Friday, 29 April 2011

කුසට අහරක්




නුඹ ඉතිරි කර මග දමා ගිය
පුන්චිම පුන්චි අහරක රස
මම හැර දන්න වෙන අයෙක්
හිදීවිද මේ පොළොව මත..

බඩගින්නට බඩ පිරෙන්න
කෑම දෙන්න බෑ අපෙ අම්මට
තාත්තෙක් නැති නිසා කරුමයට
මහ පාරේ අපි රෑ දවල් එකලෙස..

රස පිරුනු රජ බොජුන් දකිනවා හැමදාම 
මහත්තුරුන් ඇවිත් යන හෝටලයේ පිටුපස
බලා හිටියත් නොහෙලා ඇසිපිය 
ලැබෙන්නේ නෑ අපිට රසවිදින්න මොහොතකට..

කරදරයක් අපි ඇතමෙකුට මග යන
කිළිටි දැත් තැවරෙන කොට
සමාවෙන්න අපි කුමක් කරන්නද
ඇති හැටි ඔබෙන් ඉල්ලනු මිස..

Wednesday, 27 April 2011

පූජා ලියූ කවි 2




නුඹ ඇවිදින් හිමිදිරිය ලෙස
පරව යන්නට හදන කඩුපුල් මලක් ලග
නැවතිලා ආදරෙන් මෙලෙස
කිමද හමුවිය නොහැකි මොහොතක..

යන්න කිව්වට මගෙන් ඈතට
ඇයි තවම නුඹ මෙලෙස මා ලගම
හිතුවක්කාර ඔය හිතට
කඳුළු බර වැඩි වේවි දවසක..

මේ ආදරය සිහිනෙකි
අපි දෙතැනක බලා හිදිවි
අනේ ඇයි නුඹ ආදරේ මෙතරම්ම
තේරෙන්නෑ මගෙ දුප්පත් හදට..


Sunday, 24 April 2011

මම අද තනියම




නුඹ දුන්න හාදුවේ උණුසුම
දැනෙනවා තව මේ කම්මුල් වල
නුඹ දෙනෙතින් පැවසුව ආදරය
මැවෙනවා තව මගේ දෑස් අද්දරම..

නුඹේ මතකය ඉතිරි කර ගිය
අපි තුරුළු උන ඒ සැදෑ වෙරළ තෙර
නුඹ නැතත් මම අද තනියම
විදගන්න එහි අපෙ මතකයෙ මිහිර..

පුන්චි දරුවන් අතර හිනැහුන
නොදරුවෙක් විලස රැලි අතර
දගකෙරුව ඒ හිතැත්තිය අද
සොයද්දි වෙරළ මා කුමක් පවසම්ද..

ජීවිතය විදගන්න නුඹ ඉතිරි කර ගිය
පූජනීය ආදරේ මතක මාලිගා අතර
මේ කඳුළු සගවගෙන නුඹ නිසාම
හිනැහෙමි මම නුඹ දුන්න ආදරේ හින්දම..

Saturday, 23 April 2011

අපේ තාත්තා...

          මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ තමයි මගේ තාත්තා.. මම මේ කියන්න උත්සාහ කරන්නේ වෙනදා ලියවෙන පිය පුතු ආදරයට වඩා ගොඩාක් වෙනස් කතාවක්.. මට මේ ලිපිය ලියන්න මුලින්ම හිතුනේ මීට දවස් කීපයකට කලින් උන පුන්චි සිදුවීමක් හරහා.. මම මුලින් ඒ කතාව කියලා ඉන්නම්..

                       අපෙ තාත්තා අවුරුදු 18ක්ම රස්සාව කලේ ඉතාලියේ.. මම ඉස්කෝලේ 1 පන්තියේ ඉන්නකොට තමයි තාත්තා ඉතාලි ආවේ.. ගොඩාක් ලොකු කාලයක් නේද කියලා හිතුනට අවුරුදු 25 -30 ඉතාලියේම ඉන්න අපේ අය ගොඩක් ඉන්නවා කියලා මම දැනගත්තෙත් මෙහෙ ආවට පස්සේ.. කොහොම හරි මේ අප්‍රේල් මාසේ තාත්තා අවුරුදු 18ක ඉතාලි ජීවිතයට සමුදිලා ලංකාවට ගියා..

                  ඉරිදා නිවාඩු දවසක තාත්තා එයාගේ ලිපි ලේඛණ ඔක්කොම තියාගෙන අවුස්සන වෙලාවක මමත් ගිහින් තාත්තා එක්ක කතාවට වැටුනා.. අපි ඉතින් මෙහෙ ඉන්නකම් හැමදාම පරිස්සම් කරන්න ඕන ඩොකියුමන්ට්ස් ගොඩාක් තියෙනවා.. ඒ ගැන සමහරු දන්නවා ඇති.. ඉතින් දැන් මේ සමහර දේවල් වැඩක් නෑ නේද කියලා තාත්තා කුණු බෑග් එකක් පිරෙනකම්ම ඒ වෙනකොටත් කොල ඉරල දාලයි තිබුනේ.. 

         මම ඉතින් අරෙහෙන් මෙහෙන් ඒවා බල බලා ඉද්දි තාත්තා පරණ ඩයිරියක් අතට අරන් මං දිහා බලලා හිනා උනා.. ඒ ඇයි කියලා හිතාගන්න බැරි උන නිසා මම තාත්තගෙන් ඒ ඇයිද කියල අහද්දි තාත්තා ඒ ඩයිරිය ඇතුලේ තිබිලා කොලයක් අරන් මට කියවන්න කියලා දුන්නා.. ඒක ටිකක් පරණ වීගෙන ගිහින් තිබුන නිසා මමත් පරිස්සමට දිග ඇරලා බැළුවා ඒ මොකද්ද කියලා.. 

           ඒ කොලේ පුරාවට තිබුනේ ලොකු අකුරෙන් ඇදේට ලියාගෙන ගිය ලියුමක්.. ඒ වෙන කාගෙවත් නෙමෙයි මම මීට ගොඩක් කාලෙකට කලින් තාත්තට ලියපු ලියුමක්.. ඒ ලියුම කවදා ලියපු එකක්ද කියලා මං එවෙලේ දැනන් හිටියේ නැහැ.. 

..............

