Thursday, 3 November 2011

අපි අපේමද : ප්‍රදීපාගේ හදවතින් - අවසානය


දෙහිතක් අතර අතර මං උන මගේ හිත ඔහු ගැනත් සමීර ගැනත්  සිතුවිලි පොදි බදිද්දී මා ආපසු හැරී බැළුවේ ඔහු දෙසය.. එක් වතාවකටවත් ආපසු හැරී නොබැලු ඔහු ඉදිරියටම ඇදුනේය..

“ මගේ අත, අත අරින්න සමීර..”

“ ඇයි ප්‍රදීපා?”

සමීර මගේ අතින් අත නොහැරම මාව ඔහු වෙතට ඇද ගත්තේ ඉස්සර තිබුන දඩබ්බර කම මට යලිත් කියාපාමින්ය.. ඔහු ලගට ඇදුන මම ඒ මතකය දිගේ බොහෝ දුර ඈතක් මතකයෙන් ඇවිදන් ගියද කුමක් හෝ අඩුවක් මට දැනෙන්නෙට විය..

“ මොනවද සමීර මේ කරන්නේ?”

“ අදින් පස්සේ ආයෙමත් අපි අපේමයි ප්‍රදීපා.. මං ඔයාට ගොඩක් ආදරෙයි..”

“ ආදරෙයි? එහෙමනම් ඇයි මං එන්න කියපු වෙලේ ඔයා ආවේ නැත්තේ?”

“ මට එදා හරි තීරණයක් ගන්න බැරි උනා ප්‍රදීපා.. ඒ ගැන මං ඊට පස්සෙත් ගොඩක් පසු තැවිලි උනා.. ඒත් මට අමල්ගෙන් කෝල් එක ආපු වෙලේ දැනුනා මං තාමත් පරක්කු නැහැයි කියලා..”

“ මං අන්තිම මොහොත වෙනකම් ඔයා වෙනුවෙන් බලන් හිටියා සමීර.. ඔයා කතා කරන ඕනම වෙලාවක එන්න ලෑස්ති වෙලයි මං හිටියේ..”

“ දැන් ඒ දේවල් අතීතයක් වෙලා ඉවරයි ප්‍රදීපා.. අපි දෙන්නට අළුතින් ජීවිතේ පටන් ගන්න අමල් ඉක්මනින්ම ඔයාගෙන් නිත්‍යානුකූලවම වෙන් වෙන්නම් කියලා මාත් එක්ක කිවුවා..”

සමීරගේ ඒ වදන් මගේ හිත සිදුරු කරන්නාක් මෙන් මට දැනුනි.. ඇත්තටම ඔහු එවැනි තීරණයක් ගත්තේ කොහොමදැයි සිතාගත නොහැකිව මා මොහොතක් කල්පනා කලෙමි..

“ අපි යමු ප්‍රදීපා.. අපිට ගොඩක් දේවල් කතා කරන්නත් තියෙනවනේ..”

මගේ අතින් ආයෙම අල්ලාගත් සමීර මගේ ලගට තවත් ලං වෙද්දී මා හිස ඔසවා ඔහුගේ දෑස දෙස බැලීමි.. කුමක්දෝ තේරුම් ගත නොහැකි අමුතුම හැගීමක් මගේ හිත වෙලා ගනිද්දි මට ඔහුගේ දෑස් මතකයට නැගුනේය.. මාත් සමීරත් තනිකර ඈතට යන්නට මත්තෙන් මා ඔහුගේ දෑස් හොදින් දුටුවෙමි.. පරාජය ඔහු ලග වුවද සමීරටත් වඩා ආදරයක් මා ඒ දෑසෙන් දුටුවෙමි..  එවෙලේ තේරුම් ගත නොහැකි උවද ඒ දෑසින් මා දැක්කේ මං ගැන අවංකම ආදරයක් බැව්  මොහොතින් මොහොත  මා තේරුම් ගත්තෙමි..

“ මට යන්න දෙන්න සමීර..”

සමීර මා දෙස බැලුවේ පුදුමයෙනි.. කිසිවක් තේරුම් ගත නොහැකිව ඔහු මොහොතක් මා දෙස බලා සිටියේය..

