Thursday, 31 March 2011

නුඹ එනතුරු




දෙනෝදාහක් ඇවිද ගිය මග
දැතේ පැටලී පෙම් බස් දෙඩු නුඹ
අද කොහිද කොහි සැගවුනිද
කිසිවෙකුත් නොදනී පවසන්න..

මල් පිපුන වසන්තය
නුඹ වගෙයි මට හැමදාම
නෙත ගැටෙන නෙත් අතරේ මම
නුඹව හෙවුවා ආදරේ හින්දම..

නුඹ ගිහින් මගෙන් දුර ඇතක
ඇයිද නොදනිමි මම තවම
වෙනත් හදකට නුඹ සෙනේ පිදුවද
හිත අසයි මගෙන් හැම මොහොතක..

කඳුළ මගේ අද නොනැවතී වැටෙන
නුඹෙ මතකයේ සැමරුම් අතර
පාට බොද උන සිහිනයක් විලසට
නුඹ හිනැහෙනවා අදත් මා ලග..

නුඹට මතකනම් අපි ඇවිද ගිය මග
තුරුළු වී සෙනෙහසින් මුල් දින
නුඹ එනතුරු මම බලන් ඉන්නවා
අදටත් ඒ මග පෙර ලෙසම..

Monday, 28 March 2011

ඇයිද නුඹ ආදරෙ මෙතරම්ම....

       මේ කවිය මම ලියපු එකක් නෙමෙයි.. මෙක ලිවුවේ පූජා.. ඒ මීට අවුරුදු 4 විතර කලින්.. ඉතින් මම හිතුවා ඔයාලට පූජාගෙ අති ලියවුන මේ කවිය ගෙන එන්න.. පූජා ගොඩක් ලස්සනට කවි ලියපු කෙනෙක්.. මං ලග තියෙන කවි  මම ඉස්සරහටත් පෝස්ට් කරන්නම්...



සෙනෙහසේ උණුසුම විදින්නට
අවසර නැති මගෙ හිතට
කිමද ලං උනේ නුඹ
උතුරා යන ආදරයක් අරගෙන..

දුකම පමණක් ඉතිරි කර
වෙන්ව යන බව දැන දැනම
කිමද ආදරේ කලේ නුඹ
මෙතරම්ම මා වෙත..

බැහැ නික්ම යන්නට
සිතූ ලෙස මා පෙර දිනක
නුඹේ කඳුළු නෙතග
නවතාවි මා හෙට..

දිනක හුදෙකලා වේවි නුඹ
මගේ මතක ලොව තුලම
කියනු බැහැ නුඹට
නොගිලෙන්න මගේ මතක ලොව..

ඇගිලි තුඩු මානයක මරණය
පෙනි පෙනි මගෙ දෑස් අද්දර
නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
හිතේ ආදරේ වැඩි හින්දම..

හඩන්න එපා නුඹ මා නැති දිනයක
වාවනු බැහැ මට නුඹෙ කඳුළු දුටුවම
පොරොන්දුවක් වෙන්න මා මියෙන්න පෙරාතුව
හිනැහෙන බව නුඹ මා හිනැහූ ලෙසම..

Sunday, 27 March 2011

හංසියකට පෙම් බැන්දෙමි...

       පාසලේ උසස් පෙල පන්තිය හැමෝගෙම ජීවිත වලට මතක ගොන්නක් එකතු කරන කාලයක්.. පැතුම්ගෙ ජීවිතෙටත් ඒ වසර දෙක ජීවිතේටම අමතක කරන්න බැරි මතකයක් එක් කරපු කාලයක්.. පැතුම් පාසලේ දක්ශ සිසුවෙක් නිසාම පැවරුන විශය බාහිර වැඩද අන්නතයි.. ඒ හැමදෙයක්ම සමබරව කරගෙන යන අතරේ පැතුම්ගේ අම්මා නිතරම ඉන්ග්‍රීසි පන්තියකුත් හොයා ගන්නයි කියලා හැමදාම කීම පැතුම්ට කරදරයක් වෙලයි තිබුනේ.. ඒ, ඒ සදහා කාලයක් පැතුම්ට නොතිබුන නිසාවෙනි..

          කෙසේ හෝ අවසානයේ අම්මගේ බලකිරීමටම පැතුම් පාසලේ ගුරුවරියකගේම කුඩා පන්තියක් තෝරා ගත්තේ ලොකු පන්ති වලට ගිහින් ඉගෙනගැනීමට තිබූ අකමැත්ත නිසාවෙන්ය.. 

         දන්නා හදුනන තැනක් නිසා චකිතයකින් තොරව පන්තියට ගොඩවූ පැතුම පන්ති ආරම්භ වනතුරු අන්තිම පේලියට වී වාඩිවී සිටියේය.. පන්තියට ඇතුළු වන්නන් දිහා ඔනෑකමින් බලා සිටි පැතුම්ගේ දෑස් අද්දරට එක් මොහොතක පැමිනියේ වදනින් කියා නිම් කල නොහැකි තරම් ලස්සන තරුණියකි.. ඇසිපිය නොහෙලා ඇය දෙස බලාසිටි  පැතුම් මෙය සිහිනයක්දැයි සිතුවේය.. ඇය ඒ තරම්ම ලස්සනය.. පැතුම් දෙස බලා මද සිනහවක් හෙලු ඇය පැතුම්ට ඉදිරිපස වාඩිවී සිටි ඇගේ යෙහෙළියන් ලග හිද ගත්තාය.. 

        පැතුම්ගේ දෙනෙත තවමත් ඈ ලගය.. ටික වේලාවක් ඇගේ යෙහෙළියන් සමග කතාකරමින් උන් ඈ පැතුම් සිටි දෙසට හැරුනේය..

" ඔයා අදද පන්තියට ආවේ.. මම මේ සති දෙකකට පස්සෙ එන්නෙ.. මම හංසි.. ඔයා??"

" මම පැතුම්.."

         පැතුම් වෙත සොදුරු සිනහවක් පෑ ඇය යලිත් තම යෙහෙළියන් සමග කතාවට වැටුනේය.. ඒත් ඒ සිනහව පැතුම්ගේ හිතේ ආදරයක් ඇති කලේය.. නමුත් ඒ ආදරය පැතුම් හිතේ සගවාගත්තේය.. ටික කලක් යත්ම ඈ හා පැතුම් අතර හොද මිතුදමක් ඇති විය.. පන්ති නිමාවී දෙදෙනාම ආපසු අවේ එකම පාරේ නිසා පැතුම් හා හංසි අතර මිතුදම තවත් වැඩිවිය.. ඔවුන් බොහෝ දේවල කතාකලේය.. අකමැත්තෙන් සොයා ගත් පන්තිය පැතුම්ගේ සිත සොරාගත් තැන බවට පත්විය.. සතියක් ගෙවෙනතුරු පැතුම් හිටියේ නොඉවසිල්ලෙනි..

         වසරක් පමණ කෙමෙන් ගෙවී යත්ම පැතුම්ගේ හිතේ හංසි ගැන ඇතිවී තිබූ ආදරයද වැඩිවී තිබුනි.. ඒත් පැතුම් ඇයට ඒ ගැන පැවසීම දිනෙන් දින පසුවට කල් තැබිනි.. 

               වෙනදාමෙන් පන්ති නිමවී ඈ එනතුරු ගෙට්ටුව ලගට වී බලා සිටි පැතුම් හමුවු හංසි මද වේලාවක් පැතුම්ව එතැනම නවතා ගත්තේ ඇගේ යහළුවෙක් එනබව පවස්මින්ය.. විනාඩි කීපයක් ඇයත් සමග පාර බලා සිටි පැතුම් ලග වාහනයක් නතර විය.. එහි සිටියේ තරුණයෙකි.. වාහනයෙන් නික්මුන ඔහු හංසි ලගට පැමිනියේය..

" පැතුම් මේ සාරංග.. මගේ boyfriend.."

      හංසි ඔහුව හදුන්වා දෙත්ම පැතුම්ගේ සිහින ලෝකයම බිද වැටෙන්නට පටන් ගත්තේය.. එත් පැතුම් ඒ කිසිවක් නොහගවා ඔවුන් සමග කතාවට වැටුනේය.. සාරංග සමග හංසි නික්ම යන තුරු  දැඩි කරගෙන් උන් පැතුම්ගේ හිත කඳුළු සලා හඩන්නට විය.. තමා පමා වූ බව පැතුමට තෙරුනි.. නමුත් දැන් සියල්ල වී හමාරය.. මෙ කිසිදු වෙනසක් ඇයට නොපෙනෙන පරිදි පැතුම් වෙනදාමෙන් ඇයත් සමග ඇසුරු කලේය.. වෙනදා මෙන් කතා කරමින් උන් පැතුම් දිනක් ඇගෙන් සාරංග ගැන විමසුවේය..