තාත්තා,

මම හොදින් ඉන්නවා.. ඉස්කොලේ හැමදාම යනවා.. අළුත් පන්තිය හොදයි.. මට පැන්සල් දාන් යන්න පෙට්ටියක් එවන්න..

සුදූ

..............

           කොලේ පුරාවටම මම ලොකු අකුරෙන් ලියලා තිබුනේ ඔන්න ඔය වචන පේලී කීපය.. ඒ ලියුම කියවලා ඉවරවෙන්නත් කලින්ම මගේ ඇස් වලට කඳුළු ආවා.. මම තාත්තා දිහා බලද්දි තාත්තා මන් දිහා බලගෙන හිනා උනා..

" මම මේක කවද්ද තාත්තේ ලිවුව්වේ? " මං ඇහුවා..

" ඕක මම මේහෙ ආවට පස්සේ පුතා එවපු පළවෙනි ලියුම.. 94දි විතර.."  තාත්තා කිවුවා..

                 ඒ කියන්නේ අවුරුදු 17කට කලින්.. මගේ ඇස් වලට ආපු කඳුළු මට නවත්තගන්න බැරි උනා.. එහෙමම තාත්තට තුරුළු උන මම ටික වේලාවක් එහෙම්මම හිටියා.. මට ඒ ලියුම ලියපු දවසවත් මතක නැති උනත් තාත්තා මම එවපු ඒ ලියුම අවුරුදු 17ක් පරිස්සම් කරලා නේද කියලා මට හිතුනා.. 

                 පහුගිය අවුරුදු 3 තමයි මට තාත්තා එක්ක ගොඩක් ලං වෙලා ඉන්න ලැබුන කාලය.. වෙනදට අවුරුද්දකට සැරයක් මාස දෙක තුනයි තාත්තා එක්ක ඉන්න ලැබෙන්නේ.. දැන් ආයෙත් ඒ සෙනෙහස මගෙන් දුරස් වෙලා.. තාත්තා අපි අද මේ ඉන්න තත්වෙට ගේන්න ගොඩක් මහන්සි උනා.. ඒ දේවල් මම පස්සේ ලිපියකින් කියන්නම්.. 



Thursday, 21 April 2011

හිනැහෙමි මම




වර්ණ රූ රටා මුසු කරගෙන ජීවිතයට
පාට පාට සිහින ලොවක සිරියාව අරගෙන
මම තවම නුඹ එනකම් සැණකෙළිය අභියස
සිනහ තවරන්න විඩාබර ඔබේ හදවතට..

රැයක් පුරා හිනැහෙමි දෙනෝදාහක් අතර
නොහදුනන මුහුණු වල සිනහ රැල් මත
නුඹ තුටින් මට යලි දි යන සිනහව
මට අහිමි බව මම කෙලෙසින් පවසම්ද..

නුඹෙ දෙනෙත් ඉදිරියේ මා හෙලන
කඳුළත් සතුටකි නුඹට පිටතින් පෙනෙන
ජීවිතය මහා දුක් ගොඩක් බව
පවසද්දි හිනැහේවි නුඹ පෙර ලෙසම..

පොඩි එවුන්ගේ සොදුරු හිත ලග
මම මහා වීරයෙකි උන්ගේ ලෝක වල
ගෙදර පැටවුන්ගේ බඩ ගින්න නිවන්නට
ගන්න මේ වෙහෙස දන්නේ මම විතරමද..

සිනාසෙමි මම නුඹලාගේ හිත් හදන්නට
කිසිවක් නොපෙන්නා වර්ණ ලෝකයෙන් එපිටට
සිනහව තවරමි මහා විරයෙක් විලසට
තව තව අරන් කඳුළු කැට නුඹෙ දෑසින් මම..

Tuesday, 19 April 2011

මට දැනෙනවා නුඹ ඉන්නවා




දුක් ගීයක පදවැලක්
අමුනනවා මං
කඳුළු බිදු අතර සැගවී
රහසේම මං..

මුතු අකුරු අතර ඇමිනි
නුඹෙ මතකය වෙද්දී කවියක්
කියවා යලි කඳුළු සලනවා
නුඹෙ සෙනෙහස ලගදී මං..

නුඹ එන්නේ නෑ ආයෙත්
පිළිගන්නේ කොහොම මම තවත්
මට දැනෙනවා නුඹ ඉන්නවා
මගේ සුසුම වි රහසින්..

දෙනෙත් අග කඳුළු බිදුවක් වී
නුඹ හිදීවි මා ලගින් තවත්
වැටෙන්නට නොදී දෙනෙතින්
රකිමි නුඹෙ මතකය හෙටත්..


Monday, 18 April 2011

පූජා ලියූ කවි 1




තඹරු පිපී පරව යන
අතරමැද විරාමයක
නෙලාගෙන දෑතින් ඒ මල
සුවද විදිමි මම හනිකට..

පිපි මල් මිලාන වී යති
කඳුළු සලා නටුව රහසින්
මතකයේ රැදී තියේවි
සුවද විහිදූ මොහොත පමණක්..

අවාසනාවට පිපුනු කැකුළු පොඩි
මිලිනව යයි සැදෑවටත් කලින්
නෙලාගෙන ඒ මල් නටු අගින්
සුවද නොවිදිති ලොවේ කිසිවක්..

කිසිවකුත් නොදනී පිපුන බවක්
පුන්චි කැකුළු මල් වලට පහලින්
පෙති සැලී පරව යයි ඒ කැකුළු
ඉතිරි නොකරම මතකයක්..

මමත් හිදිමි මග බලාගෙන
මගේ සැදෑව උදාවෙන තුරුම
අවාසනාවට කැකුළක් වී මට
පරව යා යුතුව ඇත..

නොදනිමි සැදෑවට තව කොතරම් දිගුද
නමුදු දනිමි මගේ කාලය ලංවනා බව
දොස් නගා කිම මම මගේ ජීවිතයටම
සතුටු සිතින්  එය පිළිගනු මිස..


Saturday, 16 April 2011

කඩුපුල් මල : අවසාන කොටස

                 අයේශා ඇගේ බොදවි යන හීන ගොන්න ලග කඳුළු සලමින් සිටින්නීය.. අසරණවූ ඇය පිළිසරණක් නොමැතිව වද වේදනා ඉවසාගෙන සිටියාය.. කෲර වූ ඔවුන්ගේ සිත් සෑහීමට පත් වන තුරුම ඔවුන් අයේශාට වේදනා දුන්නේය.. කිසිවක් කර ගත නොහැකිවු අයේශා අගේ ආදරේ නාමයෙන් සියල්ල විද දරා ගත්තාය.. එහෙත් ඈ ඇගේ ආදරය කිසිවිටෙක අමතක නොකලාය..

