Friday, 18 November 2011

මගේ පළවෙනි කවිය


මම ඊයේ මගේ කවියකට කතාවක් එකතු කරලා පෝස්ට් එකක් දැම්මනේ.. ඕකේ තිබුනේ ඉතින් කවියෙක් තමන්ගේ පළවෙනි කවිය ගැන කියන කතාවක්.. ඒක කියවලා ඔයාලත් ඔයාලගේ අදහස් එකතු කරලා ගියා.. ඒත් එක කමෙන්ට් එකක් මම මේ දැන් ලියන පෝස්ට් එකට මග පෑදුවා..

කට්ටියම නිසූගේකතා කියන අපේ නිසූපා අක්කව දන්නවනේ.. අක්කා ඉතින් හැමදාම වගේ මගේ බ්ලොග් එකට ගොඩ වදින කෙනෙක්.. ඉතින් අක්කා මගේ කවියටත් අපූරු කමෙන්ට්ටුවක් එකතු කරලා ගිහින් තිබුනා මෙන්න මෙහෙම..

17 November 2011 07:52 http://www.blogger.com/img/icon_delete13.gifReply
හැමෝම හරි කැමතියි තමුන්ගෙ ආදරවන්තයාගෙ පලවෙනි ආදරය තමුන් කියලා අහන්න..
කාට වුනත් ඒක පොදුයි...:))


ඉතින් මාත් ඕක දිහා බලලා ටිකක් වෙලා කල්පනා කලා.. කතාවෙත් ඇත්තක් තියෙනවා.. කම්පියුටර් මේසේ ලගම යතුරු දාලා ලොක් කරලා තිබුන කබඩ් එක ඇරලා කලබලේ මං මගේ කවි පොත හෙවුවා.. මගේ පළවෙනි කවිය මොකක්ද කියලා හොයාගන්න.. කතාවේ මලිත්ට නම් මතක තිබුනා එයාගේ පළවෙනි කවිය.. ඒත් ඉතින් මට මතක නෑනේ.. ඉතින් පොත අරන් පෙරලලා බලද්දි මෙන්න තියෙනවා මං ලියපු මගේ පළවෙනි කවිය..

ඉර බැහැගෙන යන
සන්ද්‍යාවක
වෙල් ඉපනැල්ලේ හමා එන
සුළගේ
රැදුන ඔබේ සුවද
මොහොතකින් මගේ සිතුම්
ඔබ ගැන මතකයෙන්
වෙලා ගනී..
ඔබ දැකගැනීමට අවාසනාවන්ත වූ
මේ දෙනෙත්
ඔබේ සුවදින් මා වෙලාගත්විට
ඔබේ රුව නොදකින සොවින්
දෑස් අද්දරට කඳුළු බිදු
එකිනෙක ලං කරයි..
ඔබේ වදන් වලින් පිරුණ
මේ දෙසවන්
ඔබේ සුවදින් මා මන් මත් වූ විට
ඔබේ වදන් නොඇසෙන සොවින්
ඈත  වෙල් යායෙන් ඇසෙන
කුරුළු ගීතාවලියට
මගේ සිත රැගෙන යයි..

-5/5/2003-

මේ මොන විකාර කවියක්ද කියලා බලන ඔයාලට හිතේවි.. ඔය ඉතින් ඉස්සෙල්ලම ලියපු එකනේ.. ඉතින් අඩු පාඩු ගොඩයි.. හරි ඒක නෙමෙයි වැදගත්ම ප්‍රශ්ණේ.. කවදා හරි දවසක මලිත්ගෙන් ඇහුවා වගේ කෙනෙක් මගෙන්  ප්‍රශ්ණෙම ඇහුවොත් මටත් පුළුවන් මේ මගේ පළවෙනි කවියයි කියලා ලොක්කා වගේ පෙන්නන්න.. ඒත්.. මේවයේ නිධාන කතා ඇහුවොත් මං මොනවා කියල කියන්නද?

