Friday, 31 December 2010

සුභ නව වසරක් වේවා!!!

                                     2010 දන්නෙම නැතුව ගෙවිලා ගිහින්.... සතුට කදුළ මේ හැම දෙයක්ම ගෙවී ගිය අවුරුද්දේ අපි හැමෝටම එක වගේ දැනුනා.... 2011 ලබන්න තව තියෙන්නේ හොරා කීපයයි... මේ ටික කාලෙදී මාත් එක්ක මිතුරු උන හැමෝටම ලබන්නා වු නව වසර පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා කියල මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා....


අරුණෝදය හෙට උදයේ දකින
නව වසරක නැවුම් බලා පොරොත්තුවක
පැතුමි ඉටුවෙන ඉසුරු බර දිනක
සුභ මොහොතක ඇරබුම.

එක් උන වසර අතීත මතක පොතට
ගෙනා දේ බොහොමයි හොද නරක කැටි උන
සතුටු සිතින් බලා ඊයේ දවස
අරඹමු හෙට බලා පොරොත්තු ඉටු වන්නට.

බොද උන හීන ගොන්න
එක් කර ගමු එක මිටකට
ඉටු කර ගමු අපි ඊයේ පැතුම
හෙටින් ඇරබෙන නව වසරක.

මිතුරු හැම ඔබ හැම මොහොතක හිටිය
පතමි මම සතුටු සිතින් අද
හෙටින් උදා වෙන නව වසර
ජය ගෙනෙනෙ වසරක් වේවා ඔබට..

Tuesday, 28 December 2010

අම්මා

                                            "අම්මා".. මේ ලොකේ මොන භාශාවකින් කතා කලත් අපිට ඇහෙන අපේ හිතට දැනෙන ලස්සනම වචනය අම්මා.... මවකගේ ආදරය ලබන්න අපි හැමෝම වාසනාවන්ත වෙන්න ඔන... 

                        මම දැන් කියන්න යන්නේ මීට හාත් පසින්ම විරුද්ධ පැත්ත ගැන... පහුගිය දවස් වල අපි හැම නාලිකාවකම ප්‍රවෘත්ති වලින් දැක්කා ඉපදුන ගමන් තමන්ගේ පුන්චි දරුවව මරන්න උත්සාහ කරපු, මහ මග දාල ගිය අහින්සක දරුවො ගැන... එවට හේතුන් මොනවා උනත් අර මහ මග දාල යන දරුවන්ගේ අනාගතය මොනවගේ වේවිද කියල ඒ අම්මලා පොඩ්ඩක් වත් හිතන්න ඇතිද?? එහෙම දාල ගිය පුන්චි ළමයි පාරවල් ගානෙ අනුන්ට අතපාලා ජීවත් වෙනවා අපිත් ඕන තරම් දැකල ඇති...  

                                  අපිට අපි පුන්චි කාලේ ඉදන් තාමත් අපේ අම්මා තාත්තගේ ආදරය ලැබෙනවා... ඒත් මේ පාරවල් වල දුක් විදින දරුවන්ට කාගේ පිහිටක්ද???




දස මාසයක් රැදී නුඹෙ කුසේ
ආදරයෙන් මා සුරැකූ අම්මේ
ඉපදුන දාම නොසිතු විලස
කිමදා මා මෙසේ හැර ගියේ.

දකින්නට මේ සොදුරු ලෝකය
නුඹේ උණුසුමේ සැගවී
මං කල පින් මදි උනිද අද
මෙලෙස නුඹ මා හැර ගියේ

කාත් කවුරුත් නොඑන මානෙක
මා තනි කර නුඹ නික්මුන දිනේ
නුඹට ඇසුනිද මා හඩනා හඩ
නුඹේ උණුසුම අවැසි වී.

දෙවියන් ඇවිදින් මාව අරගෙන
ජීවිතේ දෙන්නට දරන දුක දැක
මගෙන් නුඹට උන වරද ගැන
සිතුවෙමි මම වීදුරු කුටිය තුල.

වැදූ මවයි නුඹ මගේ උණුසුම හදුනන
නුඹට මතකනම් මේ අහිංසක පුතුව
එන්න දවසක මා රැගෙන යන්න
අහිතක් නැහැ මා මග හැර ගියාට...