              යන්තම හුස්ම වැටෙමින් තිබුනූ අයේශාට ඈ ඉල්ලා කෑ ගැසූ මරණය ඔවුන් තෑගි නොකලේය.. ඔවුන්ගේ කුරිරු හදවත් තුල අයේශාට අනුකම්පාවක් නොතිබුනී.. ඔවුන් ඇයව යලිත් ඇය සිටි කාමරයට ගෙන ගොස් අගුළු දැමුවේය..

            මුළු ගතම වේදනාවෙන් වෙලි ගියද අයේශාගේ ආදරය බිදුවක් වත් අඩු නොවුනාය.. ඈ ඈතින් වැටි ඇටි සද එළිය දෙස බලා කල්පනා කරන්නට වූවාය.. 

" කල්ප ඔයා හොදින් නේද? " 

            ඇය ඇයගෙන්ම ඇසු එකම පැනය එය විය.. කල්පටත් තමන්ට මෙන්ම කරදර විදින්නට සිදුවනවාදැයි ඇය සිතුවාය.. තමන් සොයා ඔහු යලි නාවත් කල්පගේ ජීවිතයට අනතුරක් නොදෙන්නයි ඈ දෙවියන්ගෙන් ඉල්ලුවාය..

                දෑසින් ගලා ආ කඳුළු බිදු අතරම හිතට දැනුන වේදනාවෙන් ඇගේ දෑස පියවෙන්නට ආසන්නය.. මුළු ලෝකයම ඈ ඉදිරිපිට නැවතී ඇති මෙන් ඇයට දැනුනාය.. සුසුමේ වේගය එකින් එක අඩුවී යද්දී ඇය සිනා සුනාය.. මරණය තමන් ලගමයි ඈ සිතුවාය..

               මොහොතක වෙලී ගිය දැහැන බිද දමමින් යලි දොරගළු විවෘත විය.. චායා දෙකක් ඈ ඉදිරිපස මැවනූ ඈ දුටුවාය.. ඈ ගතින් දුර්වල නිසාම ඇයට ඒ කවුරුන්දැයි හදුනා ගත් නොහැකිය..

" අයේශා.."

             ඒ හඩ හුරු පුරුදුය.. නමුත් ඒ කවුදැයි ඇයට හදුනා ගත නොහැකිය.. මද වේලාවක් දෙලොවක් අතර උන් ඇය ඒ හඩත් සමග අවදි වූවාය..

" කල්ප.." 

                 කිසිවක් පවසන්නට මත්තෙන්ම ඔහු ඇයව තුරුළුකර ගත්තාය.. අයේශාට ඇගේ කඳුළු නැවතිය නිහැකිව ඇගේ හිත සැනසෙන තුරු හැඩුවාය.. කිසිවක් නොපැවසු කල්ප ඇයට දුක අඩුවන තුරු හඩන්නට ඉඩ දුන්නේය..

            මොහොතක් කල්පගේ තුරුලේ උන් අයේශා දෙනෙත් විවර කල කල්ප දෙස බැලුවාය.. ඔහුගේ හිස වටා වෙළුනු වෙළුම් පටියකි.. මුහුනේ තුවාල කැළැල් දුටු අයේශා කලබල වූවාය..

" ඔයාට මොකද උනේ කල්ප.."

" ඒක දිග කතාවක් අයේශා.. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.. අපි ඉස්සෙල්ලා මෙතනින් යමු.."

" කල්ප.. මැඩම්.."

" එයා ගැන බය වෙන්න එපා.. එයා ගැන දැන් පොලීසිය බලා ගනීවී.."

" ඒත් ඔයා කොහොමද මෙතන දැන ගත්තේ? "

" හිමාශි තමයි මට උදවු කලේ.. අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යමු.. ඔයාට ගොඩක් අමාරුයි.."

                 අයේශාව දෑතට ගත් කල්ප ඇයව රෝහලට  රැගෙන ගියේය.. කල්පගේ පපුවට තුරුළු උන ඇය දිගු හුස්මක් හෙලුවාය.. 

............................

                  දින කීපයක් රෝහලේ නැවතී උන අයේශා ටිකෙන් ටික සුවය ලබමින් සිටියාය.. ඇය දැන් නිදහස්ය.. අගේ ගෙවී ගිය ජීවිතය ඇයට දැන් අතීතයක් වී ඇත.. දෙමවුපියන්ගේ හදිසි මරණය ඇගේ ජීවිතය කොතරම් දුරකට තල්ලු කලාදැයි ඇය කල්පනා කලාය.. 

             ඇයට අහම්බෙන් හමුවු කල්ප නොසිටින්න ඇය තවමත් නිදහසේ හීන දකිමින් සිටින්නීය.. කල්පගේ ආදරය ඇගේ ජීවිතයට ගෙනා ආලෝකය ඇයට මහ මෙරක් බදුය.. 

" මොනවද බං තාමත් ඔච්චර කල්පනා කරන්නේ.."

           හිමාශී ඇගේ කල්පනාව බිදලමින් විමසුවාය.. හිමාශිව වැළදගත් අයේශා ඇයට ස්තූති කලාය..

" හිමාශී ඔයා නොහිටින්න මම මේ වෙනකොටත් මැරිලා" ඇය පැවසුවාය..

" මට නෙමෙයි බං කල්පටයි ස්තුති කරන්න ඕන.. කල්ප නිසා අද අපේ ජීවිතත් නිදහස්.. "   ඇය හදවතින්ම පැවසුවාය.. 

" මොනවද දෙන්නා කතාකරන්නේ? "  කල්ප ඔවුන් අතරට එමින් විමසීය..