අපේ නිසූපා අක්කා කිවුවා වගේ දෙයක් උනොත්????

මේ පහලින් තියෙන්නේ මගේ මතක එකතු උන මගේ ආදරණිය කවි පොත... J



40 comments:

  1. ලස්සනයිනේ කවිය,. මගෙත් පළවෙනිම කවියේ ඉඳලා ලියපු පොතක් තියෙනවා අයියේ,. 2004 ඉදන් අද වෙනකන්ම මගේ හැම කවියක්ම ලියවෙන්නේ ඒ පොතේ,. පිටු 400ක ලොකු පොතක් ඒකත්,.
    කොහොම වුනත් පළවෙනිම ආදරේ වගේම පළවෙනි කවියත් අමතක කරන්න බෑ,. මට හිතෙන්නේ අපි පළවෙනිම කවියත් ගොඩාක් වෙලාවට ලියන්නේ පළවෙනි ආදරේ වෙනුවෙන් කියල,.,

    ReplyDelete
  2. ඇත්තටම කිව්වොත් මට මේ කවියෙ අඩුපාඩු නම් පේන්නෑ. අද ලියන කවි වගේම මුලින්ම ලියපු කවියත් ලස්සනයි.
    මේ කවි පොතේ කවිත් අපිට ඉස්සරහට බලන්න ලැබෙයි කියල හිතනවා...

    ReplyDelete
  3. කිසි විකාරයක් නෑ! ඉතාම ඉස්තරම්ම කවියකි! :)

    ReplyDelete
  4. කවි පොතක් තියා ගන්න එකනම් හොඳ පුරුද්දක්...මගේ කවි නම් එක තැනක කියලා නැහැ...ගොඩක් ඒවා කොහෙද දන්නෙත් නැහැ..ඉතින් පළවෙනි කවිය මොකක්ද කියලා මමවත් දන්නේ නෑ...හැබැයි ඒ මම 2 වසරේදී විතර ලියපු එකක් වෙන්න ඕන..මොකද මම ඒ කාලෙනේ කවි ලියන්න ගත්තේ...:) මට මතකයි අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කවි ලියන්න කියලා මට පොතකුත් දුන්නා...ඔයාගේ පළවෙනි කවියනම් හොඳ තත්වෙක තියනවා...

    ReplyDelete
  5. මම ගාවත් මෙහෙම කවි දිනපොත් 2 3 ක්ම තියෙනවා...පළවෙනි කවිය කියලා නැහැ..ඒක ඇත්තටම ලස්සනයි...ඒ වගේම මා ගාවත් නිධාන කථාවක් සහිත පුංචි කවි පොතකුත් තියෙනවා...ඒත් ඒකේ දෙන්නෙක්ගෙම කවි තියෙන්නේ..(එක්කෙනෙක් නම් මේ මමමයි...)

    ReplyDelete
  6. @ ප්‍රාර්ථනා : ඔව් නංගී එකනම් ඇත්ත.. අපි කාගෙත් පලවෙනි කවිය පලවෙනි ආදරේට සම්බන්දයි.. නංගී ඔයත් දාන්නකෝ ඔයාගේ කවි පොතයි පලවෙනි කවියයි අපිට බලන්න..

    ReplyDelete
  7. @ රූ : ඔව් අක්කේ.. මං මේකේ කවිත් එකින් එක දාන්න හිතාගෙන ඉන්නේ.. මුල්ම කාලේ ඒවා හන්දා ඉතින් කොහොම වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  8. කවියෙන් කියලා තියෙන්නේ තමන්ගේ හිතේ තියෙන අදහස් නේ. මට නම් වරදක් නොපෙනේ.
    මාත් කවි ලියන්න ආසයි. ඒත් හරියටම බෑ. මෙහෙම කවි කියෝපුවාම මටත් කවි ලියන්න හිතෙනවා.