“ ප්‍රදීපා..”

“ ඔව් සමීර.. මට යන්න දෙන්න.. ඔයා මට ආදරේ බව මං දන්නවා.. ඒත් දැන් අපේ ජීවිත ගොඩක් වෙනස් වෙලා.. ඒ මගේ සැමියා.. ඔයා  මෙච්චර කාලෙකට මට ආදරේ කල තරමට වැඩි ආදරයක් මං එයාගෙන් මීට ටිකකට කලින් දැක්කා.. ඒ ආදරේ නැති කරගෙන මට ජීවත් වෙන්න බෑ සමීර.. එයාටත් බැරිවේවි.. මට සමාවෙන්න සමීර.. මට යන්න දෙන්න..”

සමීරගේ මුහුණ ටිකින් ටික වෙනස්ව ගියේ හිතේ බැදගත් ලොකු බලාපොරොත්තු බොද වූවාක් මෙන්ය.. ඒත් දැන් මං ඔහුගේ වී හමාරය.. මෙතෙක් දවසක් නොදැනුනත් ඒ හදවතේ මා වෙනුවෙන්  රැදුන ආදරය කොපමනදැයි මා දැන් හොදින්ම දන්නෙමි.. අතීත මතකයක පැටලී ඒ ආදරය දෑස් මානයේම අහිමි කර ගන්නට උනොත් මා මහාම අවාසනාවන්තියක්යැයි මටම සිතුනි..

මා සමීර දෙස ආයෙමත් බැලුවේ තමත් තවමත් ඔහු මගේ අතින් අල්ලාගෙන සිටි නිසාවෙනි.. මොහොතක් මා දෙස එලෙසම බලා උන සමීර මගේ අතින් අත ඇරියේ මට ඔහු සොයා යන්නැයි කියමිනි.. ආපසු හැරුන මම හිතේ සතුට වැඩි නිසාම ඔහු සොයා ගෙන දිව එන්නට විය..

“ අමල්ගේ ආදරේ තේරුම් ගන්න මං පරක්කු උනාද?”

මගේ හිත මගෙන්ම් අසන්නට විය.. ඔහු තවමත් මා ලගමයි හැගීමක් මගේ හිතට දැනුනේ කොහොමදැයි මමවත් නොදනිමි.. මා අප වාහනය නතර කල තැනට දිව ආවේ පිස්සියක් මෙන්ය.. තවමත් අමල්ගේ වාහනය එතැනම තිබෙනු දැක මගේ හිතට දැනුනේ මින් පෙර කිසිදාක නොදැනුන සතුටක්ය.. ටිකින් ටික මං ඔහු ලගට එත්ම දෑස් පියාගෙන උන් ඔහුගේ මුහුණ මම දුටිමි..

මේ තරම් පරිත්‍යාගයක් මිනිසෙකුට කල හැකිදැයි මං ඔහු දෙස බලාගෙනම සිතුවෙමි.. අදින් පසුව ලෝකයා අහන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නේ කෙසේදවත් ඔහු දන්නවාදැයි මා මොහොතකට කල්පනා කලෙමි.. මා වාහනයේ ඉදිරිපස  දොර විවෘත කරන හඩත් සමගම දෑස් පියන් හැර බැලු ඔහු මා දෙසම බලා සිටියේ පුදුමයෙනි..

“ අපි යමු..”

මගේ ඒ වදන් වලින් ඔහුගේ දෑස් වල රැදුන දුක පහව යනු මා හොදින්ම දුටුවේය.. ඒ දෑස් දෙසම මොහොතක් බලාඉද්දී එයින් මා මාවම දුටිමි.. ඒ නිහඩ ආදරය මා දුටිමි.. කිසිවක්ම නොකියූ ඔහු වාහනය පන නංවාගෙන පාරට පැමීනියේ සතුටින් බව මට ඔහුගේ මුහුණින් හොදින්ම පෙනුනි..  වාහනය වේගයෙන් පැදවූ ඔහුගේ අතින් අල්ලද්දි ඔහු මා දෙස හෙලු බැල්ම මගේ හද පතුලටම කිදා බැස්සේ ආදරේ අළුත් සිහිනයක් මගේ හදවතට ලං කරමින්ය..

“ අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”


36 comments:

  1. හ්ම්ම්.. එහෙම වුන එක හොඳයි,.ප්‍රදීපා ගත්තේ හරිම තීරණය අයියේ,.

    ReplyDelete
  2. ඔහු වාහනය වේගයෙන් පැදවූයේය...කොටු පවුර ඈතින් ඈතට යන කළ මගේ හදවත වඩ වඩාත් සැහැල්ලුවෙන් පිරෙණු මට දැනුණි....

    ''ආහ්හ්...මම අතීතය මුහුදට විසි කරලා ඇවිත්ද කොහෙදෝ...''මගෙම හිත මට රහසින් මිමිණුවාය...

    කොටු පවුර නොපෙනීම ගිය කල හදිසියේම මගේ හිත කෙළිලොල් කමකින් පිරී යන බවක් මට හැඟුණි.... දෙතොලතර නවතාගත් නොහැකි සිනාවක්ද නළියනු දැනිණි...මම ඔහු මගේම කර ගත යුතුය... ඔහු පුදුම කළ යුතුය...ඔව්...ගෙදර ගිය පසු..හෙට..හෝ අනිද්දා නොව..මේ දන්මම.....

    මම හෙමින් ඔහුගේ අතැඟිලි මත අත්ල තැබුවෙමි... මින් පෙර නොබැලූ දෑසක් දෙස බලන්නාක් මෙන්.නේ දයා දෑස දෙස බැලුවෙමි..ඔහුගේ දෙනෙත් වල පිරිණු පුදුමයද..සතුටද දැක...මගේ හදවත ඉපිළී නටන්නට විය....

    අනේ අද දවස කවදාවත් ඉවර වෙන්නෙ නැත්නම්..මම ඔහුගේ දෑසට එබීගෙනම පැතුවෙමි...

    “අපි හෙමින් යමු.. අපිට ගොඩක් දුර යන්න තියෙනවා..”..

    ඔව්...මුවින් කීවේ එපමණක් වුවද....මා නොකී දෙය ඔහුට ඇසුණු බව මා දනිමි... එනම්... ඒ දිගු ගමනේ එකඳු මොහොතකටවත්..මගේ සෙනෙහසින් බිඳකුදු ඔහුට අඩුවක් නොකරන්නට මා මගේ හදවතින් සපථ වූ බවය....


    (අන්තිම හරිය හරිම හැඟීම්බරව දැනුනා අයියේ...ඉතින් මගේ හිතේ ඇඳුණු කතන්දරෙත් ඔන්න මම දැම්මා...මට දැනුණු විදිහටම...බොළද වැඩිද මංදා... :D )

    ReplyDelete
  3. මොකක්ද මන්ද හේතුවකට මං මේ කතාවට ගොඩක් ආසයි....

    ReplyDelete
  4. ම්ම් ඉක්මනට ඉවර වුණා....
    අර කතාවක් තියෙනවනේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා...
    ප්‍රදීපා හරි..... එක දවසක් ජීවිතේ කෙලින් තීරනයක් ගන්ට බැරි වෙච්චි එකෙක්ට වඩා කෙලින් තීරණ ගන්න පිරිමිය හොඳානේ බං..
    මෙව්වා අපිටත් හොඳ පාඩං.....:))))

    ReplyDelete
  5. @ ප්‍රාර්ථනා : ඔව් නංගී ප්‍රදිපා හරි.. වාසනාවකට වගේ ඇයට අන්තිම මොහොතේ අමල්ගේ ආදරේ තේරුනා..

    ReplyDelete
  6. @ මකුළු පැංච් : බොලද නම් නෑ නංගී.. ප්‍රදීපට එහෙම හිතෙන්න උනත් පුළුවන්.. ඒත් දෙන්නගෙම නිහඩ ආදරේ නිසා ඉක්මනින්ම ඒ තරම් කෙලිලොල් කමක් ප්‍රදීපාගෙන් අමල්ට ලැබේවිද??
    ඔයා ලියපු ටික ලස්සනයි නංගි..