" දැන් කොහොමද අයේශා.. ඔයාට අද ගෙදර යන්න පුළුවන්ලු.. මම හැමදේම ලෑස්ති කලා.. "

                      අයේශාගේ දෑසට කඳුළු ගලා එන්නට විය.. මෙතරම් ආදරය කරන කෙනෙක් ඇයට හමුවීම ගැන ඇය සතුටු වූවාය.. ඇගේ මිතුරියට සමුදුන් අයේශා කල්පගේ දෑතේ වෙලී අළුත් ගමනකට පියවර තැබුවාය.. නිදහසේ සිසිල විදිමින් උන් ඇය නව ලොවක සිහින දැක්කාය...




Friday, 15 April 2011

කඩුපුල් මල : අටවන කොටස

                     කුරුළු කූඩුවකින් ඉගිල්ලී නිදහසේ සුවද විදින්නට යන කිරිල්ලියක මෙන් සතුටක් හිතේ දරාගෙන ආ අයේශාගේ සතුට මොහොතකින් ඇගෙන් උදුරගෙන ගියාය.. ඈ එනතුරු කල්ප පෙරමග බලන් ඉදිතැයි අයේශා සිතූමුත් ඈ එනතුරා එහි රැදී සිටියේ වෙනකෙකුය..

                        අයේශාගේ දෙනෙතට කඳුළු බිදු ගලා ආවේ කල්පට කුමක් උනිදැයි සිතා ගත නොහැකිවය.. ඇගේ කඳුළින් පිරුනු දෙනෙත් ලග ඇයට සිනාසෙමින් මැඩම් ඇය දෙස බලා හිදින්නීය.. අයේශාගේ හිතට කල්ප ගැන මහා බයක් දැනෙන්නට විය..

" කුමාරිකාව මේ කොහේද යන්න හදන්නේ? "

                      මැඩම් අයේශා ලගට විත් විමසුවේ ඇගේ දෛවයට සරදම් කරමින්ය.. අයේශාගේ හීන ගොන්න එකින් එක ඈ දෙනෙත් මානයේම කඩා වැටෙන්නට විය..

" මැ..ඩ..ම්.. ම..ම..."

       ඇය වචන අමුනමින් කතාකරන්නට විය..

" ඔව් මැඩම් තමයි.. උඹ කොහේද යන්නෙ කියලා මට කිවුවේ නැහැනේ? "

          ඇය එවර උස් හඩින් අයේශාගෙන් විමසුවාය.. අයේශා කිසිවක් නොපවසා හඬන්නට විය.. ඒ අතර ඇගේ දෙනෙත් කල්ප කොහොදැයි සෙවුවාය..

" කාවද බලන්නේ අර කොල්ලවද? උඹට ආයෙත් ඒ කොල්ලව දකින්න ලැබෙන එකක් නැහැ.."

                     මැඩම්ගෙන් ලැබුන රළු වදන් අයේශාට දරාගත් නොහැකි විය.. කල්ප ගැන ඇගේ හිතේ තිබුන බය තව තවත් වැඩි වන්නට විය.. ඔහුට කරදරයක් වී ඇතිදැයි ඈ සිතුවාය.. කරන්නට කිසිමදෙයක් සිතාගත් නොහැකිව මැඩම්ගේ දෙපා පාමුල වැද වැටුන ඈ ඇගේ ජීවිතය යදින්නට විය..

" කල්පට අනතුරක් කරන්න එපා මැඩම්.. මම කල්පට ගොඩක් ආදරේයි.. අපිට අපේ ලෝකේ හදා ගන්න ඉඩ දෙන්න මැඩම්.."

               ඇගේ දෙපා පාමුල අයේශා ඇගේ ජීවිතය ඉල්ලා හඩා වැලපුනද උණු වෙන හිතක් මැඩම් ලග නොතිබුනාය.. ඈ තවමත් කේන්තියෙන් අයේශා දෙස බලා සිටින්නීය..

" මට උඹේ ආදරේ ගැන පහුගිය ටිකේ තෙරුනා.. මම උඹ පස්සෙන් මගෙ මිනිහෙක් නොදාන්න උඹ මේ වෙනකොටත් මාව පොලීසියට කොටු කරලා.. මේකිව අරන් වාහනේට දා ගනින්.."

              අයේශාව ඔවුන් බලෙන්ම වාහනයට නංවා ගත්තේය. ඇගේ නිදහස වෙනුවෙන් අයේශා කෙතරම් කෑගැසුවද ඇයට පිහිටක් වන්නට කෙනෙක් එවෙලේ නොසිටියේය..

            අයේශා සමග නික්මුන වාහනය පාළු නිවසක් තුල නතරවිය.. ඉන් අයේශාව එළිය ඇද ගත් ඔහුන් ඇයව නිවස තුලට දමා අගුළු දැමුවේය..

" උඹලා මේකි ගැන හොදට ඇහැ ගහගෙන හිටපන්.. මම තව හවස් වෙලා එන්නම්.."

             මැඩම් සමග සිටි අයකුට ඈ එසේ පවසනවා අයේශාට යන්තමින් ඇසිනි.. කඳුළු පුරවා ගත් දෙනෙතින් ඈ දොර ලගට විත් කෑ ගැසුවාය.. ඒත් ඒ හඩ ඇසෙන හදවතක් ඇති මිනිසෙන් ඒ අසල නොසිටියේය..

                ජිවිතය වෙනුවෙන් කෑ මොර දී හති වැටුන අයේශා දොර අසලම හිද ගත්තාය.. ඇගේ හිත තිබුනේ කල්ප ලගය.. ඔහුට කුමක් උනිදැයි ඇයට සිතාගත නොහැකි විය.. ඔහුගේ ජීවිතයට අනතුරක් නොවේවායි ඈ දෙවියන්ගෙන් ඉල්ලීය..

               කල්පගේ සිතිවිළි අතරම තනිවි උන් අයේශාට කාලය කොතරම් ගලා ගියාදැයි නොදැනුනි.. ඈත හිරු බැසගෙන යන අයුරු ඈ කවුළුවකින් දුටුවාය..ඒ සමගම කාමරයේ දොරගුළු ඇරගෙන ඇතුලට ආ  කෙනෙකු ඇය සිටි කාමරයෙන් වෙනත් තැනකට රැගෙන ගියාය..

          මැඩම් සමග තව කීප දෙනෙකු ඈ එනතුරු එතන මග බලමින් උන්නාය..

" නතාශා.. කොහොමද ළමයෝ.. ආ වැරදුනා අයේශා.."

           ඇය අනිත් අයත් සමග සිනා සෙන්නට විය.. කිසිවක් නොපැවසූ අයේශා බිම බලාගෙන උන්නාය..