    ReplyDelete
  9. @ තනි අලියා : අනේ මන්දා.. ඇත්තටමද එහෙම කිවුවේ.. අඩු පාඩු තියෙනවා කියලා කිවුවා උනත් මගේ අමනාපයක් නෑ..

    ReplyDelete
  10. @ සයුරී : අම්මෝ අක්කා දෙකේ පන්තියේ ඉද්දිද කවි ලියන්න ගත්තේ.. අනේ පොඩ්ඩක් තියෙන තැන හොයලා බලලා අපිටත් බලන්න දාන්නකෝ කවියක් දෙකක්..

    ReplyDelete
  11. @ සුජානි : අක්කගේ කවි මං කියවන්නේ ආසාවෙන්.. තව කෙනෙක්ගේ කවි තියෙනවා කිවුවේ?? මගෙත් ඇත්තටම දැන් කවි ගොඩක් තියෙනවා.. මේ පොතේ තියෙන්නේ යුනිකෝඩ් වල ලියන්න පටන් ගන්න කලින් ලියපුවනේ.. ඉතින් යුනිකෝඩ් වල ලියපුවා තාම සේව් කරපු තැන් වලම..

    ReplyDelete
  12. @ මධුරංග : ඉතින් අයියේ ලියමුකෝ.. මම කියලා තියෙනවා මං කවියෙක් උන විදිහ.. ඒ කවි කියවලාම.. පොඩි කාලේ ඉදන්ම අයියා ලියන ඒවා බැලූවා.. ඊට පස්සේ පූජාගේ කවි.. ඉතින් අයියත් ලියන්න පටන් ගන්න..

    ReplyDelete
  13. @ දිනේෂ් : ඒ කාලෙනම් මල්ලි මම ලිව්වේ හඳ පායන හැටි, කුරුල්ලෝ ගැන, ඔන්න ඔය වගේ සරල දේවල්. ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ නේ...ඒක නිසා පළවෙනි කවිය කියලා පෙන්නන්න ඔයාලට වගේ ලස්සන කවි නෑ මම ගාව :( අපේ තාත්තා හොඳ (ටිකක් ප්‍රසිද්ධ ත් එක්කයි)කවි කාරයෙක් නිසා තමයි මාත් පොඩි කාලේ ඉදලම කවි ලියල තියෙන්නේ..

    ReplyDelete
  14. මමත් දාන්නම් අයියේ මගේ පළවෙනි කවිය,. හැබැයි මමත් පොඩි කාලේ නම් කවි ලිව්වා,. එක කවියක් නම් තාමත් ටිකක් මතකයි ඒකට අහගත්ත වර්ණනාව නිසා,.,. උදෑසන ගැන ලිව්වේ,. ඒත් ඒවා නම් නෑ ඉතින්,.

    ReplyDelete
  15. ඒවෙලේ ලියලා අහසට විසිකල කවි තමයි මගේ තියෙන්නේ. ඉතිරිව තියෙන්නේ දැන් ඔය blog එකේ තියන ටික විතරයි.
    මැණික්

    ReplyDelete
  16. @ සයුරි : නෑ අක්කේ ඇත්තම කියනවනම් මීට වඩා ඒ විදිහේ කවි ලස්සනයි.. අක්කගේ තාත්තා ගැනත් අපිට කියන ගමන් පුළුවන් නම් මතක තියෙන මුල්ම කාලේ කවියක් දාන්නකෝ අක්කේ.. මේක මල්ලිගේ ආසාවක් කියලා හිතන්නකෝ...

    ReplyDelete
  17. @ ප්‍රාර්ථනා : කමක් නෑ දාන්නකෝ.. හැහැයි කවි පොතේ පින්තූරෙකුත් ඕන.. අර වර්ණනාවක් අහගත්ත කවිය මතක ටිකවත් දාන්නකෝ බලන්න..