Sunday, 19 December 2010

අහිමි වි ගිය සෙනෙහස

                                               පුංචි කාලේ අපි හැමදාම වගේ හමු උනා... එකට සෙල්ලම් කලා.... කෑවෙ බිව්වේ හැමදෙම වගේ එකට...ඒ කාලේ ආදරයක් ගැන හිතට ඒ තරම නොදැනුනාට ටිකෙන් ටික අපි වයසින් වැඩි වෙනකොට මගේ හිතේ ඔයා ගැන ඇති උනේ පුදුමාකාර ආදරයක්... මටත් නොදැනිම ඔයා මගේ හිතේ තැනක හැමදාටම රැදෙන්න පටන් ගත්තා...මගේ හිතේ කොයි තරම් නම් ආදරයක් ඔයා ගැන තිබුනත් ඒ ගැන මට ඔයා ඉස්සටහට ඇවිත් කියන්න බය හිතුනා... ඒ  ඇයිද කියන්න මම දන්නේ නැහැ... දවසක් බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ඔයා ලගට ඇවිත් මගේ ආදරේ ඔයාට කියන්න හිතාගෙන මම ඔයාව මුනගැහෙන්න ආවා...එදා ඔයා ඇවිත් තිබුනෙත් මට දෙයක් කියන්න හිතාගෙන....

     "අයියේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"  ඇය මා දිහා කදුළු අමාරුවෙන් හන්ග ගනිමින් මොකක්දෝ කියන්න හදන බව මට තෙරුනා...

     "කියන්න" මමත් මම කියන්න ආපු දේ හිතේ ආයෙමත් හිරකරගෙන ඇගෙන ඇහුවා...

   " අපේ තාත්තා මාව කොළඹ ස්කොලෙකට යවන්න හදනවා...අළුත් අවුරුද්ද පටන් ගත්තු ගමන් මට අළුත් ස්කෝලෙට යන්න වේවි" 

හීනෙන්වත් නොහිතුව වෙලාවක මම ආදරය කරපු සුදු නංගි මොකද්ද කියන්නේ කියල මට හිතාගන්නවත් බැරි උනා....

     "ඇයි අයියේ කතා කරන් නැත්තේ" ඇය මගේ නිහැඩියාව බිදිමින් මගෙන් අහුවා...

     "ඔයා ආයෙත් කවදාවත් ගමේ එන්නේ නැද්ද?" මට එක පාරටම වගේ ඇහුනා.....

     "කියන්න බැහැ.... අම්මලත් එහෙ පදින්චියට යනවා".... 

                            හිතේ ගොඩක් දවස් හිරකරගෙන හිටපු ආදරේ අද කොහොම හරි කියනවයි කියල හිතාගෙන ගෙදරින් ආපු මට මේ මොකද වෙන්නේ කියල හිතා ගන්නවත් බැරි උනා...කොයි තරම් අකමැත්තෙන් උනත් එදා අපි දෙන්නට, අපි දෙන්නගෙන් වෙන් වෙන්න උනා.... 

                              නිවාඩුවකට හරි සුදු නංගි ගමේ ඇවිත් යන්න එවියි කියල බලාගෙන හිටපු දවස් අනන්තයි.... එත් ඒ  එක දවසකවත් ඈ ගමේ ආවේ නැහැ......... මටත් නොදැනිම මගේ බලාපොරොත්තුවත් එක්කම අවුරුදු ගානක් ගෙවිලා ගියා.....

                               අද උදුවප් පොය.... වෙනදට පන්සල් යන්න හිත නොකිව්වත් අම්මා කතා කරපු නිසා පන්සල් ගියා... යාළුවොත් එක්ක බෝ මළුවට වෙලා වෙනදා වගේ කතා කර කර ඉන්නකොට ඈතින් හුරු පුරුදු රුවක් අපි ඉස්සරහට එනවා වගේ දැක්කා... මම යාළුවො එක්ක කතා කරන එක නවත්තලා ඒ කව්ද කියලා උවමනාවෙන් බැලුවා.. 

