Friday, 4 November 2011

ඔබේ හදවතට දැනෙනවානම්...


මේ වේදිකාවට මං ආගන්තුකයෙක් උන දවස් වල මට තාම මතකයි ඈත කෙලවර පුටුවකට වෙලා ඔයා මං සින්දු කියන දිහා බලාගෙන හිටියා.. ඕනකමින් ඇහුම් කන් දෙන කවුරුවත් නොහිටියට ඔයා විතරක් ඇස් පිල්ලමක් වත් නොගහාම මගේ සින්දු අහගෙන හිටියා.. හැමදාම වගේ ඔයා මේ ක්ලබ් එකට ආවා.. මමත් හැමදාම ඔයා වෙනුවෙන් විතරක්ම සින්දු කිවුවා..

නෙතින් නෙත බලාගෙන අපි කොච්චරනම් කතා කරන්න ඇද්ද.. ඒ සංගීතයත් එක්ක පැටලිලා මං කොයිතරම් නම් සිහින දැක්කද.. ඒ අතරේ තිබුන එකම එක හීනය ඔයා එක්ක මොහොතක් කතා කරන්නේ කොහොමද කියන එක.. මට කොයිතරම් ඕනා උනත් නුඹේ දෑසින් නුඹටත් එහෙමමයි කියලා මං කොච්චර දැක්කා උනත් අපි අතරේ තිබුන දුර ගවු ගනනක් ඈතයි කියලා හිතුන් නිසා මං හැම වෙලේම ඒ හැගීම පාලනය කර ගත්තා..

අපේ මුල්ම හමුවීම මට තාමත් මතකයි.. එදා මං අරමුණක් නැතිව පාරේ ඇවිදන් ගිය දවසක්.. හිත කොතැනක තිබුනද කියලා මතක නැතත් අහම්බෙන් වගේ අපි මුණගැහෙද්දී මට හිතුනේ මං මේ දකින්නේ හීනයක් කියලා.. වාහනේ හෝන් එක කීප වතාවක්ම නාද කල ඔයා නමක් වත් නොදන්න මට කතා කරලා වාහනේට නගින්න කියලා ආරාධනා කලා..

කොහේද යන්නේ කියලවත් නොදැන හිටි මට ඒ කිසිවක් අහන්න ඉඩ නොදුන් ඔයා මගේ ජීවිතේ ගොඩක් දේවල් දැන ගන්න උත්සාහ කලා.. සමහරක් දේවල් ඇරෙන්න අනිත් හැමදේම මං ඔයත් එක්ක කිවුවේ ඇයි කියන්න මං අදටත් දන්නේ නෑ..

“ මම මාධවී..” ඔයා ඔයාවම අදුන්නලා දුන්නා..

“ මම අනුශ්ක..”

එදා ඒ පළමු පියවර තැබුන අපේ ඇසුර දුර දිග ගියේ මටත් වඩා ඔයාගේ උවමනාවට.. දවසට හය හත් පාරක්ම දුරකතනෙන් මාව අමතන ඔයා හැමදාම හවසට ක්ලබ් එකට ආවා මගේ සින්දු අහන්න.. ඊට පස්සේ අපි ගොඩක් වෙලා කතා කලා.. ඒ සබදකමට හරි නමක් දෙන්න මං අසමත් උනත් ඒ ඇසුරට මං ගොඩක් ආසා කලා..

ආදරය කියන අකුරු හතර අපේ කතාබහට කවදාවත්ම ආවේ නැතත් මං හිතින් නුඹට ආදරේ කරන්න පටන් ගත්තා.. ඒ ආදරේ කියන්න අවස්ථා කොතරම් ආවත් මං ඉස්සර වෙන්න කලින් හැමදාම වගේ ඔයා අපේ කතාව වෙනතකට හැරෙවුවා.. ඒ ඇයි කියලා මට එදා නොතේරුනත් දැන් ඒ ගැන තේරුම් ගන්න ඕන කාලය ගොඩක් පහුවෙලා..