    ReplyDelete
  18. @ මැණික් : ඒ මොකද අක්කේ ඒ?? අක්කා බ්ලොග් එකේ දාන සුන්දර කවි මං හැමදාම බලනවනේ.. නැද්ද මුල්ම කාලේ ලියපු මතක් තියෙන කවියක්..

    ReplyDelete
  19. මගෙත් ඔය වගේ පොත් කීපයක් තියෙනවා...මට කවි ලියවෙනෙ හිත කලබල උන වෙලාවට විතරයි...හිත සංසුන් උන වෙලාවට මලාට කවියක් කියා ගන්න බෑ...

    එක කාලෙක ඔය වගේ එකතු කරපු ඔක්කොම ටික ගොඩ ගහලා පුච්චලා දාලා මළගම් යැව්වා...අතීතය වලදාන්න..ඒක සාර්ථක උනා...හුඟාක් දුරට...

    ඒත් ඉතින් ඔළුවෙ තියෙන මතක කොහේ පුච්චන්නද ? අපි කොතනට ගියත් යන්නෙ ඒ ඔළුව අරගෙනනෙ...

    ඔය වගේ ලියපුවා පස්සෙ කාලෙක බලද්දී හරිම සුන්දරයි...

    ReplyDelete
  20. හලේ ශෝක් ලස්සන කවිය.. තව කවි තියෙනවා නේද ඔය පොතේ. ඒවත් දැම්මනම් අපුරුයි..

    ReplyDelete
  21. මගේ ලඟ නම් පලමු කවියක් ඇත්තේම නැති තරම්..මතකත් නැ අයියේ..

    අයියාගේ කවියට නිධන් උන කතාව කියන්න බැරි නැනේ නේද..

    ReplyDelete
  22. @ දිනේෂ් මල්ලි : මතක් කරා මතක් කරා හරි යන්නෙම නැතෝ :( මතකයන් මැකෙන සුළුයි නේ මල්ලි මොනා කරන්නද ඉතින් ....

    ReplyDelete
  23. මට මතක නෑනෙ මගෙ පළවෙනි කවිය.... දිනේෂ් ඔයා වාසනාවන්තයි

    ReplyDelete
  24. මට කවී ලියන්නම බැනේ.....

    ReplyDelete
  25. අප්පේ...මං කියපු එකෙන් මෙච්චර දුර ගියාද??? :))))

    ඇත්ත මල්ලි හැමෝම කැමති එහෙම අහන්න තමා.ඒත් හැමෝටම එහෙම වෙන්න බෑනෙ.එතකොට හිත හදා ගන්න වෙනවා.කමක් නෑ පලවෙනි එක්කෙනා නොවුනට එයා ඇත්තටම මට ආදරෙයි නෙ කියලා හිතලා.මිනිස්සුන්ව ලගින්ම ආස්‍රය කරනකොටනෙ හරියටම පුද්ගලයාගෙ හැටි කියන්න වෙන්නෙ.එතකොට සමහර වෙලාවට බැදීම අඩු වෙලා දුරස් වෙලා යනවා.ඒක ඇත්ත කිව්වොත් පුද්ගලයන්ගෙ වරදක් නෙවෙයි මං හිතන විදිහට.කාට වුනත් ඒක වෙන්න පුලුවන්.

    ඔයාගෙ පලවෙනි කවිය හරි ලස්සනයි.අනික් ඒවා වගේම.මාත් මේ දැන් කල්පනා කරන්න ගත්තෙ මගෙ පලවෙනි කවිය මොකක්ද කියලා...මතක නෑ නෙ :((