" මේ බලපං නතාශා.. උඹ මං කියන විදිහට කලොත් කරදරයක් නැතිව ඉස්සරහට ඉන්න පුළුවන්.. උඹ ඔය කොල්ලව අමතක කරපන්.."

" එක කවදාවත් වෙන දෙයක් නෙමෙයි මැඩම්.. මම කල්පට ආදරෙයි.."

    අයේශා මැඩම් සමග වාද වූවාය..

" මාත් එක්ක වාද කරලා උඹට කවදාවත් දිනන්න බැහැ නතාශා.."

" මැඩම්ට ඕන නම් මාව මරන්න ඒත් කල්ප ගැන මගේ හිතේ තියෙන ආදරේ නැති කරන්න මැඩම්ට බැහැ.."

" නැහැ.. නැහැ.. මම උඹව මරන්නේ නැහැ.. "

         හිද උන් පුටුවෙන් නැගිටුනු මැඩම් ඈත ගිණි උදුනක දැවෙමින් තිබූ යකඩ කූරක් අතට ගත්තාය.. ඈ හෙමින් අයේශා සිටි තැනට ලංඋනාය..

" උඹ දන්නවනේ මේ මොකද්ද කියලා.. දැන් කියපන් උඹ ඒ කොල්ලව අමතක කරනවද? "

" නැහැ.."

                     වෙන කිසිවක් ගැන නොසිතූ අයේශා හිත දැඩි කරගෙන පිළිතුරු දුන්නාය.. ඉන් තවත් කෝපයට පත් මැඩම් රත් වූ යකඩ කූරින් අයේශාගේ කකුල පිළිස්සුවාය.. ඉවසුම් නොදෙන වේදනාවකින් අයේශා මහ හඩින් කෑ ගසන්නට වුවාය..



Tuesday, 12 April 2011

කඩුපුල් මල : හත්වන කොටස

                හිතුවක්කාර වී කල්පගේ ආදරය ප්‍රතික්ශේප කල නිසා ඔහු ආයෙත් තමන් සොයාගෙන ඒවිදැයි අයේශා සිතන්නට විය..

" මම මහා මෝඩියක්.."

                 ඇය ඇයටම කියා ගත්තාය.. ඒ මොහොතේ තමන් ගත් තීරණය කල්ප ගැන සිතා ගත් තීරණයක් වුවද හිමාශී කී පරිද්දෙන්ම වසනාව ලගට ආ මොහොතක ඉන් තමන් අහක බලා ගත්තා නොවේදැයි අයේශා සිතන්නට වූවාය.. 

                   කල්ප ආයෙත් වතාවක් හමුවී හිතේ තියෙන ආදරය ඔහුට පවසන්නට අයේශාට කොතෙකුත් ඕනෑ උන මුත් ඔහු සොයා යන්නට තරම් තොරතුරක් අයේශ දැන නොසිටියාය.. 

" උඹ ඔය ගැන ඔච්චර හිතන්න එපා බං.. ආයෙත් දවසක උඹට කල්පව මුන් ගැහෙයි.. හැබැයි එදාට හිතේ තියෙන දේ හංගන් ඉන්නැතුව කියපන්.."

    හිමාශී අයේශාට පැවසුවාය.. 

                 බලාපොරොත්තු නොවූ මොහොතක ඔහු පැමිණි විලසම ආයෙත් වතාවක් ඔහු තමන් සොයාගෙන ඒවියැයි අයේශාගේ හිත තදින්ම විශ්වාස කලාය.. ඈ ඒ බලාපොරොත්තුවෙන්ම කාලය ගෙවුවාය..

                 දින කීපයක් ඉක්මගියත් කල්ප යලිත් අයේශා සොයා නොපැමිනියේය.. අයේශාගේ ජීවිතය තිබුනාටත් වඩා ප්‍රශ්ණ ගොඩකට මැදි වන්නට පටන ගත්තාය.. දිනෙන් දින ඇගේ වෙනස් වීම දුටු මැඩම්ගෙන්ද අයේශාට ආ බලපෑම් වැඩි වන්නට පටන් ගත්තාය.. ඊටත් වඩා කල්පගේ නොපැමිනීම ගැන අයේශා පසුතැවිලි වූවාය.. ඒත් ඔහුට දොසක් පැවරීමටද නොහැක.. ඔහුගේ ආදරය ප්‍රතික්ශේප කලේ තමන්ම නේදැයි අයේශා සිතුවාය.. 

                          අයේශා හැමදාමත් ඔවුන් හමුවී දොඩමළු උන ඒ අවන්හල තුල ඔහු එන තුරු මග බලාගෙන සිටියාය.. ඇය වෙනදාටත් වඩා බලාපොරොත්තු කන්දක් හිතේ පොදි බැදගෙන ඔහු එන තුරු බලා සිටියාය..

" මිස්ට මොනවද ඕඩර් කරන්නේ? "

" හ්ම්ම්.. දැම්ම එපා.. මම පස්සේ කියන්නම්.."

                  අයේශා එලෙස පැවසුවද ඇය සමීපයට ආ පුද්ගලයා තවමත් ඇය ලගම ඉන්නාබව ඇයට දැනුනි.. ඇය පිටුපසට හැරුනේ ඔහුට ආපසු යන මෙන් පවසන්නට හිතා ගෙනය.. ඒත් ඇගේ සිත සලිත කරමින් ඈ මෙතෙක් එනතුරු මග බලා උන් කල්ප ඇගේ පිටුපසට වී සිනාසෙනු දැක අයේශාගේ දෙනතට කදුළක් ගලා ආවාය.. සියල්ල අමතක වූ ඇය ඔහු තුරුලට විත් හඩන්නට වූවාය..

" ඔයා කොහේද කල්ප මෙච්චර දවසක් හිටියේ? "

       කප්ලගේ පපුවට තුරුළුවී කඳුළු සලමින් උන් ඈ විමසුවාය..

" මට හදිස්සියකට අපේ ගමේ යන්න උනා.. හදිස්ස්සියක් කිවුවට මම ඔයාව එක්කන් එන බව අපේ ගෙදරට කියන්න ඕනනේ.. මට ඉන්නේ අපේ සීයා විතරයි.. මම ගියා එයාට ඔයා ගැන කියන්න.."

