Tuesday, 6 September 2011

තෙවසරකට පසුව


අවුරුදු 3ක් කියන්නේ ජීවිතේ ගොඩාක් දේවල් ලොකුවට වෙනස් කරන කාල සීමාවක්.. මේ ගෙවුන අවුරුදු 3 මාත් එක්ක බැදුන ගොඩක් ජීවිත වල, ගොඩක් පරිසරයන් වල මම වෙනස හොදාකාරවම දැක්කා.. ඒත් කවදාවත්ම වෙනස් නොවුන මෙගේ හිතත් අරන් ලංකාවට ආපු මට ඔයාව බලන්න එන්න ඕන උනේ ලංකාවට එන්නත් කලින්මයි.. හිත ඇතුලේ වද දෙන ගොඩාක් දේවල් මට ඔයත් එක්ක කතා කරන්න ඕන උනා.. මගේ හිත නිදහස් කරන්න.. ඔයත් එක්ක එකම එක මොහොතක් කතා කරන්න මේ අවුරුදු 3 මම කොච්චරනම් බලන් හිටියද කියලා මගේ හිත කියවන ඔයා හොදටම දන්නවා..

ගෙදර ආපු මුල්ම දවසෙම මම ඔයාව බලන්න එන්න ලෑස්ති උනේ හිතේ තෙරපෙන අමුතුම හැගීමකින්.. හැගීම මොනවගේද කියලා මට කියන්න බැරි උනත් මගේ හිත වෙනදටත් වඩා හයියෙන් ගැහෙනවා කියල විතරක් මට දැනුනා.. පියවරෙන් පියවර ඔයා ලගට එද්දි මගේ හිතට දැනුනේ පුදුමම සතුටක්.. අවුරුදු 3කට කලින් අපි වෙන් උන තැන ඔයා අදත් මං එනකන් බලන් ඉන්නවා කියලා මගේ හිත දැනගෙන හිටියා..

ඔයා ආසම කරපු කහ පාට රෝස මල් ඔයාගේ ගෙමිදුලේ වෙනදටත් වඩා හරි ලස්සනට පිපිලා තිබුනා.. මම එයින් එක මලක් කඩා ගත්තේ කාලෙකට පස්සේ අපි හමුවෙන මේ මොහොත ලස්සන කරන්න හිතාගෙන.. ඒත් මගේ හිතේ සතුට මොහොතකට නතර උනා.. වෙනදට මං එනකන් දොරකඩට මග බලාගෙන ඉන්න ඔයා අද මං එන බව දැනගෙනත් මග බලාගෙන නැත්තේ ඇයි කියලා දැනුන නිසා..

එහෙමම මොහොතක් මම නැවතුනේ මට නොපෙනෙන්න ඔයා කොහේ හරි හැංගිලා ඉන්නව කියලා හිතාගෙන.. මම බලාගෙන හිටියා.. මොකද මම දන්නවා ඔයාට එහෙම ගොඩක් වෙලා ඉන්න බැරි බව.. ඒත් වෙනදටත් වඩා ඔයා වෙලා ගනිද්දි මගේ හිත ඇත්තටම දුක් උනා.. මම ඔයාගේ නම කියලා කතා කලා.. ඒත් ගොඩක් වෙලා යනකම් රැදුනේ මහාම මහා පාළු නිහඩ බවක්.. මගේ හිත ඔයා රිද්දන්නේ නෑ කියලා මම දන්නවා.. ඒත් කවදාවත්ම නැතුව අද ඔයා මෙච්චර පරක්කු ඇයි කියලා මගේ හිත මගෙන්ම අහන්න පටන් ගත්තා..

දෙනෙත් අග්ගිස්සෙන් ගලාගෙන  ආපු උණු කඳුළු බිදුවක් මටත් නොදැනිම දෙනෙතින් ගිලිහුනේ ඔයාගෙත් මගෙත් ආදර කතාවේ ලස්සනම මතකයන් ගැන මම හිතමින් හිටපු නිසා වෙන්න ඇති.. ඇත්තටම ඒ දවස් කොච්චර ලස්සනද.. මේ තියෙන තනිකම, පාළුව, වේදනාව මට ඔයත් එක්ක හිටපු එකම දවසකවත් දැනුනේ නෑ.. ඒත් දැන් කාලය කොච්චර වෙනස් වෙලාද.. මම මෙතන්නට ඇවිත් කොච්චර වෙලා ගියාද කියලවත් මට දැනුනේ නෑ.. ඈතින් කළුවර ගලා ගෙන එද්දි ඔයා අද එන්නැතිවේවියි කියලා හිතපු මම ආපහු යන්න හැරුනේ තෙත් උන දෑස් වල කඳුළු පිහදා ගනිම්න්..