    ReplyDelete
  26. මම නම් ඉස්සෙල්ලම කවියක් ලිව්වේ තුනේදී හරි හතරේදී හරි ඉස්කෝලේදී. සිංහල ටීච කිව්වා අපිට කවියක් ලියන්න කියල. මට මතක විදියට එළිසමය හරියට එන්න කවිය ලිව්වේ තුන් හතර දෙනයි. මාත් එක්කෙනෙක්. ඒක නම් ඉතින් දැන් මැරුවට හොයන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  27. මගේ ගාවත් තියෙනවා ලස්සන කවි පොතක්...හැබැයි මම ඒක හංගලා තියෙන්නේ....අර ඉස්කෝලෙන් අයින් වෙලා ආපු දවසේ එක එකා ලියපු කවි.....ගොඩක් උන් ලියලා තියෙන්නේ කුනුහරුපයි ඉස්කෝලේ කරපු හොරවැඩයි නිසා ඒක හංගලා තියෙන්නේ..

    ReplyDelete
  28. හරිම ලස්සනයි අයියේ...

    ReplyDelete
  29. @ දිල් : අක්කා කවි ටික පිච්චුවා කිවුවම මට නිකන් මොනවදෝ උනා වගේ.. ඒත් ඉතින් ඒ අමිහිරි මතකයක් නිසා වෙන්න ඇතිනේ..ඔව් අක්කේ ඒවයේ සුන්දර බව පේන්නේ දැන් තමයි.. පුළුවන්නම් අක්කත් ඒ කාලේ ලියපු කවියක් දාන්න..

    ReplyDelete
  30. @ වර්ණා : අපෝ ඔව්.. ගොඩක් තියෙනවා.. මං හෙමීට දාන්නම්..

    ReplyDelete
  31. @ නිම්ශා : එහෙම අමතක කරන්න එපා නගේ.. නිධාන කතානම් අහන්න එපා නංගියේ..

    ReplyDelete
  32. @ සයුරි : අපරාදේ අක්කේ.. කමක් නෑ එහෙනම්.. ඒත් අපිට තාත්තා ගැන කියන්නකෝ..

    ReplyDelete
  33. @ විසිතුරු : ටිකක් මතකය අවුස්සලා බලන්න මිත්‍රයා.. සමහර විට මතක් වේවි.. ලියපු තැනක් වත් නැද්ද??

    ReplyDelete
  34. @ රහස් පරීක්ෂකයා : උත්සාහ කරලා බලමු..

    ReplyDelete
  35. @ නිසූපා : අක්කා එක මතක් කල එකත් හොදයි.. ඒකෙන් මේ පොස්ට් එක බලපු ගොඩක් දෙනෙක්ට පළවෙනි කවි මතකය අළුත් උනා.. තව ටිකක් මතක් කරලා බලන්න අක්කේ.. මත උනොත් අපිටත් බලන්න පෝස්ට් එකක් දාන්න..

    ReplyDelete
  36. @ Kasun : එහෙනම් මලයත් හොද කවි කාරයෙක්නේ.. එළිසමය තියාගෙන ලියන්න පුළුවන්නම්.. නරකද ආයෙම කවි ලියන්න පටන් ගත්තොත්..

    ReplyDelete
  37. @ ඔබ නොදුටු ලොවක් : හප්පේ.. එහෙනම් ඒක එහෙමම තියෙන එක හොදයි වගේ.. කුණුහරපයි හොර වැඩයි අයින් කරලා කවියක් දාමුද ඒකේ තියෙන..

    ReplyDelete
  38. @ හිතුවක්කාරී : ගොඩක් ස්තූතියි නංගී..

    ReplyDelete
  39. ෂා! ඉස්තරම්ම කවියකි.....
    ඔක්කොටම වඩා ලස්සනම කවි පොතකි!

    ReplyDelete
  40. අනේ මන්දා.. මගේ පළවෙනි කවිය කොහෙද තියා මොකක් ගැන ලිව්වද කියලා වත් මට මතක නැනේ..මං කවි ලියන්න ගත්තේ ඉස්කෝලේ පහ වසරේ ඉදන්.. රෝස මලක් ගැනද කොහෙද ලිව්වා වගෙත් මතකයි.. ඒත් හරියටම මතක නැ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්