මගේ ජීවිතේ වෙනස් කල රාත්‍රිය එදා ඒ විදිහට උදා උනේ ඇයි කියල මට තාමත් හිතා ගන්න බෑ.. එදා වෙනදා වගේම ඔයා අවා කල්බ් එකට.. මං සින්දු කියලා ඉවර උනාට පස්සේ අපි කතා කලා.. ඒත් එදා ඔයා හිටියේ ටිකක් මදුවිත තොල ගාලා.. කතාවෙන් කතාව ඔයා මගේ දෙතොල් සිප ගත්තේ මගේ අවසරයක්වත් නැතිව.. ඒ පහසට මාත් පෙම් බැදි නිසාම මට ඔයාව නවත්තන්න ඕන උනේ නෑ.. එදා අපි ගොඩක් ලං උනා.. ජීවිතේ ආයේ අපහු හැරෙන්න බැරි තරමටම..

එදා ඒ රාත්‍රියෙන් පස්සේ මං ඔයාට තව තවත් ආදරේ කරන්න පටන් ගත්තා.. මේ ඒ ආදරේ කියන්න හොදම කාලයයි කියලා හිතපු මං ඔයා එනකම් බලාගෙන හිටියා.. ඒත් දවස් ගෙවිලා ගියේ මගේ නෙතගට කඳුළක් පමනක් ඉතුරු කරලා.. ඒ බලාපොරොත්තු හැම එකක්ම බිදිලා ගියේ ඔයා ආයෙම කවදාවත්ම මේ ක්ලබ් එකට නොආපු නිසා.. ඔයාගේ දුරකථනයට  කතා කරන්න කොයිතරම් උත්සාහ කලත් හැමදාම එය ක්‍රියා විරහිත උනා..

බලාපොරොත්තු හැම දෙයක්ම අත ඇරලා අලුතින් ජීවිතේ මං පටන් ගන්න හිතුවා විතරයි.. අවුරුදු 2කට පස්සේ ආයෙම වතාවක් නුබ මගේ වේදිකාව ඉස්සරහට වෙලා ඉන්නවා.. ඒත් අද කලින් වතාවට වඩා හැම දෙයක්ම වෙනස්.. මගේ ගීතයට නූඹ ඇරෙන්න අනිත් හැම දෙනෙක්ම ඕනෑකමින් අහගෙන ඉන්නවා.. නුඹ අද ඒ සුපුරුදු මේසය මත තවත් අයෙකුගේ දෑතින් අල්ලන් හීන ලෝකෙක කිමි දෙන්න හදනවා.. ගීතය අතරම ඒ අතීතය මගේ දෑස් අග මැවුනත් නුඹට එහෙම නොවුන බව විතරක් මං හොදින්ම දන්නවා...


පරවුන මලක
පෙති අග
ජීවිතය සරදමක්ව
ගිලිහෙන විටක
ජීවිතයට ආදරය
කියා දුන් ඔබ
වෙනතක හිනැහෙද්දී
ඔබේ නමින් ලියාදුන්
මගේ ආත්මයම
දුක් ගින්නෙහි
දැවෙන තරම්
ඔබේ හදවතට
දැනෙනවානම්...


38 comments:

  1. කවිය ලස්සනයි..
    ඒත් ඊඑට යටින් තියෙන කතාව ඒ තරම්ම ලස්සන නැ..
    ඒ නිසා මෙය හුදෙක්ම කවි සිතක පහල වූ කවියක් ම විතරක් වේවායි...පතනවා..

    ReplyDelete
  2. අලුත් කතාවක්...තව කොටසක් එනවද...නැත්නම් මෙතනින් ඉවරද?

    ReplyDelete
  3. අාදරේ ගැන හරියන්නෙ එකම එක තියරිය තමා! අැතිවීම ස්වාභාවය කොට අැති යමක් වේද එය නැතිවීමම ස්වාභාවය කොටගෙන අැත්තේය!

    ReplyDelete
  4. මේක කතාවක්ද ඇත්තටම උන දෙයක්ද?

    ReplyDelete
  5. අනේ මංදා... මොනවා කියන්නද කියලා තේරුමක් නෑ..
    ලස්සන සංකල්පණාවක්. මතුපිටින් පේනවාට වඩා දෙයක් තියනවා කියලා හිතෙනාවා.

    ReplyDelete
  6. @ Red Riding Hood : ලස්සන නෑ කිවුවේ මං ලියලා තියෙන විදිහද??
    කවියට කතාවක් ගලපපු පළවෙනි සැරේනේ මේ.. ඒ නිසා අඩුපාඩු ඇති..

    ReplyDelete
  7. @ සයුරි : නෑ නෑ අක්කේ.. මේක එහෙම දිගට යන කතාවක් නෙමෙයි..