    ReplyDelete
  7. @ DishanSR : හිතින් අහලා බලන්න ඒ ඇයි කියලා.. සමහර විට අතීත මතකයක් වෙන්න ඇති...

    ReplyDelete
  8. @ ගලයා : ඒක ඇත්ත.. විවාහයේ බැදීම නොතිබුනත් මං හිතන්නේ ප්‍රදීපා අමල් එක්කම ඉදීවි.. ඔව්.. ඕවා කාටත් හොද පාඩම්...

    ReplyDelete
  9. හ්ම්..

    අවසානය බොහොම ගති ඒක මගේ හිතට ටිකක් අල්ලලා ගියා

    ReplyDelete
  10. හ්ම්ම්ම්...එහෙමන් මේකයි වෙලා තියෙන්නෙ.....එහෙනම් ප්‍රදීපා වැරදි නෑ...

    ReplyDelete
  11. ඔව්... ඒකත් හරි..ඒ වුණත් මගෙ හිතේ ඇති වුණ අදහස නම් ප්‍රදීපා ඒ තරම් නිහඬ චරිතයක් වෙලා හිටියෙ සමීර නිසා හිතේ ඇති වුණු අමිහිරි අත්දැකීම් නිසා කියලයි..ඒත් ඒ බර බිමින් තිබ්බම ආපහු එයාගෙ සුපුරුදු සැහැල්ලු බව මතු වෙන්න ඇති කියලයි මට මැවුණේ... :))

    ReplyDelete
  12. ඇත්තම කියනවනම් කලින් කතාවට වඩා ප්‍රදීපාගේ පැත්තෙන් කියපු කතාවට මම කැමතියි....ඒක වඩාත් සංවේදී යි...

    ReplyDelete
  13. ඔය පළවෙනි පාරට එකම කතාවක් කෝණ දෙකකින් ඇහුවේ.ලස්සනයි අයියේ.

    ReplyDelete
  14. මෙහෙම කථාවක් කෝන දෙකකින් ඇහුවමයි...නියමයි...තව මේ වගේ කථා ලියන්න..ආසයි කියවන්න.....

    ReplyDelete
  15. @ හිස් අහස : එහෙමනම් අවුලක් නෑ.. කෙල්ලෙක්ගේ පැත්තෙන් හිතලා ලියන කතාවලට එච්චර කැමති නෑ කියපු නිසා මං හිතුවා සෙට් වෙන එකක් නෑ කියලා..

    ReplyDelete
  16. @ දිල් : ඔව් අක්කේ ප්‍රදීපා වැරදි නෑ.. අවසානයේ එයා හරි තීරණය අරගත්තනේ...

    ReplyDelete
  17. @ මකුළු පැංච් : ඔව් ඒකත් ඇත්ත.. දැන් ප්‍රදීපා දන්නවා එයාට ඇත්තටම ආදරේ කවුද කියලා.. ඉතින් එයා හෙමීට අමල්ගේ නිහඩ බව බිදීවී.. :)

    ReplyDelete
  18. @ සයුරි : ඔව් අක්කේ මටත් දැන්නම් එහෙම හිතෙනවා.. මේක කෙටි කතාවක් නොකර නව කතාවක් කලානම් කියලත් හිතෙනවා.. ඒත් කමක් නෑ.. මෙහෙමත් හොදයි..

    ReplyDelete
  19. @ Kasun : මේ මගෙත් පළවෙනි පාර මෙහෙම කතාවක් ලියපු.. ඒ අදහසත් හොදයි කියලා හිතෙනවා දැන් නම්..

    ReplyDelete
  20. @ ඔබ නොදුටු ලොවක් : අළුත් කතාවක් ඉක්මනින්ම දානවා.. හැබැයි ඒකනම් නව කතාවක්.. ගොඩක් දිගයි..

    ReplyDelete
  21. ඇත්තටම මමත් කලින් කතාවට වඩා මේ කතාවට කැමතියි. හරිම සංවේදී විදිහට ලියලා මල්ලි.