" සාරංග කොහොම කෙනෙක්ද?? "

" එයා ගොඩාක් හොද කෙනෙක්.. ගති පැවතුම් ඔයාගෙ වගේම තමයි.. අපි දැන් අවුරුදු 2 වෙනවා මුන ගැහිලා.. එයා මට ගොඩක් ආදරෙයි.."

        පැතුම්ගේ හිතේ ඇයට තිබුන ආදරය ඇයට පැවසීමට නොහැකී වීම ගැන සතුටක් පැතුම්ගේ හිතේ ඒ මොහොතේ ඇතිවිය.. නැත්නම් පැතුම්ට හොද මිතුරියක් අහිමි වන බව පැතුම් සිතුවේය.. 

...............
                   හංසි සාරංග හා විවාහ වී දැන් වසර තුනක් පමන නික්මී ඇත.. පැතුම් අද ඔවුනේ හොදම මිතුරෙකි.. පැතුම් එදා සිතින් හංසිට කොතරම් ආදරේ කලාදැයි දන්නේ පැතුම්ගේ හිත පමනි.. ජීවිතයෙන් කෙදිනෙකවත් ඒ බැදි ආදරය අමතක කල නොහැකි උනත් පැතුම් කෙදිනකවත් ඔවුන් අතරට නොඑනු ඇත..


 

Friday, 25 March 2011

අද කොහිද හිත ඒ ලෙසම..




වැටෙන පොද වැස්ස
බිදු බිදු ගෙනා සිසිලස
සිත අරන් ගියා මගෙන් දුරක
මුතු වැස්සේ මතක අතර..

හිත හිරිවට්ටන සිසිල් සුළග
කවුළුවෙන් එහා දගකරන ළමයි කැල
අරන් ගියා මමත් පොඩි කාලෙට 
පොද වැස්සේ තෙමි තෙමි නටන..

කොයි තරම් නම් සරළද
ජීවිතය ඒ දවස්වල
ලොකු හීන කිසිත් නෑ 
හදවතේ සිර උන..

බැදීම් නෑ මේ ලෝකයට
තරගයක් නෑ කෙනෙක් පරදවා යන
සමනල් හිත එහෙ මෙහෙ පාඋන
අද කොහිද හිත ඒ ලෙසම..

මිරිගුවක් අද අප සොයා දුවන
සැනසීමක් වේද දිනක අපෙ හිතට
ඒ සොදුරු දවස්වලම හැමදාම 
ඉන්න ඇත්නම් කොතරම් මිහිරිද..

Wednesday, 23 March 2011

ආදරය???

             නිපුන, වසර 10කට විතර කලින් මට මුන ගැහුන හොද යාළුවෙක්.. අපි අතර හොද බැදීමක් තිබුනා.. ඒත් මම අවසානයේ නිපුනව ලංකාවෙදි මුන ගැහුනේ මීට වසර 4කට විතර කලින්.. මම මේ ලියන්න යන්නේ අපේ යාළුකම ගැන විස්තරයක් නෙමෙයි.. ඊට ගොඩක් වෙනස් කතාවක්.. ඒ යාළුකම එද විදිහටම අදත් තියෙනවද කියන එක මට සැකයක්.. ඒ ඇයි කියලා ලිපිය අවසානයේදී ඔයාලත් තේරේවී..

         නිපුනගේ තාත්තලා ඒ ගමේ හිටපු හොදම සල්ලි කරයෝ වගේම මිනිස්සු එක්ක වැඩි ඇසුරක් පවත්වපු නැති කට්ටියක්.. ඒත් නිපුන නම් එහෙම නෙමෙයි.. අපි A/Lලියන කාලේ වෙනකොට නිපුනට පෙම්වතියක් හිටියා.. ඒකට උදව් කලෙත් ඉතින් මා ඇතුළු යාළු පිරිසම තමා.. ගෙවල් වලිනුත් ඒ ගැන දැන නොසිටි නිසා නිපුනට කිසිම ප්‍රශ්ණයක් තිබුනෙත් නැහැ.. කොහොම හරි අපි විභාගෙ ලියලා රිසල්ට් එන්න කිට්ටුව වගේ දවසක නිපුන අපි යාළුවෝ හැමෝටම හදිසියේ කෙටි පණිවිඩයක් එවලා තිබුනේ අපි හැමෝවම මුන ගැහිලා වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා.. ඉතින් අපි හැමෝමත් නිපුන කියපු තැනට ආවා..

" මචං නිලුෂි ප්‍රෙග්නන්ට් වෙලා.."

      අපි හැමෝම ආපු ගමන් නිපුන කිවුවේ එක.. නිලුෂි කියන්නෙ නිපුනගේ පෙම්වතිය.. අපි හැමෝම එක අහපු ගමන් කරකවලා අත ඇරියා වගේ..  අපි මුකුත් අහන්න ඉස්සෙල්ලම නිපුන හැම විස්තරයක්ම අපි එක්ක කිවුවා.. 

" මචං  මම දැන් මොකද කරන්නේ? "

      නිපුන අපෙන් ඇහුවම අපිට දෙන්න උත්තරයක් තියා කිසිදෙයක් හිතා ගන්න බැරි උනා.. කට්ටිය එක එක විසදුම් දුන්නත් ඒවට නිපුන කැමති උනේ නැහැ.. අන්තිමට හැමෝගෙම තීරණය උනේ මේවා ගෙවල් වලට දැනුම් දීලා විසදුමක් හොයා ගන්න එක.. ඒත් නිපුනගේ තාත්තා හරිම තද සිතුම පැතුම් තිබුන කෙනෙක්.. තාත්තගෙන් ලැබුන උත්තරේ අපි හැමෝටම පහුවදා නිපුනගේ රතු උන මූනෙන් කියවා ගන්න පුළුවන් උනා.. 

        ඒත් ප්‍රශ්ණය තවමත් එතැනම.. අවසානයේ මේ දෙන්නව ගෙදරට හොරෙන් කසාද බන්දලා දෙන තීරණය ගන්න අපිට සිදු උනා.. ඒ නිලූෂිගේ මානසිකත්වය ගැන හිතලා.. දෙන්නටම ඒ වෙනකොට 18 වැඩි නිසා නීතිමය ප්‍රශ්ණ තිබුනෙත් නැහැ.. නිපුනගේ මාමා කෙනෙක් ඔවුන් දෙදෙනාව කුවෙට් රටට ගන්නා බව පැවසූ නිසා අපිටද ඔවුන් ගැන බිය වීමට හේතුවක් තිබුනේ නැත.. 

              වීසා වලට ඕනා කරන සියල්ලම සූදානම් වූ සැනින්ම ඔවුන්ගේ විවාහය සිදුකර ඔවුන්ව ලංකාවෙන් පිටත් කර හැරීමට අපි හැමොටම සිදු උනා.. එය එතැනින් ඉවර වේයැයි අපි හැමෝම සිතුවත් සිදු උනේ නිපුනගේ විවාහයට අත්සන් කල අපේ යහළුවන් දෙදෙනාට නිපුනගේ තාත්තා නිසා රෝහල් ගත වීමට.. මේ සිදූවීම් මෙලෙස සිදුවෙමින් තිබියදී එක් වරක් පමනක් අපිව දුරකතනයෙන් ඇමතූ නිපුනට ඉන් පසු සිදූ වූයේ කුමක්දැයි අප කිසිවකුත් දැන සිටියේ නැත.. ඔහු ගැන තොරතුරක් ලැබෙන තුරු අපි හැමෝම බලා සිටියත් ඔහු ඉන් පසු කිසි විටෙක අප දුරකතනයෙන්වත් ඇමතුවේ නැත.. 

        කලය ගෙවී ගියේ ඉතා වේගයෙනි.. වසර 4කට කලින් සිදුවූ මේ සිදුවීම අද ඊයේ මෙන් අපි කාගෙත් මතක වල තිබෙන බැවු නොඅනුමානය.. නමුත් මේ කතාවේ දුක් බරම පරිච්චේදය ඇරබෙන්නේ මීට මාස 3කට පමන පෙරය.. 