              කල්ප එසේ පවසත්ම අයේශාගේ දුක තවත් වැඩි විනි.. ඇය තව තවත් ඔහුට තුරුළු වූවාය..

" ඇයි අයේශා මේ.. මොකද උනේ? "

" මට සමාවෙන්න කල්ප.."

" ඒ මොකටද? "

" මම එදා ඔයාට කතාකල විදිය වැරදියි.. මට ජීවිතේ ගැන ගොඩාක් දේවල් තේරුනේ ඔයා මං ලග හිටියේ නැති දවස් වල.."

" මට ඔයා කියන්න හදන දේ මේ ඇස් දෙකෙන් පේනවා අයේශා.. තවත් මේ අපායේ ඔයා ඉන්න ඕන නෑ.. ඔයා යං මාත් එක්ක.."

          පපුවට තුරුළුවී හඩ්මින් උන් අයේශගේ දෙනෙතින් වැටුන කඳුළු බිදු පිසලමින් කල්ප පැවසුවේය.. 

" හා.. මං කැමතියි.."

         අයේශාගේ පිළිතුරත් සමගම යලිත් ඇයව පපුවට තුරුළු කරගත් කල්ප ඇගේ දුක පහව යන තුරු බලා සිටියේය..

" අපි ගෙදරට ගිහින් යමු.. මට හිමාශිට කියන්න ඕන.."

              ඊට එකග වූ කල්ප අයේශාත් සමග ඇගේ නිවස වෙත පිය මැන්නේය.. කල්ප පහත මාලයේම රැදවා අයේශා ඇගේ මිතුරිය සොයා දිවගියේ උතුරාගෙන යන සතුටකිනි.. 

" හිමාශී.. මට කල්ප මුන ගැහුනා.. අපි අද මෙහෙන් යනවා.." 

             අයේශා සතුටින් එසේ පවසත්ම කිසිවක් නොකියා හිමාශි ඈ වැලද ගත්තාය.. 

" උඹවත් මේ අපායෙන් යන එක හොදයි.. අද ඉදන් ජීවිතේ අළුතින් පටන් ගනින්.. යං මාත් එන්නම් පල්ලෙහාට.."

             මිතුරියගේ සිතින් ලැබුන අවංක පැතුමත් එක්කම දෙදෙනාම කාමරයෙ නික්මිනි.. හිමාශිත් සමග පහත මාලයට දිවගෙන ආ අයේශාගේ හිතේ රැදි සතුට මොහොතකින් ඇගෙන් නික්මී ගියාය..




Monday, 11 April 2011

කඩුපුල් මල : හයවන කොටස

" කල්ප ඔයා මොනවද මේ කියන්නේ? "

     පුදුමයට පත්වූ අයේශා කල්පගෙන් විමසුවාය..

" ඔයාව මේ කූඩුවෙන් නිදහස් කරගෙන අරන් යන්න මම හදන්නේ.. ඒ ඔයාගේ කතාව අහලා ඇති උන අනුකම්පාවක් නෙමෙයි.. ඔයාගේ කතාව දැන ගන්න කලින් ඉදන්ම මගේ හිතේ ඔයා ගැන ආදරයක් තිබුනා.. ඒ ආදරේ දැනුත් එහෙමයි.."

" නැහැ කල්ප.. අපි දෙන්නා කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.. ඔයා දන්නවා ඒ ඇයි කියලා.. අපි අහසට පොළව වගේ.."

" ඔයා ගැන නොදැන මම ඔයාට ආදරේ කලා නෙමෙයි අයේශා.. ඔයා ලෝකයාට නතාශා උනත් ඔය ඇස් දෙකේ හැංගිච්ච අහිංසකාවියක් මම දැක්කා.. මම ආදරේ ඒ අහිංසකාවිට.."

" ඒ අහිංසකාවි මේ ලෝකෙට මැරුණු කෙනෙක් කල්ප.. ඔයාගේ අනාගතය ලස්සන එකක්.. මං නිසා ඒ අනාගතය නැති කර ගන්න එපා.."

            කල්පට සමු දෙමින් එතැනින් නික්මීමට සැරසුන ඇයේශාගේ අතින් අල්ලාගත් කල්ප ඇගේ ගමන නවතාලීය..

" මම ඔයාගේ තීරණේ වෙනසක් වෙනකම් බලන් ඉන්නවා.."

               කිසිවක් නොපැවසූ අයේශා කල්පගෙන් වෙන්වී යලී නිවස කරා පිය මැන්නාය.. 

                       කාමරයට ඇතුළුවූ අයේශා ඇගේ මිතුරිය සමගද කිසිවක් නොපවසා ඇයට පුරුදු ජනේලය ලගට වී ඈත මුහුදු තෙර දෙස බලා සිටියාය.. ඇයටත් නොදැනිම ගලා ආ කඳුළු බිදූ එකින් එක බිම ඇද වැටෙද්දී ඇය ගෙවී ගිය සොඳුරු මොහොත ගැන යලි යලිත් සිතන්නට විය..

               අයේශා කල්පට සෙනෙහස පුදා අවසන්ය.. ඒ ඔහු හදුනගත් පළමු දවසේමය.. ඒත් ඒ ආදරය හිත තුල තද කරගෙන ඉන්නවා හැර ඒ ආදරය ප්‍රකාශ කිරීමට වරම් ඇයට නැත.. කල්ප ආදරේ පැවසූ මොහොතේම ඇගේ ආදරයත් පැවසීමට ඇගේ හිතට ඕනෑ උනත් ඇය ඇගේ හිතට ඊට ඉඩ නොදුන්නාය..

                         කල්ප හොද කෙනෙකි.. ඒ ගැන ඇයට දෙවරක් සිතන්නට දෙයක් නැත.. ඒත් තමන් ගෙවූ ජීවිතය කල්පගේ ලෝකයට කලු පැල්ලමක් බව ඈ සිතුවාය.. ඊටත් වඩා කල්ප දිගින් දිගටම තමන් සමග ඇසුරක් පවත්වන බව මැඩම්ට ආරංචි වූ දිනක ඔහුට එල්ලවිය හැකි බලපෑම් ගැනද ඈ බිය වූවාය..