    ඕනෙ වෙලාවට ලග හිටපු නැති කෙනා පස්සෙ ඇවිත් මොනවා කරන්නද..??

    ReplyDelete
  22. හම්.....අපි ගොඩක් වෙලාවට සැබැ ආදරේ තේරුම් ගන්නේ ගොඩක් පරක්කු වෙලා....ඒත් ඒ ආදරේ නැවත ලබා ගන්න කියෙන් කිදෙනාටද පුළුවන්!!!!

    ReplyDelete
  23. දැන් මම විතරද සමීර පව් කියල හිතන්නේ? සමීරට අනුව නම් ප්‍රදීපා ගත්තේ බොහොම ආත්මාර්ථකාමී තීරණයක්. ඒ කියන්නේ වැරද්දක් නැත්තෙමත් නෑ, ඒක සාපේක්ෂයි.
    මට හිතුනොත් සමීරගේ දෘෂ්ටිකෝණයෙන් කතාව මම ආයෙත් ලියනවා, යාළුවගේ අකමැත්තක් නෑ නේ?
    හැමදාමත් වගේ කතාව හොඳයි.

    ReplyDelete
  24. ඇත්තටම දිනේශ්, ඔයාටත් තවත් ගොඩක් දුර යන්න තියනවා...

    ReplyDelete
  25. @ නිසූපා : ඇත්ත අක්කේ.. තීරනාත්මක මොහොතකදි සමීර අඩියක් පස්සට ගියා.. එහෙම නොවුනනම් මේ කතාව මීට වඩා වෙනස් වෙනවා..

    ReplyDelete
  26. @ සිතුවිලි නිහඩයි : ඒකනම් ඇත්ත නංගී.. හැමෝටම ඒ වාසනාව නෑ.. ඒකයි ඇත්ත.. කවදාහරි අන්තිමට ඉතුරු වෙන්නේ පුංච් පසු තැවිල්ලක් විතරමයි...

    ReplyDelete
  27. @ හිරණ්‍ය : අනේ මන්දා.. කවුරුවත් සමීරව දකින්න උත්සාහ කරන්නේ නෑ වගේ.. මගේ අකමැත්තක් නෑ යාළුවා.. ඔයා සමීරගේ කතාව ලියන්න..

    ReplyDelete
  28. @ රූ : ඒකනම් ඇත්ත.. ඒත් මේ වගේ මට හෙමින් යන්න කියන්න කෙනෙක් තමයි නැත්තේ... :)

    ReplyDelete
  29. ලස්සනයි .....
    ඇත්තටම ප්‍රදීපා ගත්ත තීරණේ හරි, එදා එන්න බැරි උන එකා දැන් මොන එහෙකටද ......

    ReplyDelete
  30. @හිරණ්‍ය
    මටත් සමීර ගැන දුකයි.මාත් දිනේෂ් අයිය ගෙන ඉලන හිටියේ
    සමීරගේ කෝනෙනුත් කතාව ලියන්න කියල.
    අයියා වත් ලියන්නකෝ

    ReplyDelete
  31. ඔව් ඒ තීරනය හරි... හැරෙන්න පරක්කුයි හොඳටම.

    ස්තුතියි මචන් මේ කතාව දෙපැත්තෙන්ම ලිව්වට

    ReplyDelete
  32. @ පන්සල් හන්දිය : ඇත්ත අයියේ.. පහු වෙලා ආපු එකා ආයේ ඉක්මනින්ම යන්නත් පුළුවන්..

    ReplyDelete
  33. @ මහිම : හිරණ්‍ය ලියන්න ගත්තම මම ඒ ගැන් අකියන්නම්..

    ReplyDelete
  34. @ පිස්සා පලාමල්ල : ඔවුන් විවාහ වෙලා නොහිටියා උනත් ප්‍රදීපා අපහු හැරෙනවනම් ඒක මෝඩ තීරණයක් කියලයි මං නම් හිතන්නේ..

    ReplyDelete
  35. කලින් කතාවෙ තිබුණ ලස්සන මේ කතාවෙන් පිරිලා ඉතිරිලා ගියා වගේ.. ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුණෙ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්