Thursday, 8 September 2011

වියමනෙන් සිහිනයට


මම අද මේ දාන්න යන කවි පෙල මම කලින් දාපු ලිපියකට පිළිතුරක් විදිහට ලැබුන කවි පෙලක්.. මකුළු පැංච්ගේ වියමන ලියන අපේ මකුළු පැංචිව ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවනේ.. ඉතින් එයා තමයි මට මේ කවි පෙල ලියලා මුහුණු පොතට එව්වේ.. දැන් කට්ටිය බලයි ඇයි මකුළු පැංචි කවි පෙල මට එව්වේ කියලා.. මේ ගැන නම් බ්ලොග් ලියන කවුරුවත් දන්නේ නැතුව ඇති මං හිතන්නේ.. මකුළු පැංච් කියන්නේ මට ලගම නෑදෑ වෙන අපේ නංගී කෙනෙක්.. ඒ කියන්නේ අපි ඉතින් එක පවුලේ අය..

මේ කවි පෙල මම වියමනේම දාන්න කියලා කොච්චර කිව්වත් එයාට ඕන උනා මේක මගේ සිහිනයේම තියෙනවා දකින්න.. මම කලින් දාපු තෙවසරකට පසු කියන ලිපියට තමයි එයා මේ කවි පෙල ලියලා තියෙන්නේ.. ඉතින් මේ කවි පෙලේ අයිතිය හා ඔයාලගේ පැසසුම් හැම එකක්ම අයිති වෙන්නේ මකුළු පැංචිට..


නෙතුපියන් යට පිපී හිනැහුණු..
නුඹම විය මගෙ පුංචි කහ මල..
ජීවිතේ නෙක මතක අතරින්
තවම එබෙමින් සෙමෙන් හිනැහෙන...

දකින මොහොතක් පුරා නුඹේ මුව
පුබුදු විය හද ලෙසින් සඳවත..
නමුදු නොපැතූ දිනෙක කඳුලින්
තෙමී ඒ සඳ වීය අවපස...

ආදරෙන් හිත පුරා දැඩි කොට
නෙලා දුන් සෙනෙහසද නොගෙනම...
දුරක සැඟවී ගියේ කිම නුඹ
මවෙත දී මේ නුහුරු තනිකම..

නුඹෙන් හිස් වුනු හිතේ අහු මුළු..
පුරා තනිකම එද-මෙදා තුර..
හිඳි මගෙ හිත ලඟ මිතුරුව
නුඹේ සෙනෙහස බෝ හෙයින් දුර...

දැනුදු නුඹේ මල් සුවඳ විසිරෙන
අරණ මැද මම හඬමි තනිවම..
ආයෙමත් ඒවිදැයි බිඳුවක්
යළිඳු සැබැවින් සුවඳ අරගෙන....

ගිලෙන හිරු රැස සමග ගිලිහෙන
රෝස පෙති කහ පලස් අතුරන....
තුරුම සීතල බිමෙහි වැලපෙමි
එකම එක මොහොතකට එනු මැන....

තවම හිස් වී කිමැයි....නුඹ ඇසු
ම'සිත සොඳුරිය නොමැත හිස් පිටු...
නුඹේ නම එහි ලියා ඇති වග..
මම ම මිස නොම දනී අනිකෙකු...

ඉතින් නොකියන් මකනු යැයි හිත
පිරුණු දෙන් එහි අපේ පෙම් ලෙය...
මිහිදුමින් පිරි රැයක ඇවිදින්..
මාද නුඹ වෙත රැගෙන යනු මැන...

12 comments:

  1. බොහොම ස්තූතියි අසන්ත අයියේ...මේ කවි පෙළට මෙච්චර ලොකු සැලකිල්ලක් දුන්නට..මතකද දවසක් මගෙ අයියා මගෙන් ඉල්ලුවා ඔයාගෙ ආදරේ වෙනුවෙන් සංකල්පනාවක් ලියන්න කියලා..කාලයක් තිස්සෙ ඉටු කරන්න මට බැරි වුණා...මගේ වචන වලින් ඔයාගෙ ආදරේට අසාධාරණයක් වෙයිද කියල බය හිතුණු නිසයි ඒ..ඒත් තෙවසරකට පසු කියවලා මගේ හිත එදා වගේම කම්මපනය වුණා..ඉතින් ඒ හැඟීමෙන්ම ඔයාගෙ හිතේ තියෙන ඒ වේදනාව වචන වලට පෙරලන්න මංචි ගත්තු අහිංසක උත්සහයක් තමා මේ..ඔයාගෙයි මගෙයි සහෝදරකමටත් වඩා පැරණි යාළුකම නිසාම මම දන්නවානෙ ඔයාගෙ හිතේ තවමත් තියෙන ආදරය.. ඒ ආදරේ සම්පූර්ණයෙන්ම වචන වලට පෙරලන්න මට බැහැ..සමහරවිට ඔයාටවත් බැරිවෙයි...

    මම මේ කවිය සිහිනයෙම දාන්න කියල කිව්වෙ වෙන මොකුත් නිසා නෙවෙයි අයියේ..මේ කවිය ලිව්වෙ මම වුණත්..මේ හැඟීම අයිති ඔයාට නිසයි..මේ කවියෙ ප්‍රස්තුථය ඔයාගෙ හදවතේ තියෙන ආදරය නිසයි......හ්ම්ම්ම්....

    ReplyDelete
  2. හප්පේ මේ නෑදෑකම් දැන්නෙ හෙලි වෙන්නෙ. ලස්සන කවි පෙළ.

    ReplyDelete
  3. මම් අදමනේ දන්නේ මකුළු නංගි ඔයාගේ නෑදෑ කෙනෙක් වෙන විත්තිය. මම් ඒ නංගිව බ්ලොග් ලියන්න කලින් ඉදලම දන්නවා. බොරු නම් අහලා බලන්න. හික්ස් :)

    කවි පෙළ ගොඩක් ලස්සනයි. අහන්නත් දෙයක් යෑ අයියගෙම නංගි නේ.

    ReplyDelete
  4. ලස්සනයි පද ටික ගොඩාරියක් මකුළු අක්කා

    ReplyDelete
  5. ඇත්තටම ලස්සන කවි පෙළක්.

    ReplyDelete
  6. @ මකුළු පැංච් : ඔව් මට මතකයි මම ඔයාගෙන් කවියක් ලියලා ඉල්ලුවා.. ඒ මේ අවුරුද්දේ මුල විතර.. එතකොට ඔයා මට දුන්නේ හරි අපූරු උත්තරයක්.. ඒක මතක ඇති කියලා මම හිතනවා.. ඇත්ත මම තාම ඒ ආදරේ සොදුරු කවි පෙලකට ගන්න උත්සාහ කරනවා.. ඒත් තාම මට බැරි උනා.. ඔයාගේ කවිය ලස්සනයි.. ඇත්තටම ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  7. @ පිණිබිදු : ඒකනේ අක්කේ මෙහෙම වෙලාවට තමයි කට්ටිය එකත් දැන ගන්නේ...

    ReplyDelete
  8. කවිය හරිම හැගුම් බරයි...

    ReplyDelete
  9. හැඟීම්බරයි.. දුකයි..

    ReplyDelete
  10. මරු කතාවයි මරු කවි ටිකයි..
    අපිට ඔහොම කවි එන්නේ නැනේ,,,,,.... හි හි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්