                       ඒ  වෙන කවුරුත් නෙවෙයි සුදු නංගි.... මම ඇයව දැක්කේ අවුරුදු ගානකට පස්සේ... එත් ඈ තාම ත් ඉස්සර වගේමයි... ඒ හිනාව... ඒ ඇස් දෙක....මගේ හිතේ කියා ගන්න බැරි සතුටක් ඇති උනා... ඇයත් එක්ක කතා කරන්න හිතාගෙන මම ඈ වෙත යන්න හැදුවත් එක පාරම මෙගේ හිත මාව නැවැත්තුවා....

                              ඇගේ සුළැගිල්ලේ දිළුන මන්ගල මුදුව  මාව එතනම නතර කර ගත්තා.... ඈ දැන් වෙන කෙනෙකුට අයිති වෙලා... කවදාවත් කියා ගන්න බැරි උන මගේ ආදරය හැමදාටම මගේ හිතේ වැළලුනා කියල මට හිතුනා... ඇය හෙමින් මගේ ඉස්සරහට ආවත් මම කතා කරනවද නැද්ද කියල මගේ හිත කල්පනා කරන්න උනා....

                    ඇය මා අදුන ගත්තේ නැහැ.... අනිත් හැමොමත් එක්කම වගේම මගෙත් එක්කත් ඈ මුවගින් සිනාවක් පාලා  මගෙන් ඈතට යන්න ගියා... ඇ යන මවත දිහා මම ආයෙත් වතාවක් ඇසිපිය නොහෙලා බලන් හිටියා. ඒ ආයෙත් කවදාවත්ම දවසක මෙගේ ආදරය ඇයට කියාගන්න මට බැරි වෙන නිසා...

            අද ඇය අන් සතු වෙලා අවසානයි.....  ඒත් මම තාමත් ජීවිතය නැවතුන තැනම.....



සිතිවිලි දැහැනක්ව මට
නුඹ ඉන්න එක මොහොතක
කල්ප ගනනක හැගුම් පුරෝගෙන
බලා ඉන්නම් මම නුඹ එනතුරාවට.

බාල වියේ දගකාර සිතින්
කුළුදුලේම නුඹට බැදුන සිත
තාමත් එදා වගේම ආදරෙයි
මං පෙම් බැදි පුංචි කුමරිට.

ගමේ පන්සලේ පුන්පෝදා හැන්දැවේ
දුටුව නුඹේ රුව කාලෙකට පස්සේ
මගේ හිත කදුළින් පුරවා හැඩෙව්වා
සිනාසෙනු දැක නුඹ වී අන්සතු හදක.

නුඹේ සිනහව සෙනෙහෙවන්තයි
බාලකාලේ මතකයන් වගේ
ඒත් නුඹ නැහැ මා හැදිනුවේ
ගියා මා ලගින් මද සිනා පා අද.

දැනුනා හිතට මා පමා වු බව
පවසන්නට නුඹට මසිතේ බැදි ආදරය
නික්මෙන්නම් මම සුභ පතා නුඹට 
සගවාගෙන ආදරය මගේ හිත තුලම..





Thursday, 16 December 2010

ගිලිහෙන ආදරය



කවුළුව ලග නෙත් අයාගෙන
ගිලිහී වැටෙන කදුළු බිදු ලග
සේදී යන නුඹේ ආදරය
අවාසනාවට මගේ උන දින,

හදේ ගුලි කරගෙන කාටවත්ම නොකීව
නුඹෙයි මගෙයි කදුළු කතාව
ඔය කදුළු බින්දු වල සැගවිලා
මහා සාගරයක්වී බිමට වැටුන දින,

අතිනත් බැදන් ඇවිද ගිය
නුඹ මම හමු උන සමනල පාලම
දරාගන්නට නොහැකි බරක්
උසුලා අපිට වාරු උන දින,

මමත් හැඩුවා නුඹ තරමටම
ගිලිහෙන ආදරය ගැන සිතාම
නුඹත් මමත් පැතු සිහින ලොව
සිහිනයක්ව බොදවෙන නිසාවට...

Sunday, 12 December 2010

කඩුපුල් මල නුඹ



රැයේ පිපි කඩුපුල් මල නුඹ
ඹමරුන් සරන මල් උයනක
විකසිත වී කදුළු සලන මල
පිපුන පවට අපිරිසිදු ලොවට.