           මමත් මගේ සහෝදරයාත් අපිට ලැබුන නත්තල් නිවාඩුවේදී මිලානෝ නුවර චාරිකාවක් යාමට යොදා ගත්තේය.. ඒ අනුව මිලානෝ පැමිනි මට අහම්බයෙන් මාවතකදී නිපුන මුන ගැහෙන්නේ නොසිතූ මොහොතකය.. මා නොදැක්කා සේ යාමට ඔහුට එවෙලේ අවැසි වූ බව මා තේරුම් ගත්තත් මගේ උවමනාව නිසාම ඔහුට එවෙලේ මා මග හැර යාමට නොහැකි විය.. ඔවුන්ගේ විස්තර ඇසූමට ඔහු පැවසුවේ එකම එක දෙයකි..

" උඹට වෙලාවක් තියෙනවනම් මාත් එක්ක යං.. උඹට හැමදෙයක්ම තේරේවී.."

           ඔහු දුන් පිළිතුර මගේ හිතට මහා වදයක් විය.. නමුත් මම නුවන් සමග ඔහුගේ නිවස වෙත ගියෙමි.. මා කිසි දිනක බලා පොරොත්තු නොවූ සිදුවීම මාලාවක් මගේ දැස් ඉදිරිපිට මැවෙන්නට විය.. නිලූෂී දුටු මොහොතේ මට ඇයව කිසිසේත්ම හදුනා ගත නොහැකි විය.. ඇය එතරම්ම වෙනස් වී ඇත.. වෙනස් වූවාටත් වඩා විහින් අවලස්සන වී ඇතයි කීම නිවැරිදිය.. ඇය මා එන විට නිවසින් නික්මීමට සූදානම් වී සිටියේය.. මා සමග වචනයක්වත් කතා නොකල ඇගේ දෑසින් කුම්ක් හෝ නපුරු කමක් මා දුටිමි.. ඒ කුමක්දැයි මට වැටහුනේ නිපුනගේ කතාව අසා සිටීමෙන් පසුවය..

                නිවසේ උවද තිබුන අපිළිවෙල අපායක් බදුය.. මොවුන් ඒ නිවසේ කෙසේ ජීවත් වනවාදැයි මා තනිවම සිතුවෙමි.. එහෙත් නුවන්ගේ කතාව ඊටත් වඩා දුක්බර එකක් විය..

                    ඔවුන් කුවේටි වලට අපිට සමුදී නික්මුනත් නිපුනගේ මාමා ඔවුන්ට පිළිසරණක් වී නැත.. එය දිගු කතාවක් නිසා මා ඒ ගැන මෙහි සදහන් නොකරමි.. කෙසේ හෝ අවසානයේ නිත්‍යානුකූල නොවන මාර්ගයකින් ඔවුන් ඉතාලියට පැමින ඇත.. ඒත් ඒ මොහොත වෙනකොටත් ඔවුන්ගේ ආදරය ටිකින් ටික දෙදරා යන තත්වයක පැවතී ඇත.. ඉතාලියට පැමිණියත් නිසි ආදායම් මාර්ගයක් නැති නිසා ඔවුන් බොහෝ කලක් දුක් විදි බැවි නිපුන මා සමග පවසා සිටියේය.. ඒත් ඔවුන්ගේ ලෝකය බිදී යන්නට පටන් ගන්නේ නිලූෂී රාත්‍රී සමාජ ශාලාවක රැකියාවට යාමට පටන් ගැනීමත් සමගය.. අගහිගකම් එන්න එන්න වැඩි වත්ම ඇය මේ තීරණයට එළබ ඇත.. නමුත් එයින් ඇගේ ජීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.. ඈ පිළිබදව නිපුන් පැවසූ සියල්ල මට මෙහි ලිවිය නොහැක.. දැන් නිපුනගේ පොඩි පුතාට අවුරුදු 3කි.. නිපුන මේ සියල්ල විද දරාගෙන ඉන්නෙ ඔහුගෙන් සිදුවූ වැරැද්ද නිසා බව කඳුළු පිරි දෙනෙතින් ඔහු මා සමග පැවසූවේය..

" මගේ මුළු ජීවිතේම විනාස උනා.." 

           නිපුන එහෙම කියද්දී මගේ හිතේ ඇති උනේ ලොකු කලකිරීමක්.. නිපුනගේ ජීවිතය මෙලෙස විනාස වීමට මමත් දුරකින් හෝ වගකිව යුතු නේදැයි මට සිතුනි.. ඔවුන් හොරෙන් විවාහ කරදී රටින් පිට නොකරන්න මේ දේවල් මීට වඩා වෙනස් වන්නට තිබුන බව මට සිතුනි.. ඒත් දැන් ඒ ගැන සිතා පලක් නැත.. ජීවිත තුනක් අද වේදනාවේය.. වැරැද්ද කා අතේද?? මටනම් කිසිම දෙයක් සිතා ගත නොහැක.. පමාවී හෝ ඔවුනට යහපතක් වේවා යන්න මගේ පැතුමයි...


Tuesday, 22 March 2011

නුඹ නැතිව මම




කොළ හැළුනු මේ ගහ
මං වගෙයි
ඔවු මං වගෙයි..
අතීතයේ දවසක
දළු දමා මල් පිපුණු
මේ ගිනිකූරු ගහ මං වගෙයි
ඔවු මං වගෙයි...

හිතක් පපුවක් නැති ලෙස
වැටෙනකොට රළු සීත වැහි පොද
පපුව තුරුලේ උන්නු මල් පොහොට්ටු
හඩාගෙන බිම වැටෙනු බලාගෙන
දුක දරාන උන් 
මේ ගිනිකූරු ගස
මං වගේමයි...

රතු මල් හැලී
ආදරේ පාවඩ දැමු සද
දකින්නට උන් සුදු දෙපා යුග
දකින්නට පිං නොකල
පවිකාර ගසක් වී මම...

සුදු වැලි තෙමාගෙන
දුක් කඳුළු ගංගා ගලා
මල් සේදිලා යනකොට
අසනරණව හූල්ලා 
බිම බලාගෙන...

ගිම්හාන අවුවට පිච්චෙන
ඉපලක්ව තනිවෙන තුරා හිත
දුක දරාගෙන 
නොකියාම
අදත් සුදු පාර දිග මල් සලන
ඔබ එමිද මග බලන
මේ ගිනිකූරු ගස මම
ඔබේ නෙත් නොදකින....



Sunday, 20 March 2011

පුදමි මේ කව මම, සෙනෙහසට නුඹ දුන්න




නෙළුම් මල් පූදිනා විල මත
වැටුන අළුයම හිරු කිරණ ඔබයි මට
සුවහසක් දුක් කඳුළු විදගෙන
මා හැදූ පියතුමයි ඔබ සදහට.

නුඹේ දෑතේ විරියෙන් නැගුන
ගෙවා ආ මාවත බාදක දහසකුත් අතර
කඳුළු විතරක් අරන් නුඹෙ හිතට
සතුට තැවරුවා අපේ හිත් ලග.

කුසට අහරක් නොලැබ ඒ දින
කල මෙහෙවර නිම් නැත අප හට
සුදු පුතා කීයා මා තුරුලු කරගෙන
කී කතා රැව්දෙයි අදත් සවන් තුල.

ඔබ නිමැවූ මාවත දහසකුත් උල්පත් අතර
පියනගමි අද නුඹේ සෙවනැල්ල පිටුපස
ජය ගන්නට ජීවිතය නුඹේ සෙවනේ හිදම
මා කල පින් බොහොයි පුතණුවකු ලෙස.

නුඹෙ සෙනෙහස දෙව්ලොවකි මා හට
පුදමි මේ කව මම, සෙනෙහසට නුඹ දුන්න
ආදරෙයි මම මහමෙරක් තරමටම
තාත්තා නුඹයි මට මතු හැම ආත්මයකම..


Saturday, 19 March 2011

මිනිසත්කම සොයා : අවසාන පියවර

        දිනෙන් දින ගෙවී ගොස් මංගල දිනය උදාවිය.. අයේශා වෙන කවරදාකවත් නැති තරම් සතුටකින් සිටින බව ඇගේ මුහුනින්ම පෙනෙන්නට විය.. ආදරයෙන් තමන් ලගට තුරුළු වී සිටි ඒ පුන්ච් කෙල්ල අද හැඩකාර මනාලියක් වී නිවසින් පිටවයෑමට සැරසෙනු දැක සෙනරත්ගේ දෙනෙත් අගට කඳුළු බිදු ගලා ආවේය..

" මම ගියාට පස්සෙ තාත්තා මෙහෙ තනිවෙනවා.."

     සෙනරත් ලගට තුරුළුවූ අයේශා පැවසීය..