ඒත් එකපාරටම මගේ හිත ගැස්සුනා.. ඒ ඔයා මට ටිකක් ඈතින් ඉදන් මං දිහා බලන් ඉන්නවා දැකලා.. ඔයා තාමත් ලස්සනයි.. එදා වගේම.. ඔයා වෙනදා වගේම ලස්සනට හිනාවෙලා මං දිහා බලන් ඉද්දී හිතේ මේ වෙනකම් තිබුන දුක ටිකින් ටික අඩු උනේ හරියට මීදුමක් නැති වෙලා යනවා වගේ..

මං දිහා බලාගෙන හිටපු ඔයා අත දිගු කරල මට ඔයා ලගට අඩගැහුවා.. වෙන කිසිම දෙයක් ගැන නොහිතම මම ඔයාගේ හිනාව දිහා බලාගෙනම ඔයා ලගට ටිකින් ටික ලං උනා.. මගේ හිත වෙනදටත් වැඩිය ගැහෙනවා කියලා මට දැනුනා.. ඒත් මම ඔයා ලගට එද්දි ඔයාගේ මුණේ තිබුන හිනාව ටිකින් ටික අඩුවෙලා යනවා මට තේරුනා.. ඒ ඇයි කියලා කියන්න නොතේරුන මම එහෙමම නැවතුනා..

“ ඇයි අසංග ඔයා හිස් අතින් ආවේ”

කිසිම දෙයක් හිතා ගන්න බැරුව මම මොහොතක් ඔයා දිහා බලාගෙන හිටියා.. ඔයා අහන්නේ මොකක් ගැනද කියලා හිතාගන්න පුළුවන් කමක් මට ඒ වෙලාවෙ තිබුනෙම නෑ.. ඔයා මං දිහා ගොඩක් වෙලා බලන් හිටියා.. එකම එක වතාවකට මගේ දිහා බලලා ආදරෙන් හිනා උන ඔයා ආපහු යන්න හැරුනා.. මගේ ජීවිතය මාව දාලා යන්න හදනවා වගේ හැගීමක් මට ඒ වෙලේ දැනුනා..

මට ඔයාව නවත්තගන්න ඕන උනත් ඔයා ආපහු හැරෙන්නෙ නැතුවම මගෙන් ටිකින් ටික ඈතට යන්න ගියා.. කොහෙන්දෝ ඉදන් ගලාගෙන ආපූ දුමාරයක් අතරේම ඔයා හැංගිලා නොපෙනී යනකම් මම බලාගෙන හිටියා.. හිතේ මොහොතකට රැදුන සතුට නැතිවෙලා ගිහින් හිත ඉකි ගගහා අඩන මහා පාළුවක් මට දැනුනා..

එතනම වාඩි උන මම ඔයා කියපු දේ ගැන ගොඩක් කල්පනා කලා.. උත්තරයක් නැති ප්‍රශ්ණ ගොඩක් අතරේ මගේ හිත දුවන්න පටන් ගත්තා.. ඒත් අන්තිමට මගේ හිත එකම එක පොරොන්දුවක් ලග නතර උනා.. ඔව් ඔයා මගෙන් ඇහුවේ ඒ ගැන.. ඒත් ඔයාට ඇහෙන්න කෑ ගහලා කියන්න උත්තරයක් මගේ ලග තිබුනේ නෑ.. ඒ ඇයි කියන්න අපේ හිත් හොදටම දන්නවා..

ඔයා ආසම කහ පාට රෝස මල ඔයාගේ සොහොන් කොත උඩින් මම තිබ්බා.. ඒ එකම එක පැතුමක් හිතේ තියාගෙන.. මම ඔයාට උන පොරොන්දුව ඉටු කරන්නම්.. ඒත් මට තව ටිකක් කල් දෙන්න.. මට මගේ හිත හදාගන්න..



33 comments:

  1. හ්ම්ම්ම් වෙන් වෙලා ගියත් සමහර මතකයන් හැමදාමත් අපේ හිත ඇතුලේ හොල්මන් කරනවා. කොච්චර අමතක කරන්න හැදුවත් ව්කකරන්න බැ. කාලයා හැමදේම විසදාවී . එතකන් ජිවිතයට ඉඩ දෙන්න........

    ReplyDelete
  2. අමතක කරන්න බැරි.....අමතක වෙන්නෙත් නැති....මතකය...

