Monday, 11 April 2011

කඩුපුල් මල : හයවන කොටස

" කල්ප ඔයා මොනවද මේ කියන්නේ? "

     පුදුමයට පත්වූ අයේශා කල්පගෙන් විමසුවාය..

" ඔයාව මේ කූඩුවෙන් නිදහස් කරගෙන අරන් යන්න මම හදන්නේ.. ඒ ඔයාගේ කතාව අහලා ඇති උන අනුකම්පාවක් නෙමෙයි.. ඔයාගේ කතාව දැන ගන්න කලින් ඉදන්ම මගේ හිතේ ඔයා ගැන ආදරයක් තිබුනා.. ඒ ආදරේ දැනුත් එහෙමයි.."

" නැහැ කල්ප.. අපි දෙන්නා කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.. ඔයා දන්නවා ඒ ඇයි කියලා.. අපි අහසට පොළව වගේ.."

" ඔයා ගැන නොදැන මම ඔයාට ආදරේ කලා නෙමෙයි අයේශා.. ඔයා ලෝකයාට නතාශා උනත් ඔය ඇස් දෙකේ හැංගිච්ච අහිංසකාවියක් මම දැක්කා.. මම ආදරේ ඒ අහිංසකාවිට.."

" ඒ අහිංසකාවි මේ ලෝකෙට මැරුණු කෙනෙක් කල්ප.. ඔයාගේ අනාගතය ලස්සන එකක්.. මං නිසා ඒ අනාගතය නැති කර ගන්න එපා.."

            කල්පට සමු දෙමින් එතැනින් නික්මීමට සැරසුන ඇයේශාගේ අතින් අල්ලාගත් කල්ප ඇගේ ගමන නවතාලීය..

" මම ඔයාගේ තීරණේ වෙනසක් වෙනකම් බලන් ඉන්නවා.."

               කිසිවක් නොපැවසූ අයේශා කල්පගෙන් වෙන්වී යලී නිවස කරා පිය මැන්නාය.. 

                       කාමරයට ඇතුළුවූ අයේශා ඇගේ මිතුරිය සමගද කිසිවක් නොපවසා ඇයට පුරුදු ජනේලය ලගට වී ඈත මුහුදු තෙර දෙස බලා සිටියාය.. ඇයටත් නොදැනිම ගලා ආ කඳුළු බිදූ එකින් එක බිම ඇද වැටෙද්දී ඇය ගෙවී ගිය සොඳුරු මොහොත ගැන යලි යලිත් සිතන්නට විය..

               අයේශා කල්පට සෙනෙහස පුදා අවසන්ය.. ඒ ඔහු හදුනගත් පළමු දවසේමය.. ඒත් ඒ ආදරය හිත තුල තද කරගෙන ඉන්නවා හැර ඒ ආදරය ප්‍රකාශ කිරීමට වරම් ඇයට නැත.. කල්ප ආදරේ පැවසූ මොහොතේම ඇගේ ආදරයත් පැවසීමට ඇගේ හිතට ඕනෑ උනත් ඇය ඇගේ හිතට ඊට ඉඩ නොදුන්නාය..

                         කල්ප හොද කෙනෙකි.. ඒ ගැන ඇයට දෙවරක් සිතන්නට දෙයක් නැත.. ඒත් තමන් ගෙවූ ජීවිතය කල්පගේ ලෝකයට කලු පැල්ලමක් බව ඈ සිතුවාය.. ඊටත් වඩා කල්ප දිගින් දිගටම තමන් සමග ඇසුරක් පවත්වන බව මැඩම්ට ආරංචි වූ දිනක ඔහුට එල්ලවිය හැකි බලපෑම් ගැනද ඈ බිය වූවාය..

              මේ අපායෙන් නිදහස් වීම තම එකම බලාපොරොත්තුව උවත් කල්පගේ ජීවිතය අනතුරට කල් කිරීමට ඈ අකමැතිය.. එනිසාම හිතේ ආදරය හැමදාටම හිතේ රදවා ගන්නට තීරණය කල ඈ දෙනෙතින් ගලා ගිය කඳුළු පිසදා ගත්තේය..