ඇස ගැටෙන වල්මත් ඹමරිදු
ඇදී එයි සොයා රොන් සුව
මලේ රොන් ගෙන අදුරේම
ඉගිල යයි උන් හොර රහසේම.

රැයේ සුවද විහිදා නුඹ
සැගව යයි හිරු නැගෙත්ම
ලොවට වසන් වී කුසුම
සුසුම් ලයි බැසයන හිරු දැක.

අගහිගකම් දැනෙන ගේ පැලක
විකසිත උනේ නුඹෙ පවට
ඒත් ඇයිද නුඹ මලක් උනේ
රැයේ පිපී පරව යන.

නොපෙන්නා ලොවට නුඹෙ කදුළ
හිනැහුනේ කිම විකුණා අසරණ කම
කදුළු ගොඩක් තව නුඹෙ ජීවිතයට
ලන් කරගත්තේ ඇයි නුඹ මෙලෙස...

Tuesday, 7 December 2010

පාළුව




නිසල වූ වැව් දිය
බලා හිදියි නිසොල්මනව
මැවෙනතුරු රටා එක පිට
බිදදා සොදුරු නිසල බව.

සැලී ගිය ගහ කොල මල්
මවයි නෙක රටා දිය මත
පාළුව හැර වෙන කුමක්
පවසයිද මේ දිය මට.

වරෙක හිනැහී රටා මැවි දිය
ගොළු විය රජකර පාළුව
ගිලි ගිය දා සිටම
දිය රටාවන් මැවු පාරුව.

තුරු ලතා හිනැහෙයි හතර වට
පූදමින් විසිතුරු මල් රටා හෙමිහිට
නෙලාගන්නට නැතිව කිසිවකු
මිලාන වී යයි හිරුත් සමගම.

අදටත් මේ නිසල වු වැව
නෙත යොමයි තොටුපල වෙත
දැකගන්නට ආසාවෙන් දිනක
යලිත් මෙහි එන තොටියා දෙස..

Tuesday, 30 November 2010

සුභ උපන් දිනයක් අම්මේ.....

අද (12.01) මගේ ආදරණීය අම්මගේ උපන්දිනය....මේ මට අම්මගේ උපන්දිනයට අම්මා ලග ඉන්න බැරි උන 3 වෙනි අවුරුද්ද...ඉස්සර පොඩියට හරි අපි එකතුවෙලා බෙදා ගත්ත ඒ සතුට අද ඒ විදිහටම විදින්න අපිට බැරි වෙලා...ඒ අපි රටවල් දෙකකට වෙලා ඉන්න නිසා.. අම්මට අපි හැමදාමත් ආදරෙයි... මේ ලොකු පුතයි, දුවයි, පොඩි පුතාගෙනුයි අම්මගේ උපන්දිනයට දෙන පුන්චිම පුන්චි තැග්ගක්... සුභ උපන් දිනයක් අම්මේ.....


මහා සාගරයක් තරම් ගැඹුරු වු
නුඹේ හිතේ රෑදුන සෙනෙහසට
සෙනෙහසේ ගීතයක් ලියන්නට
අවසරද අම්මේ මේ පුතුට.

නුග රුකක් වන් නුඹෙ සෙනෙහස
සෙවන දුන්නා මට හැමදාම
ආදරයෙන් මගේ ලග හිද
කදුළක් නොදී මගෙ දෙනෙතට.

සෙනෙහසේ දියළුම ඇල්ල නුඹ
හැමදාකම එක ලෙස
අපි තුන්දෙනාගෙම සිත් තුල
නිකැලැල්ව  සෙනෙහස පිදුව.

මහ පොලොව තරම් සවිමත් නුඹෙ සිත
දරාගත් දුක් අපමණයි නුඹෙ ලෝකය තුල
වසන්කරගෙන සැලුව කදුළෑල්
අපමණයි නුඹ නොහැඩුවාට.

සදුයි නුඹ අපේ අහස කුසට
තරු රෑනම එළිය කල
වාසනාවන්තයි අපි පින් කල
ඉන්නට නුඹේ සිසිලස ලග හැමදාම..