" මට තනියක් නැහැ දුවේ.. ඔයා සතුටින් ඉන්නකෝ.. යමු හැමෝම ඔයා එනකන් බලන් ඉන්නේ.."

          අයේශාගේ දෙනතට ගලා ආ කඳුළු බිදු පිස දැමු සෙනරත් ඇයව පෝරුව වෙත කැදවාගෙන ගියේය.. වැඩි පිරිසක් සහබාගි නොවුනත් ලස්සන උත්සවයකට එදින සෙනරත්ගේ පුන්චි නිවස සැරසී තිබුනි.. අයේශාට මේ තරම් ආදරය කරන කෙනෙක් ලැබීම ගැන සෙනරත් මහත් සේ සතුටු විය.. තමන් නැති කාලෙක උවද නුවන් අයේශාව ආදරයෙන් බලා ගනීවියි සෙනරත්ගේ හිත තදින්ම විශ්වාස කලේය.. 

       අයේශාගේ සතුටු සිනා ලග හිත නැවතී සිටි සෙනරත් ලගට සෝමවීර පැමිණියේය..

" අප්පු බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා.." 

      සෝමවීර එසේ කියත්ම නිවසින් නික්මුන සෙනරත්ට දුටු දෙයින් දෑස් අදහාගත් නොහැකි විය.. සෙනරත්ගේ ආදරණිය පුතුන් දෙදෙනා කඩුල්ල අදරට වී සෙනරත් දෙස බලාගෙන සිටියේය.. 

" ඇයි පුතාල ඔතනට වෙලා ඉන්නේ.. එන්න ඇතුලට.."

     සෙනරත්ගේ ආරාධනයෙන් නිවසට ඇතුළු වූ පුතුන් දෙදෙනා තාත්තාගේ දෙපා ලග වැද වැටිනි.. සෙනරත්ගේ හිතට කියා ගන්න බැරි සතුටක් දැනෙන්නට විය..

" අපිට සමාවෙන්න තාත්තේ.." 

      පුතුන් දෙදෙනා සෙනරත්ගෙන් සමාව අයැද සිටියේය.. කඳුළු පිරි දෙනෙතින් පුතුන් දෙදෙනාව සෙනරත් හදවතට තුරුළු කර ගත්තේය..

" තාත්තා නිසයි අද මම ජීවත් වෙන්නෙ.. තාත්තා නොහිටින්න අද මම මම කරපු පවු කන්දරාවත් එක්කම මැරිලා ඉන්න තිබුනා.. අපිට තාත්තව තේරුම් ගන්න බැරි උනා.. "

           හිතේ තිබුන දුක කඳුළු වලින් පිට කරමින් සෙනරත්ගේ ලොකු පුතා තමන් අතින් සිදුවූ වැරදි වලට සෙනරත්ගෙන් සමාව ඉල්ලා සිටියේය.. ඒත් එදා රෝහලේදී සිදුවූ දෙවල් පුතා දන්නේ කෙසේදැයි සෙනරත් සිතන්නට විය..

" තාත්තා ඉස්පිරිතාලෙ ඉන්නවා රුවනි දැකලා තියෙනවා.. මට සනීප උනාම මේ හැම දෙයක්ම එයා මට කිවුවා.. අපි තාත්තව හොයන්න ගොඩක් මහන්සි උනා.. සෝමවීර මාමා කොළඹදි මුනගැහුන වෙලෙ තමයි කිවුවේ තාත්තා මෙහෙ ඉන්නෙ කියලා.."

                 මොන තරම් වැරදි කලත් සෙනරත්ගේ හිතේ කවදාවත්ම පුතාලා ගැන තරහක් තිබුනේ නැත.. කල වැරදී තෙරුම් ගෙන තමා සොයා පැමිණි පුතුන්ව සෙනරත් ආදරයෙන් පිළි ගත්තේය..

" යමු අද නංගිගේ ජීවිතේ ලස්සනම දවස.. අපි හැමෝම එකතු වෙලා එයාව සතුටින් පිටත් කරමු.."

          පුතුන් දෙදෙනාගේ දෑතින් අල්ලා ගත් සෙනරත් ඔවුන්ව නිවස තුලට කැදවාගෙන ආවේය.. නොසිතූ මොහොතක සිය සොයුරන් දුටු අයේශාගේ හිත සතුටින් පිරී ගියේය.. 

" ඇයි අය්යේ ඔයාලා එන්න මෙච්චර පරක්කු උනේ? " 

        සිය සොයුරන් වෙත පැමිනි අයේශා ඔවුනේ උණුසුමට තුරුළු වෙමින් විමසීය..

" ගොඩක් දේවල් තෙරුම ගන්න අපි පරක්කු උනා.. දැන් අඩන්න එපා.. හිනාවෙලා ඉන්න.."

     අයේශාව සැනසූ සොයුරන් ඇයව නුවන්ට බාර කලේය..

            සෙනරත්ට තම බිරිද සහ මියගිය පුතාගේ අඩුව දැනෙන්නට විය.. අද ඔවුනුත් සිටියා නම් මේ දවස කොච්චර ලස්සනදැයි සෙනරත් තනිවී කල්පනා කලේය.. සොහොයුරන්ගේ ආදරය කාලයකට පසුව ලැබුන අයේශාගේ මුවේ  රැදුන සිනහව දෙස බලා සෙනරත් සැනසුම සුසුමක් හෙලුවේය..

          සතුටූ සිනා අතරම දියණිය නිවසින් පිට වන මොහොත එළඹියේය.. තාත්තා හැර යන්නට නොහැකිව හඩමින් සිටි දියණිය ලගට පැමිනි සෙනරත්,

" දුවගේ ලස්සන ජීවිතේ අදින් පටන් ගන්න.. මං ගැන දුක් වෙන්න එපා.. අයියලා ඉන්නවනේ මං ලග.." 

           අයේශාව සැනසූ සෙනරත්, ඇය නුවන් පුතා සමග නිවසින් පිටවී ඈතට යන අයුරු කඩුල්ල ලගට වී බලා සිටියේය..


මිනිසත්කම සොයා ගිය සෙනරත්ගේ චාරිකාව මින් නිමා වේ...

Thursday, 17 March 2011

මිනිසත්කම සොයා : නමවන පියවර

            සෙනරත් දෙපාලග නිසලව ඇද වැටි සිටින රණවීර දැක කුමක් කල යුතුදැයි සෙනරත්ට සිත ගත නොහැකි විය.. රණවීරගේ සිරුර ලෙයින් තෙත් වී තිබුනි.. විවරව තිබූ දෙනෙත් තුලින් රණවීර උදව් ඉල්ලා කෑ ගසන බව සෙනරත්ට වැටහිනි.. වෙන කිසිම දෙයක් ගැන නොසිතු සෙනරත් කීප දෙනෙකුගෙ උදව් ඇතිව රණවීර රෝහලකට රැගෙන ගියේය..

           රෝහලට යන විටත් සිහසුන්ව සිටි රණවීර සෙනරත්ගේ දෑත් මත ජීවිතයත් මරණයත් අතර සටනක සිටියේය.. රණවීර රෝහලට ඇතුලත් කර නුවන් පුතාටද මේ ගැන දැන්වීමට සෙනරත් අමතක නොකලේය..

" ඔයාලා හොද වෙලාවට ලෙඩාව මෙහෙ ගෙනාවෙ.. තව ටිකක් පරක්කු උනානම් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ"

        පැය කීපයක සැත්කමකින් පසුව සෙනරත් මුන ගැසුන වෛද්‍යවරයා පවසා සිටියේය..

" රණවීරට වෙන කරදරයක් නැහැ නේද මහත්තයෝ?"

" ඒ ගැන දැන්ම කියන්න බෑ.. අපි ටික දවසක් බලමු.. ඔයාගේ මූනෙත් තුවාල පැල්ලම් නේද? ඇවිත් බෙහෙත් ටිකක් දාගන්න.."

        සෙනරත්ගේ තුවාල වලටත් ප්‍රතිකාර ලබා ගත් සෙනරත් ගමේ අනිත් අය රෝහලෙන් නික්ම ගියත් නුවන් පුතා එනතුරු රණවීර ලග රැදී සිටියේය..

       පැය කීපයක් ගතවන විට නුවන් රෝහල වෙත පැමිනියේය.. සෙනරත් ලගට පැමිනි නුවන්,

" මට සමාවෙන්න තාත්තේ.. මේ වගේ දෙයක් වෙයි කියලා මම බලාපොරොත්තු උනේ නැහැ.. අපේ තාත්තා කල දේ ගැන මට ලැජ්ජයි.."

