග එදින සවස් වන තුරුම ගත කලේ වැව් ඉස්මත්තේ හා ඊට යාබද පෙදෙස් වල ඔහු සිත් ගත් දෑ කැමරාවට නතු කර ගනිමින්ය.. සාරංගගේ හිත කවදත් මෙවන් මොහොතකදි සතුටින් තිබුනත් රුවන්ට නම් එකාකාරී  දවස විඩාබර වී තිබුනි..

" මොකද රුවන් මූන එල්ලගෙන.. මේ ටිකටම එපා උනාද? "  සාරංග විමසුවේ රුවන්ගේ නිහැඩියාව බිදලමින්ය..

" නෑ මහත්තයෝ.. මට ඉතින් ඕවා තේරෙන්නේ නෑනේ.."

" මමත් මුලින් කිසි දෙයක් දන්නෑ රුවන්.. හවස් වෙන්නත් ආපු එකේ අපි දැන් යමු.."

" හා මහත්තයෝ.."

          රුවන් වාහනය හරවාගෙන සාරංග එනතුරු බලා සිටියේය.. තව මොහොතක් එතැන සුන්දරත්වය කැමරාවට නතුකර ගත් සාරංග වාහනයට ගොඩ විය.. වාහනට ආයෙත් තානායමට එන තුරුම එහි තුල රැදුනේ දිගු නිහැඩියාවකි.. තානායම දොරටුව ලග පැමිණි වාහනයෙන් සාරංග බැස ගත්තේය..

" රුවන් හෙටත් එනවනේ? "  සාරංග හාස්‍යට මෙන් ඇසුවේ රුවන්ට සාරංගට මග පෙන්වීම එපා වී ඇතැයි සිතාගෙනය..

" හෙට නම් මගේ නිවාඩු දවස මහත්තයෝ.. හෙට අපේ ගමේ උත්සවයක් තියෙනවා.. මං එන්නම් මහත්තයා එහේ එක්කන් යන්න.."

" හ්ම්ම්... හොදයි.. එහෙනම් අද වෙලාවටම එන්න රුවන්.."

            රුවන්ට සමුදුන් සාරංග ඔහුගේ කාමරය වෙත පිය මැන්නේය.. කාමරයට ඇතුළු වත්ම කාමරයෙන් හමා ආ අරලිය මල් සුවද සාරංගගේ හිත ලග නැවතුනේය.. කාමරය පුරා බැලූ ඔහුට අවසානයේ ජනේලය ලග පුන්චි මල් බදුනක තබා තිබුන අරලිය මල් කිණිත්තක් නෙත ගැටුනේය..

         අරලිය මල් සුවද දිගේ මල් කිණිත්තට ලං උන සාරංග මල් කිණිත්ත අතට ගත්තේය.. මොහොතක් මල් දෙස බලා උන් සාරංගට ඇය බයෙන් බලා සිටි අයුරු මතක් වී සිනා රැල්ලක් මුවගට ආවේය.. මල් තබා යන්නට ඇත්තේ ඇය බව සාරංග සිතුවේය.. 

             මල් කිණිත්ත යලිත් මල් බදුනේ තැබූ සාරංග ඔහුගේ පරිඝණකය ක්‍රියා කරවාගෙන ඔහු කැමරාවට නතු කර ගත් චායාරූප බලන්නට විය.. සැදෑව හෙමින් ගලා එත්ම ඒ අදුර වේගවත් කල කළු වලාවක් නිසා පොද වැස්සක් ඇද වැටෙන්නට විය.. 

            පරිඝණකය ලගම සිරවී උන් සාරංගට ඈතින් කවුරුන් හෝ සිනා සෙන හඩක් සවනත වැටුනේය.. පරිඝණකයට මදකට සමුදුන් සාරංග ජනේලය ලගට කිට්ටු විය.. තානායමේ නැවතී උන් පොඩි එවුන් ටිකක් වැටෙන පොද වැස්සට ආසාවෙන් එළියේ දග කරමින් සිටියේය.. ඔවුන් සමග සාරංගට උදයේ හමුවූ ඇයද සිටිනු දැක සාරංග වඩාත් ඕනෑකමින් ඔවුන් දෙස බලා සිටියේය..