Wednesday, 24 November 2010

නුඹ හැදින නොගත්තේ කිම



නිමා උන වසන්තෙක
ආදරේ සුවද නුඹ
හැරගිය සෙනෙහසට තව
සෙනෙහසින් මග බලන්නේ කිම.

මුලාවී ගිය ආදරයක
හද පාරන සිතුම් ගොන්නක
පැටලිලා උන් අතීතයක
කදුළු තව නොනැවතුනේ කිම.

ආදරයේ මල් උයනක
නෙලාගත් රෝස මල නුඹ
නපුරු වී වේදනා දුන් මල
තවමත් අත දරා කිම.

රිදුම් දෙන ආදරය
නෙතට කදුළක් උන දින
කදුළු හද දරා තව
සුසුම් හෙලන්නේ කිම.

නෙලා ගත් කදුළු මල ලග
නුඹ නෙත නොගැටුන මල
ආදරෙන් තවමත් නෙතු ලග
නුඹ හැදින නොගත්තේ කිම...

Monday, 22 November 2010

සද අමනාප වෙලා



සද අමනාප වෙලා
අමාවක රැයක් පැමිනිලා
නෙත් අග කදුළු බිදු නිසා
මගේ සිහිනයත් බොද වෙලා.

කදුළු අරගත්තු වළාකුලක් එදා
ඒවි අද මහ වැස්සක් වෙලා
තැවුන සිත නුඹ නික්ම ගියදා
නුඹට නොඇසෙන කවියක් උනා.

මගේ පාළුව වයන තනුවක පැටලිලා
ඇසෙයි නුඹේ හඩ  ගීයක් වෙලා
මිහිර සොයන පද වැලක එතිලා
නුඹෙ මතකය මම කවි කරනවා.

සිනහ තැවරුන නුඹ දෑස දිහා
බල උන්න මොහොතක් පාසා
මතකයි එහි ආදරය ඉතිරුනා
අමතක උනත් නුඹට කතා.

දුරස් උනේ නුඹ මගේ සිත පාරා
ලන්වෙන්නට පැතුමන් මදි උන නිසා
සිනාසෙන්නත් මට වරම් අහිම්දා
මේ මමදැයි මට අමතක වෙලා....

Saturday, 20 November 2010

නිමාවූ වසන්තෙක



නිමාවූ වසන්තෙක
විඩාබර හැගුමින්
මියැදි ප්‍රේමයක
අතීත නටඹුන්
පාළු සුසානයක
මිහිදන් කර
මන්දාරම්
වැහි කෝඩෙන්
හිරු ගිලෙන 
ගොම්මනක,
මලවුන්ගේ නගරයේදී
යලිදු අප හමු වෙමු
හදවත් මලගමේ
පෙම සමරන්නට...

Wednesday, 17 November 2010

නුඹ තාමත් ආවේ නැහැ



හිරුත් අවරට ගිහින්
දම් පාට හැන්දැවේ
මුහුදු රෑල්ලත් මලානික වී
ඇදෙයි වෙරළට හෙමින්.

ළිහිනින් නෑ ඈත අහසේ
ගොම්මන් වි මුහුදු වෙරළේ
සද කිරණත් නැහැ පෙනෙන්නේ
වසන් වී ඝණ වළාවකට අහසේ.

පහන් කණුවේ ආලෝකය ලග
නැහැ සිත මගෙ තව රෑදුනේ
වැලි කෙළියේ උන් පුන්චි එවුන් ටික
යයි සැගවී මවුපිය තුරුලේ.

කාලය ගෙවුනා මටත් නොදෑනිම
වෙරළට ඈවිදින් නුඹ දෑක ගන්නට
ඒත් නුඹ තාමත් ආවේ නැහැ
වෙරළේ තනි වෙන්න වෙනදා වගේම.

තව මොහොතක් දෙකක්
බලා නොඉද නුඹ දැකගන්නට
යන්නේද නොයන්නේද මම
සිතමින් දෙගිඩියාවෙන් මගෙ සිත.

කෙලෙස හෝ අද නුඹ ලගට වී
හිත පුරාවටම ඇදුන මගේ ආදරය
කියන්න පෙරුම පුරාන උන් හිත
නැවතිලා නොදැක නුඹෙ දෑස.