    ReplyDelete
  8. @ තනි අලියා : ඒකනම් හරියටම හරි යාළුවා.. ඒත් ඉතින් ඕක ඒ වෙලාවට නොතේරෙන එකනේ වැඩේ..

    ReplyDelete
  9. @ නලින්-සමනලුන්ට වෙඩිතියන්න : නෑ යාලුවා.. මේක ඇත්ත සිදුවීමක් නෙමෙයි.. හිතේ මැවුන සිදුවීමක් විතරයි...

    ReplyDelete
  10. @ නෝටියා | Naughty's Impression : ලංකාවට අවේණික නැතත් මේ වගේ සම්බන්දකම් යුරෝපා රට වලනම් අපි ඕන තරම් දකිනවා..

    ReplyDelete
  11. ඇහිපිල්ලමක් මත රැඳුණු
    කඳුළු බිඳක් ගිලිහෙන ලෙසින්
    අතැර යන්නට ඔබව
    නැතිව කරන්නට කිසිත්
    පාරමිතා පිරුවා මදිය මම
    දුකද දැනේ දැන් හදවත ගැසේ
    අනේ ඔබටත් එසේම නම්...

    ReplyDelete
  12. ඔය වගේ තාවකාලික සම්බන්ධකම් දැන් දැන් අපේ රටේ වුනත් දකින්න පුළුවන්! ලස්සන කාලීන නිර්මාණයක්!

    ReplyDelete
  13. හ්ම්.... ඒක ආදරයක්ද නැත්නම්......

    අනේ මන්දා මල්ලි....

    ReplyDelete
  14. ලස්සන නිර්මාණයක්... එක හුස්මට කියෙව්ව...

    ReplyDelete
  15. @ හිරණ්‍ය :

    නුඹට් නොදැනේවි
    මසිත හඩන තරම්
    රුදුරුව තලා දමා ගිය
    හිතක කඳුළැලි කොතරම්..

    ReplyDelete
  16. @ ලහිරු : හ්ම්ම්ම්.. ඒ ගැනනම් මං හරියටම කියන්න දන්නේ නෑ.. ඒත් මං ලංකාවෙන් පිට ඉන්න නිසා මේ වගේ දේවල් ඕන තරම් දකිනවා..

    ReplyDelete
  17. @ නිසුපා : නෑ අක්කේ.. ඒක ආදරයක් නෙමෙයි.. ආසාවක් විතරයි...

    ReplyDelete
  18. @ නදුන් උයන : ගොඩක් ස්තුතියි යාළුවා..

    ReplyDelete
  19. "අපි ආදරේ කරන අය අපිට ආදරේ නැහැ.. අපිට ආදරේ කරන අයට අපි ආදරේ නැහැ.."
    මට මතක් වුණේ මේ කියමන..

    ඔන්න අද ඉඳන් මමත් මේ පැත්තෙ.. වෙලාවක් ලැබෙන හැම වෙලාවකටම.. :) සුබ පැතුම් තව තවත් නිර්මාණ බිහිවෙන්නට..!!!

    ReplyDelete
  20. දුක හිතෙන කතාවක් !!!
    මොනා කරන්නද මල්ලි දාලා ගිය අය වෙනුවෙන් ජීවිතයම අඬ අඬා ඉන්න බෑනේ.

    ReplyDelete
  21. කමෙන්ට් කරන පලවෙනි වතාවද කියලා නම් මට මතක නැ යාලුවා... ඒත් එක හුස්මට කියවගෙන ගියා.. ඇත්ත කථාවක් නොවුනත් ගොඩාක් තැන් වල වෙන්න පුලුවන් දෙයක් කියලා හිතුනා.. ඇත්තටම ආදරයක්මත් නෙමේ තමා

    ReplyDelete
  22. හුඟක් ක්ලබ්වල කෙල්ලන්කෙ ඇත්ත ලයිෆ් එක තමා ඔය ...

    ReplyDelete
  23. ලස්සනයි මිනිස්සු ආදරේ කියල හිතාගෙන ඉන්න දේ ආදරේ නෙමේ සමහර වෙලාවට

    ReplyDelete
  24. නිසූප අක්ක කිව්වා වගේ ඒක ආදරේ නෙමෙයි, වෙන මොකක් හරි දෙයක්....