    ReplyDelete
  3. අදහසක් වෙනුවට කඳුළු බිඳුවක් සිහිනය අද්දරින් තබා යන්නට මට අවසර....!!!හිත හිස් හෙයින් සහ..දෙනෙත වාං දමන හෙයින්... :(((

    ReplyDelete
  4. මතකය වෙලාවකට හරි කාලකන්නියි...ඒත් ඔය මතක තට්ටුව උඩ ආයෙම මතකයන් ඉහිරෙව්වොත් පරණ මතක අමතක වෙලා නැවුම් මතක මතකයේ රැදේවි......

    ReplyDelete
  5. ආදරය කරන කාලේ හරිම සුන්දරයි තමයි. මම් ඒක අත්විඳලා තියෙනවා. නමුත් දැන් නම් එහෙම දෙයක් නෑ.
    මල්ලිගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරින්ද මේක ලිව්වේ ? කවුද අසංග කියලා කියන්නේ ?

    ReplyDelete
  6. @ අම්බලම : ඔව් යාළුවා ඔයා හරි.. අපිට බලෙන් හිතේ රැදිච්ච මතක අමතක කරන්න බෑ.. ඒකට කාලයට ඉඩ දෙන්න ඕන..

    ReplyDelete
  7. @ පිසාචයා : අමතක කරන්න අමතක වෙන මතකය..

    ReplyDelete
  8. @ මකුළු පැංච් : මකුළු මං ගැන හොදටම දන්න කෙනෙක්නේ.. ඉතින් මම දන්නවා ඔය තියලා යන කඳුළු බින්දුව කොච්චර බරද කියලා..

    ReplyDelete
  9. @ දිල් : ඔව් අක්කේ ඔයා හරි.. ඒත් එකට තව ටිකක් කාලයක් යාවී.. ඒත් පොරොන්දුවක් නිසාම මට ඒ දේ කරන්නත් වෙනවා..

    ReplyDelete
  10. @ මධුරංග : අයියේ අසංග කියන්නේත් මටම තමයි.. අයියට සමහර විට මම කලින් ලියපු " ආදරයට ආදරයෙන් " කතාව අමතක ඇති.. මේක මගේ ජීවිතේට තදින්ම සම්බන්ද උන දෙයක් අයියේ...

    ReplyDelete
  11. මොනව කියන්නද? මතක අමතක කරන එක හිතනතරම් ලේසි නැහැ. ඒත් කොහොමහරි එය කලයුතුයි මල්ලී.
    මැණික්

    ReplyDelete
  12. ම්, මොකද්ද කියන්නේ කියල හිතාගන්න අමාරුයි. ඒ නිසා මුකුත් නොකියා පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ඇත්තටම යාළුවට හිත හදාගන්න උවමනාද?

    ReplyDelete
  13. මතකය... මතකය අමතක කරන්න කියලා කාටවත් කියන්න බෑ. ඒත් ජීවිතේ ඉස්සරහට යන්න... එතකොට අලුත් මතකයක් එකතු වෙනකොට ජීවිතයට ආයෙමත් සතුට ඒවි...

    ReplyDelete
  14. වෙන් වීමකින් දැනෙන වේදනාවකට හොඳම විසඳුම කාලයයි.

    ReplyDelete
  15. අක්ක ආයේ එන්නේ නැති බව ඔයා හොඳටම දන්නවනේ අයියේ....ඔයාටම තේරුණා නේද එය ඔයාගෙන් ඒ දේ ඇහුවේ දුකින් කියල....ඇයි ඔයා එයාට සතුටක් දෙන්නේ නැත්තේ.....එයාව සතුටු කරන්න ඔයා එයාට උන පොරොන්දුව ඉටු කරන්න..ඔයා කල් ගත්ත හොඳටම වැඩියි.....

    ReplyDelete
  16. @ මැණික් : ඔව් අක්කේ.. අක්කත් මේ අත්දැකීම වින්දයි කියපු නිසා මාව හොදින්ම තේරුම් ගන්න ඇති කියලා මම දන්නවා...

    ReplyDelete
  17. @ හිරණ්‍ය : ඒකට හරිම උත්තරේ මමවත් තාම දන්නේ නෑ යාළුවා.. ඒත් වෙනසක් විය යුතුයි කියන හැගීමක් මගේ හිතේ තියෙනවා.. ඒ කියන්නේ පරණ හැමදෙයක්ම අමතක කරනාව කියන එක් නෙමෙයි..