" සමාව ඉල්ලන්න දෙයක් නැහැ පුතා.. මේ වගේ දෙයක් වෙයි කියලා මගේ හිතේ මුල ඉදන්ම බයක් තිබුනා.. පුතා තාත්තා ලගට යන්න.. මමත් දැන් ගෙදර යන්න ඕන.."

     නුවන්ට සමුදුන් සෙනරත් රෝහලෙන් නික්මීය.. 

          අනතුරින් රණවීරගේ ජීවිතය බේරුනත් හිසට සිදුවූ දරුණු තුවාල නිසා රණවීර ජීවත් වූවත් මළගිය වූවකු තත්වයට පත්විය.. රණවීර සුව කර ගැනීමට නොයෙකුත් උත්සාහ දැරුවත් ඒ කිසිවකින් වත් ප්‍රතිඵලයක් ලැබුනේ නැත.. සිදු වූයේ කාලය ඉක්මනින් ගෙවී යාම පමනි..

            රණවීරගේ පාලනය නැති වීම නිසා ගම්මුන් සිටියේ සතුටිනි.. එය එසේ වීම පුදුමයකට කරුණක් නොවුනේ රණවීර ඒ තරමටම මිනිසුන්ට කරදරයක් වූ නිසාවෙන්ය.. මේ අතර දිනයක නුවන් සෙනරත් සොයා පැමිණියේය..

" මම ආවේ තාත්තා එක්ක වැදගත් දෙයක් කතා කරන්න.. මම කැමතියි අයේශාව මගේ බිරිද කරගෙන කැන්දන් යන්න.." 

" ඒත් පුතේ තාත්තට සනීප නැති වෙලේ.."

     සෙනරත් කතාව අවසන් කරන්නට පෙර නුවන් හඩ අවදි කලේය..

" තාත්තට කවදා සනීප වෙයිද කියන්න බැහැ.. ඒ නිසා තාත්තගෙ අකමැත්තක් නැත්නම් අපි මේකට ලෑස්තිවෙමු.."

" අකමැති වෙන්න මට හේතුවක් නැහැනෙ පුතේ.. "

          සෙනරත්ගේ හිතේ අයේශාගේ අනාගතය ගැන තවත් බිය වීමට කාරණාවක් නැතැයි සෙනරත්ට හැගී ගියේය.. නුවන් ඇයව ආදරයෙන් බලාගනීවියි සෙනරත්ගේ සිතට දැනුන නිසා සෙනරත් තම එකම දියණියගේ මංගල්‍ය වෙනුවෙන් සියළු කටයුතු සූදානම් කීරීමට උනන්දු විය..

" මගේ පුන්චි කෙල්ල ලගදිම මනාලියක් වෙලා යන්නයි හදන්නේ.."

            සෙනරත් දියණිය ආදරයෙන් තුරුළු කරගෙන පැවසීය.. සෙනරත්ගේ දෑසට ගලා ආ කඳුළු බිදු සගවාගෙන දියණිය සමග ගෙවෙන අවසන් දින කීපය සෙනරත් සතුටින් ගත කලේය.. ඇගේ මව නැති අඩුව සෙනරත්ට තදින්ම දැනුනත් විය යුතු යුතුකම් සියල්ලම ඉටු කිරීමට සෙනරත් අමතක නොකලේය..


අවසාන පියවරින් හමු වෙමු...

Wednesday, 16 March 2011

මිනිසත්කම සොයා : අටවන පියවර

          හිතේ දැවෙමින් තිබු ගැටළුවත් සමග ගෙට ගොඩවූ සෙනරත් නින්දට වැටුනත් හිතේ මෙන්ම ගතේද දැනුන වේදනාව නිසා නින්ද සෙනරත් සොයා නොආවේය.. විවේකය සෙනරත්ට ඕනෑ යැයි වෛද්‍යවරු අවවාද කලද සෙනරත්ගේ වැඩ සියල්ලම සෙනරත් තනිවම කර ගත යුතු නිසා සෙනරත්ගේ සෞඛ්‍ය තත්වයද ටිකෙන් ටික පිරිහෙන්නට විය...

            සෝමවීර හැම මොහොතකම සෙනරත් ගැන සොයා බැලීය.. නමුත් සෙනරත් කොළඹදී සිදුවූ කිසිවක් ගැන සෙනරත් සමගද පැවසුවේ නැත.. දින දෙක තුනක් සන්සුන්ව පැවති සෙනරත්ගේ ජීවිතය රණවීර ආරච්චිගේ යලී පැමිණීමත් සමගම අවුල් වී ගියේය..

         රණවීර සියල්ල දැනගෙන අවසානය.. ඔහුගේ මුහුනේ වෙනදාටත් වඩා නපුරු කමක් උතුරා යමින් තිබිනි.. රණවීර සමග තව දෙතුන් දෙනෙක්ම සෙනරත්ගේ ගෙමිදුලේ විය.. 

" ආ එන්න එන්න.. මම මේ සෙනරත් අප්පු මුන ගැහෙන්නමයි ආවේ.."

            නුවන් පුතා තාත්තා සමග සියල්ල කතා කර ඇති බව සෙනරත්ට වැටහී ගියේය.. රණවීරගේ පිළිතුර ඔහුගේ මුහුනින්ම පෙනෙන්නට විය..

" ආරච්චි මහත්තයෝ.." සෙනරත් වෙනදා මෙන් ගරු බුහුමන් ඇතිව කතා කලේය..

" උඹලා දණ ගාගෙන ආවට හිතන් ඉන්නෙ මටත් ඉහලින් යන්න නේද? කෝ උඹෙ දුව? එන්න කියපන් ඒකිට.."

" දුව කොළඹ ඉන්නෙ ආරච්චි මහත්තයෝ.."

" ඒකි එහෙ ඉදන් මායම් දාලා තමයි මගෙ කොල්ලව අල්ලන් තියෙන්නෙ.. උඹත් මේවට මෙහෙ ඉදන් උල්පන්දන් දීලා තියෙනවා.."

" අනේ නැහැ ආරච්චි මහත්තයෝ.. මට ආරන්චි උන දවසෙම මම දුවට මේ ගැන තෙරුම් කරලා දුන්නා.."

" මට ඒ කතා වලින් වැඩක් නැහැ.. උඹ දුවව හදා ගනින්.. නැත්නම් උඹ දන්නව ඇතිනෙ ගමේ ගාමිණියට මොකද උනේ කියලා.."

    සෙනරත්ට තව දුරටත් මේ පීඩන ඉවසාගත නොහැකි විය..

" අපි ගමේ දුප්පත් මිනිස්සු බව ඇත්ත.. ඒත් හිතන්න එපා හැමදාම අපිව පාගගෙන ඉන්න පුළුවන් වෙයි කියලා.. මගේ දුව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ.."

       සෙනරත්ගේ හිතේ තිබුන ආවේගයට සෙනරත් එසේ පැවසුවත් සිදුවූයේ රණවීරගේ කෙන්තිය තවත් වැඩිවීම පමණි..

" මුන්ගේ දැන් ඔළුව ලොකු වෙලා.. මුන්ට මුල මතක නැහැ.. කළුවා අල්ල ගනින් ඕකව.."

        රණවීරගේ ගෝලයන්ගේ ග්‍රහණයට අසු උන සෙනරත්ට කිසිවක් කරකියා ගත නොහැකි විය.. වෙනදානම් උන් එක්ක පොරකා හෝ මිදීමට ශක්තිය සෙනරත්ට තිබුනත් අද සෙනරත් කිසිවක් කර ගත නොහැකිව බලා සිටියේය..

       සෙනරත් ලගට පැමිණි රණවීර ඔහු අත තිබූ බස්තමින් වැරින් පහරක් එල්ල කලේය.. එය සෙනරත්ගේ මැහුම් තුවාල අසලම වැදී දැනුන වේදනාවෙන් සෙනරත් එතනම ඇදගෙන වැටුනි..

      නිසලව බිම වැටි සිටින සෙනරත් අතහැර යාමට රණවීර සිතුවත් ඔහුගේ තීරණය වෙනස් උනේ ඇතින් එන සෙනරත්ගේ දුව දුටු විටය..

" ඔය එන්නෙ දුවත්.. තාත්තට කියපු ටිකම දුවටත් කියලම යමු.."