              මේ අපායෙන් නිදහස් වීම තම එකම බලාපොරොත්තුව උවත් කල්පගේ ජීවිතය අනතුරට කල් කිරීමට ඈ අකමැතිය.. එනිසාම හිතේ ආදරය හැමදාටම හිතේ රදවා ගන්නට තීරණය කල ඈ දෙනෙතින් ගලා ගිය කඳුළු පිසදා ගත්තේය..

" උඹේ ඔය කල්පනාව ඉවර වෙන දවසක් නැද්ද බං.."

      සුපුරුදු පරිදිම ඇගේ හීන ලෝකෙට බාදා කරමින් හිමාශි ඇසුවාය..

" එහෙම වෙන්නනම් ඉතින් මං මැරෙන්න ඕන හිමාශි..

     අයේශා කඳුළු පිසදා ගනිමින් පැවසුවාය..

" මොකද උඹ මේ අඬලා.. උඹට සනිප නැද්ද? "

" එහෙම දෙයක් නෙමෙයි හිමාශී.. මේ.."

          ඇයට සිදුවූ දෙය පැවසීමට අයේශා මුල පිරුවත් පසුව ඇය ඒ අදහස යටපත් කර ගත්තාය..

" උඹ ඔය හිතන්නේ කල්ප ගැන නේද? "

" උඹ කොහොමද කල්පව දන්නේ? "   අයේශා පුදුමයෙන් විමසුවාය..

" දවසක් ක්ලබ් එකට ඇවිත් මගෙන් උඹේ විස්තර කියලා ඇහුවා.. මම කිවුවා උඹ මෙහේ ඉන්නේ කියලා.. උඹට ඒ කොල්ලා හමුබුනා නේද?"

" ඔවු.. මාත් එක්ක අද කතාකලා.."

              හිමාශිට මුලින් මේ කිසිවක් ගැන නොකියන්නට හිතා උන්නත් ඇය කල්ප ගැන දන්නා නිසා ඇයට සියල්ලක්ම් පැවසීමට සිතා ගත් අයේශා ඇයට සිදු වූ හැම දෙයක්ම එකින් එක පැවසුවාය..

" අනේ බං උඹ වගේ මෝඩියෙක්.. උඹ හැමදාම හීන දකින්නේ මෙතනින් යන්න.. උඹව අරන් යන්න කොල්ලෙක් එද්දිත් උඹ ඒකට කැමති නෑ.."

      අයේශාගේ කතාව අසා සිටි හිමාශී ඇයට පැවසුවාය..

" මං දන්නවා හිමාශී.. ඒත්.."

" උඹ ඔය කරන්නේ ලොකු වැරැද්දක්.. අපිත් හැමදාම දකින්නේ ඔය හීනෙමයි.. උඹ දකින හීනේ උඹේ ඇස් ඉස්සරහම හැබෑවක් වෙන්න යනකොට ඒ හීනෙට පයින් ගහන්න එපා.. අපිට බැරි උනත් උඹවත් මේ ජීවිතේට සමුදියන්.."

                හිමාශී පවසන දේ අයේශාගේ හිතට තදින්ම කා වැදුනාය.. ඒත් තමන් මෝඩ උනාදැයි අයේශා කල්පනා කරන්නට වූවාය..





Saturday, 9 April 2011

කඩුපුල් මල : පස්වන කොටස

" අයේශා ඔයාගේ නෑදෑයෝ කවුරුවත් නැද්ද? "

       උණුසුම් තේ කෝප්පය රස විදිමින් උන් කල්ප එකවරම ඇගෙන් ඇසුවේය.. 

" නැහැ මගේ කියලා කවුරුවත් මේ ලොකේ නැහැ.."

         ඈ ඔහුගෙන් දෙනෙත් වෙනතකට හරවමින් පවසත්ම තමන් ඇසුවේ අනවශ්‍ය දෙයක් බව කල්පට වැටහුනි..

" මට සමාවෙන්න අයේශා.. මම ඒක එච්චර දුර හිතලා අහපු දෙයක් නෙමෙයි.."

" සමාව ඉල්ලන්න දෙයක් නෙමෙයි කල්ප.. ඒ මතක දැන් අතීතයක් විතරයි.. 

" ඔයාගේ අකමැත්තක් නැත්නම් මම කැමතියි ඒ හැම දෙයක්ම දැන ගන්න.."

              කල්ප එසේ පවසත්ම අයේශා ඔහු දෙස ඕනෑකමින් බලා සිටියාය.. එක් දිනක් පමණක් ඇසුරු කල ඔහු සමග ඇගේ අතීත කතාව සියල්ලක්ම පවසනවාදැයි ඇය සිතන්නට වූවාය.. ඒත් ඔහුගේ දෙනෙත් තුලින් අවංක බවක් අයේශා ගෙවුන හැම තත්පරයකම දුටුවාය..ඔහු අනික් හැමෝටම වඩා වෙනස් බැවි ඇයට තේරී අවසානය.. එනිසා ඔහුට ඒ දේවල් පැවසීම වරදක් නැතැයි ඈ සිතුවාය..

" මොකද කල්පනා කරන්නේ.. ඒ දේවල් ගැන කතා කරන්න ඔයා අකමැති නම් අපි වෙන දෙයක් ගැන කතාකරමු.."

         පිළිතුරක් නැතිව තමන්  දෙස බලා සිටින අයේශාගෙන් ඔහු විමසුවේය..

" නැහැ.. එහෙම දෙයක් නෙමෙයි.. මම කැමතියි ඒ දේවල් කතා කරන්න.."

                   ඒසේ පැවසූ අයේශා කලබලකාරී පාර දෙස මොහොතක් බලා සිටියාය.. කල්පගේ දෙනෙත් දෙස බලා බිම බලාගත් ඇය එකින් එක සිය මතක අවදි කලාය.. ඇගේ හඩ පෙරට වඩා වෙනස්ය.. කල්ප ඇයට බාදා නොකර ඇගේ කතාවට සවන් දුන්නේය.. ඇගේ මතකය ඇගේ සිතුවිළි අතරින් අතීතයට ඇදී ගියාය..

.....................

" මම ඉපදුනේ ගාල්ලේ.. අපේ තාත්තා වැඩ කලේ බැංකුවක.. අම්මා කලින් ඉස්කෝලෙ ඉගැන්නුවා.. අපි සාමාන්‍ය පවුලක් උනත් අපි හිටියේ ගොඩාක් සතුටින්.. ගෙදර අග හිග කම් කොච්චර දැනුනත් අපේ ගෙදර ආදරය කවදාවත් අඩු උනේ නැහැ.." 