           පුන්චි එවුන් ටික වගේම ඇයත් පොද වැස්සට ආසාවෙන් එහි දග කරමින් සිටියාය.. පුන්ච් එවුන්ටත් වඩා සතුටක් ඇය ඉන් ලබන බව සාරංගට දැනුනේය.. බයෙන් තමන් දෙස බලා උන් දෙනෙතට වඩා අහිංසක සොදුරු දෙනෙතක් එවෙලේ සාරංගගේ නෙත ගැටුනේය.. සාරංග සියල්ල අමතක වූවාක් මෙන් ඒ දෙස බලා සිටියේය..

          මොහොතකින් සාරංගව දුටු ඇය පුන්ච් එවුන් ටික ලගට කර ගනිමින් සාරංග දෙස බලා සිටියේය.. 

" සමාවෙන්න මහත්තයා අපි නිසා කරදරයක් උනා නම්.."

" කරදරයක්? "

" අපේ සෙල්ලම නිසා.."

" නැහැ.. නැහැ.. "

           ඒ වෙනකොටත් වැස්ස ටිකෙන් ටික අඩු වෙමින් තිබුනේය.. ඒ නිසාම පුන්චි එවුන්ගේ මුහුණු වල කලින් තිබුන සතුට ටිකක් අඩුවි තිබුනේය.. සාරංග දෙස බලා සිනාසුන ඇය පුන්චි එවුන් ටිකත් සමග එතැනින් නික්මී ගියේය..

Wednesday, 4 May 2011

කවියක් නොවු නුඹ 3

               හිරු නැග එත්ම අවටින් ඇසුන කුරුල්ලන්ගේ හඩට අවදි උන සාරංග ඉක්මනින් ලෑස්ති වී තානායමින් පිටත් උනේ ඊයෙත් මග හැරුන වැඩ බොහෝමයක්ම තිබු නිසාය.. වනයේ චාරිකාවට ඔහු ඉල්ලා සිටිය ජීප් රථය ඒ වන විටත් තානායම ඉදිරියේ නවතා තිබුනේය.. සාරංගගේ සහායට ඔහුගේම වයසේ රියැදුරෙකු සාරංග එනතුරු රථයට වී මග බලාගෙන සිටියේය..

" සුභ උදෑසනක්.. මහත්තයා වෙන්න ඇති සාරංග කියන්නේ?  මම රුවන්.."  මිත්‍රශීලීව ඔහු සාරංගව පිළි ගත්තේය..

" ඔව් රුවන්.. අපි ඉස්සෙල්ලම කොහේද යන්නේ? "

" අපි යමු මහත්තයා වැව කිට්ටුවට.. "

" හ්ම්ම්.. හොදයි.. "

               රුවන් සමග ඔහුගේ තොරතුරු විමසු සාරංග වැඩි වේලාවක් යන්නට මත්තෙන්ම ඔහු හා සුහද විය.. අවට සුන්දරත්වය විදිමින්ම රුවන් සමග කතාකරමින් ඉදිරියට ඇදුන ජීප් රථය හදිසියේම සාරංග නතර කලේ ඈතින් ඇස ගැටුන අලි රංචුවක් කැමරාවට නතු කර ගන්නටය.. 

           ගමන් බෑගය අතට ගත් සාරංග ලහි ලහියේම කැමරාව සුදානම් කර ගන්නට වූවත් සාරංග ඔහුගේ ලෙන්ස් එක තානායමේ අමතක කර ඇවිත් ඇති බව ඔහුට මතක්විය.. සාරංගට මීට පෙර කෙදිනකවත් ඔහුගේ දේවල් අමතක වී නොතිබුනත් ඊයේ ඔහු සිටි මානසිකත්වය නිසාම එසේ අමතක වන්නට ඇතැයි සාරංග සිතුවේය..