       රණවීර පැවසූ දෙය දෙසවනට වැටුන සෙනරත් අමරුවෙන් හිස හරවා බලන විට මේ කිසිවක් නොදැන ඈතින් පැමිනෙන දියණිය දුටුවේය.. නිවෙස ලගට ලං වත්ම සිදුවී ඇති දෙය ඇයට වටහා ගත හැකි විය.. බිම වැටි සිටින තාත්තා දුටු වහාම ඈ හඩාගෙන තාත්තා ලගට දිව එන්නට විය.. 

     රණවීරගෙන් දුවට අනතුරක් වේ යැයි බිය වු  සෙනරත් ඇයට ලගට නොඑන ලෙස අතින් පැවසුවත් ඇය නොනැවතීය.. 

       දුවට අනතුරක් වීමට පෙර ඇය බේරා ගත යුතුයැයි සෙනරත්ගේ හිතට ආ සිතුවිල්ලෙන් නිසලව තිබූ සිරුරට අමාරුවෙන් පණ පොවාගෙන දෙපයින් හිටගත් සෙනරත් රණවීරට කිසිවක් කර ගත් නොහැකි වන පරිදි ඔහුව අල්ලා ගත්තේය.. සෙනරත්ගේ ග්‍රහණයෙන් මිදීමට රණවීරට නොහැකි වූ තැන,

" මොනවද උඹලා බලන් ඉන්නේ.. ගහපන් මූට.."

       රණවීරගේ විධානයට ක්‍රියාත්මක වූ ගෝලයෝ පොළු මුගුරු රැගෙන සෙනරත් දිහාවට දිව  අවුත් සෙනරත්ට පහර දෙන්නට වත්ම රණවීරව අත්හල සෙනරත් ඒ පහරවල් වලින් වැලකෙන්නට විය.. නමුත් සෙනරත් වෙත වැරෙන් එල්ල වූ පොළු පහරවල් නතර වූයේ රණවීරගේ හිස ලෙයින් තෙත් කරමින්ය..

        රණවීරගේ මුහුණ පුරා ගලාගිය ලේ පාරවල් දුටු ගෝලයෝ රණවීර එතැන දමා දුවන්නට විය.. මහා හයියෙන් කෑ ගසාගෙන රණවීර සෙනරත්ගේ දෙපා පාමුල ඇද වැටිනි..


යලි පියනගමු...

Monday, 14 March 2011

මිනිසත්කම සොයා : හත්වන පියවර

       අයෙත් ජීවිතය ඉල්ලන ලොකු පුතා දැක සෙනරත්ගේ හිත අනුකම්පාවෙන් බරවිය.. තමන්ට අකීකරු වී මොනතරම් දේවල් කලත් ඒ තවමත් තම ලොකු පුතා නේදැයි සෙනරත් රෝහලේ ඇද මත සිට සිතන්නට විය.. 

         වෛද්‍යවරු සෙනරත්ට පොරොන්දු වූ පරිදිම එදින රාත්‍රියේම සැත්කම සදහා සූදානම් විය.. සෙනරත් ලගින්ම සිහසුන්ව සිටි ලොකු පුතා දෙස සෙනරත් බැලුවේ අසීමිත වූ ආදරය හිතේ දරාගෙනය.. සෙනරත්ගේ දෙනෙතට උනා ආ කඳුළු බිදු අතරම සෙනරත්ගේ දෑස හෙමෙන් පියවෙන්නට විය..

        සෙනරත් පසුදින දෑස් විවර කර බලන විට සෙනරත් රොහල් කාමරයේ ඇදක් මත සිටියේය.. සෙනරත්ගේ උදරයෙන් දැනුන වේදනාවත් සමගම නැගිටින්නට උත්සාහ කරද්දී වෛද්‍යවරයකු සෙනරත් ලගට පැමිනියේය..

" දැන් කොහොමද සෙනරත්? "

" මට හොදයි මහත්තයෝ.. පුතාට කොහොමද? "

" පුතා?"

       සෙනරත්ගේ මුවින් එකවරම කියවූ දෙයින් කලබල වූ වෛද්‍යවරයා සෙනරත්ගෙන් එසේ විමසීය..

" නැහැ.. නැහැ.. මහ අහුවේ රෝහන මහත්තයා ගැන.."

   සෙනරත් යලිත් සියල්ල සගවමින් විමසීය..

" ආ රෝහනට දැන් සනීපයි.. සෙනරත්ට පින් සිද්දවෙන්න.. ඒ පවුලෙ අයට සෙනරත් මුන ගැහෙන්න ලොකු ඕන කමක් තිබුනා.. සෙනරත් මුකුත් කියන්න එපා කියපු නිසා මම කිව්වේ නැහැ.. "

" ඒකට කමක් නැහැ මහත්තයෝ.. මට කවදා විතර ගෙදර යන්න පුළුවන්ද? "

" තව දවස් දෙක තුනකින් යන්න පුළුවන්.."

       සෙනරත්ගේ හිතට සැනසිලි දායක හැගීමක් ගලා ආවේය.. දෑසින් වැටුන් කඳුළු බිදු පිසදාගත් සෙනරත් ලොකු පුතාගේ මතක අතර සැරි සරන්නට විය..

        රෝහලේ ගෙවුන දින දෙක තුල සෙනරත් පුතාගේ පවුලේ අයට මුන නොගැසී සිටිමට වග බලා ගත්තේය.. සෙනරත් යන්තම සුවයක් දැනුන විගසම රෝහලෙන් නික්මීමට අවසර ඉල්ලීය.. 

         රෝහලෙන් නික්මීමට මත්තෙන් ලොකු පුතාගේ වාට්ටුව ලගට ගිය සෙනරත් දුරින් හිද ලොකු පුතාගේ සුවදුක් බැලීය.. සිය බිරිද හා දරුවන් සමග සතුටින් සිටින ලොකු පුතා දුටු සෙනරත් හිතට නැගුන සතුටත් සමග නිවසට යාමට පිටත්වීය..

       දින හතරකට පසුව සෙනරත් ගෙදර පැමිනෙන විට සෝමවීරද සෙනරත් සොයා පැමින සිටියේය..

" අප්පු පහුගිය දවස් ටිකේ කොහේද ගින් හිටියේ? මම මේ ආපු තුන්වෙනි දවස අද.." 

     සෝමවීර සෙනරත් දුටු වහාම විමසීය..

" මම කොළඹ ගියා දුව බලන්න.. ඒ ගමන් නෑදෑ ගෙදරක දවස් දෙකක් නතර උනා.. ඇයි සෝමවීර හදිස්සියක්ද?"

" නැහැ අප්පු.. එහෙම දෙයක් නෙමෙයි.. අප්පු හිටපු නැති නිසයි මම ඇහුවේ.. මම ගිහින් වෙන වෙලාවක එන්නම්.."

           සෙනරත්ට සමුදී සෝමවීර නික්ම ගිය පසු එලියේ තිබූ ලී බංකුව මත වාඩිවූ සෙනරත් කල්පනා කරන්නට විය.. ලොකු පුතා ගැන දැන් සෙනරත්ගේ හිතේ බයක් නැත.. ඒත් අයේශාගේ අනාගතය ගැන සෙනරත්ට ඉක්මනින් තීරණයක් ගත යුතුව තිබුනි.. නුවන් පුතාට  පොරොන්දු වූ පරිදී ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තුරු බලා හිදීමට සෙනරත්ට සිදුවිය..

       උදරයේ වූ මැහුම් අතරින් දැනුන වේදනාව සෙනරත්ගේ හිතේ වේදනාව තරම් සෙනරත්ට දැනුනේ නැත.. හැමදේම හොදින් විසදේවියැයි සිතු සෙනරත් නිවසට ගොඩ විය..


යලි පියනගමු...

Sunday, 13 March 2011

මිනිසත්කම සොයා : හයවන පියවර

            නුවන්ගේ හිතේ තම දියණිය ගැන ඇති ආදරය සැබෑවක් බව තෙරුම් ගත් සෙනරත් නුවන්ගේ අදහසට එකග වීමට තීරණය කලේය.. රණවීර ආරච්ච් මේ යෝජනාවට එකහෙලාම අකමැති වන බැව් සෙනරත්ගේ හිත හැම මොහොතකම පැවසුවේය.. නමුත් තම දියණියගේ කඳුළු සෙනරත්ගේ හිතට වාවාගත නොහැකි නිසා එන ඕනෑම ප්‍රශ්ණයකට මුහුන දීමට සෙනරත් හිත දැඩි කරගත්තේය..