    ReplyDelete
  18. @ මන්තරකාරී : ඔව් නංගී.. මගේ බලාපොරොත්තුවත් එකම තමයි.. මේ මතක අතරින්ම ඒත් දුක් නොවී ඉදිරියට යන්න..

    ReplyDelete
  19. @ පිණිබිදු : ඔව් අක්කේ අපි කාලයට ඉඩ දෙමු....

    ReplyDelete
  20. @ සිතුවිලි නිහඩයි : එයාට සතුටක් වෙන විදිහේ ගොඩක් දේවල් මම කලා.. මම මේ පොස්ට් දාන්නේ හිතේ දුක වැඩි නිසාම නෙමෙයි.. මම සතුටින් ඉන්නේ.. එයාගෙයි මගෙයි ලස්ස්න මතකයන් ගැන හිතලා.. ඊටත් වඩා මම මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බෑ..

    ReplyDelete
  21. හැම අලුත් අත්දැකීමක් එක්කම බද්ධ වෙලා තියෙන අතීතයේ මතකය..

    ReplyDelete
  22. වෙනසක් විය යුතුමයි කියලා කොච්චර හිත කිව්වත් මතකය හැමදාමත් හිතේ රැඳෙනවා නේද දිනේෂ්. මම හිතුවා ඔයා ලංකාවට ගිහින් අපිටත් එක්ක කඳුළු ගෙනෙයි කියලා. කමක් නෑ යාළුවා අපි කඳුළු බෙදා ගෙනවත් දුක අඩු කර ගමු. ගොඩක් දුකයි. අහිංසක හිත් වලට මෙහෙම දුක් දෙන දෙයියො හරි නරකයි.

    ReplyDelete
  23. මට නම් හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා.

    ReplyDelete
  24. දුකත් කඳුළත් සතුටත් සිනහාවත් දෙන්නේ මේ මතකයන් තමා ගොඩක් වෙලාවට

    ReplyDelete
  25. අනේ දිනේෂ් අයියෙ මම මේක දැන්නෙ දැක්කෙ. අද දාපු පෝස්ට් එකේ ලින්ක් එකෙන් තමයි ආවෙ. මට නම් කියන්න දෙයක් හිතා ගන්න බෑ. අයිය පූජා අක්කව බලන්න ගිය ඒක හොඳයි. එයා ගොඩක් සතුටුවෙයි. හැබැයි දැන් අක්කට වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න කාලේ හරි නේද? දැන් ගොඩක් කල් ගත්තනේ. ඊළඟ පාර යනකොට හිස් අතින් යන්න එපා හොඳද.

    ReplyDelete
  26. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ කොහොම උනත් අපේ හිත් තාම පරණ මතක එක්ක එකතුවෙලයි තියෙන්නේ..

    ReplyDelete
  27. @ කැමීලියා : මට තව එකම එක මේ වගේ සංවේදි මතකයක් ඔයාලා එක්ක බෙදා ගන්න තියෙනවා.. වෙනසක් විය යුතුයි කැමීලියා.. ඒක මගේ හිත මට දැන් තදින්ම කියනවා...

    ReplyDelete
  28. @ batti : ආදරය වෙලාවකට හරි පුදුමාකාරයි අක්කේ...

    ReplyDelete
  29. @ ayesha : ඔව් අක්කේ අපිව හඩවන මතකම වෙලාවකට අපිව සතුටු කරනවා...

    ReplyDelete
  30. @ Kasun : ඔව් මල්ලී මගේ ජීවිතේ තියෙන තුරාම මම එයාව බලන්න යනවා.. මල්ලී හරි මට මගේ පොරොන්දුව ගැන හිතන්න කාලේ හරි.. මම පුළුවන් තරම් වෙනස් වෙන්න බලනවා..

    ReplyDelete
  31. :( :( :( ජීවිතේ අපි ආස කරන අපිට ඕනි කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නෑ අයියේ එහෙම වෙනවනම් මේ ලෝකේ මීට වඩා ලස්සනයි

    ReplyDelete
  32. @ ශානු : ඇත්ත නංගී.. අපි ආසා කරන ගොඩක් දේවල් අපි ඇස් පනාපිටදිම නැතිඉ වෙනවා...

    ReplyDelete
  33. අනේ මන්දා මල්ලි මොනා කියන්නද කියලා, අපිට කියන්න ලේසියි අතීතය අමතක කරලා දාන්න කියලා, ඒත් තුවාලේ වේදනාව දන්නෙ තුවාලේ තියන කෙනානෙ .........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්