    ReplyDelete
  25. මටනම් හිතෙන්නේ love and attraction කියන දෙක තෙරුම්ගනිද්දී උන පටලැවිල්ලක් කියල මේක.......
    පන්සල හන්දිය කිව්වා වගේ ක්ලබ් වල ඉන්න අයනම් කෙවගේ ඒවාට ගොඩක් මුහුණ දෙනවා ඇති, පව්

    ReplyDelete
  26. මාව සමාව භාජනයකට දානු මැනවි ප්‍රමාද මට වැඩ අධික වූ නිසා......
    මා එය කියෙව්වෙමි....
    මම එහි හරයට බොහෝ සේ ඇලුම් කරමි.....

    ReplyDelete
  27. @ නන්දු : ඒකනම් ඇත්ත.. ඒත් ඒ කියමන මෙතනට අදාල වෙනවද කියලත් හිතෙනවා.. මොකද මෙතන ආදරයක් තිබුනද??
    ඉඩ තියෙන හැම වෙලාවකම මේ පැත්තේ ඇවිත් යන්න එන්න..

    ReplyDelete
  28. @ මධුරංග : ඒකනම් ඇත්ත අයියේ.. මේ වගේ දෙයක් කරලා දාලා ගිය අය ගැනනම් ගොඩක් කල් හිතේ තියන් දුක් වෙන එක ඇත්තටම මෝඩ වැඩක්..

    ReplyDelete
  29. @ දේවා ගේ අඩවිය : නෑ.. කලින් වතාවකත් කමෙන්ට් කරලා තියෙනවා..
    අපිට කතාව නුහුරු උනත් මේ වගේ දේකට මුහුණ දීපු අයත් ඉන්න පුළුවන්..

    ReplyDelete
  30. @ පන්සල් හන්දිය : ඔව් අයියේ මමත් ඒ වගේ ඇත්තම කතා කීපයක් පත්තරවල කියවලා තියෙනවා..

    ReplyDelete
  31. @ Dush : ආදරේ කියලා හිතන් හිටියත් ඒක ගොඩක් වෙලාවට මායාවක් විතරක්ම වෙන් වෙලාවලුත් තියෙනවා..

    ReplyDelete
  32. @ Kasun : ඔව් මල්ලී තාවකාලික හැගීමකට ඉඩ දුන්නා කිවුවොතින් හරි මං හිතන්නේ..

    ReplyDelete
  33. @ Dishan Rajapaksha : ඒක ඇත්ත බටහිර රටවල නම් ඕක ඒ තරම්ම දෙයක් නෙමෙයි..

    ReplyDelete
  34. @ ඔබ නොදුටු ලොවක් : මේකට ආදරේ කියනවනම් හැබෑ ආදරයකට අපි මොකද කියන්නේ??

    ReplyDelete
  35. @ ගලයා : සමාව ගන්නත් දෙයක්ද මචං.. ඉඩක් තිබුනොත් අනිවාර්යෙන් මේ පැත්තට ගොඩ වෙන බව මං දන්නවනේ..

    ReplyDelete
  36. හම්....හැමදාමත් වගේ අපුරුවට ලියලා තියනවා අයියා....!!

    ඇයි ඒක ආදරයක් නෙමේ කියලා කියන්නේ....එතකොට ඒ කොල්ලා ලඟ තිබුණෙත් ආසාවක්ද? ඒ කෙල්ල හිතින් ආදරය නොකරන්න ඇති කියලා කාටද කියන්න පුළුවන්...මොකක් හරි අසරණ කමක් නිසා ඒ දේ කියන්න බැරි වුණාද කියලා කාටද කියන්න පුළුවන්....මදුවිතින් මත් වු නිසා ඒ හැඟිම් පිටකළාද කියලා කාටද කියන්න පුළුවන්....ඒත් වුණේ වැරුද්දක් නිසා ඒ කොල්ලගෙන් ඇත් වුණාද කියලා කාටද කියන්න පුළුවන්......

    ReplyDelete
  37. @ සිතුවිලි නිහඩයි : ඔව් ඔයාගේ අදහසත් හරි.. ඒත් ඒ ආදරයමනම් එදා ඒ තරම් ලං උනාට පස්සේත් ඔවුන්ට ලං වෙන්න තිබුනා නේද.. ඒත් ඒ බලාපොරොත්තු නොවුන වෙනස..?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්