          සෙනරත්ට ආපසු ගමට යාමට බසයක් එනතුරු නුවන්ද බස් නවතුමට වී සෙනරත්ගේ තනියට සිටියේය.. අයේශා ඇයට දේශණයක් ඇති නිසා වේලාසනින්ම පියාට සමුදී  නික්මී තිබුනි.. සෙනරත් නුවන් සමග කතාබහේ යෙදී සිටියදී නුවන් පැවසූ දෙයක් නිසාවෙන් සෙනරත්ගේ හිත මහත් කලබලයට පත් විය..

" අපිට උගන්නන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා.. එයා මෙහේ ප්‍රසිද්ධ කෙනෙක්.. ඒත් එයාට වකුගඩු වල තියෙන ලෙඩක් නිසා මේ දවස් වල ඉන්නේ ඉස්පිරිතාලේ.. "

" ඉතින් පුතා එක හොද කරන්න බැරි ලෙඩක්ද? "

" පුළුවන් ඒත් ඒ ලේ වර්ගය ගොඩක් දුර්ලභ එකක්.. ඒ නිසා ගැලපෙන වකුගඩුවක් හොයා ගන්න ගොඩක් අමාරුයි.."

" කවුද පුතා ඒ දොස්තර මහත්තයා? "

" එයා රෝහන සේනාදීර කියලා දොස්තර කෙනෙක්.."

        සෙනරත්ගේ දෙනතට එකවරම කඳුළු උනන්නට විය.. නුවන් මේ කතාකරන්නේ මගේ ලොකු පුතා ගැන නේදැයි සෙනරත්ට තෙරුම් ගියේය.. සෙනරත්ට මේ කිසිම දෙයක් අදහාගත් නොහැකිව කල්පනා කරන්නට විය..

" ඇයි තාත්තේ කල්පනා කරන්නේ.. මොකක් හරි ප්‍රශ්ණය්ක්ද?"

" නැහැ පුතා.. මම පුතා කියපු කෙනා ගැන කල්පනා කලේ.. එයා මොන ඉස්පිරිතාලෙද ඉන්නේ? "

" මහ ඉස්පිරිතාලෙ තාත්තේ.. දැන් මාස දෙක තුනක් වෙනවා.. තව කොච්චර කල් ජීවත් වෙයිද කියන්න බැහැ.."

" සනීප කරන්න විදියක් ඇත්තෙම නැද්ද පුතා? "

" පුළුවන් තාත්තේ ඒ ලේ වර්ගෙම වකුගඩුවක් හොයාගන්න ඕන.. ඒ අය ගොඩක් මහන්සි වෙනවා.. ඒත් තාම හොයාගන්න බැරි උනා.."

        සෙනරත් ආයෙත් කල්පනාවට වැටුනත් ඒ කල්පනාව නුවන් බිද දැමුවේ සෙනරත්ගේ බස් එක ආබව පවසමින්ය..

" එහෙනම් මම ගිහින් එන්නම් පුතා.. පුතා තාත්තා එක්ක කතාකරල මට විසදුමක් දෙයි කියලා මම හිතනවා.. මගේ දුවව හොදට බලා ගන්න.."

         නුවන්ට සමුදී බසයට ගොඩවූ සෙනරත් තම ලොකු පුතා ගැන සිතන්නට විය.. ජීවිතයත් මරණයත් අතර ලොකු පුතා සටනක ඉදිද්දී සෙනරත්ට අහක බලාගෙන ඉන්නට පුළුවන් කමක් නොතිබුනි.. ලොකු පුතා තමන්ට කොතෙකුත් අකට යුතු කම් කලත් පුතා ගැන කැක්කුමක් තවමත් සෙනරත්ගේ හිතේ ඉතිරිව තිබුනි.. යාමට පිටත්වන බසයෙන් බැසගත් සෙනරත් මහ ඉස්පිරිතාලෙට යන මග අසාගෙන ලොකු පුතා බැලීමට නික්මීය..

         ඉස්පිරිතාලෙදී ලොකු පුතාගේ බිරිද සහ නෑයන් තමන්ව එලවා ගනීවිදැයි සෙනරත්ගේ හිතට සිතුනත් ඔනෑම දෙයකට මුහුන දීමේ අදිටනින් සෙනරත් රොහල වෙත පිය මැන්නේය..

         රෝහලේ විමසුම් කුටියෙන් පුතා ඉන්නා වටිටුව ගැන තොරතුරු විමසූ සෙනරත් පුතා සිටි රෝහල් කමරය වෙත ලන්වීය.. ඈතින් ඉද පුතා දෙස බලා සිටි සෙනරත් රෝහලේ වෛද්‍යවරයෙක් හමු වීය..

" දොස්තර මහත්තයෝ.. මට ආරන්චි උනා මෙහෙ ඉන්න රෝහන සෙනාදීර කියන මහත්තයට වකුගඩුවක් ඔනැයි කියලා.. මගේ ලේ ඒ මහත්තයගේ ලේ වර්ගෙට සමානයි.. මට පුළුවන් ඒ මහත්තය වෙනුවෙන් වකුගඩුවක් දෙන්න.."

       සෙනරත්ගේ කතාවට සවන්දී සිටි වෛද්‍යවරයා සෙනරත් ලගට පැමින සෙනරත් ලගින් වාඩි විය..

" අද කාලේ ඔබතුමා වගේ අය හොයා ගන්න අඩුයි.. ඉන්න මම එයාලගේ පවුලෙ අයට කතා කරන්නම්.." 

" අනේ එපා මහත්තයෝ.. එයාලට කියන්න එපා මං ගැන.. එක මහත්තයා මට කරන ලොකු උදවුවක්.." සෙනරත් බැගෑපත්ව ඉල්ලා සිටියේය..

" හොදයි මම එහෙම කරන්නම්.. සෙනරත්ට පුළුවන්ද අදම මෙහෙ නවතින්න.. දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන්.."

" හොදයි මහත්තයෝ.. මම ඉන්නම්.. හැබැයි මං ගැන ඒ මහත්තුරුන්ට කියන්න එපා.." 

           සිය ලොකු පුතා වෙනුවෙන් සෙනරත්ට කලහැකි එකම දෙය එය විය.. දෙවරක් ඒ ගැන නොසිතු සෙනරත් අපසු ගෙදර යාම අත්හැර එදින රෝහලේ නතරවිය.. වෛද්‍යවරු එදිනම සැත්කම සිදු කරන බව සෙනරත්ට පැවසීය..


යලි පියනගමු...

Saturday, 12 March 2011

මිනිසත්කම සොයා : පස්වන පියවර

              ගෙවී ගිය සති අන්තය සෙනරත්ගේ ජීවිතයේ තීරනාත්මකම දින කිහිපය විය... සෙනරත් නුවන් පිළිබදව අයේශාගෙන් ඉන්පසුව කිසිම මොහොතකට නොවිමසුවේය.. ඒ සංවාදය එතැනින් එහාට ගෙනි යන්නට සෙනරත්ට ඔනෑ උනේද නැත.. මේ අතරතුර අයේශාද තම පියාට කිසිදු වෙනසක් නොපෙන්වා වෙනදා මෙන් නොයෙකුත් දේවල් ගැන කතා කරමින් සති අන්තය ගත කලාය..

        අයේශා වෙනදා මෙන් සතුටින් ඉන්නා බව තාත්තට පෙන්වීමට උත්සාහ කලත් ඇගේ සිත ඇතුලේ වේදනාවක් තිබෙන බව සෙනරත් හොදින්ම තෙරුම් ගත්තේය.. සති අන්තය ගෙවී ගොස් අයේශා යලිත් කොළඹ යාමට සූදානම් විය.. සෙනරත්ද ඇය ආසා කරන කෑම වර්ග කීපයක්ම ඇයට රැගෙන යාමට පිළියෙල කලේය..

         හිමිදිරි පාන්දරම නිවසින් පිටවීමට පැමිනි අයේශා තාත්තාගේ දෙපා නැමද ආශිර්වාද ගෙන නිවසින් පිටත් වීමට සූදානම් වූවාය..

" දුවේ.. මම සතියෙ මැද දවසක කොළඹ එන්නම් නුවන් පුතාව මුන ගැහෙන්න.."

        අයේශා බලාපොරොත්තු නොවූ මොහොතක තාත්තා පැවසූ දෙයින් අයේශාගේ හිත සතුටින් පිරී ගියේය..

" මම කොළඹ එන්නම් කිවුවේ නුවන් පුතාට මෙහෙ එන්න කියන්න බැරි නිසයි.. එහෙම උනොත් මේ හැම දෙයක්ම ඉබේම රණවීරගේ කණට යනවා.. කොහොම උනත් ඒ උන්දැලා මේක දැනගනීවි.."