" රුවන් අපිට ආපහු යන්න වෙනවා.."

" ඇයි මහත්තයෝ හදිස්සියේම? "

" මම ඕනම කරන ලෙන්ස් එක ගෙනත් නැහැ රුවන්.. අපි වැඩි දුරක් ආපු නැති එකේ ආපහු යමු ඉක්කමනට.."

" අපරාදේ මහත්තයා.."

" ඔව් රුවන්.. අපි ඉක්මනට යමු.."

           ආපසු හරවාගත් වාහනය යලිත් තානායම දෙසට එන්නට වත්ම සාරංග ආපසු හැරී බැලුවේ ඒ මොහොත මග හැරුන දුක නිසාමය.. හිතින් තමාටම බැන ගනිමින් සාරංග යලිත් වහනය තානායමේ නතර වන තුරුම කිසිවක් නොපවසා සිටියේය..

" මම ඉක්මනට එන්නම් රුවන්.. "

             වාහනයෙන් බැස ගත් සාරංග තානායමට දිව ගියේය.. තානායමේ සිටි අනිත් පුද්ගලයන් සාරංග දෙස පුදුමයෙන් බැලුවද ඒ කිසිවක් ගනන් නොගෙන සාරංග ඔහුගේ කාමරයට ඇතුළුවිය..

                  කලබලයෙන් වැරෙන් දොර විවෘත කල සාරංගට එක වරෙම නෙත ගැටුන දෙයින් තවත් කලබලයට පත් විය.. ඒ තරුණියක් ඔහුගේ කාමරයේ සිටිනු දැකීමත් සමගය.. කිසිවක් කියා ගත නොහැකිය ඇය සාරංග දෙස බලා සිටියාය.. මොහොතක් ඇගේ නෙතු දෙස බලා උන් සාරංග කාමරයට නෙත් යොමා බැලුවේ තමන්ට කාමරය වැරදුනාදැයි ඇතිවූ සැකය නිසාය.. 

                 සාරංග පැමින ඇත්තේ ඔහුගෙම කාමරයටය.. ඒත් ඇය කවුරුන්දැයි සාරංගට ප්‍රහේලිකාවකි.. ඇය තවමත් කිසිවක් නොකියාම සාරංග දෙස පුදුමයෙන් බලා සිටින්නීය.. අවසානයේ සාරංග ගෙවී ගිය නිහැඩියාව බිදලමින් ඇය ගැන විමසුවේය..

" ඔයා කව්ද? "

" මම මෙහේ වැඩ කරන්නේ මහත්තයා.. මහත්තයා එළියට ගිය නිසා ලොකු මහත්තයා කිව්වා කාමරේ අස් කරන්න කියලා ඒකයි ආවේ..." 

" හා.. හොදයි.. මම මගේ බඩු වගයක් අමතක උනා.. එකයි ආවේ.."

              තම ගමන් මල්ලේ තිබූ ලෙන්ස් එක අතට ගත් සාරංග කාමරයෙන් පිටත් විය.. ඒත් තවමත් සාරංගට මොහොතකට පෙර සිදුවූ දෙය සිතා ගන්නටවත් නොහැකිය.. ඈ කොතරම් ඒ මොහොතේ බිය උනිදැයි සාරංග ඇගේ දෙනෙතින් දුටුවේය.. මුවගට නැගුන සිනාවත් සමගම තානායමින් නික්මුන සාරංග වාහනයට නැග්ගේය..

" මහත්තයා කේන්තියෙන් ඇතුලට ගියාට මොකද එළියට ආවේ හිනා වෙවී.."

  සාරංග වාහනයට ගොඩ වත්ම රුවන් විමසුවේය.. 

" ඔව් රුවන්.. අපි ඉක්මනට යමු.. තව දේවල් මග ඇරෙන්න ඉස්සෙල්ලා.."