" උඹේ ඔය කල්පනාව ඉවර වෙන දවසක් නැද්ද බං.."

      සුපුරුදු පරිදිම ඇගේ හීන ලෝකෙට බාදා කරමින් හිමාශි ඇසුවාය..

" එහෙම වෙන්නනම් ඉතින් මං මැරෙන්න ඕන හිමාශි..

     අයේශා කඳුළු පිසදා ගනිමින් පැවසුවාය..

" මොකද උඹ මේ අඬලා.. උඹට සනිප නැද්ද? "

" එහෙම දෙයක් නෙමෙයි හිමාශී.. මේ.."

          ඇයට සිදුවූ දෙය පැවසීමට අයේශා මුල පිරුවත් පසුව ඇය ඒ අදහස යටපත් කර ගත්තාය..

" උඹ ඔය හිතන්නේ කල්ප ගැන නේද? "

" උඹ කොහොමද කල්පව දන්නේ? "   අයේශා පුදුමයෙන් විමසුවාය..

" දවසක් ක්ලබ් එකට ඇවිත් මගෙන් උඹේ විස්තර කියලා ඇහුවා.. මම කිවුවා උඹ මෙහේ ඉන්නේ කියලා.. උඹට ඒ කොල්ලා හමුබුනා නේද?"

" ඔවු.. මාත් එක්ක අද කතාකලා.."

              හිමාශිට මුලින් මේ කිසිවක් ගැන නොකියන්නට හිතා උන්නත් ඇය කල්ප ගැන දන්නා නිසා ඇයට සියල්ලක්ම් පැවසීමට සිතා ගත් අයේශා ඇයට සිදු වූ හැම දෙයක්ම එකින් එක පැවසුවාය..

" අනේ බං උඹ වගේ මෝඩියෙක්.. උඹ හැමදාම හීන දකින්නේ මෙතනින් යන්න.. උඹව අරන් යන්න කොල්ලෙක් එද්දිත් උඹ ඒකට කැමති නෑ.."

      අයේශාගේ කතාව අසා සිටි හිමාශී ඇයට පැවසුවාය..

" මං දන්නවා හිමාශී.. ඒත්.."

" උඹ ඔය කරන්නේ ලොකු වැරැද්දක්.. අපිත් හැමදාම දකින්නේ ඔය හීනෙමයි.. උඹ දකින හීනේ උඹේ ඇස් ඉස්සරහම හැබෑවක් වෙන්න යනකොට ඒ හීනෙට පයින් ගහන්න එපා.. අපිට බැරි උනත් උඹවත් මේ ජීවිතේට සමුදියන්.."

                හිමාශී පවසන දේ අයේශාගේ හිතට තදින්ම කා වැදුනාය.. ඒත් තමන් මෝඩ උනාදැයි අයේශා කල්පනා කරන්නට වූවාය..





5 comments:

  1. හ්ම්...එත් අනේ මන්දා.. මොකක් හරි අව්ලක් තියෙනවා..කියන්න නම් තෙරෙන් නැ අයියා..

    ReplyDelete
  2. අයේශාට එයාගේ තීරණය වෙනස් කරන්න කාලේ හරි වගේ . බලමු මොකද වෙන්නේ කියලා .හෙට අදටත් වඩා හොඳයි

    ReplyDelete
  3. @ නිම්ශා : ඇයි නංගි.. කතාවේ කොතන හරි වැරැද්දක් තියෙනවද?

    ReplyDelete
  4. @ හිස් අහස : ඔව්.. බලමු අයේශාගේ තීර්ණේ මොකක් වෙයිද කියලා..

    ReplyDelete
  5. හ්ම්ම්... බලමුකෝ මොකද වෙන්නේ කියලා... කල්ප ඇත්තටම එයාට ආදරේ කරනවනම්, කල්ප කියන්නේ අදහන්න වටින චරිතයක්. මොකද ඔහොම මිනිස්සුනම් ලක්ෂෙකින්වත් හොයා ගන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්