       සතුටින් තාත්තා ලගට තුරුළුවී සිටි අයේශාගේ මුහුනේ රැදි සිනහව පහව ගියාය..

" තාත්තට මං නිසා කරදරයක් වේවිද?? "

" මට මොනවා වෙන්නද දුවේ.. මට බය දුව ගැන.. දැන් යන්න.. නැත්නම් බස් එකට පරක්කු වේවි.. මම එන බව නුවන් පුතාට කියන්න.."

         වෙල්යාය මැදින් වැටුන් ගුරු පාර දිගේ අයේශා නික්ම යන තුරු සිනහ මුසු මුහුණින් බලා සිටියත් සෙනරත්ගේ සිතට අයේශා ගැන ලොකු බියක් දැනෙන්නට විය.. ඇය කිසිවිටක තමන්ට අකීකරු වී තීරණයක් නොගන්නා බව සෙනරත් දැන සිටියත් ඇගේ සතුට අහිමි කිරීමට සෙනරත්ට හිත් නොදුන්නේය.. රණවීර ආරච්ච් මේ ගැන දැනගත් පසුව කුමක් සිදුවේදැයි සෙනරත්ට සිතා ගත නොහැකි විය.. 

         ඉක්මනින්ම නුවන් හමුවී ඔහුගෙන් නිසි පිළිතුරක් ලබා හැනීම සෙනරත්ගේ අදිටන විය.. ඒ මෙය තම දියණියගේ ජීවිතය පිළිබදව වූ ප්‍රශ්ණයක් නිසාවෙන්ය.. එහෙයින් සෙනරත් නුවන් හමු වීමට දින කීපයකට පසුව කොළඹට පිටත්වීය..

...............................

        සෙනරත් කොළඹට පැමිනෙන විට අයේශා නුවන්ද සමග බස් නැවතුම වෙත පැමින සිටියේය.. පිටතින් නුවන්ගේ කීමට තරම් වරදක් සෙනරත් නොදුටුවේය.. චාම් සරළ බවක් සෙනරත් නුවන් තුලින් දුටුවේය.. රණවීරට වඩා මනුස්සකම නුවන් තුල ඇති බව සෙනරත්ට හැගී ගියේය..

" තාත්තට දැන් මහන්සිත් ඇති.. අපි කඩේකට ගිහින් තේ එකක් බීලා ඉමු.." තාත්තා ලගට පැමිනි අයේශා පැවසීය..

      සෙනරත් දියණියත් නුවනුත් සමග අසල පිහිටි අවන්හලකට ගොස් තේ කොප්පයක රස බලමින්ම නුවන් සමග සිය දියණිය පිළිබදව කතා කලේය..

" පුතා.. ඔයාලගේ සම්බන්දය ගැන මගේ තියෙන්නේ අකමැත්තක් නෙවෙයි.. බයක්.. ඒ පුතාලගේ තාත්තා නිසා.. මට බයයි මගේ දුවට කරදරයක් වේවියි කියලා.."

        සෙනරත් ගේ හිතේ තියෙන බය හොදින් තෙරුම් අරගත් නුවන් සෙනරත්ගේ සිත සැනසෙන අයුරින් කතා කලේය..

" මම දන්නවා ඒ ගැන.. මම අයේශාගෙන් සම්බන්දයක් පටන් ගන්න අහනකොට එයා මුලින් මට අකමැති උනෙත් ඔය හෙතුව නිසාමයි.. අපේ තාත්තා නපුරු බව ඇත්ත.. ඒත් මම හිතනවා මට තාත්තගෙ හිත වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා.."

     නුවන්ගේ කතාවට ටික වෙලාවක් නිහඩව සවන් දුන් සෙනරත්..

" පුතාගේ තීරණයකට තාත්තා කැමති වෙන්න පුළුවන් අයේශා මගේ දුව නෙමෙයිනම්.. පුතාලගෙ තාත්තා මගේ ගැන හොදටම දන්නවා.. ඒ නිසා මම හිතන්නේ නැහැ තාත්තගෙන් කැමැත්තක් ලැබෙයි කියලා.."

" ඔවු.. ඒත් අපේ තාත්තා දන්නේ කුඹුරු කරන සෙනරත් ගැන.. සෙනරත් අප්පු ගැන එයා දන්නේ නැහැනේ.. අයේශා මාත් එක්ක ඒ හැම දෙයක්ම කිවුවා.."

" ඒත් අපිට දැන් ඒ කිසිම දෙයක් නැහැ.. මට තියෙන එකම වස්තුව මගේ දුව විතරයි.. ඒ නිසයි මම අද මෙහෙම එන්නවත් තීරණය කලේ.."

" තාත්තා මට තව ටික දවසක් දෙන්න.. මම මේ හැම දෙයකටම උත්තරයක් හොයාගන්නම්.. එතකන් අයේශාට කිසිම කරදරයන් වෙන්න දෙන්නෙ නෑ කියලා මම තාත්තට පොරොන්දු වෙන්නම්.." 

     නුවන් තුල අයේශා ගැනැ සැබැ ආදයක් මෙන්ම වගකීම් සහිත අදහස් නිසා සෙනරත්ට නුවන්ට අවස්තාවක් ලබා නොදීමට තීරණය කල නොහැකි විය..


 යලි පියනගමු...

Friday, 11 March 2011

සිත තාම නුඹ ලග

           ආදරයට ආදරයෙන් සැබැ ආදරයක් සොයා ගිය ගමනක අසංග පූජා ආදර කතාව කිසිදාක බිදලන්න බැරි හදේ එකතු උන මතක කන්දරාවක් පමණක් ඉතිරි කර නිමා වෙයි කියලා බලාපොරොත්තු නොවුන අසංගගේ හිත අද කොතැනද??


සුසානයක සැතප නුඹ
යන්නට පෙර යලිත් නො එන්නට
කියන්නට හැකිනම් හඩගා නුඹට
මේ කඳුළුවල අදෝනාව
අහන් ඉන්න තව එකම වරක් නුඹ
සුසුම්ලන ආදරයක කඳුළු කව..


          2008 මාර්තු 10 අසංගගේ ජීවිතේ කදුළින් ලියවුන දවස.. හදවතින්ම ආදරය කල පූජා සුසානයක තනි කරලා අසංග නික්මුනේ හිතේ එකතු උන මතකයන් එක්ක පූජාගේ ආදරේ ආයෙත් ජීවත් කරවන එකම එක බලාපොරොත්තුවත් එක්ක..  


ආයෙත් වෙනදා වගේ දිනයක
හමුනොවෙනු ඇත කිසිවිටක අප
ඉකිබිදින සිත තුලට
සැනසීම පමණක් ඉතිරිකර
ඔබේ මතකය හුදකලා වී ඇත
අප මුණගැසුන ඒ හැම තැන්හිම..


           පූජා ලග එදා කවදාවත්ම නොහඩපු අසංග හැමදාම හැන්දෑවට පූජාගේ සුසානය ලගට වෙලා පොළොව තෙත් වෙනකම් හෙලු කඳුළු අසංගට පූජා හොයාගෙන යන තරමටම අසරණ කලත් පූජා තරමටම අසංගට ආදරේ කල බැදීම් අසංගගේ හිත නොනවත්වන්න අසංග අද පූජා සොයාගෙන.. 


තවත් හඩන්නට මට
කඳුළු ඉතුරු නෑ මේ දෙනෙත් වල
වියලියි මේ දෙනෙත් 
නුඹ සමීපයේ අද
නමුත් ඇසෙනවද සොදුර නුඹට
මේ හදේ ගිගුම්දෙන විලාපය..


         පූජාගේ ආදරය අසංගව අදටත් ජීවත් කරවනවා.. ඒ ආදරයේ බලාපොරොත්තු අසංග එකින් එක අද ලං කර ගත්තත් පූජා නැති අඩුව මකන්න ඒ එකකටවත් පුළුවන් කමක් නැහැ.. පූජා අසංගගේ දෙනෙත් මායිමෙන් හැමදාටම යන්න ගිහින් තෙවසරක් ගෙවුනත් අසංගගේ හිත ඇතුලේ ජීවත් වෙන, හැමදාම දෑස් ඉදිරියේ මැවෙන පූජා අසංගගේ බැදීම් නිම වෙන දිනයක් තෙක් අසංගව ජීවත් කරාවී...


මිහිදන්කර නුඹේ සිත අද
නික්ම ගියත් මා මෙලෙස
නුඹේ ආත්මයට මුසු උන
ආදරය රකිමි මම හැම දිනකම
මියෙන්නට නොදි කිසිවිටක
මගේ හිතින් කිසිලෙසක...