"සතුට ඉතිරිලා තිබුන අපේ ගෙදරට කාගේද ඇස් වහක් වැදිලද කොහේද හදිස්සියේම අපේ තාත්තා දවසක් ඇක්සිඩන්ට් උනා.. වාසනාවකට එකෙන් තාත්තාගේ ජීවිතය බේරුනා.. ඒත් ඒ අනතුරින් පස්සෙ තාත්තා හැමදාටම එක්තැන් උනා.. අපේ සතුටින් තිබුන ලෝකය ටිකින් ටික කඩා වැටෙන්න පටන් ගත්තා.. තාත්තගේ බෙහෙත් වලට ලොකු වියදමක් දරන්න අපිට සිද්ද උනා.. රස්සාවක් නොකර හිටපු අම්මට තාත්තාගේ වියදම් දරා ගන්න බැරි උනා.. අපි ගාව තිබුන හැම සතයක්ම තාත්තා වෙනුවෙන් අපි වියදම් කරා.."

" අපි සල්ලි ණයට ඉල්ල ගත්තු මිනිස්සු කාලයක් යනකොට හැමදාම අපේ දොරකඩට ඇවිත් සල්ලි ඉල්ලලා කෑ ගහන්න පටන් ගත්තා.. කිසිම දෙයක් කර ගන්න බැරි උන අම්මා මවත් තුරුළු කරන් ගේ ඇතුලේ හැංගුනා.. තාත්තගේ අත් පය වාරු නැති උනත් එයා මේ හැම දෙයක්ම දැක්කා.. එයාට මේ හැම දෙයක්ම ඇහුනා.. තාත්තා හැමදාම අපෙන් කෑ ගහලා ඉල්ලුවා මට මැරෙන්න දෙන්න කියලා.."

" මෙහෙම ඉන්න අතරවාරේ දවසක් අම්මට කඩේක වැඩ කරන්න හම්බුනා.. අපේ ප්‍රශ්ණ වලට ටිකක් හර් විසදුම් ලැබෙයි කියලා හිතාගෙන අම්මා එතනට වැඩට ගියා.. ඒ වෙනකොට මමත්  O/L ලියන්න කිට්ටු වෙලා හිටියේ.. ඉගෙන ගන්න පුළුවන් තරම් සැනසිල්ලක් හිතේ නොතිබුනත් අම්මගේ බල කිරිල්ල නිසාම මමත් ස්කෝලෙ ගියා.. "

" අම්මා රස්සාවට ගියායින් පස්සේ අපෙ ජීවිත වලට ටිකක් සහනයක් දැනුනා.. ඒත් අම්මා හිටියේ ලොකු ප්‍රශ්ණෙක කියලා මට හිතුනා.. ඒත් ඒ ගැන මට එච්චර දුරට  හිතන්න පුළුවන් උනේ නැහැ.. මම හිතුවේ තාත්තා නිසා අම්මා ඒ විදිහට ඉන්නවා කියලා.. අපේ ලෝකට ඒ වෙනකොටත් වෙන කෙනෙක්ගෙ බැල්ම වැටිල තිබුනා කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ.. අම්මා රස්සාවට ගිය තැන මුදලාලිගෙන් අම්මට අයුතු යෝජනා අනන්තවත් ඇවිත් තියෙනවා.. දවසක් ඔහුගෙන් අම්මට කරදරත් වෙලා තියෙනවා.. මේ හැමදෙයක්ම විද දරා ගන්න බැරි උන අම්මා අපි කාටත් හොරෙන් ජීවිතෙන් නික්මිලා තිබුනා.. "

" අම්මගෙ මරැණය අපිට දරාගන්න බැරි උනා.. ඒ වෙලේ මම ගොඩාක් අසරණ උනා.. තාත්තගේ වගකීම් කරට අරගන්න තරම් පුළුවන් කමක් මට තිබුනේ නෑ.. අම්මා අපිව දාලා ගිහින් ටික දවසකින් තාත්තත් මගේ ලෝකෙන් හැමදාටම යන්න ගියා.. මේ ලෝකේ කාත් කවුරුවත් නැතුව මම එදා තනි උනා.. "

" නෑදෑ කෙනෙක්ට කියලා මට හිටියේ කොළඹ හිටපු පුන්ච් කෙනෙක් විතරයි.. අසරණ වෙලා හිටපු මාව ඒ පුන්ච් එයාලගේ ගෙදරට එක්කන් ඇවිත් මට එයාගේ දරුවෙක්ට වගේම සැලකුවා.. ඒත් බාප්පා මං දිහා බැලුවේ වැරදි විදිහට.. එයාගෙන් උන කරදර ඉවසන්න බැරි උන තැන මම ඒ ගෙදරින් පැනලා ආවා.. එහෙම ආපු මම අහු උනේ මේ මැඩම්ට.. "

ඇගේ මතකය එකින් එක කල්පට පැවසූ අයේශ දිගු හුස්මක් ගත්තාය.. ඈ දෙනෙතේ කඳුළු පුරවාගෙනය..

" මම මෙතනිනුත් පැනලා යන්න ගොඩක් ඉත්සාහ කලා.. ඒත් ඒ හැම පාරකම මම මැඩම්ට අහු උනා.. මැඩම් කියන්නේ දරුණු කෙනෙක්.. මම යන්න උත්සාහ කරපු හැම පාරකම මැඩම්ගෙන් ගොඩක් වද විදින්න උනා.. ඒත් තාමත් මම ඒ හීනෙම ඉන්නවා.. මේ කූඩුවෙන් ඉගිල්ලිලා යන දවසක් එනකන් මම මග බලාගෙන ඉන්නවා.."

ඇගේ ජීවිත කතාව එකින් එක පැවසූ ඇය ආයෙත් හිස ඔසවා කල්ප දෙස බැලුවාය.. ඔහුගේ දෙනෙතේ කඳුළු කැට වැටෙන්නට ආසන්නය.. දෑතින් දෙනෙත පිසදා ගත් ඔහු අයේශාට ලංවිය..

" ඔයා යං මාත් එක්ක.."

අයේශාගේ දෑතින් අල්ලාගත් ඔහු පැවසුවේය..